ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-1.

(ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ.)

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23)

“අද දින ලංකා ඩොමීනියන් රාජ්‍යය පුරාම ලංකා යෝනක ජාතිකයෝ ඔවුන්ගේ ජාතික දිනය සමරති. මුල් පදිංචි කරුවන් අරාබියෙන් පැමිණි නමුදු සමස්ත ලංකා යෝනක සංගමය වෙනම අනන්‍යතාවකට සහ නාමයකට හිමිකම් කියති.

ලංකා යෝනකවරුන්ගේ මුලාරම්භය ශත වර්ෂ ගණනාවක් ඈතට විහිදේ. අබ්දල් මලික් බින් මර්වාන් කාලිෆ්වරයාගේ වධ හිංසා වලින් බේරීම සඳහා ඇතැම් අරාබි ජාතිකයෝ ලංකාවට (සෙරන්ඩිබ්) පැමිණ ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, බේරුවල සහ ගාල්ල යන ප්‍රදේශ වල පදිංචි වුහ. සිංහල මිනිසුන් අතර ප්‍රසිද්ධව තිබුණේ මකල්ල වරාය වූ හෙයින් මේ අලුත් මිනිසුන් “මරක්කල” යන නමින් ඔවුහු හැඳින් වූහ. ද්‍රවිඩයින් ඔවුන් හැඳින්වුයේ “චෝනහර්” යන නමිනි.

හිජ්රි වර්ෂ (හිජ්රි වර්ෂය ආරම්භ වන්නේ මුහම්මද් ධර්ම දුතයානන් ගේ උපන් බිම වූ මක්කාහ් ප්‍රදේශයේ ජීවත් වූ ඉස්ලාම් විරෝධී කුරෛෂ් ගෝත්‍රිකයින් එතුමාණන් ව මරා දැමීමට සුදානම් වීමත් සමග දෙවිඳුන්ගේ උපදෙස් පරිදි මදීනා නගරයට දෙශාන්තරණය කළ දිනය පදනම් කරගෙනය.  ඉස්ලාමීය දින දර්ශනයේ ආරම්භය මෙයත් සමග සිදු වේ. හිජ්රි යනු දෙශාන්තරණය යන අරුත් ඇති අරාබි පදයකි.  402 දී අරාබියේ සිට තවත් පිරිසක් මෙහි පැමිණියහ. යෝනක මිනිසුන්ට ලංකාවේ රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බේරුවල වාස භුමිය කොට ගත්හ.

ඔවුන්ගේ ප්‍රගතියට කිසිවකුගෙන් හෝ බාධාවක් නොවීය. කොළඹ සිට හම්බන්තොට දක්වා වෙළඳාමේ ඔවුන් නිරත වූ අතර, සිංහල රජවරුන්ට ඔවුන් ගෙවූ බදු නිසා ක්‍රි. ව. 1350 වන විට ඔවුහු එක්තරා බලපෑමක් ඇති කළ හැකි පිරිසක් වුහ.

ඉතිහාසයට අනුව යෝනකවරුන්ගේ විශාලතම ආගමනය සිදු වුයේ පළමු වන බුවනෙකබාහු රාජ්‍ය කාලයේ අට වන වර්ෂයේදීය. අලුතින් පැමිණි මේ අමුත්තන්ට පුත්තලමේ සිට බේරුවල දක්වා සමුද්‍ර තීරයේ ගම්මාන වල පදිංචි වීමට සහ සිංහල කුල කාන්තාවන් සමඟ විවාහ වීමට පළමු වන බුවනෙකබාහු රජු අවසර දුන්නේය. මුලින් ම ලංකාවට පැමිණි යෝනක ජාතිකයින්ගෙන් පැවතෙන්නන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ගියේය. ඔවුන් පසු කලෙකදී වූවද අරාබි ස්ත්‍රීන් මෙහි ගෙන්වා ගත් බවට වාර්තා නොමැත. සිංහල මව් පාර්ශවයෙන් පැවත එන්නන් ලෙසට ඔවුන්ට ඓතිහාසික පසුබිමක් ඇති බවට හිමිකම් කිව හැකිය.

ලංකාවේ යෝනක නායකයන්ට බොහෝ විට “හිමි” යන පටබැඳි නාමය තිබුණි. මීට හේතුව පුරාණ හිමියාර් හෝ යේමන අරාබි රාජධානිය සමග ඔවුන්ගේ තිබුණු සම්බන්ධතා විය හැකිය. මේ අනුව, වස්තු හිමි නමැති සිංහල යෝනක කුමරු කුරුණෑගල රාජධානිය කොට ගෙන දෙවන බුවනෙකබාහු නමින් ලංකාවේ රජ කළ බව පෙනේ.

යෝනක රජු

වස්තු හිමි කුමාරයා වූ කලී පළමු වන බුවනෙකබාහු රජුගේ දෙවන බිසව වූ, කුරුණෑගල ට ආසන්න  මැදකැටිය ගමේ විසු කුලීන යෝනක කාන්තාවක් වූ යකඩ දෝලිය බිසවගේ පුත්‍රයා බව කුරුණැගල පුරාවෘතයන්හි සඳහන් වේ. මේ කුමාරයා මුස්ලිම් භක්තිකයෙකු වූ නමුත් පුණ්‍ය කටයුතු කිරීමෙන් පින් දහම් රැස් කිරීමට ආශා කළ රජෙකු බවත් බෞද්ධ භික්ෂුණ් දහස් ගණනකට දිනපතා දානය පිරිනැමීමට ඔහු විසින් කටයුතු සැලසු බවත් මහාවංශයේ සඳහන් වේ. “තමා ඔටුනු පලන් දින උත්සවය රජෙකුට ඔබින ඉතා අනර්ඝ තත්වයෙන් වර්ෂයක් පාසා ඔහු විසින් පවත්වන ලද අතර ඉන් පසු උපසම්පදා මංගල්‍යයක් ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වා බුදු දහමට ප්‍රධාන තැනක් ලබා දුන්නේය” යි මහාවංශය කියයි.

රාජකීය කුමාරිකාවකට (රන්දෝලිය බිසව) උපන් කුමරෙකුට, එනම්, වස්තු හිමි කුමාරයාගේ අර්ධ සොහොයුරෙකුට පක්ෂපාත වූ සිංහල අමාත්‍යවරුන් පිරිසක්, වස්තු හිමි කුමාරයාගේ රාජ්‍ය කාලයේ දෙවන වර්ෂයේදී, දැනට කුරුණෑගල කච්චේරිය පිහිටි ස්ථානයට පිටු පසින් පිහිටි ඇතුගල මුදුනේ පැවැත් වූ උත්සවයකට සහභාගී වන ලෙස රජුට ආරාධනා කොට ඔහු එකී ගල මුදුනෙන් පහළට පෙරළා ඔහුගේ මරණය සිදු කළහ. ඔහුගේ මරණය සිදු වූ ස්ථානයේ ගලේ බණ්ඩාර දේවාලය ඉදිකොට තිබේ. කුරුණෑගල විසු එෆ්. එම්. මොඩර් මෙසේ ලියා තිබේ. “මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ ගල් පර්වතය අසල ප්‍රදේශයේ ඇතැම් දින වල මැදියම් රැයේදී දුඹුරු පැහැති අශ්වයෙකු පිට නැගී ගත් සුදු ඇඳ ගත් පුරුෂයෙකුගේ අවතාරය දිස්වන බව අද දක්වාම මිනිස්සු විශ්වාස කරති.  මේ වූ කලී වස්තු හිමි කුමරුගේ  අවතාර යයි කියනු ලැබේ.

1470 – 71 දී හට ගත් සිංහල කැරැල්ලේදී දෙවන බුවනෙකබාහු රජුට විරුද්ධව නැගී සිටි කැරලි නායක සිරිවර්ධන පතිරාජට කුරුගම-හිමි නමැති බලසම්පන්න යෝනක ප්‍රධානියා විසින් උදව් කරන ලදී. කළු ගඟේ සිට වලවේ ගඟ දක්වා ද වැලිගම සිට කෝට්ටේ අසල ප්‍රදේශය දක්වාද සිරිවර්ධනගේ හමුදා ප්‍රබලව සිටියහ. රජුගේ බාල සොහොයුරා විශාල හමුදාවක් රැගෙන වැලිගමට ගොස් කුරුගම-හිමිගේ පිටු පසින් පහර දුන් නමුත් අවසානයේදී සමගි සම්මුතියකට පැමිණ යුද්ධය සමාදාන වීමට රජුට සිදු විය. වැලිගම අද දක්වාත් වැදගත් යෝනක පිරිස වසන  නගරයක්ව පවතී.

පෘතුගීසීන් විසින් ලංකාව සොයා ගන්නා ලද්දේ ද යෝනකවරුන් නිසාය. ලංකාවෙන් රැගෙන ගිය වටිනා කුළුබඩු රැගත් නැව් පසු පස පෘතුගීසීන් එළවා ගෙන යාමේදී කුණාටුවකට අසු වූ පෘතුගීසී නැව් ලංකාවේ වෙරළට ගසා ගෙන ආවේය. පසු කලෙක ලංකාව යටත් කොට එහි පාලනය ගැනීමට පෘතුගීසීන් පැමිණි විට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට යෝනක ජාතිකයෝ දෙවන විජයබාහු රජුට සහයෝගය දුන්හ. කෝට්ටේ රාජධානියට පිටතින් ආරක්ෂක පවුරක් ඉදිකළ යෝනකයින් පෘතුගීසීන්ගේ ඉදිරි ගමන වැළැක් වීම සඳහා කාලතුවක්කු කීහිපයක් එහි සවි කළහ. පෘතුගීසීන්ට ජය අත් වූ පසු ඔවුන් හැකි තරම් විශාල වශයෙන්  යෝනක ජාතිකයින්  මරා දැමුහ. මේ ඝාතනයට අසු නොවී පලා ගිය සියලුම යෝනක වරුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු විසින් පිළිගන්නා ලද අතර ඔවුනතුරින් ආරෝහ  පරිනාහ අය මඩකලපුවේ යුද්ධ හමුදාවට බඳවා ගන්නා ලදී”.

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23)

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-2.

ඔටු බලකාය

හෙන්රි කොරයා.

(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8

“රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුද්ධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවායේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෞරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි. වර්ෂ 1634 – 1684) විසින් හඟුරන්කෙත මහා දේවාලයට පුජා කරන ලද රාජකීය ප්‍රතිඥාත දේව අංගම් රෙද්දෙහි මේ බලකාය සිතුවම් කරන ලදී. මන්නාරමෙහි බෝබ් ගස් දෙකක් තවමත් තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. මේ ගස් වල කොළ ඔටුවන්ගේ ආහාරය පිණිස ගනු ලැබීය. මේ ගස් දෙකින් එකක් මන්නාරම් නගරය මැද ඇති අතර අනෙක පිහිටා ඇත්තේ මන්නාරමෙන් සැතපුම් දහයක් ඈත යාපනය පාරේ පපාමොටෙයි ගමෙහිය. මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුක්කන් සහ සලවතුරෙයි (සිලාවතුර) හරහා යාමෙන් ළඟා විය හැකි අරිප්පු නමැති ස්ථානයේ මුහුදට මුහුණ ලා පිහිටි අත හැර දැමු යෝනක ජල ස්ථම්භයක් දැනුදු දක්නට ඇත.

ලන්දේසි අද්මිරාල් ජෝරිස්‌ වෑන් ස්පිල්බර්ජන් මඩකලපුවට ගොඩ බට බව සැල වූ විට දෙවන විමලධර්මසුරිය රජු මහත් සේ සතුටට පත් ව මේ විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා තුර්කි, යෝනක හා සිංහල වැනි නානා ජාතීන්ගෙන් සමන්චිත බල ඇණි අටකින් සමන්විත වූ දහසක් පමණ යුද්ධ සේනාවක් මඩකලපුවට යැවූ බව වුටර් ස්කෝටන් විසින් ලියා තිබේ.

එක්තරා ලුණු ප්‍රමාණයක් වර්ෂයක් පාසා ලුණු බද්දේ දිසාවට ගෙනවුත් භාර දීමටත් පුවක්  වෙළඳාමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමටත් යටත් ව මුහුදු බඩ පළාත් සමඟ වෙළඳාම් කිරීමේ තනි අයිතිය කන්ද උඩ රට රජ වරුන් විසින් යෝනක ජාතිකයන්ට දී තිබුණේය.

මුහුදු බඩ ප්‍රදේශ වල සංචාරය කිරීමේදී යෝනක වෙළඳුන්ට දී තිබුණු අවසර පත් ඒ ඒ කඩවත් භාරව සිටි මුදලි වරුන්ට පෙන්වීමට යෝනක වෙළඳුන්ට නියම කර තිබුණු බවත් ලේඛනාගාර වල ඇති ඕලන්ද ලේඛන වලින් පෙනේ.

කල්පිටිය සහ පුත්තලම වරාය වලට ඇතුළු වන උඩරට යෝනක වෙළඳුන් විසින් රතු සිංහ රුපයක් සහිත සුදු කොඩියක්, වෙළඳ බඩු වැඩි වැඩියෙන්ම පුරවා තිබුන සෑම යාත්‍රාවකම ඔසවා තැබීම විශේෂ සිද්ධියකි.

මේ අනුව බලන කළ, ඔවුන්ගෙන් පැවතෙන්නන් වූ වර්තමාන යෝනකවරු සිංහ කොඩියට සැලකිලි දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන් ලංකාවට ගොඩ බට දිනයේ සිටම සිංහ කොඩිය ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක්ව පවතී.

නිශ්චල කලපු ජලයෙන් යුත් ලේවායන් හරහා සැතපුම්  හතරක් ඈතින් නැතහොත් පුත්තලමේ සිට බටහිර දෙසට විහිදී කල්පිටියට යන ධුලි සහිත පාරේ සැතපුම් දහයක් ගිය තැන නවකඩ්ඩු නමැති අප්‍රකට ගම්මානය පිහිටා තිබේ. මෙහි පිහිටි අලංකාර පුළුල් වෙරළේ බොරලු රහිත සිහින් වැලිතලාව මෘදු පාද වලට සුව පහසුව ගෙන දෙන්නකි. රළ පතරින් තොර මුහුද කොතරම් නොගැඹුරු ද යත්, බොහෝ ඈතට යන තෙක් ළදරුවන්ට වුවද එහි බැස යා හැකිය.

මේ ගම නවකඩ්ඩු යනුවෙන් නම් කර ඇත්තේ කඩු නවයක ගම යන අර්ථයෙනි. එකල රජතුමෙකු ගේ අභිෂේක මංගල්‍යයෙන් පසු අභිනව රජතුමා මුහුදේ ස්නානය කොට රාජකීය අසිපත පැලඳීමට පෙර එය මුහුදු ජලයේ එබිය යුතුව තිබිණි. ඔහු ලංකාවේ රජු වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පසුව පමණකි. මෙකී පෞරාණික චාරිත්‍රය ඉටු කිරීම සඳහා රජවරුන් නව දෙනෙකු තම අසිපත් මෙම ගම අවට මුහුදු ජලයේ ඔබා ඇති බැවින් ගමට මේ නම ලැබුණේ යැයි කියනු ලැබේ.

මෞලි මංගල්‍යයේ මේ චාරිත්‍රය, මහනුවර දළදා මාලිගාවේ සහ දේවාල වල පෙරහැර අවසාන වීමෙන් පසු සිදු කරනු ලබන  දිය කැපීමේ උත්සවයට සම්බන්ධ වුවක් දැයි අපි නොදනිමු. එහෙත් මෙම චාරිත්‍ර දෙකෙහි කැපී පෙනෙන සමානත්වයක් දක්නට තිබේ.

ඇතැම්  විට, රජතුමෙකු තමන්ගේ රාජධානියට අයත් සමුද්‍රයට ද අධිපතියා බව හැඟවීම සඳහාත් තම කඩුවේ බලයෙන් සමුද්‍රය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමක් වශයෙනුත් මේ චාරිත්‍රය පවත්වනවා විය හැකිය. විජය කුමාරයා මේ ගම අසල ප්‍රදේශයකට ගොඩ බැස්ස නිසාත් පුත්තලමෙන් සැතපුම් හයක් පමණ ඈත පිහිටි තණමල්විල නමැති ස්ථානයේදී කුවේණී සමග ඔහුගේ විවාහය සිදු කරනු ලැබූ හෙයින් ඒ නගරය මගුල් තොටමුණ යන නමින් ප්‍රකට වීම නිසාත් මේ චාරිත්‍රය ඇති වුයේ යැයිද සිතිය හැකිය.

අරාබි වෙළෙන්දෝ

පුත්තලමේ පදිංචි කරුවන්ගෙන් වැඩි දෙනා යෝනක ජාතිකයෝ වෙති. මෙම යෝනක ජාතිකයෝ වූ කලී, ලුණු හිඳීමට හා වෙළඳාම් කිරීමට අමතරව මුතු කිමිදීම, පොල් වගා කිරීම සහ වී ගොවිතැන් කිරීම සඳහා අට වන සිය වසේදී මෙහි පැමිණි අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන්නෝ වෙති. මේ නිසාම මෙම නගරයේ ඇති මුස්ලිම් දේවස්ථානය අත්‍යලංකාර විශිෂ්ට ගොඩනැගිල්ල්ලක් ලෙස ඉදි කොට තිබේ. මේ දේවස්ථානයේ උත්තුංග කොත් ඉතා ඈතට දර්ශනය වන අතර ළඟ සිට නරඹන්නෙකුට මේ දේවස්ථානයේ අලංකාරය සහ එය තබා ඇති මනහර තත්වය මැනවින් දැකිය හැකිය. එහෙත් මේ සැමටත් වඩා මේ දේවස්ථානයේ ඇති විශේෂ ලක්ෂණය නම් සිංහල රජ දරුවෙකු විසින් තම කෘතඥතාව පළ කිරීම වස් තමාගේ රාජ පාක්ෂික යෝනක ජාතිකයින්ට තෑගී කරන ලද අගනා තෑගී රැසක් මෙහි තබා තිබීමය.

සිංහල රාජ පරම්පරාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා චාරිත්‍රානුකුලව මෞලි මංගල්‍යය අවසාන කිරීමට නවකඩ්ඩු බලා යන ගමනේදී මේ නගරයෙන් පිටත පිහිටි සෙල්ලංකෙන්ඩල් නමැති ස්ථානයෙහි නතර වී ඇත. මේ ස්ථානය අද විනෝද කාමීන්ගේ ජනප්‍රිය ස්ථානයකි. විශේෂයෙන්ම, උෂ්ණාධික දින වල දුවිල්ලෙන් පිරි මාර්ග වල ගමන් කොට විඩා පත් මිනිසුන්ට මෙහි ඇති පිරිසිදු වැලිතලාව සහ පැහැදිලි ජලය ආනන්ද ජනකය. ඉහත සඳහන් පරිදි නරේන්ද්‍රසිංහ රජතුමා මෙහි සැපත් වූ අවස්ථාවේදී මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ හෙට්ටි ගෝත්‍රයට අයත් රාමනාදන් නමැති දිසාව විසිනි. මුරමඩ්ඩු නමැති ඔහුගේ දිසා සහය මුක්කුමාර් ජන ප්‍රධානීන් අට දෙනෙකුගෙන් සමන්චිත වුවකි. ඔවුන් රජු සඳහා තාවකාලික මණ්ඩපයක් ඉදි කොට ඒ ප්‍රදේශයෙන් ලබා ගත හැකි වූ සෑම වර්ගයකම ප්‍රණීත ආහාර පාන වලින් රජතුමාට සංග්‍රහ කරන ලදී. එහෙත් රජුට හෝ රජතුමාගේ පිරිසේ අන් කිසිවෙකුට හෝ කවරදාක වත් සතුරු උවදුරක්‌ මෙහිදී පැමිණේ යැයි ඔවූහු සිහිනෙන් පවා නොසිතුහ.

මිනීමරුවන් පලවා හැරීම  

බලෙන් රජකම උදුරා ගැනීමට අපේක්ෂා කළ තැනැත්තෙකු විසින් රජු මරා දැමීමට එවන ලද පිරිසකගේ කඩා වැදීම නිසා හදිසේයේම විශාල කලබැගෑනියක් ඇති විය. මේ අවස්ථාවේදී රජුට හරසර දැක්වීමට පැමිණ සිටි යෝනක ජනයා  විසින්  මිනීමරුවන්ට පහර දී තළා පෙළා ඔවුන් පලවා හරින ලදී.

කෘතඥ පුර්වක රජතුමා මේ යෝනක ජනයාගේ නිර්භීත භාවය සහ රාජ පාක්ෂික භාවය ගැන පැහැදී මහනුවර රාජ ලාංජනය සහිත තමාගේ පෞද්ගලික කොඩියද රාජකීය පෙරහැරේ භාවිත කළ සංගීත භාණ්ඩ කිහිපයක්ද චාමර දෙකක්ද රිදී ටැසල් දහ අටක් සහ වෙනත් බොහෝ භාණ්ඩද ඔවුන්ට තෑගි කොට ඒවා ඔවුන්ගේ පෙරහැරයන්හි පාවිච්චි කිරීමට උපදෙස් දුන්හ.

රජතුමා තෑගී කළ ඉහත සඳහන් කොඩියට කුමක් වුයේ දැයි දැන ගන්නට නැති නමුත් අනෙකුත් සියලුම භාණ්ඩ සුරක්ෂිතව යට කී දේව ස්ථානයෙහි තබා තිබේ. එසේම, රජතුමා අපේක්ෂා කළ පරිද්දෙන් මේ භාණ්ඩ සමහරක් පෙරහැර වලදී භාවිත කරනු ලැබේ. එසේ තෑගී කරන ලද හොරණෑ වලින් එකක් කොට කිරීමට සිදු විය. එය තිබුණු පරිදි පිඹීමට අපහසුවූ අතර ශත වර්ෂ ගණනකට ඉහත දී සිටි මිනිසුන්ට අදට වඩා ශක්තිමත් පෙණහලු තිබුණේදැයි ඒ දකින ඇතැමෙකුට සිතෙන්නට පුළුවන.”

හෙන්රි කොරයා.

(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8)

(උපුටා ගැනීම: “ශ්‍රී ලංකා යෝනකවරුන්ගේ අතීත පියසටහන්” – යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය – කොළඹ)

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-3

 අරාබි පිය පාර්ශවයෙන් හා සිංහල මව් පාර්ශවයෙන් පැවත එන ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ මව්බස දෙමළ වුයේ කෙසේද යන්න පිළිබඳ මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වූ  පර්යේෂණාත්මක ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

  “ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මව්බස කුමක්ද යනු මත භේදයට තුඩුදුන් කරුණකි. උතුරේ සහ නැගෙනහිර අය දෙමළ භාෂාව කථා කරන අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල භාෂා දෙකම කථා කරති. මැදපෙරදිගින් මුලින්ම පැමිණි සාංක්‍රමණිකයෝ අල් කුර්ආනයේ භාෂාව හා ආගමික මෙහෙය පවත් වන අරාබි භාෂාව කථා කළහ. එනිසා බෞද්ධයන්ට පාලි භාෂාව මෙන් මුස්ලිම් වරුන්ට අරාබි භාෂාව ශුද්ධ වන්ත එකක් වී තිබේ. එසේ වුවද ඉන්දියන් සාගරයේ වෙරළබඩ වාණිජ කටයුතු වලදී දෙමළ භාෂාව බහුල ලෙස භාවිත කරනු ලැබු බැවින් එය කතා කිරීම මුස්ලිම් වෙළන්ඳන් හට ප්‍රායෝගික අවශ්‍යතාවක් විය.

මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචි ව සිටි මුල් අරාබි වෙළන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කර ගත්හ. මේ කුඩා මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අත හැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය විය. දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය වර්ධනය වෙත්ම, ද්‍රවිඩ වාග් ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස් කම් සහිතව දෙමළ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත්හ. ඉස්ලාමීය සංකල්ප සහ ආගමෙන් මුළුමනින්ම වෙන් කළ නොහැකි යම් යම් කටයුතු ප්‍රකාශ කිරීම සඳහා අරාබි වචන ගණනාවක් හඳුන්වා දී තිබේ. මෙම උපභාෂාව අරාබි-දෙමළ භාෂාව යනුවෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් ඉස්ලාමීය ලෝකයේ සාහිත්‍යය දැන සිටි අතර ඒවායින් සමහරක් අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. දහ හතර වන සියවසේ සිට අරාබි දෙමළ මාධ්‍යයෙන් දකුණු ඉන්දියාවෙන් ඉස්ලාම්හි බලපෑම් පැතිරෙන්නට විය.

දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් සහ ශ්‍රී ලංකාව අතර පැවති වාණිජ සම්බන්ධකම් සහ සංස්කෘතික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් විය. ඉස්ලාම් දහම හැදෑරීම සඳහා වෙල්ලෝරයේ දේව ධර්ම ආයතන වලට ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් පරම්පරා ආපසු පැමිණ තමන් උගත් දේ අන් අයට පහදා දුන්හ. වර්ධනය වු මිත්‍ර සම්බන්ධකම් කෙතරම් වීද යත්, දකුණු ඉන්දියානු මුස්ලිම් වරුන් ගරු බුහුමන් දැක් වු පුද්ගලයෝ ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් අතරද ඒ හා සමාන ගෞරවයකට පාත්‍ර වුහ. සතකතුල්ලා අප්පා, මාප්පිල්ලේ ලෙබ්බේ අලීම් වැනි නම් පෝක් සමුද්‍ර සංධිය දෙපැත්තේම එක ලෙස ප්‍රචලිත විය. මේ සියලු සම්බන්ධතා පවත්වනු ලැබුයේ අරාබි දෙමළ භාෂාව මගිනි. එය මුස්ලිම් වරුන්ගේ වාණිජ භාෂාව පමණක් නොව ඉස්ලාමීය සංස්කෘතියේ භාෂාවද විය. අල් කුර්ආනය අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද අතර මෑතක් වන තුරුම එය සිංහලයට පරිවර්තනය කරනු නොලැබීය. මුස්ලිම් ළමයින් අනිවාර්යයෙන්ම අල් කුර්ආනය කියවිය යුතු වු බැවින් ඔවුන්ට අරාබි-දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදු විය. මුළුමනින්ම සිංහල කතා කරන ප්‍රදේශ වල ශත වර්ෂ ගණනාවක් ජීවත් වු මුස්ලිම් වරුන් ඔවුන්ගේ මව් බස වශයෙන් අරාබි-දෙමළ භාෂාව රැකගත්තේ මන්දැයි මෙයින් පැහැදිලි වේ. (ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915 ග්‍රන්ථ කර්තෘ: ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය)

අද ඇතැම් ආගම්භේදවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකේය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යා යුතු බවත්ය. මේ නිසා අපට වත්මන් ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි. එම නිසා පහත සඳහන් මුලාශ්‍රයන් මගින් උපුටා ගත් කොටස් සැමගේ අවධානය පිණිස මෙමගින් ඉදිරිපත් කරන්නෙමු.

“අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ ආරම්භය පිළිබඳව මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා නම් ලංකාවට පැමිණි අරාබි වෙළඳුන්, මලබාර වෙළඳුන් සහ ජාවකයන්ය. මෙයින් අරාබි වෙළඳුන් සමග ශ්‍රී ලංකාවෙහි තිබුණු සබඳතාව පුර්ව ඉස්ලාමීය යුගය දක්වා ඈතට විහිදී ඇත. ලංකාවේ රජ කළ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂණය කරන අපට ඒ ගැන සාධකයක් හමු වෙයි. එනම් පණ්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙළඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුළ යවන (යොනුන් වාසය කළ) වීදි  පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

ඉතිහාසය මේ කියන දෙය සත්‍යයක් නම් ශ්‍රී ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුග‍යට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබි වරුන් මෙරටට පැමිණ මෙරට සමග ගනු දෙනු කරන්නට ඇත.

එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍දේශීය කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂණ වලින් හෙබි සමාජයක් බිහි වන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි ඇතැම් ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ෂණයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහළොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘති වු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගනු දෙනු කළේ මෑතක සිට නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කර ගත්තේද අද ඊයෙක නොවන බව ද පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශත වර්ෂයේ දී කායල්පට්නම් හි මුල් ජනාවාස පිහිටුවා ගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී එම නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

තමා සිටි කාලයේ බේරුවල පදිංචි වී සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙක් මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩ බැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිප දෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

කෙසේ වුවද මගේ අදහස නම් ලොව නානාවිධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙළඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධ වු ජනවර්ග වලට අයත් අයවලුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහි ව ඇති බවයි.

වත්මන් සමාජයට අතීතය දෙස බැලීමෙන් ඉතිහාසයෙන් ලද හැකි ආදර්ශයන් බොහෝය. විශේෂයෙන් අතීතයේ අප රට තුළ තිබුණු ආගමික සහජීවනය අරභයා ලද හැකි පාඩම් බොහෝමයක් ඇත. විශේෂයෙන් උඩරට පාලන කාලය තුළ සහ ඊට පසුව මුස්ලිම් වරුන් සහ උඩරට සමාජය අතර තිබුණු සහසම්බන්ධය ඉතා විශිෂ්ටය.” (මහාචාර්ය ලෝනා දේවරාජගේ “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙන් පහත කොටස උපුටා ගන්නා ලදී.

“1872 දී සම්පාදනය කරනු ලැබු, මහනුවර දිස්ත්‍රික්කයට අයත් රාජකාරි බදු ලේඛනයේ (Service Tenures Register, Kandy, Vols. 1,2, 1872 කච්චේරියෙන් හමු වු අත් පිටපත) කරන ලද සේවාවන් වෙනුවෙන් මාලිගාවට අයත් සේවා පංගු වල පදිංචි ව සිටි මුස්ලිම් වරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වේ. මුස්ලිම් වරුන් ඉටු කරන ලද සේවාවන්, හීන කුලයේ කාර්යයක් යැයි සලකනු ලැබු බෙර ගැසීමේ සිට ගොවි කුලයේ උසස් අය විසින් පමණක් උසුලන ලද ඉතා සම්භාවනීය ස්වභා‍වයේ නිලයන් දක්වා පැතිරුණු ඒවා විය.

මොහොමඩ් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ යන මුස්ලිම් වරුන් දෙදෙනා දළදා මාලිගාවට අයත් පල්ලෙ ගම්පහ කහවත්ත නම් ගමේ ලුණු දෙන පංගුව භුක්ති වින්දාහ. එම පංගුවට අයත් රාජකාරිය වුයේ, අලුත් අවුරුදු මංගල්‍යය සඳහා හොඳ පිරිසිදු ලුණු සේරු 20ක් මාලිගාවට සැපයීමයි. (STR of the Dalada Maligava, Services due from Harispattuva p.695) උඩරට රාජධානියේ අන්තිම කාලය වන විට ඕලන්ද වරුන් වරායවල් පාලනය කරමින් අත්‍යවශ්‍ය වෙළඳාම සීමා කිරීමට උත්සාහ දරමින් සිටි බැව් සිහිපත් කිරීමේදී මෙම රාජකාරියේ බැරෑරුම් කම වැටහෙනු ඇත. මාලිගාවේ කාර්ය මණ්ඩලයට ආහාර පාන සැපයීම සඳහා ප්‍රමාණවත් ලුණු සහ කරවල තොග තබා ගැනීමට මාලිගාවේ මුලාදෑනීන්ට සිදු විය. දියවඩන නිලමෙට කරවල කූරියකු සහ බුලත් හුරුල්ලක් (කොළ හතළිහක්) සැපයීමද ඒ රාජකාරියේම කොටසක් විය.

බුලත් හුරුල්ලක් පිළිගැන්වීම යමකුගේ හාම්පුතුන් හට ගරුසරු දැක්වීමේ චාරිත්‍රයකි. මේ සිරිත දැනුදු, විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙනු දැකිය හැකිය.

ලුණු සහ කරවල සැපයීම, මුස්ලිම් වරුන් විසින් ඉටු කරන ලද ආගමික හෝ සංස්කෘතික හෝ වැදගත්කමකින් තොර හුදෙක්ම ප්‍රයෝජනය මුලික කර ගත් රාජකාරියක් වශයෙන් සැලකිය හැකිය. කෙසේ වුවද, මාලිගාවට අයත් ගම් වල හේවිසි පංගුව භුක්ති විඳි මුස්ලිම් වරුන් සෑහෙන සංඛ්‍යාවක් සිටිය බව සැලකිල්ල යොමු විය යුතු කරුණකි.”

මෙම කොටස උපුටා ගන්නා ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම මහාචාර්යවරියව සිටි මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත, ලංකා ඉස්ලාමීය පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද, “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙනි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්4.

“ලංකාදීප” 2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා. සුජිත් අක්කරවත්ත

රහමාන් යාපනයට පා තබයි

“කෝට්ටේ රාජධානිය තුන් කඩකට බෙදී යාමේ සිදුවීම් විජයබා කොල්ලය ලෙස සුප්‍රකටය. මෙලෙස සිංහල රාජධානිය සී සී කඩව බෙදී යාම පෘතුගීසීන් අමන්දානන්දයට පත් කළ සිදුවීම විය. පස්වනක් ප්‍රීතියෙන් පෘතුගීසීන් ඔකඳ කළ කෝට්ටේ බෙදීයාම තවත් ආඩම්බරකාර සිදුවීමක් වුයේ නව වන බුවනෙකබාහු ගේ මුස්ලිම් විරෝධය නිසාය. අරාබි මුහුදේ වෙළෙඳ බලය සඳහා පෘතුගීසීන් සහ මුස්ලිම්වරුන් අතර යුද ඇවිළී තිබු මෙකල එම වෛරය සිරිලකදී ද පුපුරා යමින් තිබිණි. විශේෂයෙන්ම කොළඹ කොටුව වටා පැතිර සිටි මුස්ලිම් සහ අරාබි වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාවන්ට පෘතුගීසීන්ට මුහුණ දෙන්නට සිදු විය. මෙය කෝට්ටේ අග නගරයේදී ද එලෙසම විය. එම නිසා පෘතුගීසීන් මාන බලමින් සිටියේ කෝට්ටේ අගනගරයෙන් මුස්ලිම්වරුන් පන්නා දැමීමටය. පුත්‍රයෙකු නොමැතිව හා තම සහෝදර මායාදුන්නේගේ නැගී ඒම ද නිසා මහත් බියෙන් රජ පදවි දරමින් සිටි නව වන බුවනෙකබාහුගේ භීතිය තෙගුණ වුයේ පෘතුගීසීන් හදිසියේ කළ බලපෑම නිසාය.

ඒ අනුව පෘතුගීසීහු කෝට්ටේ රැක දීමට නම් නව වන බුවනෙකබාහු කිතුනුවෙකු විය යුතු බව දන්වා සිටියහ. රජු එයට මැළි වූ කළ පෘතුගීසීහු අග නගරයට කඩා වැදී නගරය ගිනිබත් කළහ. එදින රාත්‍රියේ කෝට්ටේ දළදා මැදුරෙහි වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ හිරිපිටියේ දිවනරාළ විසින් සීතාවකට ගෙන යනු ලැබුහ. මේ අතර පෘතුගීසීහු මුණගැසුණු රජ තෙමේ වෙනත් එකඟතාවක් සඳහා සාකච්ඡා ආරම්භ කළේය. තමාට බෞද්ධත්වය අත් හැර දැමිය නොහැකි බවත් වෙනත් ඕනෑම ඉල්ලීමකට එකඟ වන බවත් රජු පෘතුගීසීන්ට කීවේය.

ඒ අනුව පෘතුගීසීහු ඉල්ලීම් දෙකක් රජුට ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පළමු ඉල්ලීම වුයේ රජුගේ මුනුබුරා ඔටුන්න හිමි කුමරු ලෙස නම් කර ඔහු කිතුනු ආගමට හරවන ලෙසය. දෙවන ඉල්ලීම වුයේ කෝට්ටේ අග නගරයෙහි සිටින ස්වදේශීය විදේශීය මුස්ලිම් ජනයා පැය හයක් යන්නට මත්තෙන් අග නගරයෙන් පලවා හරින ලෙසය. රජු පළමු ඉල්ලීමට මහත් සේ බිය විය. දළදා වහන්සේ අහිමිව ඇති විටක තම මුනුබුරු අන්‍ය ආගමීකරණයට පත් කිරීමෙන් වන අනතුර ඔහු දුටුවේය. රජු ඒ සඳහා කල් ඉල්ලා සිටියේය. එවිට පෘතුගීසීහු වහා දෙවන ඉල්ලීම ක්‍රියාවට නගන ලෙස බලකර සිටියහ. රජු ඒ අනුව කෝට්ටේ අග නගරයෙහි වැසි සියලු මුස්ලිම් ජනයාව පැය හයක් යන්නට මත්තෙන් රාජධානියෙන් පිටමං වීමේ නිවේදනය නිකුත් කළේය.

ඒ සඳහා පළමු අණ බෙරය වැයුනේ බැද්දගානේ දීය. සියවස් ගණනාවක් මුළුල්ලේ සිංහලයන් සමග සහජීවනයෙන් සිට මුස්ලිම් ජන ප්‍රජාව ඉතිහාසයෙන් ප්‍රථම වරට සිංහල රජෙකු අතින් පිටමං කරනු ලැබීය. වෙළඳුන්, සිටුවරුන්, වෙදුන්, හුදියන්, කවියන්, ආදී විවිධ තරාතිරම් වල මුස්ලිම් ජනයා කෝට්ටේ අත හැර රැකවරණය පතා ගියේ මායාදුන්නේ රජුගේ සීතාවක රාජධානියටය. එමෙන්ම එදින රාත්‍රියෙහි අග නගරයෙන් පිටමං කළ මුස්ලිම් ජනයා සීතාවකට අයත් මල්වාන, හිඹුටාන සහ ගලගෙදරට පලා යන විට කෝට්ටේ අග නගරයෙහි සිටි බෞද්ධ ප්‍රභූන් ද ඔවුන් සමග එක්වීම ඉතිහාස කතා ලතාවේ අසිරිමත් සිදුවීමක් ද වේ. ඒ දළදා වහන්සේ සීතාවක වැඩම වීමද මුස්ලිම් සිංහල ජනයා එකම මොහොතක සීතාවකට පලා යාමද නිසාය.

මේ අනුව සීතාවකට පලා ගිය සාරවත් මුස්ලිම් ජනයා නිසා මායාදුන්නේගේ රාජධානිය ඉසිරුමත් රාජධානිය ලෙස නැගී එන්නට පටන් ගත්තේය. එලෙසම දළදා වහන්සේගේ හිමිකම් ලද මායාදුන්නේ සිරිලක එක් සේසතකට නැගීම සඳහා දේශමාමක දේශපාලන මුහුණතක පෙරමුණු තරුව බවට පත් විය. සීතාවක ගිල ගැනීමට පැමිණි පෘතුගීසි බලමුළු සතර වටින් වට කර සිඳ දැමු මායාදුන්නේ මුළු සිරිලක අග රජු වීමට පියවරෙන් පියවර පෙරට පා තබන්නට විය. මේ සඳහා ඔහුට ජාතිමාමක සිංහල බලමුළු ද දේශමාමක මුස්ලිම් බලමුළුවක් ද විය. ඒ අතර බෞද්ධ ධජය ඉහළින් ඔහුට සෙවණ දීම මායාදුන්නේ ලද සැනසිල්ලක් විය. මේ අතර සීතාවකට පැමිණ සිටි මුස්ලිම් ජනයා අතර සිටි විදේශීය අරාබි ජාතිකයින්ට යළි සිය රටවලට යාමට පෘතුගීසීන්ගෙන් ඉඩ නොලැබුණි. පෘතුගීසීන්ගේ මාරක සතුරන් බවට පත් ව සිටි ඔවුහු ස්වදේශීය මුස්ලිම් කතුන් ද සිංහල කතුන් ද සරණ පාවා ගෙන සීතාවක සබරගමු පුරා විසිර පැතිර යන්නට වුහ.

මායාදුන්නේගේ අධිරාජ්‍ය විරෝධී සටනට ජවය දෙන ජනකොටසක් ලෙස මෙම මුස්ලිම් වරු ඉක්මන් ගමනින් සීතාවක සබරගමුව සියනෑ ගම්බිම් පුරා ජනාවාසකරණය වන්න පටන් ගත්හ. මේ අතර දඹදෙණිය යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා රාජ ලිඛිත සටහන් අතර සනිටුහන්ව ඇති එක් මුස්ලිම් ප්‍රභූ පවුලක් සීතාවක රාජධානිය සමයේ ජනකාන්ත මුස්ලිම් තරු පොකුර බවට පත් විය. ඒ රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ නිසාය. රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ වූ කලි කතිරිමලි මැණිකේ මුදියන්සේගේ පුත්‍රයාය. මොහොමදු අස්කාර් ලෙබ්බේ ඔහුගේ පියාය. සිංහල මවකට ද මුස්ලිම් පියෙකුට ද දාව උපන් රහමාන් මායාදුන්නේගේ දේශමාමක තරුණ බලමුළුවේ සටන්කාමී ගැටවරයා විය. ඔහු වඩාත් තීව්‍ර කතා ලතාවක නිමිත්තක් වන්නේ යානය සීතාවකට යා කර අත්වැල අල්ලන මොහොත සඳහා පිටත්ව යාමත් සමගය.

පෘතුගීසීන් යාපනය දෙස බැලුවේ එය නිසරු භූමියක් ලෙසය. කිසිදු අභියෝගයක් නැති පිටමං ජනතාවක් සිටින යාපනයට වෙහෙසීමට පෘතුගීසීහු මැළි වුහ. ඒත් රහමාන් සීතාවක රජු පෙන්නු ඉව දිගේ මුදුනට නැග ආවේ යාපන තොටමුණට පා තබන සිංහල රජුගේ පළමු නියෝජිතයා බවට පත් වෙමිනි. ඔහුගේ යාපනය පා තැබීම තත්කාලීන දේශපාලන උණුසුම තීව්‍ර කළ සිදුවීමක් ද විය. එමෙන්ම එතෙක් කෝට්ටේ, සීතාවක, හා රයිගම සහ අතර දෝලනය වූ සිරිලක දේශපාලන කතාන්දරය යළි යාපනය කේන්ද්‍රියව කතාබහට ලක් වීමය. සරුසාර සීතාවකට යාපන භුමිය සමග විශාල වෙරළ තීරුවක් විවර වන බව දත් පෘතුගීසීහු මහත් බියට පත් වුහ.

විශේෂයෙන්ම මේ වන විට කුරුවිට, දොම්පේ, කැලණිමුල්ල සහ කොටිකාවත්ත සටන් වලින් මායාදුන්නේගේ මාරක ප්‍රහාරයට ලක්ව සිටි පෘතුගීසීහු රහමාන්ගේ යාපන ගමනින් වඩාත් තැති ගැන්මකට පත්ව සිටියහ.

රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේගේ ගැටවර කතාලතා පිළිබඳ අතීත තතු විත්ති වලදී ඔහුගේ රූ වරුණාව ද මහත් වූ සේනා මැදට තනිව පැන සතුරන් පොකුරු පිටින් වනසාලු අපූරු සටහන් ද වේ. එමෙන්ම තම සිංහල මව නිසාම ඔහු කිරි හොදි සමග පොලොස් මාළු ද කෑමට රුසියෙකු බව ද පෘතුගීසි ලේඛක කෘරොස් ලියා තබයි. අන් අතකින් පෘතුගීසීන් ගේ බලය නිසා සීතාවකට පලා ආ අරාබි ජාතිකයන් බහුතරයක් දේශීයකරණය වීම සඳහා රහමාන් බල පෑ සැටි එකල තොරතුරු අතර ලියැවී ඇත්තේය. කෙසේ හෝ රහමාන් මුදියන්සේගේ යාපනයාගමනය නතර කර දැමීමට පෘතුගීසීන්ට නොහැකි විය. මායාදුන්නේගේ බලමුළු යාපනයට ඇතුල්වීම වැළැක්වීමට පෘතුගීසීන් දැරූ තැත වළකා රහමාන් යාපනයට පා නැගුයේ ක්‍රි. ව. 1572 වෙසක් මස 12 වැනිදාය.

මෙම සිදුවීම සමග මායාදුන්නේගේ සිංහල රාජධානියට පෘතුගීසීන් පන්නා දැමීමේ සිහිනය ඇස් ඉදිරිපිට දිස් වන්නට විය. පුත් කුමරෙකු පතමින් රජ මායාදුන්නේ ද ඔහු බිසව සිරිමලී දේවීන්වහන්සේ ද සිදු කළ මහා භාරහාර පල දරමින් පුත් කුමරෙකු පිළිබඳ පුවත සනාථ වුයේ මේ කාල සමයේය. එම නිසා මායාදුන්නේ රජු රහමාන්ගේ යාපන ගමන තම ආත්මීය පැතුම විකසිත කළ සිදුවීම ලෙස ද සිතුවේය. රජ තෙමේ ඔහුට මල්වාන ගම්වරය තෑගී කළේය. රහමන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේට මායාදුන්නේ රජුගේ සන්නසින් මල්වාන ගම ත්‍යාග ලද බව සැල වුයේ යාපනයේදීය. මල්වාන රහමාන් ගේ මව වූ කතරිමලී මැණිකේ මුදියන්සේගේ ගම ද විය.

ඉතිහාසය මහත් දිගු ගමනකි. එහි සැරිසරන්නට අප හුරුව ඇත්තේ ජනකාන්ත සුලබ සිදුවී       මතින් පමණය. ඒත් ඉතිහාසය දුර්ලභ සිදුවීම් සඟවා ගෙන තබා ඇත්තේය. රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේගේ යාපනය පා තැබීම ද එවන් දුර්ලභ රහසකි.. මෙය රහසක් වුයේ මන්ද? පෘතුගීසි ඉතිහාස ලේඛන වල ද සිංහල ඉතිහාස ද ලියැ වී ඇති ඔහුගේ වික්‍රමාන්චිත පා ගමන මුස්ලිම්වරුන්ගේ කතා බහේදීත් සිංහල කතා බහේදීත් මැකී ගියේ මන්දැයි සිතමි. මුස්ලිම්වරුන් ජාතිවාදීව ඉතිහාසය කියවා ගැනීම ද සිංහලයන් ජාතිවාදීව ඉතිහාසය කියවා ගැනීම ද මේ විපතට හේතුවයි.

සමගියේ සංහිඳියාවේ රමණීය ඉතිහාස යුගාන්දරය සැඟවී යටපත් වුයේ එබැවිනි. සිංහලයන් ද මුස්ලිම්වරුන් ද එකට එක්ව හිඳ අනාගතය අරභයා කරන කතාබහට රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ නිමිත්ත වන්නේ එවිටය. බොහෝ කල් ගෙවී ගියද මායාදුන්නේ දවස මෙන් නැගිට පිබිද එකට පෙරට ගිය දිනයක් අපට උදා වී නැත. ඒ බැවින් මෙවන් කමණීය රමණීය ඓතිහාසික විරුවෝ ඉතිහාස වැලිතලාවෙන් වැසී අතීත තතු පුවතේ ඇතුල් ගැබ සැඟවී සිටී. රහමාන් යාපනයට පා තබා එන කල්හි ඔහු ඝාතනය වී ඇත. ඒ කා අතින් කෙලෙස සි දුවූවාදැයි සොයමි. මන්ද රහමාන් සිද්ධි ලෙබ්බේ මුදියන්සේ සිරිලක මහාවංශයට එක් වූ අතුරු ජන වංශයෙහි පහන් තරුවය.”

සුජිත් අක්කරවත්ත

“ලංකාදීප” 2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-5.

ලිඛිත ඉතිහාසයට පෙර මැලේ ජාතිකයින් ලංකාවේ වාසය කොට ඇත.

ද සිලෝන් ඩේලි නිව්ස් 1965 නොවැම්බර් 13 වන සෙනසුරාදා – පව්ලිනස් තම්බිමුත්තු විසිනි

ඉතිහාසයේ පළමු වරට මැලේ ජාතිකයෙකු සෙනේට් සභාවට පත් කොට තිබේ. ඔහු නම් එම්. ඩි. කිචිලාන් මහතාය. මැලේ ජාතිකයින් ලංකාවට පැමිණියේ 13 වන ශත වර්ෂයේ දී පමණ යැයි සුප්‍රකට මැලේ නායකයන් විසින් මෑතදී ප්‍රකාශ කොට ඇත. ඉතා ඈත පුරාණයේ සිට ලංකාවේ මිනිසුන් හා මැලේ ජාතිකයින් අතර සම්බන්ධතා පැවති බව රාජකීය ආසියාතික සංගමයේ සඟරාවෙහි “මධ්‍ය කාලීන ලංකාව සහ මලයාසියාව” යන හිසින් ආචාර්ය එස්.පරණවිතාන මහතා විසින් පළ කරණ ලද ලිපියක සඳහන් වේ. වාර්තාගත ඉතිහාසයට පුර්ව කාලයේ දී මැලේ ජාතිකයින් විසු බවට වැඩි දුරටත් සාක්ෂි රාජකීය ආසියාතික සංගමයේ සඟරාවෙහි 1/11 වන වෙළුමේ 257 වන පිටුවෙහි මා විසින් දක්වා ඇත.

ලංකාවේ මානව වංශ විද්‍යා සමීක්ෂණයේදී ජේ. ආර්. ද ලා හෝල් මැරේට සහාය වීමේදී රැසකර ගන්නා ලද කරුණු අලලා ආචාර්ය එන. ඩී. විජේසේකර විසින් ලියන ලද “ලංකාවේ මිනිස්සු”  නමැති ග්‍රන්ථයෙහි ඔහු සඳහන් කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක මොන්ගෝලියානු ලක්ෂණ සහ නෙරාගිය හකු ගර්තයක් සිංහල ජාතියට ඇති බවය.

ඔරුව සඳහා යෙදෙන පොලිනීසියානු වචනය “ඔරු” යන්න බවත් “ඔරුව” යන අපේ සිංහල වචනය එයින් සෑදුනු වදනක් බවත් සිංහලයන්ගේ වෙස් මුහුණු සිංහලයන් සරම අඳින ආකාරය යනාදිය ඉන්දුනීසියානු දුපත් වැසියන්ට සමාන බවත් ඔහු ප්‍රකාශ කරයි. පොලිනීසියානු ජාතිකයින් සහ සිංහලයින් අතර ඇතැම් සමානතා මට දක්නට ලැබී තිබේ. උදාහරණයක් කියතොත් “ඇවිත් කෑම කන්න” යන්න පොලිනීසියානු භාෂාවෙන් කියවෙන්නේ “නන් මායි එ කායි” යනුවෙනි. කායි යන වදන සිංහල “කන්න” යන වදනට සමානය.

ක්‍රි.පූ. 1000 වැන්නේ දී පමණ ප්‍රාග්-මැලේ මුහුදු යාත්රිකයින් විසින් ද්‍රවිඩ පුර්ව ශිෂ්ටාචාරයක් ඉන්දියාවේ බිහි කළ බව මහාචාර්ය සිල්වේන් ලිවයි ප්‍රකාශ කරයි. ස්ථාන නාම සහ කොල්ලෑ ඔරු මේ බවට දෙස් දෙන බව ඔහු පවසයි. මේ අනුව බලන කල ලිඛිත ඉතිහාසයට බොහෝ කලකට පෙරන ප්‍රාග් මැලේවරුන් ලංකාවට පැමිණි බව සිතිය හැකිය.

හම්බන්තොට යන නාමය සහ “මලල” යන පදයන් ආරම්භ වන හෝ අවසාන වන වෙනත් ස්ථාන නාම මෑත කාලයේ දී ඇති වූ නාම නොවන බව පෙනේ යැයි ආචාර්ය පරණවිතාන පවසයි. ක්‍රිස්තු වර්ෂයට අවුරුදු දහසකට පෙර තරම් අතීතයේ දී කොල්ලෑ බෝට්ටු වලින් ඉන්දියාවට පැමිණීමට තරම් මුහුදු ගමන් ගැන දැනීමක් සහ තාරකා පිළිබඳ දැනීමක් ප්‍රාග් මැලේවරුන්ට තිබුණු බව ආචාර්ය ආර්. වින්ස්ටඩ් ගේ “මලයාවේ ඉතිහාසය” නමැති ග්‍රන්ථයෙහි සඳහන් ව තිබේ. ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කේ. ඩබ්ලිව්. ගුණවර්ධන යට කී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට ලිපියක් සපයමින් ඉහත සඳහන් කරුණු ගැන මෙසේ ප්‍රකාශ කරයි.

“මලල ගේ, මලලසේකර, මලල්ගොඩ වැනි සිංහල වාසගම් බොහොමයක මැලේ සම්බන්ධතාවක් පෙන්නුම් කෙරෙන බව සනිටුහන් කොට වැටී යැයි මම අදහස් කරමි. එවැනි නම් ඇති බොහෝ දෙනෙකුට බොහෝ දුරට මැලේ වරුන්ගේ මුහුණුවර තිබීම අහඹුවක් ම විය නොහැක” (1/11 වන වෙළුම, 2 වන කොටස 257 වන පිටුව)

ආක්‍රමණය

දෙවන පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1236 – 1271) සමයේ දී තමන් ද බෞද්ධයන් යැයි අඟවා ඒ නිසා ලංකාවට පැමිණියේ යැයි කියා ගනිමින් මැලේ ජාතිකයෝ තම රජු වූ චන්ද්‍රභානු යටතේ ලංකාවට පැමිණියහ. මේ සම්බන්ධයෙන් චුල වංශයේ මෙසේ සඳහන් වේ. “ලංකාවේ සෑම වරයකින්ම දිවයිනට ගොඩ බට මේ නපුරු ජාතික හේවායෝ දරුණු සර්පයන් බඳු විෂ ඊ වලින් දකින දකින ජනයාට විද ඉමක් කොණක් නැතිව මිනිසුන් තලා පෙළා ලංකාව විනාශ කළහ.” එහෙත් රාජාවලියේ සඳහන් අන්දමට චන්ද්‍රභානුගේ සේනාව ද්‍රවිඩ හෙවායන්ගෙන් සමන්චිත වුවකි.

ටෙනන්ට්

පොලිනීසියාවේ සිට මැඩගස්කාරය දක්වාත් ඉන්දු චීනයේ සිට තහිති දුපත දක්වාත් පැතිර සිටින මලයානු වර්ගයාට සුළු වශයෙන් සමානකම් ලංකාවේ මිනිසුන්ගේ හැඩරුවෙහි ද පුරාණයේ සිට පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර වල ද දක්නට ඇතැයි මානව විද්‍යාඥයන් විසින් සලකනු ලබන බව සර් එමර්සන් ටෙනන්ට් විසින් ශත වර්ෂයකට පමණ ඉහත දී පවසා තිබේ.

