ජීවිත අභියෝග ජය ගනිමු – 3

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වය ට පත් වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරු ව මතු වන ගැටලු හා අභියෝග ජය ගැනීමට ඇති සුදුසු ම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන් හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම මෙහි අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

ස්ථීරත්වය උදාසීනත්වය හා මායාව

ඔබගේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන ව්‍යසනයකට ලක් වී සිටින අවස්ථාවක ඔබ කුමක් කරන්නෙහි ද? භයංකරත්වයට ජය ගන්නට ඉඩ හරිමින් ජීවිත කුණාටුව විසින් ඔබ ව දුරස්ථ තැනකට ඩැහැ ගෙන යන්නට ඉඩ දෙන්නෙහි ද? නොඑසේනම් ඔබ මෙම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය තුළ නොබිය ව නොසැලී සිටිමින් සම්මා සංකල්පනාවන්ගෙන් මඟ පෙන්වනු ලැබීමෙන් සුරක්ෂිත මාර්ගය සොයා ගන්නට තැත් කරන්නෙහි ද?

කල්කටාවේ සිට දිල්ලි බලා යාම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය. එක් ක්‍රමයක් දුම්රියෙනි. නැතිනම් බස් රියෙනි. එසේත් නැතිනම් ගුවනිනි. මේ ක්‍රම අතුරින් අපට වඩාත් ම ගැළපෙන ක්‍රමය තෝරා ගැනීම අප සතු වගකීමකි. අප මේ අතුරින් කුමන ක්‍රමය තෝරා ගත්ත ද අප යන ගමන පිළිබඳ අංශු මාත්‍රයක හෝ සැකයක් අප තුළ නොතිබිය යුතුය. අප යන බස් රිය හෝ මෝටර් රථය අතරමඟ පෙරළෙයිද? දුම්රිය පීළි පනියිද? ගුවන් යානය අනතුරකට පත් ව කඩා වැටෙයි ද? මේ සියල්ල සෘණාත්මක සිතිවිලිය. මෙබඳු සෘණාත්මක සිතිවිලි වලට අප අපගේ සිත් හතර මායිමේ පස් පෑගීමට හෝ ඉඩ නොදිය යුතුය.

“අල්ලාහ් නුඹට යම් විපතක් ස්පර්ශ කළහොත් එය ඉවත් කරන්නෙකු ඔහු හැර නැත. ඔහු නුඹට යම් යහපතක් සිදු කළහොත් ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.” (අල් කුර්ආන් 6 : 17)

“අල්ලාහ් නුඹට යම් විපතක් ස්පර්ශ කළහොත් එය ඉවත් කරන්නෙකු ඔහු හැර නැත. නුඹට යම් යහපතක් (අල්ලාහ්) අපේක්ෂා කරන්නේ නම් ඔහුගේ යහපත වළක්වන්නෙකු නොමැත. එය තම ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ඇති කරන්නේය.තවද ඔහු අති ක්‍ෂමාශීලීය. පරම කරුණාභාරිතය.” (අල් කුර්ආන් 10 : 107)

“අල්ලාහ් (තම) දයාලුභාවය ජනයිනට විවෘත කළහොත් එය වැළැක්විය හැකි කිසිවෙකු නොමැත. ඔහු (තම දයාලුභාවය) වළක්වා ගතහොත් ඉන් පසු එය දිය හැකි කිසිවෙකුත් නැත. ඔහු අති බලසම්පන්නය. සර්ව ප්‍රඥාවන්තය.” (අල් කුර්ආන් 35 : 2)

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ඕනෑම කටයුත්තක් කිරීමේ දී ඒ පිළිබඳ ව දළ සැලසුමක් අප සතු විය යුතුය. එය ජයග්‍රහණයේ ප්‍රබලතම සාධකයයි. මිනිසුන්ගේ ජීවිත වලට ජයග්‍රහණය රැගෙන එන්නේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තු මගින් බව හොඳින් සිහි තබා ගන්න. කිසියම් දරුවෙකු විද්‍යා විෂයයන් සඳහා සැබෑ කැමැත්තක් හා දක්ෂතාවක් දක්වයි නම් ඒ සඳහා මනා කැපවීමෙන් කටයුතු කොට වෛද්‍ය විද්‍යාලයට තේරී පත් විය හැකි වනු ඇත. අවසානයේ වෛද්‍යවරයෙකු වී මහත් සේවයක් කළ හැකිය. පෞද්ගලික දියුණුව ද අත්පත් කර ගත හැකිය. එහෙත් මතක තබා ගත යුතු දෙයක් තිබේ. කිසියම් පුද්ගලයෙකුගේ අනාගත සාර්ථකත්වය සඳහා වෛද්‍යවරයෙකු හෝ එබඳු ඉහළ තලයේ රැකියාවක් කළ යුතුම නැත. ඇතැම් විට ඒ වෙනුවට ඔබට ස්වයං රැකියාවක් ආරම්භ කළ හැකිය. ඒ මඟින් ජීවිතය සාර්ථක කර ගත හැකිය. රජය මගින් රැකියා ලබා දෙනතුරු බලා නොසිට විවිධ සුළු ව්‍යාපාර ස්වයං රැකියා ආරම්භ කොට ජීවිතයේ අති සාර්ථකත්වයට පත් වූ මිනිසුන් ඕනෑ තරම් අපට මුණගැසී ඇත. මිනිසුන් සෑමදෙනෙකුම කුමක් හෝ දක්ෂතාවක් හැකියාවක් සහිතව මෙලොවට ජනිත වෙති. අප උත්සුක විය යුත්තේ කුමකට ද? අප සතු එම දක්ෂතාව වටහා ගැනීමටය. ඉන් පසු වඩාත් කැපවීමෙන් එම හැකියාව වැඩි දියුණු කර ගැනීමටය. මේ ආකාරයට ඔබ සතු හැකියාව වටහා ගෙන එය වැඩි දියුණු කර ගැනීම මගින් අනාගත සාර්ථකත්වය ළඟා කර ගත හැකිය.

