ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:

 “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).


ඉහත සඳහන් ප්‍රකාශය තුළින් ෂව්වාල් මස ඉටු කරන වෛකල්පිත උපවාසයන් හයෙහි සුවිශේෂත්වය පිළිබඳ පැහැදිළි කෙරේ. නෝන්බි අවුරුදු දිනය අවසන් වීමේ සිට අඛණ්ඩව දින හයක් උපවාසය ඉටු කළ යුතුයි නැතහොත් එම උපවාසය ඉට කළ නොහැක යනුවෙන් සමහරුන් වරදවා සිතාගෙන සිටිති. නබි (සල්) තුමන්ගේ කිසිදු ප්‍රකාශයක එසේ සඳහන් වී නැත. ඉස්ලාම් නොපනවපු නීතියක් සමහරුන් තමන්ට පනවා ගැනීම නිසා මෙම වෛකල්පිත උපවාසය එම දිනයන් මගහැරුනු විට බොහෝ උදවිය ඉටු නොකරති. ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය දෙසට හොඳින් ඔබේ අවදානය යොමු කරන්න, එහි සඳහන් වන්නේ “කව්රුන් රමළාන් මස උපවාසය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාසය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” මෙම උපවාසයන් හය ෂව්වාල් මස කැමති දිනයන්හි කෙනෙකුට ඉටු කිරීමට හැක. අඛණ්ඩවත් ඉටු කිරීමට හැක, වෙන් වෙන්වත් ඉටු කිරීමට හැක. කෙනෙකු ෂව්වාල් මස නිමවීමට පෙර මෙය ඉටු කළ යුතුයි.

ෂව්වාල් මස ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පවතින දුර්වල හදීස් (පුවත්):

1- “කවුරුන් රමළාන් මාසයේ ද, ෂව්වාල් මාසයේ ද, තවද බදාදා හා බ්‍රහස්පතින්දා දිනයන්හි ද උපවාසය ඉටු කරයි ද ඔහු ස්වර්ගයට ප්‍රවිශ්ට වෙයි.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්නද් අහ්මද් 15434 මෙම පුවත ඉක්රිමා ඉබ්නු කාලිද් තමන්ට වාර්තා කළ කෙනාගේ නම හා ඔහු ලබාගත්තේ කාගෙන් ද යන විස්තර කිසිවක් නොදැන්වූහ. එබැවින් නොහඳුනන දෙදෙනෙකු මෙහි සඳහන් වන නිසා මෙය දුර්වල පුවතකි.

2- කවුරුන් රමළාන් උපවාසය ඉටු කර ඉන් පසු ෂව්වාල් මස උපවාසයන් හය  ඉටු කරයි ද ඔහු තම පාපයන්ගෙන් මිදී එදින මව් කුසෙන් උපත ලද කෙනෙකු හා සමාන තත්ත්වයට පත්වන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුඃජමුල් කබීර් ලිත්තබරානි). මෙම පුවත වාර්තා කරන්නන් පෙළේ “මස්ලමා ඉබ්නු උලෙයි” යන ප‍්‍රතික්ෂේප කළ යුතු කෙනෙකු සඳහන්වීම නිසා මෙම පුවත දුර්වලවූවකි.

3- “නබි (සල්) තුමන් උම්මු සල්මා (රලි) තුමියව ෂව්වාල් මාසයෙහි විවාහ කරගත් අතර, එම මාසයේම සංසර්ගයේ යෙදුනේය” (ඉබ්නු මාජා) මෙහි වාර්තාකරුවන් පෙළේ සඳහන් වන “මුහම්මද් ඉබ්නු ඉස්හාක්” තමන්ට සැලකලේ කවුද යනු පැවසුවේ නැත. මෙය මොහුගේ සිරිතකි. එබැවින් මෙම පුවත ද දුර්වලවූවකි.

4- “උසාමා (රලි) තුමන් පරිශුද්ධවූ මාසයන්හි උපවාසය ඉටු කරමින් සිටියේය. එය දුටු නබි (සල්) තුමන් ෂව්වාල් මාසයේ උපවාසය ඉටු කිරීමට නියෝග කළේය. එදින පටන් පරිශුද්ධවූ මාසයන්හි උපවාසය ඉටු නොකළ මිය යන තෙක් ෂව්වාල් මාසයේ උපවාසය ඉටු කිරීම පුරුද්දක් කරගත්තේය” (ඉබ්නු මාජා) මෙම පුවත වාර්තා කරන්නන් පෙළේ සඳහන් “මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම්” උසාමාගෙන් කෙළින්ම මෙම පුවත ලබාගත්තේ නැත. කාගේ මාර්ගයෙන් ලබාගත්තේද යන විස්තරයද සඳහන් කළේ නැත. ඒ පමණක් නොව විවිධ විශ්වාසවන්තයින්ගේ පුවත් වාර්තා කරන විටත් ගැටළු සහගත අන්දමින් වාර්තා කර ඇත, යනුවෙන් ඉමාම් අහ්මද් මොහු පිළිබඳව විවේචනය කර ඇත. එබැවින් මෙම පුවත දුර්වල වූවකි.

5- “නබි (සල්) තුමන් තෙවරක් උම්රා ඉටු කළහ. ෂව්වාල් මාසයෙහි එක් වරක් හා දුල්කඃදාහි දෙවරක්” (මූලාශ්‍රය: මුවත්තා මාලික් 1239). මෙම පුවත වාර්තා කරන උර්වා එක් තාබිඊවරයෙකි. මොහු මෙම පුවත කාගෙන් ලබාගත්තේද යනු සඳහන් කළේ නැත. එබැවින් මෙම පුවත දුර්වලවූවකි.

6- “ආයිෂා (රලි) තුමිය වරක් නබි (සල්) තුමන්ගෙන් රමළාන් යන වචනයෙහි තේරුම කුමක්ද? යනුවෙන් විමසා සිටියාය. එයට එතුමන් ආයිෂා! ඔබ රමළාන් යනුවෙන් පවසන්නට එපා, එය අල්ලාහ්ගේ නාමයන් අතුරින් එකකි, හේතුව එය දාසයන්ගේ පාපයන් ගිණිබත් කරයි යනුවෙන් පැවසූහ. ෂව්වාල් මස පිළිබඳ ප්‍රශ්න කළෙමි, එයට එතුමන් ෂව්වාල් ඔවුන්ගේ පාපයන් ඔසවාගෙන යයි” යනුවෙන් පැවසූහ. (මෂීහතු ඉබ්නු අබිස් සකර්) මෙය ගොතනු ලැබූ පුවතකි. මෙහි වාර්තාකරුවන් පෙළේ බහුතරයක් කවුදැයි නොදන්නා අය වේ.

සකස් කිරීම: අබූ අස්මා

Leave a Reply

Your email address will not be published.