ලාංකිකයින් විසින් භාවිත කරනු ලබන කොල්ලෑව සහිත ඔරු සහ කඳන් දෙකේ ඔරු ඉන්දියාවේ අරාබිය පැත්තේ වැසියන් විසින් කිසි විටෙකත් භාවිත නොකරනු ලබන බවත් එකී වර්ගයේ ඔරු මලයා ජාතිකයින්ට විශේෂ වූ ඔරු වර්ගයක් වන අතර ඒවා මලයා ජාතිකයන් සංක්‍රමණය වූ රටවලට පමණක් සීමා වූ බවත් ඊට උදාහරණ මැඩගස්කාරය කොමෝරෝ දුපත් සුලු ලුසෝන් සුසයිට් දුපත් සහ ටොන්ගා දුපත් බවත් ඔහු ප්‍රකාශ කරයි.

ලංකාවේ ප්‍රථම පදිංචිකරුවන් චීන ජාතිකයින් බව කියවෙන ජන ප්‍රවාදයක් ගැන රිබෙයිරෝ නමැති පෘතුගීසි ඉතිහාසඥයා සඳහන් කරයි. ඒ ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවාදක වූ ආචාර්ය පෝල් ඊ. පීරිස් විසින් මේ ප්‍රකාශය තම පරිවර්තනයට ඇතුළත් කොට නැත. ඒ ග්‍රන්ථයේ ප්‍රංශ අනුවාදයේ මෙසේ සඳහන් ව තිබේ. “

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-6.

ඓතිහාසික අතීතයට එබී බැලීමක්

මා රැක්ක ලේ!

(ජාතික කෞතුගාරයේ හිටපු සහකාර අධ්‍යක්ෂක සී. එම්. ඔස්ටින් ද සිල්වා බී. ඒ. විසිනි)

මහනුවර රජ කළ 11 වන රාජසිංහ රජු (ක්‍රි. ව. 1635 – 1687) ඌවේ දී පෘතුගීසීන් සමග  කළ සටනකින් පැරද තම ජීවිතය බේරා ගැනීමට පලා ගියේය. ඔහු මෙසේ පලා යද්දී පඟරගම්මන නමැති ගමට පැමිණියේය. එහිදී විශාල බෙනයක් සහිත කොස් ගසක් දුටුවේය. ගව මඩුවක් අසල පිහිටි මේ කොස් බෙනයේ රජු සැඟවූණේය. පසු පස එළවා ගෙන පැමිණි පෘතුගීසි සොල්දාදුවන්ට මේ ගව මඩුව අසල දී හදිසියේම රජුගේ අතුරුදහන්වීම මහත් ප්‍රහේලිකාවක් විය. මේ අවස්ථාවේ දී කිරි දොවමින් සිටි යෝනක ස්ත්‍රියකගෙන් පෘතුගීසි සොල්දාදුවෝ රජු ගැන විමසුහ. රජු සැඟවුණු ස්ථානය ගැන ඇය ඔවුන්ට නොකීමෙන් ඔවුහු ඇය කැබලි කැබලි කොට කපා මරා දැමුහ. රජු බේරී දිවි ගලවා ගැනීමෙන් පසු රජු වෙනුවෙන් දිවි පිදු මේ හිතවත් ස්ත්‍රියගේ අවාසනාවන්ත ඉරණම ගැන රජුට අසන්නට ලැබුණේය. ඇගේ නාමයට උපහාරයක් වශයෙන් පඟරගම්මන නිවැසි යෝනක වරුන්ට විශාල ගම්වරයක් රජු විසින් තෑගි කරන ලදී.

කිවුලේ ගෙදර බණ්ඩාරගේ පෙම් පුවතටද පඟරගම්මන යෝනක ග්‍රාමය සම්බන්ධ වේ. සිංහල ප්‍රභූවරයෙකු වූ කිවුලේ ගෙදර කුඩා මොහොට්ටාල ආලයෙන් වෙලී ගිය රූමත් යෝනක තරුණියක් මේ ගමේ විසු බව කියනු ලැබේ. මේ තරුණිය විවාහ කර ගැනීමට තමා ආශා කරන බව ඔහු ඇගේ දෙමව්පියන්ට දන්වා ඔවුන්ගේ කැමැත්ත විමසු විට එක්තරා කොන්දේසියක් මත තමන් ඊට කැමති වන බව ඔවුහු ප්‍රකාශ කළහ. ඔවුන්ගේ කොන්දේසිය වුයේ “වී අමුණු තිහක කුඹුරක් අපට තිබේ. දැන් ඒ කුඹුරේ ගොයම් පැසී ඇත. ඔබ තනිවම ඒ කුඹුරේ ගොයම් හෙට එක් දිනෙන් කපා අවසන් කළහොත් අපේ දුව ඔබට සරණ පාවා දෙමු” යන්නයි. අප්‍රහති ධෛර්යයෙන් අනුන වූ කිවුලේ ගෙදර බණ්ඩාර තනිවම එක් දිනකින් ඒ කුඹුරේ ගොයම් කපා මේ කොන්දේසිය ඉටු කළෙන් එකී රූමත් යෝනක තරුණිය ඔහුට විවාහ කර දෙන ලදී.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-7.

තම අන්තිම කැමති පත්‍රයෙන් ශ්‍රී ලංකාව පෘතුගීසීන්ට උරුම කළ නරපතියෙක්

(සුමිත්ත කුරුප්පු විසිනි – 1964 ජුලි 15 වන දින – සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත)

සීතාවක නුවර සතුරු රාජධානියක් පිහිට වූ තම බාලම සහෝදරයා වූ මායාදුන්නේ රජුගේ අපේක්ෂාවන් නිසා කෝට්ටේ සිංහාසනයට උරුමකරුවකු පත් කර ගැනීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බුවනෙකබාහු රජුට තම සැලකිල්ල මෙන්ම තීක්ෂණ බුද්ධිය ද මෙහෙයවීමට සිදු විය. කීහිප අවස්ථාවකදීම මායාදුන්නේ කෝට්ටේ වැටලුවේය. තම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔහු ඉන්දියාවේ කලිකට් හි පාලකයා වූ සැමොරින්ගේ සහය පවා ඉල්ලා සිටියේය. සැමොරින් වරක් තම විශිෂ්ටයන් දෙදෙනෙකු වූ පච්ච මරික්කාර් සහ කුන්හල මරික්කාර් යටතේ ද නැවත වරක් අලි ඉබ්‍රාහිම් යටතේ ද මායාදුන්නේට සහය දුන්නේය. පෘතුගීසීන්ගේ මැදිහත්වීම නිසාම මුස්ලිම්වරුන්ට පසු බැසීමට සිදු විය (ක්‍රි. ව. 1528).

සීතාවක රාජධානියට එරෙහිව තම රාජධානියේ ආරක්ෂාව ඇතිකරලීම සඳහා බුවනෙකබාහු රජුට පෘතුගීසීන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදු වුයෙන් කෝට්ටේ රාජධානියේ බලය පිරිහීමට පත් වූ අතර පෘතුගීසීන්ගේ බලය වැඩි දියුණු වන්නට විය. බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රා දේවී කුමරිය ‘එඩිතර ඇස් ඇති උස් වූ දේහයකින් හෙබි නිර්භීත’ වීදිය බණ්ඩාර කුමරුට විවාහ කර දෙනු ලැබිණ. ඔවුන්ට දාව උපන් ධර්මපාල කුමරු තම අනුප්‍රාප්තිකයා වශයෙන් පත් කිරීමට බුවනෙකබාහු රජු තීරණය කළේය. මේ අරමුණ මුදුන් පත් කර ගැනීමට බුවනෙකබාහු රජු විශේෂ ක්‍රමයක් අනුගමනය කළ අතර ඔටුනු පලන් රජුන් සම්බන්ධයෙන් එය විශිෂ්ට සිද්ධියකි. බ්‍රාහ්මණයෙකු වූ ශ්‍රී රාජපක්ෂ පණ්ඩිත සහ සල්ලප්පු ආරච්චි යන දෙදෙනා යටතේ බුවනෙකබාහු රජු පෘතුගාලයේ රජු වෙත රාජ දුත පිරිසක් යැව්වේය. එම දුත පිරිස ධර්මපාල කුමරුගේ ප්‍රතිමාවක් ලිස්බන් නගරයට ගෙන ගිය අතර 1543 දී පමණ ලිස්බන් හි දී ඊට කිරුළු පැලඳවීය. ප්‍රතිමාවේ හිස ඇත් දළින් සහ රනින් කරන ලද්දක් වූ අතර එහි කය රිදීයෙන් කරනු ලැබිණ. ප්‍රතිමාවේ අතක ඔටුන්නක් විය.

ප්‍රතිමාව

සිංහල තානාපතිවරුන් පිළිගැනීමට මුළු පෘතුගීසි රජවාසලම ලිස්බන් වරායට පැමිණ සිටි අතර, පෘතුගීසි මාර්ක්විස්වරයන් දෙදෙනෙකු විසින් ඔවුන් රාජ්‍යය ගෞරව සහිතව රජවාසල වෙත කැඳවාගෙන යන ලදී. එම ප්‍රතිමාවට ඔටුනු පැලඳ වූ දිනය පෘතුගාලය පුරා නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කෙරිණ. පෘතුගීසි රජ මාලිගයේ චාරිත්‍රානුකුලව උත්සවශ්‍රීයෙන් එම ප්‍රතිමාවට ඔටුනු පැලඳ වීය. ධර්මපාල කුමරු බුවනෙකබාහු රජුගේ උරුමකරු වශයෙන් පෘතුගාලයේ රජු විසින් පිළිගත් අතර එවක් පටන් ධර්මපාල කුමරු පෘතුගාලයේ රජුගේ ආරක්ෂාව ලැබුවේය. ඒ වන විට පෘතුගීසීන් සඳහා ලංකාවේ වෙන් කොට තිබු ප්‍රදේශ තබා ගැනීමට බුවනෙකබාහු රජු පෘතුගාලයේ දොන් ජුආම් රජුට ඉඩ දුන් අතර පෘතුගීසීන්ට ආධාර මුදලක් ගෙවීමට ද බුවනෙකබාහු රජු එකඟ වුයේය. එම නියමයෙන් ස්ථීර කෙරෙන රාජකීය ප්‍රකාශයක් (අල්වාරා) ඔටුනු පැලඳ වීමේ උත්සවයේදීත් නිකුත් කරන ලදී. එකී මෞලි මංගල්‍යයට පෘතුගාලයේ (ෆිඩලගෝස්)  සහභාගී වූ අතර ගෞරවයක් වශයෙන් ගොන් පොර සහ වෙනත් උත්සව පවත් වනු ලැබිණ.

අසනීපයකින් පසුව යථා තත්ත්වයට පත්වෙමින් සිටි බුවනෙකබාහු රජු කැලණි ගඟ අසබඩ විවේකීව සිටියදී පෘතුගීසී හේවායෙකු විසින් පත්තු කරන ලද තුවක්කුවකින් රජුගේ හිස තුවාල විය. ඒ අවස්ථාවේ දී රජු තම මාලිගයේ ඉහළ මාලයේ සිටියේය. කෙසේ වුවුද එය මාරාන්තික වෙඩි පහරක් විය. රාජාවලිය ලියු ලේඛකයා දක්වන අන්දමට “එය යම් කාර්යයක් අරභයා කරන  ලද්දකි. එහෙත් ඇතැම් අය දක්වන අන්දමට එය අහම්බෙන් සිදු වූවකි. මේ සම්බන්ධයෙන් සත්‍යය දන්නේ දෙවියන් පමණකි”.

දොන් අල්ෆොන්සෝ ද නොරොඤ්ඤ ගේ පැමිණීම

ධර්මපාල කුමරු සිංහාසනාරූඪ වූ  විට ඔහුගේ පියා වූ වීදිය බණ්ඩාර තම පුත්‍රයාගේ බාල කාලය තුළ ඔහුගේ රාජ්‍ය අනුශාසක වුයේය. ඒ අවදියේදී ගෝවේ සාමන්තයා වූ දොන් අල්ෆොන්සෝ ද නොරොඤ්ඤ ගේ පැමිණීම වැදගත් සිද්ධියක් විය. නැව් 70 කින් සමන්චිත විශාල නාවික හමුදාවක්ද 3000 කින් සමන්චිත සේනාංකයක් ද ඔහු සමග පැමිණි අතර 1551 වර්ෂයේ දී මායාදුන්නේගේ රාජධානිය ආක්‍රමණය කොට වස්තුව පැහැර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබිණ. ආක්‍රමණය සඳහා ගිය වියදම වශයෙන් පෘතුගීසි සාමන්තයා පර්දාවෝ 200,000 ක මුදලක් බුවනෙකබාහු රජුගෙන් ඉල්ලා සිටියේය. රට වැසියන් භීතියට පත් කරමින් පෘතුගීසීන් කෝට්ටේ නගරය විනාශ කරන්නට විය. පෘතුගීසි හේවායන්ගේ තාඩන පීඩන වලට රට වැසියන් ගොදුරු වුහ. රට වැසියන්ගෙන් වස්තු සම්භාරයක් කොල්ලකා ගත් පෘතුගීසීහු සිංහල ස්ත්‍රීන් දුෂණය කළහ. මෙවැනි බිහිසුණු තත්ත්වයක් ඇති වුයෙන් වීදිය බණ්ඩාරට කරකියාගත හැකි දෙයක් නොවීය. පෘතුගීසීන්ට මුහුණ දීමට තරම් බලකායක් ඔහුට නොතිබූ හෙයින් වීදිය බණ්ඩාර පලා ගියේය.

රජ මාලිගය පවා කොල්ලකරුවන්ට ගොදුරු විය. වෙනෙකක් තබා රජුගේ රත්තරන්  පඩික්කන් පවා පෘතුගීසි සාමන්තයා විසින් කොල්ලකනු ලැබීය. රජු හා සාමන්තයා අතර ඇති කර ගන්නා ලද ගිවිසුම අනුව ආක්‍රමණයෙන් කොල්ලකා ගත් වස්තුවෙන් අඩක් රජුට දීමට එකඟ වූ නමුත් එය ක්‍රියාත්මක කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. “ක්‍රිස්තියානි භක්තිකයෙකු සමඟ වූ පොරොන්දුවක් ඉන්දියානුවෙකු විසින් කඩ කරනු ලැබුවේ නම් ඔහු ම්ලේච්ඡයෙකි. එහෙත් ම්ලේච්ඡයෙකු සමග ඇති කර ගන්නා ලද පොරොන්දුවක් කඩ කරන ක්‍රිස්තියානි භක්තිකයා කවරෙකු දැයි මම නොදනිමි. ඇතැම් විට පඬිවරු දනිති” යනුවෙන් ඔහුගේම රටවැසියන් විසින් මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබිණ.

සාමාන්තයාට ලැබිය යුතු ඉතිරි මුදල වෙනුවෙන් රජ පවුලේ සාමාජිකයෙකු වන්දියක් වශයෙන් අත් අඩංගුවට ගන්නා ලද අතර රන් මෙඛලාවක් දීමෙන් සහ ඉතිරි කොටස වෙනුවෙන් පොරොන්දු නෝට්ටුවක් දීමෙන් පමණක් ඔහුට තම නිදහස ලබා ගැනීමට හැකි විය. මෙම නිදසුන් වලින් පෙනී යනුයේ පෘතුගීසීන් විසින් කරන ලද කෲරතර කටයුතුය. උසස් පෘතුගීසි පාලකයෝද මේ ක්‍රියාවලියම අනුගමනය කළහ.

සහනය

සාමන්තයා පිටත්ව යෑමෙන් පසුව වීදිය බණ්ඩාර ආපසු කෝට්ටේ රාජධානියට පැමිණියේය. ඔහු කොළඹ කොටුව භාරව සිටි පෘතුගීසි නියෝජිතයා මරණයට පත් කළේය. ස්වදේශිකයන් කතෝලික ආගමට හරවා ගැනීම තහනම් කළ ඔහු පුජක වරුන් පලවා හැරියේය. මොවුන්ගෙන් ඇතැම් පුජකවරු වනගත වුහ. සම්ප්‍රදායක් වශයෙන් විවිධ ආගම් ඇදහීමේ සහනය ඇති මෙරට ඉතිහාසයෙහි පාලකයා එක් ආගමකට එරෙහිව කටයුතු කළ අවස්ථාවක් මෙය විය.

“විතර්ක ශක්තිය පමණක් බල පැවැත්විය යුතු ක්ෂේත්‍රයන් හි තමන් විසින් බලය පාවිච්චි කර නොමැති බව සිංහලයෝ සාඩම්බරයෙන් පවසති. බුද්ධ ධර්මයට මුල්තැන් දුන් බෞද්ධ රජවරුන් විසින් හින්දු දෙවිවරුන් වෙනුවෙන් දේවාල ඉදිකොට ඇත. මුස්ලිම් වරුන්ට අයත් වූ ද ඔවුන් වාසය කරන්නාවූ ද ගම් වල ඇති බෞද්ධ සිද්ධස්ථාන වල මුස්ලිම් ජනයාගේ ආගමික වතාවත් කිරීමට ඉඩ දී තිබේ. ක්‍රිස්තියානි ධර්ම දුත පිරිස් මෙරටට එවන ලෙස බුවනෙකබාහු රජු විසින් ඉල්ලා සිටියේ මෙවැනි පෘථුල හැඟීමක් ඇතිවය. රජුගේ යටත් වැසියන් විසින් ද එම ධර්මදුත පිරිස් පිළිගනු ලැබුවේ එවැනි හැඟීමක් ඇතිවය” යනුවෙන් ශ්‍රීමත් ආචාර්ය පෝල් ඊ. පීරිස් දක්වා ඇත. එසේ වුව ද පෘතුගීසීන්ගේ හැසිරීම නිසා මීට ඉඳුරාම වෙනස් තත්ත්වයක් ඇති විය.

පිළිම වන්දනාව සම්බන්ධයෙන් සිංහල රජවරුන්ගේ ආකල්පය පෘතුගීසීන්ගේ ආකල්පයට ප්‍රතිවිරුද්ධ  විය. “මිථ්‍යා දෘෂ්ටික ආගමික උත්සව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලික වශයෙන් පවත්වන්නන් හෝ ඒවාට අනුබල දෙන්නන් හෝ බ්‍රාහ්මණයන් ආරක්ෂා කරන්නන් ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන්ය. එමනිසා ඔවුන්ට දඬුවම් කළ යුතුයැ” යි 1546 දී පෘතුගාලයේ රජු විසින් සාමන්තයා වෙත එවන ලද ආඥාවක සඳහන් වෙයි. තවද එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ. “මිථ්‍යා දෘෂ්ටිකයන් ශුභාරංචිය පිළිගන්නේ විශ්වාසයේ ශුද්ධවන්ත භාවය ගැන ඒත්තුයාමක් නිසා නොවන හෙයින් සහ සදාකාලික ජීවිතය ගැන බලාපොරොත්තුව නිසාම නොවන හෙයින් ඔවුන්ගේ හදවත් සැහැල්ලු කිරීම වැනි ලෞකික සහන සැලසීමෙන් ඔවුන්ට ධෛර්යය දිය යුතුය. තව ද ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය කිරීමේ ක්‍රමයක් වශයෙන් මෙතැන් සිට ඉදිරියට ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නන් කප්පම් ගෙවීමෙන් නිදහස් කළ යුතු අතර ඔවුන්ට මෙතෙක් කල් නොදී තිබුණු යම් යම් වරප්‍රසාද සහ නිලතල දීමෙන් ඔවුන් දිරි ගැන්විය යුතුය”.

වීදිය බණ්ඩාර

තම කටයුතු කර ගෙන යෑමට වීදිය බණ්ඩාර බාධකයක් බව පෘතුගීසීන්ට අවබෝධ විය. එම නිසා ඔවුහු වීදිය බණ්ඩාර සිරභාරයට ගෙන බිංගෙයක සිරකොට තැබුහ. එවිට ඔහුගේ භාර්යාව සමුද්‍ර දෙවි කුමරිය රයිගමට පලා ගොස් වෘත්තියෙන් පතල්කරුවන් වූ පහත් කුලයකට අයත් පතල්කරුවන්ගේ සහය ලැබ උමගක් සාදා ඔහුට පලා යෑමට අවස්ථාව සලසා දුන්නාය.

ඉන් පසුව වීදිය බණ්ඩාර පස්දුන් කෝරළයේ සීමාවේ ඇති කඳු ප්‍රදේශයෙ හි ආරක්ෂාව සඳහා ගොස් පෘතුගීසීන්ගෙන් පළි ගැනීමේ ව්‍යායාමයක යෙදුණේය. මුහුදු බඩ ප්‍රදේශයෙ හි ඔහුට එරෙහි වූ සෑම පෘතුගීසී ජාතිකයෙකුම ඔහු  ජීවිතක්ෂයට පත් කළේය. ඔහු ද්වේෂ කළ පරංගින්ගේ සංකේතය වූ ක්‍රිස්තියානි දේවස්ථාන විනාශ කළේය. වීදිය බණ්ඩාරගේ භාර්යාව වූ සමුද්‍ර දේවිය මරණයට පත් වුයෙන් කෝට්ටේ රාජධානිය තම අණසක යටතට ගෙන ඒමේ අවස්ථාවක් දුටු මායාදුන්නේ වැන්දඹුවක් වූ තම දියණිය වීදිය බණ්ඩාර ට විවාහ කොට දුන්නේය. දේශපාලන වශයෙන් පෘථුල ප්‍රතිඵල ඇති විය හැකි වූ මේ ගිවිසුම අභ්‍යන්තර ගැටුමක් නිසා පුස්සක් බවට පත් විය. වීදිය බණ්ඩාර තම දෙවන භාර්යාවට කෲර අන්දමින් සලකන්නට විය. මෙය මාමණ්ඩිය සහ බැනණ්ඩිය අතර ආරාවුලකට හේතු විය. කෝපාවිෂ්ට වූ මායාදුන්නේ ක්‍රි. ව. 1555 දී වීදිය බණ්ඩාරට විරුද්ධ ව පෘතුගීසීන් සමග ගිවිසුමක් ඇති කර ගත් අතර වීදිය බණ්ඩාර තහවුරු කර ගෙන සිටි කඳුකර ප්‍රදේශයෙන් නෙරපීමට ද කටයුතු සංවිධානය කළේය.

එකල ලාබාල තරුණයෙකු වූ මායාදුන්නේගේ බාල පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර (පසුව රාජසිංහ) තම මස්සිනා වූ වීදිය බණ්ඩාර කන්ද උඩරට ප්‍රදේශයට එළවා දැමීමේ සටනේ දී කැපී පෙනුණු පුද්ගලයෙකු විය. ඔහු වීදිය බණ්ඩාර එළවා දමා තම සොහොයුරිය ඇතෙකු පිට නංවා  ආපසු සීතාවක ට එව්වේය. අවසානයේදී යාපනයට පලාගිය වීදිය බණ්ඩාර ත්‍රාසජනක මරණයකට ගොදුරු විය.

ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම

පෘතුගීසීන් ට මුහුදු තීරයේ ධීවර ජනයාගෙන් 70000 ක් පමණ දෙනා ක්‍රිස්තියානී ආගමට හරවා ගැනීමට හැකි විය. ක්‍රි. ව. 1557 දී ධර්මපාල රජු හා ඔහුගේ බිසව බෞතීස්ම කිරීමෙන් ආගම පැතිරවීමේ ව්‍යායාමය උච්ච ස්ථානයට පත් විය. ධර්මපාල රජු දොන් ජොආවෝ නොහොත් දොන් ජුවාන් යනුවෙන් ද ඔහුගේ බිසව පෘතුගාලයේ රැජිනට ගරු කිරීමක් වශයෙන් දෝන කැතරිනා යනුවෙන් ද හඳුන් වනු ලැබිණ. රජවාසල අධිපතීන් බොහෝ දෙනාද රජු අනුගමනය කරන්නට වුහ. මිථ්‍යාදෘෂ්ටිකයින් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ මෙන්ම මුළු මහත් දිවයිනම ආධ්‍යාත්මික වශයෙන් යටත් කර ගැනීමේ කර්තව්‍යය ඉටු කර ගනු පිණිස දේව වරමින් පත් කළ නියෝජිතයෙකු ලෙස ෆැන්සිස්කානු පුජකවරුන් විසින් ධර්මපාල රජතුමා පිළි ගනු ලැබිණ.

මින් පසුව බෞද්ධ සහ හින්දු සිද්ධස්ථාන වලට  අයත් ඉඩම් ක්‍රිස්තියානි දේවස්ථාන වල සහ ධර්ම දුත ව්‍යාපාර වල ප්‍රයෝජනය සඳහා වෙන් විය. කතෝලික පුජකවරු රජුගේ උපදේශකයින් බවට පත් වුහ. දළදා මාලිගාවට අයත් වූ ස්ථානය ක්‍රිස්තියානි දේවස්ථානයට හිමි විය. මෙයින් උද්ගත වූ තත්ත්වය නිසා දළදා වහන්සේ ද කෝට්ටෙන් අතුරුදහන් විය. මේ අවදියේදී සිටි සිංහල ජාතිකාභිමානයක් ඇත්තන්ගේ නෙත් සිත් සීතාවක දෙසට යොමු වූ අතර දළදා වහන්සේගේ භාරකාරයන් විසින් රහසේම එය සීතාවකට ගෙන යන ලදී. ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීමත් සමග ධර්මපාල රජු මෙතෙක් කල් සිංහල ජාතිකයින් විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදාය බිඳ දැම්මේය. මෙතෙක් පැවති විශ්වාසය අනුව බෞද්ධ කුමරෙකු ශ්‍රී ලංකාවේ රජ විය යුතුය. ධර්මපාල රජු බෞද්ධ යටත් වැසියන්ගෙන් ඈත් විය. ඔහු ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීමත් සමග පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජධානිය අල්ලා ගැනීමේ කාර්ය සම්පුර්ණ විය.

රූකඩ රජු

වීදිය බණ්ඩාරගේ මරණින් පසුව උද්ගත වූ ප්‍රශ්න වලට එඩිතර ව මුහුණ  දිය හැකි ශක්තිමත් නායකයෙකු කෝට්ටේ රාජවංශය අනුගමනය කළවුන්ට ඇති නොවීය. රාජසිංහ රජුගේ ආක්‍රමණ නිසා කෝට්ටේ ආරක්ෂා කර ගැනීම පෘතුගීසීන්ට දුෂ්කර කාර්යයක් විය. එම නිසා 1565 දී පැරණි කෝට්ටේ රාජධානිය අත් හැර දමනු ලැබිණ. ඉන් පසු ධර්මපාල රජු කොළඹ කොටුවෙහි ම වාසය කළ අතර ඔහුගේ රාජ සභාව ද එහි ම පවත්වනු ලැබිණ. ධර්මපාල රජු ඔහුගේ යටත් වැසියන්ගෙන් ඈත් වූ රූකඩ රජෙකු බවට පත් විය. ඔහු පෘතුගීසි නිලධාරීන්ට වඩාත් සමීප වූ අතර එදිනෙදා රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට ද පෘතුගීසීන් ට අවකාශය ලැබිණ.