බිය සහ බයාදුකම වනාහි මිනිසෙකුගේ දියුණුවට එරෙහි මහත් බාධකයකි. අපි අපගේ ජීවිතයේ දී නිරන්තරව එළැඹිය හැකි අනතුරු පිළිබඳව සිතන්නේ ඇයි? එසේ වන්නට හේතුව අපගේ සිත් නිරන්තරව පෙළන සෘණ සිතුවිලි නිසාය. මෙබඳු මාර්ග බාධක සිත තුළින් මුලිනුපුටා දැමීමට ඔබ මේ දැන්ම උත්සාහ දැරිය යුතුය. ඔබේ සිතට එන එබඳු හැඟීම් වහා වසා දමන්න.

ජේම්ස් ඇලන් මෙසේ කියයි. “සිහින දකින්න. උදාර සිහින දකින්න. ඒ සිහින අනාගතයේ දිනෙක ඔබ සොයා පැමිණෙනු ඇත”. ඔබේ දර්ශනය විය යුත්තේ කිසියම් දිනෙක ඔබේ අදහස් යථාර්ථයක් බවට පත් කර ගැනීමය. නිරන්තරයෙන් ඔබේ අදහස් මුදුන් පමුණුවා ගැනීමට නොනිමි උත්සාහයයේ නියුක්ත වන්න. ඔබේ අරමුණ මත කක්ෂගත වන්න. පාපන්දු ක්‍රීඩාව පිළිබඳ මඳක් සිහිපත් කරන්න. පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණය රැඳී ඇත්තේ පන්දුව නිවැරදි එල්ලයට ගෝලය මත පතිත කිරීම මතය. එසේම ඔබේ අරමුණ ද නිවැරදි ව ගෝලය මත පතිත කරවන්න. පාපන්දු ක්‍රීඩකයෙකු පන්දුව ගෙන ගෝලය කරා ළඟා වෙද්දී ප්‍රතිවාදීන් ඔහු ව වළක්වනු ඇත. එහෙත් ක්‍රීඩකයාගේ අරමුණ ගෝලයයි.

මම ඔබට කතාවක් කියමි. එංගලන්තයේ එක් අඹුසැමි යුවළක් වුහ. ඔවුනට දෙනෙත් බඳු වූ දරු පැටියෙකු ද විය. මේ දෙමාපියන්ට ඇවැසි වුයේ මේ කුඩා දරු පැටියා කෙදිනක හෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු කිරීමටය. ඔවුන් ඒ සඳහා මේ කුඩා දරු පැටියාට මහත් වෙර වෑයමින් ඉගැන්වුහ. දරුවාගේ පාසැල් අධ්‍යාපනයට අමතර ව පෞද්ගලික ගුරුවරුන් යොදවමින් ද දරුවාට අධ්‍යාපනය පෙවීමට මහත් සේ විය පැහැදම් කළහ. ඒත් දරුවාගේ සිත අධ්‍යාපනය කෙරෙහි එතරම් යොමු නොවිණි. මෙය දෙමාපියන්ගේ අතිශය කනගාටුවට හේතු විය. දරුවාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබුණේ පාපන්දු ක්‍රීඩාව කෙරෙහිය. ඔහු පාපන්දු ක්‍රීඩාවේ අතිශය දක්ෂයෙකු විය.

