‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 2 වන කොටස

මුළුමහත් මිනිස් ප්‍රජාවම එක් පවුලකි

අල් කුර්ආනය පහළවීම ආරම්භ වීමත් සමග දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් ලෙස ජනයාව ඒක දේවත්වය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු තාඩන පීඩන විඳ දරා ගනිමින් මෙම නව ඉස්ලාමීය සමාජය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. කුරෛෂ් නායකයින් තමන්ගේ බලය යෙදවීමෙන් ඉස්ලාමයේ වර්ධනය වළක්වන්නට නොහැකි බව අවබෝධ කරගෙන මුහම්මද් තුමා සමග සම්මුතියකට එළඹෙන්නට සාකච්ඡා කළහ. ඔවුන්ගේ පළමු යෝජනාව වුයේ එක් වර්ෂයකට ඔවුන්ගේ බහුදේව වාදී වන්දනයට සියල්ල සහභාගී වියයුතු අතර අනෙක් වර්ෂයේ ඉස්ලාමීය පිළිවෙත අනුගමනය කරමින් සියල්ල කටයුතු කළ යුතු බවය. මෙයට පිළිතුරු වශයෙන් දෙවිඳුන් අල් කුර්ආනයේ 109 වැනි පරිච්ඡේදය පහළ කරමින් ඒක දේවත්වයේ හරය පැහැදිළි කරමින් මෙම වැරදි යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට උපදෙස් ලබා දුන්නේය.

මෙය අසාර්ථක වූ පසු සම්මුතියකට එළඹීම සඳහා කුරෛෂ් නායකයින් ඉදිරිපත් කළ යෝජනාව වුයේ මුහම්මද් තුමා මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අරාබි වරුන්ගේ රජු බවට පත් වීමට නම් එය ඔවුන් කැමැත්තෙන් ප්‍රදානය කරන්නට සුදානමින් සිටින බවය. එසේත් නොමැති නම් ධනය රැස් කර ගැනීම අපේක්ෂාව වුයේ නම් මුළු අරාබි කරයේ සියලු සම්පත් එතුමාගේ දෙපා අභියස ගෙනත් තබන්නට ඔවුන් කැමැති බවය. ඔවුන්ගේ මීළඟ යෝජනාව වුයේ මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අති රූමත් ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් සාදා ගැනීම නම් සියලු රූමත් ස්ත්‍රීන් එම අන්තඃපුරයට ගෙනැවිත් දෙන්නට ඔවුහු පොරොන්දු වුහ. ඔවුන්ගේ එකම කොන්දේසිය වුයේ ඉස්ලාමීය ප්‍රචාරය වහාම නැවැත්විය යුතු බව පමණි. එනම් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නේ නම් මුහම්මද් තුමාට මුළු අරාබි කරයේ රජු වීමටත් එහි සියලු සම්පත් වල උරුමක්කාරයා බවට පත් වන්නටත් අලංකාර ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් උරුම කර ගන්නටත් මාර්ගය විවෘත ව තිබිණි.
එතුමාගේ දැඩි ස්ථාවරය වුයේ හිරු තම එක් අතකත් සඳු තම අනිත් අතෙහිත් ගෙන තැබුවත් ඉස්ලාමීය ප්‍රචාරය නොනවත්වන බවය. මේ කිසිම මඟකින් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නට නොහැකි වූ බහු දේව වාදී කුරෛෂ් නායකයින් ඉස්ලාමිකයින් සම්බන්ධව ආර්ථික හා සමාජ සම්බාධක පනවන්නට තීරණය කළහ. අවුරුදු තුනක් පමණ මෙම සම්බාධක හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත් වූ ඉස්ලාමිකයින් දැඩි අධිෂ්ඨානයකින් යුක්තව තමා තෝරා ගත් නිවැරදි මාර්ගයේ සියලු පීඩාවන් හා ගැහැට විඳ දරාගනිමින් සිටියහ. මෙම ක්‍රියාවෙන්ද ඉස්ලාමිකයින්ව දුර්වල කරන්නට නොහැකි වූ කුරෛෂ් නායකයින් මුහම්මද් තුමාව අවසානයේදී මරා දමන්නට තීරණය කළහ.
වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් තුමාණන් ඔවුනතර සමගියට මඟ පාදා දුන් අතර ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැඟුවේය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එමගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට වගකීම් භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ එම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.
“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු සැබෑ විශ්වාස වන්තයෙකු නොවේ” යැයි එතුමාණන් පැවසුහ. දහම තම පෞද්ගලික විශ්වාසය පමණක් නොව ජීවන මාර්ගයද කර ගත් එතුමාගේ නායකත්වය යටතේ මදීනා නගරය වැජඹෙන්නට විය. සාධාරණත්වය, යුක්තිය, මිනිසත්කම දේව භක්තිය ඇතුළු සියලුම අංශ වලින් පරිපුර්ණ වූ පරිපාලන ක්‍රමය සැමටම ආදර්ශයක් විය. එතුමා අසල්වැසි රටවල් හා ගෝත්‍ර සමග විවිධ ගිවිසුම් ඇති කර ගත්තේය. එතුමා පර්සියානු, ඊජිප්තු, අබිසීනියානු හා රෝමානු පාලකයින්ට තම පණිවිඩය වූ ඒක දේවත්වය වෙත කැඳවමින් ලිපි යැව්වේය. ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්, ළමුන්, අනාථයින්, වහලුන් හා විදේශිකයින්ට නිසි අයිතිවාසිකම් හා ආරක්ෂාව ලැබිණ. ජාතිවාදයට විරුද්ධත්වය පෙන් වූ එතුමාණන් ධර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්, අරාබි ජාතිකයින් නොවන අයට වඩා උසස් වන්නේ නැති බවත් පැවසුවේය. මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවම එක් පවුලක සාමාජිකයින් බව අල් කුර්ආනය පැහැදිලිවම ප්‍රකාශ කර සිටී.
“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව ද සිටින්නේය.” (අල් කුර්ආන් 49:13)

“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)

“තවද අපි ආදම්ගේ දරුවන් ව ගෞරවනීයත්වයට පත් කළෙමු.” (17:70)

“අහස් ද මිහිතලය ද නිර්මාණය කර ඇත්තේද, නුඹගේ භාෂාවන්හි ද වර්ණයන්හි ද විවිධත්වය ඔහුගේ (අල්ලාහ්ගේ) සාධකයන්ගෙන්ය. දැනුමැත්තන්ට නියත වශයෙන් ම එහි සාධකයන් ඇත.” (30:22)

Leave a Reply

Your email address will not be published.