| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 3,059 views

මිනිසා සහ ඔහුගේ ආහාරය!

කතුවරයා/දේශකයා: on 18th October 2011

සකස්කිරීම: ඉබ්නු මන්සූර්

මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක්‌ ගෙන සාකච්චා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වශයෙන් පදිංචිකොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කරන්නට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍යවන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳව කටයුතු කළහැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුල මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රුපද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත්කළ හැකි  අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලිවන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්වූ එකක් බවය. මිහිතලය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනානම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.
 
“ඔහුමය (අල්ලාමය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ.” (35:39)
 
මෙයින් පැහැදිලිවන්නේ පරිසරය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) පැවසු බව බුහාරි හදීස් ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392) දක්වා ඇති පරිදි:
 
“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
 
සියළු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
 
“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)           
 
ඉහත කරුණු වලින් පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා ලිපියක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමානන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම්කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නාවූ කර ඇඹීමද ඉස්ලාමය තහනම් කර ඇත.
 
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම්තුල විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
 
එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන්ට දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසාතබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
 
මෙලෙස ඉතා අලංකාර ලෙස සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ හා උන්ට කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් මාංශ අනුභවය අනුමත කර ඇත්තේ කෙලෙසද කියා යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩ ඇත. පොදුවේ ගත්කල බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මාංශ අනුභවය අනුමත ඉස්ලාමීය ඉගැන්වීම් තුල පමණක් බවය. සත්‍යවශයෙන්ම ලොව ප්‍රධාන දහම් සියල්ලම මාංශ අනුභවය අනුමතකොට ඇත. මෙම මාතෘකාව සාකච්චා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුක යෙදෙන්නේනම් සත්‍යය කුමක්ද කියා දැනගැනීමට කොහෙත්ම අපහසුතාවයක් ඇති නොවනු ඇත.
 
මාංශ අනුභවය ලොව සියළු ප්‍රධාන දහම් අනුමත කර ඇතිබව එම සියළු දහම්හි පිළිගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. එම කරුණු මෙම ලිපියට ඇතුලත් නොකළේ එහි ඇති සංවේදී තාවය සැලකිල්ලට ගෙනය. මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළහැක්කේ සතුන් කැපීම තුලින් එනම් ජීවිතක්ෂයට පත්කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද? අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළිගත හැකි අයුරින් මේ පිළිබඳවවු ඉස්ලාමීය සංකල්පය සකස්වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිලිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත්කොට සත්‍යය තත්වය පැහැදිළි කිරීම අපගේ වගකීමක් ලෙසද සළකන්නෙමු එමනිසා මෙම සුහද සාකච්චාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
 
ආචාර්ය විලියම් ටී. ජාර්විස්‌, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳවවූ ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුරයද දරන්නේය. ආචාර්ය ජාර්විස්‌ නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
 
1.     ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2.     මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
 
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී.ඔහු උද්වේගකාරී නොවී යථාර්තවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්තයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමුකරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
 
1.     ආගමික හේතු
2.     භූගෝලීය හේතු
3.     පුද්ගලික කැමැත්ත
4.     මානව දයාව
5.     පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6.     පාරසරික හා ආර්ථික හේතු
7.     පෝෂණය
 
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්චා කිරීමේදී බව අප අත්දැක ඇති සත්‍යයකි. ඉස්ලාමය මිහිතලය මත ජීවත්වන සියළු ජනයාට කිසිදු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු විශ්ව දහමකි. එය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාශයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමාවූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත්වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩන්ගුවී ඇත. බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ  ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත්වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල්වල ජීවත්වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතාබැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේනම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම මතය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්තයට අනුකුල වනසේ සකස්වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහි චෝදනා පමණක්ම නිවැරදිව අවබෝධකර ගත්විට එම දහමේ අන්තර්ගත ගැඹුරු සත්‍යය ලෝකයාට හඬනගා කියන්න්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?
 
මාංශ අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුල ඇති අතර එය කොහෙත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිදු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුල නොමැත. යහ මුස්ලිමයෙකු වීමට මාංශ අනුභවය කොහෙත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුල කොටුවී ලෝක යථාර්තය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝවිට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?
 
එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat)  කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහාවූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබාගත හැක.
 
මාංශ පරිභෝජනය            = 6.9 X 46.6 = කි. ග්‍රෑ. බිලියන 321.54
මත්ස්‍ය පරිභෝජනය         = 6.9 X 17.0 = කි. ග්‍රෑ. බිලියන 117.30
 
මෙම දත්තයන් අපට හඬනගා කියන්නේ කුමක්ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතාබලන්නටවත් හැකියාවක් තිබේද? ඉතා පටු චින්තන රාමුවක් තුල කොටුවී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම ලෝක යථාර්තයට සහමුලින්ම එකඟ නැති ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යායුතු සත්‍යයකි. සමස්තයක් වශයෙන් ලෝක යථාර්තය දෙස බලනවිට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර තත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුලාවක් බව අපට ඉහත දත්තයන් හඬ නගා පවසයි.
 
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල ඉඩක් නැත. එහෙත් සත්ව ඝාතනයෙන් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද?
 
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මෙයින් ඉතා දුෂ්කර තත්වයකට පත්වූයේය. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා චිකුන්ගුන්යා මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මියයන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. මෙයිනුදු සනාථවන ලෝක යථාර්තය කුමක්ද? සත්ව ඝාතනයෙන් තොර ජීවිතයක් හෝ පැවැත්මක් මිනිසාට මිහිතලය මත නොමැති බව නොවේද? ඉස්ලාමයේ ඉගැන්වීම් විශ්ව යථාර්තය අනුව සකස්වී ඇති බව මෙයින් පැහැදිලිව සනාථවන සත්‍යයක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?
 
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරීවීමයි. පරාණ ඝාතනය සැම තැන්හිම තහනම් හෝ වැරදියි යන අතාත්වික හා බුද්ධියට එකඟ නැති නිගමනයේ අප පිහිටා සිටියේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැකගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අපට පත්වන්නට සිදුවෙනවා නොවේද? කරුණාකර ආවේගශීලී නොවී විචාර බුද්ධිය මෙහෙයවා මෙම කරුණු ගැන සිතා බලන්න.
 
මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පධ්දතියද මිනිසාගේ සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය කළහැකි වන අයුරිනි. මෙයිනුත් පෙනීයන්නේ  ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සතෙක් බව නොවේද? සිංහ කොටි වැනි මාංශ භක්ෂක සතුන්ට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ එය ජීරණය කරන්නට හැකියාවක් නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි ටත්වයක් නොමැත. ආහාර අනුභවය පිලිබඳව මිනිසාට ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.   
 
මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදුවී තිබේ. පරාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේනම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
 
සත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය වියහැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. ඒ අතරම මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය මෙම ගවයින්ට ලබාදී ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක ගවයින් කැපීම සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාම කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි භාවය හා ප්‍රායෝගික නොමැතිකම තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.
 
ඉදිරිපත්කරන ලද සියළු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත්නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්තයක් බවට පත්වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද? මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත  අයුරින් මෙය සටන් පාඨයක් කරගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහ පුරවැසියෙකු අනුමත කරණ ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව අද පවතින සියළු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්තයක් බව පිළිගෙන ඇති නිසා බව වියහැක. මෙම සත්‍යය තත්වයට ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟ තාවයක් ඇති මෙන්ම හිංසනයෙන් තොරවූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ග විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
 
ජර්මානු සත්ව සුභ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම්වී කටයුතු කලයුතු බව සඳහන්වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක අවශ්‍යතාවය මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියළු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කරගන්නා ලදී. මෙම ක්‍රමය තුලින් සනාථවූ ප්‍රධාන සාධක නම්, සතුන් විසාල ලෙස කලබලයට පත්වීම, විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත්වීම හා හෘද ස්පන්දනය සැනින් නතරවී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත්වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනීයන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යට එතරම් හිතකර එකක් නොවන බවය.
 
මෙම පර්යේෂණයට විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG), විද්යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළුව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කරගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇතිවනවිට මොලයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හලිවු කරුණු අනුව:-
 
1.     ඉතා මුවහත්වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.