දිනක් ලන්ඩනයේ වෙම්බ්ලි නගරයේ පාපන්දු ක්‍රීඩා තරඟයක් පැවැත්විණි. තරඟය පැවැත්වුයේ එංගලන්තයත් ස්කොට්ලන්තයත් අතරය. මේ දෙමාපියන් දෙදෙනාගේ එකම පුත්‍රයා ද එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී විය. තරඟය ආරම්භ විය. මේ දෙමාපියන් දෙදෙනා ද සිය පුත්‍රයා සහභාගී වූ තරඟය නැරඹීමට වෙම්බ්ලි ක්‍රීඩා පිටියට ගොස් සිටියහ. ක්‍රීඩා ලෝලීන් දහස් සංඛ්‍යාත පිරිසකගේ උද්දාමය මත සිය පුත්‍රයා ගෝල් ලබා ගන්නා ආකාරය දෙමව්පියෝ බලා සිටියේ මහත් වූ අභිමානයෙනි. ක්‍රීඩා පිටිය පුරාම නැගුනේ එකම ඔල්වරසන් හඬකි.

“රූනී ගෝලයක් ගන්න. රූනී ගෝලයක් ගන්න”. සිය අසුන් වලින් නැගිට එක හඬින් එලෙස ක්‍රීඩා ලෝලීන් හඬ නගත් දී දෙමාපිය දෙදෙනාගේ දෑස් කඳුළින් තෙත් වී ගියේය. ගෙවී ගිය වසර කිහිපය පුරා ඔවුන් තම පුත්‍රයාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් සේ විය පැහැදම් කළහ.ඒත් ඔහු හරියට ඉගෙන ගත්තේ නැත. නමුදු ඔහු වෙනත් අංශයකින් විශිෂ්ටයෙකු විය. එහි සැබෑ අගය එම දෙමාපියන් වටහා ගත්තේ වෙම්බ්ලි ක්‍රීඩා පිටියේදීය.

අප හැම දෙනෙකු තුළම කුමන හෝ දක්ෂයෙකු සැඟ වී සිටියි. විය යුත්තේ ඒ දක්ෂයා අවදි කරලීමයි. දෙමාපියන් තම දු දරුවන් ස්වකීය සිහිනයන් හි ගොදුරු බවට පත්කරනවා වෙනුවට ඔවුන්ගේ සැබෑ හැකියාවන් අවබෝධ කර ගෙන ඊට දිරි දිය යුතුය.

ඇතැම් දෙනා ජීවිත කාලය විවිධ යුග වලට බෙදති. මතක තබා ගන්න. වාසනාවන්ත දවස් හා අවාසනාවන්ත දවස් කියා දෙකොටසක් මේ ලෝකයේ නැත. වැදගත් වන්නේ උදා වන දවස් කෙරේ ඔබ බලන දෘෂ්ටියයි. ඔබ ධනාත්මක මනසක් සහිත පුද්ගලයෙකු නම් හඳහන් කේන්දර පසෙක තබන්න. හඳහන් කේන්දර යනු අති උතුම් අල්ලාහ්ගේ කෝපයට ලක් වන ක්‍රියාවන් ය. සෑම දවසක්ම සෑම මොහොතක්ම වාසනාවන්ත මොහොතකැයි සිතන්න.

නැපෝලියන් බොනපාට් මෙසේ පවසා ඇත. “නියම ඥානවන්තකම වනාහි ස්ථීරසාර වූ ධෛර්යවන්තකමකි. එබඳු ස්ථීරසාර ධෛර්යවන්තකමක් ඇති තැනැත්තා තාවකාලික පරාජයන් කිසි විටෙකත් තුට්ටුවකටවත් මායිම් නොකරයි”.

ඔබ කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙකු වීමට අදහස් කරන්නේ නම් මහත් කැපවීමෙන් යුතුව එම ක්ෂේත්‍රයේ නියුතු වීම අතිශය වැදගත් වේ. ඒ සඳහා අවස්ථාව එනතුරු බලා සිටීම මෝඩකමකි. අවස්ථාවන් නිර්මාණය කිරීම ඔබගේ වගකීමක් බව සිතන්න. එබැවින් නිරන්තරයෙන් අවස්ථාවන් තනා ගන්න.

ජීවිතය මටසුමටු මාර්ගයක් ඔස්සේ වැටී නොමැත. කඳු හෙල් පල්ලම් හා බාධක ආදියෙන් මෙම මාර්ගය අලංකාර කොට ඇත. තරණය කිරීමට දුෂ්කර තත්ත්වයක් ඇති වූ විට ඔබ කුමක් කරන්නට අදහස් කරන්නේ ද? ඩේල් කා(ර්)නගී මෙසේ විමසයි.

  1. ඔබගෙන් ම විමසා ගන්න. “සිදුවිය හැකි නරක ම දෙය කුමක් ද?”
  2. එය භාර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදානම් වන්න. ඉන් පසු නරක ම දෙය ඔස්සේ වඩාත් යහපත් වන්නට සන්සුන් ලෙස ක්‍රියා කරන්න.

