‘ඉස්ලාම් භීතිකාව’ (Islamophobia) හා මුස්ලිම් ප්‍රජාවගේ වගකීම

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිය ඉතා පළල් පරාසයක් තුළ මහා පරිමාණ අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් දහම හා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ සියල්ල පිළිබඳ බියක් හා පිළිකුලක් නිර්මාණය කොට එය සමාජ ගත කිරීම ඉස්ලාම් භීතිකාවේ ප්‍රධාන අරමුණයි. මුස්ලිම් ජනයාගේ ජීවනෝපාය, ඇඳුම් පැලඳුම්, ආහාරපාන, ආගමික වතාවත්, ආගමික ඉගැන්වීම්, මස්ජිදය, මද්රසා (ආගමික පාසල්), ආගමික සංවිධාන ආදිය පිළිබඳ නිවැරදි කරුණු නොදැන හෝ චේතනාන්චිත ව සත්‍යය විකෘත කරමින් මුස්ලිම් නොවන ජනයා අතර ප්‍රචාරය කොට එමගින් ඉස්ලාම් දහම හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ බියක් හා පිළිකුලක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින් වෛරී ව්‍යාපාරයක මෙම පිරිස නියැළී සිටිති. මෙම ප්‍රචාරයන් තුළ කිසිදු බුද්ධිමය යථාර්ථයක් නොමැති අතර ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතියේ කර්තෘවරුන් තම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට යොදා ගෙන ඇති ප්‍රධාන උපාය වී ඇත්තේ තම වෛරී ප්‍රචාරයන් මගින් මුස්ලිම් නොවන ජනයා අතර මුස්ලිම්වරුන් පිළිබඳ බියක් හා පිළිකුලක් ඇති වන පරිදි බහුජන උද්වේගය (Mass Emotion) ඇති කිරීමය. මෙය උද්වේගය පදනම් කර ගත් ව්‍යාපාරයක් හෙයින් මෙම ප්‍රචාරයන් විශ්වාස කරන්නන් හට සත්‍යය හා යථාර්ථය පැහැදිලි කර දීම බොහෝ අවස්ථාවන් හි ඉතා අභියෝගාත්මක කාර්යයක් බවට පත් ව ඇත. එය එසේ වූවද මුස්ලිම් ප්‍රජාවගේ වගකීම වන්නේ ඉතා නිහතමානී ව සුහදත්වය පදනම් කර ගනිමින් සියලු වෛරී හා පීඩාකාරී ප්‍රචාරයන් පිළිබඳ ව බුද්ධිමය හා යථාර්ථවාදී ප්‍රවේශයකින් සත්‍යය පැහැදිලි කර දීමට කටයුතු කිරීමය.

උද්වේගය පදනම් කර ගත් කිසිදු ව්‍යාපාරයක් දීර්ඝායුෂ ලැබ පැවති බවට ඉතිහාසය සාක්ෂි නොදරයි. එය එසේ වූවද උද්වේගයේ දාසයින් බවට සමාජය පරිවර්තනය කළායින් පසුව එම උද්වේගය බලාත්මක වන කෙටි කාලය තුළ මෙම ව්‍යාපාරයේ අති කෲර හා මිනිසත්කමට නොහොබිනා නායකත්වය අපේක්ෂා කරන විනාශය ළඟා කර ගැනීමට බොහෝ විට අවස්ථාවන් උදා විය හැක. එහෙයින් මෙම අන්තවාදී ව්‍යාපාරයන් සැහැල්ලුවෙන් සැලකීමට හැකියාවක් නොමැත. නමුත් උද්වේගයෙන් ක්‍රියා කළ ජනයා තම උද්වේගය පහ ව යෑමත් සමග බුද්ධියෙන් හා යථාර්ථයෙන් තම චින්තනය හසුරුවන්නට පටන් ගැනීම වැළකිය හැක්කක් නොවේ. උද්වේගය තම චින්තනය හා ක්‍රියාවන් පාලනය කරන ලද කාලවකවානුව තුළ සිදු කළ ක්‍රියාවන් පිළිබඳ ව ලැජ්ජාවට පත්වීම හා ඒ පිළිබඳ පශ්චාත්වීම පොදුවේ දැකිය හැක්කකි. මිනිසත්කමේ සියලු අගයන් ඉවත ලා තිරිසනුන් ලෙස හැසිරීම පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ නිරායාසයෙන්ම ඇති වන්නේ තමන් ව මෙම තත්ත්වයට පත් කළ වෛරී නායකත්වය පිළිබඳ දැඩි පිළිකුලක් හා කෝපයකි.

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ක්‍රියාත්මක කළ ‘යුදෙව් භීතිකාව’ හා ඉන් පසු ඇති වූ තත්ත්වය මෙයට කදිම නිදසුනකි. ඉතා ශිෂ්ට සම්පන්න ජන කොට්ඨාසයක් වූ ජර්මානුවන් ව හිට්ලර් විසින් තම ජනසන්නිවේදන හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් ව අධිපතිවාදී සංස්කෘතියකට යොමු කරමින් තවත් ජන කොට්ඨාසයක් වූ යුදෙව්වන් ව ඉතා පහත් හා අති කෲර ක්‍රමවේද යොදා ගනිමින් මරා දැමීම අනුමත කරන පිරිසක් බවට පත් කරන ලදී.

