| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 200 views

ජිහාද් යනු කුමක්ද?

කතුවරයා/දේශකයා: on 4th April 2017

සැකසුම:

මව්ලවි මුර්ෂිඩ් මුලෆ්ෆර්

මව්ලවි මාහිර් රම්ඩීන්

මව්ලවි ඉර්ෂාද් හිල්මි

මව්ලවි නු:මාන් උමර්

සහෝදර මොහොමද් දහ්ලාන්

සහෝදර අයාස් සාලිහ්

ප්‍රකාශනය: සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය

ප්‍රශ්නය: මුස්ලිම් නොවන්නන් ඝාතනය කොට ඉස්ලාමය ව්‍යාප්ත කිරීම පිණිස ජාත්‍යන්තර ඉස්ලාමීය ජිහාද් ත්‍රස්තවාදීන් අප රට තුළ ක්‍රියාත්මක වෙමින් සිටිති. මොවුන්ගෙන් අප මාතෘ භුමිය රැක ගනිමු!  

පැහැදිලිකිරීම:

වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද?

ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස ඉන්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳව මූලික නිවැරදි කරුණු  නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් ආරම්භ වූ දෙවන ලෝක මහා යුද්ධයේ දී විශේෂයෙන්ම යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් ඝාතනය කරන ලද බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම මහා පරිමාන මිනිස් ඝාතන කිසිම දහමක් හෝ යහ සමාජයක් අනුමත කරන්නක් නොවේ. යුද සමාදානයෙන් පසු යුරෝපයේ සිදු වූ මෙම ඛේදවාචකයට විසඳුම් යුරෝපය පදනම් කරගෙන සෙවිය යුතුව තිබුන ද එම අදහස අතහැර සාමකාමී රටක් වූ පලස්තීනය දෙකඩ කොට යුදෙව්වන්ට රටක් සාදා දෙන්නට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ක්‍රියා කරන ලදී. ඒ වනවිට පලස්තීනයේ මුස්ලිම්වරුන් 86%ක්, කිතුනුවන් 10%ක් හා යුදෙව්වන් 4%ක් ලෙස සාමකාමීව ජීවත් වෙමින් සිටියහ.

බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවේ, අයර්ලන්තයේ හා සයිප්‍රසයේ සිදු කලාක් මෙන් ‘බෙදා පාලනය කිරීමේ’ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පලස්තීනය 1947 දී දෙකඩ කොට යුරෝපයේ යුදෙව්වන්ට හිට්ලර් විසින් සිදු කරනු ලැබූ  අසාධාරණයට මැදපෙරදිගින් විසඳුම් සකස් කරන්නට කටයුතු කළහ. මේ වනවිට පලස්තීනය බ්‍රිතාන්‍යයින් ගේ පාලනය යටතේ පැවතිනි.   86%ක් වූ මුස්ලිම් ජනයාගෙන් බහුතරයක් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තමන්ට උරුම භූමියෙන් ඉවත් කොට ඔවුන් ව සරණාගතයින් බවට පත් කරමින් 1948 වර්ෂයේ දී පලස්තීන භූමියෙන් 55%ක් යුදෙව්වන්ට වෙන් කොට ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්නට කටයුතු කළහ. මෙම ප්‍රතිපත්තියම අනුගමනය  කරමින් ඒකීය රටක් වූ අපගේ මාතෘභුමිය දෙකඩ කොට වාර්ගික ප්‍රශ්නයට විසඳුම් සපයන්නට මෑතක දී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් පිඹුරුපත් සකස් කරමින් කටයුතු කළ ආකාරය අපගේ මතකයෙන් ඉවත්වී නොමැති බව විශ්වාස කරන්නෙමු. පලස්තීන රටේ 55%ක් ලබා ගෙන ආරම්භ කරන ලද නීති විරෝධී ඊශ්‍රායල් රට දැනට එහි 90% කට වැඩි භුමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ලොව සියලු නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දෛනිකව අපි පුවත්පත් මගින් කියවන්නෙමු. මෙම ඊශ්‍රායල් ව්‍යාප්තවාදය සිදු කරනු ලබන්නේ අසරණ පලස්තීන දරුවන්, කාන්තාවන්, වයෝවෘධයින්, රෝගීන් හා අනෙකුත් සිවිල් වැසියන්ට ඝාතනය කරමින් ඔවුන්ට එරෙහිව නිරතුරුව ක්‍රියාත්මක කරනු ලබන ගැටුම් මගිනි. රෝහල්, පාසැල්, ආගමික ස්ථාන හා සිවිල් වැසියන්ගේ නිවාස සහමුලින්ම වාගේ මෙම මෘග ප්‍රහාරයන් මගින් විනාශ කොට ඇත. මෑතක දී පලස්තීනයේ ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයන් මගින් දහස් ගණන් අහිංසක පලස්තීනුවන් ව ඝාතනය කිරීම පිළිබඳව ඉතා මෘදු අයුරින් එය නවත්වන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටි ඇමෙරිකාව එම ප්‍රහාරයන් මැද්දේ මිලියන ගණනක නුතන අවි ඊශ්‍රායලයට සපයන්නට කටයුතු කරන ලදී.