මෙම ක්‍රමවේදය දහමට හා බුද්ධියට අනුකුලය. දුර්භාග්‍යයන්ට මුහුණ දෙමින් තම ගරුත්වය ට කිසිසේත් හානියක් නොවන පරිද්දෙන් ඒවා ජය ගැනීම සඳහා මිනිසුන් දක්වන උනන්දු ව විදහා දක්වන නිදසුන් රාශියක් අරාබි සාහිත්‍යයෙහි දක්නට ඇත. විලිස් කැරියර් මෙසේ පවසයි. “අර්බුද හට ගන්නා අවස්ථා වල සිත යටින් සිය අභ්‍යන්තරයේ හාත්පස බලා ආවේග පාලනය කර ගන්නා වූ පුද්ගලයා අවසානයේ ජයග්‍රහණය අත් කර ගන්නා බවට කිසිදු සැකයක් නොමැත”.

අර්බුද වලට මුහුණ දෙන අවස්ථාවේ කලබලයට පත්වීමෙන් හෝ ඉන් පලා යාමෙන් ඔබට කිසිදු සෙතක් නොසැලසෙයි. මන්ද, පෙර සැලසුම් කෙරුණු කිසියම් සිද්ධියක් සිදු වීම ප්‍රමාද කරවන්නට එමඟින් නුපුළුවන් බැවිනි. මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මෙසේ සඳහන් කළහ. “සැබෑ ඉවසිලිවන්ත භාවය දරුණු විපත්තියක දී දරනු ලබන්නක් වෙයි”. (බුහාරි)

මිනිසෙකුට යම් යම් දරුණු විපත් එළඹෙන්නට පුළුවන. මරණය බලාපොරොත්තුවෙන් සිටින්නාක් මෙන් විපත්ති ද කල්තියාම අපේක්ෂා කරමින් තැවෙන්නට පුළුවන. කඩින් කඩ ඇති වන මෙම කනස්සල්ල හේතුවෙන් ඔහුට ආහාර අරුචිය පවා දැනෙන්නට පුළුවන. ඇත්ත වශයෙන් ම නවනින්දාව අසරණ භාවය හෝ නිවට නියාලු භාවයට පත්වීම පිළිබඳ භීතියට වඩා කවදත් දිළින්දෙකුව පසුවීම යෙහෙකි.

මෙය නම් බරපතළ වරදක් වෙයි. මන්ද, නිසි මඟ පෙන්වනු ලැබූ මුස්ලිම්වරයෙකු උපකල්පනය කරනුයේ තමාට සිදු විය හැකි නරකම සිද්ධියට කලින් ම එය සිදු ව ඇතැයි කියාය. මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මෙසේ පැවසුහ. “සැබෑ විශ්වාසවන්තයෙකු (මුඃමින් වරයෙකු) සඳහා ඇති උදාහරණය නම් ළපටි පැළෑටියකි. සුළඟ කවර දිශාවකින් හැමුවත් එය නැවෙයි. සුළඟ අඩු වී යන විට එය යළිත් කෙළින් සිටියි. එසේම බැතිමතෙක් උවදුරු වලින් පෙලෙයි. එහෙත් අල්ලාහ් එම උවදුරු ඉවත් කරන තාක් හෙතෙම ඉවසිලිවන්ත ව පසුවෙයි. නමුත් දුසිල්වත් නපුරු මිනිසා පයින් (pine) ගසක් මෙනි. අල්ලාහ් සිය කැමැත්තෙන් කපා හෙළන තාක් එය කෙළින් දැඩි ව සිටියි”. (බුහාරි)

තවද එතුමාණෝ “මුස්ලිම්වරු යම් යම් දුක් කරදර වලින් පෙලෙන්නෝය. නමුත් ඒවා මීට පෙර විඳ දරා ගන්නට සිදු වූ තරම් ඒවා නොවේ. ඇත්ත වශයෙන්ම ජීවිතාන්තය දක්වා තමාගේ (නබි තුමාගේ) ජීවිතය නබි හිතවතුන්ට සහ ඉන් පසු පැමිණෙන සියලුම මුස්ලිම් වරුන්ට අස්ථානගත කළ නොහැකි ආශීර්වාදයක්” යැයි ද පැවසුහ.