ඇතැම් අවස්ථාවල දී රජෙකු වශයෙන් තම ගෞරවයට හානි වන අයුරින් කටයුතු කිරීමට ද ඔහුට බල කෙරිණ. පෘතුගීසි නිලධාරීන්ගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට විරුද්ධ ව පෘතුගාලයේ රජුට ධර්මපාල රජු විසින් තම විරෝධය පළ කරන ලද අතර කොළඹ පෘතුගීසි කපිතාන් වරයාගෙන් ස්වාධීන වූ අපක්ෂපාත මුරකාවල කපිතාන් වරයෙකු පත් කරන ලෙස ඔහු පෘතුගාල රජුගෙන් ඉල්ලා සිටියේය. පෘතුගීසි නිලධාරියෙකු විසින් ධර්මපාල රජුට වස දීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ දත් වැටුණු අතර ඔහු ගොත ගසන්නෙකු ලෙසට ද පත් විය.

ධර්මපාල රජුගේ සියලු බලතල පෘතුගීසීන් විසින් උදුරා ගනු ලැබූ අතර විඳ දරා ගත නොහැකි කරදර හිරිහැර වලට ද ඔහු පාත්‍ර කරන ලදී. 1597 දී ඔහු මිය ගිය අතර ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන් කෝට්ටේ රාජධානිය පෘතුගාලයේ රජුට උරුම කර තිබුණේය.

“සීලම් පෙරියා ෆැන්ඩර් රජෝත්තමයාගේ අනුග්‍රහයෙන් අති උත්තම දොන් ජුවාම් කුමාරයා” ශාන්ත ෆ්‍රැන්සිස්ගේ කන්‍යාරාමයේ දී මෙරටෙහි දී දෙනු ලැබිය හැකි උසස්ම පෘතුගීසි රාජ්‍ය ගෞරව ඇතිව මිහිදන් කරන ලදී. ප්‍රථම වතාවට මෙන්ම අවසන් වතාවට ද සිංහල රජෙකු ක්‍රිස්තියානි පිළිවෙත් අනුව මිහිදන් කරන ලද අතර ඔහුගේ ආත්මය වෙනුවෙන් යාච්ඤා කරනු ලැබිණ.

        ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-8.

සිංහල මුස්ලිම් අතීත සබඳතා

(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්ද ධර්මරත්න මහතා විසිනි – ඉරිදා ලංකාදීප – 2013 පෙබරවාරි මස 3 වැනිදා ඉරිදා)

සහෝදරත්වය නම් බැඳීමෙන් උනුන් බැඳී සිටි වගට ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. උනුන් ලෙසින් සඳහන් කළේ සිංහලයන් හා මුස්ලිම් වරුන්ය. මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය සොයා යන ගමනේ දී ඔවුන් දුරාතීතයේ  සිටම ලංකාව හා ලංකාවේ රාජ්‍ය පාලකයන් සමග සබඳතා පැවැත් වූ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමු වේ. ඒ සබඳතා ආර්ථික හා දේශපාලන යනුවෙන් දෙයාකාර වේ. 7-8 සියවස් වෙද්දී අරාබීන් හෙවත් මුස්ලිම්වරු වෙළෙඳාම මුල් කර ගෙන මේ රට සමග දැඩි සබඳතාවන් ගොඩ නගා ගෙන තිබුණි.

එපමණක් නොව අරාබි ජාතිකයින් ලංකාව ගැන ලියු මුලාශ්‍ර දෙස බැලීමේ දී ඔවුන් දැඩි අවධානයක් ලංකාව සම්බන්ධ ව යොමු කර ඇති බවට සාක්ෂි මුණ ගැසේ. ඉස්ලාම් දහම පහළ වීමට බොහෝ කලකට පෙර පටන් අරාබි ජාතිකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්‍රීකයන්ට හා රෝම වරුන්ට මේ රටේ තොරතුරු දැන ගන්නට ලැබුණේ අරාබි සංචාරකයන්ගෙනි.

එසේ වුවත් අරාබිවරු ලියන ලද ග්‍රන්ථ වලට ලංකාව පිළිබඳ තොරතුරු ඇතුළත් කරන ලද්දේ ඉස්ලාම් දහම ඇති වුණාට පසුවය. පළමුවෙන්ම මෙවැනි දේශාමන වර්ණනයක් ක්‍රි. ව. 950 දී පමණ අභූසයියිද් නමැත්තා ‘සිල්  සිලක් අල් කවාරි’ නම් ග්‍රන්ථයට ලංකාව ගැන තොරතුරු ඇතුළත් කෙරුණි. ඉන් අනතුරුව ලංකාව ගැන අනගි වර්ණනාවක් කළ මුස්ලිම් ලේඛකයා වන්නේ ඉබ්නු බුර්දාද් නැමැත්තාය. ඒ සියලු කරුණු ඒකරාශී කර 10 වැනි සියවසේ දී පමණ මසුදි නම් ලේඛකයා තවත් ග්‍රන්ථයක් ලීවේය. ඉන් අනතුරුව මක්දීසි වැනි ලේඛකයන් ද ලංකාව ගැන ලුහුඬින් සඳහන් කිරීම් කළේය.

පසු කලක අබුල් තීදා වැනි භූගෝල විද්‍යාඥයන් ද ලංකාව ගැන සඳහන් කර ඇත. ඒ සියලු මුස්ලිම් ලේඛකයන් අතර වඩාත් වැදගත් වන්නේ 14 වැනි සියවසේ මේ රටේ සංචාරය කළ ඉබ්නු බතුතා ගේ වාර්තාවය. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයෝ 7 වැනි සියවස වෙද්දී බටහිර දෙසට යන මුහුදු මාර්ගයන් හි ආධිපත්‍යය ලබා ගෙන සිටියහ. දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩය යන රාජ්‍යයන් යටපත් වීමත් සමගම අරාබි බලය දියුණු වුයේය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. ව. 949 වෙද්දී අරාබි නැව් වෙළෙඳ ගනු දෙනු සඳහා කොළඹට පැමිණියේය. 8 වැනි ශත වර්ෂයේ සිට මුස්ලිම් වරු විශාල පිරිසක් ලංකාවේ  වුහ.

ලංකාවේ සිටි මේ මුස්ලිම්වරු ලාංකික මුස්ලිම්වරු හා මුහුදුබඩ මුස්ලිම්වරු යනුවෙන් හැඳින් වුහ. අරාබි බලය දකුණු ඉන්දියාවේ වර්ධනය වුවාට පසුව මුස්ලිම්වරු වෙළෙඳ ගනු දෙනු සඳහා කොළඹට පැමිණියහ. මෙයත් සමග අරාබි වෙළෙන්ඳෝ කොළඹ පදිංචි වුහ. 1505 දී පෘතුගීසීන් පැමිණීමට බොහෝ කලකට පෙර අරාබීහු ලංකාවේ මුහුදුබඩ පෙදෙස් වල වෙළෙඳාමේ තනි අයිතිය හිමි කර ගනිමින් සිංහල රජුත් සිංහල වැසියනුත් සමග සාමකාමී සහජීවනයෙන් යුතු දිවි පෙවෙතක් ගත කළහ. ඔවුන් ලංකාව හැඳින් වුයේ සෙරෙන්ඩිබ් යන නමිනි.

මේ  කාලය වන විට අරාබි මුහුදේ නැගෙනහිර කොටසේ ප්‍රධාන වෙළෙඳ පොළ වුයේ කොල්ලම් නම් ස්ථානයයි. මේ ස්ථානයේ සිට මාර්ග දෙකක් විහිදී තිබුණි. 9 – 10 වැනි සියවස් හි අරාබි නැවියන් ලියු වාර්තා වල මේ ගැන සඳහන් වෙයි. එයින් එක් මාර්ගයක් වැටී තිබුණේ මන්නාරම් බොක්කේ සිට ගංගා නදී මෝය දක්වාය. අනික් මාර්ගය නිකොබාර් දුපත ඔස්සේ වැටී තිබුණි. එපමණකුදු නොවේ. ලක්බිමේ උපන් සෑම ද්‍රවිඩයන් කෙරේම මුස්ලිම් ජාතිකයෝ බලවත් සැලකිල්ලක් දැක්වුහ. ඔවුහු කුළු බඩු නිෂ්පාදන පෙර අපර දෙදිග රටවල් වෙත ගෙන ගියහ. මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවක් ලංකාවේ බිහි වුයේ මෙපරිදිය.

මේ ප්‍රජාවට අයත් වැන්දඹුවන් හා අනාථ දරුවන් පිරිසක් මව් රටට යැවීමේ කටයුතු එකල ලංකාවේ රජතුමා විසින් කරන ලද බවක් 8 වැනි ශත වර්ෂය පිළිබඳව ලියැවුණු ඉතිහාස සටහනක සඳහන් වෙයි. ඉන් පෙනී යන්නේ සිංහල පාලකයන් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව කෙතරම් ආරක්ෂා කළා ද යන්නය. අරාබි මුස්ලිම්වරු ලංකාවේ මැණික් ගැන හැම විටම විශේෂ උනන්දුවක් දැක්වුහ. එදා ලංකාව හැඳින් වූ නමක් වුයේ රත්න ද්වීපය යන්නය. ඒ නමට සමාන අරුත් ඇති නමකින් මුස්ලිම්වරු ද ලංකාව හැඳින් වුහ. ඒ නම වුයේ ‘ජසීරත් අල් යකුත්’ (මැණික් දිවයින) යන්නය. ඔවුන් ලංකාවෙන් පිටරට යැවීමට කටයුතු කළේ මැණික් මුතු හක්ගෙඩි කුළු බඩු වැනි වටිනා ද්‍රව්‍යයන්ය. මෙම මුස්ලිම් වරුන් ලංකාවේ පදිංචි වුයේ බලහත්කාරයෙන් හෝ ආයුධ බලයකින් හෝ නොවේ. මේ රටේ රජවරුන්ගේ අනුග්‍රහය හා අනුමැතිය මෙන්ම පෞද්ගලික ව්‍යාපාර වල ප්‍රතිඵලයක් ලෙසත් ය.

මුහුදුබඩ ප්‍රදේශයේ මේ අන්දමට පදිංචි වූ මුස්ලිම් වරුන්ට තම ආගම අදහන්නට සිංහල පාලකයන් ආගමික සහනශීලිතාව ගරු කරමින් පහසුකම් සලසා දුන් බවත් සිංහල පාලකයන් තුළින් ඒ ආගමික සහනශීලිතාව මැනවින් දිස් වූ බවත් අරාබි ග්‍රන්ථ කතු වරුන් විසින් සඳහන් කර තිබේ. මුස්ලිම් වරුන් ලංකාවේ බටහිර වෙරළ තීරයේ සුදුසු තැන් වලත් විශේෂයෙන්ම කලපුව අසලත් සිංහල වැසියන්ගේ හා පාලකයින්ගේ ආරක්ෂාව හා කාරුණික සැලකිලි ලබමින් ජීවත් වුහ. මුහුදුබඩ ප්‍රදේශයේ එවකට පදිංචි වූ මුස්ලිම්වරු ශ්‍රීපාද කන්දට ආසන්න ප්‍රදේශයේ මැණික් ඇති තැන් සොයා යෑමේ වෑයමට ද ප්‍රවේශ වුහ. එවැනි දේ වුයේ ලාංකික රජවරුන්ගේ චාරිත්‍රානුකුල අනුමැතියට අමතරව ලාංකික ජනතාව ඔවුන් වෙත ලබා දුන් සහාය ද හේතුවෙනි.

මුස්ලිම් ව්‍යාප්තිය යාපහුව රාජධානි සමය වන විට තවත් වර්ධනය විය. යාපහුව පාලකයා වූ පළමු වැනි බුවනෙකබාහු රජු මුස්ලිම් රටක් වූ ඊජිප්තුව සමග 1283 දී වෙළෙඳ ගිවිසුමක් ද ඇති කර ගත්තේය. එදා ඊජිප්තුවේ රජවාසලට ලංකාවේ වෙළෙඳ දුත පිරිසක් සිංහල රජුගේ සංදේශයක් රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් වෙයි.

“ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දුතයන් ආපසු එන විට ඊජිප්තුවේ දුතයෙකු ඔවුන් සමග එනු ඇතැයි බලාපොරොත්තු වෙමි. සෑම වර්ගයක ම මැණික් හා මුතු අති විශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව් ඇතුන් රෙදි අගිල් කුරුඳු වැනි සියලු වාණිජ ද්‍රව්‍යයන් ඔබට එවමි. තෝමර තැනීමට සුදුසු ලී ගස් මගේ රාජ්‍යයෙහි වැවේ. අවුරුදු පතා නැව් 20 ක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. එතුමාගේ විජිත වල වෙළෙන්ඳන්ට මගේ රාජ්‍යයේ වෙළෙඳාම් කිරීමට සම්පුර්ණ නිදහස තිබේ. මට අයත් මාලිගා 29 ක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගයක ම මැණික් වලින් පිරී තිබේ. මුතුපර තිබේ. එයින් ගනු ලබන සියලු මුතු මා සතුය.”

මෙවැනි වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පැහැදිලි වන්නේ අපේ රට මුස්ලිම් රටවල් සමග හොඳ සම්බන්ධතාවක් පැවැත් වූ බවයි. මෙය එකී සබඳතාව තහවුරු කරන එක් උදාහරණයක් පමණි. ගාල්ලේ තිබී භාෂා තුනකින් ලියැවුණු සෙල් ලිපියක් හමු විය. එම සෙල් ලිපිය ලියා තිබුණේ චීන දෙමළ පර්සියානු භාෂා වලිනි. 14 වන සියවසේ ලංකාවට ආ ඉබ්නු බතුතා ශ්‍රී පාද කන්දට යද්දී ලංකාවේ පාලකයා එම ගමනේ දී සෑහෙන්න ඔහුට අනුග්‍රහයන් ලබා දුන් බව එහි කියැවේ. මේ ආකාරයේ සෑහෙන සබඳතාවක් මුස්ලිම් වරුන් හා සිංහල ජනයා අතර එම යුගය වෙද්දී ඇති වී තිබුණි.

තවද සීතාවක රාජධානියේ මායාදුන්න රජුට කෝම්පේ බුවනෙකබාහු හා පෘතුගීසීන් සමඟ සටනට යන්නට සම්පුර්ණ සහය හා අනුබලය දුන්නේ ද ඉන්දියානු සාගරයේ එවකට ආධිපත්‍යය ලබා ගෙන සිටි සැටොරින් නම් වෙළෙඳ කණ්ඩායම විසිනි. සැටොරින් යනු මුස්ලිම් වරුන් ය. මේ වෙළෙඳ කණ්ඩායම සීතාවක රාජධානියත් සමග හොඳ වෙළෙඳ හා මිත්‍රශීලී සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

මේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමේ අරගලය හෙවත් නිදහස් සටන් ව්‍යාපාරයට මුස්ලිම් නායකයෙකු වූ ටී. බී. ජායා මහතා මහත් වූ දායකත්වයක් ලබා දුන්නේය. එදා මේ රටේ සිංහල දමිළ මුස්ලිම් භේදයක් තිබුණේ නැත. එදා නිදහස් සටනට මේ මුස්ලිම් නායකයා ලබා දුන් සහයට කෘතගුණ දැක්වීමක් වශයෙන් කොළඹ නගරයේ මාවතක් ටී. බී. ජායා මාවත ලෙස නම් කෙරුණි. ඔහු එදා මේ රටේ නිදහස වෙනුවෙන් සිංහල නායකයන් සමග උරෙනුර ගැටී සටන් කළේය.

සාමය සමගිය පතුරාලා

කුල වාද භේදය දුරලාලා

සැම උපකාරය නංවාලා

අපි හැදෙමු වැඩෙමු එක්සත් වීලා

එදා සිංහලයන් දමිළයන් හා මුස්ලිම් වරුන් කටයුතු කළේ එකී හැඟීමෙන් හා සහෝදරත්ව බැඳීමෙන් බව එකී සබඳතාවේ අක් මුල් සොයා යන ගමනේ දී ඉතාහාසය විසින් පහදන සත්‍යයයි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-9.

සුප්‍රසිද්ධ යෝනක වෛද්‍ය පරම්පරාව

(මුලාශ්‍රය: “ශ්‍රී ලංකා යෝනක වරුන්ගේ අතීත පිය සටහන්” – යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය – කොළඹ)

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දිප්පිටියේ ගැටබේරිය වලව්වේ විසු පල්කුඹුරේ වෛද්‍යතිලක රාජකරුණා ගෝපාලන අධිකාරම් මුදියන්සේලාගේ බේත්ගේ හජ්ජි මුහන්දිරම් සේගු මුහම්මද් උඩයාර් නිලමේගේ පරම්පරාවේ ආදිම මුතුන් මිත්තා ක්‍රි. ව. 1155 දී පමණ ස්පාඤ්ඤයේ යෝනක රාජ්‍ය පරම්පරාවේ නවාබ් රජතුමාගේ කාලයේ වයඹ දිග ග්‍රනඩාවේ විසු පඬිවරයෙකු වන අබු බක්කර් මුහම්මද් ඉබ්නු අබ්දුල් මලික් ඉබ්නු තුෆයිල් බව සොයා ගෙන ඇත. ටික කාලයක් මක්කමේ වාසය කිරීමෙන් පසු මේ අය ඔවුන් යටතේ පැවති මිසරයට සහ ගෝවට පැමිණියහ. මේ පවුලේ එක් ශාඛාවක් උතුරු ඉන්දියාවේ පදිංචි වී සිටියහ. කෝට්ටේ රජ කළ ශ්‍රී සඟබෝ ශ්‍රී පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනය පරිදි ඉන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වී ඔවුන්ගේ පරම්පරාගත වෛද්‍ය කර්මයෙහි යෙදෙමින් සිටියහ. සිවිල් සහ යුද්ධ කටයුතු වලදී ඔවුන්ගේ සේවය රජවරුන් සහ රදලවරුන් විසින් නිතර නිතරම ලබා ගෙන ඇත. මෙයින් එක් වෛද්‍යවරයෙකු විමලධර්මසුරිය රජු යටතේ 1597 දී වෙරළාරක්ෂ හමුදාවල අණදෙන නිලධාරී පදවිය දැරූ හමුදා සෙන්පතියෙකුව සිටීය. අවසානයේදී ලන්දේසීන් විසින් කල්පිටියේදී ඔහු අල්ලා මරණයට පත් කර ඇත. ඔහුගේ මුතුන් මිත්තන් සියලු දෙනාම එතෙක් වෛද්‍යවරුන් වශයෙන් රාජ සභාවේ සේවය කර ඇත. මේ පවුල් උසස් සිංහල පවුල් සමග සම්බන්ධකම් ඇති කර ගත්හ. මේ ලිපිය ලියන ලේඛකයාගේ මව් පාර්ශවයේ මී මිත්තනිය කැප්පෙටිපොළ පවුලේ කෙනෙකි.

පසු කාල වල දී සිටි අවසාන රජවරුන්ගේ කාලයේදී ඔහුගේ මුත්තෙකු වන රාජකරුණා ගෝපාල මුදියන්සේ රාලහාමි පිළිමතලාවේ සහ ඇහැළේපොළ අධිකාරම් වරු සමග අපරාධ හා සිවිල් නඩු විසඳීමෙහි දී රාජාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෙවැනි සේවාවන් සඳහා ඔහුගේ මුතුන් මිත්තන්ට ප්‍රදානය කළ නොයෙකුත් නින්දගම් අතර පහත සඳහන් ප්‍රදානයන් වැදගත් වේ.

ක්‍රි. ව. 1553 දී සෙනරත් රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1567 දී රාජසිංහ රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1597 දී විමලධර්මසුරිය රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1661 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සන්නස

ක්‍රි. ව. 1683 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සන්නස

මෙම සන්නස් පත්‍ර මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ පළාත් වල ඉඩම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒවාය. 1815 දී මහනුවර රාජධානිය ඉංග්‍රීසීන්ට භාර දුන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් බ්‍රිතාන්‍යයන් යටතේ මෙම මහජන සේවය දිගටම කර ගෙන යන ලදී. 1828 දී මැණික්දිවෙල රාජකරුණා වෛද්‍යතිලක මුදියන්සේගේ ඈවෑමෙන් පලුඹුර වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු මුහම්මදු වෙදරාළ එම ධුරයට පත් කරන ලදී. එය මෙසේ සඳහන් කර ඇත.

“බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කැමැත්ත ඇතිතාක් කල් එම ධුරය දැරීමට සහ ධුරයේ කටයුතු කිරීමට පත් කරනු ලබන අතර එකී ධුරය ප්‍රකාරව උඩරට පළාත් වල සිරිත් විරිත් හා සම්ප්‍රදාය අනුව ඔබට ගෞරව දැක්වීමට හා කීකරු වීමට අදාළ සියලු ජනතාවට මෙයින් නියම කර සිටිනු ලැබේ”.

1828 මාර්තු මාසයේ 5 වන දින මහනුවර දී ජී. ගිබ්සන් ජේ. සී. සහ මහනුවර කොමසාරිස් ජෝර්ජ් සිමන්ස් යන අයගේ අත්සන යටතේ නිකුත් කරන ලදී.

මේ තැනැත්තාගෙන් පසු ඔහුගේ පුත්‍රයා එනම් මෙම ලිපය සකස් කළ අයගේ මුත්තා වන සේගු මදාර් උඩයාර් 1928 මාර්තු මස 20 වන දින දරණ ආඥා පත්‍රය මගින් එම ධුරයට පත් කරන ලදී. ඔහුගේ මෙම ධුරයට ප්‍රදේශයේ ගම්මුලාදෑනි තනතුර ද ඇතුළත් විය. මෙම ලියුම්කරු පසු කාලයේදී මෙම ධුරයට පත් කරන ලදී. එතැන් සිට මේ දක්වා ඔහු ආණ්ඩුවට පක්ෂපාතව සේවය කර ඇත. ඔහුට මුහන්දිරම් ධුරයද මහා රැජින විසින් ප්‍රදානය කරන ලද මෞලි මංගල්‍ය පදක්කම ද ලැබී ඇත. ලංකාවේ පුරා විද්‍යා කොමසාරිස් සිවිල් නිලධාරී එච්. එස්. ආර්. බෙල් මහතාගේ කෑගල්ල පෞරාණික පර්යේෂණ වල උද්ධෘතයක් මෙහි පරිශිෂ්ටයේ දක්වා ඇත.

පරිශිෂ්ටය

කෑගල්ල පෞරාණික පර්යේෂණ

ගැටබෙරිය සන්නස

කීර්ති ශ්‍රී රාජසිංහ

ගෝපාල යෝනකවරුන්ගේ ගම වන ගැටබේරිය පිහිටා ඇත්තේ පරණකුරු කෝරළේ තුම්පළාත් පත්තුවේ මොරගම්මන හා ගෙවිලෙපිටිය සිට හෙට්ටිමුල්ල දක්වා ඇති අප්‍රධාන මාර්ගයේ සැ. 1.5 ක් පමණ දුරිනි.

ඔවුන් ලංකාවේ පදිංචියට පැමිණි ආකාරය ගැන ඔවුන් කරන විස්තරය මෙසේය. ඔවුන්ගේ මුතුන් මිත්තෝ කෝට්ටේ මහවාසල සමයේදී ගෝවේ සිට මෙහි පැමිණියහ. ඔවුන් ලංකාවේ පහතරට පදිංචි වී බොහෝ කලකට පසුව වෛද්‍ය වරුන් වශයෙන් ඔවුන්ගේ කීර්තිය ගැන මහනුවර රජතුමාට සැලවී “ඔජරය” නම් උදර රෝගයකින් පෙළෙමින් සිටි බවට සැක කරන ලද රජ බිසවට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන් ව මහනුවරට ගෙන්වා ගන්නා ලදී. ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධය පරීක්ෂා කිරීම පිණිස රජතුමා පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කළේය.

වෛද්‍යවරයාට රෝගියා නොපෙනෙන පරිදි රෝගියා කාමරයක තබන ලදී. රජ බිසවගේ අත අල්ලා නාඩි බැලීමට වෛද්‍යවරයාට අවසර නැති විය. වෛද්‍යවරයා රැවටීම සඳහා නුලක කෙළවර දොර පොල්ලක බැඳ අනික් කෙළවර වෛද්‍යවරයාට දෙන ලදී. වෛද්‍යවරයා නුල අල්ලා බලා කීවේ මෙය පණ ඇති කිසිම දෙයක බැඳ නැති බවයි. ඊට පසුව නුල බල්ලෙකුගේ ඇඟේ බඳින ලදී. නැවත වරක් නුල අල්ලා බැලූ වෛද්‍යවරයා කීවේ එය බැඳ ඇත්තේ මනුෂ්‍යයෙකුගේ ඇඟේ නොව තිරිසනෙකුගේ ඇඟේ බවය. වෛද්‍යවරයාගේ දක්ෂකම ගැන සතුටට පත් වූ රජතුමා අවසානයේදී රජ බිසවගේ අතේ බඳින්නට අණ කළේය. වෛද්‍යවරයා නුල ඇල්ලු සැණින් ම පැවසුවේ රෝගියා “ඔජර” රෝගයෙන් පෙළෙන බවත් එය සුව කළ හැකි බවත් ය. කුමන ප්‍රතිකාරයකින්දැයි විමසු විට “ළය විරේකයකින්” යැයි කීය. රජතුමාගේ අවසරය ලබා ගෙන වෛද්‍යවරයා බෙහෙත පෙව්වේය. බෙහෙත හොඳින් ක්‍රියා කළ පසු රෝගයට හේතුව රජ බිසවට කැවී ඇත්තේ කෙස් ගහක් බව ඔහු පෙන්වා දුන්නේය. රෝග ලක්ෂණ පහළ වීමට හේතුව වී ඇත්තේ එයය. වෛද්‍යවරයාගේ දක්ෂකම ගැන අතිශය ප්‍රීතියට පත් වූ රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලි නමැති පටබැඳි නාමය සමග බේත්ගේ මුහන්දිරම් පදවිය ඔහුට පිරිනැමුවේය. පරණකුරු කෝරළයේ ගොඩිගමුවේ ගෙවිලිපිටිය දුම්බර ගහලගංමොඩ සහ බෝපිටිතැන්න මාතලේ ඉනිගල සහ යටිනුවර මොලදන්ඩ සහ මාලගම්මන යන නින්දගම් ද ඔහුට ප්‍රදානය කළේය.

මහනුවර රජතුමාගේ ආරාධනය පරිදි ගෝවේ සිට මෙහි පැමිණියේ යෝනකවරුන් කිහිප දෙනෙකු පමණි. එහෙත් පසුව ඔවුන්ට විවාහ වීමට උවමනා වූ විට ඔවුන් මුස්ලිම් භක්තිකයින් නිසා සිංහල රදල පවුල් වල කාන්තාවන් ඔවුන්ට ලබා ගත නොහැකි විය. රජතුමාට කෙසේ හෝ මෙම යෝන්කවරුන් මෙහි නවත්වා ගැනීමට උවමනා වුයෙන් ඔවුන්ට භාර්යාවන් ලබා දීමේ උපක්‍රමයක් යෙදුවේය. ආවැඩුම උත්සවයක් සඳහා තරුණ ගැහැනු ළමයින් කීප දෙනෙකු රාජ සභාවට කැඳවන ලදී. මෙයින් යෝනකවරුන්ගේ කැමැත්ත ප්‍රකාර රාජ අනුග්‍රහය ඇතිව මෙම ළමයින්ව යෝනකවරුන්ට විවාහ කර දෙන ලදී.

