“ෂියා” දහම දැනගනිමු – 1

මෑතක සිට ලංකාව තුළත් කලක පටන්  අනෙකුත් රටවල්වලත් ‘ෂියා’ දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා වැදගත් කටයුත්තක් ලෙස අපි දකින්නෙමු.

‘ෂියා’ යන පදයෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

‘ෂියා’ යනු අරාබි පදයක් වන අතර එහි සමීප සිංහල අර්ථය කණ්ඩායම, පක්ෂය, සමූහය, පිරිස, පාර්ශවය යන පදයන්ගෙන් ගෙන හැර දැක්විය හැකිය. මෙයට සමාන තවත් පදයක් අරාබි භාෂාවේ දක්නට ඇත. ‘හිස්බ්’ යන ඒක වචනයෙන් හා එහි බහුවචනය වූ ‘අහ්සාබ්’ යන පදයන්ගෙන් බොහෝ දුරට අදහස් වන්නේ මෙම පදයට සමාන අර්ථයකි.

ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا (٦٩)

“පසුව සෑම කණ්ඩායමකින් ම පරම කරුණාභරිතයාණන්ට විරෝධතාවෙහි දැඩි ව සිටියවුන් ව අපි සැබවින් ම ඉවත් කරන්නෙමු”. (අල් කුර්ආන් 19 : 69)

وَدَخَلَ الْمَدِينَةَ عَلَى حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلانِ هَذَا مِنْ شِيعَتِهِ وَهَذَا مِنْ عَدُوِّهِ فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَى فَقَضَى عَلَيْهِ قَالَ هَذَا مِنْ عَمَلِ الشَّيْطَانِ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ (١٥)

“එම නගර වැසියන් නොසැලකිලිමත් ව සිටි මොහොතේ ඔහු නගරයට පිවිසියේය. එවිට එහි මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා දබර කරමින් සිටිනු ඔහු දුටුවේය. එකෙකු ඔහු(මුසා)ගේ පාර්ශවය අතුරින්ය. අනෙකා ඔහුගේ සතුරන්ගෙනි. ඔහුගේ සතුරන් අතුරින් වූ තැනැත්තාට එරෙහි ව ඔහුගේ පාර්ශවය අතුරින් වූ තැනැත්තා ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේය. එබැවින් මුසා ඔහුට පහරක් දුන්නේය. එසැණින් ඔහු කෙරෙහි (මරණය) තීන්දු විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. සැබැවින්ම ඔහු පැහැදිලි නොමඟ යවන සතුරෙකි’ යැයි ඔහු පැවසුවේය”. (අල් කුර්ආන් 28 : 15)

ඉහතින් උපුටා දැක්වූයේ ‘ෂියා’ යන පදය අල් කුර්ආනයේ යෙදී ඇති අවස්ථා කිහිපයකි. මෙවන් වැකි රාශියක් අල් කුර්ආනයේ දැකිය හැක.

අලි හා මුආවියා (අල්ලාහ්ගේ තෘප්තිය මෙම දෙදෙනා කෙරෙහි ඇතිවේවා) යන දෙදෙනා අතර මතභේදයක් ඇති වූ අවස්ථාවේ මෙම දෙදෙනාගේ කණ්ඩායම් දෙක හඳුන්වනු ලැබුවේ ‘ෂියාතු අලි’ හා ‘ෂියාතු මුආවියා’ යනුවෙනි. එහෙයින් ‘ෂියා’ යන පදය ආරම්භක කාලවකවානුවේ සිට උපයෝගී වී ඇති බව පැහැදිලිය.

අලි හා මුආවියා තුමන් (මෙම ශ්‍රේෂ්ඨයින් දෙදෙනා වෙත අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය ඇති වේවා) දෙදෙනා අතර ඇති වූ මතභේදය ආගමික පදනමකින් වූ එකක් ද?

