මරණයෙන් පසු ජීවිතය (Life after death)

මිනිසාට මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද? විද්‍යාවෙන් මෙයට නිසි පිළිතුරක් දිය නොහැකිය. ඒ ඇයිද යත් විද්‍යාවෙන් මිනිසාගේ ආත්මය ගැන තවමත් හදාරා නොමැති වීමය. මිනිසාගේ සිත හෝ ආත්මය ගැන දැනගැනීමට නොහැකි වුවත් දෙවියන් පහළ කළ ආගම්වල මරණයෙන් පසු සිදුවන දේවල් ගැන විස්තර කොට ඇත. එය පිළිගනිම හෝ ප්‍රතික්ෂේප කිරීම මිනිසාගේ අයිතියකි. එහෙත් දෙවියන්ගේ නියෝග පිලි නොගැනීම නිසා මරණයෙන් පසු ආත්මයට සිදු වන දේවල් වලට මුහුණ දීමට සිදු වන්නේය.

විශ්වයේ මැවුම්කරු වන දෙවිඳුන් පවසන අන්දමට මරණයත් සමහ ජීවිතය කෙළවර වන්නේ නැත. මරණයේදී සිදුවන්නේ ශරීරයෙන් ආත්මය වෙන්වීම පමණි. මෙලෙස වෙන්වන ආත්මයන් සියල්ලම විනිශ්චය දිනය දක්වා දෙවියන් නියමකොට ඇති ස්ථානයක රඳවා තබනු ඇත.

මිනිස් ජිවිතයේ අධියර කිහිපයක් පසුකළ යුතු වන්නේය. ඒ අනුව මුලින්ම ආත්මීය ලෝකයෙන් පටන්ගන්නා මිනිස් ජීවිතය දෙවනුව මව් කුසටත් ඉන් පසු මනු ලොවටත් ඉන් අනතුරුව සොහොන් ජීවිතයටත් පසුව දෙවියන් සිදුකරනු ලබන විනිශ්චයෙන් පසු ස්වර්ගයට හෝ නිරයටත් යාමට නියමිතය. විනිශ්චය දිනයට පෙර මුලික ප්‍රශ්නකිරීම් කබ්ර් හෙවත් සොහොනේදී සිදු කරනු ලැබේ. එහෙත් එම සිදුවීම් මෙලොවට සම්භන්ද කාරනා නොවන බැවින් කිසිවෙකුට එය දැක ගැනීමට හැකියාවක් නැත.

ලෞකික ජීවිතය සදාකල් එකක් නොවේ. එයට අවසානයක් ඇත. එය කවදා සිදුවන්නේදැයි දෙවිඳුන් හැර වෙන කිසිවෙකු දන්නේ නැත. විනිශ්චය දිනය ඇතිවීමට පෙර ලෝකය අවසාන වන අතර සියළුම ජීවින් මිය යන්නේය. එලෙස මියයන සෑම ආත්මයක්ම දෙවියන් නියම කළ දිනයක් දක්වා අලමේ බර්සක්හි තබනු ඇත. මෙලෙස සිටිය යුතු කාලය කොපමණදැයි දෙවිඳුන් හැර වෙන කිසිවෙකු දන්නේ නැත.

දෙවිඳුන් නියම කළ දිනයකදී නැවතත් සෑම ආත්මයක්ම ශරීරයක් සමග නැගිටවනු ඇත. එසේ නැගිටවනු ලැබූ සෑම ආත්මයක්ම ලෞකික ජීවිතයේදී සිදු කළ දේවල් පිලිබඳ විනිශ්චය කිරීම සඳහා එක් ස්ථානයකට රැස් කරනු ඇත. එම මහා විනිශ්චය දිනයේදී කිසිම ආත්මයකට අසාධාරණයක් සිදු කරනු ලබන්නේ නැත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වන්නාවූ එක් දිනයකි.

විනිශ්චය දිනය ඇති වූ පසු සොහොන්වල සිටින අය නැවත නැගිට එන බව අල්-කුරානයේ මෙලෙස විස්තර කොට ඇත.

“(තවද) “අහෝ අපගේ ශෝකයි! අපව අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසන්නෝය.(එයට මලායිකා වරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුව නබිවරුන් (ඔබට) සත්‍යය යැයි ගෙනහැර දක්වුයේද මෙය”යි (කියන්නෝය) එය එකම එක ශබ්දයක් මිස (වෙන කිසිවක්) නොවන්නේය. ඒ ඇතුලත ඔවුන් සියල්ල අප වෙත ඒකරාශී කරගෙන එනු ලබන්නෝය. තවද එදින කිසිම ආත්මයකට (ඒවායේ පින් අඩුකර හෝ පාපයන් වැඩිකර හෝ) යම්කිසි අසාධාරණයක් නොකරනු ලබන්නෝය. ඔබ කල දැයට මිස ඔබට පලවිපාක දෙනුලබන්නේය.(කුරානය 36:51-54)

අල්-කුරානයේ තවත් තැනක මෙලෙස සඳහන් වන්නේය.