ගෝපාල යෝනකවරුන්ට මහනුවර පදිංචි වීමට සලස්වන ලදී. ඔවුන්ට ඔවුන්ගේ රටේ ප්‍රධානියාගේ ජාතික ඇඳුම ඇඳීමට අවසර ලැබුණේය. වෛද්‍ය විද්‍යාවේ දැනුමට අමතරව ඔවුන්ට පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ද විය. ඔවුහු අලින්ට සහ අශ්වයන්ට ද වෙදකම් කළහ. ඔවුහු කඩු හරඹයේද අති දක්ෂයෝ වුහ. ඔවුන් පවසන අන්දමට ඔවුන්ගේ මුතුන් මිත්තන්ට සංගීතය පිළිබඳ හසළ දැනුමක් තිබී ඇති අතර ඔවුන් රජුගේ කවිකාර මඩුවේ ගී ගයා සහ වීණා වාදනය කර ඇත. මහනුවර රජවරුන් යටතේ ඔවුන් මාතලේ මින්නේරිය සහ පුත්තලමේ මඩිගේ තනතුරු දරා ඇත. බේත්ගේ මුහන්දිරම්ගේ පාලනය යටතේ රජ මාලිගාවේ වෛද්‍යවරුන් 24 දෙනෙකු සිටි බව ඔවුහු කියා සිටිති. වැදගත් නායකයෙකු අසනීප වූ විට ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ගෙන් කෙනෙකු රජතුමා විසින් වහාම යවන ලදී.

වයස්ගත ගැමියෙකුට කරන ලද වෛද්‍ය ප්‍රතිකාර සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන්ගෙන් කෙනෙකුට ගැටඹේරිය ගම ප්‍රදානය කරන ලදී. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගෝපාල යෝනකවරු එදා සිට ගැටඹේරිය ගමේ දිගටම ජීවත් වුහ. තමන් “මෝගල් පටානි” නමැති ජාතියකට අයත් බව ගෝපාල යෝනකවරු පවසති. මොවුන් උතුරු ඉන්දියාවේ ඉස්ලාමිකයින් බවට සැක නැත. ගෝපාල යෝනක වරුන්ට සිංහල හා දෙමළ යන භාෂා දෙකම ලිවීම සහ කියවීම කළ හැකිය. අනෙකුත් යෝනකවරුන් මෙන්ම මොවුහු ද ඉස්ලාම් දහම අදහති. “බේත්ගේ උඩයාර්” “බේත්ගේ නිලමේ” වැනි පටබැඳි නම් ද උස්මාන් වැනි අරාබි නම් ද ඔවුන්ට ඇත.

දැනට ජීවත් වන වෘද්ධතම ගෝපාල යෝනකවරයා වන්නේ ගැටබේරියේ වයස අවුරුදු 70 ක් වන සේගු මදාර් උඩයාර් ය. දක්ෂ වෛද්‍යවරුන් වශයෙන් ඔවුන්ට තිබු කීර්තිය ඔහු විසින් හොඳින් රැක ගෙන ඇත. දුර බැහැර සිට ඔහුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන ජනයා බොහෝය. ගෝපාල යෝනකවරුන්ගේ විශේෂ ලක්ෂණයක් නම් ඔවුන් එක් ප්‍රදේශයකට සීමා වීමය. සාමාන්‍ය යෝනකවරු ලංකාවේ සැම තැනම සිටිති. එහෙත් ගෝපාල යෝනකවරු ප්‍රධාන වශයෙන් සිටින්නේ ගැටබේරිය උඩුනුවර වෙලම්බඩ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීරිගම්පිටිය යන ප්‍රදේශවල ය. ඔවුන්ගෙන් කීප දෙනෙකු පමණක් කොළඹ සහ අනිකුත් ප්‍රදේශ වල ජීවත් වනු ඉඳහිට දක්නට ලැබේ.

ගෝපාල යෝනකවරු මහනුවර ප්‍රදේශයේ ජීවත් වූ බවත් ඔවුන්ගෙන් ඇතැම් දෙනෙකු උසස් පදවි වලට පත් වූ බවත් ඔප්පු කෙරෙන වෙනත් සාක්ෂි ඇත. මෑතක් වනතුරුම ඔවුන්ගේ අවංක විශ්වාසවන්ත සේවය සඳහා නිසි සැලකිලි ලැබී ඇත. දෙවන රාජසිංහ රජු විසින් ඔහුගේ බාල බෑනා වන විජයපාල මැරවීමට හේතු වූ කාරණා ගැන 1669 දී ලන්දේසීන් විසින් සාක්ෂි විභාග කරන ලද සාක්ෂි කරුවන්ගේ නම් අතර ගලගම අධිකාරමගේ නම ළඟටම සඳහන් වන්නේ “ගෝපාල මුදලි සහ යෝනක මොහොට්ටාල” යන නම්ය.

ඊට ශත වර්ෂ එකහමාරකට පමණ පසු රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු මොහම්මඩ් උඩයාර් 1828 මාර්තු මස 20 වන දින දරණ පත්වීමේ ආඥාව මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ වෛද්‍යවරයෙකු වශයෙන් පත් කරන ලදී. ඒ අයුරින්ම සේගු මදාර් උඩයාර් ද 1833 ජුනි මස 8 වන දින ආඥාව යටතේ 1833 දී වෛද්‍යවරයෙකු වශයෙන් පත් කරන ලදී. දිගු කලක් සේවය කිරීමෙන් පසුව ඔහු කොටගොඩ ආරච්චි ධුරයෙන් ඉල්ලා අස්විය. මේ ප්‍රදානය ලැබූ ගෝපාල මුදලිගේ පරම්පරාවේ දැන් ජීවත් ව සිටින තැනැත්තා විසින් කියා සිටින්නේ මොලදණ්ඩ නමැති රාජද්‍රෝහියාගේ ආගන්තුක සත්කාර ලබන්නට රජතුමා පැමිණි විට දී උල් කටු සහිත බොරු වළකට රජතුමා හෙළීමට ඔහු කුමන්ත්‍රණය කළ බවයි. යෝනක මුදලිවරයා මේ කුමන්ත්‍රණය කලින් දැනගෙන රජුට සැල කළේය. මොලදණ්ඩ අනුන්ට කැපු වළේ තමාම වැටුණේය.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-10

සිංහ කොඩිය අරාබියෙන් ලැබුණ තෑග්ගකි. මේ බවට මුඛ පරම්පරාගත කතා ඇත

(එස්. ඊ. එන්. නිකලස් විසින් 1951 පෙබරවාරි 11 වන දින ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ සන්ඩේ ඉලස්ට්‍රේටඩ් පුවත්පතට සැපයු ලිපියක් ) 

මේ රටේ ජාතික කොඩිය වශයෙන් සිංහ කොඩිය පිළිගැනීමේ අදහස මීට තුන් අවුරුද්දකට පමණ පෙර පළ කළ අවස්ථාවේ දී ඒ ගැන විවිධ අදහස් මතු විය. බොහෝ දේශපානඥයෝ මෙය පිළිගැනීමට ඉතා දැඩි ලෙස උනන්දු වුහ. එසේ වීමට හේතුව සිංහ කොඩිය සිංහලයින්ගේ කොඩිය වශයෙන් ශත වර්ෂ ගණනාවක් තුළ භාවිත වුයේ යැයි ඔවුන් සිතා ගෙන සිටීමය. එහෙත් ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයෙකු තීරණය කළේ ජාතික කොඩිය වශයෙන් සැලකෙන සිංහ කොඩිය ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ලංකාවේ අන්තිමට රජ කළ කන්දසාමිගේ පාලන සමයේ දී භාවිත කළ කේරළ ධජයක් පමණක් බවය.

ආචාර්ය අන්ද්‍රායෙස් නෙල් ද මීට සමාන අදහසක් පළ කරමින් කියා සිටියේ සිංහ කොඩිය මුස්ලිම් වරුන්ගෙන් ලැබුණු දෙයක් විය හැකි බවත් එනිසා එය සිංහලයින්ගේ ජාතික කොඩිය වශයෙන් භාවිත කළ නොහැකි බවත් ය. ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්නය සදහටම තීරණය කිරීම පිළිබඳව ගිය අවුරුද්දේ ව්‍යාපාරයක් ඇති වූ විට තවත් නොයෙක් මත පළ කරන ලදී. ලංකාවේ රජවරු ඔවුන්ගේ රාජ පරම්පරාවේ අවසාන කොටසේදී රාජකීය ලාංඡනය වශයෙන් සිංහයා යොදා ගත්තේ ඇයි? සත්තකින්ම මලබාර් රජවරුන් මෙය යොදා ගත්තේ සිංහලයින් සිංහයෙකුගෙන් ඇති වූ බවට ප්‍රචලිත විශ්වාසය තහවුරු කොට සිංහලයින් සතුටු කිරීමට නම් නොවේ.

ඉතිහාසයෙන් සාධක නොලැබේ

ලංකාවට සිංහ කොඩිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඇති කර ගැනීමට ඉතිහාසයෙන් තොරතුරක් ලැබේ දැයි පරීක්ෂා කිරීමට අපි ලංකා ඉතිහාසය දෙසට හැරෙමු. අනුරාධපුරයේ පුරාවස්තු අතර නෙස්ටෝරියන් (පර්සියානු ක්‍රිස්තියානු) කුරුසයක් හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ ක්‍රිස්තු පුර්ව මුල් ශත වර්ෂ වල දී ලංකාවේ අගනුවර තුළ පර්සියානුන් පදිංචි වී සිටි බවත් ඔවුන්ට ඔවුන්ගේම දේවස්ථානයක් තිබු බවත් ය. මෙපමණක් නොව මන්නාරමට නුදුරු මාන්තොට ලංකාවේ මුතු මැණික් කුළුබඩු ආදිය වෙළඳාම් කරන වෙළඳ මධ්‍යස්ථානයක් ද ඔවුන්ට තිබී ඇත. රාජකීය අශ්වාරෝහක හමුදාවට ඔවුන් පර්සියාවෙන් අශ්වයන් සපයා ඇත. ලංකාවේ පදිංචි වී සිටි පර්සියානු ජාතිකයින් කීපදෙනෙකුට හිරිහැර කළ සිංහලයින්ගෙන් පළිගැනීමට ඔවුන් නාවික හමුදාවක් ගෙන් වූ බවත් අපට දැන ගන්නට ලැබී ඇත.

හත් වන සියවසේදී පර්සියාව මුස්ලිම් වරුන්ගේ ග්‍රහණයට හසු වූ පසු ව ලංකාව තුළ පර්සියානුන්ගේ වෙළඳ කටයුතු නතර වී ඇත. පර්සියාව යටත් කර ගැනීමෙන් පසුව රතු සිංහ කොඩිය පර්සියාවේ ඔසවන ලදී. ඉන් පසු අරාබි ජාතිකයින් බොහෝ දෙනෙකු පර්සියාවේ පදිංචි වුහ. යුරෝපයේ දී හා ආසියාවේ දී මුස්ලිම්වරුන් නොයෙක් නම් වලින් හඳුන්වනු ලැබුහ. තුර්කිවරු මෝගල්වරු යෝනකවරු ආදී නම් ඉන් සමහරකි. ඔවුන් ලංකාවට පැමිණියේ වෙළඳාම සඳහාය. ඇතැම් මුස්ලිම් සංචාරකයින් විසින් ලංකාවේ ජනයා ගැන ද කෝට්ටේ සහ යාපනයේ එකිනෙකාට විරුද්ධ රජවරුන් දෙදෙනෙකු ගැන ද රසවත් විස්තර ලියා තබා ඇත. සිංහල රජෙකු ඉස්ලාම් දහම ගැන දැඩි උනන්දුවක් දැක් වූ බව ද ඒ එක් සංචාරකයෙක් කියයි. ඔවුන් ලංකාව හැඳින්වුයේ ‘සෙරෙන්ඩිබ්’ යන නමිනි. ඔවුන් පැමිණියේ ආදම්ගේ කන්ද (සමනළ කන්ද) දැක බලා ගැනීමටය. කඳු මුදුනේ ඇති පාද ලාංජනය ආදම්ගේ පා සටහන යැයි ඔවුහු අද දක්වා විශ්වාස කරති.

ක්‍රි. ව. 1310 දී මෝගල්වරු පාන්ඩය දේශය යටත් කර ගත් අවස්ථාවේ දී ලංකාවත් ඔවුන් යටතට පත්වී ද? එහෙත් එවැන්නක් සිදු වූ බවට අපට ඉතිහාසයෙන් කිසිදු සාක්ෂියක් නොලැබේ. එසේ නම් මුස්ලිම්වරුන්ගේ කොඩිය ලංකාවේ මලබාර් රජවරුන් අතට පත්වුයේ කෙසේද? මේ කාරණය ගැන මුඛ පරම්පරාගත කතාවක් ඇත. ලංකාවට සිංහ කොඩිය ලැබුණු කතාව කෙටියෙන් කියතොත් මෙසේය.

(පාරම්පරික මුස්ලිම් වෛද්‍යවරුන්ගේ දක්ෂතා පිළිබඳ ව පහතින් ඉදිරිපත් කරන විස්තරයට සමාන වූ සිදු වීමක් මෙම ලිපි පෙළේ මෙයට පෙර ඉදිරිපත් කළ ලිපියේද සඳහන් කොට ඇත.) මුස්ලිම්වරුන්ට අයිති ව තිබු පර්සියාවේ වැසියන් කණ්ඩායමක් ඉන්දියාව හරහා ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවට ගොඩ බැස්ස විට නීති විරෝධී ව රටට ඇතුළු වූ අය වශයෙන් සලකා ඔවුන් අල්ලා සිරගෙයි ලන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ බිසව බරපතළ ලෙස රෝගාතුර ව සිටින බවත් රාජකීය වෛද්‍යවරුන්ට සුව කළ නොහැකි ව සිටිනා බවත් බන්ධනාගාර පාලකයින්ගෙන් මේ සිරකරුවන්ට දැන ගන්නට ලැබිණ. මේ සිරකරු කණ්ඩායම තුළ මුස්ලිම් පාරම්පරික වෛද්‍ය ක්‍රමය දන්නා සහෝදරයන් තිදෙනෙක් වුහ. රජ බිසව සුව කිරීමට ඔවුහු සිය කැමැත්තෙන් ඉදිරිපත් වුහ. රජතුමාට මෙය සැල වූ වහාම රජතුමා වහාම ඔවුන් ගෙන්වා ඔවුන්ගේ උපකාරය ලබා ගැනීමට සුදානම් විය. රජ බිසවට ප්‍රතිකාර කළ යුතු වුවත් ඇගේ අත ඇල්ලීම තහනම් බව ඔවුන්ට දන්වන ලදී. එවිට ඔවුන් කියා සිටියේ තිරයක් පිටුපස රෝගියා තබා රෝගියාගේ අතේ නූලක් බැඳ එම නූල ඔවුන්ට අල්ලා ගැනීමට දුන් විට එම නූලේ ආධාරයෙන් රෝගියාගේ නාඩි පරීක්ෂා කර රෝගය නිශ්චය කළ හැකි බවය. රජතුමා ට මෙහි ඇති සත්‍යතාව පරීක්ෂා කිරීමට උවමනා විය. එකී පරිදි නූලේ එක් කෙළවරක් ඔවුන් අතට දී පළමු ව නූලේ අනික් කෙළවර පුටු ඇන්දක බඳින ලදී. නූල පරණ ලීයක බැඳ ඇති හෙයින් රෝගය නිශ්චය කළ නොහැකි බව ඔවුහු පැවසුහ. ඊට පසුව එම නූල බළලෙකුගේ පාදයක බැඳ අනිත් කෙළවර ඔවුන්ට දෙන ලදී. ඔවුන් කියා සිටියේ නූල සිව්පාවෙකුගේ ඇඟේ බැඳ ඇති බවය. ඊට පසු නූල රෝගාතුර ව සිටි ඇමතිවරයෙකුගේ අතේ බඳින ලදී. එම ඇමතිවරයාගේ රෝගය රජතුමා කලින් දැනගෙන සිටීය. මෙවර එකී විශේෂ වෛද්‍යවරු එය නම් මනුෂ්‍යයෙකුගේ නාඩි ගැස්ම බව පවසා රෝගය ද නිවැරදි ව නිශ්චය කළහ. අවසානයේ දී  නූල බිසවගේ අතේ බැඳ නාඩි බලා රෝගය හඳුනා ගන්නා ලද්දෙන් නිසි ප්‍රතිකාර කිරීමෙන් ටික දිනකින් රෝගය සුව කරන ලදී.

රජතුමා සතුටට පත්වෙයි

මෙම දක්ෂ වෛද්‍යවරුන් ගැන රජතුමා අතිශයින් සතුට ට පත් විය. ඔවුන් ව වහාම සිරෙන් නිදහස් කරවා රාජකීය වෛද්‍යවරුන් ලෙස පත් කරන ලදී. ඔවුන්ගේ කණ්ඩායමේ අනික් පිරිස ද වහාම නිදහස් කරන ලෙසට අණ කරන ලදී. ඔවුන් රජතුමාගේ රාජධානියේ පදිංචි කරවා ඔවුන්ට මිල මුදල් ආදී නොයෙකුත් වස්තු පරිත්‍යාග කරන ලදී.

එම කණ්ඩායමේ එක් අයෙකු ආලිම්වරයෙකු (ඉස්ලාමීය විද්වතෙක්) විය. දිනක් ගමනක් යන අතරතුර දී ඔහුට පිපාසය දැනී සිංහල ගැමි තරුණියක වෙත ගොස් බීමට යමක් ඉල්ලා සිටීය. ඇය ඔහුට පානය කිරීමට කිතුල් මී රා දී ඇත. මෙය මත් වීමක් සිදු කරන්නක් බව නොදැන ඔහු මේ රසවත් පානය ඇති තරම් බී තෑග්ගක් වශයෙන් ඔහුගේ රන් මුදුව කළය තුළට දමා ඇත. තරුණියගේ පියා පසු ව නිවසට පැමිණ මී රා බොන අතර තුර දී කළය තුළ තිබු මුද්ද දැක ඇත. මේ ගැන දියණියගෙන් විමසු විට ඇය කියා සිට ඇත්තේ සංචාරක පුජකයෙකු පැමිණ බීමට යමක් ඉල්ලා සිටියෙන් ඇය ඔහුට කිතුල් රා කළය දුන් බවත් ඔහු මුද්ද කළය තුළට දමා යන්නට ඇති බවත් ය. පියා නැති අතරතුර දී දියණිය අමුත්තෙකුට සංග්‍රහ කර ඇති බව ඇසු පියාගේ කෝපය ඉහ වහා ගියේය. ඔහු ඇයට තදින් දොස් කියා දඬුවම් කළේය.

ගෙහිමියා නැති විටෙක ගෙදර තරුණියකගෙන් විදේශිකයෙකු බීමක් ලබා ගැනීමෙන් සිදු වූ නින්දාව ගැන ගම් වැසියෝ ද නොසන්සුන්තාවකට පත් වූහ. එහෙත් රජතුමාට මෙය ආරංචි වූ විට රජතුමා තරුණිය මාලිගාවට ගෙන්වා ඇයව එම තැනැත්තාට විවාහ කර දී ඇයට අවශ්‍ය සියලු දෑ ද සපයා දුනි.

වෛද්‍යවරුන් සමග පැමිණි කණ්ඩායම මේ සිද්ධියෙන් පසු ක්‍රමක්‍රමයෙන් අපකීර්තියට පත් වන්නට පටන් ගත්හ. එනිසා ඔවුහු ආපසු සියරට ට යන්නට තීරණය කළහ. එහෙත් රජතුමා ඊට අකමැති විය. රජතුමා ඔවුන්ට කීවේ ආලිම්වරයා මෙන් ලංකාවේ පදිංචි වන ලෙසය. එහෙත් මේ විදේශිකයින් ඔවුන්ගේ රටවල උසස් පවුල් වල අය වූ හෙයින් ගම්වැසි තරුණියන් විවාහ කර ගැනීමට අකමැති වූහ. එවිට රජතුමා ඔවුන්ට ගැළපෙන පරිදි උසස් පවුල්වල කාන්තාවන් හඳුන්වා දීමට පොරොන්දු විය. මේ අනුව පෙරහැරක් පවත්වා මේ සිව්දෙනාට තමන් කැමති තරුණියන් තෝරා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලදී. ඔවුහු මෙලෙස තමන් ට සුදුසු යැයි හඳුනා ගත් තරුණියන් සමග විවාහ වී මෙහි පදිංචි වුහ. රජතුමා විසින් ඔවුන්ට තෑගි බෝග ද අවශ්‍ය අනෙකුත් සියලු දේ ද සපයා දෙන ලදී.

රජතුමාගේ කාරුණිකත්වයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔවුන් විසින් ඔවුන්ගේ රටේ ධජය රජතුමාට පරිත්‍යාග කරන ලදී. ඔවුන් පැවසුවේ මේ කොඩිය සතුරන් ඉදිරියේ රජතුමාට කීර්තියක් හා අභිමානයක් ගෙන දීමට තරම් තේජසක් ඇති ධජයක් බවය. ඉන් පසු එම කොඩියෙන් මෝගල් ලාංජනය ඉවත් කොට එකල අවදානම් වැඩක් වූ අය බදු එකතු කිරීමට රාජ පුරුෂයන් යන විට මෙම මුස්ලිම් සිංහ කොඩිය රැගෙන යන ලදී. සිංහ කොඩිය ලංකාවට පැමිණීම ගැන ඇති පරම්පරාගත කතාව මෙයයි. මෙය සිංහල විද්වතුන් කීප දෙනෙකු විසින් ම අනුමත කර ඇති විස්තරයකි. එම පිරිසේ සිටි ගණන හා රජතුමාගේ නම සම්බන්ධයෙන් සමහර මතභේද ඇත. සමහරුන් පවසන අන්දමට මේ පිරිසේ සිට ඇත්තේ පස් දෙනෙකු (ආලිම්වරයා ඇතුළු ව) නොව හත් දෙනෙකි. රජු ද ක්‍රි. ව. 1747 පමණ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ නොව 1464 පමණ කාලයේ දී රජකම් කළ දෙවන බුවනෙඛබාහු රජු බව ඇතැම් අයගේ මතයයි.

‘විවිධ වාර්ගිකයින්’ සැලකිල්ලට ගෙන ජාතික කොඩියක් සකස් කර ගැනීමේ කටයුත්ත දැන් අවසානය. එය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ලෙස පිළිගැනීම සඳහා ළඟදීම පාර්ලි‌‌මේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බව කියැවේ. මේ කොඩියේ මැද සිංහයා නම් සිටිය යුතුමය. සිංහයාගේ අතේ වර්තමාන ජාතික කොඩියේ පෙන්නුම් කරන භයානක ආයුධය වෙනුවට දැල්වෙන පහනක් තිබිය යුතු අතර සිංහයා බෞද්ධ හින්දු කිතුනු මුස්ලිම් යන දහම් හතරේම වැදගත් ස්ථානයක් වශයෙන් සැලකෙන සමනල කන්ද දෙස බලා සිටින අයුරු සකස් කළ යුතු යැයි අපි සිතන්නෙමු.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-11

‘සෝනහර්’

(එම්. ජේ. වංශ අච්මඩ් විසින් 1937 ජනවාරි 22 වන දින ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතට සැපයු ලිපියක්) 

යෝනකවරුන් හැඳින්වීම සඳහා යෙදෙන “මුවර්” යන වචනය “මෝරෝ” යන ස්පාඤ්ඤ වචනයෙන් සහ “මොවුරෝ” යන පෘතුගීසි වචනයෙන් බිඳී ආවකි. එහි අර්ථය වර්තමාන මොරොක්කෝව වන මොරිටානියාවේ වැසියන් යන්නය. අරාබි ජාතිකයින් ද ආසියාවේ හා අප්‍රිකාවේ වෙළඳුන් වශයෙන් පැලපදියම් වූ අරාබි ජාතිකයන්ගෙන් පැවත එන්නවුන් ද හැඳින්වීම සඳහා පෘතුගීසීන් විසින් මේ පදය කිසිදු විචාරයකින් තොරව භාවිත කළහ.

පෘතුගීසීන් ලංකාවට පැමිණීමට පෙර මුස්ලිම්වරු හෝ මේ රටේ යෝනකවරු “යොන්” නැතහොත් “යොන්නු” යනුවෙන් සිංහලෙන් ද “සෝනහර්” යනුවෙන් දෙමළෙන් ද හඳුන්වනු ලැබුහ. “යොන්” හෝ “යොන්නු” යන පද පාලි “යානා” සහ සංස්කෘත “යවන” යන පද වලින් බිඳී ආ බව පෙනේ. ඒ පද වල අර්ථය විදේශිකයා විශේෂයෙන් ම අරාබි ජාතිකයා යන්නයි. මේ ක්‍රමය අනුගමනය කරමින් පුරාණ සිංහල මිනිසුන් විසින් මේ රටේ අරාබි ජාතිකයන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් “යොන්” හෝ “යොන්නු” යනුවෙන් හඳුන්වනු ලැබුහ.

‘යොන්’ යන පදය මෙකී මනුෂ්‍ය වර්ගයා හැඳින්වීමට භාවිත කළ බවට උදාහරණ ලෙස ‘යොන් වීදිය’ ‘යොන් ගල’ ‘යොන් බිසව’ යන ස්ථාන නාම සහ පුද්ගල නාම සාක්ෂි දරයි. කෙසේ වුව ද ‘යොන්’ යන පදය දැන් ලිඛිත භාෂාවේ දී පමණක් භාවිත වන අතර සිංහල හසුරුවන්නන් විසින් ව්‍යවහාරයේ දී භාවිත කරනු ලබන්නේ ‘මරක්කල’ හෝ ‘මරක්කලයින්’ යන වදන් ය.

ගෞරව නම්බු නාමයක්

මේ වදන බිඳී ආයේ මලබාරයේ උසස් මුස්ලිම්වරුන් හැඳින්වීමට භාවිත කරන ලද ගෞරවාර්ථ පදයක් වූ ‘මර්කාර්’ යන පදයෙනි. ලංකාවට පෘතුගීසීන්ගේ ගොඩ බැසීමට විරුද්ධ ව සටන් කිරීම සඳහා මලබාර් යුද්ධ හමුදාවක සේනාධිපති වශයෙන් පැමිණි යෝනක ජාතික අලි ඉබ්‍රාහිම් මර්කාර් මේ දිවයිනට පැමිණීමෙන් පසු මේ පදය ව්‍යවහාරයට පැමිණියේ යැයි සලකනු ලැබේ. අනෙක් අතට ‘මරක්කල’ යන යෙදුමට අරාබි ප්‍රභවයක් ද ඇති බව පෙනේ. දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ වෙළඳාමෙහි යෙදුණු අරාබි ජාතිකයින් නැවියන් හා නෞකාධිපතීන් ද වූ හෙයින් නැව යන අර්ථවත් ‘මර්කබ්’ යන පදයෙන් බිඳී නාවිකයා හෝ නෞකාධිපති හැඳින්වීමට ‘මර්කාබි’ යන පදය භාවිත කරන ලදී.

යෝනක ජනයා තමන් හැඳින්වීම පිණිස භාවිත කරනු ලබන ‘සෝනහර්’ යන දෙමළ වචනය බිහි වූ ආකාරය රොට්ලර් විස්තර කරන්නේ මෙසේය. පුරාණ හින්දු භූගෝල විද්‍යාඥයින් අරාබිය හඳුන්වන ලද්දේ ‘නොනහාම්’ යනුවෙනි. මේ අනුව සෝනහර් යන්නෙන් අරාබි ජාතිකයෙකු නැතහොත් ‘සොනහාම්’ රටේ රට වැසියෙක් අදහස් කෙරිණි. කල් යත්ම සෝනහර් යන නාමය මේ රටේ අරාබි ජාතිකයින්ගෙන් පැවත එන්නන් සඳහා භාවිත වන්නට විය.

