විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!

“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103: 1-3).
 ජයග්‍රහණයෙහි මුල් ගුණාංගය:
 1- විශ්වාසය:
අල්ලාහ් කෙරෙහි හා අවසාන දිනය කෙරෙහි සැබෑ විශ්වාසයක් තබමින්, ඉස්ලාම් නියෝග කල අනෙකුත් නොපෙනෙන කරුණු කෙරෙහි විශ්වාසය තැබීම. එම විශ්වාසයෙහි පිහිටා ක්‍රියා කිරීම. ඔහුගේ විශ්වාසය පරික්ෂණයට ලක්කෙරෙන සෑම මොහොතකම එහි ඔහු තිරසාරව සිටිය යුතුය. වරක් අබ්දුල්ලාහ් ඉබ්නු අස්සකපි (රලි) තුමන් අල්ලාහ්ගේ දූතවරයා වෙත පැමිණ “ඉස්ලාම්හි ඔබෙන් පසු කිසිවෙකුගෙන් ඇසීමට අවශ්‍ය නැත යන තරමෙහි ඉතා වැදගත් දෙයක් මට උපදෙස් කරන්න. එයට එතුමන්, “මා අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුවෙමි යනු පවසා එහි ස්ථීරව සිටිනු” යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: මුස්ලිම් 168).
 ජයග්‍රහණයෙහි දෙවැනි ගුණාංගය:
 2- යහපත කිරීම:

