| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 3,044 views

ජිහාද් යනු කුමක්ද?

කතුවරයා/දේශකයා: on 24th October 2011

සකස්කිරීම: ඉබ්නු මන්සූර්

මෙය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්‍ෂේත‍්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද නිරන්තර සාකච්ඡවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක හා මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කරගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

1. චෛතසිකයෙන් කරන්නාවූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමඟ කරන්නාවූ චෛතිසික අරගලය.)

2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගිවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මෙඟහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම).

3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.) මුහම්මද් නබි තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨ ජිහාදය කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨ ජිහාදය තම චෛතිසකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව පවසා ඇත. තවත් වරෙක අසාධාරණ දුෂ්ඨ පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදය බව පවසා ඇත. ඉස්ලාමයේ නිර්දේශිත අනිවාර්යය කටයුතු (දෛනිකව කරන්නා වූ පස්වේල සලාතය වැනි) සම්බන්ධව අඛණ්ඩව හා සැලකිලිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ජිහාදය ලෙස දක්වා ඇත. දෙමව්පියන්ට උවැටැන් කිරීම ද ජිහාදයක් බව තවත් වරෙක අදහස් පල කර ඇත. හජ් නැමදුම (විශේෂයෙන් ස්ත‍්‍රීන් සම්බන්ධව) ජිහාදයක් ලෙස දක්වා ඇත. මෙම තොරතුරු උපුටා ගත්තේ පහත සඳහන් හදීස් ග‍්‍රන්ථයන්ගෙනි. හදීස් යනුවෙන් දැක්වෙන්නේ මුහම්මද් තුමාගේ (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) ප‍්‍රකාශිත මෙන්ම එතුමාගේ ක‍්‍රියා හා අනුමත කළ දෑටය. ඉහත නබිවදන් හි මූලාශ‍්‍රයන් වන්නේ සහීහුල් බුහාරි: 1423, අබූ දාවූද්: 3781, තබරානි: 20821 යන්නය.

අල්-කුර්ආනය උපයෝගි කරගෙන ජිහාදයේ යෙදෙන ලෙස පහත සඳහන් වැකියෙන් දෙවිඳුන් උපදෙස් දෙන්නේය.

”එබැවින් (නබිවරයාණනි,) නුඹ මෙම ප‍්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවවු. තවද එය (අල්-කුර්ආනය) උපයෝගි කරගෙන ප‍්‍රයත්නයන්ගෙන් (ජිහාද්) ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්නයක ඔවුන් සමඟ යෙදෙවු.” (අල්-කුර්ආන් 25:52).

ඉහත නබිවදන් හා අල්-කුර්ආන් වැකිය තුළින් ජිහාද් යන සංකල්පයේ මූලික අදහස අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

අවාසනාවට මාධ්‍ය විසින් ජිහාද් යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය යනාදිය උපයෝගි කරගෙන ඇත. ශුද්ධ යුද්ධය යන්න අරාබි බසින් දැක්වෙන්නේ ‘හර්බ් මුකද්දසා’ යනුවෙනි. මෙය හදීස් ග‍්‍රන්ථයන්හි හෝ අල්-කුර්ආනයේ හෝ දක්නට ඇති පදයක් නොවේ.

තමන්ගේ ජීවිත, දහම, වස්තුව හා ගෞරවය යනාදියට තර්ජනයක් එල්ල කරමින් යම් කණ්ඩායමක් සටනට එන්නේ ද ඔවුන් සමඟ සටන් වැදීමද ජිහාදයක් ලෙස දැක්විය හැක. මෙවන් තත්ත්වයකදී සටනට පිවිසීම ලොව සියලූ රටවල් අනුමත කරන්නා වූ ක‍්‍රියා මාර්ගයකි. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ සඳහන් වැකි එහි සන්දර්භයෙන් බැහැරව අර්ථ දක්වා විකෘත වූ මතයක් ගොඩනගන්නට විශාල ප‍්‍රයත්නයක් ජාත්‍යන්තරව දක්නට ඇත. ඉස්ලාමය අසිපතින් ව්‍යාප්ත කරන ලද්දක් බවත් ඉස්ලාමීය රාජ්‍යයක් තුළ මුස්ලිම් නොවන ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් අසාධාරණ ලෙස කටයුතු කිරීමට එම දහමේ අනුමැතියක් ඇති බවත් දක්වන්නට මෙයින් වෑයම කොට ඇත. මෙම මතයන්හි මිථ්‍යාව ඉතා හොඳින් හෙළිදරව් කරමින් ආගමික බහුත්වය හා නිදහස කොතෙක් දුරට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමත කර ඇත්තේ ද යන්න පහත සඳහන් අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

”දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256).

”නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල්-කුර්ආන් 10:99).

”(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි.” (අල්-කුර්ආන් 10:108).

”සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29).

ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප‍්‍රචාරයේ යෙදුනු මුහම්මද් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදුවිය. ප‍්‍රතිප‍්‍රහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරාගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත‍්‍රික ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත‍්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත‍්‍රියව පුත‍්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡු ක‍්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කරන ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත‍්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුනායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස්වලින් පළවා හරින ලදී.

”අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප‍්‍රතික්ෂේපකයින්ට එරෙහිව) යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේය. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස්වලින් (සතුරන් විසින්) පළවා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (අල්-කුර්ආන් 22:39-40).

ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගිවීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

”යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5:32).

මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද්ද කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

”තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9:5).

ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන්නේය.

”(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9:6).

අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. ”කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය.  ඕනෑම සටනක දී සම්ප‍්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

ප‍්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

”ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8:61).

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශ‍්‍රයන් රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.

3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

4. බැද තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

5. ජනාවාසයන්ට පහර දීම මංකොල්ල කෑම දේපල හානි සිදුකිරීම සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ  අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.

8. සතුරු මෘද දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

10. මහළු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.

11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

ජිහාද් නමින් විවිධ රටවල සංවිධාන බිහි වී ඇති බව අපි දනිමු. ඔවුන්ගේ ක‍්‍රියා කලාප මඟින් සිවිල් වැසියන්ට ද විශාල හානි සිදුවූ අවස්ථාවන් ඇත. මේ සියල්ල සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි ක‍්‍රියාවන් ය. මෙවන් කටයුත්තක් කළ හැක්කේ ඉස්ලාමිය රාජ්‍යයක හා ආගමික නායකත්වයේ මඟපෙන්වීම යටතේය. මරාගෙන මැරෙන ප‍්‍රහාරද මෙම සංවිධාන මඟින් ක‍්‍රියාත්මක කරන බව අපි දනිමු. ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වන්නේ සටන් බිමේ දී සතුරාගේ ආයුධ ගබඩාවක් විනාශ කිරීම සන්නද්ධ බලය බිදීම වැනි ක‍්‍රියාවකට හැර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම ඉස්ලාමයේ අනුමත ක‍්‍රියාවක් නොවන බවයි. සියදිවි නසා ගැනීම ඉස්ලාමයේ මහා පාපයක් ලෙස සැලකෙන අතර අහිංසක සිවිල් වැසියන්ට හානි පැමිණවීම ඉතා විශාල අපරාධයක් ලෙස ද ඉස්ලාමය සළකයි.

මුස්ලිම් නොවන රාජ්‍යයක් සමඟ හෝ ජන කොට්ටාශයක් සමඟ යුද තත්ත්වයක් ඇතිවුවහොත් එය වළක්වා ගැනීමේ අදහසින් ඉස්ලාමීය රාජ්‍යය විසින් යෝජනා 3ක් සතුරු රාජ්‍යයට හෝ පිරිසකට ඉදිරිපත් කරනු ලැබේ. මෙම යෝජනා පහතින් විස්තර කර ඇත්තෙමු.

1. ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කිරීම.

ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළ හැකිමුත් එලෙස කරන ලෙස බලපෑම් කරන්නට අයිතියක් නොමැත. දහම පිළිබඳව බලපෑම් කිරීම අල්-කුර්ආනයේ මූලික ඉගැන්වීම්වලට පහහැනිවූවකි. විශ්වාසයක් පිළිගැන්විය හැක්කේ බලපෑමෙන් නොව ඒත්තු ගැන්වීමෙන් පමණක් බව අප සියළු දෙනා දන්නා කරුණකි. ඉස්ලාමය පිලිගතහොත් යුද තත්වය මඟ හැරගොස් සුහදත්වය ඇතිවීමට සුදුසු වාතාවරණයක් නියත වශයෙන්ම ඇතිවන්නට ඉඩකඩ ඇති වන්නේය.

2. ජිස්යා බදු ගෙවීම

දෙවැනි යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස ඉස්ලාමීය රාජ්‍යයට බදු ගෙවීමෙන් එහි පූර්ණ රැුකවරණය තමන් වෙත සහතික කර ගැනීමයි. ජිස්යා නමින් වූ මෙම බද්ද මුස්ලිම් නොවන අයට පමණක් බලපාන අතර මුස්ලිම්වරුන් ගෙවිය යුතු බද්ද සකාත් නමින් හැඳින්වේ. ජිස්යා බද්ද වැඩහිටි පිරිමින් පමණක් ගෙවිය යුත්තක් වන අතර ස්ත‍්‍රීන්, දරුවන් හා දුප්පතුන්ට මෙය වගකීමක් නොවන්නේය. මෙම බද්ද ගෙවීමෙන් ඉස්ලාමීය රජයේ හා එහි හමුදාවන්හි පූර්ණ රැකවරණය ඔවුන්ට ලැබෙන අතර හමුදාවට බැඳීම ද ඔවුන්ට වගකීමක් නොවන්නේය. ජිස්යා ගෙවන්නන් අතර දුඟී බවට පත් අය සිටින්නේ නම්, ඔවුන්ට යැපීම් දීමනාවක් ගෙවීමට ඉස්ලාමීය භාණ්ඩාගාරයෙන් කටයුතු කළ යුතුව ඇත. ඔවුන්ගේ දේපළ, ජීවිත, ආගමික ස්ථාන හා පූජකවරුන් ආදිය සඳහා රැුකවරණය ලබා දීම ඉස්ලාමීය රාජ්‍යයේ පූර්ණ වගකීම වන්නේය.