යුදෙව්වන් අතර අඩුපාඩු හා වැරදි සමාජ ක්‍රියාකාරකම් තිබුණා විය හැක. නමුත් හිට්ලර්ගේ කෲරත්වය කිසිදු ශිෂ්ට හා සදාචාරාත්මක පුද්ගලයෙකු අනුමත කරන්නක් නොවේ. උද්වේගයෙන් මුසපත් වී බුද්ධිමය චින්තනාවලියට දොරගුළු දමා ක්‍රියා කළ ජර්මානුවන් වැඩි කල් නොගොස් තමන් පත් ව සිටි නින්දිත හා පහත් තත්ත්වය අවබෝධ කර ගෙන හිට්ලර්ගේ නට්සි වාදය සහමුලින් ම ජර්මනියෙන් අතුගා දමන්නට යුහුසුලු ව ක්‍රියා කරන්නට වූහ. ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි නසා ගත් බව ඉතිහාසය අපට දන්වයි. වර්තමානයේදීත් ජර්මානුවන් හිට්ලර්ගේ නට්සි වාදය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරති. මිනිසා ව තිරිසනෙක් ලෙස හැසිරවීම සඳහා උපයෝගී කර ගන්නා මෙවන් උද්වේගය පදනම් කර ගත් ව්‍යාපෘති සැබවින් ම ‘චින්තනා සාපරාධයක්’ (Thought Crime) ලෙස බොහෝ විද්වතුන් හඳුන්වති.

බහුජන උද්වේගය ජනනය කිරීම සඳහා බොහෝ විට උපයෝගී කර ගන්නේ මිනිසාට වඩාත් සංවේදීතාවක් ඇති පහත සඳහන් සාධකයන් ය.
 දහම
 වාර්ගිකත්වය
 භාෂාව
 කුලය
 වර්ණය
 ප්‍රදේශවාදය

1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ගෙන් නිදහස දිනා ගැනීමෙන් පසුව රටවැසියන් එකිනෙකාගෙන් දුරස්ථ කළ සියලු සාධක පසෙක ලා ශ්‍රී ලාංකේය පොදු අනන්‍යතාව ගොඩ නැගීමේ මෙන්ම ශීඝ්‍ර හා අර්ථවත් ආර්ථික සංවර්ධනය කරා යොමු වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගත යුතුව සිටි දේශපාලන නායකයින් භාෂාව මුල්කර ගෙන ජාතිවාදී පදනමකින් පටු අරමුණු අපේක්ෂාවෙන් රට ඉදිරියේ තැබූ දේශපාලන ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වුයේ බිහිසුණු යුද ක්‍රියාවලියකට රට අවතීර්ණ වීමය. ජාත්‍යන්තර කීර්තියකින් යුක්ත වූ උගත් යැයි පිළිගත් එම යුගයේ දේශපාලන නායකයින් බහුජන උද්වේගය ජනනය කිරීම සඳහා යොදා ගත්තේ භාෂාවයි. තම මාතෘභූමිය හා එහි සහෝදර වැසියන් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඉතා පටු චින්තනයක වහලුන් වී දැවැන්ත දේශපාලන අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කොට ගෙන දියත් කළ උද්වේගය පදනම් කර ගත් එම ජාතිවාදී ව්‍යාපාරය රටත් රටවැසියාත් අති භයානක යුද්ධයකට යොමු කරවන ව්‍යාපෘතියක මුල් බීජය වැපිරීමක් බව එම දේශපානඥයින්ට අවබෝධ කර ගැනීමේ දුර දක්නා නුවණක් නොතිබුණා විය හැක. ඇතැම් විට තමන්ගේ දේශපාලන බල කෑදරකමේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි නම් කා හට කුමක් සිදු වූවත් කම් නැතැයි ඔවුන් සිතුවා ද විය හැක. කරුණු කාරණා කෙලෙස වුවත් තිස් වසරක අභාග්‍ය සම්පන්න යුද්ධය සිහි කරන සෑම මොහොතකම සැමට ගෙන දෙන්නේ භීෂණයේ හා විනාශයේ භයානක මතකයන් පමණි.

යුද්ධය රටට අහිමි කළ විශාලතම සම්පත වුයේ “මානව සම්පතයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කළ යුද්ධය දැවැන්ත දේපළ විනාශයකට ද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුළම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් අදත් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත් වී සිටිති. අංග විකලභාවයට පත් ව අත් පා අහිමි වූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹුවන් බවට පත් වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමි වූ දරුවන්, පිළිසරණක් නැති වැඩිහිටියන්, අතවර වලට පත් වූ කාන්තාවන් මේ යුද්ධයේ අනිවාර්යය ප්‍රතිඵලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතළ වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කළ හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්ත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇති ද යන්න බහුතරයකගේ සැකයට බඳුන් වූ කාරණයක් බවට පත් ව ඇත. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක් ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥානය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොර වූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගෙන කටයුතු කළ යුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේ ද? මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොළවන්නට යමෙක් ඉදිරිපත් වන්නේ ද සැබැවින්ම ඔහු ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකි ද? මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේ ව උපයෝගී කර ගැනීම මෙරට සියලු බෞද්ධයින්ගේ කෝපයට හේතු විය යුතු කරුණක් ව ඇත. ඉස්ලාම් භීතිකාව ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය උදෙසා තම දහමට කුමන හානියක් සිදු වුවත් කම් නැත යැයි සිතා මෙම පිරිස ක්‍රියා කරන ආකාරයක් ද ඇතැම් ක්‍ෂේත්‍රයන් හි දක්නට ඇත.

මෙම සංවිධාන පිටුපස සිට ඔවුන්ගේ අති දුෂ්ට වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ඔවුන්ට මුල්‍යමය ආධාර හා අනෙකුත් ශක්තීන් ලබා දෙමින් ඔවුන්ට ජීව හුස්ම පිඹිමින් සිටිනා බලවේග අප විසින් හඳුනා ගැනීම වැදගත් හෙයින් එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
 දේශපාලන බලවේග
 ව්‍යාපාරික තරඟකාරිත්වය
 ඉස්ලාම් වෛරය
 ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධී ව්‍යාපාර
 යුදෙව් සංවිධාන
 ජාත්‍යන්තර දේශපාලන බලවේග
 පුද්ගලික න්‍යාය පත්‍ර

