දෙමාපියන් හට කළයුතු යුතුකම්

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්

අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කරනු ලැබුවේ ඔහුට පමණක් වන්දනාමානය කිරීම සඳහාය. අල්ලාහ් විසින් පහළ කළාවූ අවසාන දේව ග්‍රන්ථය වන අල් කුර්ආන් හා අවසාන දේවදූත මුහම්මද් (සල්) තුමා මඟින් මිනිසාට අවශ්‍ය සියළු යහපත් හා අයහපත් ක්‍රියා මනාව පැහැදිළිව පෙන්වා දී ඇත. ඉන් ඉතා අවශ්‍ය දේවල් අතරින් දෙමාපියන් හට කළයුතු යුතුකම් ප්‍රධාන තැනක් ගනී. මේ පිළිබඳ අල්ලාහ් විසින් අල් කුර්ආනයේ නොයෙක් ස්ථානයන්හි තදින් නියෝග කරයි.

“තම දෙමාපියන්ට උපකාර කරන ලෙස අප මිනිසාට දැනුම් දුනිමු.” අල් කුර්ආන් 29:8.

“ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම හෝ වයස්ගත වී ඔබෙන් යැපෙන්නේ වී නම් ඔවුන් පිළිකුල් සිතෙන අයුරින් චී යනුවෙන් නොකියනු.” අල් කුර්ආන්17:23. යන වැකිවලින් හා තවත් වැකි ගණනාවකින් මේ පිලිබඳ දන්වා සිටී.

දෙමාපියන් විසින් තම දරුවන් වෙනුවෙන් විශාල කැපවීම් කරනු ලබති. මේ නිසා ඉස්ලාම්හි විශේෂ තැනක් ඔවුන් දෙදෙනාට ලබා දී තිබේ.

“මහළු වියට පත් තම දෙමාපියන් දෙදෙනාම හෝ එක්කෙනෙකු සිටියදීත් (ඔවුනට සේවය නොකළ හේතුවෙන්) ස්වර්ගයට ඇතුළු නොවූ මිනිසා විනාශ වේවා! විනාශ වේවා! විනාශ වේවා! යයි තුන් වරක් නබි මුහම්මද් (සල්) තුමා පැවසූ හදීසයක් මුස්ලිම් ග්‍රන්ථයේ මනාව පෙන්නුම් කරයි.

මේ නිසා දරුවන් තම දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් විශාල කැපවීමක් කළයුතු වේ. ඔවුන් වයසට පත්වූ විට ඉතා ආදරයෙන් හා කරුණාවෙන් ඔවුන්ගේ අහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හා ජිවිතයේ නොයෙක් අවස්ථාවලදී තම දෙමාපියන් වෙනුවෙන් කාලය වැය කළයුතු වේ. ඔවුන් ලෙඩ වූ විට හා ඔවුන්ගේ සිහිබුද්ධිය හීන වූ විට ඉතාමත් ඉවසීමෙන් හා කරුණාවෙන් ඔවුන් රැකබලා ගත යුතුය. ඔවුන් සමඟ විනීතව හැසිරිය යුතුය.

වරක් නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පැවසූහ: “පාපයන් අතර මහත් පාපය කුමක් බව මා නුඹලාට දැනුම් දෙන්නෙහිද? යනුවෙන් නබිතුමා විමසූ කල එතුමාගේ අනුගාමිකයින් දැනුම් දෙන්න යනුවෙන් කීහ. එවිට එතුමා අල්ලාහ්ට සම කිරීම, දෙමාපියන්ට හිංසා පීඩා කිරීම යනුවෙන් පැවසුහ.” (බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථය)

“මිනිසෙකු අල්ලාහ්ගේ දුතයාණන් ඉදිරියට පැමිණ (අල්ලාහ්ගේ දුතයාණෙනි) අල්ලාහ්ගෙන් යහපත් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් හිජ්රත් යාමටත් ජිහාද් කිරීමටත් ඔබතුමා ඉදිරියේ මා ප්‍රතිඥා දෙමි යයි කීහ. එවිට අල්ලාහ්ගේ දුතයානෝ ඔබේ දෙමාපියන්ගෙන් කවරෙකු හෝ ජිවතුන් අතර සිටී දැයි ඇසුහ. ඔව්, දෙදෙනාම සිටී පිළිතුරු දුන්නාය. ඒ අවස්ථාවේදී නබිතුමා ඔබ අල්ලාහ්ගෙන් හොඳ ප්‍රතිලාභ බලාපොරොත්තු වන්නේ දැයි නැවත ඇසුහ. (එවිටද) ඔව්, යැයි පිළිතුරු දුන්නාය. එවිට අල්ලාහ්ගේ දුතයානෝ එසේ නම්, ඔබ ආපසු ඔබේ දෙමාපියන් ලඟට ගොස් ඔවුන් සමග ඉතා ආදරයෙන් කටයුතු කරන්න” යයි මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වන මෙවැනි නබි වදන් ගණනාවකින් අපට පැහැදිළිව දෙමාපියන්ගේ වටිනාකම හා ඔවුන් වෙනුවෙන් කළයුතු ඇප උපස්ථාන මනාව පැහැදිළි කර ඇත.

