අප අතර සාමය ව්‍යාප්ත කරමු!

ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්. මෙම ස්වභාවිකවූ මගින් මිනිසා කෙතරම් ඈත්වෙයිද ඒ තරම් ඔහුගේ ජිවිතයෙන් සාමය, සෞභාග්‍යය ඈත්වෙයි. ඒකීය අල්ලාහ්ට අවනතව ජීවත් වීම තුළින් සිය ජීවිතයෙහි සියළු කි‍්‍රයා කලාපයන් සඳහා අල්ලාහ් ඉදිරියෙහි මා විනිශ්චයට ලක්වන දිනයක් සැබවින්ම ඇත යන විශ්වාසය තුළිනුත් උදාවන්නේ ජන ජීවිතයෙහි සාමයයි. ඉස්ලාමීය සියළු ඉගැන්වීම් තුළ මෙය හොඳින් දැකගත හැක. එකිනෙකා හමුවන විටද සාමය ප‍්‍රාර්ථනා කරන ලෙස ඉස්ලාම් මිනිසාට උගන්වයි. මෙය මිනිස් ඉතිහාසයේ මුල සිට පැවත ආ සිරිතක් බව ඉස්ලාම් අවධාරනය කරයි:

මුල් මිනිසා ආදම් (අලෙයිහි) තුමන් පටන් පැවත ආ සිරිතකි:

“අල්ලාහ් විසින් ආදම් (අලෙයිහි) මවා මෙසේ කීය. ඔබ ගොස් එහි වාඩි වී සිටින දූතවරුන්ට සලාම් සුභ පතන්න. ඔවුන් ඔබට පිරිනමන පැතුමට ද සවන් දෙන්න. ස්ථීර වශයෙන්ම එය ඔබටත් ඔබේ පරම්පරාවටත් අයිති පැතුමක් වන්නේය. ඒ අනූව ආදම් (අලෙයිහි) තුමා අස්සලාමු අලෙයිකුම් (ඔබ සැමට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා) යනුවෙන් පැවසීය. එවිට ඔවුහු (දූතවරුන්) අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පැවසූහ. ඔවුහු එයට පිළිතුරු දීමේදී වරහ්මතුල්ලාහ් යන පදය අධික කරගත්හ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්). 

විශ්වාසවන්තයින් මතු දිනයෙහි ද මෙම සුභ පැතීම මගිනුයි පිළිගනු ලබන්නේ:

“ඔවුන් අල්ලාහ් හමුවන දිනයෙහි ඔවුන්ට ලැබෙන සුභපැතුම ‘සලාමුන්’ (ඔබලාට ශාන්තිය හා සාමය උදාවේවා) යනුවෙනුයි. තවද ඔවුන් වෙනුවෙන් උසස් ප්‍රසාදයන් ද ඔහු සූදානම් කර ඇත”. (ශු අල්කුර්ආනය 33:44).

“කවුරැන් අල්ලාහ්ට බිය බැතිව ක්‍රියා කළේද ඔවුන් පිරිස් වශයෙන් ස්වර්ගය වෙත ගෙන එනු ලබයි. ඔවුන් එහි පැමිණීමත් සමග එහි දොරටුවන් විවෘත කරනු ලබයි. එහි ආරක්ෂකයින් ඔවුන් අමතා ඔබලාට සාමය උදාවේවා, ඔබලා භාග්‍යවන්තයින්, ඔබලා මෙහි පිවිසෙන්න, සදාතනිකව  මෙහි රැඳී සිටින්න” (ශු අල්කුර්ආනය 39: 73).

කෙනෙකු තවත් කෙනෙකුගේ නිවසට පිවිසීමට පෙර සලාම් පවසා ඔවුන්ගෙන් අවසර ගෙන ඇතුල් වීම ඔවුන් විවිධ අපහසුතාවයන්ට ලක්වීමෙන් වළක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය එම උසස් සාරධර්මය මෙසේ නියෝග කරයි:

“විශ්වාසවන්තයිනි! ඔබලාගේ නිවෙස්වලට හැර අන් අයගේ නිවෙස්වලට අවසර ලබාගෙන එහි සිටින අයට සලාම් කියනතෙක් ඔබලා ඇතුල් නොවන්න” (ශු අල්කුර්ආනය 24: 27).

“ඔබලා නිවෙස්වලට ඇතුල්වූවොත් අල්ලාහ්ගෙන් අභිවෘද්ධිය ලබාදෙන අගනා සුභපැතුමක් වශයෙන් ඔබලා එකිනෙකාට සලාම් පවසන්න” (ශු අල්කුර්ආනය 24: 61).

