ජීවිත අභියෝග ජය ගනිමු – 2

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීමට ඇති සුදුසුම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

දවසේ බැඳීම් මත පිහිටා ජීවත් වීම

මිනිස් අඩුපාඩු අතරින් එකක් නම් අනාගත බර වර්තමානයට පටවා ගැනීමයි. ජීවිතය ගැන ප්‍රමාණය ඉක්මවා බලාපොරොත්තු ඇති කර ගැනීමේ ප්‍රතිඵලය වනුයේ සිය සිතුවිලි පාලනය කර ගත නොහැකි තත්ත්වයකින් අතරමං වීමයි. මේ නිසා ක්‍ෂණික පෙලඹවීම් හා මුළාවනට ඉතා පහසුවෙන් පාත්‍ර වන්නට ඉඩ තිබේ. ඒ වූ කලී ස්ථිර මානසික වධයකට මං පාදන්නකි.

ඔබ කනස්සල්ලෙන් හා සැක සංකාවන්ගෙන් පෙළෙන්නේ මක් නිසාද? දෛනික බැඳීම් තුළ ජීවත්වන්නට තැත් කරන්න. හෙට දවස ගැන උද්වේග ඇති කර ගැනීමෙන් වළකින්න. එය ඔබට යහපත්ය. හිතකර ද වෙයි. මානසික වශයෙන් අනාගත බලාපොරොත්තු වලට අනුයුක්ත නොවූ සාර්ථක මිනිසුන් පිළිබඳ ව විද්වතුන් විවිධ අවස්ථාවන් හි සඳහන් කොට ඇත. අනාගතය වෙනුවට වර්තමාන අවශ්‍යතා වලට මුහුණ දෙමින් ඒවා විසඳීමට ඔවුහු ඉඳුරා කැප වුණහ. තමන්ගේ දෛනික ජීවිතයට ද ඔවුහු ඉඳුරා මෙම චෛතසික ස්වභාවය යොදා ගත්හ. අත ළඟ ඇස් පනාපිට පැහැදිලි වශයෙන් පවතින දෙය දකිනවා මිස ඈත එපිට අඳුරෙ හි අපැහැදිලි ව ඇති දෙය දකින්නට තැත් කිරීම අපේ ව්‍යායාමය නොවිය යුතුය.

යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්ලර් තමාගේ සිසුන්ට ඊසා නබිතුමාගේ ‘අපේ අද දවසේ පාන් ලබා දෙන්න’ යන ප්‍රාර්ථනය සමග දවස ආරම්භ කරන ලෙස උපදෙස් දෙයි. කරුණාකර මෙම ප්‍රාර්ථනයේ අන්තර්ගත වදන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙම ප්‍රාර්ථනයෙන් අයදිනු ලබනුයේ අද දවසේ පාන් ගෙඩිය පමණි. ඊයේ අනුභව කළ පිළුණු වූ පාන් ගෙඩිය ගැන එහි පැමිණිලි කිරීමක් දක්නට නැත. එසේම එහි ‘දෙවියනි, පසුගිය කාලයේ කෙත්වතු (තිරිඟු යාය) වියළී ගියේය. තවත් ඉඩෝරයක් එන්නටත් පුළුවන. ඊළඟ ගිම්හානයේ මා කෙසේ කුසට අහරක් ලබන්න ද? මගේ රස්සාව නැතිවුණා යැයි උපකල්පනය කරමු. එසේ වුයේ නම් මම කුසට අහරක් ලබා ගන්නේ කෙසේ ද?’ වැන්නක් කියැවෙන්නේ ද නැත. මෙම ප්‍රාර්ථනය මඟින් උගන්වනු ලබනුයේ ‘අද දවසේ පාන්’ ඉල්ලා සිටින්නට පමණි. ඔබට බුදින්නට හැකියා ව තිබෙන්නේ අද දවසේ පාන් වර්ගය පමණි.

ඉහත උපදේශයට අනුකුලතාවක් ඇති දවසේ සීමාවන්ට ගොනු වී ජීවත් වීම පිළිබඳ ව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ආරක්ෂාවෙන් හා යහපත් කායික තත්ත්වයෙන් ද දිනකට ප්‍රමාණවත් ආහාර ද සහිත ව දවස ගත කරන පුද්ගලයා ලොව පුරා ඇති සියලුම දේවල් පිරිනමනු ලැබූ කෙනෙකුට සමානය” (වාර්තාව: උබෛදුල්ලා බින් මුහ්සින් අල් අන්සාරි අල් කත්මි).

