ඉස්ලාම් (Islam)

ඉස්ලාම් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. එය ආදම් තුමා පටන් කොටස් වශයෙන් පහළ වූ අතර මුහම්මද් නබි තුමා හට පහළ වූ අල්-කුරානය මගින් එය සම්පුර්ණ විය. අල්-කුරානය පහල වූ පසු අළුත් දහමක් දෙසීම සඳහා තවත් නබිවරයෙකු පැමිණෙන්නේ නැත. එබැවින් අල්-කුරානය ලෝකය අවසානය දක්වා නොවෙනස්ව පවතිනු ඇත. 
අල්-කුරානයට අනුව අල්ලාහ් අනුමත කළ එකම දහම ඉස්ලාම් ය. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබිතුමා දක්වා නබිවරුන් සිය දහසකට වඩා පැමිණ දේශනා කොට ඇත. අවසාන වශයෙන් පහළ වූ අල්-කුරානය එක් ජන කොට්ටාසයකට හෝ එක් භූගෝලීය ප්‍රදේශයකට සිමා වන්නේ නැත.

නිවැරදි දහමක් ඇදහීම මිනිසාට පැවරෙන අනිවාර්ය කරුණකි. එබැවින් වැඩිවියට පත්වූ පසු ගවේෂණය කිරීමෙන් නිවැරදි දහම කුමක්දැයි සොයා දැනගැනීම මිනිසාට පැවරෙන විශාල වගකීමකි. මේ අනුව කෙනෙක් මුස්ලිම් පවුලක ඉපදීම නිසා හෝ වෙනත් පවුලක ඉපදීම නිසා එම වගකීමෙන් නිදහස් වන්නේ නැත. නිවැරදි දහමක තිබිය යුතු නිර්ණායකයන් දැනගෙන නිවැරදි දහම කුමක්දැයි සොයාගත් පසු එය පිළිපැදීම අනිවාර්ය වේ.
අල්-කුරානය අද තිබෙන දහම් අතුරින් නිවැරදි දහමක තිබිය යුතු නිර්ණායකයන් සම්පුර්ණ කරන්නේය. එම දහම මගින් සම්පුර්ණ ජිවන ක්‍රමයක් උගන්වා ඇත. ඒ අනුව එම දහමින් නැමදීමේ කරුණුවලට අමතරව වෙළඳාම, විවාහය, නිතිය, දේශපාලනය යන කරුණු ඇතුලත් වන අතර ඒවා පිළිපැදීම දහම ලෙස සලකනු ලබන්නේය.

සෑම මුස්ලිම්වරයෙකුම දෙවියන් ඉදිරියේ එක සමානය. ඒ අනුව ඉස්ලාම් දහමේ උස්පහත් බේදයක් හෝ වර්ණ බේදයක් හෝ කුල බේදයක් නොමැත. එහෙත් දෙවියන්ට වඩාත් සමීප විය හැක්කේ නියම අයුරින් දහම පිළිපැදීම තුලින් පමණි.

ඉස්ලාම් දහමේ ඇති වැඳුම් පිදුම් සියල්ල අල්ලාහ්ට පමණක් කළ යුතුය. අල්ලාහ්ට වෙන කිසිවෙකු සමාන කළ නොහැකිය. ඔහුගෙන්ම මිස වෙන කිසිවෙකුගේ උදව් උපකාර පැතීම වරදකි. ඒ අනුව මිනිසා විසින් නිර්මාණය කළ දේව රුප වලින් උදව් පැතීම බලවත් වරදක් වන්නේය. මෙහි නිවැරදි අරුත තේරුම් ගැනීම සෑම කෙනෙකුගේම වගකීමකි.

මුස්ස්ලිවරුන් දෙවියන් වෙනුවෙන් කළ යුතු නැමදුම් වලින් මිනිසාගේ එකමුතුකම සංකේතවත් වන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන් දිනපතා ඉටුකරන සලාතය, උපවාසය, zසකාත් සහ හජ් වන්දනය මගින් එය දැකිය හැකිය. මේවා හැරුණු විට සෑම මුස්ලිම්වරයෙකුම මිය ගිය පසු මිහිදන් කරනු ලබන්නේද එකම ක්‍රමය අනුගමනය කිරීමෙනි. එහිදී රජෙකුටත් දුගියෙකුටත් එකම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.

ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා නබිවරුන් සිය දහසකට වඩා පත්කරනු ලැබ ඇත. ඒ සෑම නබිවරයෙකුම දේශනා කළේ අල්ලාහ් දෙවියන් ගැන පමණි. එහෙත් නබිවරුන්ගේ අභාවයෙන් පසු මිනිසා විසින් දහම වෙනස් කිරීමේ ප්‍රතිපලයක් ලෙස එම දහම්වල ඉගැන්වීම වෙනස් වීමට හේතු වී තිබේ. තවද මුහම්මද් නබිතුමාගෙන් පසු වෙනත් නබිවරු පහළ නොවන බැවින් ලෝකය අවසාන වන තුරු එතුමාගේ දහම් පණිවිඩය පිලිපැදීම මිනිසාට පැවරෙන වගකීමකි.