“ඉබ‍්‍රාහීම් (අලෙයි) තුමාගේ ගෞරවණීය අමුත්තන්ගේ පුවත ඔබ දන්නෙහිද? ඔවුහු වෙත පැමිණි විට සලාම් කීහ. ඔහුද සලාම් කීවේය”. (ශු අල්කුර්ආනය 51: 24,25).

කෙනෙකු සලාම් පවසා අපට සාමය ප‍්‍රාර්ථනා කරන විට එයට පිළිතුරු සලාම් පැවසීම අනිවාර්්‍ය කටයුත්තකි. ඒ වෙනුවට හිසෙන් සංඥා කිරීම හෝ නොසැළකිලිමත්ව සිටීමට කොහෙත්ම අවසර නැත.

“ඔබලා (සලාම් නැමති ආශිර්වාදයෙන්) සුභ පැතුම් ලැබුවේ නම් ඊට වඩා යහපත් අයුරින් සුභ පතන්න. එසේ නොමැති නම් එයට ඒ අයුරින්ම නැවත පිළිතුරු දෙන්න”  (ශු අල්කුර්ආනය 4: 86).

සලාම් සුභ පැතීමෙහි පවතින මහිමය:

” ඔබලා විශ්වාසවන්තයින් බවට පත්වන තෙක් ස්වර්ගයට නොපිවිසෙන්නේය, ඔබලා එකිනෙකා අතර සෙනෙහස පුදන තෙක් ඔබලා විශ්වාසවන්තයින් බවට පත්නොවන්නේය, ඔබලා සෙනෙහසින් බැඳ දමන උතුම් කි‍්‍රයාවක් පවසන්නද? එයයි ඔබලා අතර සලාම් සුභපතමින් සාමය ව්‍යපාත්ර කිරීමයි” යනුවෙන් නබි :සල් තුමන් පැවසූහ. (විසරතරකරන්නේ: අබූ හුරෙයිරා රලි තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).

කෙනෙකු තවත් කෙනෙකු හමුවන විට සාමය ප‍්‍රාර්ථනා කිරීම පිවිතුරු සිතින් අවංකව සිදුවිය යුතු උතුම් කි‍්‍රයාවකි. ඒ තුළින් සහෝදරත්වය ගොඩ නැගෙන බව ඉහත නබි වදනින් තහවුරු වෙයි.

“කෙනෙකු නබි (සල්) තුමන් වෙත පැමින ඉස්ලාම්හි උතුම් කි‍්‍රයාව කුමක්දැ?යි විමසා සිටියේය, එයට එතුමන් (දිළින්දන්ට) ආහාර පිළිගැන්වීමත්, ඔබ හඳුනන නොහඳුනන සියළු අයට සලාම් සුභ පැතීමත් වේ” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්න අම්රිබ්නු ආස් (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුත්තෆකුන් අලෙයිහි).

 “ඔබලා අතර සලාම් සුභ පතමින් සාමය ව්‍යාප්ත කරන්න, දුගීන්ට (දිළින්දන්ට) ආහාර පිරිනමන්න, මිනිසුන් සුව නින්දෙන් පසුවන රාත්‍රි කාලයෙහි නැගිට සලාතය කරන්න ඔබලාට පහසුවෙන් ස්වර්ගයට පිවිසිය හැක”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි).

නබි (සල්) තුමන් අපට කරුණු හතක් නියෝග කළහ: “රෝගියාගේ සුව දුක් විමසීම, දේහයක් පිටුපසින් ගමන් කිරීම, කිඹුහුම් ගිය තැනැත්තාට (ඔහු අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් අල්ලාහ් ප‍්‍රශංසා කළ විට ඔබට අල්ලාහ්ගේ දයාව හිමිවේවා (යර්හමුකල්ලාහ්) යනුවෙන්) පිළිතුරු දීම, දිළින්දන්ට උදව් කිරීම, අසාධාරණයට ලක්වූ තැනැත්තටා පිහිට වීම, සලාමය (සාමය) ව්‍යාප්ත කිරීම, ගිවිස ගත් කෙනෙකු සමග යහපත් ලෙස කටයුතු කිරීම”. (අල් බරාඃ බින් ආසිබ් (රලි) තුමන් විස්තර කරයි, මූලාශ‍්‍රයන්: බුහාරි මුස්ලිම්).

සලාම් පැවසීම පිළිබඳව පවතින උසස් සාරධර්ම තවත් ලිපියකින් ඉදිරියේදී සාකජ්චා කෙරේ

Leave a Reply

Your email address will not be published.