මේ සියල්ල ඔබ සතු ව ඇති විට මුළු ලොවම ඔබ සතුය. ඒ ගැන සුළු කොට නොතකන්න. දිනෙක ආරක්ෂාව යහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ස්වයංපෝෂණය යන කරුණු තනි පුද්ගලයෙකුගේ ජීවිතයට කෙසේ වෙතත් මුළු මහත් ඉතිහාසයම වෙනස් කළ හැකි ක්‍රමවේදයකින් සාධාරණ මිනිසෙකුට සන්සුන් ලෙස සිතන්නට ඉඩ සලසයි. මානසික අසීරුතා හෝ ශාරීරික අවහිරතාවලින් තොරව සම්පුර්ණ සංවර්ධනාත්මක කාල වකවානුවක් අත් කර ගනු පිණිස මිනිසෙකුට මෙම ගම්‍යමාන ආශීර්වාදයන් මහඟු සහතිකයක් වෙයි. ඇත්තෙන්ම දුෂ්කරතා ඒවාට නියමිත කාලයේ සිදු වන්නට පෙරාතුව කල් තියා ම ඒ ගැන තැවි තැවී සිටීම මුග්ධ ක්‍රියාවකි. එබඳු අපේක්ෂාවන්ගෙන් මායාවන් හා අශුභතාවන් ජනනය වෙයි.

මිනිසා දවස පටන් ගත යුත්තේ එය සපුරා කාලයෙන් නිදහස් වුවක් වශයෙන් සලකමිනි. ඉබ්‍රාහිම් නබිතුමා (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) අල්ලාහ්ගෙන් “යා! අල්ලාහ්, මෙය අලුත් දවසක්. ඔබට කීකරු වෙමින් අද දවස පටන් ගැනීමට මට පිහිට වන්න. තවද ඔබගේ දයාව හා සතුට අත් කර ගනිමින් දවස අවසන් කිරීමට පිහිට වන්න. ඔබ විසින් පිළිගනු ලබන හසනාවක් (සත් ක්‍රියාවක්) මට පිරිනමන්න. එය මා වෙනුවෙන් පිරිසිදු කරන්න. වැඩ බහුල කරන්න. මා සිදු කරන ඕනෑම පාප ක්‍රියාවකට කමා කරන්න. ඔබ පරම ක්‍ෂමාශීලියා ය. පරම දයාවන්තයා ය. පරම කරුණාවන්තයා ය. පරම පරිත්‍යාගවන්තයා යැ”යි ප්‍රාර්ථනා කරයි. තව ද එතුමා “උදෑසන එවැනි ප්‍රාර්ථනයක් කරන තැනැත්තා ඒ දවසේ තම පරමාධිපතිට තුති පිදුවේ යැ”යි යනුවෙන් ද පවසයි.

මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ජීවිතය කෙරෙහි  මොහොතක් අවධානය යොමු කරමු. ජීවිතයේ සෑම අංශයක් ම යහ අයුරින් බෙදා ඒ සෑම අංශයකට ම සංසිඳුණු මනසින් හා බලවත් අධිෂ්ඨානයෙන් ළඟා වන ක්‍රමයක පැහැදිලිතාව එහි දක්නට ඇත. උදෑසන එතුමාණෝ මෙසේ පවසති, “බලාධිකාරය හා ප්‍රශස්තිය ඔහුටම හිමි බව දැන ගෙන අපි උදෑසන ආරම්භ කරමු. මන්ද ඔබට (අල්ලාහ්ට) සමානයෙක් හෝ හවුල්කාරයෙක් නොමැත. ඔහු හැර වෙන දෙවියෙක් ද නැත. අපගේ ගමනාන්තය වනුයේ ඔහු වෙතය.” සවස් කාලයේ ද එතුමාණෝ මේ හා සමාන ලෙස පැවසුහ.

කෙනෙක් තමන්ගේ හෝ තම පවුලේ උදවියගේ ආරක්ෂාව හා මානසික තැන්පත්භාවය වැනි අති උතුම් අල්ලාහ් විසින් පිරිනමන ලද ආශීර්වාදයන් දඩමීමා කර ගනිති. මෙම ඉමහත් ආශීර්වාදයන් නොසලකා හරිති. අවාසනාවන්ත වීම හෝ ධනය හා බලය නැති වීම ගැන මැසිවිලි නගති. මෙය සැබැවින්ම සැබෑ ලෝකය නොතකා හැරීම සලකුණු කරන්නා වූ නිගාවකි. එය ඔවුන්ගේ බිය බැතියට හා ජීවිතයට හානිකර වුවකි.

අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමාගෙන් කෙනෙකු නැගූ ප්‍රශ්නයක් මෙසේ සඳහන් වෙයි. “මා මුහාජිරීන්වරුන් (දෙශාන්තරණය කළ ඉස්ලාමිකයෙකු) අතර අසරණයෙක් නොවෙම් ද? එවිට අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමා “ඔබ සමග ජීවත් වන බිරියක් ඔබට සිටිනාවාදැ”යි එම මිනිසාගෙන් විමසීය. ‘ඉන්නවා” යැයි පිළිතුරු ලැබිණි. එතුමා නැවත ඔහුගෙන් “ඔබට ජීවත් වීමට නිවසක් තිබෙනවාදැ”යි විමසීය. “තිබෙනාවා”යැයි ඔහු කීය. “කරුණු එලෙස නම් ඔබ ධනවතුන් අතුරින් කෙනෙක්” යයි එතුමා කීය. “මට සේවකයෙකුත් ඉන්නවා” යයි මිනිසා කීය. මෙහි දී අබ්දුල්ලාහ් බින් අල් ආස් තුමා “එහෙම නම් ඔබ රජෙක්” යනුවෙන් පැවසීය. (මුලාශ්‍රය මුස්ලිම්).

ස්වයංපෝෂණය සහ බලාපොරොත්තු මත නොපිහිටා තමන් සතු දෙයින් යහපත් ප්‍රයෝජන අත්කර ගැනීම ස්වයං ශ්‍රේෂ්ඨත්වය වෙයි. දුෂ්කර අවස්ථාවන් ජය ගැනීමේ රහස ද එයයි. මහත් සේ ධන සම්පත් පිරිනැමී තිබෙන නිසා පාඩුවක් සිදු වන අවස්ථාවක වුවද එය නොහඟින පුද්ගලයන්ට එවැනි අවස්ථාවක් මැඬ තම වටපිටාවෙන් ප්‍රයෝජන ගන්නට තරම් ආත්ම ශක්තිය හිඟ නම් තමන් සතු දේ වලින් ඔවුන් ඵල නෙළන්නේ ද කලාතුරකිනි. මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) ප්‍රකාශනයක් (හදීසයක්) මෙම මතය සනාථ කර තිබේ.

“සුර්යෝදයේදී ඒ දෙපස මලක්වරු (සුරදුතයින්) දෙදෙනෙක් එවනු ලබති. මොවුහු මිහිපිට මිනිසුන් අමතා ‘ජනයිනි, ඔබේ පරමාධිපති වෙත පැමිණෙන්න. මන්ද, මඳ සහ ප්‍රමාණවත් බව සුලබ හා විපිළිසර භාවයට වඩා අගනේ යැයි පවසති. එසේම හිරු බැස යන විට මෙම මලක් වරුන් දෙදෙනා අල්ලාහ්ගෙන් මෙසේ අයදිති. ‘යා! අල්ලාහ්, ඔබගේ මාර්ගයෙහි වියහියදම් කරන පුද්ගලයාට වන්දි ගෙවන්න. කුම්මහියා (ලොභියා) වනසා දමන්න”. (වාර්තාව: අබු හුරෛරා – බුහාරි).

පරිත්‍යාගශීලී පුද්ගලයිනට වන්දි ගෙවීමක් පිළිබඳ පොරොන්දුව මෙන්ම ලෝභී මසුරන්ට දඬුවම් කිරීමේ තරවටුවක් ද එම හදීසය (නබි වදන) අවසානයේ සඳහන්ය. එසේ වුවද මෙහි ආරම්භයේ ප්‍රමාණයේ විශාලත්වය මත සුළු බව පිළිබඳ වරණීය සැසදීමක් ද දැක්වෙයි. එහෙත් සැබැවින්ම එය අනවශ්‍ය හා වික්ෂිප්තභාවයට පත් කරන්නා වූ සුලබත්වයට වඩා සුළු හා ප්‍රමාණවත්කම කෙරෙහි දක්වන්නා වූ වැඩි සැලකිල්ලකි.