සහතික වශයෙන් ම නැත. ගැටුමක් ආරම්භ වන්නේ මුහම්මද් ධර්ම දුතයාණන්ගෙන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) පසු ඉස්ලාමීය රාජ්‍යයේ තුන්වන පාලකයා (කාලිෆ් වරයා) බවට පත් වූ උත්මාන් බින් අෆ්ෆාන්  තුමාගේ ඝාතනය සමගය. උත්මාන් තුමාගේ ඝාතකයින් අලි තුමාගේ කඳවුරේ සිටියේ යැයි පවසන චෝදනාව මෙයට හේතු වූ බව සඳහන් වේ. නමුත් අලි තුමා මේ පිළිබඳ ව පවසා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

“සියල්ල මේ අයුරින් ආරම්භ විය. සිරියානුවන් හා අප එකිනෙකාට විරුද්ධ ව නැගී සිටිය ද අල්ලාහ් කෙරෙහි වූ පොදු ආගමික විශ්වාසය, එකම සත්‍යය ධර්ම දුතයාණන් පිළිබඳ විශ්වාසය, එකම ආගමික ග්‍රන්ථය පිළිබඳ විශ්වාසය හා එකම ආගමික පිළිවෙත් පිළිබඳ ඔවුන් හා අප අතෙරේ කිසිදු වෙනස්කමක් නොතිබුණේය. අල්ලාහ් හා මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) පිළිබඳ කිසිදු වෙනස් විශ්වාසයක් ඇති කර ගැනීමක් අපි ඔවුන්ගෙන් අපේක්ෂා නොකළෙමු. එලෙසම ඔවුන් ද අපගේ ආගමික විශ්වාසයෙහි වෙනසක් අපේක්ෂා නොකරති. දෙපාර්ශවයම මෙම කරුණු පිළිබඳ එක්සත් ව සිටිති. දෙපාර්ශවය අතර මත භේදයට හේතු ව උත්මාන් තුමාගේ ඝාතනය පිළිබඳ ප්‍රශ්නයයි. අප අතරේ බෙදීමක් ඇති කිරීමට හේතු වූයේ මෙම ප්‍රශ්නයයි. මෙම ඝාතනයේ වගකීම මගේ දොරකඩ තබන්නට ඔවුන්ට අවශ්‍ය විය. සහතික වශයෙන් ම ඔවුන්ගේ චෝදනා වලින් පරිපුර්ණ ලෙසම මා නිදොස් ය”. (මුලාශ්‍රය: Nahjul Balaghah, letter 58, p. 474)

අලි තුමා විසින් ම මෙම මත භේදය ආගමික එකක් නොවන බවත් එතුමාගේ දේශපාලන සතුරන් ප්‍රතික්ෂේපකයින් (කාෆිර්) ලෙස හැඳින්වීමට කටයුතු නොකළ බවත්  වර්තමාන ‘ෂියා’ දහමේ අනුගාමිකයින්ගේ පිළිගැනීමට ලක් වී ඇති මුලාශ්‍ර අනුව ම පැහැදිලි ව දකින්නට ඇත. මෙම ප්‍රකාශනයෙන් වර්තමාන ‘ෂියා’ දහමේ මුලික පදනම බිඳ වැටෙන බව පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? වර්තමාන ‘ෂියා’ දහමේ අනුගාමිකයින් සත්‍යය වශයෙන් ම අලි තුමාණන් ව අනුගමනය කරන්නේ නම් එතුමාණන්ගේ ඉහත ප්‍රකාශනය අනුව කටයුතු කළ යුතු නොවේ ද? මෙයට අමතර ව අලි තුමාණන් තමන්ගේ අනුගාමිකයින් අමතා කළ ප්‍රකාශනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

“නුඹලා ඔවුන්ට බැන වැදීම මම පිළිකුල් කරන්නෙමි. ඔවුන්ගේ ක්‍රියා හා ස්ථාවරය පිළිබඳ පැහැදිලි කර දීම කථනයට වඩාත් සුදුසු පිළිවෙතක් ලෙසත් කරුණු ඒත්තු ගැන්වීමට වඩාත් සුදුසු විවාද පිළිවෙතක් ලෙසත් දකින්නෙමි. ඔවුනට බැන වැදීම අතහැර ‘අපගේ හා ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කර දෙනු මැනව! ඔවුන් හා අප අතර සමාදානය ඇති කර දෙත්වා! ඔවුන්ගේ නොමග යෑමෙන් ඔවුන් ව ඉවත් කොට නොදැනුවත් ව සිටියවුන් හට එමගින් සත්‍යය දැන ගැනීමට අවස්ථාව උදා කර දෙත්වා! කැරලි ගැසීමටත් විරුද්ධතාව දැක්වීමටත් පෙළ ගැසුණු පිරිස එයින් ඉවත් කර දෙත්වා!’ යැයි මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද සිටින්න”. (මුලාශ්‍රය : Nahjul Balaghah Sermon 204)

