ඔබේ පැනයට පිළිතුරු – සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීම පිළිබඳවූ නීතිය?

පැනය: දෝවනය කරන කෙනෙකු සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීම පිළිබඳවූ නීතිය කුමක්ද?

පිළිතුර: දෝවනය කරන කෙනෙකු තමන්ගේ දෙපා සේදීම වෙනුවට තමන් පැළඳ සිටින සපත්තු මත හෝ පා මේස් මත පිරිමැදීමට අවසර පවති. පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ඔහු පළඳින විට ඔහුට එම අවසරය පවති.

1- ඔහු දෝවනය කිරීමෙන් පසුව එය පැළඳිය යුතුය. මෙයට සාධක වශයෙන්: මුයීරතිබ්නු ෂුඃබා (රලි) තුමන් විස්තර කරන පුවතක් බුහාරි, මුස්ලිම් වැනි මූලාශ්‍රයන්හි සඳහන්වෙයි. වරක් මා නබි (සල්) තුමන් සමග ගමනක සිටියෙමි, එතුමන්ට දෝවනය සඳහා අවශ්‍යය කරන ජලය ලබා දෙමින් එතුමන් පැළඳ සිටී සපත්තු ගැලවීම සඳහා මා නැමුනු විට එය එසේම අත්හරින්න (ගලවන්නට අවශ්‍ය නැත) මා එය පිරිසිදුව (දෝවනය කරමිනුයි) පැළඳ ගත්තේ යනුවෙන් පවසා ඒ මත පිරිමැද්දේය.

නබි (සල්) තුමන්ගේ මිතුරෙකු වන ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රලි) තුමන් වරක් මුත්‍රා පහකර, අනතුරුව දෝවනය කර තමන් පැළඳ සිටී සපත්තු මත පිරිමැද්දේය පසුව සලාතය ඉටු කළහ. මේ පිළිබඳ එතුමන්ගෙන් ප්‍රශ්න කළ විට නබි (සල්) තුමන් මෙසේ කිරීම මා දුටුවෙමි යනුවෙන් එතුමන් පිළිතුරු දුන්හ. (බුහාරි 387). නබි (සල්) තුමන්ගේ ජීවිතයෙහි අවසන් කාලයෙහි ඉස්ලාම් දහම පිළිගත් මිතුරන් අතුරින් ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් ද වේ. එබැවින්  නබි (සල්) තුමන් තම අවසන් කාලය තෙක් කළ ක්‍රියාවක් සේ මෙය පවතින විට මෙම නීතිය පසුව වෙනස් විය යන තර්කයද මෙයින් අර්ථ සූන්‍යවෙයි.

හමවලින් නිපදවූ සපත්තු මත පමණයි මෙසේ කිරීමට අවසර පවතින්නේ, පා මේස් මත පිරිමැදීමට අවසරයක් නැත යන මතයද පවති. නමුත් ඉමාම් ඉබ්නුල් මුන්දිර් (රහ්) තුමන් මෙසේ පවසයි: පා මේස් මත නබි (සල්) තුමන්ගේ මිතුරන් 9 දෙනෙකු පිරිමැද තිබේ. ඔවුන් අලි ඉබ්නු අබී තාලිබ්, අම්මාර් ඉබ්නු යාසිර්, අබූ ම්ස්උද්, අනස් ඉබ්නු මාලික්, ඉබ්නු උමර්, බරා ඉබ්නු ආසිබ්, බිලාල්, අබූ උමාමා, සහ්ල් ඉබ්නු සද් රලියල්ලාහු අන්හුම් (අල් අව්සත් 1/ 462) ඉමාම් ඉබ්නුල් කයියූම් (රහ්) තුමන් පවසන විට එසේ කළ මිතුරන් 13 ඉක්මවයි යනුවෙන් සදහන් කරයි. පා මේස් මත පිරිමැදීම යනු සහාබා මිතුරන් අතර පිළිගත් ක්‍රියාවකි. ඔවුන්ගේ කාලයෙහි ඒ පිළිබද කිසිදු මත භේදයක් නොපැවතුනි යනුවෙන් ඉමාම ඉබ්නුල් කුදාමා තම මුඃනි යන ග්‍රන්ථයෙහි (1/215) සඳහන් කරයි.