දේශපාලන බලවේග
අපගේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රතිපත්ති මත සිදුවෙනවාට වඩා අප දැක ඇත්තේ වාර්ගික ආගමික වැනි කරුණු පදනම් කර ගනිමින් ජනයා උද්වේගයට පත් කොට එමගින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන අයුරු ය. මෙය රටට කිසිසේත් ම සුදුසු හෝ ඔබින හෝ පිළිවෙතක් නොවේ. බහුතරය නියෝජනය කරන පක්ෂ සුළුතරය ගෝනි බිල්ලෙකු බවට පත් කොට පෙන්වීමත් සුළුතරය නියෝජනය කරන පක්ෂ ද බහුතරය පිළිබඳ එවැනිම බිය වැද්දීමක් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත. මෙම වෛරී දේශපාලනය සැබැවින් ම පිළිකුල් කොට ප්‍රතික්ෂේප කළ යුත්තකි. මෙම වෛරී දේශපාලන ක්‍රියාවලියෙන් නිරතුරු ව පීඩාවට පත්වන්නේ සුළුතරය බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

ව්‍යාපාරික තරඟකාරීත්වය
ව්‍යාපාරික කටයුතු තරඟකාරීත්වයකින් යුක්ත වුවක් බව අප සැවොම දන්නා කරුණකි. එම තරඟයෙන් ජය ගැනීම පිණිස සියලු ව්‍යාපාරයන් හි වැදගත් ම සාධකය වූ පාරිභෝගිකයා දිනා ගැනීම පිණිස විවිධ ආකර්ෂණීය වට්ටම්, ප්‍රසාද දීමනා හා පහසුකම් සලසා දීම සම්ප්‍රදායක් ව පවතී. මෙම පිළිගත් ක්‍රමවේදය අත හැර තම තරඟකරුවාගේ දහම හා වාර්ගිකත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැර පාරිභෝගික ජනයාගේ සිත් තුළ අනිසි බියක් හා පිළිකුලක් ඇති කිරීමට කටයුතු කිරීම සැබවින්ම පිළිකුලෙන් හෙළා දැකිය යුත්තකි.

පසුගිය කාලවකවානුව තුළ මුස්ලිම් ආපනශාලා පිළිබඳ පිළිකුලක් ඇති කිරීම ඉලක්ක කොට ගෙන මුස්ලිම්වරුන් මුස්ලිම් නොවන්නන්හට ආහාරපාන ආදිය අලෙවි කරන විට එයට තුන් වරක් කෙළ ගසා දිය යුතු බව අල් කුර්ආනයේ සඳහන් වී ඇතැයි පූජක පක්ෂයේ සාමාජිකයින් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටි අතර මෙම සාපරාධී අසත්‍ය තොරතුර බොහෝ මාධ්‍යය විසින් ම සන්නිවේදනය කොට තිබුණි. මෙවන් ඉස්ලාම් භීතිකා ප්‍රචාර ඇඳුම් පැලඳුම් පිළිබඳ ව ද දක්නට තිබුණි. මේ සඳහා තවත් විවිධ උපක්‍රම යොදා ගැනීම පසුගිය කාලවකවානු තුළ දක්නට තිබුණි.

ඉස්ලාම් පිළිබඳ වෛරය

තවත් පිරිසක් ඉස්ලාමය පිළිබඳ කිසිදු පැහැදිලි අවබෝධයකින් තොරව ඉස්ලාමයට එරෙහි වීමටත් වෛරී ආකල්පයකින් යුක්ත ව කටයුතු කිරීමටත් ඉදිරිපත් වී සිටිති. බොහෝ විට අන්තර්ජාලයේ ප්‍රචාරය වන ඉස්ලාම් විරෝධී කරුණු මෙම තත්ත්වයට හේතු වූවා විය හැක. ඇතැම් අවස්ථාවන් හි මුස්ලිම් ජනයා සමග ඇති වූ ‘පුද්ගලික නොමනාපයන්’ මෙන්ම ඊර්ෂ්‍යාව ද මෙයට මුල් වී ඇති බව දක්නට ඇත.

ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධී ව්‍යාපාර
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපට දෛනික ව දැන ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත්තේ ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධී ව්‍යාපාරයන් හි කටයුතු ය. යුරෝපයේ හා ඇමෙරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාමය පත් ව තිබීම මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක.

යුදෙව් සංවිධාන
දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර බලවතුන් එකතු වී සාමකාමී පලස්තීනයේ පාරම්පරික ව ජීවත් වූ ජනයා සරණාගතයින් බවට පත් කරමින් ඊශ්‍රායලය බිහි කිරීමත් සමග පලස්තීනයේ පමණක් නොව ලොව සෑම තැනකම ඉස්ලාම් හා මුස්ලිම් විරෝධී කටයුතු වල ප්‍රමුඛ කාර්යභාරයක් යුදෙව් සංවිධාන මගින් සිදු කරමින් තිබේ.

ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කර ගෙන සිදුවන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳ ව මූලික නිවැරදි කරුණු නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් ආරම්භ වූ දෙවන ලෝක මහා යුද්ධයේ දී විශේෂයෙන්ම යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් පමණ ඝාතනය කරන ලද බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම මහා පරිමාණ මිනිස් ඝාතන කිසිදු දහමක් හෝ යහ සමාජයක් අනුමත කරන්නක් නොවේ. යුද සමාදානයෙන් පසු යුරෝපයේ සිදු වූ මෙම ඛේදවාචකයට විසඳුම් යුරෝපය පදනම් කර ගෙන සෙවිය යුතු ව තිබුණ ද එම අදහස අත හැර සාමකාමී රටක් වූ පලස්තීනය දෙකඩ කොට යුදෙව්වන්ට රටක් සාදා දෙන්නට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ක්‍රියා කරන ලදී. ඒ වන විට පලස්තීනයේ මුස්ලිම්වරුන් 86%ක්, කිතුනුවන් 10%ක් හා යුදෙව්වන් 4%ක් ලෙස සාමකාමී ව ජීවත් වෙමින් සිටියහ.

බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවේ, අයර්ලන්තයේ හා සයිප්‍රසයේ සිදු කළාක් මෙන් ‘බෙදා පාලනය කිරීමේ’ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පලස්තීනය 1947 දී දෙකඩ කොට යුරෝපයේ යුදෙව්වන්ට හිට්ලර් විසින් සිදු කරනු ලැබූ අසාධාරණයට මැදපෙරදිගින් විසඳුම් සකස් කරන්නට කටයුතු කළහ. මේ වනවිට පලස්තීනය බ්‍රිතාන්‍යයින් ගේ පාලනය යටතේ පැවතිණි. 86%ක් වූ මුස්ලිම් ජනයාගෙන් බහුතරයක් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තමන්ට උරුම භූමියෙන් ඉවත් කොට ඔවුන් ව සරණාගතයින් බවට පත් කරමින් 1948 වර්ෂයේ දී පලස්තීන භූමියෙන් 55%ක් යුදෙව්වන්ට වෙන් කොට ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්නට කටයුතු කළහ. පලස්තීන රටේ 55%ක් ලබා ගෙන ආරම්භ කරන ලද නීති විරෝධී ඊශ්‍රායල් රට දැනට එහි 90% කට වැඩි භුමි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ලොව සියලු නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දෛනික ව අපි පුවත්පත් මගින් කියවන්නෙමු. මෙම ඊශ්‍රායල් ව්‍යාප්තවාදය සිදු කරනු ලබන්නේ අසරණ පලස්තීන දරුවන්, කාන්තාවන්, වයෝවෘද්ධයින්, රෝගීන් හා අනෙකුත් සිවිල් වැසියන් ව ඝාතනය කරමින් ඔවුන්ට එරෙහි ව නිරතුරුව ක්‍රියාත්මක කරනු ලබන ගැටුම් මගිනි. රෝහල්, පාසැල්, ආගමික ස්ථාන හා සිවිල් වැසියන්ගේ නිවාස සහමුලින්ම පාහේ මෙම මෘග ප්‍රහාරයන් මගින් විනාශ කොට ඇත. මෑතක දී පලස්තීනයේ ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයන් මගින් දහස් ගණන් අහිංසක පලස්තීනුවන් ව ඝාතනය කිරීම පිළිබඳ ව ඉතා මෘදු අයුරින් එය නවත්වන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටි ඇමෙරිකාව එම ප්‍රහාරයන් මැද්දේ මිලියන ගණනක නුතන අවි ඊශ්‍රායලයට සපයන්නට කටයුතු කරන ලදී.

මේ සියල්ල අහඹු සිදුවීම් නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්හි මාධ්‍යය අයිතිය ඇත්තේ යුදෙව්වන්ටය. කර්මාන්ත බැංකු හා ආර්ථික අයිතිය ඇත්තේ ද ඔවුන් යටතේය. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදු කරන අති අමානුෂික ක්‍රියාවන් සාධාරණීය කිරීම සඳහා මෙම ජාත්‍යන්තර යුදෙව් මාධ්‍ය නිරතුරු ව කටයුතු කරමින් සිටියි. වින්දිතයා වූ අන්ත අසරණ පලස්තීනුවන් චුදිතයා කරමින් හා අපරාධකරුවා වූ ඊශ්‍රායලය වින්දිතයා ලෙස ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙම මාධ්‍ය විසින් විවිධ කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය මුලාශ්‍ර විකෘති කොට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් ඉස්ලාමය හා මුස්ලිම් ජනයාව ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වන්නට කටයුතු කිරීම ඔවුන්ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ වැදගත් මෙන්ම මුලික කොටසකි. එම මාධ්‍ය ප්‍රචාරයෙන් අහුලා ගත් කොටස් ඉදිරිපත් කරමින් අප රට තුළ ද ‘ඉස්ලාම් භීතිකාවක්’ ඇති කිරීමට න්‍යායපත්‍ර වාදී ලෙස ඇතැම් අන්තවාදීන් ඉදිරිපත් වී සිටීම සැමගේ පිළිකුලට ලක් විය යුත්තකි.

ජාත්‍යන්තර දේශපාලන බලවේග

ඉස්ලාමයට හා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාකාරකම් රාශියක් දක්නට ඇත. විවිධ රටවල සිදු කරනු ලබන ඉස්ලාම් භීතිකා කටයතු සඳහා මෙම ජාත්‍යන්තර දේශපාලන බලවේග මගින් මුල්‍යමය ආධාර ද ලබා දෙන බවට මාධ්‍ය මගින් නිතර හෙළිදරවු කිරීම දකින්නට ඇත.

ජාත්‍යන්තර දේශපාලනයේ බලයේ සිටින උදවියත් බලයට පැමිණීමට මාන බලන උදවියත් තම දේශපාලන ප්‍රචාරක වේදිකාවේ බෙරිහන් දෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදය, ඉස්ලාමීය භීතිකාව මවා පාමිනි.

පුද්ගලික න්‍යාය පත්‍ර

ඉස්ලාම් භීතිකාව ඉතා සාර්ථක කර්මාන්තයක් බවට බොහෝ අයට පත් ව ඇත. ඉතා ශීඝ්‍රයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වීමට ඇති කෙටිම මග ලෙස බොහෝ අය ‘ඉස්ලාම් භීතිකාව’ තෝරා ගනිති. අල් කුරානය, මුහම්මද් ධර්ම දූතයාණන් හෝ වැදගත් ඉස්ලාමීය පිළිවෙතකට එරෙහි ව ලිපි පොත්පත් ආදිය පළ කළ විට ජාත්‍යන්තර මාධ්‍ය එයට අති විශාල ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කරයි. ජාත්‍යන්තර ව ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ පුද්ගලික න්‍යාය පත්‍රයක් ඇත්තවුන් මෙලෙස ක්‍රියා කරනු අපි දැක ඇත්තෙමු. සල්මාන් රුෂ්දි වැන්නවුන් මෙයට හොඳ උදාහරණයකි. මෙම ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මුදල් ගලා ඒමක් දක්නට ඇති හෙයින් කෙටි කලක් තුළ විශාල ධනයක් රැස් කර ගැනීමට ද ඉස්ලාම් භීතිකාව තෝරා ගනිති.