සාමාන්‍යයෙන් මිනිසෙක් තමා බෙහෙවින් ප්‍රිය කරන දෙයක් අහිමි කර ගන්නට හෝ වේදනීය පීඩාවන්ට මුහුණ දීමට හෝ බිය වෙයි. එනමුදු මෙම උවදුරු දෙකම සිදු වූවාට පසු එතරම් දොම්නසකින් තොරව ඒවා භාර ගැනීමට කටයුතු කරයි.  ඩේල් කා(ර්)නගී අපට මෙසේ විස්තර කරයි. ව්‍යවහාරික මනෝ විද්‍යාවේ පියා වන මහාචාර්ය විලියම් ජේම්ස් සිය ගෝලයන් අමතා “එය ඒ ආකාරයෙන්ම භාර ගන්නට කැමති වන්න. එය ඒ ආකාරයෙන්ම භාර ගන්නට කැමති වන්න. මන්ද, දුර්භාග්‍යය භාර ගැන්ම එමගින් සිදු වන හානිකර දේ ජය ගැනීමේ පළමුවැනි පියවරයි”. චීන දාර්ශනිකයෙකු වූ යු ලින් යුතාන් තම ‘ජීවත් වීමේ වැදගත්කම’ (Importance of Living) නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. ‘සැබෑ චෛතසික සාමය ඇති වනුයේ සිදු විය හැකි නරක ම දෙය පිළිගැනීම තුළිනි. මා මෙය මනෝ විද්‍යාත්මක වශයෙන් අදහස් කරනුයේ ශක්තිය මුදා හැරීමක් වශයෙනි’. මෙහි කිසියම් ඇත්තක් තිබෙනවා නොවේද? එනමුත් ලක්ෂ සංඛ්‍යාත දනෝ නරක ම දේ පිළිගැනීම පිළිකෙව් කළ හේතුවෙන් සැඩ පරුෂ කලහකාරිත්වය තුළ ජීවිතය විනාශ කර ගත්හ. නරක ම දේවල් තුළින් යහපත සලසා ගැනීමට තැත් කිරීම ප්‍රතික්ෂේප කළහ. තම වාසනාව යළි ගොඩ නගා ගන්නට උත්සුක වනවා වෙනුවට ඔවුහු අමිහිරි හා ප්‍රචණ්ඩකාරී තරඟකාරීත්වයක අත්දැකීම් වලට සම්බන්ධ වුහ. අවසානයේදී හිස ගිය අතේ කල්පනා කරන විෂාදතාව නම් වූ ඔල්මාද තත්ත්වයට එනම් මෙලන්කෝලියාවට ගොදුරු වුහ.

ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් කායික පරාජයන් හා අසමත් අතීතයන් හේතුවෙන් ශෝක වීම හෝ වෙහෙසකර විලාප නැඟිලි වනාහි අති උත්තරීතර අල්ලාහ් ගැන දක්වන අවිශ්වාසය හුවා දක්වන්නකි. ඔහු විසින් නිර්ණය කළ ඉරණම සහ දෛවයට අමනාපය දැක්වීමකි. ඊමාන් (බිය බැතිය) සම්බන්ධ විෂයයෙහිලා මේ සියලු විඳවීම් අමතක කොට දමා අඩු පැතුම් හා බලාපොරොත්තු ද වැඩි කටයුතු හා අධිෂ්ඨානයන් සහිතව ද ඉදිරියට යාම අවශ්‍ය වෙයි. අති උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි.

“විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුන් මෙන් නොවවූ. ඔවුහු (ප්‍රතික්ෂේපකයින්) තමන්ගේ සහෝදරයින් දෙස බලා ඔවුන් මිහිතලයේ සැරි සරණ විට හෝ සටනට පිටවුවන් ව සිටින විට හෝ ‘ඔවුන් අප අතරම සිටියේ නම් ඔවුන් මරුමුවට පත්වන්නේ ද නැත. ඝාතනය කරනු ලබන්නේ ද නැතැ’යි පවසති. මෙය ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් කනස්සල්ලක් ඇති කරනු පිණිසය. ජීවය ලබා දෙන්නේත් මරණයට පත් කරවන්නේත් අල්ලාහ් ය. සැබැවින් ම නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව සුපරීක්ෂාකාරීය.” (අල් කුර්ආන් 3 : 156)

අගහිඟකම් පවතින  අවස්ථාවක සිඟා කන්නට හෝ බැගෑවෙන් අයදින්නට නොපෙලඹෙන පුද්ගලයා සම්පුර්ණ ස්වෛරිත්වයේ පළමු උදාහරණය වශයෙන් දක්වන්නට පුළුවන. සැබැවින් ම පුද්ගලයා තමන්ට නොමැති දේවල් සම්බන්ධයෙන් තණ්හාවට වහල් වන විට එය ඔහුගේ පෞරුෂයේ අති විශාල කඩාවැටීමක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ඊමානයේ (විශ්වාසයේ) පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වෙයි.

