විද්‍යාව සහ ඉස්ලාම් දහම (Science and Islam)

විද්‍යාව සහ දහම යනු එකිනෙකට වෙනස්වූ අංශයන් දෙකකි. ශුද්ධ විද්‍යාවේ අරමුණ භෞතික දේවල් ගැන අධ්‍යයනය කිරීම වන අතර දහමින් කරනු ලබන්නේ මිනිස් ජිවිතයේ පරමාර්ථය පෙන්වා දීමය. විද්‍යාව පදනම් වන්නේ පර්යේෂණ සහ නිරීක්ෂණ මත නිසා එහි ප්‍රථිපල කාලයත් සමග වෙනස් විය හැකිය. තවද විද්‍යාත්මක වාදයන් අලුත් සොයාගැනීම් හමුවේ ප්‍රතික්ෂේප වීමද අපි දකින්නෙමු. එසේ තිබියදී වෙනසකට බඳුන් නොවූ නිවැරදි දහමක් කිසිසේත්ම කාලයත් සමග වෙනස් වන්නේ නැත. ඒ අනුව දෙවියන් පහළ කළ නිවැරදි දහමක් ලෝකය පවතින තුරු පරම සත්‍යය ලෙසම පවතිනු ඇත. කෙසේවෙතත් මිනිසා විසින් වෙනස් කළ දහමක හෝ මිනිසා විසින් ඇතිකළ දහමක මෙම් ලක්ෂණය දැකිය හැකි වන්නේ නැත. 
ලෝකයේ බොහෝ ආගම් ඇතත් අල්-කුරානයේ විශේෂත්වය වන්නේ එය ඉතා හොඳින් සංරක්ෂණය කොට තිබීමයි. එසේම එහි ඇති බොහෝ විද්‍යාත්මක සංකල්ප නවීන විද්‍යා සොයා ගැනීම් හමුවේ සනාථ වීමෙන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි. දහමක සත්‍යතාව තහවුරු කිරීම සඳහා ගවේෂණය කරන ලෙස අරාධානා කොට ඇති එකම ආගමික ග්‍රන්ථය අල්-කුරානය වේ.

අල්-කුරානය පහළ වූ හත්වන සිය වසේදී විද්‍යාව දියුණු තත්වයක නොතිබුණු අතර විද්‍යාත්මක ගවේෂණය කිරීම සඳහා එවකට ප්‍රබලව තිබුණු කිතුනු දහමින් අවසරදී තිබුනේ නැත. මේ නිසා කිතුනු දහම මගින් අලුත් අදහස් ඉදිරිපත් කළ බොහෝ දාර්ශනිකයින් ඝාතනය කොට තිබේ. එසේ තිබියදී අද අපි දන්නා ‘විද්‍යාත්මක ක්‍රමය’ සඳහා අත්තිවාරම දමා ඇත්තේ ඉබ්නු අල්-හෛතම්, අල්-බෛරුනි වැනි අය මෙන්ම තවත් බොහෝ මුස්ලිම් විද්‍යාඥයින් විසින් බව ඉතිහාසය හැදෑරීමෙන් පෙනී යන්නේය. මේ අනුව විද්‍යාවේ දියුණුවට මුස්ලිම් විද්‍යාඥයින් කළ සේවය සුළු පටු නොවේ. ඔවුන්ගෙන් සමහරුන්ගේ නම් පහත දැක්වේ.

  • අබු නසර් අල්-ෆාරබි (872-950)
  • අල්-බතනි (858-929)
  • ඉබ්නු සිනා (980-1037)
  • මුහම්මද් ඉබ්නු මුසා අල්-කවාරිසිමි (780-850)
  • ඉබ්නු රුෂ්ද් (1126-1198)
  • ඔමර් කයියාම් (1048-1131)
  • ඉබ්නු බතුතා (1304-1369)

මුස්ලිම්වරුන් අධ්‍යාපනය සඳහා විශාල ආරම්භයක් ලබා දී ඇති බව නොරහසකි. ලෝකයේ මුල්ම විශ්වවිද්‍යාලය පිහිටුවා ඇත්තේද මුස්ලිම් වරුන් වීමෙන් ඒ බව පැහැදිලි වන්නේය (http://muslimgirl.com/6554/the-person-who-founded-the-first-ever-university-was-a-muslim woman/) කෙසේවෙතත් ඉස්ලාම් දහමේ ප්‍රධාන පරමාර්ථය ලෝකයාට විද්‍යාව ඉගැන්වීම හෝ ලෞකික ජීවිතය ජය ගැනීම පමණක් නොවේ. එහි ප්‍රධාන අරමුණ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීම වේ. මේ නිසා අල්-කුරානයේ ඇති වදන්වලින් දහසකට ආසන්න වැකි පමණක් විද්‍යාව හා සම්බන්ද ඒවා වන අතර සෙසු වැකි වෙනත් විවිධ විෂයයන් සම්බන්ද ඒවාය.

අල්-කුරානයේ විද්‍යාවට සම්බන්ද වැකි  වල ඇති විශේෂත්වය වන්නේ ඒවා හැදෑරීමෙන් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව සනාථ කරගැනීමට හැකි වීමය. නවීන විද්‍යාවවේ සොයා ගැනීම් වලින් කුරානයේ ඇති විද්‍යාත්මක සංකල්ප 100% සනාථ වීමෙන් පැහැදිලි වන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි. එසේ නොවන්නට විද්‍යාව නොදියුණු හත්වන සියවසේ පහළ වූ අල්-කුරානයේ ඇති විද්‍යාත්මක සංසිද්දීන් වැඩිහරියක් වැරදි බව තහවුරු වීමට ඉඩ තිබිණ.

විද්‍යාව කොතරම් දියුණු වුවත් ඔවුන්ට ඔප්පු කළ නොහැකි ඇතැම් දේවල් විස්තර කිරීම සඳහා වාදයන් ඉදිරිපත් කරන අතර දහමින් එවැන්නක් සිදු වන්නේ නැත. උදාහරණයක් වශයෙන් විශ්වයේ ආරම්භය ගැන විද්‍යාඥයින් විසින් අඩුපාඩු සහිත වාදයන් ඉදිරිපත් කොට ඇතත් දහමින් පෙන්වා දෙන්නේ විශ්වයේ ආරම්භය දෙවියන්ගේ මැවීමක් බවයි. මෙම ප්‍රකාශන දෙකින් වඩාත් විශ්වාසනීය වන්නේ දහමින් පවසන ලද කරුණ බව කුරානය හැදෑරීමෙන් තේරුම් ගත හැකිය.

විද්‍යාව සහ දහම සැසඳීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ දහමේ වපසරය විද්‍යාවේ වපසරයට වඩා විශාල බවයි. විද්‍යාවෙන් හැදෑරිය හැකි දේවල් යම් යම් සීමාවන්ට යටත් වන අතර දහම එසේ වන්නේ නැත. එබැවින් දහමින් මිනිසාගේ මරණයෙන් පසු ජීවිතය ගැන පැහැදිලි කොට ඇත. නිවැරදි දහමක් පිළිපැදීම මිනිසාගේ ගැලවුමට හේතුවක් වන්නේය. මෙම කරුණ නිවැරදිව තේරුම් නොගෙන විද්‍යාව නිසා දහමින් ඈත් වීමෙන් සිදු වන පාඩුව කියා නිම කළ නොහැකි එකක් වනු නො අනුමානය.

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.