“තවද “කිමෙක්ද! අපි මරණයෙන් පසු (දිරා) ඇටකටු හා දුවිලි බවට පත්වුවායින් පසු ඇත්තෙන්ම අපිට පන දී නැගිටවනු ලබන්නෙමුද?” “(එසේම) පෙර ඉකුත්වූ අපගේ පියවරුන් (නැගිට්ටවනු ලබන්නෙහුද?)”යි (සමච්චලයෙන් මෙන්) කියමින් සිටියෝය. (නබියේ!) ඔබ මෙසේ කියනු. ඇත්තෙන්ම ඔබට පෙර සිටිය වුන්ද පසුව සිටිය වුන්ද (කව්රු වුවත් ඔබ සියල්ලම) නියමිත දිනයකදී (නොවැරදීම පන දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නේහුය” (කුරානය 56:47-50)

මෙලෙස නැගිටවනු ලැබූ සෑම ආත්මයකටම ඔවුන් මෙලොවදී කළ සැම දෙයක්ම ලියා තබන ලද ලියවිල්ලක් ලබා දෙනු ඇත. එම ලියවිල්ලේ ඒ ඒ පුද්ගලයින් කරන ලද සෑම දෙයක්ම සටහන් වී තිබෙනු දැක ඔවුන් පුදුමයට පත්වනු ඇත. එම ලියවිල්ල දකුණු අතේ ලැබුණු අය ස්වර්ගයටත් වම් අතේ ලැබුණු අය නිරයටත් යන බව සඳහන් කොට ඇත.

මෙම විනිශ්චය සිදු කරනු ලබන්නේ දෙවියන් ගැන විශ්වාස කළ අයට පමණි. දෙවියන් ගැන විශ්වාස නොකළ අයට විනිශ්චයක් සිදු වන්නේ නැත. එවැනි අයට ඔවුන් මෙලොවදී වැඳුම් පිදුම් කළ අයගෙන්ම උදව පැතීමට සිදුවන්නේය. එහෙත් ඔවුන් වැඳුම් පිදුම් කළ අය එදිනදී කිසිවක් කළ නොහැකිව අසරණ වනු ඇත. එබැවින් දේවියට හැර වෙනත් දේවල්වලට වැඳුම් පිදුම් කළ අයට හිමිවන්නේ නිරය බව කුරානයේ සඳහන් වේ.

පින් දහම් කලත් අකුසල් කළ අයට ඔවුන්ගේ කුසල් වලට වඩා අකුසල් වැඩිනම් නරකාදිය නියම වනු ඇත. කෙසේ වෙතත් දෙවියන් ඔහුගේ කරුණාවෙන් ඔහුගේ නියෝග අතපසු කළ බොහෝ අයගේ පව් වලට සමාව ලැබෙනු ඇත. එහෙත් මෙලොවදී මිනිසා මිනිසාට කළ වැරදි වෙනුවෙන් ඔවුන් ඔවුන් අතර සමතයකට පත් කර ගත යුතුය. මේ නිසා ඇතැම් අය කන්දක් තරම් පින් දහම් කොට තිබුනත් ඔවුන් අනුන්ට කළ වරදී වලට වන්දි ගෙවීමෙන් පසු නරකාදියට නියම වනු ඇත.

ස්වර්ගයේ මෙන්ම නරකාදියේ ජීවිතය සදාකල්ය. එහි මරණයක් සිදු වන්නේ නැත. එහෙත් දෙවියන්ව විශ්වාස කළවුන් නරකාදියේ කාලයක් සිටි පසු යම් දවසක ස්වර්ගයට වරම් ලබනු ඇත. එහෙත් එම කාලය කොතරම් දැයි කාට නම් කිව හැකිද? එබැවින් ලෞකික ජීවිතය ඉතා තීරණාත්මක බව තේරුම් ගත යුතුය. මෙලොවදී උජාරුවට දෙවියන් ගැන සමච්චල් කලත් මරණයෙන් පසු කිසිවෙකු උදව්වට කිසිවෙකු නොපැමිණෙන බව මතක තබා ගත යුතුය.

ස්වර්ගවාසින්ට දෙවියන්ව දැකීමට ලබෙන අතර දෙවියන්ව ප්‍රතික්ෂේප කලවුන්ට කිසිම දවසක දෙවියන්ව දැකීමට ලැබෙන්නේ නැත.

නරකාදියේ දැවෙන්නේ මිනිසුන් සහ ගල්ය. එහි ලෝදිය මෙන් රත් වූ පානයන් මිස බිමට වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැත. කෑම සඳහා ලැබෙන්නේ කටු සහිත ගෙඩි වර්ගයකි. ඒවා අනුභව කිරීමෙන් කිසිම පෝෂණයක් ලැබෙන්නේ ද නැත. එබැවින් ඔවුන් සදාකල් කුසගින්නෙන් දුක් විඳිනු ඇත.

මෙලොව දී මිලියන ගණනින් මිනිස් ඝාතන සිදු කළ අයට නිසි ලෙස දඬුවම් කළ හැක්කේ නිරයේදී පමණි. ඇයිද යත් නිරයේ වැසියන්ගේ සම පිලිස්සී ගිය පසු නැවත අළුත් සමක් ලබාදී ඔවුන්ව නැවත නැවත දඬුවමට ලක් කරනු ලබන බැවිනි. එම අල්-කුර්ආන් වැකිය පහත සඳහන් වේ.

“නියතව කවරහු අපගේ වැකි ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ ඇතුළු කරන්නෙමු. ඔවුන් වේදනාව අත්විඳිම පිණිස ඔවුන්ගේ පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුන්ට වෙනත් සම් මාරු කරන්නෙමු. නියතව අල්ලාහ් සියළු දෑ අභිබවූ කෙනා ද අධික ඥානවන්තයා ද වේ” (කුරානය 4:56).

ඒ අනුව මෙලොවදී මිලියන ගණන් මිනී මරණ ලද කෙනෙකුට වන්දි වශයෙන් දිය හැක්කේ ඔහුට තිබෙන එක් ජීවිතයකින් පමණක් වුවත් නිරයේදී ඊට සරිලන පරිදි ඔහුට අළුතින් සමක් ලබා දීමෙන් වේදනාව නැවත නැවත අළුත් කරමින් දඬුවම් ලබා දෙනු ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.