2.     ශුන්‍ය රේඛානයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.

3.     තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.

4.     ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩිවිය. මෙසේ හෘදස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නාලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
 
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එලැඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකිවූ බව සඳහන් කොට තිබිණ.
 
1.     ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදුකළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පුවිය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධිවන හෙයින් මොළය අක්‍රිය තත්වයට පත්වන්නේය. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙනයන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැතිවී යන්නේය. ස්වාස නාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.

2.     කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුල ඇති රුධිරයෙන් ඇති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇතිවී තිබෙන්නේය.

3.     අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියා වලියෙන් ඒ අයහපතද ඉවත්කර ගන්නට හැකියාව ඇතිවී තිබේ.
 
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයාගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පුවන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොරවූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළයුතු වැදගත් කරුණු කිහිපයක් ඇත්තේය.
 
1.     ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවන්නේය. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.

2.     සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කොහෙත්ම සිදුවිය නොහැක්ක යන්න ලෝක යථාර්තයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා  විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කොහෙත්ම අපහසු තාවයක් නොමැත්තේය. නමුත් අන්ධ භක්තියෙන් කටයුතු කරන අයෙකුට නම් මෙය දුෂ්කර විය හැක.

3.     සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
 
සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
 
1.     සත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.
2.     කලබල කරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3.     පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.
4.     කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.
5.     කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6.     කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7.     කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8.     එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.
9.     සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10.                     සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.
11.                     කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
 
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
 
උලුහිය්යා
 
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හිජ්ජා මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම උලුහිය්යා නම් ක්‍රියාව ලෙස සැලකේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවන්නේය. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නාවූ දානමය ක්‍රියාවකි.
 
ඉස්ලාමයේ සියළු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම කරගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නාවූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්තවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත්තේය. ඉහත කරුණු වලින් පැහැදිලිවන තවත් සත්‍යයක් නම් ඉස්ලාමය තවත් දහමක් නොව එය සැබැවින්ම සියළු මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
 
ඉහතින් ඉදිරිපත්කල සියළු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතුවී තිබු වැරදි අවබෝධයන් ඉවත්කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධවන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විස්වාශයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදුවන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදුවී එකිනෙකාගෙන් ඈත්වූ සමාජයක් ඇතිවීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කොහෙත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතුවන අනර්ථකාරී වෛරය ඉවත්කොට සැමට සතුටින් එකට අත්වැල් බැඳගෙන සුහදත්වය හා මිනිසත්කම පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.  

Related Posts

  • “ෂියා” දහම දැනගනිමු – 1January 23, 2017 “ෂියා” දහම දැනගනිමු – 1 (0)
    මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා […]
  • හැඳින්වීමApril 15, 2010 හැඳින්වීම (0)
    ඉස්ලාම් පනවන දඩුවම් (නිසා) වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද? මුහම්මද් කුතුබ් පරිවර්තක: සෙයියද් මුහම්මද් ප්‍රකාශනය: ජම්ඉයියතුෂ්--ෂබාබ් (සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය) පෙරවදන. ඉස්ලාම් […]
  • ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්!September 17, 2009 ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්! (0)
    ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද? මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන […]
  • අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳ විග්‍රහයක්!December 7, 2012 අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳ විග්‍රහයක්! (1)
    අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් […]
  • ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද?-05May 30, 2010 ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද?-05 (0)
    මිනිසාගේ ආශාවන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළේද? මිනිසා මෙම ජීවිතය ලෝකය තුල කරන හැම දෙයක්ම පාපයක් ඒ නිසා සියලූ සැප සම්පත්වලින් ඈත්වී දුෂ්කර ජීවිතයක් ගත කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බවට […]
  • රජබ් මාසය!May 10, 2015 රජබ් මාසය! (0)
    අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. බලන්න ශුද්ධවූ අල්කුර්ආනයෙහි (අත්තව්බා 9: 36). ශුද්ධවූ මාසයන් […]

October 18, 2011 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , , ,  · Posted in: ගවේෂණය, නීති රීතීන්, විවිධ

Leave a Reply