වාණිජ කටයුතු සඳහා මෙරටට පැමිණි අරාබි ජාතිකයින්ට අමතර ව හාෂීම් පෙළපතට එරෙහි වූ ඔමය්යාඩ් කාලිෆ් (පාලකයා) අබ්දුල් මලික් ඉබ්න් මර්වාන් නමැති කාලිෆ් රජු විසින් රටින් පිටුවහල් කරන ලද හාෂීම් පෙළපතේ අරාබි මිනිසුන් කණ්ඩායමක් ද ක්‍රි. ව. අට වන ශත වර්ෂයේ දී ලංකාව ඔවුන්ගේ ක්‍ෂේම භූමිය කර ගත්හ. ලංකාවේ අද සිටින ඇතැම් මවුලානා පවුල් පැවතෙන්නේ මේ හාෂිම්වරුන් ගෙන් බව කියනු ලැබේ. මේ අරාබි ජන දෙකොට්ඨාසය අද සිටින ලංකා යෝනක වරුන්ගේ මුතුන්මිත්තන් ය.

ලංකාවේ මුස්ලිම් රජු

යෝනක ජනයාගේ ඉතිහාසය හාරා අවුස්සා බැලීමේ දී එක් කලෙක ලංකාවේ කිරීටය මුස්ලිම් රජෙකු විසින් දරන ලද බව අනාවරණය වේ. මොහු වූ කලි කුරුණෑගල රාජධානිය කොට ගත් වතීම් (වස්තුමනි) දෙවන බුවනෙකබාහු රජුගේ යෝනක බිසවක් වූ ‘යොන් බිසව’ යනුවෙන් හඳුන්වන ලද බිසවගේ පුත්‍රයාය.

ක්‍රමක්‍රමයෙන් ලංකාව යෝනක ජනයාගේ නිජ බිම බවට පත් විය. කල් යාමේදී ඔවුහු ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. ලංකාවේ පදිංචි වූ මුල් යෝනක ජනයා අරාබියේ සිටි තම සහෝදර ජනයා සමග නිතර සම්බන්ධතා ඇති කර ගෙන තිබුණු නමුත් පෘතුගීසීන්ගේ සහ ඔවුන්ගෙන් පසු ලන්දේසීන්ගේ කඩාවැදීමෙන් පසු යෝනකවරුන් පීඩිත ජනකොටසක් බවට පත් වූ අතර ඔවුන්ට අතවර සහ හිංසා පීඩා කොට ඔවුන්ගේ විදේශීය වෙළඳාම උදුරා ගෙන ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ද ඔවුන්ට අහිමි කරන ලදී. ඉංග්‍රීසීන් ලංකාවට පැමිණෙන තෙක් ම මේ ඛේදජනක තත්ත්වය එසේම පැවතිණි. මේ දුක් බරින් මිරිකෙමින් සිටි යෝනක ජනයාගේ උනන්දු ව හීන වී ඔවුන් අලසයන් බවට පත් වූ නමුත් විවිධ වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ අභ්‍යන්තර වෙළඳාම ඔවුන් විසින් කර ගෙන යන ලදී. මේ ආකාරයෙන් ඔහු මේ රටේ වෙළඳාමේ පුරෝගාමිකයන් සහ දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත් වූහ.

වර්තමාන යෝනක ජනයා මෙන් නොව පෙර කල යෝනක ජනයා රණකාමී පිරිසක් ද වූහ. මුල දී පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කළ මොවුහු පසුව කන්ද උඩරට සහ ඉංග්‍රීසීන් අතර සිදු වූ යුද්ධ වලදී ක්‍රියාකාරී කොටසක් ඉටු කළහ. ඔවුන් අතර දක්ෂ වෛද්‍යවරුන් සිටි අතර සිංහල රජවරුන්ට සේවය කළ හකීම්වරු (පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ නිපුණත්වයක් ලද පිරිස) ද ඒ අතර වූහ. වර්තමාන යෝනක වෛද්‍යවරුන්ගෙන් ඇතැමෙක් මෙකී පුරාණ වෛද්‍යවරුන්ගේ පරම්පරා වලින් පැවත එන්නෝ වෙති. සිංහල රජෙකුගේ අමාත්‍යවරුන් වශයෙන් යෝනක ජාතිකයින් සිව් දෙනෙකු සිටි බව ද කියනු ලැබේ.

සාමකාමී පිරිසක්

බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණි තෙක් සිට ලංකාවේ අනෙකුත් ජන කොටස් සමග සමසේ නිදහස භුක්ති විඳින යෝනක ජනතාව අද අප දන්නා පරිද්දෙන් බ්‍රිතාන්‍ය රජුගේ නීතිගරුක හා සාමකාමී පුරවැසියයෝ වෙති (මෙම ලිපිය සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් අ පැවති කාලයේ ය). ඔවුහු රටේ අනෙකුත් ජනයා සමග මිත්‍රත්වයෙන් ජීවත් වෙති.

අරාබි ජාතිකයින්ගේ ආවේණික ආගන්තුක සත්කාර ගති පැවතුම් ලංකා යෝනක ජනයා තුළ විද්‍යාමාන වූයෙන් අමුත්තෙකුට දැක්විය යුතු කාරුණික හා ශිෂ්ට සම්පන්න සංග්‍රහ ගැන ඔවුහු විශේෂයෙන් සැලකිලිමත් වෙති. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි ව දක්නට ලැබෙන අවස්ථා ලෙස ආගමික හා මංගල උත්සව දැක්විය හැක. මේ උත්සව වලදී අමුත්තන්ට ඉතා ප්‍රණීත ආහාරපාන වලින් සංග්‍රහ කරනු ලැබුහ. ව්‍යාපාර කටයුතු වලදී සහ තමන්ගේ ශුභ සිද්ධියට අදාළ සියලු ප්‍රයත්නයන්හි දී පරීක්ෂාකාරී සහ විචක්ෂණ ලෙස කටයුතු කරන මේ යෝනක ජනයා වෙළඳ ව්‍යාපාරයන්හි දී කඩිසරවත් නොපසුබටවත් ක්‍රියා කරති. වාණිජ කටයුතු වල පුරෝගාමීන් වූ මොවුහු ලංකාවේ ධෛර්ය සම්පන්න ජන කොට්ඨාසයක් වෙති. භක්තිමත් මුස්ලිම්වරුන් වීමට ඔවුන්ට ඉස්ලාම් දහම පිහිට වී ඇත්තාක් මෙන් ම ඉතා වැදගත් ජන කොට්ඨාසයක් ලෙසට උසස් තැනක් ගැනීමට හා එය රැක ගැනීමට ඔවුන්ට පිහිට වී ඇත්තේ වෙළඳාම හා වාණිජ කටයුතු ය.

යෝනක ජනයා සමාජයේ සෑම තරාතිරමක ම සිටින බව

යෝනක ජනයා සෑම තරාතිරමක ම දක්නට ලැබේ. දැනට ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් රජයේ උසස් තනතුරු දරන නමුත් අතීතයේ දී බොහෝ යෝනකවරු එවැනි උසස් තනතුරු දැරූහ. ලංකාවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් බොහෝ දෙනා යෝනකවරුන් වන අතර කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල පිහිටි විශාල ගොඩනැගිලි සමහරක් ඊට සාක්ෂි දරයි. ලංකාවේ සිටින විශිෂ්ටතම මැණික් වෙළඳුන් සහ ස්වර්ණාභරණ වෙළඳුන් යෝනකවරුන් වන අතර ඔවුන් අතර වෙළඳ ලෝකයේ පතාක යෝධයෝ සිටිති. මේ හැරෙන්නට දක්ෂ වෛද්‍යවරු සුප්‍රකට නීතිවේදීහු හා දේශපානඥයෝ ද ඔවුන් අතර වෙති.

බොහෝ කලක් නොසලකා හැර තිබුණු අධ්‍යාපනය සඳහා විශාල අවධානයක් පසුගිය වර්ෂ විසි පහ තුළ දී යෝනක ජනයා විසින් දක්වන ලදී.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-12

‘ලංකා යෝනක – සිංහල සම්බන්ධතා සැම විටම සුහද ඒවා විය’

(එම්. එම්. ටී. විසින් 1948 පෙබරවාරි 15 දින සිලෝන් ඔබ්සර්වර් ඉරුදින සංග්‍රහය පුවත්පතට සැපයු ලිපියක්) 

සිංහල ජනයා විසින් ලංකා යෝනක ජනයා දැන හැඳින ගැනීම ක්‍රි. ව. පළමුවන ශත වර්ෂය තරම් ඈතට යන බව පෙරිප්ලන් ප්‍රකාශ කරන නමුත් ඉන්ඩිකොප්ලුස්ටෙස් පවසන අන්දමට ඒ සම්බන්ධතා ඇති වී තිබෙන්නේ හය වන ශත වර්ෂයේ බවය. කෙසේ වුව ද දැන් අප ලංකා යෝනකවරුන් යනුවෙන් හඳුන්වනු ලබන ජන කොට්ඨාසයේ මුතුන් මිත්තන් වූ අරාබි ජාතිකයින් වෙළඳුන් වශයෙන් අවිවාදයෙන් ම පෙරදිග ලෝකයේ ස්වාමිත්වය දැරූ බව නම් නිසැකය.

සිංහල ජනයා ඔවුන් හැඳින් වූ ‘මරක්කල මිනිස්සු’ නැතහොත් නාවිකයන් යන නාමයෙන් ම ඔවුන්ගේ ප්‍රභවය සහ රැකියාව විස්තර වන්නේය. සිංහල ජනයා ලංකාවේ රට අභ්‍යන්තරයේ ගොවිතැන් කටයුතු වලින් සෑහීමට පත් වූ අතර බාහිර ලෝකය ගැන ඔවුන්ගේ තැකීමක් එතරම් නොවීය. ඔවුන්ගේ විහාර ස්ථාන වල ශ්‍රී විභූතිය සහ උත්සව හැරෙන්නට ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් කිසිවක් නොතිබුණ අතර ඔවුන් රෝමය වැනීසිය අරාබිය සහ අනෙකුත් විදේශීය රටවල් සමග වෙළඳාමේ මාර්ගයෙන් සම්බන්ධ කරන ලද්දේ යෝනක වරුන් විසිනි.

මේ දිවයිනේ මැණික් සායම් ලබා ගන්නා දැව වර්ග කුළුබඩු සහ ඇත් දළ වැනි දේවල් සහ සුඛෝපභෝගී ද්‍රව්‍ය යෝනක වරුන් විසින් විදේශීය රටවලට ගෙන යන ලද අතර චීනය තරම් ඈත රටවල් වලට පවා ඔවුහු ඒ ද්‍රව්‍ය සැපයුහ. එමෙන්ම ඒ රටවල වෙළඳ භාණ්ඩ ඔවුන් විසින් සිංහලුන්ගේ දොරකඩට ම ගෙනත් දෙන ලදී.

පණ්ඩුකාභය රජතුමා (ක්‍රි. පු. හතරවන සිය වසේ දී) ස්වකීය මාමා වරුන් පරාජයට පත් කිරීමෙන් පසු තම රාජධානිය වශයෙන් අනුරාධපුරය තෝරා ගෙන නගරයේ සාමාන්‍ය සැලැස්ම පිළියෙල කළේය. එසේ පිළියෙල කිරීමේදී නගරයේ බටහිර දොරටුව අසල ‘යෝනකයන් සඳහා වෙන් කළ භුමිය’ යනුවෙන් භුමි භාගයක් වෙන් කළේය.

චීන දේශ ගවේෂකයෙකු වන පාහියන් පස් වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ලංකාවට පැමිණි විට ඉතා අලංකාර ලෙස සරසන ලද සාබියානු වෙළෙන්දන්ගේ නිවාස ඔහුට දක්නට ලැබුණු බව ඔහු කියා තිබේ. (සබා හෝ අරාබි යන වචන එකල සාමාන්‍යයෙන් භාවිත වූ වචන වේ). ‘බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාවක්’ නමැති පොතෙහි ලෙග්ගේ විසින් සඳහන් කොට ඇති පරිදි යෝනක වරුන් යනුවෙන් දැන් හඳුන්වනු ලබන ජන කොට්ඨාසයේ මුතුන් මිත්තන් වූ අරාබි ජාතිකයන් ලංකාවේ වෙළෙඳ ජනයා අතර ඉතා වැදගත් කොටසක් වූ බව සඳහන් කරයි.

ලංකා යෝනක වරුන් සහ සිංහල ජනයා අතර පැවති සම්බන්ධතා ඉතා සුහද ඒවා වූ බව ඉබ්නු බතුතා ද සඳහන් කරයි. “මම ලංකා ද්වීපයට පැමිණියෙමි. එහි ජනයා බෞද්ධයෝ වූහ. නමුත් මුස්ලිම් පූජක වරුන්ට ගරු සැලකිලි දක්වන අතර ඔවුන්ට තම නිවාස වල නවාතැන් දී ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම මට දක්නට ලැබුණි. මේ සැලකීම අනෙකුත් ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ හා හින්දුන්ගේ ක්‍රියා කලාපයට ඉඳුරාම වෙනස් විය. මෙම ඉන්දියානුවන් කිසිදාක මුස්ලිම් වරුන් සමග මිත්‍ර වීම හෝ ඔවුන්ට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම හෝ නොකරන නමුත් ඔවුන්ට එරෙහි ව ක්‍රියා කිරීම හෝ කතා කිරීම ද නොකළහ.

පෘතුගීසීන් ලංකාවට පැමිණි විට යෝනක ජනයා සිංහල ජනයා සමග එකතු වී මායාදුන්නේගේ සහ රාජසිංහගේ යුද්ධ හමුදා වලට බැඳී පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කළහ. පෘතුගීසීන්ට විරුද්ධ ව කැලිකට් හි සැමෝරින්ගේ නාවික හමුදාවේ ආධාර මායාදුන්නේට ලබා දීමට මූලික ව ක්‍රියා කළේ මේ යෝනක ජනයාය.

අකුරණ යෝනක ජනතාවගේ ඉතිහාසය ගවේෂණය කිරීමේදී පෘතුගීසීන්ට විරුද්ධ ව රාජසිංහ රජුගේ හමුදාවේ අරාබි ජාතිකයින් තිදෙනෙකු ඉතා එඩිතර ව සටන් කළ බව ජේ. පී. ලුවිස් මහතා විසින් “සිලෝන් ඇන්මිකචේරි” (හත් වන වෙළුම තුන් වන කොටස 187 වැනි පිටුව) නමැති පොතේ සඳහන් කොට තිබේ.

සිංහල රජවරු ඔවුන් ගැන ඉතා පැහැදී ඔවුන් මහනුවර පදිංචි කරවූහ. ඔවුන් විසින් උඩරට කාන්තාවන් විවාහ කර ගැනීමට අවසර ඉල්ලා සිටි විට රජතුමා ඔවුන්ට ඒ සඳහා ධෛර්යය දුන්නේය. ඒ අනුව ක්‍රියා කළ මේ තිදෙනා මහනුවර පෙරහැර පැවැත්වෙන අවස්ථාවේදී උඩරට තරුණියන් තිදෙනෙකු රජතුමාගේ අනුමැතියෙන් රජ මාලිගාවේ සඟවා තබා ගත්හ. මේ උඩරට තරුණියන් ආපසු ලබා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් විසින් රජතුමාගෙන් ආයාචනය කරනු ලැබූ විට රජතුමා ඔවුන්ට දුන් පිළිතුර වූයේ අරාබි ජාතිකයින් විසින් දැනටමත් එකී කාන්තාවන්ගේ අතින් අල්ලාගෙන ඔවුන් ගෙන ගොස් ඇති හෙයින් ඔවුන්ට අරාබි ජාතිකයින් සමඟම යෑමට ඉඩ දීම සුදුසු බවය. අවසානයේදී ඥාතීහු ඊට එකඟ වූහ. ඉන් පසු මේ අරාබි ජාතිකයෝ අකුරණට ගොස් එහි පදිංචි වූහ. වර්තමාන අකුරණ යෝනක ජනතාව මොවුන්ගෙන් පැවත එන්නන් වෙති.

ලංකා යෝනක ජනතාවගේ සහජ දක්ෂතා සිංහල ජනයා විසින් අගය කරන ලදී. ගැටබේරියේ පදිංචි ව සිටින ගෝපාල පෙළපතේ යෝනකවරු රාජකීය වෛද්‍යවරුන් වූහ.  සුල්තාන් කුතියා නමැති යුනානි වෛද්‍යවරයා සෙනරත් රජුගේ (1604 – 1634) රජ වාසලට කැඳවනු ලැබ එහිදී ඔහු විසින් දක්වන ලද විශිෂ්ට දක්ෂතා නිසා ඔහු රාජකීය වෛද්‍යවරයෙකු වශයෙන් පත් කරනු ලැබීය. ගම්පොළ අසල පිහිටි අරන්කතු (කහටපිටිය) නමැති ගමෙන් ඉඩමක් රජතුමා විසින් ඔහුට තෑගී කරනු ලදුව ඔහු ඒ  ඉඩමේ ජීවත් ව සිට මිය ගියේය. රජතුමා විසින් සුල්තාන් කුතියා වෙත ප්‍රදානය කරන ලද සන්නසෙහි මෙසේ සඳහන් වී තිබේ.

“සැරද, ශත වර්ෂ 1553 (ක්‍රි. ව. 1631) වෙසක් මස (මැයි – ජුනි) අව තෙලෙස්වක තිථිය ලත් රවිදින ප්‍රකාශ කරනු ලබන රාජ ආඥාවයි. සුල්තාන් කුතියා විසින් රාජෝත්තමයාණන් වහන්සේට මනා වූත් පක්ෂපාත වූත් අවංක වූත් සේවයක් ඉටු කරනු ලැබූ හෙයින් උද පළාතේ අරන්කන්ද ග්‍රාමයේ පිහිටි වී පැල් පහක වපසරිය ඇති දරන්ඩ නමැති කුඹුර එහි පිහිටි වතු සහ ගස කොළ සියල්ල ඇතුළු ව ඔහුට සහ පරම්පරා ගණනාවක් යන තෙක් ඔහුගේ මුණුබුරු මිණිබිරියන්ට එම ග්‍රාමය භුක්ති විඳීමට මෙයින් ප්‍රකාශ කොට දෙනු ලැබේ. මෙසේ කරනු ලබන ආඥාව රාජ  ආඥාවක් බව මෙයින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබේ”.

ඔහුගේ පවුලේ සාමාජිකයින් “ගාල්ලේ වෙදරාළ” යනුවෙන් හඳුන්වනු ලැබුහ. ඔහු බෙහෙත් ගෙට නොහොහ් රාජකීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට ඇතුළු කර ගනු ලැබිණ. වෙද පවුලක් (යෝනකවරු) වෙල්ලාල වරායට සමාන යැයි සලකනු ලැබූ බව ශ්‍රීමත් ඒ. සී. ලෝරී විසින් ගැසට් පත්‍රයෙහි සඳහන් කොට තිබේ. මේ වෛද්‍යවරයාගේ යුනානී වෛද්‍ය විද්‍යාවෙහි දක්ෂකම් නිසා දෙවන රාජසිංහ රජතුමා විසින් ද ඔහුට ඉඩම් තෑගි කරන ලදී. මේ රටේ යෝනක වෛද්‍යවරු රජ වාසලට විශිෂ්ට සේවයක් ඉටු කළහ.

මේ ජන කොට්ඨාස දෙක අතර පැවති සුහද සම්බන්ධතා 1915 වර්ෂයේ ඇති වූ අවාසනාවන්ත කැරලි කෝලාහල සිදු වූ අවස්ථාව තෙක් ශත වර්ෂ ගණනාවක් ම අඛණ්ඩ ව පැවත ආවේය. නමුත් පසු ව පෙනී ගොස් ඇති පරිදි මේ කැරැල්ල ආරම්භ කිරීමට ගිනි දල්වන ලද්දේ ද ඉන්දියානු මුස්ලිම් වරුන් විසිනි. ඔවුන් එසේ කොට සිංහල මිනිසුන්ගේ කෝපයට ලංකා යෝනක වරුන් පාත්‍ර කොට හොර රහසේම දිවයිනෙන් පිට ව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් 1915 ජුනි 1 වැනි දින සිලෝන් ඔබ්සර්වර් පත්‍රයේ පළ වූ වාර්තාවක මෙසේ සඳහන් ව ඇත. ‘වෙළඳගොඩ යෝනක ජනයා (ඉන්දියානු මුස්ලිම් වරුන්) සිය පවුල් සමග විශාල රංචු වශයෙන් තලයිමන්නාරම හරහා ඉන්දියාවට යමින් සිටිති’. එහෙත් ලංකා යෝනක ජනයාට සිංහල මිනිසුන් විසින් රැකවරණය දෙන ලද අවස්ථා රාශියක් දක්නට ලැබේ.

අවසානයේදී සාමය උදා වූ අතර විසි වර්ෂයක් තරම් කාලයක් ගත වීමෙන් පසු මෙකී ජන කොට්ඨාස දෙක අතර කලින් පැවති සුහදතා ව යළිත් ඇති විය.

මේ සුහදතා ව යළි ඇති කිරීමට ප්‍රධාන වශයෙන් මුල් වූයේ අභාවප්‍රාප්ත එන්. එම්. එම්. අබ්දුල් කාදර් සහ ඩබ්ලිව්. එම්. අබ්දුල් රහ්මාන් සහ පසු කාලයේ දී ශ්‍රීමත් මොහොමඩ් මාකන් මාකර් සහ සෙනෙට් සභික ඒ. ආර්. ඒ. රෂික් යන ජන නායකයෝය. සිංහල මිනිසුන් සමග මිත්‍රත්වය ඇති කරලීම සඳහා නිතරම ක්‍රියා කළ රෂික් මහතා සෝල්බරි වාර්තාව මත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පවති විවාදයේදී (1945 නොවැම්බර් 10 දින) යෝනක ජනයාගේ අදහස් උදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය. “මා සහ මාගේ ජාතියේ අනෙකුත් සාමාජිකයින් කළාක් මෙන් ද්‍රවිඩ ජනයා සිංහල ජනයා සමග එකමුතු වූයේ නම් මෙය ඉතා සතුටු දායක දිනයක් විය හැකි ව තිබුණි. සිංහල මිනිසුන් කෙරෙහි මම සම්පුර්ණ විශ්වාසය තබමි”.

(සිලෝන් ඔබ්සර්වර් – ඉරුදින සංග්‍රහය – 1948 පෙබරවාරි 15 දින)

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-13

පෘතුගීසි සමයේ යෝනක ජනතාව

ආචාර්ය කේ. ඩබ්ලිව්. ගුණවර්ධන විසිනි (ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය)

(අල් ඉස්ලාම් සඟරාව – 1967 ජනවාරි)

ලෝකයේ ප්‍රථම මුස්ලිම්වරු ක්‍රි. ව. 7 වන ශත වර්ෂයේ දී මුහම්මද් තුමාගේ ඉගැන්වීම් පිළි ගත් අරාබි ජාතිකයෝ වූහ. ඉස්ලාම් භක්තිය වැලඳ ගැනීමට පූර්වයෙන් පවා ඔවුහු දක්ෂ මුහුදු යාත්‍රිකයෝ වූහ. එහෙත් ඉස්ලාම් දහම නිසා ආගම සම්බන්ධයෙන් ද ඔවුන්ට මහත් ධෛර්යයක් ඇති වීමෙන් ඔවුන්ගේ සමුද්‍රික කටයුතු වලට මහත් උත්තේජනයක් ලැබිණි. ඔවුන්ගේ දේශපාලන බලය පැතිර යනවාත් සමගම මුහුදු ගමන් පිළිබඳ ඔවුන්ගේ උනන්දුව ද වැඩි විය. මධ්‍යධරණි මුහුදේ උතුරු වෙරළ අබිබවා ස්පාඤ්ඤ අර්ධද්වීපය නතු කර ගැනීමට ඔවුන්ගේ මුහුදු බලය ඔවුනට උපකාරී විය. මේ ආකාරයට ඉන්දියානු සාගරයේ සිට අත්ලාන්තික් සාගරය දක්වා විහිදුනු අධිරාජ්‍යයක් බිහි කර ගැනීමට ඔවුන්ට හැකි විය. මධ්‍යධරණි මුහුදේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් මෙන් නොව ඉන්දියානු සාගරයේ ඔවුන්ගේ සමුද්‍රික කටයුතු බොහෝ සාමකාමී විය. ඔවුන්ගේ වෙළෙඳ නැව් ඉන්දියානු සාගරයේ යාත්‍රා කොට සිල්ක් කුළුබඩු මුතු සහ මැණික් රැගෙන ආ අතර මේවා නිසා ඒ වෙළෙන්දන් ධනවත් වූවා පමණක් නොව බැග්ඩෑඩ් නගරය අරාබි නිසොල්ලාසයේ මධ්‍යස්ථානය බවට ද පත් විය. දේශපාලනමය වශයෙන් ව්‍යාප්තවත්ම ඔවුහු අනෙකුත් ජාතීන් සමග විශේෂයෙන්ම අප්‍රිකාවේ උතුරු දිග සහ නැගෙනහිර දිග ජාතීන් සමග අන්‍යෝන්‍ය ආවාහ විවාහ සිදු කර ගත්හ. එහෙත් ඔවුන් තම ජාතිකත්වය නොනැසී පවත්වා ගත් අතර අරාබි වරුන් යනුවෙන්ම ඔවුන් දිගටම හඳුන්වන ලදී.

මෙම අරාබි වරුන් මෙසේ වාණිජ කටයුතු වල නිරත ව සිටියදී මලබාර් වෙරළේ සිටි වෙළෙඳ මාධ්‍යමිකයින් ගැන සෑහීමට පත් නොවූ ඔවුනතුරෙන් ඇතැමුන් ලංකාවේ ප්‍රසිද්ධ ඇත්දත් සහ මැණික් සොයා ලංකාවට පැමිණි බව නිසැකයෙන්ම කිව හැකිය. කුරුඳු වැනි අනෙක් නිෂ්පාදන ගැන එතරම් උනන්දුවක් ඔවුන් තුළ එකල නොපැවතිණි. අරාබි සංචාරකයන්ගේ කතාන්තර වල සහ සෙරන්දීබ් (ශ්‍රී ලංකාව) රටට දී තිබු විශේෂ තැනින් පිළිබිඹු වන්නේ මෙම රටේ ධන සම්පත් එකල දැරූ වැදගත්කමය. ඉස්ලාම් භක්තිය ප්‍රථම වරට මලබාර් වෙරළේ පැතිර යාම ආරම්භ වූයේ නව වන ශත වර්ෂයේ මුල භාගයේදීය. මේ කාලයේදීම වාගේ අරාබි ජාතික මුස්ලිම් වරුන් ලංකාව සමග සම්බන්ධකම් ඇති කර ගත්තේ යැයි සිතිය හැකිය. ඉතා ශ්‍රේෂ්ඨ ගණයේ සංචාරකයෙකු වූ ඉබ්නු බතුතා පවා ඔහුගේ දේශ සංචාරයන්හි දී වාණිජ කටයුතු වල නියුක්ත බව සාධක දක්නට ඇත. මේ අනුව බලන කළ මුස්ලිම් ලෝකය සහ ලංකාව අතර තිබුණු සම්බන්ධතා වලදී වෙළඳාම කවදත් ප්‍රබල ව පැවති බලවේගයක් බව අපට සාධාරණ ව පිළි ගත හැකිය.