පුද්ගලයෙකු ධනවත් බවට පත් කරන සුලබත්වය සීමිත ධන සම්පත් ප්‍රමාණයක් තිබෙනවාට වඩා යහපත්ය. මන්ද එහිදී සෙස්සන්ගේ අවශ්‍යතාවන් හා අයිතිවාසිකම් සඳහා වියහියදම් කිරීමට හැකියාවක් තිබෙන බැවිනි. එසේ වුවද ඉහත සඳහන් හදීසයෙන් ගම්‍ය වනුයේ එම කරුණ නොවෙයි. එහිදී මුඃමින් වරුන්ට (විශ්වාසවන්තයින්ට) අවධාරණය කරනු ලබන්නේ දිළිඳුකම පිළිබඳ බිය සැකයකින් තොරව පරිත්‍යාගවන්ත වන ලෙසයි. මේ ආකාරයෙන් ජීවිතයට සමීප වීම තුළින් මුඃමින් වරයෙකුට සැලකිය යුතු තරම් දිරිය වඩවා ගත හැකි වෙයි. අබු හාෂීම් තුමා “මා සහ රජුන් අතර පවතින වෙනස වනුයේ එක් දවසකි. ඊයේ දවස ගැන සලකනවා නම් ඔවුහු එය තව දුරටත් බුක්ති නොවිඳිති. තවද ඔවුන් සහ මම හෙට දවස ගැන කනස්සල්ලෙන් පසු වෙමු. මේ නිසා සෑම දෙයක් ම අද දවසයි. අද දවස වගේ දෙයක් තිබේ ද?” යනුවෙන් සඳහන් කරයි. සැබැවින්ම ඊයේ දවසත් සමග අතීත සතුට අතුරුදන් වෙයි. එය කිසිවෙකුට නතර කරන්නට නුපුළුවන. හෙට දවස ගැන සලකන කළ හාම්පුතු සහ සේවකයෝ එය පිළිගැනීමෙහිලා එක සමාන හැඟීම් බෙදා ගනිති. මේ අනුව ජීවිතය යන්නෙන් කියැවෙනුයේ අද දවස ගැනයි. සිහි නුවණැත්තෝ එකී දවසේ සීමාවන් තුළ ජීවත් වෙති. ආත්ම දමනයෙන් පසු වන හා ජීවිත අරමුණු දැන සිටින පුද්ගලයා තමාට ම රජෙක් වෙයි. එසේ වුවද එකම විට එක දවසක් තුළ ජීවත් වීම අනාගතය අමතක කළා නොවෙයි. ඒ සඳහා සුදානම් වීම අමතක කළා නොවෙයි. ඇත්තෙන් ම හෙට දවස ගැන සිතුවිලි දරන්න. එහෙත් ප්‍රවේශම් සහිත සිතුවිලි, සැලසුම්කරණය හා සුදානම් වීම අවශ්‍ය වෙයි. එසේ වුව ද පමණ ඉක්මවා මෙම කරුණු පිළිබඳ වෙහෙසට පත් නොවන්න.

අනාගතය ගැන සිතීම හා අනාගතය ගැන  චිත්ත පීඩාවන් ඇති කර ගැනීම අතර විශාල වෙනසක් තිබේ. එමෙන් ම අනාගතය උදෙසා සුදානම් වීම හා අනාගතය ගැන තරමට වඩා වද වීම අතර ද පවතින දවස වැඩි වැඩියෙන් ඵලදායක කර ගැනීම හා හෙට දවසේ ලැබෙන දේ ගැන වියවුලට පත් වීම අතර ද විශාල වෙනසක් තිබේ. හැරෙන හැරෙන අතට නිදහසේ මෙන් ම නාස්තිකාර අන්දමින් වියපැහැදම් කිරීමට එරෙහි ව ඉස්ලාම් අපට අනතුරු අඟවන අතර අරපිරිමැස්ම ගැන දැනමුතුකම් කියා දෙයි. ලෙඩක් දුකකදී වියහියදම් කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න අවධියේ දී ද මහලු වියෙහි දී වියහියදම් කිරීම සඳහා තුරුණු අවධියේ දී ද යුද සමයක දී වියහියදම් කිරීමට සාමකාමී අවධියේ දී ද ඉතිරි කරන මෙන් ගුරුහරුකම් සපයමින් ඉස්ලාම් මිනිසාගේ අනාගතය සුරක්ෂිත කරයි.  මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) සමකාලීන මිතුරන්ගෙන් (සහාබිවරුන්) පසුව ජීවත් වූ දෙවන පරම්පරාවේ ‘තාබියීන්වරුන්’ අතුරින් ශ්‍රේෂ්ඨයෙකු වූ සුෆ්යාන් අත්තව්රි තුමා තමාගේ ධනස්කන්ධය ගැන සඳහන් කරන විට “මෙය නොතිබුණා නම් බනු උමය්යා වරු අපව ඔවුන්ගේ අතවැසියන් බවට පත් කර ගන්නට ඉඩ තිබුණි. එනම් එතුමාගේ අවධියේ පාලකයින්ගෙන් තමා ආරක්ෂා වුයේ තමාගේ ධනය නිසාවෙන් බවයි. ඒ නිසා ඒ පිළිබඳ ව අධික ප්‍රශංසාවක් අනවශ්‍ය බවයි.