ඉස්ලාම් දහමේ මුලික විශ්වාසයන් හයක් ඇත. ඒවා පහත දැක්වේ.

  1. නැමදීම සඳහා අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බවත් මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දැරීම
  2. දෙවදුතයින් ගැන විශ්වාස කිරීම.
  3. අල්ලාහ් විසින් පහල කල ආගම් විශ්වාස කිරීම
  4. මුහම්මද් නබිතුමාට පෙර පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම
  5.  මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනය විශ්වාස කිරීම
  6.  හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම

මේ හැරුණු විට මුස්ලිම්වරයෙකු ඉටුකළ යුතු කරුණු පහක් ඇත. ඒවා පහත සඳහන් වේ.

  1. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ වක්තෘවරයා බවත් සිතින් විශ්වාසකොට මුවින් ප්‍රකාශ කිරීම
  2. දිනකට පස් වතාවක් සලාත්ය ඉටු කිරීම
  3. ධනවතුන් විසින් සකාත් බද්ද ඉටු කිරීම
  4. සුදුසුකම් සපුරන අය විසින් සෑම වසරකම රමළාන් මාසයේ පුරා මාසයක් උපවාස කිරීම (කුඩා ළමුන් වයෝවෘධ අය සහ රෝගීන් සඳහා සහන සලසා ඇත)
  5. හජ් වන්දනය ඉටු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අය ජිවිතයේ එක් වතාවක් අනිවාර්ය හජ් වන්දනය ඉටු කිරීම

ඉහත සඳහන් කරුණු සපුරාලන සියළු දෙනාම වෙනත් වැරදි සිදු කොට නොතිබුනේ නම් අනිවාර්යයෙන්ම ස්වර්ගයට වරම් ලබනු ඇත. එහෙත් අල්ලාහ් හැර වෙනත් දේවල්වලට වැඳුම් පිදුම් කළ අයට විනිශ්චය දිනයේදී ඔවුන් වැඳුම් පිදුම් කළ අයගෙන් ඊට කුලිය ලබාගැනීමට නියම කරනු ලැබේ. එහෙත් එය කළ හැකි වන්නේ නැත. එබැවින් ඔවුන් නිරයට පාත්‍ර වනු ඇත.

ඉස්ලාම් දහම අනුව හිස නමා නැමදුම් කල හැක්කේ අල්ලාහ්ට පමණි. මේ නිසා උසස් යැයි කියන්නා හමුවේ දුබලයා දනින් වැටීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. කිසිම අවස්ථාවකදී නබිතුමා හට ගෞරව දැක්වීමක් වශයෙන් සහාබාවරු නැගිට සිටීම පවා එතුමා අනුමත කළේ නැත. නබිතුමා සෑම විටම පොදු ජනතාව සමග එකට සිට ඇති අතර එකම භාජනයේ අතදමා කෑම අනුභවකොට තිබේ. නබිතුමාගේ ජීවිතය ආදර්ශය ඕනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කල හැකි එකකි. එය අනුගමන කිරීම කුසල් ක්‍රියාවක් වන අතර එසේ කිරීමෙන් අල්ලාහ්ට වඩාත් සමීප විය හැකිය.

ඉස්ලාම් දහමේ තපස් ජිවිතයක් නැත. තපස් ජීවිතයට වඩා කැකියාව තිබෙන අයට වගකීම් සහිත විවාහක ජීවිතය උතුම්ය. එබැවින් හැකියාව තිබෙන අය තනිකඩ ජිවිතයකට වඩා විවාහ ජීවිතය තෝරාගත යුතුය.

තමන් වෙනුවෙන් ජිවත් වීමට වඩා සමාජයේ පොදු කටයතු වලට සහභාගී වීමත් ඒවාට උදව් උපකාර කිරීමත් විශාල පිනකි. මේ අනුව මිනිසුන්ට හිරිහැර වන දෙයක් පාරෙන් ඉවත දැමීම පවා පිනකි. තිපාසයෙන් සිටින සතෙකුට වතුර ටිකක් දීමත් පිනකි. කෙනෙකු සමග සතුටින් සිනහ විමත් පිනකි.

