ඔබ කාලයට නිසි වටිනාකමක් ලබා දී තිබෙනවාද? (Have you given real value to your time?)

කාලය මිනිස් ජිවිතයේ මිලකළ නොහැකි සම්පතකි. එය අපතේහැරීම විශාල පාඩුවක් බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ මරණය ලඟා වූ පසුවය. එහෙත් මරණය ලඟා වූ පසු කිසිවෙකුට නැතිවී ගිය කාලය කිසිම අන්දමකින් නැවත ලබාගත හැකි වන්නේ නැත. මිනිසාගේ මරණයෙන් පසු ජීවිතය සම්පුර්ණයෙන්ම තීරණය වන්නේ ජිවිතය ගත කළ ආකාරය අනුවය. 
 මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා පවසන අන්දමට මෙලොව උපදින සෑම කෙනෙකුගේම ජීවන කාලය කොපමණදැයි උපදින අවස්ථාවේදීම තීරණය කොට හමාරය. කිසිවෙකුට එය වෙනස්කල නොහැකිය. එබැවින් බුද්ධිමතුන් කාලය මනා ලෙස කළමනාකරණය කර තම ජිවිතයේ අභිමතාර්ථය ජය ගනු ඇත. එහෙත් එහි වටිනාකම නොදත් අය මැරෙන තුරු කෙලි සෙල්ලමේ කාලය ගතකරමින් සිට ඔවුන්ගේ මරණයෙන් පසු පසු තැවිලි වනු නොඅනුමානය.
අල්-කුරානය මගින් කාලය මත දිවුරා තිබීමෙන් කාලයේ වටිනාකම මැනවින් දැනගත හැකි වන්නේය. එම කුර්ආන් පාඨය මෙසේය.

“කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය” (කුරානය 103).

මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා ඔහුගේ අනුගාමිකයින්ට පවසා ඇති උපදේශයකින් කාලයේ වටිනාකම තවත් හොඳින් තේරුම් ගත හැකි වන්නේය.
 “විනිශ්චය දිනයේදී අසනු ලබන ප්‍රශ්න හතරකට පිළිතරු දෙන තුරු සෑම කෙනෙකුවම එම ස්ථානයේ නවතා තබනු ඇත. ඒවා කවරේද යත්, මිනිසාගේ ජීවිතය සහ එය කුමන අන්දමකින් ගතකළේද, ඔහුගේ තරුණ කාලය සහ එය ගත කළේ කෙසේද, ඔහු වස්තුව හම්බ කළේ කෙසේද එය වැය කළේ කෙසේද, ඔහුගේ දැනුම සහ එම දැනුමෙන් කුමක් කලේද යන කරුණුය” 
ඉහත පෙන්වා දුන් කරුණු හොඳින් තේරුම් ගන්නේ නම් තමන්ගේ වටිනා කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනු නො අනුමානය. එවිට තමන්ට වැඩියෙන් ප්‍රයෝජනවත් වන දේවල් වෙනුවෙන් වැඩි වේලාවක් ද තමන්ට පාඩුවක් විය හැකි දේවල් වලින්වැලකි සිටීමටද ක්‍රියා කරනු ඇත.
 නුතන සමාජන තමන්ගේ ජිවිතයෙන් විශාල කාලයක් ගත ක‍රන්නේ මුහුණු පොතේ වීම ඉතා කනගාටුදායක තත්වයකි. සැබවින්ම ‘මුහුණු පොත’ නුතන මිනිසාගේ කාලය සොරා ගන්නා මෙවලමක් වී ඇත. ඇතැමුන් නින්දට යන්නේද මධ්‍යම රාත්‍රියත් පසුවය. ඉන් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයට හානිදායක විය හැකිය. මේ නිසා බොහෝ අයට නිසි අධ්‍යාපනයක් ලැබීමටද තිබෙන මග ඇහිරී යන්නේය. කෙසේ වෙතත් තම ආගමික කටයුතු, අධ්‍යාපනය මෙන්ම අනෙක් වැදගත් දේවල් සඳහා සීමාවන් ඇති කරගන්නේ නම් ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත.
By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.