මේ සියල්ල අහඹු සිදුවීම් නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්හි මාධ්‍යය අයිතිය ඇත්තේ යුදෙව්වන්ටය. කර්මාන්ත බැංකු හා ආර්ථික අයිතිය ඇත්තේ ද ඔවුන්ටය. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදු කරන අති අමානුෂික ක්‍රියාවන් සාධාරණීය කිරීම සඳහා මෙම ජාත්‍යන්තර යුදෙව් මාධ්‍ය නිරතුරුව කටයුතු කරමින් සිටියි.  වින්දිතයා වූ අන්ත අසරණ පලස්තීනුවන් චුදිතයා කරමින් හා අපරාධකරුවා වූ ඊශ්‍රායලය වින්දිතයා ලෙස ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙම මාධ්‍ය විසින් විවිධ කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය මුලාශ්‍ර විකෘති කොට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් ඉස්ලාමය හා මුස්ලිම් ජනයාව ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වන්නට කටයුතු කිරීම ඔවුන්ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ වැදගත් කොටසකි. එම මාධ්‍ය ප්‍රචාරයෙන් අහුලා ගත් කොටස් ඉදිරිපත් කරමින් අප රට තුළ ද ‘මුස්ලිම් භීතිකාවක්’ ඇති කිරීමට න්‍යායපත්‍ර වාදී ලෙස ඉදිරිපත් වී සිටීම සැමගේ පිළිකුලට ලක් විය යුත්තකි.

ඉස්ලාමය හා යුද ගැටුම් පිළිබඳ යථාර්ථය.

මුහම්මද් තුමාණන් ජීවත් වූ කාලවකවානුවේ යුද්ධ කිහිපයක් සිදු විය. එම 13 වසර තුලම දෙපාර්ශවයෙන් ම මරණයට පත් වී ඇති සම්පුර්ණ සංඛ්‍යාව 1300 කට ආසන්න ප්‍රමාණයකි. කරුණාකර පහත සඳහන් සංඛ්‍යා ලේඛන වෙත අවධානය යොමු කරන්න.  1860 – 65 දක්වා පැවති ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් 628,000ක්  පළමුවන ලෝක යුද්ධයෙන් මිලියන 37ක් දෙවන ලෝක යුද්ධයෙන් මිලියන 72.5ක් සෝවියට් විප්ලවයෙන් මිලියන 5ක් මුස්ලිම් වරුන්ට එරෙහිව පැවති කුරුස යුද්ධයෙන් මිලියන 9ක් හා කොරියන් යුද්ධයෙන් මිලියන 3ක්  ආදී වශයෙන් මිනිස් ඝාතන සිදු වී ඇත. මේ කිසිවක් මුස්ලිම් වරුන්ගේ ක්‍රියා නොවන අතර ඉතා අකාරුණික ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මේ සියලු මිනිස් ඝාතන පිළිබඳව මුණිවත රකියි.

අතීතයේ සිදු වී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව පැන නැගි ත්‍රස්තවාදී ප්‍රහාරයන් මැඩපැවැත්වීම සඳහා අවම බලය පාවිච්චි කිරීමයි. අයුක්තිය අසාධාරණය හා අපරාධ තුරන් කිරීම සඳහා ද ඉස්ලාමීය රාජ්‍යයන් කටයුතු කොට ඇත. මේවා සියල්ල ඉස්ලාමීය රාජ්‍යයන්ට පමණක් සීමාවූ ක්‍රියාවන් ලෙස හුවා දැක්වීමට දරන බොළඳ උත්සාහය තරයේ හෙලා දකින්නෙමු. මෑතක දී අප මාතෘභූමියේ සිදු වූ ගැටුම නිරාකරණය කිරීම සඳහා සිදු කරන ලද මෙහෙයුම් කෙසේ නම් වැරදි යුද වාදයක් ලෙස අර්ථ දක්වන්නට හැකි දැයි විමසන්නට කැමැත්තෙමු. එනිසා ඉදිරි විග්‍රහයන් පිළිබඳව ඉතා මධ්‍යස්ථ හා යථාර්ථවාදී චින්තනයකින් යුක්තව විමසුමක යෙදෙන්නට අප සමග එක්වන ලෙස ඉතා කාරුණිකව ආරාධනා කරන්නෙමු.