මුස්ලිම්වරුන් සිදු කරනු ලබන නැමදුම්වල විශේෂත්වයක් වන්නේ ඒවා සාමුහිකව නියමිත වේලාවන්හිදී සිදුකිරීමය. ඕනෑම භාෂාවක් කතාකරන කෙනෙක් සලාතය ඉටු කල යුත්තේ අරාබි භාෂාවෙන් කුරානය පරායණය කිරීමෙන්ය. තවත් විශේෂයක් වන්නේ ලෝකයේ කොතැනක ජිවත් උනත් එකම ක්‍රමයකට එකම දිශාවකට සලාතය ඉටු කිරීමය. එය ඉටුකිරීමේදී ඇති නැති බේදයකින් තොරව සියල්ලෝම උරෙන් උර ගැටෙමින් සිටගෙන එකම දිශාවකට එකම නායකයෙකු යටතේ ඉටුකරනු ලබති. මේ නිසා මුස්ලිම්වරුන් අතර එකමුතුකම නිරායාසයෙන්ම ඇති වන්නේය. එහෙත් ඔවුන් මක්කාවේ පිහිටි දේවස්ථානයට නමදුම් කරන්නේ නැත.

මුස්ලිම්වරයෙකු පරිහරණය කරන සියලුම දේ හලාල් විය යුතුය. ඒ අනුව ඔහු අනුභව කරුණු ලබන කෑම බිම මෙන්ම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් යන සියල්ල නිතියානුකුලව අත්පත් කරගත් ඒවා විය යුතුය. යම් කෙනෙකු හරාම් හෙවත් අනිත්‍යානුකුල දේ තම ජිවිතයට එකතු කරගැනීමෙන් ඔහුගේ කිසිම කුසලකට පින් ලැබෙන්නේ නැත. එහෙත් ඔහු තම වගකීම් ඉටු කල අයෙකු බවට පමණක් පත් වනු ඇත.

ඉස්ලාම් දහම පිරිසිදුතාවයට සෑම විටම ප්‍රමුකස්තානයක් දෙන්නේය. ඒ අනුව නැමදීමට පමණක් නොව අන් සියලුම අවස්ථාවන්හිදී මුස්ලිම් වරයෙකුගේ ශාරීරික සහ අධ්‍යාත්මික පිරිසිදු කම අනිවාර්යවේ. මුස්ලිම් වරයෙකු මුත්‍රා කිරීමේ දී තම ශරීරයේ  මුත්‍රා ඉහිරීමෙන් වැළකී සිටීමට සැලකිලිමත් විය යුතුය. එසේම මුත්‍රා කිරීමෙන් පසු රහසිගත ප්‍රදේශය ජලයෙන් පිරිසිදු කල යුතුය. එසේම අඹු සැමියන් ලෙස සිටීමෙන් පසු ස්ථානය කිරීම අනිවාර්‍ය වේ. පිරිසිදුකම සම්බන්දව කරුණු රැසක් තිබෙන බැවින් ඒවා වෙනම හැදෑරිය යුතුය.

මුස්ලිම්වරයෙකුට පොලිය ගැනීම සහ පොලියට දීම ද ඒ වෙනුවෙන් සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමද සපුරා තහනම්ය. හරාම් දේවල් පරිහරණය කරමින් සිදු කරනු ලබන පින් දහම් පමණක් නොව ඔවුන්ගේ දුආ ප්‍රර්තනයන් ද ප්‍රතික්ෂේප වන්නේය.

දෙවියන් වෙනුවෙන් කල යුතු කුසල් ක්‍රියාවන් වෙනත් අය වෙනුවෙන් සිදු කිරීම ශිර්ක් හෙවත් දෙවියන්ට තවත් කෙනෙක් සමාන කිරීමක් වන්නේය. එවැනි පවක් සිදුකොට ඊට පසුතැවිලි වී සමාව නොගෙන මිය යාමෙන් එම තැනැත්තා සදාකල් නිරයට පත් වනු ඇත. මේ නිසා මළවුන්ගෙන් මාර්ගයෙන් දෙවියන්ට කන්නලව් කිරීම හෝ වෙනත් බලවේග පිලිබඳ විශ්වාසය තැබීම විශාල වරදකි.

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව කෙනෙක් මිය යාමත් සමග ඔහුටත් මෙලොවටත් ඇති සම්භන්ධය සම්පුර්ණයෙන්ම අහෝසි වන්නේය. එබැවින් මරණයට පත් කිසිම ආත්මයකට මෙලොව සිටින අය වෙනුවෙන් කිසිම ආකාරයකට පිහිට විය නොහැකිය. එහෙත් මොලොව ජිවත් වෙන අයට මියගිය ඇත්තන් වෙනුවෙන් (ඔහු දෙවියන් විස්වාස කල තැනැත්තෙකු නම්) නබිතුමා පෙන්වා දී ඇති මාර්ග පිළිපදිමින්  පින් අනුමෝදම් කල හැකිය.

විනිශ්චය දිනයේ දී එක් එක් ආත්මයන් තම තමන් කළ දේවල් වෙනුවෙන් තනි තනිවම වගකිව යුතුය. නබිකෙනෙකුට පවා තමන්ගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. එබැවින් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් තම තමන් වග කිව යුතු අතර වෙන කිසිවෙකුගේ පිහිටෙන් ස්වර්ගයට යාමට බැලීම මුග්ධ කමකි.

By M. Fasy Ajward.By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.