බහුජන උද්වේගය සඳහා අවශ්‍ය සාධක

බහුජන උද්වේගය සැමට පහසුවෙන් ජනනය කළ හැක්කක් නොවේ. ඉස්ලාම් භීතිකා ව්‍යාපාරයේ සාර්ථකත්වය රැඳී ඇත්තේ බහුජන උද්වේගය ජනනය කළ හැකි ප්‍රමාණය අනුවය. එනම් මිනිසාගේ විචාරයට හා බුද්ධියට දොරගුළු දා ඔහු ව මෙම ඉස්ලාම් භීතිකා ව්‍යාපාරයේ අණට කීකරු ලෙස කටයුතු කරන යාන්ත්‍රීය තත්ත්වයට පත් කළ හැක්කේ බහුජන උද්වේගය සාර්ථක ව දියත් කිරීම තුළින් ය. මෙම කටයුත්ත සැමට පහසු අයුරින් ඉටු කළ හැක්කක් නොවේ. මෙහි සාර්ථකත්වය සඳහා ඇතැම් සාධක අවශ්‍ය වෙයි. මෙම සාධක පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ඉස්ලාම් භීතිකාව පරාජයට පත් කිරීම දුෂ්කර කරුණක් වනු ඇත. එම සාධකයන්ගෙන් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

 සතුරෙකු හෝ සතුරන්
 සතුරුකම සාධාරණීය කරන සාධක
 මෙම සාධක අලෙවි කළ හැකි බහුජන ප්‍රේක්ෂක පිරිසක්
 බහුජන ආකර්ෂණය ඇති සංවිධාන
සතුරෙකු හෝ සතුරන්ගේ අවශ්‍යතාව

කුඩා කල අප ව බියගැන්වීම සඳහා බිල්ලෙක් ගැන සඳහන් කිරීම සාමාන්‍ය කරුණකි. එකල මෙම බිල්ලා අපේ සතුරා විය. බිය හා එමගින් උද්වේගය ජනනය කිරීම සඳහා සතුරෙකුගේ අවශ්‍යතාව මෙයින් පැහැදිලි වන කරුණකි. ඉස්ලාම් භීතිකාව ඇති කිරීම සඳහා ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ව සතුරන් ලෙස හුවා දැක්වීමේ වැඩසටහනක අවශ්‍යතාවක් ඇත. මුස්ලිම් නොවන ජනයා අතර මුස්ලිම්වරුන් ව සතුරන් ලෙස විදහා දැක්වීම මෙමගින් සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපාරයේ ඉලක්ක ගත සතුරා මුස්ලිම් ප්‍රජාව, ඉස්ලාම් දහම හා ඉස්ලාමයේ වත්පිළිවෙත් ආදියයි.

සතුරුකම සාධාරණීය කරන සාධක

ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ව සතුරන් ලෙස මුස්ලිම් නොවන ජනයා අතරේ සනාථ කිරීම සඳහා ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිකරුවන් බොහෝ කරුණු ඔවුන් අතරේ ප්‍රචාරය කරන්නට කටයුතු කරති. මෙම කරුණු වලින් අති බහුතරයක් පදනම් විරහිත අසත්‍යයන් වන අතර ඒවා සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ සන්නිවේදන දක්ෂතාවන් උපයෝගී කර ගනිති. මෙම කරුණු මුස්ලිම් නොවන ජනයාගේ දහමට, වාර්ගිකත්වයට හෝ ඔවුන්ගේ හුදු පැවැත්මට තර්ජනයක් ලෙස විචිත්‍රවත් කොට පෙන්වීම සිදු කරනු ලැබේ. මෙමගින් මුස්ලිම් නොවන ජනයාගේ ප්‍රධානතම සතුරා බවට ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ව පත් කිරීම නිරායාසයෙන් ම සිදු වෙයි.

මෙම සාධක අලෙවි කළ හැකි බහුජන ප්‍රේක්ෂක පිරිසක්

ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට එරෙහි ව ප්‍රචාරය කිරීමේ දී එම ප්‍රචාරයන් පිළිගැනීමට සුදානම් වූ ප්‍රේක්ෂක පිරිසකගේ අවශ්‍යතාව මතු වෙයි. මෙ සඳහා බොහෝ අවස්ථාවන් හි ඉදිරිපත් වන්නේ මුස්ලිම් නොවන ජනයාගේ ආගමික හා ප්‍රජා නායකයින් ය. මෙම පිරිසට තම ඉස්ලාම් භීතිකා මතවාදයන් ප්‍රචාරය කිරීම සඳහා පහසුවෙන් ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත.
බහුජන ආකර්ෂණය ඇති සංවිධාන

බහුජන ආකර්ෂණය ඇති කර ගැනීම උදෙසා මෙම සංවිධාන මුස්ලිම් නොවන ජනයාගේ ආගමික හා වාර්ගික අනන්‍යතාව බොහෝ අවස්ථාවන් හි උපයෝගී කර ගනිති. එම ජනයාගේ ආගමික හා වාර්ගික සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනා බවක් ද පෙන්වා ගනිති.

සතුරාගේ භූමිකාව
I. උද්වේගය පෝෂණය කරන සතුරෙකු වීම

ඉහතින් ඉස්ලාම් භීතිකාව සාර්ථක ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉස්ලාමය හා මුස්ලිම්වරුන් ව මුස්ලිම් නොවන ජනයාගේ සතුරන් ලෙස විදහා දැක්වීමේ අවශ්‍යතාව පිළිබඳ ව සඳහන් කළෙමු. අප ව මුස්ලිම් නොවන ජනයාගේ සතුරන් ලෙස ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිකරුවන් හුවා දක්වන්නට කටයුතු කරන අවස්ථාවේ අපගේ භූමිකාව දෙයාකාරයකින් සකස් විය හැක. ඉන් පළමු වැන්න ඉස්ලාම් භීතිකාව පෝෂණය කරන සතුරෙකු බවට අප කටයුතු කිරීමයි. මෙසේ වීමට හේතුවන කරුණු විමසා බලමු.