‘අල් ජිහාද් අල් කයිදා’

‘ජිහාද්’ යන වචනය ඇසුණු විගස යමෙකුට ඇතිවන්නේ කිනම් ආකාරයේ අදහස් හා චිත්ත රූප ද යන්න ගැන යමෙකුගෙන් විමසූ විට ලැබිය හැකි පිළිතුරු පළල් වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. පළමු කණ්ඩායමේ ප්‍රතිචාරය ලෙස, රැවුල වවාගත් ආයුධ අතැතිව සිටිනා හිසට තොප්පියක් දමා ජටාවක් බැඳගත් බියකරු මිනීමරු පෙනුමක් ඇති පුද්ගලයෙකුගේ හෝ එවන් කණ්ඩායමකගේ රූපය සිතේ මැවෙන අතර ඔවුන් පිළිබඳ බොහෝ විට කෝපය හා පිළිකුල මිශ්‍ර හැඟීම් ඇති වීම දැක්විය හැක. මෙම කණ්ඩායමේ මෙවන් ප්‍රතිචාරයක් සඳහා පදනම් වූ හේතු කුමක්දැ’යි විමසූ විට බහුතරයකගේ පිළිතුර අනුව ‘මාධ්‍යය’ විසින් ලබා දී ඇති තොරතුරු එයට මුල් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.  මාධ්‍යය විසින් ගොඩ නගා ඇති මෙම මතවාදයේ ඇත්ත නැත්ත ගැන ඔවුන් තුළ නිශ්චිත පැහැදිලිකමක් දක්නට නොමැත. ‘අල් කයිදා’ නමැති සංවිධානයේ ක්‍රියාකාරකම් ‘අල් ජිහාද්’ සංකල්පය සමග පටලවා ගත්තු දේශපාලන ලේඛකයින් තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුකූලව සකස් කළ වැරදි තොරතුරු රාශියක් අඩංගු සිංහල පොත්පත් ද මෙම ව්‍යාකුල තත්ත්වයට හේතු වී ඇති බව පැහැදිලිව දකින්නට ඇත.

‘අල් කයිදා’ හා ‘බින් ලාඩීන්’ පිළිබඳව මාධ්‍යය විසින් හුවා දක්වන ලද කරුණු සමබන්ධව බොහෝ පරස්පරයන් ඇති බව විචාරශීලී ව විමසුමක යෙදෙන්නෙකු ට පැහැදිලි වන කරුණකි. 9/11 සිදුවීම බින් ලාඩීන් ගේ ක්‍රියාවක් බව මාධ්‍යය පවසන අතර මේ පිළිබඳව තිබු අධිකරණ ක්‍රියාවලිය විවෘත  අධිකරණයක විනිශ්චය සඳහා විමසුම ට ලක් වුවක් නොවේ. මෙයට අමතරව ඇමෙරිකානු ප්‍රසිද්ධ Fox News රූපවාහිනී නාලිකාව විසින් එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය දැරූ හිලරි ක්ලින්ටන් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ඇය විසින් ඉතා පැහැදිලිව පවසා සිටියේ අල් කයිදා සංවිධානය නිර්මාණය කොට අවි හා මුදල් සපයා දෙනු ලැබුවේ ඇමෙරිකාව විසින් බවය. මෙම තොරතුරු පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.foxnews.com/on-air/on-the-record/transcript/hillary-clinton-039it-would-be-mistake039-walk-away-pakistan