3. ගිවිසුමකට එළැඹීම.

තුන්වන යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස සමඟ සාම ගිවිසුමකට එළැඹීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීමය. සාම ගිවිසුමකට එළැඹීමෙන් ඔවුන් සමඟ සාමය පවත්වාගෙන යාමට ඉස්ලාමීය රාජ්‍යය වගකියන අතර ජිස්යා බදු ගෙවන්නන් සමඟ මෙන් බාහිර සතුරු ආක‍්‍රමණයකි දී රැකවරණය ලබා දීමට වගකීමක් දරන්නේ නැත.

මෙම යෝජනාවන් මඟින් ඉස්ලාමීය රාජ්‍යය උත්සාහ කරන්නේ සතුරුකම් හා යුද්දයන් වළක්වා සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමටය. මේ සියල්ල අසාර්ථක වූ තත්ත්වයක පමණකි යුද්ධයක් ඇතිවීමේ තත්ත්වය මතුවිය හැකි වන්නේ.

මුස්ලිම් නොවන්නන් සමඟ කටයුතු කිරීමේ ඉස්ලාමිය ප‍්‍රතිපත්තිය පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති වගකීම හා බැදී ඇත.
”(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක්වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90).

”(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8).

ජිහාද් මාතෘකාව යටතේ ඒ හා බැඳුන කරුණු කෙරෙහි ද අවධානය යොමු කරන්නට සිදුවූයේ නිවැරදි අර්ථය ඉදිරිපත් කිරීමට එය වැදගත් යැයි සැළකූ හෙයිනි. 

Related Posts

  • ඔබගේද වගකීමයිJanuary 4, 2010 ඔබගේද වගකීමයි (0)
    ”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම […]
  • මනස පිවිතුරු කරන්නේ කෙසේද?June 3, 2017 මනස පිවිතුරු කරන්නේ කෙසේද? (0)
    1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු  ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම. මෙසේ […]
  • බුදු දහම, මිනිස් සිත සහ ඉස්ලාමය – ඕඩියෝ/වීඩියෝMay 5, 2009 බුදු දහම, මිනිස් සිත සහ ඉස්ලාමය – ඕඩියෝ/වීඩියෝ (0)
    ආගමික දෘෂ්ටි කෝනයෙන් මිනිසා යන මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 04-09-2009 ස්ථානය: හිරා තොරතුරු මධ්‍යස්ථානය - කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 27.56 […]
  • අල්-කුරානයේ යකඩ ගැන විශේෂයෙන් සඳහන් වන්නේ ඇයි? (Why Iron is specially mentioned in the Quran?)August 7, 2017 අල්-කුරානයේ යකඩ ගැන විශේෂයෙන් සඳහන් වන්නේ ඇයි? (Why Iron is specially mentioned in the Quran?) (0)
    යකඩ සෙසු ලෝහ මෙන්ම ලෝහයකි. එසේ නම් යකඩ ලෝහය ගැන කුරානයේ විශේෂයෙන් සඳහන් කිරීමට හේතුව කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. සෑම දෙයක්ම මවා ඇත්තේ දෙවියන් නම් යකඩ ලෝහය ගැන සඳහන් කිරීමේදී 'අප […]
  • ජිහාදය හා ත‍්‍රස්තවාදය-1- ඕඩියෝ/වීඩියෝFebruary 25, 2009 ජිහාදය හා ත‍්‍රස්තවාදය-1- ඕඩියෝ/වීඩියෝ (0)
    "ජිහාද්" යන පදය මුල් කොටගෙන අර්ථ විරහිතව ඉස්ලාමයට එරෙහිව කෙරෙන ප‍්‍රචාරයන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. මධ්‍යස්ථව මෙම කරුණු විග‍්‍රහ කරන්න. දිනය: 20-02-2009 ස්ථානය: මුම්බායි, […]
  • චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝDecember 8, 2011 චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝ (0)
    සෑම කි‍්‍රයාවකම මුල චේතනාවයි. චේතනාව පිවිතුරු නොවන ක‍්‍රියාවට කිසිදු පිළිගැනීමක් අල්ලාහ් ඉදිරියේ නැත. එබැවින් මෙම දේශණය ඔබේ ජීවිතයට ඉතා වැදගත් වනු ඇත. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ […]

October 24, 2011 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: ගවේෂණය, විවිධ

Leave a Reply