ෂඃබාන් මස තුළ සුදුසු හා නුසුදුසු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි.

ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම
නබි (සල්) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:


ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: “ශාස්තෘවරයානන් උපවාසයෙන් තොර සිටියේ නැත යනු සිතන තරමට අඛණ්ඩව උපවාසයෙන් පසුවූ අවස්ථාද විය. උපවාසය ඉටු නොකළා යනු සිතන තරමට උපවාසයෙන් තොර සිටී අවස්ථාද විය. රමලාන් මස හැර නබි (සල්) තුමන් පුරා (මසක්) උපවාසයෙහි යෙදුනු තවත් මාසයක් නොවීය. නබි (සල්) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි” (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).

“නබි (සල්) තුමන් උපවාසයෙහි නිරතවීමට ප‍්‍රිය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්).

නබි (සල්) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. පහත සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි:

උසාමතිබ්නු සෙයිද් (රලි) විස්තර කරයි: “මා නබි (සල්) තුමන්ගෙන් ෂඃබාන් මස මෙන් ඔබ උපවාසයෙහි නිරත වූ වෙනත් මාසයක් නොදුටුවෙමි යනුවෙන් ප්‍රශ්න කළෙමි. එයට එතුමන් රජබ් හා රමලාන් අතර මාසයක් පවති, එම මාසය සම්බන්ධව ජනයා අතර පවතින්නේ නොසැළකිලිමත් බවකි, නමුත් එය සර්ව බලධාරි අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන (වැදගත්) මාසයකි, මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලබන විට මා උපවාසයෙන් පසුවීම ප්‍රිය කරමි” යනුවෙන් නබි (සල්) තුමන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායි).

අල්ලාහ් අභියසට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසය යනුවෙන් නබි (සල්) තුමන් ෂඃබාන් මස සඳහන් කළහ, මා උපවාසයෙහි පසුවන තත්ත්වයක මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබීම මා ප‍්‍රිය කරමි. යනුවෙන්ද එතුමන් පැවසූහ. අපි කොයි කවුරුත් මෙම කරුණ සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතුයි.

මග හැරුනු උපවාසයන් ඉටු කිරීම:

ආයිෂා (රලි) තුමිය පවසයි: “මට රමලාන් මස මග හැරුනු උපවාසයන් ෂඃබාන්හි හැර ඉටු කිරීමට නොහැකි වන්නේය”. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

මෙම පුවතෙන් ප්‍රත්‍යක‍ෂ වන කරුණ නම් ගෙවුනු රමලාන් මස මග හැරුනු අනිවාර්්‍ය උපවාසයන් ෂඃබාන් මස තෙක් කෙනෙකුට ප්‍රමාද කරීමට අවසර පවතින බවයි. ඔසප්වූ කාන්තාවන්, දරු ප්‍රසූතය සමග රුධිරය වහනය වන කාන්තාවන්, රෝගීන්, මගීන් මෙවැනි විවිධ හේතූන් මත ගෙවුනු රමළාන් මස තුළ උපවාසය මග හැරුනු පිරිස් ෂඃබාන් මස උදාවත් සමග එය ඉටු කිරීමට යුහුසුළු විය යුතුය.

රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව
පවතින විට උපවාසය ඉටු කිරීමට පවතින තහනම:

“රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව පවතින විට උපවාසයන් ඉටු නොකරන්න. නමුත් කෙනෙකු හැර: ඔහු උපවාසයෙහි යෙදීමට සිරිතක් කරගෙන සිටින දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි යෙදිය හැක” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. වාර්තාකරන්නේ: අබූහුරෙයිරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ඉහත සඳහන් ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ, උදාහරණයට: සෑම මසකම සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල උපවාසයෙහි යෙදීම සිරිතක් කරගෙන සිටින කෙනෙකු ෂඃබාන් මස අවසන් දින දෙක සඳුදා නැතහොත් බ්‍රහස්පතින්දා දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි නිරත වීමට අනුමැතිය ඇත. තවද අනිවාර්්‍ය උපවාසයන් මග හැරුනු පුද්ගලයාට ද එය ඉටු කිරීමට අනුමැතිය ඇත. ඒ හැර වෙන කිසිවෙකුට අවසර නැත.