අනුන්ගේ ආපදාවන් හි විරිත්තමින් සතුටට පත්වන සමහරෙක් සිටිති. එවන් ආපදාවන් තමන්ට ම එල්ල වන විට මොවුන්ට රිදෙන්නට ගනියි. නොසැලකිලිමත් පුද්ගලයෙකුට මඟ වැරදුණු උණ්ඩයක් එල්ල වුණු කලෙක මෙනි. එහෙත් දුෂ්කර අවස්ථා වල පවා පිළිපැදීමට සුදුසු නිදසුන් වශයෙන් මේවා සැලකිල්ලට ගත යුතු නොවෙයි. සැබැවින් ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වේදනා මට්ටම මහත් සේ වෙනස් වෙයි. එහෙත් අවස්ථාවේ හැටියට හැඩ ගැසෙන විට ඔහුගේ වේදනාව සංසිඳෙන්නට පටන් ගනියි. එම නිසා පරිපුර්ණත්වය සොයන උදවිය ගෞරවාන්චිත ලෙස තම අගයයන් රැක ගෙන සන්සුන් ලෙස පසුවීම අවශ්‍ය වෙයි.

පිළිකාවෙන් පෙළෙන්නේක්ගේ කතාව ඩේල් කා(ර්)නගී ඉදිරිපත් කරයි. එම රෝගියාගේ මරණය සිදු වන කාලය ද ඔහුගේ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. අවසන් කටයුතු සඳහා ද සුදානම් වන මෙන් ඔවුන් රෝගියාගේ ඥාතීන්ට දන්වා තිබුණි. රෝගියා මේ බව දැන සිටියේය. අර්ල් පී. හානි (රෝගියා) අවසන් තීරණයකට එළැඹුණේය. ඔහු තමාට මෙසේ කියා ගත්තේය. “අර්ල් හානි මේ බලන්න. මරණය අත් දකිනවා හැර නුඹට ඉදිරියේදී කිසිම දෙයක් නොමැති නම් ඔබට ඉතිරි වී ඇති සොච්චම් කාලයෙන් උපරිම ප්‍රයෝජනය නෙළා ගන්න. මියැදෙන්නට පෙර ලෝකය පුරා ඇවිදින්නට ඔබට ඕනෑ වුණා නොවේද? ඉතින් කවදා හරි එය කරනවා නම් දැන් කරන්න.”

හේ සංචාරක බලපත්‍රයක් මිල දී ගත් අවස්ථාවේ ඔහුගේ වෛද්‍යවරු ඔහු ගැන මහත් සේ කනගාටුවට පත් වුහ. ඔහුගේ අදහස අනුව ක්‍රියා කරන්නේ නම් ඔහුට මුහුදේ ම මිහිදන් වීමට සිදු වනු ඇතැයි අනතුරු ඇඟවුහ. “නැහැ! එහෙම වෙන්නේ නැහැ”යි හානි පිළිතුරු දුන්නේය. “නෙබ්‍රස්කාවේ බ්‍රෝකන් බෝ නමැති මගේ ගමේ පිහිටා ඇති පවුලේ සුසාන භූමියේ ම මා මිහිදන් කරනු ලබන බව මම මාගේ ඥාතීන්ට කියා තිබෙනවා”.  මේ අනුව ඔමර් ඛයියාම්ගේ කවියක ජීවය කා වැදී හෙතෙම සිය ගමන පිටත් විය. ඔමර් ඛයියාම්ගේ කවිය මෙසේය.

“දුවිල්ලක් ලෙස අප ද, පල්ලම් බසින්නට පෙරාතුව දැන් ශේෂ වී ඇති කාලයෙන් නෙළමු ඵල උපරිමයෙන්. සුරා හිරි අනුකරණ ආදියෙන් තොරව අවසානයෙන් දුවිලි මත දුවිල්ලේ – දුවිල්ල යටයි නිදියන්නේ”.

මහත් සේ විනෝදයෙන් පසුවෙමින් ගමන ආරම්භ කළ හානී ටික කලකින් සිය බිරියට මෙසේ ලීවේය. “මම ටිකෙන් ටික ක්ෂාර කුඩු (alkaline) හා උදර බටය (stomach pump) නැවත් වීමි. සෑම වර්ගයේම කෑම අමුතුම දේශීය ආහාර වර්ග සහ ජීවිතයට හානිකරයැ’යි වෛද්‍යවරු පැවසු ආහාර වර්ග අනුභව කළෙමි. වසර ගණනාවක් නොලද තරමට මේ කාලය තුළ විනෝද වුයෙමි. ජීවිතයේ කවරදාකවටත් වඩා මට සනීපයක් දැනුණි. මම නැවත ව්‍යාපාරික කටයුතු වල නිරත වුයෙමි. එවක් පටන් කිසිම දාක අසනීපයක් නොවැලඳුනි”.

