‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 3 වන කොටස

ස්ත්‍රීන් පිළිබඳ:

ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ එක් ප්‍රධානතම සමාජ පෙරැළියක් වුයේ පැරණි ගෝත්‍ර සමාජ ක්‍රමය සහමුලින්ම වාගේ බිඳ වැටී ගොස් බිය බැතිමත්කමින්, අවංකකමින්, හා සහෝදරත්වයෙන් බැඳුනු ‘උම්මතය’ යනුවෙන් හැඳින් වෙන විශ්ව ප්‍රජාවක් බිහි වීමයි. මෙම ප්‍රජාවෙහි පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුලවාදය, වර්ණවාදය, ප්‍රදේශවාදය, ආදී මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට, මිනිස්කම, බිය බැතිමත් භාවය, හා සහෝදරත්වය පදනම් කර ගත් උම්මතය නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර ආදර්ශයට ගනිමින් අදත් විශ්ව මුස්ලිම් ප්‍රජාව දැඩි සහෝදරත්වයකින් බැඳී සිටිති.

ගැහැනු දරුවන් ව පණපිටින් වළලා දැමු, එමෙන්ම ස්ත්‍රියව ලිංගික භාණ්ඩයක් ලෙස සැලකු පුර්ව ඉස්ලාමීය අරාබි සමාජය, ඉස්ලාමීය ඉගැන්වීම් සමග නබි තුමාණන්ගේ නායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් කාන්තාවට සමාජයේ ගෞරවනීය ස්ථානයක් ලබා දුන්නේය. ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව තමාගේ සියලු දරුවන්ට සමාන ලෙස ආදරය දක්වන ලෙස නබි තුමාණන් උපදෙස් දුන්නේය. ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමු සමාජය වෙත, තමාගේ ගැහැනු දරුවන් දෙදෙනෙකුව ආගමානුකුලව, සදාචාර සම්පන්නව හදා වඩා යහ අයුරින් විවාහ කර දුන්නේ නම් ස්වර්ගයේ භාග්‍යය ලැබීමට මෙය හේතු වන බව දේශනා කළේය. දේපළ අයිතිය හා දේපළ ආවේණිකව උරුම කර ගැනීමේ අයිතිය ස්ත්‍රීන්ට ලබා දුන්නේය. දැනුම ලබා ගැනීම එනම් අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වගකීම බවට පත් කළේය. බිරියගේ ධනය ඇගේ අනුමැතියෙන් තොරව පවුලේ නඩත්තුව සඳහා වියදම් කිරීම තහනම් කළේය. පවුලේ වගකීම සහමුලින්ම පුරුෂයා වෙත පවරා ඇයට පරිපුර්ණ ආර්ථික නිදහස සහතික කළේය. ගැහැනු දරුවෙකුව ඇගේ කැමැත්ත හා අනුමැතියෙන් තොරව විවාහ කර දීම තහනම් කළේය. විවාහය මෙන්ම දික්කසාදය පිළිබඳවද ඇයට පුර්ණ අයිතිවාසිකම් ලබා දෙන ලදී. පුරුෂාධිපත්‍යය පැවති සමාජයේ, මාතෘත්වයට උපරිම ශ්‍රේෂ්ඨත්වය ලබා දුන්නේය. තමාට වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වඩාත්ම සුදුස්සා කව්රුන්දැ’යි විමසු විට තෙවරක්ම පවසා සිටියේ එයට වඩාත්ම සුදුසු තමාගේ මව බවය. හතර වන වතාවට විමසු විටයි තමාගේ පියා බව පවසා සිටියේ. මෙයින් පියාගේ වැදගත්කම හෑල්ලුවට ලක් කිරීමක් සිදු කිරීම අපේක්ෂාව නොවන අතර මවගේ වැදගත්කම හා ගෞරවය ඉස්මතු කර පෙන්වීම බව අප අදහස් කර ගත යුතු වෙයි. දෙවිඳුන්ගේ තෘප්තිය පියාගේ තෘප්තිය මත රැඳී ඇතැයි පැහැදිලිවම වරක එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

“ඉතාමත්ම අංගසම්පූර්ණ විශ්වාසිකයා කවුරුන්දයත් ඔහුගේ ගතිගුණ යහපත් වූ තැනැත්තාය. ඔබගෙන් විශිෂ්ටතම පුද්ගලයා කවුරුන්ද යත් සිය බිරිය සමග කාරුණිකව හැසිරෙන්නාය.” (අත් තිර්මිදි)

