මුහර්රම් මස තවත් නව වසරක උදාවයි!

“මුහර්රම් මස” චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි:

ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:

“නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්) පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර) ඔබට ඔබම හානියක් නොකරන්න” (ශු අල්කුර්ආනය 9: 36).


අබී බක්රා රලියල්ලාහු අන්හු තුමා තුමා විස්තර කරයි: “සැබවින්ම අහස් හා පොළෝ මවන ලද දා සිට කාලය ගමන් කරමින් සිටී තවද අල්ලාහ් ඉදිරියෙහි මාස ගණන දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. එම පරිශුද්ධවූ මාස අතුරින් තුනක් එක දිගට පැමිණෙයි. එය:  “දුල්කඃදා, දුල්හජ්, මුහර්රම්” වේ. රජබ් මුළර් මාසය ජමාදුස්සානි හා ෂඃබාන් අතර පවතින මාසයකි” යනුවෙන් නබි(ﷺ) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

පරිශුද්ධවූ මාස හතර නම්:

1- දුල්කඃදා. ඉස්ලාමීය මාසයන් අනූව 11 වැනි මාසයයි.

2- දුල්හජ්. ඉස්ලාමීය මාසයන් අනූව 12 වැනි මාසයයි.

3- මුහර්රම්. ඉස්ලාමීය මාසයන් අනූව 01 වැනි මාසයයි.

4- රජබ්. ඉස්ලාමීය මාසයන් අනූව 07 වැනි මාසයයි.

රමළාන් උපවාසයට පෙර ආෂුරා දින උපවාසය පිළිබඳ නීතිය:

“කුරෙයිෂ්වරුන් අඥාන සමයේ ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවූ අතර, නබි (ﷺ) තුමන්ද එම දිනයෙහි උපවාසයෙන් පසුවූහ. නබි (ﷺ) තුමන් මදීනාවට පැමිණීමෙන් පසුවද එදින උපවාසය ඉටු කළ අතර මිත්‍රවරුන්ට ද එය ඉටු කරන ලෙස නියෝග කළහ. රමළාන් මස උපවාසය අනිවාර්්‍යවීමත් සමග රිසි අය ආෂූරා (දහ වැනි) දින උපවාසය ඉටු කරන්න, රිසි අය ඉටු නොකර සිටින්න” යනුවෙන් නබි  තුමන් (ﷺ) පැවසූහ. (විස්තර කරන්නේ: ආයිෂා රලියල්ලාහු අන්හු තුමිය, මූලාශ්‍රයන්: මුත්තෆකුන් අලෙයිහි).

ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා විස්තර කරයි: “නබි (ﷺ) තුමන් මදීනාවට පැමිණී විට යුදෙව්වරුන් ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවීම දුටුවේය. මේ පිළිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට, මෙය උතුම් වූ දවසකි. අල්ලාහ් මෙවැනි උතුම්වූ දිනයක මූසා (මෝසස්) තුමාව ආරක‍ෂා කර, (දුෂ්ට) ෆිර්අවුන් හා ඔහුගේ සේනාව අල්ලාහ් ජලයෙහි ගිල්වන්නට සැලැස්සුවේය. මූසා (මෝසස්) තුමා අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් උපවාසය ඉටු කළහ යනුවෙන් ඔවුන් පිළිතුරු දුන්හ. එවිට නබි (ﷺ) තුමන් මා මූසාට හා එම උපවාසය ඉටු කිරීමට ඉතා සුදුස්සෙකු වේ යනුවෙන් පවසා එතුමන් උපවාසයෙන් පසුවූ අතර මිත්‍රවරුන්ට ද උපවාසයෙන් පසුවන ලෙස නියෝග කළහ”. (මූලාශ්‍රය: අහ්මද්).

මුහර්රම් මස උපවාසයෙහි ශ්‍රේෂ්ඨත්වය:

“රමළාන් උපවාසයෙන් පසු ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මස උපවාසයයි. අනිවාර්්‍ය සලාතයෙන් පසු ශ්‍රේෂ්ඨ වූ සලාතය රාත‍්‍රි කාලයෙහි ඉටු කරන සලාතයයි” යනුවෙන් නබි (ﷺ) තුමන් ප්‍රකාශ කළහ. (විස්තර කරන්නේ : අබූ හුරෙයිරා (රලි) තුමා. මූලාශ්‍රය: මුස්ලිම්).