තමාගේ වේලාව ළං වූ බව මෙම පුද්ගලයා දැන සිටීය. එතෙකුදු හෙතෙම මරණයට බිය නොවීය. දුක්කරදර ජය ගැනීමෙහිලා මානසික විනෝදාස්වාදයන්ගෙන් බලපෑමක් සිදු වන බව අපි ප්‍රතික්ෂේප නොකරමු. එසේම ජීවිතයේ බොහෝ පළිබෝධයන් පරාජය කිරීම සඳහා මානසික ශක්තිය අවශ්‍ය බව ද ප්‍රතික්ෂේප නොකරමු. කෙසේ වෙතත් ජීවිතය අවසන් වීමට පෙරාතුව කෙනෙකුගේ සියලුම ආශාවන්ට ඉඩ හැරීම සම්බන්ධයෙන් ඛය්යාම්ගේ පද්‍යයන් පෙලඹවීමක් වශයෙන් යොදා ගනිමින් මරණය යථාර්ථයක් නොවන්නක් ලෙස විශ්වාස කිරීමෙහිලා පවතින බරපතළ වරද කෙරෙහි අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

පොදුවේ මෙම වැරදි වැටහීම ලොව පුරාම පවතින්නකි. එහෙත් සත්‍යය වනුයේ මිහිතලය මත වූ ජීවිතය යනු මරණින් පසු ඇති සදාකාලික ජීවිතයක පුර්ව අවධිය බව අප සැවොම අවබෝධ කර ගත යුතුය. සැබැවින් ම අපගේ වත්මන් ජීවිතය හුදෙක් ම විනෝදාස්වාදයක් සහ කෙළි සෙල්ලමක් පමණක් බව සැලකීම අවශ්‍ය වෙයි. අති උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

“මෙම ලෞකික ජීවිතය පුහු විනෝදයක් හා කෙළිදෙළක් මිස නැත. තවද සැබැවින් ම මතු ලොව නිවහන එයම (සැබෑ) ජීවිතය වන්නේ. (මේ පිළිබඳව) දැන සිටියාහු නම්! (අල් කුර්ආන් 29 : 64)

මරණය යනු ‘නොපැවැත්මෙහි ආරම්භය’ වශයෙන් බොහෝ දෙනෙකු විසින් පතුරුවනු ලබන මතය ද මායාවකි. යම් යම් පුද්ගලයින් මෙලෝ ජීවත් වීමේ ආශාව නැති කර ගෙන සිය දිවි නසා ගැනීමට පොලඹවන්නේ මෙම භෞතිකවාදී ආකල්පයයි. මොවුහු මෙම ආතතිය නිසාම පීඩාවට පත් වෙති. කාංසාවට ද පත් වෙති. මෙම හැඟීමෙන් මිදෙන්නට ඔවුන් ට මරණය හැර වෙන කුමක් තිබේද?

කලක් පුරාවට විඳ දරා ගත් භය භ්‍රාන්තිය හැර ඔවුන් තුරන් කර ගන්නට අදහස් කළ ප්‍රාණයෙහි ඒ සා වෙනසක් නොවූ බව දැන ගත්තා නම් යහපත නොවේද?  භය භ්‍රාන්තියෙන් තමන් ට නිදහස් විය හැකිය යන සත්‍යය සිහි නුවණින් දැන වටහා ගත්තා නම් හොඳ නොවේද? මරණින් මතු මනුෂ්‍ය ජීවිතයේ වෙනත් පැවැත්මක් තිබේ.

ස්වකීය මරණාසන්න මොහොත ළං  ළං ව තිබියදී අබු හමීද් අල් ගස්සාලි තුමා තමන්ට අලුත් වස්ත්‍ර සපයන මෙන් ඇතැම් හිතවතුන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන් වෙයි. “වස්ත්‍ර අවශ්‍ය කුමකටදැ”යි මිතුරෝ විමසුහ. “ඒවා ඇඳ පැලඳ රජතුමන් බැහැදැකීම සඳහා” යැයි පිළිතුරු ලැබුණි. අලුත් ඇඳුම් සපයන ලදී. ඒවා රැගෙන කාමරය තුළට පිවිසි ගස්සාලි තුමා ආපසු නොපැමිණියේය. ඒ ගැන විපරම් කර බලන්නට කාමරයට ඇතුළු වූ මිතුරන්ට දකින්නට ලැබුණේ එතුමා මියගොස් සිටි බවයි. මෘත දේහයේ හිස සමීපයේ පද්‍ය කිහිපයක් සහිත සටහනක් දක්නට විය. එය එතුමාගේ අදහසක් ද නැති ද කවරක් වුව ද මරණින් මතු ජීවිතය පිළිබඳ වඩාත් ආගමික වූ විවරණයක් එහි අඩංගු විය.