ෂඃබාන් මස සුවිශේෂත්වයන් පිළිබඳ පවතින දුර්වල පුවත්:

රජබ් මස උදාවත් සමග නබි (සල්) තුමන් මෙසේ ප්‍රාර්ථනා කරයි:

 اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَشَعْبَانَ , بَارِكْ لَنَا فِي رَمَضَانَ

“හිමියනි! රජබ්, ෂඃබාන් හා රමළාන් මාසයන්හි අප වෙත සෞභාග්‍යය පහළ කරනු මැනව!”
අනස් (රලි) තුමන් විස්තර කරන මෙම පුවත මුස්නද් අහ්මද් වැනි මූලාශ්‍රවල සඳහන්වූවද මෙහි වාර්තාකරුවන් පෙළේ “සාඉදා ඉබ්නු අබ්ර්රුකාද්” සඳහන්වන බැවින් මෙම පුවත දුර්වලය.

“ෂඃබාන් මස හරි අඩක් ගතවූයේ නම් ඔබලා උපවාසය ඉටු නොකරන්න” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි). (මූලාශ්‍රයන්: අහ්මද්, අබූදාවූද්, තිර්මිදි).

නමුත් මෙම පුවත පිළිබඳ හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් වන අබ්දුර්රහ්මාන් ඉබ්නු මහ්දී, ඉමාම් අහ්මද්, අබූසර්ආ අර්රාසි, අල්අස්රම් වාර්තාකරුවන් පෙළේ පවතින දුර්වලතාවය නිසා ප්‍රතිෙක‍ෂ්ප කරති.

අනස් (රලි) තුමන් විස්තර කරයි: “රමළාන් උපවාසයෙන් පසු ශ්‍රේෂ්ඨවූ උපවාසය කුමක්දැයි නබි (සල්) තුමන්ගෙන් ප්‍රශ්න කරන ලදි, එවිට එතුමන් රමළාන් මස උත්තරීතරත්වයට පත් කිරීමක් වශයෙන් ෂඃබාන් මස උපවාසය වේ යනුවෙන් පිළිතුරු දුන්හ, යළි උසස් දන් දීම කුමක්දැයි එතුමන්ගෙන් යළි ප්‍රශ්න කරන ලදී, එවිට රමළාන් මස කරන දානය” යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: තිර්මිදි).

මෙම පුවත වාර්තා කරන වාර්තා කරුවන් පෙළේ සඳහන් “සදකතිබ්නු මූසා” සාධකයට ගැනීමට තරම් බලවත් නොමැති බව ඉමාම් තිර්මිදි (රහ්) පවසයි. යහියා ඉබ්නු මුඊන් (රහ්) ඔහු පිළිබඳව: ඔහු කිසිවක් නැත යනුවෙන් විවේචනය කරයි. අෂ්ෂෙයික් අල්බානි (රහ්) මෙය දුර්වලවූ පුවතක් බව සඳහන් කරයි.  මුස්ලිම් වැනි මූල්‍රාශ්‍රයන්හි අබූ හුරෙයිරා (රලි) විස්තර කරන පුවතක “රමළාන් මස උපවාසයෙන් පසු ශ්‍රේෂ්ඨවූ උපවාසය මුහර්රම් මස උපවාසය බව” සඳහන් වන නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයට ද මෙය පරස් පර වෙයි.

ෂඃබාන් මස පහළොස් වැනි දින හා
එම රාත්‍රිය සුවිශේෂි බව සඳහන් නබි වදන් හි
සැබෑ තත්ත්වය පිළිබඳ දැන් අපි සාකච්ඡා කරමු:

“ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රිය උදාවීමත් සමග එම රාත‍්‍රියෙහි නින්දෙන් අවදිවී යාඥා කරන්න, එදින උපවාසයෙන් පසුවෙන්න, එදින හිරු බැසයාමත් සමග අල්ලාහ් මෙලොවට දිස්වන අහසට බැස පැමිණ මාගෙන් සමාව අයදින්නන් සිටිනවා ද? ඔවුන්ගේ පාපයන් මා සමා කරමි, මාගෙන් ජීවනෝපාය ඉල්ලන්නන් සිටිවාද? ඔවුන්ට මා ජීවනෝපාය පිරිනමමි, පීඩාවට පත්වූවන් සිටින්නේ ද? ඔවුන්ගේ පීඩාවෙන් මා ඔවුන් මුදවමි හිරු උදාවන තෙක් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරමින් සිටින බව” නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අලි (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා).

