රජබ් මාසය!

අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ කරුණු කිහිපයක් දැනගනිමු.

  • අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. බලන්න ශුද්ධවූ අල්කුර්ආනයෙහි (අත්තව්බා 9: 36).
  • ශුද්ධවූ මාසයන් හතර නම්ඃ දුල්කඃදා (චන්ද්‍ර මාස අනූව 11 වැනි මාසය), දුල්හජ් (12 වැනි මාසය), මුහර්ම් (1 වැනි මාසය), රජබ් (7 වැනි මාසය) මෙයට සාධකවූ නබි වදන බලන්න: (මූලාශ්‍රයඃ බුහාරි 3197, විස්තර කරන්නේඃ අබූබක්රා (රලි) තුමන්).

  • ශුද්ධවූ මාසයන් යනුවෙන් අදහස් කරන්නේ යුධ වැදීමට තහනම් මාසවේ. ප්‍රතිවාදීන් විසින් සටන් දියත් කරනු ලබන විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අවසර පවති.
  • නබි (සල්) තුමන් රජබ් මාසය පිළිබඳ ප්‍රකාශ කරන විට එය “ජුමාද හා ෂඃබාන්” අතර පවතින මුලර් ගෝත්‍රයට අයත් රජබ් යනුවෙන් ප්‍රකාශ කළහ. මන්ද ඉස්ලාමයට පෙර අඥාන සමයෙහි අනිකුත් ගෝත්‍රයන් රජබ් යනුවෙන් වෙනත් මාසයක් සැළකූහ. රබීආ ගෝත්‍රය රමළාන් මස රජබ් යනුවෙන් සැළකූහ. ඔවුන්ට අවශ්‍ය වන පරිදි යුධ වැදීමට තහනම් මාස ඔවුන් වෙනස් කරගත්හ. මොවුන්ගේ මෙම අනූවන ක්‍රියාව පිළිබ‍ඳව ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: “නියත වශයෙන්ම අන්-නසීඋ (ශුද්ධවූ මාස කල් දැමීම) ප‍්‍රතික්‍ෂේප භාවයේ වර්ධනය(අවස්ථාව)කි. එමගින් ප‍්‍රතික්‍ෂේප කරන්නන් නොමඟට යොමු කරනු ලැබේ. අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළා වූ (මාසවල) ගණන හිලව් කරනු පිණිස එක් අවුරුද්දක (කිසියම්) මාසයක් යුද්ධ කිරීමට ඔවුන් අනුමත කරගන්නා අතර (තවත්) අවුරුද්දක (එම මාසයම යුද්ධ කිරීමට) ඔවුන් තහනම් කරගනිති. එබැවින් ඔවුන් අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළාවූ මාස අනුමත කරගනිති.  ඔවුන්ගේ නරක ක‍්‍රියාවන් ඔවුනට අලංකාර කරන ලදී. ප‍්‍රතික්‍ෂේප කරන ජනතාව අල්ලාහ් යහමඟට යොමු නොකරවයි”.  (අත්තව්බා 9: 37).
  • “ෆරඅ හා අතීරත්” නොමැති බව නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. “ෆරඅ” යනු ඔටුවට ලැබෙන මුල් පැටියාව ඔවුන්ගේ මිථ්‍යා දෙවිවරැන්ට බාර කිරීම, “අතීරත්” යනු රජබ් මාසයෙහි එළුවෙකු (ඔවුන්ගේ මිථයා දෙවිවරැන් වෙනුවෙන්) කැප කිරීම” (විස්තර කරන්නේ :අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍ර: බුහාරි 5473, මුස්ලිම් 5231). මෙවැනි ක්‍රියාවන් තහනම් බව මෙම නබි වදනෙන් පැහැදිළි වෙයි.
  • රජබ් ශුද්ධවූ මාසයක් යනුවෙන් සළකා එම මාසයෙහි සුවිශේෂී යාඥාවන් කිරීමට කිසිදු සාධයක් නොමැත. විශේෂ සලාතයන් හෝ විශේෂ උපවාසයන් හෝ විශේෂ උම්රා යාඥාවන් හෝ වෙනත් කුමන යාඥාවක් විය හැක. අබූ බක්කර් (රලි) තුමන්, උමර් (රලි) තුමන් රජබ් මාසයෙහි සුවිශේෂිව උපවාසයන් කිරීම වැළැක්වූහ. මන්ද නබි (සල්) තුමන්ගෙන් එයට කිසිදු ආදර්ශයක් නොලැබිනි.
  • නබි (සල්) තුමන්ගේ ජීවිතයෙහි සිදුවූ ඉමහත් ප්‍රාතිහාර්යයක් වන ඉස්රා, මිඃරාජ් ගමන සිදුවූයේ රජබ් මස 27 වැනි දින යනුවෙන් පවසා එම දිනයෙහි දානයන් දීම, උපවාසයෙන් පසුවීම, වෙනත් විශේෂ යාඥාවන්හි නියැලීම පැහැදිළ නොගමග යන ක්‍රියාවන් වේ. මෙවැනි අඥාන ක්‍රියාවන්ට කිසිදු සාධයක් නබි (සල්) තුමන්ගේ ජීවිතයෙහි නොමැත.
  • ඉස්රා, මිඃරාජ් ගමන නබි (සල්) තුමන්ගේ මක්කා යුගයෙහි කුමන වසරෙහි සිදුවූයේද යන්නට නිශ්චිත සාධකයක් නොමැත. විද්වතුන් අතර එය සිදුවූ වසර පිළබඳම විවිධ මත පවති. එ් මත අතුරින් බොහෝ දුරට පිළගත් මතය වන්නේ නබි (සල්) තුමන්ගේ තායිෆ් ගමනින් පසු මදීනාව බලා හිජ්රත් යෑමට වසරකට, වසරක එකහාමාරකට පෙර යන්නයි. ඉස්රා, මිඃරාජ් ගමනින් පසු නබි (සල්) තුමන් මදීනාවට ගොස් වසර දහයක් කාලයක් ජීවත්වූහ. කිසිම අවස්ථාවක එතුමන් මිඃරාජ් දිනය සුවිශේෂත්වයට ලක්කරමින් යාඥාවන්හි නියැලුනු බව කිසිදු සාධකයක් නොමැත. එතුමන්ගේ ආදර්ශයක් නොවූ කිසිවක් ඉස්ලාම් නොවන්නේය. එතුමන්ගේ මිතුරන්ගෙහි ජීවිතයේද මෙයට කිසිදු සාධකයක් නොමැත. සැම විටම යහපතෙහි ඉදිරියෙන් සිට අපට ආදර්ශයක් වූ නබි (සල්) තුමන්ගේ මිතුරන් මෙයට ආදර්ශයක් ලබා නොදුන්නේ නම් මෙය කොහෙත්ම ඉස්ලාම් නොවන බව මොනවට පැහැදිළ වෙයි. ඉතා පසුකාලීනව ආගමෙහි නාමයෙන් ඇති කරන ලද මෙවැනි නූතන නොමග යවන ක්‍රියාවන්ගෙන් අපි ඉතා විමසිලිමත් විය යුතුය.
  • රජබ් මාසය පදනම් කරගනිමින් නබි (සල්) තුමන්ගේ නාමයෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ගොතා ඇත. එයින් අපි ඉතා විමිසිලිමත් විය යුතුයි. එය අපි තවත් ලිපියකින් සාක්ච්ඡා කරමු.

 

  • www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.