මාධ්‍යමිකයා

එකොළොස් වන ශත වර්ෂයේ දී පමණ පෙරදිග වෙළඳ ද්‍රව්‍ය විශේෂයෙන්ම කුළුබඩු පිළිබඳ යුරෝපීය ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් වැඩිවත් ම ඒ අලුත් ඉල්ලුම පිරිමසාලීම සඳහා වෙළඳ කටයුතු අධික වන්නට වූයෙන් අරාබි ලෝකය සහ ලංකාව අතර පැවති සම්බන්ධතා ප්‍රමාණයෙන් ද වාර ගණනින් ද වැඩි වන්නට විය. ලංකාවේ කුරුඳු වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබණු අතර ලංකා කුරුඳු ලබා ගැනීම සඳහාත් වෙනත් අගනා වෙළඳ ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ නිසාත් ආසියාවේ සහ යුරෝපය අතර වෙළඳාමේ මාධ්‍යමිකයන් වූ මුස්ලිම් වරුන් වැඩි වැඩියෙන් මේ දිවයිනට පැමිණෙන්නට ඇත. ලංකාවේ නිෂ්පාදන ලබා ගැනීම සඳහා බටහිර ආසියාවේ මුස්ලිම් වෙළඳුන් බොහෝ විට මේ දිවයිනට බෙහෙවින්ම පැමිණියේ යැයි සිතිය හැකිය. දහතුන් වන ශත වර්ෂයේ අග භාගයේ දී පළමු වන බුවනෙකබාහු රජු විසින් ඊජිප්තුව සහ ලංකාව අතර වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා කරමින් තානාපති දූත පිරිසක් ඊජිප්තුවට යැවීමෙන් පැහැදිලි ව ඔප්පු වන එක් කරුණක් නම් ඉන්දියානු වෙරළ බඩ ප්‍රදේශ වල මාධ්‍යමිකයින් ඉවත් කරමින් කෙළින්ම වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමේ වාසිය ගැන රජතුමාගේ අවධානය යොමු වී තිබුණු බවය.

ඒ කෙසේ වුවද කල් යත්ම එක්තරා වෙනසක් ඇති විය. බටහිර ආසියාවේ වෙළඳුන් ලංකාවේ නිෂ්පාදන සඳහා බොහෝ විට ඉන්දියාවේ බටහිර වෙරළේ වෙළඳුන් කෙරේ වඩ වඩා විශ්වාසය තබන්නට වූ බව පෙනේ. මේ අනුව අරාබි ජාතිකයින් සහ බටහිර ආසියාතික වෙළඳුන් ලංකාව සමග කෙළින්ම වෙළඳාම් කිරීම ක්‍රමක්‍රමයෙන් අඩු කරන ලද බවත් ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වල එනම් ප්‍රධාන වශයෙන්ම ගුජරාටය මලබාරය සහ කොරමැන්ඩල් වෙරළබඩ ප්‍රදේශ වල මුස්ලිම් වෙළඳුන් විසින් ඒ වෙළඳාම අත් කර ගන්නා ලද බවත් පෙනේ.

ජනපද පිහිටුවීම

මේ සිදුවීම සනාථ කිරීමට විවිධ සාක්ෂි ඇත. පේෂ කාර්මික ජන කොටසක් වූ පසු ව සලාගම නොහොත් හාලි යනුවෙන් හඳුන් වන ලද ජන කොට්ඨාසය දහහතර වන ශත වර්ෂයේ දී පමණ යෝනක ජනයා විසින් මේ දිවයිනට හඳුන්වා දුන් පිරිසක් බව පිළි ගත හැකි පෘතුගීසි ලේඛන වලින් ඔප්පු වන පරිදි ජනවංශ කතා වලින් පෙන්නුම් කෙරේ. තවද දහහතර වන ශත වර්ෂයේ මැද භාගයේදී පමණ බේරුවල ජනපද පිහිටුවීම කායල්පට්ටනම් ප්‍රදේශයෙන් පැමිණි ඉන්දියානු මුස්ලිම් වරුන් විසින් කරන ලද බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. මුස්ලිම් පූජක වරුන් අරාබියේ සිට පැමිණි බව මාලදිවයින් වල ඉතිහාසයේ සඳහන් වී ඇති අතර ඒ දිවයින් වල වෙළඳාම සහ විදේශීය සම්බන්ධතා ගැන පැවසීමේ දී සම්පුර්ණයෙන් ම පාහේ සඳහන් වනුයේ මලබාර් වෙරළ ගැනය. මේ සියල්ලටම වඩා වැදගත් වනුයේ දහසය වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ඉන්දියානු සාගරය බද වෙළඳාම ප්‍රධාන කොටම ඉන්දියානු මුස්ලිම් ජාතිකයන් අතර පැවති බවට අවිවාදාත්මක සාක්ෂි පෘතුගීසි ප්‍රභවයන්ගෙන් අපට ලබා ගත හැකි වීමය. ලංකාවේ වෙළඳාමෙන් බැහැර කිරීමට පෘතුගීසීන් විසින් උත්සාහ දරන ලද විදේශීය වෙළඳුන් ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශ වලින් පැමිණි අය බවට බැරෝස්, කූටේ සහ ක්වේරෝස් ප්‍රකාශ කළහ. මේ හැරත් ලංකාවේ යෝනක ජනයා සහ මලබාර් වෙරළේ මුස්ලිම් ජනයා අතර ඉතා කිට්ටු සම්බන්ධතා පැවතුණු බවට පෘතුගීසි ලේඛන සාක්ෂි දරයි. අරාබි ජාතිකයින් සමග එවැනි සම්බන්ධතා තිබුණු බවට සඳහනක් දක්නට නැත. මේ අනුව බලන කළ කල් යාමේදී නිශ්චය වශයෙන්ම පහළොස් වන ශත වර්ෂය අවසානයේ දී අරාබි ජාතික හෝ වෙනත් බටහිර ආසියාතික වෙළඳුන් ලංකාවට නොපැමිණි බව නිගමනය කළ හැක. භූගෝලීය වශයෙන් ආසන්න තම ව පිහිටා තිබීම සහ සමුද්‍රික ප්‍රවණතාවන් නිසා ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශ වල මිනිසුන් සැම විටම මේ දිවයිනේ වෙළඳාම සම්බන්ධයෙන් වැදගත් ස්ථානයක් ගත් බවත් පහළොස් වන ශත වර්ෂය අවසානයේ දී ඒ වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය සම්පුර්ණයෙන්ම පාහේ ඔවුන් අතට පත් වී තිබුණු බවත් සිතා ගත හැකිය.

මේ ඉන්දියානු වෙළෙන්දෝ ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් වරුන් වූහ. මීට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඇතැම් සමාජ ආගමික තහංචි සහ කුල භේද නිසා මුහුදු මාර්ගයෙන් කෙරුණු වෙළඳාමෙන් හින්දු වෙළඳුන් ඈත් ව සිටීමය. හින්දු ඇදහීම අනුව මුහුදු තරණය කිරීම කිල්ලකට අසුවීමක් ලෙස සලකනු ලැබූ හෙයින් මුහුදු ගමනකින් පසු ඉතා දුෂ්කර වූත් වියදම් අධික වූත් පවිත්‍රතා ශාන්තිකර්ම සිදු කිරීමට ඔවුන්ට සිදු විය. සමුද්‍රය ආශ්‍රිත වෙළඳුන් අතර වැඩි දෙනා මුස්ලිම් වරුන් වීමට තුඩු දුන් තවත් සාධක තිබේ. ඉන්දියාවේ වෙරළබඩ විසු ඉතා ක්‍රියාශීලී ඇතැම් මිනිසුන් ඉස්ලාම් ආගමට හැරුණු බව පෙනේ. මේ අනුව වෙරළබඩ විසු ගුජරාට් සහ බෙන්ගාලි ජාතිකයන්ගෙන් බොහෝ දෙනෙකු සහ මලබාර සහ කොරමැන්ඩල් වෙරළාශ්‍රිත ප්‍රදේශ වල බොහෝ දෙනෙකු දහහතර වන ශත වර්ෂය වන විට ඉස්ලාම් භක්තිය වැලඳ ගත් බව පෙනේ.

තවද ඔවුන්ගේ සමභක්තිකයන් විසින් ආසියාවේ වාණිජ ක්ෂේත්‍රයේ දරන ඉතා වැදගත් තත්ත්වය නිසා මේ නව මුස්ලිම් භක්තිකයන්ට වෙළඳ කටයුතු අතින් මහත් වාසියක් සැලසිණි. ඉතා වටිනා කුළුබඩු රාශියක් ම නිපද වූ නැගෙනහිර ලෝකයේ මහා වෙළඳපොළ වූ මලක්කාව සහ නැගෙනහිර ඉන්දියානු දූපත් ඉස්ලාමීය බලකොටු වූ අතර බටහිර දෙසට යන විට පෙරදිග නිෂ්පාදන බටහිර රටවලට අපනයන කරන ප්‍රධාන මධ්‍යස්ථානය වූ ඊජිප්තුව ඇතුළු බොහෝ වෙළඳ මධ්‍යස්ථාන ඉස්ලාමීය ඒවා විය. මේ නිසා කිසිදු බලය පාවිච්චි කිරීමකින් තොරව සාමකාමී තරඟයකින් පමණක් ලංකාව ද ඇතුළු ව ඉන්දියානු සාගරයේ වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය මුස්ලිම් වෙළඳුන් අතට පත් වීම පුදුමයට කාරණයක් නොවේ.

පෘතුගීසීන් පැමිණීමට පෙර ලංකාවේ පදිංචි වී සිටි මුස්ලිම් ජාතිකයන් ගැන වඩා සවිස්තර ව තොරතුරු විමසා බැලීමට මේ අවස්ථාව උපයෝගී කර ගැනීම වැදගත් වේ. මුල්ම මුස්ලිම් පදිංචිකරුවන් අරාබි මූලයකින් පැවත ආ අය විය යුතුය. අරාබියෙන් පිටුවහල් කළ අරාබි ජාතිකයින් ලංකාවේ පදිංචියට පැමිණීම සම්ප්‍රදායක් ව තිබුණු බව ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සොයා ගැනීමට ඇති සාක්ෂි වල නොපැහැදිලිකම සහ සැක සහිතකම නිසා මේ ජනප්‍රවාදය පිළිගැනීම අපහසුය. මුලින්ම පදිංචියට ආ මුස්ලිම් ජාතිකයින් සාමාන්‍යයෙන් වෙළඳුන් වූ බව සිතිය හැකිය. එහෙත් තම මව් බිම හැර දමා ඉතා ඈත පිහිටි නොදන්නා රටක් තම වාස භූමිය කර ගැනීමට කැමැති වූ සංඛ්‍යාව සියයකට වැඩි නොවිය හැක. මේ නිසා කවර වූවද එක් ශත වර්ෂයකදී ලංකාවේ පදිංචියට පැමිණි අරාබි ජාතිකයින්ගේ සංඛ්‍යාව සිය ගණන් දහස් ගණන් නොව දුසිම් දහයකට දොළහකට වැඩි නොවුයේ යැයි අපට සිතිය හැකිය.

ලංකාවේ පදිංචියට පැමිණි අරාබි ජාතිකයින් සංඛ්‍යාව අඩු වූවද ලංකාවේ වරායවල් අසල යෝනක ජනගහනය මීට බොහෝ වැඩි වූවා විය හැකිය. ඉන්දියාවේ බටහිර වෙරළට සහ ලංකාවට පැමිණීමේ දී ඒ දීර්ඝ ගමන නිසා මාස ගණනක් තම මව් රටින් ඈත් වී සිටීමට මේ වෙළෙඳුන්ට සිදු වූ අතර බොහෝ අවස්ථා වල දී වාසිදායක මෝසම් සුළං ලැබෙන තෙක් දීර්ඝ කාලයක් ඇතැම් ස්ථාන වල රැඳී සිටීමට ඔවුන්ට සිදු විය. ඒ නිසා කල් යත්ම අරාබි හා සිංහල නැතහොත් අරාබි හා ද්‍රවිඩ යන මිශ්‍ර පරම්පරාවක් ලංකාවේ වරායවල් අසබඩ උද්ගත වීම ස්වභාවිකව ම බලාපොරොත්තු විය හැකි දෙයකි. කලක් ගත වීමෙන් පසු 14 වන සහ 15 වන ශත වර්ෂ වලදී සිදු වූවාක් මෙන් කලාතුරකින් හෝ පැමිණෙන මුස්ලිම් නොවන වෙළඳුන් ලංකාවට පැමිණි විට මේ මිශ්‍ර ප්‍රජාව බොහෝ සෙයින් ඉස්ලාමීය ලක්ෂණ වලින් යුක්ත වූවා නිසැකය. එහෙත් ඒ වන විට නැතහොත් ඊට ද පෙර සිට මේ ජනපද වල අරාබි ජාතිකයින්ට වඩා ඉන්දියානු මුස්ලිම් වෙළඳුන්ගේ සංඛ්‍යාව වැඩි විය. තවත් කල් යාමේ දී වරායවල් ආශ්‍රිතව සංවර්ධනය වූ යෝනක ජනාවාස වලට අමතර ව ඉතා ශීඝ්‍රයෙන් දියුණු වූ තවත් මුස්ලිම් ජනාවාසයක් බිහි විය. මේ වූ කලී බේරුවලය. 1344 දී ඉබ්නු බතුතා ලංකාවේ වෙරළාශ්‍රිත ව යාත්‍රා කළ අවධියේ දී බේරුවල මුස්ලිම් ජනාවාසයක් ව නොපැවති බව පෙනේ. ඉන් අවුරුදු පහකට හයකට පසු එය ඉතා වැදගත් මුස්ලිම් ජනාවාසයක් වූ අතර ජෝන් ඩී. ප්‍රිඤේලි එයින් අතෘප්තියට පත් වූ බව පෙනේ.

බේරුවල ජනාවාසය කායල්පට්ට්නම් වලින් පැමිණි ජනයාගෙන් බිහි වූ බව ජනප්‍රවාදයේ එයි. 16 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී ලියැවුණු පරෙවි සංදේශයේ සහ ගිරා සංදේශයේ බේරුවල ජනතාව බබුරු ජනයාගෙන් සමන්චිත වූ බව පවසා ඇත. බබුරු යනු මුස්ලිම් ජනයා හැඳින්වීමට යෙදුණු යෝනක හෝ මරක්කළ වැනි තවත් නාමයකි.

මේ අනුව බලන කළ පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට ලංකාවේ විසූ මුස්ලිම් ජනතාව සිංහල ද්‍රවිඩ සහ වෙනත් දකුණු ආසියාතික ජාතීන් ප්‍රමුඛ විවිධ ජාතීන්ගේ සංකලනයකින් බිහි වූ ජාතියක් බව පෙනේ. එවකට ලංකාවේ විසු මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව මෙතෙකැයි අනුමාන කිරීම අපහසුය. එහෙත් චීන ආණ්ඩුව විසින් ස්වකීය සාරධර්ම අනුගමනය කරමින් 15 වන ශත වර්ෂයේ දී චෙං හෝගේ දූත පිරිස ලංකාවට එවන ලද අවස්ථාවේ ලංකාවේ බෞද්ධ පූජනීය ස්ථාන සඳහා පූජා භාණ්ඩ එවීමත් සමගම මුස්ලිම් දේවස්ථානයක් සඳහා ද පූජා භාණ්ඩ එවීමෙන් පැහැදිලි වන එක් කරුණක් නම් ඒ කාලයේ සෑහෙන මුස්ලිම් ජනකායක් ලංකාවේ විසූ බවය. තවද ඊළඟ ශත වර්ෂයේ ආරම්භයේ දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට වෙරළබඩ ප්‍රදේශයේ සෑම තැනම පාහේ විශේෂයෙන් ම කොළඹ විශාල මුස්ලිම් ජනාවාස තිබුණු බව ඔවුන්ට දක්නට ලැබී ඇත.

පෘතුගීසි සමය ලංකා යෝනක ජනයාට විපත්තිකර කාලයක් නැතහොත් යටත් පිරිසෙයින් අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් විය. පෘතුගීසීන් ආසියාවට පැමිණි දා සිටම වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය තමන් අතට ගැනීමේ අභිලාෂයෙන් ඔවුහු ඉන්දියානු සාගරයේ මුස්ලිම් වෙළඳුන්ට හැකි සෑම අයුරින්ම අලාභ හානි කළහ. තම ප්‍රදේශ වලින් මුස්ලිම් ජනයා පිටුවහල් කිරීමට හෝ යටත් පිරිසෙයින් ඔවුන් විෂයයෙහි විවිධ සීමා පැනවීමට මලබාර් වෙරළේ පාලකයන් ඉච්ඡා බස් මගින් පෙලඹ වීමට පෘතුගීසීහු උත්සාහ කළහ. කැලිකට් ප්‍රදේශයේ හැර අනෙක් ප්‍රදේශ වල ඔවුන්ගේ උපාය බොහෝ දුරට සාර්ථක විය. වාණිජ ක්ෂේත්‍රයෙහි ලා මුස්ලිම් වරුන් තරඟකාරී භාවය නැති කිරීම සඳහා පෘතුගීසීහු මුහුදු කොල්ල කෑමේ ද මුස්ලිම්වරුන්ට දරුණු වධහිංසා පැමිණවීමේ ද යෙදුනහ. ඔවුන්ගේ මේ ස්වාර්ථ ලාභය පිළිබඳ චේතනාව සමගම එකල යුරෝපයේ ප්‍රබල ව පැවති ලක්ෂණයක් වූ ආගම පැතිරවීමේ අභිලාෂය ද උත්සන්න ව පැවතිණ.

යෝනක ජාතිකයන්ට එරෙහි ව ස්වාධීනත්වය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති දරුණු අරගලයේ මතකය නිසා මෙය තවත් ප්‍රබල විය. ආසියාවේ මුස්ලිම් වරුන් කුමන ගෝත්‍රයකට හෝ ජාතියකට අයත් වූවද පෘතුගීසීන් විසින් ඔවුන් ව සලකන ලද්දේ තමන් ද්වේෂ කළ ‘යෝනක’ ජාතිකයන් ලෙසටය. ශත වර්ෂ කීපයක් මුළුල්ලේ පෘතුගීසීහු මේ යෝනක ජාතියට යටත් ව සිටියහ. එමනිසා ආගමික මෙන් ම වාණිජ කටයුතු සඳහා ලංකාවේ ද යෝනක ජනයා පිටුදැකීම පෘතුගීසීන්ගේ අභිලාශය විය. මේ අතුරින් වාණිජ පරමාර්ථය අනෙක් සියල්ල අබිබවා සිටියේය. කුරුඳු වෙළඳාම සහ රාජධානියේ විදේශීය වෙළඳාමේ අංශ විෂයයෙහි ඒකාධිකාරයක් ඇති කර ගැනීමෙහි ලා ඔවුන්ට තිබුණු එකම බාධකය යෝනක ජනයා විය.

ස්වදේශික සිංහලයෝ විදේශීය වෙළඳාම කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වුහ. එහෙත් කෝට්ටේ රජවරුන් කොතරම් දුර්වල වුවත් අලුතින් ආ පෘතුගීසි අමුත්තන් ගැන කෙතරම් බියක් දැක්වූවත් අදාළ සියලු පාර්ශව වලට ලාභ ගෙන දෙන පරිද්දෙන් සාමකාමී ලෙස මෙතෙක් කල් වෙළඳාම් කර ගෙන ගිය යෝනක ජනයා පන්නා දැමීමට ඒ රජවරුන් පොලොඹවා ගැනීම පෘතුගීසීන්ට අපහසු කාර්යයක් විය. පෘතුගීසීන්ගේ හැසිරීම සමග සංසන්දනය කොට බලන විට යෝනක ජනයා සෑම විටම රජුගේ ආධිපත්‍යය කෙරෙහි ගෞරවයක් ද සිංහල ජනයාගේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිල්ලක් ද දැක්වූහ. පෘතුගීසි ලේඛකයෙකු වූ ක්වේරෝස් මේ තොරතුරු අපට සැපයීය. ඔහු පවසන පරිදි ඇඳුම් පැලඳුම් වල දී පවා රටේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව හැඩ ගැසීමට යෝනක ජනයා සමත් විය. සිංහල ජනතාව සහ එකල විසු බොහෝ ආසියානු ජාතිකයන් විසින් අන්‍යයන්ගේ ආගම් වලට අවහිරයක් නොකොට ඉවසා සිටීමේ ජාතික ලක්ෂණය ගරු කරමින් යෝනක ජනයාගේ ආගම නිදහසේ ඇදහීමටත් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ උත්සව නිදහසේ පැවැත්වීමටත් ඔවුන්ට ඉඩ දී තිබුණේය. යෝනක ජනයා ද ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් මිනිසුන් තම ආගමට හරවා ගැනීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළහ.

උඩඟුකම

යෝනක ජනතාව සහ සිංහල ජනතාව අතර පැවති සුහද සම්බන්ධතා කවරේ වූවද පෘතුගීසීන් විසින් දක්වන ලද උඩඟු භාවය සහ කෲර භාවය හේතු කොට ගෙන ඒ සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් විය. මේ ප්‍රබල විදේශිකයින් වෙත පොදු මිත්‍රත්වයක් ඇති වීම ඥාණාන්විත යැයි සිංහල රජවරුන් විසින් අදහස් කරන ලද අවස්ථා වල දී පවා රටේ ජනතාව සහ යෝනක ජනතාව පෘතුගීසීන්ට දැක් වූ විරුද්ධවාදීකම් එලෙසින් ම පවත්වා ගෙන ගියහ. දෙවන විජයබාහු රජුගේ ආධිපත්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වා රාජධානියේ වෙළඳාම අවුල් කළ පෘතුගීසීන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට ඔහු අදහස් කළ අවස්ථාවේ දී ඔහු යෝනක ජනයාගේ සහයෝගය පැතීය. මලබාරයේ තම සහෝදර ජනතාව සමග ඉතා කිට්ටු සම්බන්ධතා පැවැත් වූ යෝනකවරු පෘතුගීසීන්ගේ පරම සතුරෙකු වූ කැලිකට් හි හින්දු රජුගේ උපකාරය විජයබාහු රජුට ලබා දීමට ඉදරිපත් වූහ. කැලිකට් හි මහා රාජාගේ නාවික හමුදාව මෙහෙය වන ලද්දේ මුස්ලිම් නාවිකයන් විසිනි. එහෙත් පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කිරීමට කැලිකට් නාවික හමුදාව ප්‍රමාණවත් නොවීය. එසේ වූවද වෙනත් බොහෝ අවස්ථා වල දී මෙන් ම මේ නාවික හමුදාව පැමිණීමෙන් පෙනී ගිය එක් කරුණක් නම් ලංකා යෝනක වරුන්ගේ රාජපාක්ෂිකත්වය මෙන් ම මේ කාලයේ දී මලබාරය සමග ඔවුන් කෙතරම් කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වී ද යන්නය.

පිටුවහල් කිරීම

අවසානයේ 1526 දී පෘතුගීසීහු ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වලින් එකක් ඉටු කර ගත්හ. 1521 න් පසු කෝට්ටේ රාජධානිය වෙන් කර ගැනීමෙන් පසු කෝට්ටේ රජ වූ තුන්වන විජයබාහු රජු යෝනක ජනයා නෙරපා හැරීමට එකඟ විය. මේ තීරණය ගැනීමට බොහෝ දුරට රජු පොලොඹ වන ලද්දේ ඔහුගේ හිතෛෂීවන්ත අනුශාසකයෙකු වූ පෘතුගීසී ජාතික ෆ්රෙයිඩ් අන්ද්‍රාදේ විසිනි. ඇතැම් මලබාර් අද්මිරාල් වරුන්ගේ උඩඟු හැසිරීම ද ඔහුගේ මේ පියවර ගැනීමට තුඩු දුන් තවත් හේතුවක් විය හැකිය. මලබාර් වරුන් සහ ස්වදේශීය යෝනක ජාතිකයින් අතර කූට සහයෝගීතාවක් ඇතැයි සහේතුක ව ඔහු සැක කළේය. යෝනක ජාතිකයින් බුවනෙකබාහුගේ සොහොයුරා වූ සීතාවක මායාදුන්නේට වැඩි කැමැත්තක් දැක් වූ බවද පෙනෙන්නට තිබිණි. මායාදුන්නේ දක්ෂ රණශුරයෙකු වූ නිසාත් විජයබාහු ජීවත් ව සිටි කාලයේ දී පවා පෘතුගීසීන්ට විරුද්ධත්වය දැක් වූ අය අතුරින් ඔහු නායකත්වය දැරූ නිසාත් මේ සැලකිල්ල ස්වභාවික දෙයකි.

මායාදුන්නේ වෙත දක්වන ලද මේ සැලකිල්ල සහ කැමැත්ත කුමන හේතුවක් නිසා වූවද තම සොහොයුරාගේ විශිෂ්ට හැකියාවන් නිසා බුවනෙකුබාහු ඔහු නොරිස්සු අතර ඔහු ගැන ඊර්ෂ්‍යාවක් සහ බියක් ද බුවනෙකුබාහුට ඇති වී තිබිණි. මායාදුන්නේ යෝනක ජනයා වෙනුවෙන් මැදිහත් වූ නමුත් ඔවුන් තෙදිනක් ඇතුළත තම රාජධානියෙන් පිට විය යුතු යැයි බුවනෙකුබාහු තරයේම අණ කළේය. මෙවිට සීතාවක රජු විසින් ඔවුන් තම රාජධානියට කැඳවා ගන්නා ලදින් රටේ අභ්‍යන්තර පළාත් වල යෝනක ජනයා වැඩි වශයෙන් පදිංචි වීමට වුයේ ඉන් පසුවය. පුත්තලමේ යෝනක ජනපද බිහිවීම ද මේ කාලයට අයත් බව නිසැකයෙන්ම කිව හැකිය. ප්‍රධාන පාලකයා වශයෙන් බුවනෙකුබාහු රජු විසින් කළින් නොබෙදී තිබුණු කෝට්ටේ රාජධානියේ නිරිත දිග මුහුදු බඩ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම තම පාලනය යටතට ගන්නා ලදී. එහෙත් ස්වකීය රාජධානියේ බාහිර දොරටුවක් වශයෙන් පාවිච්චි කිරීමට මායාදුන්නේට පුත්තලම දෙන ලදී. කෙසේ වූවද පුත්තලම මායාදුන්නේගේ රාජ්‍යයට අයිති ව තිබුණු බවට ක්වෙරෝස්ගේ කෘති සහ රාජාවලිය සාක්ෂි දරයි. ප්‍රධාන වරාය වූ කොළඹ වරාය අවට ප්‍රදේශයේ කළින් ඝන සැරේට පදිංචි වී සිටි යෝනක ජනයා තමන්ගේ වෙළඳ කටයුතු සඳහා උපයෝගී කොට ගත හැකි එකම වරාය වූ පුත්තලම ප්‍රදේශයට මේ සමගම සංක්‍රමණය වූ බව පෙනේ.

