ඉස්ලාම් දහම සහ පවුල් ජීවිතය (Islam and familiy life)

පවුල් ජීවිතය මිනිසාට පැවරී ඇති ඉතා භාරදුර වගකීමකි. මේ නිසාම මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී ඒ ගැන ප්‍රශ්න කරනු ලබන බව නබිතුමා පවසා ඇත. මේ අනුව දරුවන්ට නිසි මගපෙන්වීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමක් වන්නේය. පවුල් ජිවිතයේ ප්‍රධාන අරමුණ යහපත් දරුවන් සමාජයට දායක කර දීම වේ. ඒ අනුව මනා හැදියාවක් ඇති දරුවෙකු බිහි කිරීම සඳහා විවාහ වන දෙදෙනාට හොඳ ආගමික අධ්‍යාපනයක් තිබීම ඉතා වැදගත්ය. එසේ වූ විට ඔවුන්ට ලැබෙන දරුවන්ට නිසි මග පෙන්වීම දෙමව්පියන්ට පහසුවෙන් කළ හැකි වන්නේය.පාසල් අධාපනය ලබා දීමට පෙර ළමුන්ට ප්‍රථමික අධාපනය ලබා දිය යුත්තේ නිවසේදීය. මේ නිසා දෙමව්පියන්ට ආගම පිලිබඳ මනා දැනුමක් තිබීම ඉතා වැදගත්ය. තවද නිවසේදී දෙමව්පියන්ගේ හැසිරීමද ප්‍රධාන වශයෙන් දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්නේය. එබැවින් සෑම මුස්ලිම්වරයෙකුම දහම ගැන හොඳහැටි දැනගෙන ඒ අනුව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එය දහමේ අවශ්‍යතාවක්ද වේ. මේ නිසා ලෞකික අධ්‍යාපනය මෙන්ම ආගමික අධ්‍යාපනය හැදෑරීම මුස්ලිම් වරුන්ට අනිවාර්ය කරගත යුතුය.

නිවස තුලදී දරුවන්ට දෙන උපදෙස් වලට වඩා දෙමව්පිය වැඩිහිටියන්ගෙන් ලැබෙන මග පෙන්වීම ඉතා වැදගත් ය. ළමා උපදේශයකවරුන් පවසන අන්දමට ළමයින්ගේ මුලික අධාපනය ලබාගන්නේ ඔවුන් දකින දේවල් වලින්ය. එබැවින් ඔවුන් ඉදිරියේ වැඩිහිටියන්ගේ හැසිරීම සහ කථා විලාශය ඉතා හොඳින් හැසිරවිය යුතු වන්නේය. ඇයිද යත් ළමයින් ඒවා ඉතා වේගයෙන් අනුකරණය කරන නිසාය.

අවාසනාවකට මෙන් නුතන සමාජයේ බොහෝ අය විවාහ වී කෙටි කාලයක් තුලදී දික්කසාද වීමේ ප්‍රවනතාවක් දක්නට ඇත. මෙයින් සිදුවන පාඩුව දෙමව්පියන්ට වඩා ඔවුන්ට ලැබෙන දරුවන්ට බව හොඳින් තේරුම් ගත යුතුව තිබේ. එබැවින් නිසි වයසට පත් වූ පසු තමන්ට ගැලපෙන විවාහයක් සිදු කර ගැනීම ඉතා වැදගත් වේ. දෙමව්පියන්ද නිසි වයසට පෙර තම දරුවන් විවාහ කර දීමෙන් වැලකි සිටීම ඉතා වැදගත්ය. ඇයිද යත් නවීන සමාජයේ පවුලක් නඩත්තු කිරීම සඳහා විශාල කැපකිරීමක් අවශ්‍ය නිසාය.

මා සිදුකළ අධ්‍යයනයකට අනුව විවාහයේ ගැටළු ඇති වීමට බලපාන ප්‍රධාන කරුණු සමහරක් පහත දැක්වේ.

  • විවාහක යුවල අතර අන්‍යෝන්‍ය අවබෝදයක් නොමැති වීම
  • දහම ගැන කිසිම තැකීමක් නොමැති වීම
  • විවාහ වී කෙටිකාලයකදී ස්වාමියා හෝ භාර්යාව විදේශ රැකියාවකට යාම
  • විවාහයෙන් පිට අනියම් සම්බන්දතාවයන් පවත්වා ගැනීම
  • විවාහ වූ පසු පවුලේ නඩත්තු නොදී සිටීම
  • භාර්යාව විසින් ස්වාමියාගේ ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු නොකර සිටීම
  • පවුල් ජිවිතයට තුන්වන පාර්ශවයේ මැදිහත් වීම (විශේෂයෙන්ම මනාලයාගේ හෝ මනාලියගේ මව)

ඉහත සිදුවීම් වලට ප්‍රධාන වශයෙන් පලපාන හේතුන් වන්නේ ඔවුන්ට දහම ගැන නිසි අධ්‍යාපනයක් නොමැති වීම සහ දහම අනුව ජිවත් නොවීම බව පැහැදිලිවම දක්නට ලැබුණු කරුණකි. මොවුන් කරන වැරදි දහමට සම්බන්ද නොවුනත් ඉන් ලැබෙන නරක නාමය ලැබෙන්නේ දහමට බව ඔවුන් තේරුම් ගත යුතුය.