 තමන්සැබෑ විශ්වාසවන්තයෙකු බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම. විශ්වාසය යනු මුළු සිතින් පිළිගෙන, මුවින් ප්‍රකාශ කර, ශරීරයෙහි අවයවයන්ගෙන් ක්‍රියා කිරීමයි. ඉස්ලාම් අනිවාර්්‍ය කළ කරුණු වලට මුල්තැන දෙමින් එය අතපසු නොකර ක්‍රියා කරන අතර, අනිවාර්්‍ය නොවන යහපත් ක්‍රියාවන්ද අඛණ්ඩව කරමින් අල්ලාහ්ට සමීපවීමයි. තවද අන් අය සමග යහපත් අයුරින් ක්‍රියා කරමින් අල්ලාහ්ගේ ප්‍රසාදයට හිමිකම් කීමයි.
ජයග්‍රහණයෙහි තෙවැනි ගුණාංගය:
 3- සත්‍ය එකිනෙකා අතර දේශනා කිරීම.
තමන්ට ලැබුනු සත්‍යයවූ ඉස්ලාම් දහම තමන් සමග පමණක් සීමා නොකර, අන් අයට එය පහදා දීම, අන් අයව එය කරා කැදවීම, ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධවූ අල්කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ජීවිතය තුළින් මෙම නිර්මල වූ දහම කරා සමාජය කැදවීම. සත්‍යයවූ ඉස්ලාම් දහම යනු සකල ලොව හිමියන් අල්ලාහ් විසින් මානවයාට පිරිනමද ලද ඒකායන ජීවන මගයි. ඔහු ඉදිරියහෙි පිළිගැනුනු එකම ජීවන මග ඉස්ලාම් පමණයි. මිනිසා තම හිමියන් අවබෝධ කර ඔහු විසින් පිරිනමන ලද එම මග ඔස්සේ ගමන් කිරීම තුළ පමණයි දෙලොව ජයග්‍රහණය හිමිකරගත හැක්කේ.
 ජයග්‍රහණයෙහි සිව්වැනි ගුණාංගය:
 4- ඉවසීම එකිනෙකා අතර දේශනා කිරීම:
 ඔබගේ ප්‍රකට හතුරා වන දුෂ්ට ෂෙයිතාන් ඔබව යහපතින් වළක්වාලීමට කොතරම් උගුල් ඇටවූවද, ඔබ ඉවසීමෙන් එය ජයගත යුතුය. යහපත කිරීම යනු දවසකින්, සතියකින්, මාසයකින්, වසරකින් අවසන් වන දෙයක් නොවෙයි ඔබ මිය යන තෙක් යහපත කළ යුතුය. එයට ඉවසීම අවශ්‍යය. අල්ලාහ් ශුදධුවූ අල්කුර්ආනයෙහි පවසන විට “විශ්වාස වන්වතයිනි ඉවසීමෙන් හා සලාතය ඉටු කරමින් අල්ලාහ්ගෙන් පිිහිට පතන්න. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී”. (ශු අල්කුර්ආනය 2: 153).
පාපයන්ගෙන් ඉවත්වී සිටීමටද ඉවසීම අවශ්‍යය, මිනිසාට තහනම් කළ කරුණු කිරීම සදහා ඔහු බොහෝ සේ ලැදිය, ජනයා වැරදි ක්‍රියාවන් වෙත නැඹුරු වීමේ ප්‍රවනතාවය ඉතා ඉහළය. යහපත කරන්නන්, අල්ලාහ්ට කෘතඥවී ඔහුට අවනතව ජීවත්වන්නන් ඉතා සුළුය. තාවකාලික ආශ්වාදයක් ගෙන දෙන පාපයන්ගෙන් මිදීමට ද ඉවසීම අවශ්‍යය. මොහොතක වින්දනයක් සඳහා සැබෑවූ සදාතනිකවූ තම මතු ලොව ජීවිතය බුද්ධිමතෙකු විනාශ කරගන්නේ නැත.
දුක්කරදර, කම්කටළු ඉදිරියෙහි ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. තම ජීවිතය තුළ සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ නියමය අනූව බව තදින්ම විශ්වාස කළ යුතුය. පරමාණුවක තරම් හෝ අල්ලාහ් තම දාසයාට අසාධාරණයක් කරන්නේ නැත. අයුක්තිය, අසාධාරණය අල්ලාහ් තමන්ට තහනම් කරගත්තේය. අසීමිත කරුණාවන්තයා අපරිමිත දයාළුවන්තයා වූ අල්ලාහ් මට ප්‍රිය කරන්නේ යහපත පමණි, මට මුහුණ දෙන්නට සිදුවන දුක් කරදර පීඩන මතු පිටින් එසේ පෙනුනද අල්ලාහ් මට ඒ තුළ තබා ඇත්තේ යහපත පමණි. දුක් කරදර පීඩා ඉදිරියෙහි විශ්වාසවන්තයකු ඉවසීමෙන් කටයුකු කරන විට ඔහුගේ පාපයන් අල්ලාහ් සමාකරයි, ඔහුගේ නමින් යහපත සටහන්වෙයි, ඔහු අල්ලාහ් වෙත තව තවත් සමීපවෙයි, මතු දිනයෙහි ඔහු අල්ලාහ් හමුවන විට කිසිදු පාපයකින් තොරව පිවිතුරු භාවයෙන්  හමුවීම සදහා මේ සැලැස්ම ඔහු කරයි. ඉවසිලිවනතයින් සඳහා අල්ලාහ් ඉදිරියෙහි අසීමිත ප්‍රසාදයන් පවතින බව ශුදධවූ අල්කුර්ආනය සඳහන් කරයි. ඔවුන් ස්වර්ගයට දේව දූතයින් මගින් පිළිගනු ලබන්නේ ලෝක ජීවිතය තුළ ඔබ ඉවසීමෙන් කටයුත කළ නිසා ඔබට ශාන්තිය, ඔබට මෙම උසස්වූ සෞභාග්‍යයන් යනු කියාය.
එසේම සත්‍යය අන් අයට දේශනා කරන විට අන් අයගෙන් එල්ල විය හැකි පීඩා ඉදිරියේද ඉවසීම අවශ්‍යය. මෙයට ඉතිහාසය තුළ අනන්ත සාක්ෂීන් ඇත. ශාස්තෘවරුන් සත්‍යයවූ ඉස්ලාම් දහම සමාජයට දේශනා කළ අවස්ථාවෙහි ඝාතනයට ලක්විය, ගිනි ජාලාවට තල්ලු කරනු ලැබූහ, රට, ගම අත්හැර සංක්‍රමණය කළහ, තවත් විවිධ මානසික, කායික හිංසා පීඩාවලට මුහුණ දුන්හ. එම උදාර සත් පුරුෂයින්ගේ මෙවන් ඉතිහාසයන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වන්නේ එම පිවිතුරු මග ඔස්සේ ගමන් කරන්නන් එවැනි පීඩාවලට අනිවාර්්‍යෙයන් මුහුණ දීමට සිදුවන බවය. එවැනි අවස්ථාවන්හි එම ශාස්තෘවරුන් කෙසේ ඉවසීමෙන් ක්‍රියා කළාද ඒ අයුරින්ම ඔබලාද ක්‍රියා කරමින් අල්ලාහ්ගේ ප්‍රසාදය දිනා ගත යුතුය.
ඉහත සඳහන් උසස්වූ සිව් ගුණාංග ඔබ තුළ පරිසමාප්තව පවතීද, නැත්නම් කුමන ගුණංගවල දුර්වලතා පවතීද එය ශක්තිමත් කරගෑනීම ඔබගේ වගකීමයි. කවුරුන්අල්ලාහ්ගේ කෝපයට පත්වෙයිද ඔහු එයින් මිදීමට කිසිම අවස්ථාවක් නැත යළි ඔහු වෙත හැරීමෙන් මිස. ඔහු වෙත හැරෙන්නට අපට පවතින එකම අවස්ථාව මෙලොව ජීවිතය පමණයි. මේ අවස්ථාව අපෙන් ගිලිහිවුනු විට වෙන කිසිදු අවස්ථාවක් නැත.  සර්ව ඥාන අල්ලාහ් ජයග්‍රකයින්ගේ උසස් ගුණාංග යනු පවසන එම ගුණාංගයන්ට අපි අනිවාර්්‍යෙයන් හිමිකම් කිව යුතුය.
සකස් කිරීම: අබූ අස්මා
www.yaayuthmaga.com

Leave a Reply

Your email address will not be published.