වරෙක භෞතිකවාදී ලේඛකයෙකුගේ ලිපියක් මවිසින් කියවා තිබේ. මානව වර්ගයාගේ සමස්ත අනාගතය ම නිෂ්ඵල අන්දමින් අවසන් වන බව උපකල්පනය කරමින් රැහැය්යෙකුගේ මරණය සිදු වන මොහොත ගැන හෙතෙම විස්තර කරයි. එනම් මිනිස් ජීවිතය ද  රැහැය්යාගේ මෙන් සියල්ල අමතක කොට නොපැවැත්මේ තත්ත්වය තුළ අවසන් වන බවයි. මරණයට ගොදුරු වන මිනිසා උඩින් යටින් පස සමඟින් සම්මිශ්‍රණය වන නිකම්ම නිකම් මළකඳකැ’යි කියවෙන ඔමර් ඛය්යාම්ගේ පද්‍යයන් සම්බන්ධයකින් තොර වූ පද සම්මිශ්‍රණයක් පමණි. එනයින් සිය ජීවිතය එවැන්නකැ’යි සලකා ජීවිතය ගොඩ නගන පුද්ගලයා සැබැවින්ම මායාවක් තුළ පසුවෙයි.

ජීවිතය උපරිමයෙන් ම බුක්ති විඳින්නට පුළුවන. ජීවිතය සපුරා අත් දකින්නට පුළුවන. ඒ වුවද මෙවන් රැවටිලිකාර මතවාදයන්ගෙන් මංමුළාවට පත් නොවිය යුතු වෙයි. අති උත්තරීතර අල්ලාහ්ගේ දීන් (පරිපුර්ණ ජීවන මඟ) පමණක් අපගේ මානසික හා දිව්‍ය ඥානයේ නිධානය බව පිළිගැනීම නිවැරදි මඟට ප්‍රවිෂ්ට වීමකි.

සත්‍යය නම් පොදුවේ ජනයා මරණය පිළිබඳ ව දරන විශ්වාසයයි. එනම් මරණය පැවැත්මේ සිට නොපැවැත්මට එළියෙන් අඳුරට හා සමාජ ඇසුරින් හුදෙකලා භාවයකට මාරු වීමකැයි විශ්වාස කිරීමයි. ඔහුගේ සන්ත්‍රාසය බියගුලුකම බලවත් කනස්සල්ල හා වෙනත් මනෝභාවයන් රාශියකට හෙතෙම යට වී සිටීමයි. සියලු ආශීර්වාදයන් සහිත මෙම ජීවිතය වනාහි සිත් ගන්නාසුළු මතකයන් බව ද දිනෙක සිල්වත් උදවිය හමු වී එකිනෙකා අමතා “එක්තරා කාලයක පවුලේ අයත් සමග එකතු වී අපි අල්ලාහ්ගේ දඬුවමට බිය වීමු. එනමුත් අල්ලාහ් අපට දයාබර වීය. අපා ගින්නෙන් අපව බේරා ගත්තේය. සැබැවින්ම ඔහුගෙන් අයැදීම අපගේ සිරිත වී ය. සැබැවින්ම පරම ත්‍යාගශීලීයා ඔහුය. පරම මෛත්‍රීදායකයා ඔහුය” (අල් කුර්ආන් 52 : 26 – 28) යනුවෙන් කියා ගන්නා බව මොවුහු දනිත් ද?

අදේවවාදීන් කතා කරන අන්දම මෙසේ සඳහන් ය.

“ඔවුහු එකිනෙකා දෙසට හැරී ප්‍රශ්න නගති. ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසයි. සැබැවින් ම මට (මිහිපිට) මිතුරෙකු සිටියේය. ‘ඔබ මරණින් මතු නැගිටවනු ලබනවා යැයි විශ්වාස කරන්නෙක් ද? අපි මියගොස් දුවිලි හා ඇටකටු බවට පත්වූවාට පසු (මිහිපිට) අපගේ ක්‍රියාවන් ට සම්මාන හෝ දඬුවම් හෝ ලබන්නට නැවත නැගිටවනු ලබන්නෙමු යැයි විශ්වාස කරන්නවුන්ගෙන් කෙනෙක් ද?’ (යැයි විමසුවේය). (එයට ඒ මිනිසා) ‘පල්ලැහා බලන්න’යි කියයි. එවිට පහත බැලූ ඔහුට තමා ගින්දර මැද සිටිනු දිස්විණි. ඔහු (මොහුට) ‘අල්ලාහ්ගේ නාමයෙන් ඔබ විනාශ වුයෙහියැ’ යි කියයි” (අල් කුර්ආන් 37 : 50 – 56).

එහෙයින් ජීවිතයේ සැබෑ අරුත අවබෝධ කර ගෙන ජීවත් වන්නට උත්සහ කරමු. තාවකාලික ජීවිතයට වඩා සදාකාලික ජීවිතය පිළිබඳ ව වැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන්න ට ඉදිරිපත් වෙමු. මෙම ජීවිතය පරීක්ෂණයක් බව අවබෝධ කර ගෙන ඉවසීම හා අධික නැමදුම හුරු පුරුදු කර ගනිමු.

Leave a Reply

Your email address will not be published.