2- පැළඳ සිටින සපත්තු, පා මේස් පිරිසිදු විය යුතුයි. වරක් නබි (සල්) තුමන් පාවහන් පැළඳ සලාතය කරන විට ජිබ්රීල් (අලෙයි) තුමන් පැමිණ ඔබ පැළඳ සිටින පාවහන් අපවිත්‍ර බැවින් එය ගලවන ලෙස නියෝග කළහ නබි (සල්) තුමන් සලාතය අතර තුර එය ගැලවූහ. අපවිත්‍ර යමක් පැළද සලාතය කිරීමෙහි තහනම මෙයින් මොනවට පැහැදිළි වෙයි.

3- දෝවනය අනිවාර්්‍ය කරන කරුණුවලදි පමණයි මෙම නීතිය ක්‍රියාවට නැංවිය හැක්කේ. දියනෑම අනිවාර්්‍යයවූ විට මෙම නිතීය නිෂ්ඵල වෙයි. ඔහු සිය පා මේස් ගලවා අනිවාර්්‍ය දිය නෑම ඉටු කිරීමන් පසුවයි යළි මෙම නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ. මෙයට සාධක වශයෙන් සෆ්වාන් ඉබ්නු අස්සාල් (රලි) තුමන් විස්තර කරන පුවතක් තිර්මිදි 96, නසායි 159 වැනි මූලාශ්‍රවල සඳහන් වෙයි.

4- මගියෙකුට දවස් තුනක් හා සිය ගමෙහි සිටින්නාට දවසක්  දෝවනය අවස්ථාවෙහි දෙපා සේදීම වෙනුවට පා මේස් මත පිරිමැදිය හැක. මෙයට සාධක වශයෙන්: අලි ඉබ්නු අබී තාලිබ් (රලි) තුමන් විස්තර කරන පුවතක් මුස්ලිම් 661 හි සඳහන් වෙයි. මුලින්ම පළඳිනවත් සමග කාලය ආරම්භ වන්නේ නැත. මුල්ම පිරිමැදීම කිරීමත් සමගයි කාලය පටන් ගන්නේ. උදාහරණයට උදෑසන දෝවනයත් සමග පළඳින කෙනෙකු මුල්ම පිරිමැදීම ලුහර් සලාතයට දෝවනය කරන විට කරයි නම් එතැන් සිටයි කාලය පටන්ගන්නේ.

පිරිමැදීමේ ක්‍රමය: පාදයෙහි (පා මේස් හි) මතු පිට පමණයි පිරිමැදිය යුතතේ ඒ වෙනුවට යටි පාදයෙහි පිරිමැදීම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට පටහැනිය. පා මේස් මතු පිටින් හා යටින් පිරිමැදීමද නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට පටහැනිය. මතු පිට පමණයි පිරිමැදිය යුත්තේ. මෙයට සාධක වශයෙන්: අලි ඉබ්නු අබී තාලිබ් (රලි) තුමන් විස්තර කරන පුවතක් අබූදාවූද් 162 හි සඳහන් වෙයි. එසේම තෙත අතින් තුන් වරක් නොව එක් වරක් පමණක් පිරිමැදිය යුතු අතර, දකුණු අතින් දකුණු පාදය මතද, වම් අතින් වම් පාදය මතද එක්වරම පිරිමැදිය යුතුය. මෙයට සාධක වශයෙන් හදීසය සදහන්:   (فَمَسَحَ عَلَيْهِمَا) ඒ දෙක මත පිරිමැද්දේය යන වාක්‍යය තුළින් මෙය පැහැදිළි වෙයි.

දිය නෑම අනිවාර්්‍ය වන යම් කරුණක් සිදුවූ විට, නියමිත කාලය අවසන්වූ විට, පා මේස් ගැලවූ විට මෙම නීතිය නිෂ්ඵල වෙයි.

පිළිතුරු සපයන්නේ : මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ්

Leave a Reply

Your email address will not be published.