1. මෙසේ වීමට ප්‍රධාන ලෙසම හේතු වන්නේ ඔවුන් නගන චෝදනා හා අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ ව නිසි පැහැදිලි කිරීම් ඉතා නිහතමානී ව හා සත්‍ය පදනම් කර ගෙන ලබා දීමට අපොහොසත් වීමයි. නොදැනුවත්කම, හැකියාවන් නොමැත්තන් වගකීම් ගෙන කටයුතු කිරීම හා පුද්ගලාභිවාදනය මෙසේ වීමට හේතු වශයෙන් දැක්විය හැක.

2. ඉස්ලාම් භීතිකාව පෝෂණය කරන පාර්ශවකරුවෙකු බවට අප පත්වන දෙවන හේතුව ලෙස ඔවුන් නගන චෝදනා අපහාස හා අසත්‍ය ප්‍රචාර පිළිබඳ ව එම ස්වරයෙන්ම ඔවුන්ගේ උද්වේගය වර්ධනය කිරීමට හේතු වන අයුරු ප්‍රකාශන නිකුත් කිරීම සිදු කිරීම දැක්විය හැක. අප කටයුතු කළ යුත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් පදනම් කරගෙන ය.

وَلا تَسْتَوِي الْحَسَنَةُ وَلا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ (٣٤)

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) කවරක් යහපත් වන්නේ ද එයින් (අයහපත) වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම තිබුණේ ද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේ ය.” (අල් කුර්ආන් 41 – 34)

3. ඇතැම් අවස්ථාවන් හි මුස්ලිම් සමාජයේ අඩුපාඩු තිබිය හැක. තමන්ගේ අඩුපාඩු පිළිබඳ ස්වයං විවේචනයක යෙදී තත්ත්වය යහපත් කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඉස්ලාම් භීතිකා ප්‍රචාරය පෝෂණය කිරීමට අපගෙන් දායකත්වයක් ලබා දීමක් සිදු වෙයි.

4. සමායාචක (Apologetic) තත්ත්වයට පත් වී ඉස්ලාම් භීතිකා ප්‍රචාරකයන් ඉස්ලාමයට හා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව ඉදිරිපත් කරන සාධක සාධාරණීය කිරීමට නැඹුරු වීම හේතුවෙන් ද ඉස්ලාම් භීතිකාව පෝෂණය කිරීමට අපගෙන් උපකාරයක් සිදු වෙයි.

II. උද්වේගය ජය ගෙන සතුරුකම මිතුරුකමක් කර ගැනීම

සෑම ඉස්ලාමිකයෙකුම ඉස්ලාම් භීතිකා ප්‍රචාර පරාජයට පත් කරවන හා ඉස්ලාම් භීතිකා ප්‍රචාරකයින් ව මිතුරන් බවට පත් කරගන්නා බුද්ධිමත් ක්‍රියාකාරිකයෙකු බවට පත් විය යුතුය. එසේ කිරීමට අප විසින් කළ යුතු මූලික කරුණු පහතින් දක්වා ඇත්තෙමු.

1. එකඟතාවට පැමිණිය හැකි සාධක පිළිබඳ ඉස්ලාම් භීතිකා ප්‍රචාරයේ ප්‍රේක්ෂකයන් හට දැනෙන පරිදි ඉතා නිහතමානී අයුරින් හා සත්‍යය කරුණු පදනම් කර ගෙන කරුණු දැක්වීම. මේ සඳහා මාධ්‍ය සාකච්ඡා හා මාධ්‍ය නිවේදන නිකුත් කිරීමක් සිදු කළ හැක.

2. එකඟතාවට පැමිණිය නොහැකි කරුණු පිළිබඳ ව තර්කානුකුල ව හා යථාර්ථවාදී ව එලෙසම කරුණු පැහැදිලි කිරීම. මෙහිදී උපරිමයෙන් ම සුහදශීලිත්වය පදනම් කර ගෙන කටයුතු කළ යුතු ව ඇත. අපගේ අරමුණ සතුරා පරාජය කිරීම නොව දිනා ගැනීමය.

3. වඩාත් ප්‍රබල සමාජ බලපෑමක් ඇති කිරීම පිණිස ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිකයින්ගේ වාර්ගිකත්වයෙන් යුක්තිය සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නන් දිරිගැන්වීම. මාධ්‍ය සාකච්ඡා වැනි කටයුතු සඳහා ඔවුන් ව සහභාගී කරගත හැකි නම් වඩාත් යෝග්‍ය ය.

4. මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡා කොට කරුණු පැහැදිලි කිරීමට අවකාශ ලබා ගැනීම.

5. මුස්ලිම් නොවන ජනයාගෙන් බහුතරයක් යහ මිනිසුන් බව අපි පිළිගන්නෙමු. සිංහල සමාජයේ අති මහත් බහුතරය වෛරය ක්‍රෝධය පිළිකුල් කරන්නන් හා සාමයට හිතැත්තන් බව ද අපි දනිමු. අවාසනාවට මෙම යහ බහුතරය නිහඬතාවකින් පසුවීම ප්‍රහේළිකාවක් බවට පත් ව ඇත. මෙම නිහඬ බහුතරයේ හඬ මතු කිරීමට දිරි ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

6. උද්වේගය ඇති කිරීමට උපයෝගී කර ගන්නා සාධක නිවැරදි ව හඳුනා ගෙන ඒවා නැවත උපයෝගී කර ගැනීමට ඇති හැකියාව නිෂ්ක්‍රීය කිරීමට දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

