ෂරියා නීතිය සහ ෂරියා නොවන නීතිය (Sharia law and non-sharia law)

ඉස්ලාමීය ‘ෂරියාව’ පිළිබඳව මුස්ලිම් නොවන ඇතැම් අයට ඇත්තේ වැරදි අවබෝදයකි. ඊට ප්‍රධාන හේතුව ශරියාව පිලිබඳ ඍජු අධ්‍යනයක් නොකර වෙනත් අයගේ මතයන් පිළිගැනීමයි. මේ නිසා ශරියාව ගැන කෙටි හැඳින්වීමක් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. ෂරියාව යනු නීතියකට වඩා ජිවන සැලැස්මක් යැයි කීම වඩාත් නිවැරදිය. ඇයිද යත් එමගින් මිනිසාගේ උපතේ සිට විපත දක්වා අනුගමනය කල යුතු කරුණු සියල්ලම අන්තර්ගත වන නිසාය.

ෂරියා නීතියේ කොටස් දෙකක් ඇත. ඒ අනුව එමගින් මිනිසා මිනිසාට කළ යුතු කාර්යයන් සහ මිනිසා දෙවියන්ට කලයුතු කාර්යයන් එහි අඩංගු වේ. එහෙත් ෂරියා නීතිවලින්  දඬුවම් නියම කොට ඇත්තේ මිනිසා මිනිසාට කරන වැරදි වලට පමණි. ෂරියා නිතිය මගින් මිනිසා දෙවියන්ට කරන වැරදි සඳහා දඬුවමක් නියම කොට නැත. එනම් සලාතය, zසකාත් බද්ද, උපවාසය හෝ හජ් වන්දනය ඉටු නොකර සිටීම වෙනුවෙන් මෙලොවදී දඬුවම් නියම වන්නේ නැත. එහෙත් ඒවා නොකර සිටීමෙන් ජිවිතයේ යම් යම් ඵල විපාක ඇති වන්නේය. කෙසේ වෙතත් එම වැරදි විනිශ්චය කරනු ලබන්නේ මරණයෙන් පසුවය.

ෂරියා නීති මගින් මිනිසාගේ යහ පැවැත්මට අවශ්‍ය නීති සකසා ඇතත් ඒවා ගැන නිවැරදි තතු නොදන්නා බොහෝ අය සිතන්නේ එම නීති ම්ලේජ්ජ බවයි. එහෙත් එම නීති වල අරමුණ මිනිසාට නිසි දඬුවමක් ලබා දීමෙන් සෙසු ජනතාවට සහන සලසා දීම වේ. එහි ඇති බොහෝ නීති අල්-කුරානය පහළ වීමට පෙර ද ක්‍රියාත්මක වූ ඒවාය. ඒ අනුව බයිබලයේ සහ යුදෙව් අගමේද ෂරියා නීතිවලට සමාන නීති දැකිය හැකිය.

ෂරියා නොවන නිතිය අනුව බැංකු මංකොල්ලයකට හෝ ගෙවල් බිඳ සිදුකරනු ලබන මහා පරිමාණයේ සොරකමකට නියම කරනු ලබන්නේ දඩයක් හෝ සිර දඬුවමක් නැතහොත් ඒ දෙකමය. එහෙත් එවැනි දඬුවමකින් සොරුන්ගේ අඩුවක් වන්නේ නැත. මේ නිසා වැරදි සම්පුර්ණයෙන්ම නැති කිරීමට හෝ අවම කිරීමට ෂරියා නිතිය ඉතා සුදුසු එකක් බව කිව යුතුය. කෙසේවෙතත් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්නේ වරදේ ස්වභාවය සහ සොරකමේ වටිනාකම අනුවය.

මිනිස් ඝාතන සඳහා ෂරියා නීතියේ මෙන්ම ෂරියා නොවන නීතියේ මරණීය දඬුවම නියම කරනු ලබේ. එහෙත් එවැනි අවස්ථාවකදී ෂරියා නිතිය අනුව අගතියට පත් පාර්ශවය එකගවූ විට වරදකරුට වන්දියක් ගෙවා නිදහස ලබා ගැනීමට ඉඩ සලසා ඇත. නැතහොත් අගතියට පත් පාර්ශවයෙන් සමාව ඉල්ලා සිටිය හැකිය. එම අවස්ථා දෙකම අසාර්ථක වුයේ නම් පමණක් ෂරියා නිතිය අනුව ඝාතකයාට මරණ දඬුවම නියම කරනු ලැබේ. එහෙත් මෙවැනි අවස්ථාවක් ෂරියා නොවන නීතිය තුල දක්නට ලැබෙන්නේ නැත. ඉහත සඳහන් කළ පරිදි ෂරියා නීතියෙන් මිනිස් ඝාතකයෙකුට සමාව ලැබීමෙන් ඔහුගේ ජීවිතය නිවැරදි කරගෙන ජිවත් වීමට අවස්ථාවක් උදා වන්නේය. එහෙත් ෂරියා නොවන නීතියෙන් එවැනි අවස්ථාවකට ඉඩ ලැබෙන්නේ නැත.

