මරණින් මතු ජීවිතය පිළිබඳ විමසුමක්!

මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුළ ජනිත වන්නේ ‘පුනරුත්පත්තිය’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු.

පහත සඳහන් කොටස උපුටා ගත්තේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි විසින් සම්පාදනය කොට ප්‍රකාශිත ‘බුදු දහමේ පැන විසඳුම් – දෙවන කොටස’ යන ග්‍රන්ථයෙනි.

ප්‍රශ්නය: පුනර්භවය, පුනරුත්පත්තිය යනු එකම අර්ථයක් දීම සඳහා යෙදෙන වචන දෙකක්ද?

පිළිතුර: අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ පුනර්භව යන වචනය මිස පුනරුත්පත්ති යන වචනය යෙදී නැති බවයි මගේ වැටහීම. පුනරුත්පත්ති යන වචනය නැවත ඉපදීම යන අදහස දෙයි. පසුකාලීනව ලියවී ඇති ඇතැම් පොත් වල පුනරුත්පත්ති යන වචනය  සමහර විට තිබිය හැකිය. විශේෂයෙන් හින්දු ආත්මවාදී ආගම් වල භවයෙන් භවයට යන වෙනස් නොවන ආත්ම භාවය පිළිබඳව කියවෙයි. එම ආගමේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විනාශ කළ නොහැකි සදාකාලික ආත්මයක් ඇති බවත්, එක් ගෙයක් අත හැර තවත් ගෙයකට රිංගන්නා සේ මරණින් පසු එම ආත්මය තවත්  ආත්මයකට රිංගා සිටිමින් මේ ක්‍රමයෙන් ආත්ම මෝක්ෂය දක්වාම ආත්මය දිගින් දිගටම ගමන් කරන බව කියවේ.

බුද්ධ දේශනාවේ එබඳු ආත්මයක් ගැන සඳහන් නොවේ. සත්වයා යනු මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින නාම රුප පුඤ්ජයක් බවත්, එහි කිසිදු ආත්ම සාරයක් නැති බවත් දැක්වේ. “පුනබ්භව” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ නැවත වීමයි නොහොත් හට ගැනීමයි. ඒ අනුව මේ වර්තමාන භවයෙන් කිසිදු භෞතිකයක් හෝ වෙනත් ශක්තියක් දෙවන භවය කරා නොයයි. එහෙත් කරන ලද කර්ම වලට අනුරුප විපාක ශක්තියෙන් පුනර්භවයක් ලබා දෙයි. කර්ම වේගය අනුව හට ගන්නා හේතු ඵල පරම්පරාවකි පවතිනුයේ.” (44-45 වැනි පිටු).

ඉහත පැහැදිලි කිරීම අනුව බෞද්ධ මෙන්ම හින්දු දහමේ මරණින් පසු නැවත ඉපදීමේ සංකල්පයන්හි මුලික අදහස් විග්‍රහ කොට ඇත. ඉස්ලාමීය සංකල්පය මෙයට වඩා බෙහෙවින් වෙනස් වුවකි. මරණින් මතු ජීවිතය සැබැවින්ම පාරභෞතික  එනම් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්පයකි. එහෙයින් ඒ  පිළිබඳව මිනිසාට දැනුමක් ලබා ගත හැකි වන්නේ ආගමික මුලාශ්‍රයන්ගෙන් හා මිනිසාගේ ස්වභාවික විචාර බුද්ධිය උපයෝගී කර ගැනීමෙනි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිනිසාට මිහිතලය මත ඇත්තේ එක් වරක් පමණක් ජීවත් වීමට ඇති අවස්ථාවක් පමණි. මෙම ජීවිතය ඔහුට මරණින් මතු ලැබෙන්නට ඇති තත්වය පිළිබඳ පරීක්ෂණයක් බව ද විග්‍රහ වෙයි. මිනිසාට තෝරා ගැනීමේ නිදහස, විචාර බුද්ධිය, සදාචාරය, හොඳ නරක පිළිබඳ හැඟීම, මෙන්ම විශ්වයේ  නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ඇති හැඟීම ඔහුට ජන්මයෙන්ම ලබාදී තිබේ. මෙහිදී විශ්වයේ නිර්මාතෘ හා පාලක යෙකු සිටින බවට ජන්මයෙන් ලබාදී ඇති හැඟීම පිලිබඳ මතය ඇතැම් අයගේ විවේචනයට ලක් විය හැකි අදහසකි. එය තවත් ලිපියකින් සවිස්තරව සාකච්ඡා කරන්නට අදහස් කරන හෙයින් ඒ පිළිබඳව ඇති තොරතුරු මෙම ලිපියට ඇතුලත් නොකිරීමට තීරණය කළෙමු.

“සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතු වන්නේය. යහ හා අයහ ක්‍රියාවන් කළ හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්ෂා කරන්නෙමු.” (අල් කුර්ආන් 21 : 35).

“නුඹලාගෙන් කවුරුන් ක්‍රියාවෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨද යන්න පරීක්ෂා කිරීම පිණිස ජීවිතය ද මරණය ද නිර්මාණය කර ඇත්තෙමු. ඔහු (අල්ලාහ්) අති බලසම්පන්න වන අතර අති ක්‍ෂමාශීලීය.” (අල් කුර්ආන් 67 : 2) .

“නුඹලා කෙසේ නම් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නෙහුද? නුඹලා අජීවීව සිටි කල්හි ඔහු නුඹලාට ජීවය ලබා දුන්නේය. පසුව නුඹලාට මරණය පමුණුවා නැවතත් (මතු ලොව) නුඹලාට ජීවය ලබා දෙන්නේය. පසුව නුඹලා ඔහු වෙතම යළි පමුණුවනු ලබන්නේහුය” (අල් කුර්ආන් 2 : 28).

ඉහත අල් කුර්ආන් වැකි වලින් මිනිසාගේ මෙලොව ජීවිතයේ හරය මෙන්ම ඔහු නියත වශයෙන්ම මිහිතලය මත කළ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන මරණින් මතු විනිශ්චය දිනයක පෙනී සිටිය යුතු බව සහතික කරයි. ඔහුට යහකම් කරන්නට ඇත්තේ මෙම ජීවිතය පමණක් බව ඉස්ලාමය උගන්වන හෙයින් මිනිසා තම සිතේ මතු වන ආශාවන් හා  තෘෂ්ණාවන් හි වහලෙකු බවට පත් නොවී මෙම පහත් හැඟීම ඔහුගේ පාලනයට ගෙනැවිත් බිය භක්තියෙන් යුත් ජීවිතයක් ගොඩ නගා ගන්නට ඔහු නිරන්තරයෙන් උත්සුක වන්නට මෙම සංකල්පය බෙහෙවින් ඉවහල් වන්නේය. මරණින් මතු ජීවිතයක අවශ්‍යතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි. පළමුව මරණින් මතු ජීවිතයක අවශ්‍යතාව පිළිබඳව සලකා බලමු..

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිළි ගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආශා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නා වු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයත්නයක මිනිසාට නියැළෙන්නට සිදු වේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨානශිලි ප්‍රයත්නය සඳහා යහ විපාක ප්‍රදානය කිරිමක් මිනිසාට සිදු විය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රදානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රදානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැළෙමින් තම හැඟීම් වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේ දි නිසි පරිදි සිදුවන්නක් නොවේ. ඇතැම් දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නීති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සඳහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොලඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබා දෙන තැනක් අනිවාර්යයෙන්ම තිබිය  යුතුය. මෙය නිසි ලෙස මිහිතලය මත වු ජිවිතයේදි  සිදු නොවන නිසා මරණින් මතු ජිවිතයේ දි පරම සාධාරණීය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රදානය කිරිමක් පිළිබඳව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදු වෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදු වන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසු පස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

“(නබිවරය) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිදුන් වශයෙන් කව්රුන් පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද  නැතහොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් ලෙස සිටින්නන්ය”. (අල් කුර්ආන් 25 වන  පරිච්ඡේදය 43/44 වාක්‍යයන්) .

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නා වු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියලු ක්‍රියාවන් සදහා විපාක  විඳින්නට සිදු වන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳව විශ්වාසයක් නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වයි.

අනිත් අතින් අපරාධ හා දඬුවම පිළිබදව නිති රිති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයකට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබා දෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවක් තිබිය නොහැක. එයද සිදු විය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදුවේ. මෙම දඬුවම් දීම සදහා සියලුම දහම් අපායක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත්වෙයි. එයට අමතරව මිනිසාගේ මෙලොව ක්‍රියාකාරකම් නිසි ලෙස සටහන් කොට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ සර්ව බලධාරී, පරම යුක්ති සහගත, සර්වඥ, අති උත්තරීතර බලයක් පිළිබඳ විස්වාශයක් හෝ මෙය ක්‍රියාත්මක කරවන මිනිසාගේ විචාරයට පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ඉදිරිපත් නොකරයි. අන් දහම් වල මෙම සර්ව ක්‍රියාවලිය පිළිබඳව ඇත්තේ ව්‍යාකුලත්වයකි.