මුස්ලිම් ප්‍රජාව නිරතුරුව අවධියෙන් සිටිය යුතු කරුණු
 මුස්ලිම් ප්‍රජාව ඉස්ලාම් භීතිකා ව්‍යාපෘතිකයින්ගේ සතුරෙකු බවට පත්වීමේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය සියලු කටයුතු නිරතුරුව ඉටු කිරීම
 සතුරුකම සාධාරණීය කරන සාධක සියල්ල සඳහා පිළියම් යෙදීම

 අප ව සතුරෙකු කරන සාධක අලෙවි කළ හැකි බහුජන ප්‍රේක්ෂක පිරිස දිනාගැනීමට කටයුතු කිරීම
 බහුජන ආකර්ෂණය ඇති සංවිධාන සියල්ල හා සියලු ආගමික සංවිධාන සමග කටයුතු කිරීමේ අංශයක් සියලු මුස්ලිම් සංවිධානයන්හි ඇති කිරීම

ගැටුම් පෙර ඉඟි (conflict clues) පිළිබඳ අවබෝධයෙන් පසුවීම

ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ ව මුස්ලිම් ප්‍රජාව නිරතුරුව අවධියෙන් සිටීම ඉතා වැදගත් කරුණකි. මේවායින් ඇතැම් කරුණු පහතින් දක්වා ඇත්තෙමු.

 පාර්ශවකරුවන් අතරේ මානසික අසහනය හටගන්නා අවස්ථා (emotional discomfort)
 කිසියම් සිද්ධි දාමයන් ඇති වන අවස්ථා (incident)
 වැරදි අවබෝධය ඇති වන අවස්ථා (misunderstanding)
 නොසන්සුන් බව ඇති වන අවස්ථා (tension)
 අර්බුදකාරී තත්ත්වයන් ඇති වන අවස්ථා (crisis)
 ගැටුම්කාරී අවස්ථා (conflict)

මෙම කරුණු කෙරෙහි අප අවධානයෙන් සිටින්නේ ගැටුම් වළක්වා ගැනීමේ යහ අරමුණු පදනම් කරගෙන ය. උපරිම උත්සාහය දැරිය යුත්තේ සාමය හා සමාදානය ස්ථාපිත කිරීම වෙනුවෙනි.

وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ (٦١)

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආන් 8 : 61)

ඉස්ලාම් භීතිකාව පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගේ වගකීම්

ඉස්ලාම් භීතිකා ප්‍රචාරය සැබෑ තර්ජනයක් බව ලෝ වැසි මුස්ලිම් ප්‍රජාව විසින් අවබෝධ කර ගත යුතු ව ඇති බව අපි දකින්නෙමු. මෙම නූතන අන්තවාදී ජාතිවාදය පිළිබඳ අප සැවොම දැනුවත් විය යුතු අතර එය ජයගැනීම පිණිස කළ යුතු ව ඇති සියලු කාර්යයන් වගකීමෙන් ඉටු කළ යුතු ව ඇත. ඒ පිළිබඳ ව කෙටි අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

1. ඉස්ලාම් භීතිකාව අප විසින් නූතන සංසිද්ධියක් ලෙස සඳහන් කළ ද සැබැවින් ම මෙය අති උතුම් අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයාණන් විසින් අත් විඳි යථාර්ථයක් බව ඉස්ලාමය අපට උගන්වයි. එහි වර්තමාන ස්වභාවයේ නූතනත්වයක් ඇතැම් විට තිබිය හැක. නමුත් එහි හරයේ ස්වභාවයේ වෙනසක් නොමැත. මේ හේතුව නිසාම මෙවන් තත්ත්වයක දී අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් කටයුතු කළ ආකාරය අපගේ පුර්වාදර්ශය ලෙස ගෙන අප කටයුතු කළ යුතු ව ඇත. මෙවන් සියලු අභියෝගයන් ඉදිරියේ එතුමාණන් ඉවසීමෙන්, රිස්සීමෙන්, සහනශීලිත්වයෙන් හා අචල ස්ථීර අධිෂ්ඨාන පූර්වක භවක් පෙන්නුම් කරමින් කටයුතු කොට ඇති බව අපි දකින්නෙමු.

وَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلا (١٠)

“(ප්‍රතික්ෂේප කළ) ඔවුන් පවසන දෑ පිළිබඳ ව නුඹ ඉවසිලිමත් වවු. අලංකාර වැළකීමකින් නුඹ ඔවුන්ගෙන් නුඹ වැළකී සිටිවූ”. (අල් කුර්ආන් 73 : 10)

وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلا تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ (٦٨)

“අපගේ (අල් කුර්ආන්) වදන් වල (වැරදි සෙවීමේ සාකච්ඡාවන් හි) නියැළී සිටින්නන් ව නුඹ දකින විට ඒ හැර වෙනත් සාකච්ඡාවක ඔවුන් නියැළෙන තුරු ඔවුන් ව නොසලකා හරිවු”. (අල් කුර්ආන් 6 : 68)

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلا تَقْعُدُوا مَعَهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ إِنَّ اللَّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا (١٤٠)

“පුස්තකයේ (අල් කුර්ආනයේ) නුඹලාට පහළ කර ඇති පරිදි අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබ තවද ඒවා සමච්චලයට භාජනය කරනු ලැබීම නුඹලා සවන් දෙතොත් ඒ හැර වෙනත් කතාවක ඔවුහු නියැළෙන තෙක් ඔවුන් සමග නුඹලා වාඩි නොවවු”. (අල් කුර්ආන් 4 : 140)

خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ (١٩٩)

“සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ”. (අල් කුර්ආන් 7 : 199)

لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأمُورِ (١٨٦)

“නුඹලාගේ සම්පත් තුළින් ද නුඹලා තුළින් ද සැබැවින්ම නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නේමය. තවද නුඹලාට පෙර පුස්තක ලද්දන්ගෙන් ද ආදේශ තැබුවන්ගෙන් ද අධික පීඩාකාරී වදන් වලට සැබැවින්ම නුඹලා සවන් දෙන්නේහුමය. නුඹලා ඉවසා බිය භක්තිමත් වන්නෙහු නම් සැබැවින්ම එය ස්ථාවර කරුණු වලින් යුක්තය”. (අල් කුර්ආන් 3 : 186)

අල්ලාහ්ගේ දහම, අල් කුර්ආනය හා මුහම්මද් ධර්ම දුතයාණන් ව අපහාසයට හා සමච්චලයට ලක් කරන්නන් පිළිබඳ සානුකම්පිත අයුරින් කටයුතු කොට ඔවුන්ට සත්‍යයේ භාග්‍ය උදා කරදෙන ලෙස මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද සිටීම අපගේ වගකීම වෙයි.