වර්තමාන ‘ෂියා’ දහම අනුගමනය කරන්නන් ඉහත අලි තුමා විසින් දෙන ලද ශ්‍රේෂ්ඨ උපදෙස් පිළිපදින්නන් ව සිටින්නේ ද? සැබැවින්ම නැත. අප ඔවුන්ගෙන් ශ්‍රවණය කරමින් සිටින්නේ මහා කාරුණික අල්ලාහ් විසින් තම අවසාන ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) මිතුරන් හා සහගාමීන් ලෙස තෝරා ගත් අබුබකර් සිද්දීක් උමර් බින් කත්තාබ් (අල්ලාහ්ගේ තෘප්තිය මෙම දෙදෙනා කෙරෙහි ඇතිවේවා) වැනි මිනිසුන් අතුරින්  ශ්‍රේෂ්ඨතම මිනිසුන් පිළිබඳ ව කරන්නා වූ නින්දා අපහාස අවලාද හා ශාප කිරීම් පමණි. මෙම පිරිස අති උතුම් අල්ලාහ්ගේ නිවැරදි මඟ පෙන්වීමෙන් හා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ පිළිවෙතින් කෙතරම් දුරට නොමග ගොස් ඇත්තේ ද යන්න අවබෝධ කර ගැනීමට මෙම සාධකය පමණක් ප්‍රමාණවත් යැයි විශ්වාස කරන්නෙමු.

මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) ජීවත් ව සිටි කාලයේ ‘ෂියා’ දහම පැවතියේ ද?

‘ෂියා’ දහම මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) අනුමැතිය ඇතිව එම කාල වකවානුවේ පැවතියේ යැයි යමෙක් පවසන්නේ ද ඔහු නියත වශයෙන්ම ඉතා භයානක මුසාවාදියෙක් යැයි සහතික කොට කිව හැක. ‘ෂියා’ දහම වර්තමානයේ අනුගමනය කරන්නන් අතර ම මෙහි ආරම්භක කාල වකවානු පිළිබඳ මත භේද පවතී. මුහම්මද් තුමාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) කාලයේ මෙම නොමග ගිය මතවාදය පැවති බවට ඇති පදනම් විරහිත අසත්‍යය සාක්ෂියක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“මෙම ‘ෂියා’ බීජය ඉස්ලාමයේ රෝපණය කළ පළමු පුද්ගලයා අන් කිසිවෙකු නොව මුහම්මද් තුමාණන් ය. වෙනත් වචන වලින් පවසන්නේ නම් ‘ෂියා’ බීජය හා ඉස්ලාමයේ බීජය සමාන අයුරින් රෝපණය කරන ලදී. එය රෝපණය කළ තැනැත්තා (මුහම්මද් තුමාණන්) එයට නිසි සාත්තු කිරීම් ලබා දෙමින් එය ශක්තිමත් අයුරින් වැඩෙන්නට තම ජීවිත කාලය තුළ කටයුතු කළ අතර එතුමාගේ මරණයෙන් පසු එය මල්ඵල දරන්නට පටන් ගත්තේය”. (Aal Khasif al Ghataa – ‘Asl al Shia wa Usooliha’ – page 87)

මෙය කිසිදු සැකයකින් තොර පරිපුර්ණ මුසාවාදයක් බව සහතික කොට පැවසිය හැක්කකි. ඉහත අසත්‍ය ප්‍රකාශනය සනාථ කිරීම පිණිස තවත් අසත්‍යයන් කිහිපයක් ඔවුන් ඉදිරිපත් කරති. අසත්‍ය නබි වදනක් බුහාරී හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන් හි සඳහන් යැයි අසත්‍ය ලෙස පවසා එය ගෙන හැර දැක්වීම ඔවුන්ගේ පළමු උත්සාහයයි. වර්තමාන බොහෝ ‘ෂියා’ ලේඛකයින් නබි වදනක් ලෙස අසත්‍ය ලෙස ගෙන හැර දක්වන ප්‍රකාශනය නම් “ජයග්‍රාහකයින් වන්නේ අලි හා ඔහුගේ ෂියා වරුන් ය”. ඔවුන්ගේ බේගල් සාධාරණීය කිරීම පිණිස හා තමන්ගේ අනුගාමිකයින් හා පාඨකයින් නොමග යැවීම පිණිස හදීස් ග්‍රන්ථයන් උපයෝගී කර ගනිමින් නබි වදන් විකෘත කොට ඉදිරිපත් කිරීම මහා ඛේදවාචකයක් ලෙස අපි දකින්නෙමු. මේ පිළිබඳ ව ‘ෂියා’ දහමේ විද්වතෙක් ලෙස සැලකෙන ඉබ්න් අබිල් හදීද් (හිජ්රි 586 – 656) විසින් පවසා ඇති කරුණු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“සද්ගුණය පිළිබඳ අසත්‍ය හදීස් ගෙතීම ආරම්භ වුයේ ‘ෂියා’ වරුන්ගෙනි. ආරම්භයේ තමන්ගේ ඉමාම් වරුන් පිළිබඳ ශ්‍රේෂ්ඨකම් උලුප්පා දැක්වීම පිණිස මෙලෙස හදීස් යැයි පවසමින් අසත්‍ය ගෙතීම් සිදු විය. තමන්ගේ ප්‍රතිපාක්ෂිකයින් සමග තිබු එදිරිවාදිකම් පිරිමැසීම පිණිස ඔවුන් විසින් මෙලෙස කරන ලදී”. (See Sharh Nahjul Balaghah Vol 1, Page 783 – Quoting from al Shia wat Tashayyu Page 19)