දෙසොහොයුරන් අතර පැවති යුද්ධ වල දී යුද භටයන් වශයෙන් පමණක් නොව කැලිකට් හි පාලකයන්ගේ නිරතුරුවම ආධාර උපකාර ලබා ගැනීමෙහි ලා තානාපති නියෝජිතයන් වශයෙන් ද මේ යෝනක ජනයා ක්‍රියා කිරීම නිසා ඔවුහු මායාදුන්නේට ඉතා ප්‍රයෝජනවත් ජන කොට්ඨාසයක් වූහ. මලබාර් හේවායන් සහ නාවිකයන් අනිවාර්යයෙන් ම පෘතුගීසීන් විසින් පරාජය කරනු ලැබූ නමුත් පෘතුගීසීන්ගේ අවධානය ඔවුන් වෙත යොමු කරවා ගෙන තිබුණු හෙයින් යටත් පිරිසෙයින් එක්තරා ප්‍රමාණයකට පෘතුගීසීන්ගේ අවධානය සිංහල සේනාවන්ගෙන් ඈත් කොට තැබීමට ඉන් ඉඩකඩ සැලසිණි.

මේ හැරෙන්නට යෝනක කාලතුවක්කු භටයෝ සහ කාලතුවක්කු වල සේවා නූල් දල්වන්නෝ සිංහල යුද්ධ යන්ත්‍රයේ අඩු තැනක් පිරවීමට සමත් වූහ. මායාදුන්නේ විසින් මලබාර් සේනාපතිවරුන් කීප දෙනෙකු නිර්ලජ්ජිත සේ පෘතුගීසීන්ට පාවා දීම නිසා කැලිකට් රාජ්‍යයෙන් ඔහුට ලැබුණු සහයෝගය හදිසියේම නතර විය. එහෙත් බුවනෙකුබාහුගේ අනුප්‍රාප්තිකයා පෘතුගීසීන්ගේ පඹයෙකු බවට පත් වීම නිසා කෝට්ටේ ජනයා පවා මායාදුන්නේගේ ධජය වටා රොක් වන්නට වූහ. මේ වන විට සීතාවක යුද හමුදාව නවීන යුද ක්‍රම පුහුණු වී පළපුරුදු යුද භටයන් බවට පත් ව සිටි හෙයින් නොබෝ කලකින් ම කෝට්ටේ අත්පත් කොට ගෙන පෘතුගීසීන්ගේ පඹයෙකු වූ දොන් ජුවාන් ධර්මපාල සහ ඔහුගේ පෘතුගීසී ආරක්ෂකයන් කොළඹ කොටුවට සීමා කිරීමට ඔහු සමත් විය.

බුවනෙකුබාහු රජු විසින් මෙතෙක් කල් යෝනක ජනයා නෙරපා හැර තිබුණු වරාය වලට (පෘතුගීසීන් යටතේ තිබුණු කොළඹ වරාය හැර) බාධාවකින් තොරව ආපසු ඒමේ අවස්ථාව මේ වකවානුවේ දී එනම් එක්දහස් පන්සීය හැට ගණන් වල මුල භාගයේ දී යෝනක ජනයාට ලැබුණේය. ඔවුහු විශාල වශයෙන් මන්නාරම පුත්තලම හලාවත මීගමුව කළුතර බේරුවල අලුත්ගම බෙන්තොට ගාල්ල සහ වැලිගම පදිංචි වන්නට වූහ. 1575 දී මුහුදුබඩ ප්‍රදේශයේ කරන ලද වැටලීමක දී යෝනක ජනයා බොහෝ දෙනෙකු වැලිගම දී මරා දමන ලද බව පෘතුගීසීන් විසින් විශේෂයෙන් ම සඳහන් කොට තිබේ

නව පිළිවෙත

මායාදුන්නේගේ පුත් පළමු වන රාජසිංහ රජුගේ මරණින් පසු ඔහුගේ රාජධානියේ බොහෝ කොටස් පෘතුගීසීන්ගේ අතට පත් වූයේ ස්වල්ප දෙනෙකු හැර මෙතෙක් කල් තමන්ට තදබල ලෙස විරුද්ධවාදිකම් දැක් වූ මේ යෝනක ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කිරීමට සුදුසු ප්‍රතිපත්තියක් ගැන තීරණයක් ගත යුතු බව පෘතුගීසීන්ට වැටහී ගිය පසුය. මෙතෙක් කල් පැවති තත්ත්වය වෙනස් නොකිරීමට ඔවුන් පළමු වරට අදහස් කළ බව පෙනේ. මේ අවස්ථාවේ දී පෘතුගීසීන් කන්ද උඩරට සමග ප්‍රබල යුද්ධයක පැටලී සිටි නිසා යෝනක වරුන්ට ද විරුද්ධ ව ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් තවත් කරදර වැඩි කර ගැනීමට පෘතුගීසීන් අපේක්ෂා නොකළා විය හැකිය.

අනෙක් අතට නොකඩවා කෙරුණු යුද්ධ නිසා තමාට අයත් ප්‍රදේශ වල කෘෂිකර්ම කටයුතු අඩාළ වී තිබියදී බාහිර ලෝකයෙන් තමන්ට ආහාර ද්‍රව්‍ය සැපයූ මලබාර් වෙරළේ මුස්ලිම් ජනතාව අත් නොහැරිය හැකි තත්ත්වයක් ද මෙවිට එළඹ තිබිණි. මේ හැරෙන්නට මේ දිවයින මුලස්ථානය කොට ගත් නැව් පැදවීම සඳහා සිංහල ජනයා දක්ෂ නොවූ හෙයින් යෝනක වරුන් ඒ කාර්යයෙහි යොදවා ගැනීමේ පහසුව ද මේ අවස්ථාවේ දී පෘතුගීසීන්ට වැටහුණු බව ප්‍රකාශ කරන ස්වෙරෝස් යෝනක ජනයා වෙත පෘතුගීසීන් දැක් වූ මේ ආකල්පයට ප්‍රධානතම හේතුව පෞද්ගලික ලාභය ගැන දැක් වූ සැලකිල්ල බව වැඩි දුරටත් පෙන්නුම් කරයි.

මේ හේතු කොට ගෙන ගෝවේ ප්‍රාදේශීය බල මණ්ඩලයක් මෙන් ම පෘතුගීසී රජු විසින් යෝනක ජනයාට විරුද්ධ ව දැඩි පියවර ගැනීමට අණ කොට එවන ලද නියෝග ලංකාවේ පෘතුගීසීන් විසින් නොසලකා හරින ලදී. මේ අනුව බලන කළ ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ පෘතුගීසි පාලනය පිහිටු වන ලද මුල් අවස්ථාවේ සිට ම යෝනක වරු සෞභාග්‍යමත් තත්ත්වයක් ඉසිලුහ. යෝනක ගම් මුලාදෑනිවරු සහ ග්‍රාමීය මට්ටමේ වෙනත් නිලධාරීහු මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක ම නිල දැරීම දිගටම කර ගෙන ගියහ. යෝනක වරුන්ගේ ජනගහනය කෙතරම් වැඩි වුයේ ද යත් මුහුදු බඩ වරාය ප්‍රදේශ වල පමණක් නොව රට අභ්‍යන්තරයේ සෑම දිසාවකම මුස්ලිම් ගම්මාන බොහෝ ඇති වූ බව ක්වේරෝස් ප්‍රකාස කරයි. පළමු වන රාජසිංහ රජුගේ කාලයේ දී ඔවුන් දැරූ නිලතල බොහොමයක් ඔවුන් විසින් දිගටම දරන ලදී. ඔවුන්ගෙන් ඇතමෙක් විදානේවරුන් සහ කනක්කපුල්ලේ වරුන් වශයෙන් පත් කරනු ලැබුහ.

දෙවන වරට නෙරපීම

බද්ධ වෛරක්කාරයන් වූ යෝනක ජනයාට ඉහළ පෙළේ පෘතුගීසීන් බොහෝ දෙනෙකු හිතවත් බව අනාවරණය වූ විට පුජක වරුන්ගෙන් වූ උද්ඝෝෂණ වඩාත් ප්‍රබල විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යෝනක ජනයා සියලු දෙනාම පෘතුගීසි ප්‍රදේශ වලින් වහාම නෙරපන ලෙස ආඥාවක් කොන්ස්තන්තීනු ද සා නමැති පෘතුගීසි කපිතාන් ජනරාල් වෙත නිකුත් කිරීමට පෘතුගාලයේ රජු පෙලඹුණේය. මේ නෙරපීම 1626 වර්ෂයේ දී සිදු වූ අතර ඒ වර්ෂය යෝනක ජනයා කෝට්ටේ රාජධානියෙන් නෙරපන ලද වර්ෂයේ සිට වර්ෂයේ සිට සිය වසක් ගත වීමෙන් පසු එළඹුන ශත සංවත්සරය වීම ඇතැම් විට අහඹුවක් නොවිය හැකිය. කෝට්ටේ රාජධානියෙන් යෝනක ජනයා නෙරපා හරින ලද අවස්ථාවේ සීතාවක මායාදුන්නේ රජු ඔවුන්ට රැකවරණය ලබා දී පිහිට වූවාක් මෙන් ම මේ අවස්ථාවේ දී මහනුවර සෙනරත් රජු යෝනක ජනයා හරසරින් පිළි ගෙන ඔවුන්ට තම රාජධානියේ පදිංචි වීමට ඉඩ දුන්නේය. ඔවුන් ඒ රජුට අයත් ප්‍රදේශයේ වරායවල් අසල පදිංචි වූ අතර මඩකලපුවේ පමණක් හාරදහසක් පමණ පදිංචි වූ බව කියනු ලැබේ. මේ අනුව, මෙකල නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල දක්නට ලැබෙන විශාල යෝනක ජනගහනය සෙනරත් රජතුමා විසින් ඇති කරන ලද යෝනක ජනපද වල පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන්ගෙන් සමන්චිත යැයි සිතිය හැකිය.

1626 වර්ෂයේ දී පෘතුගීසි ප්‍රදේශ වලින් යෝනක ජනයා පිටුවහල් කිරීමෙන් පසු කලක දී ඔවුන් විශාල සංඛ්‍යාවක් රංචු පිටින් ආපසු පැමිණීම වළක්වාලීමට සමත් නොවීය. සිංහල යුද්ධ හමුදාව කැටු ව යාමෙන් හෝ අනෙකුත් විවිධ ක්‍රම වලින් යෝනක ජාතිකයින් පෘතුගීසි ප්‍රදේශ වල නැවත පදිංචියට ගිය බව පෙනේ. බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පසු කලක යෝනක ජනයා අපේ වරාය වලට යළිත් පදිංචියට පැමිණියහ යැයි ක්වේරෝස් මේ ගැන කනගාටුව පළ කරමින් ප්‍රකාශ කරයි. තවද මාලදිවයින් වල දූපත් කිහිපයක් මුහුදුබත් වීම නිසා මාලදිවයින් වැසියන් බොහෝ දෙනෙකු කළුතරට සහ අලුත්ගමට පැමිණි හෙයින් මේ නගර දෙකෙහි මුස්ලිම් ජනගහනය මේ කාලයේදී සැලකියයුතු ප්‍රමාණයකින් වැඩි විය. ද සුසාගේ පාලන කාලයට පෙර යෝනක ජනයා ගැන ඉවසා සිටීමට සහ ඇතැම් විට ඔවුන්ට සැලකිලි දැක්වීමට පවා පෘතුගීසීන් පෙලඹුණු හේතුන් ම 1630 දී රන්දෙනිවෙලෙහි දී උඩරට හමුදාවට ද සූසා පරාජයට පත් වී ඔහුගේ මරණය සිදු වීමෙන් පසු යළිත් ඔවුන් ගැන ඉවසීමට සහ ඔවුන්ට ධෛර්ය දීමට තුඩු දුන්නේ යැයි කිව හැකිය.

ඝාතනයක්

සමස්තයක් වශයෙන් ගත් කළ මේ කාලයේ දී යෝනක ජනයා අවිනිශ්චිත තත්ත්වයක ජීවත් වූහ. ලන්දේසීන් උඩරට වැසියන් සමග සම්මුතියක් ඇති කර ගැනීමෙන් පසු නිරිතදිග ප්‍රදේශයේ මුහුදුබඩ නගර කරා ද යුද්ධය පැතිර ගියේය. බලය අල්ලා ගැනීම සඳහා පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර සටන් සිදු වන විට ඒ අතරට අසු වූ යෝනක ජනයාට සහ මුහුදුබඩ වාසීන්ට නොයෙක් ව්‍යසන වලට මුහුණ පෑමට සිදු විය. ඒ ඒ කාලයේදී ඒ ඒ ප්‍රදේශයේ වැඩි බලයක් දැරූ ජාතියට අපක්ෂපාතී වී යැයි සැක කරන ලද සෑම අවස්ථාවකදීම යෝනක ජනයාට ඔවුන්ගෙන් ගැහැට විඳීමට සිදු විය. මෙවැනි එක් දුර්දාන්ත අවස්ථාවක් 1646 දී එළඹිණි. අන්ටෝනියෝ ද අමරල් නමැති පෘතුගීසි කපිතාන්ගේ අණ පරිදි මේ වර්ෂයේ දී මාතර යෝනක ජනයා ඉතා අමානුෂික අයුරින් ඝාතනය කරන ලදී. මේ අවධියේ දී යුද්ධය පෘතුගීසීන්ට අවාසිදායක වූ අතර නොබෝ කලකින්ම කබලින් ලිපට වැටුණාක් මෙන් පෘතුගීසීන්ගෙන් පමණක් නොව ඔවුන්ගේ තැන ගත් ලන්දේසීන්ගෙන් ද ගැහැට විඳීමට යෝනක ජනයාට සිදු විය.

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-14

‘යෝනකවරුන්ගේ මැණික් කර්මාන්තය ලංකාවට ලැබුණු කලා ශිල්පයක්’

(‘රේවා’ විසින් 1966 ජූලි මස 11 වන සඳුදා ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතට සැපයු ලිපියක්) 

පෙරදිග සියලු කාන්තාවෝ මැණික්වලට මෙන් ම ස්වර්ණාභරණවලට බලවත් ආශාවක් දක්වති. එහෙත් මුස්ලිම් කාන්තාවන්ට ඒ සඳහා විශේෂ වැදගත් කමක් ඇත. ඔවුන් මැණික් පැළඳීම කළේ හුදෙක් ම ආභරණ වශයෙන් නොවීය. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ මොට්ටැක්කිලියෙන් හිස වසාගෙන අනවශ්‍ය බාහිර විනෝදාස්වාදයන් සඳහා සහභාගී නොවී නිවසේ යුතුකම් හා වගකීම්වලට වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන මෙම කාන්තාවන්ට අවශ්‍ය වූ සුරක්ෂිත භාවය විනෝදාස්වාදය සහ සෞභාග්‍යය මැණික් පැළඳීමෙන් ඔවුන් ලබාගත් අතර එය සෞභාග්‍යමත් ජීවිතයේ සංකේතයක් ද විය.

අරාබි ඉතිහාසඥයෙක්

ඈත අතීතයේ අරාබි ජාතිකයෝ බොහෝ විට ව්‍යවහාරික වෙළඳ කටයුතු සඳහා ද ඇතැම් ශ්‍රේෂ්ඨ කාලිෆ්වරුන්ගේ සහ රජවරුන්ගේ මහාර්ඝ රජවාසල්වල ඉතා අගනා වස්තු ලෙස සලකන ලද මැණික් ලබා ගැනීමේ අභිලාෂයෙන් අති භයානක මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන ද නොසලකා මහා සාගරවල යාත්‍රා කළහ. ක්‍රි. ව. දෙවන ශත වර්ෂයේ දී පමණ ලංකාවට පැමිණි (මහාවංශ සටහනක් අනුව ක්‍රි. පු. හතරවන ශත වර්ෂයේ දී අනුරාධපුරය අගනුවර කොට රජකම් කළ පණ්ඩුකාභය රජතුමා විසින් අරාබිවරුන්ගෙන් පැවත එන පරපුරක් වූ යෝනක ජනයා වෙනුවෙන් වෙනම වීදි නම් කොට තිබු බව සඳහන් වේ) අරාබි ජාතිකයන්ට මෙය මැණික් සුලභ රටක් බව අවබෝධ විය. එසේම නොයෙකුත් හේතු නිසා දිවයන ඔවුන්ගේ සිත් ගත් තැනක් විය. දිවයිනෙහි සිටින ස්ත්‍රීන්ගේ ලස්සන මුහුණු නිසා සෙරන්ඩිබ් යන මේ දිවයින රතුකැට දූපත යනුවෙන් හඳුන්වනු ලබන බව බැග්ඩෑඩ් හි කාලිෆ් වරයාගේ රාජ සභාවේ සිටි අරාබි ඉතිහාසඥයෙකු වූ අල් බල්සුරී විසින් ක්‍රි. ව. අටේ දී ලියන ලද ෆත්හුල් බුල්දාන් නමැති ග්‍රන්ථයෙහි සඳහන් කොට ඇති බව ඉතිහාස වාර්තාකරුවෙකු විසින් වාර්තා කොට ඇත.

ඉබන් නිස්කාවා සහ රුසක් අලි යන කාලිෆ් වරුන්ගේ අධිකාරය යටතේ ලංකාව සහ අබ්බාසීය කාලිෆ් රාජ්‍ය අතර තානාපති සම්බන්ධතා ඇති කර ගන්නා ලද අතර ලංකාවේ රජවරුන් විසින් ද බැග්ඩෑඩ් හි කාලිෆ් රජු සහ මධ්‍යම ආසියාවේ වෙනත් මුස්ලිම් රාජ්‍ය නායකයන් සමග ත්‍යාග හුවමාරු කර ගන්නා ලදී. හාරුන් අල් රෂීඩ් ගේ වෘත්තාන්තවල ලංකාව පිළිබඳ විස්තර දක්වා ඇත. සබා යනුවෙන් හැඳින් වූ ඔහුගේ ඉතාමත් විශ්වාසදායක දුතයා ලංකාවට එවූ බව ද ඔහු දීර්ඝ කාලයක් ලංකාවේ ගත කොට එහි ඇති මැණික් පිළිබඳ ව ද මැණික් ශිල්පය පිළිබඳ ව ද විශාල දැනුමක් ලබා තම ස්වාමියා වෙත ත්‍යාග වශයෙන් බොහෝ මැණික් වර්ග ගෙන ගිය බව ද සඳහන් ව ඇත. ලෝකයේ බොහෝ රටවල්වලින් ලබාගත් දැනුම ආධාර ආධාර කොටගෙන මැණික් පිළිබඳ ව ග්‍රන්ථ රාශියක් පළකොට ඇති අතර එහි ප්‍රතිඵලය වශයෙන් මුස්ලිම්වරුන්ට ම ආවේණික මැණික් ශිල්පයක් බිහි වී ඇත. නිදසුනක් වශයෙන් පිටු දහසකට වඩා විශාල අල් බරනි නමැති ඉතිහාසඥයාගේ පොතෙහි සියලු මැණික් වර්ග වලට වඩා පද්මරාග (රතු කැට) මැණික් අරාබි ජාතිකයන්ට ප්‍රිය උපදවන මැණික් වර්ගය බව සඳහන් කොට ඇත. මැණික් කැපීම සඳහා සහ දියමන්ති පාවිච්චි කරනු ලැබූ නිසා ඒවාට අරාබි ජාතිකයින්ගේ කැමැත්තක් නොවීය.

මනස්කාන්ත බව

සාම්ප්‍රදායානුකූල මුස්ලිම් ස්වර්ණාභරණ සඳහා අද දක්වාම භාවිත කරනු ලබන්නේ පද්මරාග මැණික් ය. උකුළ දක්වා දිගට එල්ලෙන මල් මෝස්‌තර සහිත රන් දම්වැල් පද්මරාග මැණික් සිය ගණන් ඔබ්බා අලංකාර කරනු ලැබේ. වළලු සඳහා ද පද්මරාග භාවිත කරනු ලැබේ. එම ආභරණවල දීප්තිය ඇති වනුයේ ලෝහ ශිල්පය නිසාම නොව ඒවාට අතරින් පතර නිල් මැණික් කැට සහ මරකත කැට සමග පේළියෙන් පේළියට ඔබ්බන ලද පද්මරාග මැණික් නිසාය. මැණික් කර්මාන්තය සමඟ වෘත්තාන්ත සහ ජනප්‍රවාද එක් වී ඇති අතර මුස්ලිම්වරුන්ගේ ප්‍රථම ලංකා චාරිකා පිළිබඳ කථාන්තර සිත් ගන්නා සුළු වේ. සබා ලංකාවට පැමිණියේ හාරුන් අල් රෂීඩ් අරාබි පාලකයා වශයෙන් සිටි අවධියේදී ය. එනම් ක්‍රි. ව. 779 – 809 දක්වා වූ කාලය තුළ ය. මේ අවධියේ දී ලංකාවේ පාලකයන් වූයේ පළමුවන උදය සහ දෙවන මහින්ද යන රජුන් ය. සබා මෙහි පැමිණිවිට ඔහු රාජ්‍ය ගෞරව ඇතිව පිළිගනු ලැබීය. සති කිහිපයකට පසුව රජු හමුවීමට අවස්ථාවක් ඔහුට ලැබුණු අතර ඔහු පැමිණියේ බැග්ඩෑඩ් හි කාලිෆ් රජුගේ උපදෙස් පිට පද්මරාග මැණික් මිලට ගැනීම සඳහා බව රජුට දන්වා ඇත.

සාකච්ඡා

එම මැණික් වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොකළයුතු බව ද කාලිෆ් රජුගේ දුතයා විසින් තෝරා ගනු ලබන මැණික් ත්‍යාගයක් වශයෙන් පිරිනමන බව ද ලංකාවේ රජු විසින් ප්‍රකාශ කොට ඇත. “සියුම් කාන්තිය විහිදෙන මේ මැණික් ගල් දුටු විට මට හැඟී ගියේ මා වෙනත් ලෝකයකට පිවිස සිටිනා බවයි. කිසිම මිනිස් ඇසකින් එවැනි දර්ශනයක් දැක නැති බව මට ඒකාන්තයි” යනුවෙන් රාජකීය මැණික් ගබඩාවේ අභ්‍යන්තරය දුටු සබා විසින් ප්‍රකාශ කොට ඇත. “මා පර්සියාව රෝමය මිසරය වැනි රටවල් දන්නා මුත් ඒ කිසි තැනක මෙවන් මැණික් දැක නැත” යනුවෙන් සබා විසින් තවදුරටත් කරුණු පැහැදිලි කරමින් පවසා ඇත. රජු විසින් ඉන් අනතුරුව ඊටත් වඩා දැකුම්කළු පද්මරාග මැණික් පෙන්වනු ලැබිණ. ඉන් එකක් අල්ලක් පමණ වූ ගිනිදැල්ලක් මෙන් කාන්තිය විහිදුවන මැණිකක් විය. “එය බැග්ඩෑඩ් හි කාලිෆ් රජුට මගේ දුප්පත් ත්‍යාගයයි” යනුවෙන් පවසා දුතයාට පිරිනමා ඇත. මීට ටික දිනකට පසුව රජු විසින් මැණික් වෙළෙන්දන්ගේ රැස්වීමක් පවත්වනු ලැබූ අතර ඊට කාලිෆ් රජුගේ දුතයා ද කැඳවනු ලැබිණ. එහි දී නොයෙකුත් මැණික් පිළිබඳ ඇගයීමක් කරන ලදී. මැණික් පිළිබඳ සබාගේ දැනුම ගැන පැහැදුණු රජු විසින් ඔහුගේ මුඛය විවෘත කිරීමට නියම කොට ඔහුගේ කටට මැණික් අහුරක් දමා ඒවා ඔහුට ත්‍යාග කළ බව වාර්තා කොට ඇත.

අඛන්ඩ වෙළඳාම

ක්‍රි. ව. 1334 – 1335 කාලය තුළ ලංකාවට පැමිණි කීර්තිමත් සංචාරකයෙකු වූ ඉබන් බතුතා පිළිබඳ ව ද බොහෝ ජනප්‍රවාද ඇත. ඔහු පිළිගත් රජු විසින් ඔහුට නිල් මැණිකක් ත්‍යාග කරන ලදී. වෙනත් මැණික් තෝරා ගැනීමට ඔහුට ආරාධනා කළමුත් “මා පැමිණයේ මැණික් රැස් කිරීමට නොව මා පැමිණියේ රුහුණු කඳුකරයේ ඇති යැයි පවසන ආදම්ගේ පාද සටහන පිළිබඳ ව ගවේෂණයක් කිරීමට යැ”යි යනුවෙන් ඉබන් බතුතා පවසා ඇත.

ඉන් පසු ව පැමිණි මුස්ලිම් ජනයා වෙළඳාම පිණිස පැමිණි පිරිස වෙයි. ඔවුන්ට උවමනා වුයේ ඔවුන්ගේ භාණ්ඩ විකුණා මේ දිවයිනෙන් ලබා ගත හැකි මැණික් ආදී දේ ගෙනයාමටය. ලංකාවේ රජු අබ්බාසීය කාලිෆ් අතර වටිනා මැණික් ත්‍යාග වශයෙන් හුවමාරු කර ගනු ලැබිණ. අරාබි ජාතිකයින් මෙරට පදිංචි වීමත් සමග අඛණ්ඩ වෙළඳාමක් ඇති විය. ඈත අතීතයේ දී මැණික් ආභරණ පැළඳීම කරනු ලැබුවේ කාන්තාවන් විසින් පමණක් නොව පුරුෂ පක්ෂය ද මැණික් ආභරණ පැළඳීම කළ අතර ඇතැම් අය තමන්ගේ පාවහන්වලට ද මැණික් සැරසිලි යොදා ගත්හ. පවුලේ සෑම උත්සවයකදීම මැණික් සහ ස්වර්ණාභරණ තෑගී දීම සිරිත විය. උදාහරණයක් වශයෙන් මනාලියගේ දෑවැද්ද වශයෙන් දෙනු ලබන මාල වළලු කරාබු සහ මනාලයා විසින් මනාලියගේ ගෙල පළඳවන මාලයට අමතර ව මනාල යුවලගේ කිට්ටු ඥාතීන් සියලු දෙනා විසින් ම රත්තරන් මුද්ද බැගින් තෑගී කිරීම ඔවුන්ගේ චාරිත්‍රයක් විය. මුස්ලිම් පවුල්වල සාමාජික සංඛ්‍යාව වැඩියෙන් සිටි අතර මෙවන් අවස්ථාවන්හිදී මනාලයාගේ සාක්කු පිරී ඉතිරී යයි.

නවීකරණය

මැණික් කාර්මික ශිල්පීන් විසින් තම විශේෂ ශිල්පීය ඥානය පරම්පරාවෙන් පරම්පරාවට දෙන ලද අතර අද අපට දක්නා ලැබෙන සාම්ප්‍රදායික මල් මෝස්‌තර සහ සියුම් කැටයම් උතුරු ඉන්දියාවේ මෝගල් රාජ්‍යය කාලයේ සිට පැවත එන ඒවාය.

අද කාලයේ මේ ශිල්පය අදට ඔබින ලෙස නවීකරණය කර ඇති අතර ලංකා මැණික් එබ්බු මාල වැනි ඇතැම් ස්වර්ණාභරණ තැනීමේ දී භාවිත කරන ලද මුස්ලිම් රටවල ශත වර්ෂ ගණන් පැවත ආ මෝස්‌තර අද ලෝකයේ විවිධ සමාජවලට ගැලපෙන පරිදි නවීකරණය කරන ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.