2. ඉස්ලාම් භීතිකා ක්‍රියාකාරකම් අහඹු තනි සිදුවීම් ලෙස නොසිතා අල් කුර්ආනයට, මුහම්මද් ධර්ම දුතයාණන්ට, ඉස්ලාමීය ආගමික වතාවත් වලට හා ඉස්ලාමීය ඇඳුම් පැලඳුම් වලට අපහාස හා සමච්චල් කිරීම ඇතුළු මස්ජිඩ් මද්රසා ආදියට එරෙහි ව ක්‍රියා කිරීම මෙම අප්‍රසන්න හා දුෂ්ට පිළිවෙතේ කොටස් ලෙස සැලකිය යුතු වෙයි.

3. සියලු මාධ්‍ය හා සියලු මුස්ලිම් නොවන්නන් මෙම ක්‍රියාවලියේ ආධාරකරුවන් ලෙස නොසැලකිය යුතුය. සැබැවින්ම බොහෝ මාධ්‍ය හා මුස්ලිම් නොවන පුජක පක්ෂය ඇතුළු බුද්ධිමත් ගිහි පිරිස මෙයට එරෙහි ව ප්‍රසිද්ධියේ තම මතය ප්‍රකාශ කොට ඇති අතර මුස්ලිම් ප්‍රජාව වෙත ඔවුන්ගේ සහයෝගය ද දක්වා ඇත. ඔවුන් සමග නිරතුරු ව සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
4. ඉස්ලාම් භීතිකා ව්‍යාපාරයන් ජාතිවාදී හා අන්තවාදී ව්‍යාපාරයන් ය. එහෙයින් අ අයුරින් ම මෙම ව්‍යාපාරයන් හඳුන්වා දෙන්නට කටයුතු කළ යුතුය.
5. ඔබ අන්තර් ආගමික සාකච්ඡා වලට සහභාගී වන අවස්ථාවන් හි ඉස්ලාම් භීතිකා කටයුතු පිළිබඳ අන් ආගමිකයින් දැනුවත් කරන්නට කටයුතු කරන්න. ඉස්ලාම් භීතිකා කටයුතු පොදු වශයෙන් හෝ නිශ්චිත සිදුවීම් හෙළා දැක මෙම සංවිධාන මගින් මාධ්‍ය නිවේදන නිකුත් කරවා ගැනීමට කටයුතු කරන්න.
6. ඉස්ලාම් භීතිකා ව්‍යාපාර මගින් ඉදිරිපත් කරන පදනම් විරහිත චෝදනා බොහෝමයකට දැනට සිංහල බසින් පැහැදිලි කිරීම් අලංකාර අයුරින් සකස් කොට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී ඇති හෙයින් මෙම පොත් මුස්ලිම් නොවන සංවිධාන, මහජන පුස්තකාල, පාසල් පුස්තකාල හා ආගමික නායකයින්ට ලබා දෙන්නට සැලසීම. දේශපාලන නියෝජතයින්ටත් පිටපත් ලබා දී අවශ්‍ය නම් පැහැදිලි කිරීම් ලබා දෙන්නට සුදසු පුද්ගලයින් යොදවා ගන්න.
7. ඉස්ලාම් භීතිකා සිදුවීම් වාර්තා සකස් කිරීමට කටයුතු කරන්න. සෑම සිදුවීමක් පිළිබඳ ව ම පුවත්පත් කර්තෘවරුන්ට හා පාඨක ප්‍රතිචාර තීරුවට ලිපි සකසා යැවීම. මෙම ලිපි සැකසීමේ දී ඉස්ලාමීය සාරධර්ම හා අගයන් ආරක්ෂා වන අයුරු සකස් කළ යුතු ව ඇත. කිසිවෙකුගේ සිත් රිදවීමක් සිදු නොවන අයුරු කටයුතු කිරීමට වග බලා ගත යුතු ව ඇත.
8. ඔබ ප්‍රදේශයේ මස්ජිදය මුල් කරගෙන ජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡා
පැවැත්වීමට කටයුතු කරන්න. මෙම සාකච්ඡා සඳහා මුස්ලිම් හා මුස්ලිම් නොවන ප්‍රජාව හා ආගමික නායකයින් සුදුසු පරිදි සහභාගී කර ගැනීමට කටයුතු කරන්න.
9. ඉස්ලාම් භීතිකා ව්‍යාපාර හා කටයුතු පිළිබඳ හඬ නගන්නන් හට ස්තුති වන්ත වීමට අමතක නොකරන්න.
10. මෙම පිළිකුල් සහගත ක්‍රියාවන්හි යෙදී සිටින්නන් හට සත්‍යය අවබෝධ කර ගැනීමට අවස්ථාව ඇති වීමටත් ඔවුන්ට යහ චින්තනය ලැබී මුස්ලිම් ප්‍රජාව සමග සුහදත්වය අන්‍යෝන්‍ය අවබෝධය හා සමාජ සංහිඳියාව ඇති වීමටත් මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද (දුආ) සිටින්න. මෙම කටයුත්ත සඳහා සෑම මුස්ලිම්වරයෙකුම දැනුවත් කිරීමට කටයුතු කරන්න.

Leave a Reply

Your email address will not be published.