ෂරියා නීතියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මිනිස් ඝාතකයෙකුව ජීවිතාන්තය දක්වා සිර ගත නොකිරීමය. එසේ කිරීමෙන් වරදකරුවන් මරණය දක්වාම මානසිකව පිඩා විඳිනු ඇත. තවද මිනිස්ඝාතකයෙකුව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමෙන් සිදුවන්නේ මරණය දක්වාම ඔහුව මහජන මුදලින් නඩත්තු කිරීමටය. එපමනක් නොව එසේ කිරීමෙන් අලුතින් සිරගත වන අයට ඊට පෙර සිරගත වූ අයගෙන් තවත් භයානක වැරදි කිරීමට ඉගෙන ගැනීමට අවස්ථාව උදාවන්නේය.

ෂරියා නොවන නීතිය තුල කාමය වරදවා හැසිරීම වෙනුවෙන් දැඩි දඬුවම් නියම කොට නැත. එම නිසා එවැනි වැරදි කරන අයගේ වැඩිවීමක් සිදු වන්නේය. ඇතැම් අවස්ථාවලදී එම වැරදි නිසා අහිංසක මිනිසුන්ගේ පවුල් කඩාකප්පල් වන අවස්ථාද මිනි මැරුම් සිදුවන අවස්ථාද ඇත. එබැවින් ෂරියා නීතියෙන් කාමය වරදවා හැසිරීම විශාල වරදක් ලෙස සලකනු ලැබේ. එම වරදට විවාහ වූ කෙනෙක් නම් මරණ දඬුවම නියම කළ යුතු අතර අවිවාහක කෙනෙකු නම් කස පහරවල් 100 ලබා දීමට නියම කොට ඇත. කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තිබිය යුතු කොන්දේසි දෙස බැලීමේදී බොහෝ විට එම නීති ක්‍රියාත්මක කළ හැක්කේ වැරදි කළ අය ස්වෙජ්ජාවෙන්ම වරද පිළිගන්නේ නම් පමණි.

නබිතුමාගේ කාලයේදී මෙවැනි වැරදි සිදු කල කාන්තාවක් ස්වෙච්ඦාවෙන්ම පැමිණ ඇයට දඬුවම නියම කරන මෙන් නබිතුමාගෙන් ඉල්ලා සිට ඇත. ඇය සිව් වතාවක්ම එම ඉල්ලීම සිදු කිරීම නිසා නබිතුමා ඇයට පවසා ඇත්තේ තමන් පිළිසිඳගත් දරුවා ප්‍රසුත කල පසු පැමිණෙන ලෙසය. ඇය දරුවා ප්‍රසුත කල පසු පැමිණියත් ඇය වෙනුවෙන් දඬුවම ක්‍රියාත්මක නොකළ අතර දරුවට කිරි දී අවසන් වූ පසු පැමිණෙන ලෙස නියෝග දී ඇත. ඇයද ඒ අනුව එම ළමයා ඝන ආහාර ගන්නා අවස්ථාවට වැඩුණු පසු නැවත පැමිණ ඇයට නියමිත දඬුවම ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව අයට එම දඬුවම නියම කොට ඇත. මෙහිදී අපි දකින විශේෂතයක් වන්නේ නබිතුමාගේ මුළු ජිවිත කාලයටම එවැනි දඬුවම් එකක් හෝ දෙකකට සිමා වූ බවයි. මින් පෙනෙන්නේ ෂරියා නිතිය නිසා මිනිසා ඉබේම වැරදි කිරීමෙන් වැලකි සිටින බව නොවේද? මේ නිසා සමාජයට කොතරම් නිදහසක් ලැබෙනවාදැයි අමුතුවෙන් කිව යුතු නැත.

ෂරියා නොවන නීති ක්‍රියාත්මක වන්නේ මජනතවට දැකගත හැකි අයුරින් නොවේ. එබැවින් එම දඬුවම් ක්‍රියාත්මක කිරීම නිසා ජනතාවට ආදර්ශයක් ලැබෙන්නේ නැත. එහෙත් ෂරියා නීතියේ ඇති විශේෂත්වය වන්නේ එම නීතියෙන් පනවනු ලබන දඬුවම් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීමය. ඒ අනුව ෂරියා නීති ක්‍රියාත්මක කරන රටවල්වල වැරදි කරන අයගේ පැහැදිලි අඩුවක් දැකිය හැකි වන්නේය.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.