අනාථ දරුවන්:

අනාථකම උපතින්ම උරුම කරගනිමින් මෙලොවට බිහි වූ මුහම්මද් තුමාණන් අනාථ දරුවන් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළේය. වරෙක තමන්ගේ මැදැඟිල්ල හා දබරැඟිල්ල පමණක් සමීප කර ඔසවා දක්වමින් පවසා සිටියේ අනාථ දරුවෙකු රැකබලාගන්නා හා තමා ස්වර්ගයේ මෙලෙස එකට සමීපව සිටිනා බවය. තවත් වරෙක උතුම් හා භාග්‍යවන්ත නිවස වන්නේ අනාථ දරුවෙකුට යහ අයුරින් සලකන නිවස බවය. අනාථ දරුවෙකුට සෙනෙහස දක්වමින් ඔහුගේ හිස පිරිමදින්නාට එම දරුවාගේ හිසකෙස් ප්‍රමාණයට කුසල් ලැබෙන බව පවසා සිටියේය.

“තවද, අනාථයින්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබා දෙවු. (නුඹලාගේ) නරක දෑ වෙනුවට (ඔවුන්ගේ) හොඳ දෑ හුවමාරු නොකරවු. තවද නුඹලාගේ දේපළ සමග ඔවුන්ගේ දේපළ (මිශ්‍ර කර) අනුභව නොකරවු. නියත වශයෙන්ම එය මහත් වූ පාපයක් වන්නේය” (අල් කුර්ආන් 4 : 2)

කුඩා දරුවන් පිළිබඳ:

කුඩා දරුවන් සම්බන්ධව එතුමාණන් කටයුතු කළ ආකාරය අප සැමට ඉතා අලංකාර පුර්වාදර්ශයක්ව පවතී. දිනක් ගමනක් යමින් සිටි නබි තුමානන්ට තම සුරතල් කුරුල්ලා මිය යෑම හේතුවෙන් දුකට පත් වී සිටි දරුවෙකු දකින්නට හැකි විය. එතුමාණන් තම ගමන නවතා මෙම දරුවාගේ දුක ඉවත් කොට ඔහු ව සතුටට පත් කිරීමට කාලය මිඩංගු කරමින් කටයුතු කළේය. වැඩිහිටියන්ට ගෞරව නොකරන්නාත් කුඩා දරුවන්ට ආදරය නොකරන්නාත් තමන්ගේ පිළිවෙතට සම්බන්ධ නොවූවන් බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය. මෙයට පෙර සඳහන් කළාක් මෙන් තමන්ගේ සියලු දරුවන්ට කිසිදු වෙනස්කමකින් තොරව සමසේ ආදරය කරන ලෙස දෙමව්පියන්ට උපදෙස් දුන්නේය.

දෙමව්පියන්, දරුවන් හා ඥාතීන්:

මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසූහ: “යහපත් කීකරු දරුවෙකු ඔහුගේ දෙමව්පියන් දෙස කාරුණිකව බලන සෑම විටම පිළි ගනු ලැබූ හජ් වතාවත් ඉටු කිරීමෙන් ලැබෙන කුසලට සමාන කුසලක් අල්ලාහ් ඔහුට පිරිනමන්නේය”. (මුස්ලිම්)
“ඔහු (අල්ලාහ්) හැර වෙනත් කිසිවෙකු නුඹලා නොනැමදිය යුතු යැයි ද දෙමව්පියන්ට උවටැන් කරන මෙන් ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කරයි. නුඹ ඉදිරියේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ මහලු වියට පත් වුයේ නම් එවිට ඔවුන් දෙදෙනාට අපහාසාත්මක වදන් (උෆ්) නුඹ නොපවසවූ. තවද ඔවුන් දෙදෙනාව නුඹ පලවා නොහරිවු. තවද ඔවුන් දෙදෙනාට ගෞරවනීය වදන් නුඹ පවසවූ. ඔවුන් දෙදෙනාට කරුණාවෙන් සපිරි පියාපත් හෙළවූ. තවද, මාගේ පරමාධිපතියාණෙනි, කුඩා අවදියේ සිටින විට මා ඇති දැඩි කළාක් මෙන් ම ඔවුන් දෙදෙනාට කරුණාව දක්වනු මැනවි යැයි පවසවූ.”. (අල් කුර්ආන් 17 : 23 -24)