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කර ගෙන කරන්නා වු ඉදිරිපත් කිරිමකි. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකට ද ඉස්ලාමිය මරණින් මතු ජිවිතය පිළිබඳව වු සංකල්පය දිරිගැන්විමක් කරයි. පළමුව මරණින් පසු ජිවිතයක් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කළ ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදු වන්නේ ඔබටමය යන අදහස අල්කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු. මහේ මෙලොව කුසල් හා අකුසල් දරන්නේ වෙන පුද්ගලයෙකු නොව නියත වශයෙන්ම මා පමණක් බව මෙම ඉගැන්වීම සහතික කරයි.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක් රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නේද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙර තිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75 පරිච්ඡේදය 2 – 4 වාක්‍යයන්).

මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක් එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත් වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ගැටලුව මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිළිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමු වරට සොයා ගනු ලැබුවේ 1880 දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේ නම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේද යන්න සිතා බැලිය යුතු නොවන්නේද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම්පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථ කරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි. මෙම ප්‍රාතිහාර්යජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනෙක් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මිය ගිය මිනිසාම  බව සහතික කරන පණිවිඩයක් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ් වි තිබෙනවා නොවේද? එසේ නම් මිහිතලය මත වු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?

අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් ‍නොපවසන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අලුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (ශුද්ධවූ අල්කුර්ආනය 4 : 56).

ඉහත අල් කුර්ආන් වැකිය දන්වන්නේ පිළිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  (ANATOMY) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් ඒවා සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ශරීර ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන්ට (Prof. Tagatat Tejesen) මෙම කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන් වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැන ගත් විට මවිතයෙනුත් මවිතයට පත් විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනිමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි විමසුවේය. කුර්ආනයේ ‍ඓතිහාසික කරුණු පැහැදිලි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබා ගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ අල් කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත් වනු ලැබු අටවැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැළඳ ගත්තේය. උපතින් බෞද්ධයෙකු වු  ඔහු ඉස්ලාමය වැළඳ ගනිමින්  ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිළිගැනිමට  මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේදි කළ කථාව අදත් YouTube.com වෙබ් අඩවියෙන් ඔබට දැක අසා ගන්නට හැකියාව තිබේ. අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාට පමණක් වු සුවිශේෂ වු විචාර බුද්ධිය උපයෝගි කර ගෙන මිනිසාගේ මිහිතලය මත  ඇති ජීවිත අරමුණ පිළිබඳව කරුණු තර්කයට, නුතන විද්‍යාවට, බුද්ධියට හා විචාරයට පිළි ගත හැකි අයුරින් ඔබට ඉදිරිපත් කිරිමය. මිනිසාගේ මෙලොව අරමුණු නිසියාකාරව ඉටු කිරීමෙන් මරණින් මතු ජිවිතය ජය ලබා ගත හැකි මාර්ගය පිළිබඳව සාකච්ඡා කළෙමු.

ඉස්ලාමීය මරණින් මතු ජීවිතය පිළිබඳව ඇති අදහස් ඔබට මෙලෙස ඉදිරිපත් කළේ නියත වශයෙන්ම මරණය අප සැවොම හමුවන්නට බලා සිටින හෙයින්, මරණින් මතු ජීවිතයේ පරාජිතයෙකු නොවී ජය ලබා ගන්නට හැකි මාවත පිළිබඳව ඔබත් මමත් ඇතුළු සැවොම වහ වහා කටයුතු කළ යුතු මොහොත අප ඉදිරියේ විවෘත වී ඇති හෙයිනි. සිතමු, නිවැරිදිව සිතමු, යහමගට පිවිසෙමු, මෙලොව හා මරණින් මතු ජීවිතයේ ජය ගැනීමට සෑම මොහොතකම පසුබට නොවී ක්‍රියා කරමු. මිනිසාට ලැබී ඇති මෙම එකම අවස්ථාව අපගෙන් ගිලිහී ගොස් අවාසනාවන්ත තත්වයකට පත් වී පසුතැවිලි වන්නන් බවට පත් නොවී ජය මාවතට පිවිසෙමු.

Leave a Reply

Your email address will not be published.