වරක් ශාස්තෘවරයානන් මෙසේ පැවසූහ: “සෑම මසකම උපවාසයන් තුනක් (අඛණ්ඩව) ඉටු කිරීම ජීවිත කාලය පුරා උපවාසය ඉටු කළාට සමානය. අරෆා දින උපවාසය ගතවූ හා උදාවන වසරෙහි පාපයන්ට ප්‍රතිකර්මය බව මා සිතමි. ආෂූරා (දහ වැනි) දින උපවාසය ගත වූ වසරෙහි පාපයන්ට ප්‍රතිකර්මය බව මා සිතමි” (විස්තර කරන්නේ: අබූ කතාදා (රලි), මූලාශ්‍රය: මුස්ලිම්).

සටහන: අරෆා දින: දුල්හජ් මස 9 වැනි දිනයි. ආෂූරා දින: මුහර්රම් මස 10 වැනි දිනයි. යහපත් ක්‍රියාවන් මගින් සමාව ලැබෙන්නේ සුළු පාපයන්ට මිස මහත් පාපයන්ට නොවේ.

යුදෙව්වරුන්ට සමාන නොවිය යුතුයි:

“ඔබලා ආෂූරා (දහ වැනි) දින උපවාසයෙන් පසුවන්න, යුදෙව්වරුන්ට සමාන නොවීම සඳහා ඊට පෙර හෝ පසුව දිනක් උපවාසයෙන් පසුවන්න” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ඉබ්නු අබ්බාස් (රලි), මූලාශ්‍රය: අහ්මද්).

“ආෂූරා (දහ වැනි) දින නබි (ﷺ) තුමන් උපවාසය ඉටු කළ අතර මිත්‍රවරුන්ට ද නියෝග කළහ. මෙය යුදෙව්වරු හා කිතුවරු උතුම් කොට සළකන දිනයක් නොවේද යනු ප්‍රශ්න කළ විට, අපි ඉදිරි අවුරුද්දේ ජීවතුන් අතර සිටියේ නම් නම වැනි දින ද උපවාසය ඉටු කරමු යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. නමුත් එම අවස්ථාව එළඹීමට පෙරම නබි (ﷺ) තුමන් අපවත්වූහ”. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි), මූලාශ්‍රය: අහ්මද්).

ඉහත ප්‍රකාශයන් අනූව, මුහර්රම් මස 09 වැනි දින හා 10 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. නැතහොත් 10 වැනි හා 11 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. මෙය අනිවාර්්‍ය නොවන වෛකල්පිත උපවාසයන් වේ.

මුහර්රම් මාසය තුළ මෙම අතිරේක උපවාසය හැර විශේෂයෙන් කිරීමට වෙන කිසිවක් සඳහන් වී නොමැත. එබැවින් ආගමේ නාමයෙන් විශේෂයෙන් යමක් මෙම මාසයේ කිරීමට කිසිදු අවසරයක් නැත.  ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (ﷺ) තුමන්ගේ නිවැරදි ප්‍රකාශයන් හි සම්මතයෙන් තොරවූ කිසිදු ක‍්‍රියාවක් ආගමෙහි නාමයෙන් කිරීම නොමග යවන බිද්ආ (නූතනය) වේ. මෙයින් ඉතා විමසිලිමත් විය යුතුය.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: “කව්රුන් අපගේ විෂයෙහි අප නියෝග නොකළ යමක් අළුතින් ඇති කර කරයිද එය ප්‍රතිෙක‍ෂ්ප කෙරේ” (විස්තර කරන්නේ: ආයිෂා (රලි) තුමිය, මූලාශ්‍රය: මුස්ලිම්).

මෙය අපේ ගමේ කාලාන්තරයක් තිස්සේ පැවත එන්නකි, අපේ මුතුන් මිත්තන් රැක ආ සිරිතකි මෙසේ පැවසීම අපි කොතෙකුත් අසා ඇත්තෙමු නමුත් මෙයට කිසිදු ආගමික පිළිගැනීමක් නැත. අපි කරන සෑම යහපත් කි‍්‍රයාවක්ම ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා අවසන් දූතවරායගේ මග පෙන්වීම ඔස්සේ විය යුතුය. එවිටයි එයට අල්ලාහ් ඉදිරියේ ප‍්‍රසාදයන් හිමිවන්නේ.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.