මින් මව කෙරෙහි ඉතා සුවිශේෂී වූ ස්ථානයක් ලබා දී ඇත. ඇය තම දරුවෙක් හදාවඩා ගන්නා ආකාරය නම් කෙතරම් අපූරුද? තම කුසතුල දසමසක් තම දරුගැබ ඉතාමත් වේදනා විඳදරා ඉතා ආදරයෙන් හා ආශාවෙන් බලාපොරොත්තුවෙන් හා කැපවීමෙන් නොදුටු තම දරුවා ගැන සිහින දැක එම දරුවා මෙළොවට බිහිකරන්නාවූ වේදනාත්මක අවස්ථාව ඇයට කෙතරම් ප්‍රියජනකද? සියළු දුක් විද කුසතුල උපන් නොදුටු තම දරුවා මෙළොවට බිහිකර ඇය කෙතරම් සතුටු වනවාද? එපමණක්ද නොව ඉන් අවුරුදු දෙකක් පුරා තම දරුවා වෙනුවෙන් ඇයගේ ළයේ කිරි වැරීම හේතුවෙන් තම දරුවා පෝෂණය කරන්නාවූ අවස්ථාව කෙතරම් ප්‍රිය ජනකද? දරුවකුගේ නොයෙක් වැඩ කටයුතු ඉතා ආදරයෙන් හා කැපවීමෙන් කරන්නාවූ එකම තැනැත්තිය නම්, ඒ අම්මාය. අල්ලාහ් මෙසේ පවසයි.

“මිනිසාට ඔහුගේ දෙමාපියන් (රැකගන්නා ලෙස) අපි අවවාද කර ඇත්තෙමු. ඔහුගේ මව පියවරෙන් පියවර දුක්වේදනා විදිමින් ඔහුව (කුසේ) උසුලාගෙන සිටියාය. අවුරුදු දෙකක කාලයක් ඔහුට මව් කිරි පෙව්වේය. මටත් ඔබේ දෙමාපියන්ටත් ස්තුති කරන්න. (කළගුණ සලකන්න).” අල් කුර්ආන් ලුක්මාන්:14.

මෙසේ තම දරුවා කුස තුල සිට මෙළොව එළිය දකිනා තුරු හා ඉන්පසු ඔහු ලොකු වී හොඳ නරක මනා ලෙස වටහා ගන්නා තුරු දෙමාපියන් කෙතරම් දුක් විදින්නේද? විශේෂයෙන්ම මවක් ඉතාමත් ලෙස තම දරුවා වෙනුවෙන් දුක් විදී.

අබූ බක්ර් රලියල්ලාහු අන්හු තුමාගේ දියණිය වන අස්මා රලියල්ලාහු අන්හා තුමිය වාර්තා කරන්නේය. “අල්ලාහ්ගේ දුතයාණන් (හුදෙයිබා ගිවිසුම) ලියූ වකවානුවේ මගේ මව මාව බලන්නට (මදිනාවට) පැමිණියා. ඒ අවස්ථාවේ ඇය (දෙවියන්ට) සමකරන්නියක්ව සිටියේය. මම වහාම අල්ලාහ්ගේ දුතයාණන් (සල්) තුමා හමු වී, මගේ මව මාව දැක බලා ගැනීමට ආශාවෙන් ඇවිත් සිටින්නේය. ඇයව ලං කරගත හැකි දැයි යන්න පිලිබඳ ආගමික නීතිරීති කුමක් දැයි අසා සිටියෙමි. එවිට එතුමා, ඔව්, ඔබේ මව ලං කර ගන්න.”යයි බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් තවත් නබි වදනකි.

“කෙනෙකු නබි (සල්) තුමාගෙන්, නබිතුමනි මා ඉතාමත් යටහත්ව කීකරුව සිටිය යුතු වුවද එමෙන්ම අන් අයට වඩා වැදගත් වන්නා වූද පුද්ගලයා කවුරුන්දැයි? විමසූ කළ නබි (සල්) තුමා ඔබේ මව යැයි පිළිතුරු දුන්හ. ඊ ළඟට කවුරුන්දැයි? ඔහු ප්‍රශ්ණ කළේය. එවිටත් ඔබේ මව යැයි නබි (සල්) තුමා පිළිතුරු දුන්හ. ඊළඟට කවුරුන්දැයි ඔහු නැවතත් විමසූ කළ, ඔබේ මව යැයි පිළිතුරු දුන්හ. සිව් වැනි වතාවටත් ඊළඟ කෙනා කවුරුන් දැයි විමසූ කළ පියා යැයි කීහ.”