මෙම පුවත වාර්තා කරන වාර්තා කරුවන් පෙළේ “ඉබ්නු අබී සබ්රා” සඳහන් වෙයි. මොහු දුර්වල වාර්තාකරුවෙකි. මොහු සාවද්‍ය හදීස් ගොතන්නා යනුවෙන් ඉමාම් අහ්මද් (රහ්), ඉමාම් ඉබ්නු මුයීන් (රහ්) පවසති. එබැවින් මෙය සාධක වශයෙන් ගෙන ක‍්‍රියා කළ නොහැක.

ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: “මා රාත‍්‍රියක නබි (සල්) තුමන් නිදියහනේ නොවීම නිසා එතුමන් සොයා පිටත්වූයේමි, එවිට එතුමන් බකීඃ සුසාන භූමියෙහි වූ අතර “ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි හරි අඩක් ගෙවී යාමත් සමග අල්ලාහ් ලෝකයට දිස්වන අහස වෙත බැස පැමිණ බැටළුවාගේ රෝමයන්ටත් වඩා අධිකව සමාව පිරිනමන බව පැවසූහ”. (මූලාශ්‍රය: තිර්මිදි).

මෙම පුවත වාර්තා කරන වාර්තාකරුවන් පෙළේ සඳහන් වන “හජ්ජාජ් බින් අර්තාත්˜ සෙසු වාර්තා කරුවා වන යහියා ඉබ්නු අබී කසීර්ගෙන් කිසිවක් ශ්‍රවණය කළේ නැත. මෙය දුර්වලවූ පුවතක් බව ඉමාම් බුහාරි (රහ්) කරන විවේචනය ඉමාම් තිර්මිදී (රහ්) සඳහන් කරයි. මේ පුවත මුල්කොට ගෙන ද කෙනෙකුට ක‍්‍රියා කළ නොහැක.

“ෂඃබාන් මස පහළොස් වැනි දින රාති්‍රයෙහි (අල්ලාහ්ට) ආදේශ කරන්නා හා සතුරුකම් පවත්වන්නා හැර අල්ලාහ් තම සියළු නිර්මාණයන්ට සමාව පිරිනමන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූමූසා අල් අෂ්අරියි (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා).

මෙම පුවත වාර්තා කරන වාර්තාකරුවන් පෙළේ “අබ්දුල්ලාහ් ඉබ්නු ලහීආ” දුර්වල වාර්තාකරුවෙකු වන අතර, වලීද් ඉබ්නු මුස්ලිම් පුවත් වසංකරන බව හදීස් කලාවේ විද්වතුන් විවේචනය කරන බැවින් මෙය ද සාධක වශයෙන් ගෙන ක්‍රියා කළ නොහැක.

ෂඃබාන් මස පහළොස් වැනි දින රාත‍්‍රියෙහි වැදගත්කම පිළිබඳ සඳහන් වන කිසිදු පුවතක් නිවැරදි (සහීහ්) නොවන බව හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් සඳහන් කරති. තත්ත්වය මෙසේ පවතින විට දුර්වල පුවත් පදනම් කොට කෙසේ නම් එය ශ්‍රේශ්ඨ දිනයක් ලෙස සළකා ක‍්‍රියා කළ හැකිද? යනු කොයි කවුරුත් මදක් විමසා බැලීම වටී.

“බරාඅත්” යන නාමය කිසිදු පුවතක සඳහන් නොවූ පසුබිමක කෙසේ නම් එම නාමය යෙදුවා ද? යනු ලොකු ප්‍රෙහේළිකාවක් වශයෙන් පවති.

ඉමාම් නවවි (රහ්): රජබ් හා ෂඃබාන් මාසයෙහි විශේෂයෙන් ඉටු කරන සලාතය ප්‍රතික්ෂේප කළ යුතු බිද්අත් ක‍්‍රියාවකි. (මෙයට ආගමෙහි කිසිදු අවසරයක් නොමැත) යනුවෙන් පැවසූහ. (ග්‍රන්ථය: අස්සුනන් වල් මුබ්දතිආත්).