‘ෂියා’ දහම සැබැවින් ම ආරම්භ වුයේ කවදා ද?

‘ෂියා’ ඉතිහාසඥයින් අතර මේ පිළිබඳ බොහෝ බරපතළ පරස්පරයන් දැකිය හැක. ප්‍රසිද්ධ ‘ෂියා’ ඉතිහාසඥයෙකු වූ අබූ ඉෂ්හාක් ඉබ්න් අල් නදීම් (හිජ්රි 297 – 385) පවසන පරිදි මෙය සිදු වුයේ ‘ඔටු සටන’ ආරම්භ වීමත් සමගය. ඔහුගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“තල්හා සහ අස් සුබයිර් අලිගේ ස්ථාවරය සමග එකඟ නොවී උත්මාන්ගේ ඝාතකයන්ට දඬුවම් දීම හැර අන් කිසිවක් පිළි ගත නොහැකිය යන මතය දැරූ අවස්ථාවේ ඔවුන් සමග සටන් කිරීම පිණිස අලි විසින් ඔහුගේ බලඇණි මෙහෙය වන ලදී. එම අවස්ථාවේ අලි අනුගමනය කළ පිරිස ‘ෂියා’ වරුන් යැයි සඳහන් කරන ලදී”. (‘Al Fihrist’ – Ibn Al Nadim – Page 249, from Ash Shia wat Tashayyu – Ehsan Elahi Zaheer – Page 25)

තවත් ෂියා ලේඛකයෙකු වූ කාමිල් මුස්තෆා අල් ෂයිබි මේ පිළිබඳ ව සඳහන් කරන්නේ කුමක් ද යන්න විමසා බලමු.

“ස්වාධීන ලෙස ‘ෂියා’ යන පදය භාවිතයට එන්නේ අල් හුසයින් ඝාතනය කිරීමෙන් පසුවය. මෙම පදයට නිශ්චිත අර්ථයක් ලැබෙන්නේ මෙම සිදුවීමෙන් පසුවය”. (‘The Link Between Sufism and Shiaism’ – Mustafa Kamil al Shaybi – Page 23 – Quoted from Ash Shia wat Tashayyu – Ehsan Elahi Zaheer – Page 26)

‘ෂියා’ දහමේ උපත පිළිබඳ ඔවුන්ගේ විද්වතුන් ලේඛකයින් හා ඉතිහාසඥයින් අතර ම පවතින ගැටුම්කාරී මතයන් දෙස විමසිලි ඇසින් බලන විට මහා කාරුණික අති උතුම් අල්ලාහ්ගේ සත්‍ය දහම ‘ෂියාකරණයට’ (අසත්‍යමත පදනම් වී භේද කොට කැබලි කිරීමට) ලක් කිරීමේ උත්සාහය අසාර්ථක අවසානයකට පාත්‍ර වී සහතික වශයෙන් ම පරාජයට පත් වනු නිසැකය.

‘ඉන්ෂා අල්ලාහ්’ මීළඟ ලිපියෙන් ඓතිහාසික කරුණු හා සාධක පදනම් කර ගනිමින්  ‘ෂියා’ දහමේ ආරම්භක කර්තෘවරුන්  කවුරුන් දැයි විමසා බලමු.

Leave a Reply

Your email address will not be published.