බොහෝ විට දික්කසාද වීමට පැමිණෙන අය අවසාන තීරණයක් සමග පැමිණෙන බැවින් ඒවා සමතයකට පත් කිරීම පහසු කාර්යයක් වන්නේ නැත. මේ හේතුවෙන් අප කළ යුත්තේ ඒවා ඇති නොවීමට කටයුතු කිරීම පමණි.

මුස්ලිම්වරයෙකුගේ ජීවිතය සාර්ථක වීමට පාස්වෙලා සලාතය අනිවාර්යයෙන් ඉටුකළ යුතු වන්නේය. මෙය නොමැති බොහෝ පවුල්වල ආර්ථික ප්‍රශ්න තිබෙන බව මා හොඳින් දැක ඇත්තෙමි. එවැනි අය සතියේ දවස් හතම හම්බ කළත් එය වියදමට ප්‍රමාණවත් වන්නේ නැත. එබැවින් නිතරම පවුල් ප්‍රශ්න ගැන ඔවුන් පවසනු දැක ඇත. තවද දෙමව්පියන් සලාතය ඉටු නොකරන බොහෝ නිවෙස්වල දරුවන්ද සලාතය ඉටු කරන්නේ නැත. මේ නිසා ඔවුන්ගෙන් වැරදි දෙකක්ම සිදු වන්නේය. මෙවැනි දෙමව්පියන්ගේ දරුවන් සමාජයට ද බරක් විය හැකිය.  මේ නිසා යහපත් දරුවන් බලාපොරොත්තු වන දෙමව්පියන් මුලින් කළ යුත්තේ තමන් නිවැරදි දහම තුල ජිවත් වෙමින් දරුවන්ට අලංකාර ආදර්ශයක් ලබා දීමය.

ඇතැම්විට දෙමව්පියන් ආදර්ශවත් දිවියක් ගත කළත් දරුවන් වැරදි කරන අවස්ථා ඇත. බොහෝ විට මේ සඳහා බලපාන්නේ නරක මිතුරන්ය. දරුවන් විසින් දෙමව්පියන්ගේ වචනය ඉවත දැමිය හැක්කේ ඔවුන් දෙවියන්ට එරෙහි දෙයක් කිරීමට අණ කලේ නම් පමණි. අනෙක් සෑම විටම දෙමව්පියන්ට කීකරු වීම දරුවන්ගේ වගකීමකි. එහෙත් කිසිම විටක දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට වැඳුම් පිදුම් කළ නොහැකිය.

“දෙමාපියන්ට හොඳ කරනමෙන් සහ කීකරුවන මෙන් අපි මිනිසාට නියමකර ඇත්තෙමු. එහෙත් ඔවුන් ඔබට දැනුම නොමැති දෙයක් මා සමග (සමාන කිරීමට) උත්සාහ කරන්නේනම් ඔවුන්ට අවනත නොවනු” (Q 29:8).

කෙසේවෙතත් දරුවන් විසින් දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට ගරු කළ යුතුය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පවසා ඇත.

“මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව!, තවද මාගේ දු දරුවෝ යහපත් දරුවන් කරනු මැනව!” (Q 46:15).

තවද දෙමව්පියන් විෂයයෙහි නබිවදනක් මෙලෙස දැකිය හැකිය.

“අබුහුරෛරා රලි තුමා පවසන වගනම්: “ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා! ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා!” එවිට සහාබාවරු ඔවුන් කව්රුන්දැය නබිතුමාගෙන් ඇසුවේය. එවිට නබිතුමා, ඔවුන් තම දෙමව්පියන් දෙදෙනාම හෝ ඉන් එක්කෙනෙකු මහලු වියට පත් වූ පසු ඔවුන් ට උපකාර කිරීමෙන් ස්වර්ගය ට නොයන තැනැත්තා යනුවෙන් පවසා සිටියේය”(මුස්ලිම් 6189).

අල්-කුරානයේ දෙමාපියන් ගැන මෙසේ ද සඳහන් කර ඇත.

“ඔබගේ දෙවියන් ඔහුට පමණක් නමදින ලෙස ඔබට නියම කර ඇත. තවද ඔබ ඔබගේ  දෙමව්පියන්ට  කෘතඥවිය යුතුය. ඔවුන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ඔබගේ ජිවිත කාලය තුල දී මහලු වියට පත් වූයේනම් ඔවුන්ට අගව්රවවන ආකාරයේ කිසිම වචනයක් නොකියනු. ඔවුන්වෙත බැන නොවදිනු, ඔවුන්ට ගෞරවයෙන් ආමන්ත්‍රණ කරනු. ඔවුන්හට යටහත් පහත්ව නිහතමානීව කරුණාව දක්වනු. තවද පවසනු: මාගේ දෙවියනි, මා කුඩාකල සිට හදාවඩාගත් ඔවූන් වෙනුවෙන් ඔබගේ කරුණාව දක්වනු මැනව, ” (Q 17:23-24).

ඉහත දැක්වූ දරුණු අනුව දෙමව්පියන්ගෙන් දරුවන්ට මෙන්ම දරුවන්ගෙන් දෙමව්පියන්ට කළ යුතු යුතු කම් රාශියක් දැකිය හැකිය.

By Fasy Ajward.
B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

One comment

Leave a Reply

Your email address will not be published.