 සයීද් බින් මුසයියබ් (රහ්) අසර් සලාතයෙන් පසු වැඩි වශයෙන් සලාතය කරන පුද්ගලයකු දුටුවේය. ඔහුට දැන්විය යුතු දේ දන්වා සිටියේය. එයට එම පුද්ගයා අබූ මුහම්මද්! මා සලාතය කිරීම නිසා අල්ලාහ් මට දඬුවම් කරයිද? යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. එයට එතුමන්, නැත. නමුත් ඔබ සුන්නාවට (නබි තුමන්ගේ මඟ පෙන්වීමට) විරුද්ධව ක්‍රියා කිරීම නිසා ඔබව ඔහු දඬුවම් කරයි යනුවෙන් පිළිතුරු දුන්හ. (දාරමි).

ෂඃබාන් මස සුවිශේෂත්වයන් පිළිබඳ නබි (සල්) තුමන්ගේ
නාමයෙන් සාවද්‍ය ලෙස ගොතන ලද පුවත්:

ඉමාම් ඉබ්නුල් ජව්සි සිය “මව්ලූආත්” යන කෘතියෙහි මෙය සඳහන් කරයි:

“රජබ් අල්ලාහ්ගේ මාසයයි, ෂඃබාන් මාගේ මාසයයි, රමළාන් මාගේ සමාජයට අයත් මාසයයි.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

“අලි (රලි) අමතා, කවුරුන් ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි රක්අත් 100 ක් සලාතය ඉටු කර, (එම සලාතයෙහි) සෑම රක්අතයකම අල්ෆාතිහා පරිච්ඡේදය හා කුල්හුවල්ලාහු අහද් පරිච්ඡේදය 10 වරක් පාරායනය කරයිද, ඔහුගේ සියළු අපේක‍ෂාවන් එදින රාත‍්‍රියෙහි අල්ලාහ් ඉටු කර දෙනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

“කවුරුන් ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි රක්අත් දොළහක් සලාතය ඉටු කර, සෑම රක්අතයකම අල්ෆාතිහා පරිච්ඡේදය හා කුල්හුවල්ලාහු අහද් පරිච්ඡේදය 30 වරක් පාරායනය කරයිද, ඔහු ස්වර්ගයෙහි සිය නවාතැන නොදැක එම ස්ථානයෙන් පිටත් නොවනු ඇත” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

කවුරුන් හෝ මෙවැනි පුවත් සාධක ලෙස ඉදිරිපත් කරන විට අපි ඉතා විමසිල්ලෙන් සිටීම සඳහායි මෙම පුවත් මෙහි සඳහන් කරන්නේ. අපි සැම විටම සහීහ් යන නිවැරදි තත්ත්වයේ සාධක සහිතව පවතින වාර්තාවන් අනූව පමණක් ක්‍රියා කිරීමට වෙර දැරිය යුතුය.

බරාඅත් දිනය සුවිශේෂි දිනයක් බවට පත්කර එම දිනයෙහි උපවාසයෙන් පසුවීම, විශේෂ ආහාර පිළියෙල කිරීම, යාසීන් පරිච්ඡේදය තුන් වරක් පාරායනය කිරීම, එම රාති‍්‍රයෙහි විශේෂ යාඥාවන් ඉටු කිරීම නබි තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති නොමග යවන බිද්අත් ක්‍රියාවන් වේ. මා උපවාසය ඉටු කිරීම තුළින්, යාසීන් තුන් වරක් පාරායනය කිරීම තුළින් මට අල්ලාහ්ගේ කෝපය ලැබෙයි ද? යනුවෙන් කෙනෙකු ප්‍රශ්න කරයි නම් ඔහුට ඉහත සඳහන් සයීද් ඉබ්නු මුසයියබ් (රහ්) තුමන්ගේ පිළිතුර යළි වරක් කියවා බලන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

මුළු මහත් විශ්වයටම දූතවරයාවූ නබි (සල්) තුමන්ගේ පිවිතුරු මඟ ඔස්සේ ගමන් කර දෙලොව ජය ලබාගමු.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.