යථාර්ථවාදී ලෙස සලකනවා නම් මේ වනාහි ජීවිතයක යහපත් ඵල එක දවසක් තුළ අත් කර ගන්නට පිහිට වන්නා වූ සමීප වීමකි. මන්ද, වත්මන අපේ පාලනය යටතේ පවතී නම් එය සාරවත් අනාගතයකට සාර්ථක අඩිතාලමක් වන නිසාවෙනි. ඩේල් කා(ර්)නගීගේ අදහස දෙසට අපගේ අවධානය යොමු කරමු.

“මා දැන සිටින අන්දමට මානව ස්වභාවයන් අතරින් ඛේදනීය කාරණයක් නම් අප සියලු දෙනාම ජීවිතය පස්සට කල් දමන්නට නැඹුරු වීමයි. අපේ ගෙදර ජනේලයෙන් පිට පිපී තිබෙන රෝස මල දැක සතුටු වනවා වෙනුවට දිගන්තයේ ඇති මායාකාරී රෝසමල් යායක් ගැන සිහින මවන්නට අපි සියලු දෙනාම නැඹුරු වී සිටීම ය.”

ස්ටීවන් ලීකොක් මෙසේ ලියයි.

“අපගේ ජීවිතය සුළු දෙයක් වීම මොන තරම් අමුත්තක් ද? ‘මා ලොකු කොලුවෙකු වුණහම…යැ’යි දරුවෙක් කියයි. නමුත් ඇත්ත කුමක් ද? ‘මා වැඩිහිටි මිනිසෙකු වුණහම ….යැ’යි ලොකු කොලුවෙක් කියයි. ‘මා විවාහ වුණහම ….යැ’යි වැඩිහිටි මිනිසා කියයි. ඉතින්, විවාපත් වුවා ට පසු කුමක් ද? ‘මට විශ්‍රාම යන්නට හැකි වුණහම … යනුවෙන් එය වෙනස් වෙයි. විශ්‍රාම ගැනීමෙන් පසු තමන් ඒතාක් කර තිබෙන ගමන ගැන ප්‍රත්‍යාවලෝකනය කර බලමු. එක්තරා සීතල සුළඟක් ඉස්මත්තෙන් හමා යනවා මෙන් දැනේවී.  කෙසේ නමුදු හෙතෙම ඒ සියල්ල අතපසු කළේය. එය සමාප්ත විය. අප බෙහෙවින් ප්‍රමාද වී ඉගෙන ගන්නා දෙයක් නම් ජීවිතය වනාහි එහි සෑම හෝරාවක් ම එහි සෑම දවසක් ම ජීවත් වීම සඳහා තිබෙන්නක් බවයි.” (How to Stop Worrying and Start Living – ඩේල් කා(ර්)නගී – 24 වැනි පිටුව).

අතෙන් මිටෙන් ගිලිහී යන්නට ඉඩ හරිමින් ජීවිතය නාස්ති කර ගත් පුද්ගලයින් ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

“අවසන් හෝරාව එළඹෙන දවසේ පව්කාරයෝ තමන් එකම හෝරාවක් මිස (ඊට වඩා) ජීවත් නොවූ බවට දිවුරති.” (අල් කුර්ආනය 30 : 55)

“එක් දිනෙක සැන්දෑවක් හා උදෑසනක් තරම් කාලයක් පමණක් තමන් ජීවත් වුවා සේ ඒ දවසේදී ඔවුන්ට දිස් වන්නේය.” (අල් කුර්ආනය 79 : 46)

Leave a Reply

Your email address will not be published.