“මිනිසෙකු පැමිණ ‘ඕ අල්ලාහ්ගේ දුතයාණෙනි, මගේ දෙමව්පියන් මරණයට පත් ව මගෙන් වෙන් වී ගිය පසු ඔවුන් වෙනුවෙන් මට කළ හැකි කිසිවක් තිබේදැ’ යි නබි තුමානන්ගෙන් ඇසුවේය. එයට පිළිතුරු දූන් නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහඃ එසේය ඔබට කළ හැකි කරුණු හතරක් ඇත. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම. ඔවුන්ට පාපක්‍ෂමාව ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටීම. ජීවතුන් අතර සිටි විට ඔවුන් විසින් කරන ලද පොරොන්දූ ඉටු කිරීම. ඔවුන්ගේ මිතුරන් හට ගෞරවාදරය දැක්වීම. තමන්ගේ ඥාතීන් සමග සම්බන්ධතාවන් පවත්වා ගෙන යාම. ඔවුන් නොමැති නම් ඔබට ඥාතීන් යැයි කිසිවෙකු සිටිනු නොමැත.” (අල් බුහාරි)

“ජනයිනි, එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම එහි කලත්‍රයා ද මවා එම දෙදෙනාගෙන් අප්‍රමාණ පුරුෂයින් ද ස්ත්‍රීන් ද (ලොව පුරා) පැතිර වූ නුඹලාගේ පරමාධිමතිට බියබැතිමත් වවු. කවරෙකුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින්නේ ද එම අල්ලාහ්ට බියබතිමත්වවු. තවද ලේ ඥාතිත්වය (කඩ කිරීම) ගැන ද (බිය වැවු). නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා පිළිබඳ ව සුපරික්ෂාකාරීව සිටින්නේය” (අල් කුර්ආන් 4 : 1)

වහලුන් පිළිබඳ:

වහල් වෙළඳාම, වහල් මෙහෙය ධනවත් හා ප්‍රභූ පැළැන්තිය බුක්ති විඳි සමාජ වරප්‍රසාදයක් ලෙස සැලකු යුගයක වහලුන් නිදහස් කිරීම සඳහා ඉස්ලාමය අනුගමනය කළ පිළිවෙත සැමගේ ප්‍රශංසාවට ලක් වුවකි. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා ආගමික අධ්‍යයන අංශයේ සහායක මහාචාර්ය ජොනතන් බ්‍රොකොප් (“Slaves and Slavery” in The Encyclopedia of the Qur’ān, ed. Jane Dammen McAuliffe, et al. Leiden: E.J. Brill, 2001-5, 5:56-60. By Prof. Jonathan E. Brockopp) මහතා පවසන අන්දමට සමාජ ව්‍යුහයේ ව්‍යාකුලත්වයක් ඇති නොකොට සමහර පාපයන්ට ප්‍රතිකර්මයක් ලෙස මෙන්ම දානමය මුදල් වහලුන් නිදහස් කිරීමට යෙදවීම පිළිබඳව ඇති ඉස්ලාමීය ඉගැන්වීම සැබැවින්ම අද්විතීය එකක් බවය. වහල් කමින් නිදහස් වූ බිලාල් ඉබ්නු රබාහ් තුමාව ඉස්ලාමීය සමාජයේ ඉතාම උසස් අයෙකු ලෙස ගෞරව ලැබීමටද ආගමික මෙන්ම රාජ්‍ය පාලන කටයුතු වල උසස් වගකීම් දරන්නටද තෝරා ගන්නා ලදී. වරක් අබුමසුඩ් අල් බද්රි නැමැත්තෙක් තමාගේ වහලාට නිර්දය ලෙස පහර දෙනවා දුටු නබිතුමාණන් ‘මෙම වහලා කෙරෙහි ඔබ සතු බලය හා හැකියාවට වඩා දෙවිඳුන්ට ඔබ කෙරෙහි බලය හා හැකියාව ඇති බව’ පවසා සිටියේය. අබුමසුඩ් අල් බද්රි නබි තුමාණන්ගේ මෙම වදන් ඇසු විගසම දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා මෙම වහලාව නිදහස් කරන බව පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published.