“ඔබේ මවට පිහිටවන්න ඇයගේ පාමුල ස්වර්ගය ඇත” යනුවෙන් නබි (සල්) තුමන් ජාහිමා (රලි)ට උපදෙස් කළහ. (මූලාශ්‍රය: නසායි).

දරුවන් තම මව සේම තම පියා සමඟද ඉතා ආදරයෙන් තැන්පත් හා කරුණාවෙන් කටයුතු කළ යුතුය. වරෙක නබි (සල්) තුමා මෙසේ පවසා ඇත.

“දෙවියන්න්ගේ සතුට පියාගේ තෘප්තියේ හි රැදී ඇත. එසේම, දෙවියන්න්ගේ කෝපය පියාගේ පිළිකුලෙහි රැදී ඇත.” (මූලාශ්‍රය: තිර්මිදි).

“ඔබ ඔබේ පියාගේ නම සඳහන් කර අමතන්න එපා. ඔහුට ඉදිරියෙන් ගමන් කරණු එපා. එසේම ඔහු අසුන් ගැනීමට පෙර ඔබ අසුන් ගන්න එපා.” මෙවැනි උසස් සාරධර්ම ඉස්ලාම්හි පෙන්වා දී ඇත.

මෙලෙස නොයෙක් අවස්ථාවල අපට දෙමාපියන්ගේ ගුණ පෙන්වාදී ඉස්ලාම් දහමින් දරුවන් විසින් ඔවුන් සමඟ කෙසේ කටයුතු කළයුතු ද යන්න අල් කුර්ආන් හා අල් හදිස් මගින් වරින් වර පෙන්වා දී ඇත. මෙසේ කරන්නාවූ දරුවන්ට මෙළොව හා පරළොව ජය ලබා ගැනීමට ඒකාන්තයෙන්ම පුළුවන් වනු ඇත. කෙටියෙන් පවසනවානම් තමාට හා තම බිරිඳට හෝ තමාගේ දරුවන් හට මුල්තැන දීමට වඩා දෙමාපියන්ට මුල්තැන දීම ඉස්ලාම්හි පෙන්වා දී තිබේ.

ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුවේ. අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසා තිබේ.

“දෙවියනි අපේ දෙමාපියන් හට කරුණා දයාව දැක්වුව මැනව. ඔවුහු අප වෙනුවෙන් නොයෙක් දුක් ගැහැට වින්දෝය. නොයෙක් අයුරින් ත්‍යාගශීලිවන්ත වූහ. කරුණාවෙන් ආදරයෙන් අපව හදා වඩා ගත්හ. ඔබත් ඔබේ දයාව ඔවුන් හට දක්වනු මැනවි.” අල් කුර්ආන් 17:24.

දෙමාපියන් විසින් ඉස්ලාම් දහමට විරුද්ධව යම් ක්‍රියාවක් කිරීමට තම දරුවන්න්ගෙන් ඉල්ලා සිටින්නේ නම් අල්ලාහ්ට ආදේශ කිරීමට ඉල්ලා සිටින්නේ නම් හෝ එය කෙසේවත් ඉටු නොකළ යුතුබව අල්ලාහ් අල් කුර්ආනය මගින් දන්වා සිටි.

“තම දෙමාපියන්ට උපකාර කරන ලෙසට අපි මිනිසාට උපදෙස් දුනිමු. නුඹට දැනුමක් නැති දෙයක් මගින්, මට සම කරන ලෙසට එම දෙදෙනාම නුඹට බල කළේ නම් නුඹ ඒ දෙදෙනාට අවනත නොවන්න. නුඹලාගේ ආපසු ඒම මා හමුවටම ඇත. එකළ මම නුඹලා කරමින් සිටි දෙය ගැන නුඹලාට දැනුම් දෙන්නෙමි.” අල් කුර්ආන් 29:8.

මෙලෙස දෙමාපියන් හට කළයුතු යුතුකම් පිලිබඳ අල කුර්ආන් හා අල් හදිස් මගින් පෙන්වා දී ඇත. අල්ලාහ් විසින් දෙමාපියන් හට ලබා දී ඇති ස්ථානය කෙතරම් අගනේද? අවසාන වශයෙන් අප දේවදුත මුහම්මද් (සල්) තුමාට අල්ලාහ්ගේ ආශීර්වාදය හිමි වේවා!! සියළු ප්‍රශංසා අල්ලාහ් ට හිමිවේ.

Leave a Reply

Your email address will not be published.