9/11 සිදුවීම පිළිබඳව මුස්ලිම් නොවන ඇමෙරිකානු විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන්, ගෘහ නිර්මාණ විශේෂඥයින් හා අනෙකුත් විද්වතුන් ඇතුළත් වූ සංසදයක් විසින් සාධක සහිතව ලොවට ප්‍රකාශ කර සිටියේ මෙය ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ අභ්‍යන්තර ක්‍රියාවලියක් බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ තමන්ට මහත් වූ ස්වයං විනාශයක් සිදුකර ගනිමින් හෝ මුස්ලිම්වරුන් පිළිබඳව වැරදි මතයක් ගොඩ නගා මුස්ලිම් රටවල්වලට යුධමය වශයෙන් මැදිහත් වීම පිණිස මෙය හේතුවක් කර ගැනීම ඔවුන්ගේ උපායක් වී තිබු බවය.  මෙම හෙළිදරව්ව පිළිබඳව ඇමෙරිකානු හෝ ජාත්‍යන්තර මාධ්‍යය විසින් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලදී. මෙවන් තත්වයක් තුළ 9/11 සිදුවීම මුළු ලොවටම ප්‍රහේලිකාවක් ව පවතී. මෙවන් ව්‍යාකුලත්වයට ප්‍රධාන හේතුවක් නම් අතීතයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් යුද උපායන් ලෙස පර්ල් වරාය ප්‍රහාරය වැනි ව්‍යාජ සැලසුම්ගත ප්‍රහාර කිහිපයක් කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දැරීමයි. ඔවුන්ගේ මෙවන් ප්‍රහාරයන් හි ඉතිහාසය පහත වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.globalresearch.ca/how-to-start-a-war-the-american-use-of-war-pretext-incidents/28554

9/11 ප්‍රහාරයේ කර්තෘ වරුන් කවුරුන් වුවද එය සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි ක්‍රියාවක් බව පහතින් විග්‍රහ කර ඇති ඉස්ලාමීය යුද චර්යාවන් විමසා බැලීමේදී පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. 9/11 ප්‍රහාරය පිළිබඳ අදහා ගත නොහැකි ආකාරයේ තිරයෙන් පිටුපස තොරතුරු රාශියක් පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

(http://newsone.com/742485/the-11-most-compelling-911-conspiracy-theories/)

තත්ත්වය මෙසේ තිබියදී ‘අල් කයිදා’ හා ‘බින් ලාඩින්’ පිළිබඳව සිංහල පාඨකයින්ගේ පරිභෝජනය සඳහා පොත් ලියමින් එය ඉස්ලාමයේ ගිණුමට බැර කිරීමට උත්සාහ කිරීම සැබැවින්ම බොළඳකමේ හා නොදැනුවත්කමේ සම්මිශ්‍රණයක් විනා අන් කිසිවක් නොවේ. ඉස්ලාමයේ පිළිවෙත් හා චර්යාවන් උල්ලංඝනය කරන්නන්ගේ ක්‍රියාකාරකම් පදනම් කර ගෙන පමණක් ඉස්ලාමීය පිළිවෙත් පිළිබඳ මතවාද ගොඩ නැගීම ඇත්ත වශයෙන්ම අපරාධකරුවෙකුගේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන අපරාධ නීතිය පිළිබඳව නිබන්ධයක් සකස් කිරීම හා සමාන ක්‍රියාවක් නොවන්නේදැ’යි අසන්නට කැමැත්තෙමු.

දෙවැනි කණ්ඩායම ‘ජිහාද්’ පිළිබඳ නිවැරදි මුලාශ්‍ර ඇසුරින් තම මතවාදය ගොඩනගාගෙන ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රතිචාරය මෙයට වෙනස් වූවකි.  මෙවන් හේතු නිසාම නිවැරදි හා පිළිගත් මුලාශ්‍ර පරිශීලනය කරමින් ‘ජිහාද්’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසුමක යෙදෙන්නට ආරාධනා කරන්නෙමු.

‘ජිහාද්’ යනු කුමක් ද?

නුතන ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයක් විවෘත කොට ‘ජිහාද්’ යන වචනයේ අර්ථය කුමක්දැ’යි විමසා බැලු විට ‘මුස්ලිම් නොවන්නන්ට එරෙහිව මුස්ලිම් වරුන් විසින් කරන්නා වූ ‘ශුද්ධ’ යුද්ධයක් (Holy War)’ යන අර්ථය බොහෝවිට දැක ගන්නට හැකි වනු ඇත. මෙම අර්ථ දැක්වීම කිසිසේත්ම සුදුසු එකක් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහෙයින් ‘ජිහාද්’ නිර්වචනය කිරීමට පෙර ‘ජිහාද්’ නොවන්නේ කුමක් ද යන්න විමසා බලමු.

‘ජිහාද්’ යනු ශුද්ධ යුද්ධය නොවේ.

‘ජිහාද්’ යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීම නොවේ.

‘ජිහාද්’ යනු අහිංසක ජනයා ඝාතනය කිරීම නොවේ.

‘ජිහාද්’ යනු සිවිල් වැසියන්ගෙන් පිරුණු ගුවන් යානයක් ගොඩනැගිල්ලක් තුලට පියාසර කිරීම නොවේ.

‘ජිහාද්’ යනු අන් අය සමග ඇති කෝපය හා වෛරය හේතුවෙන් ඔවුන් සමග සටන් කිරීම නොවේ.

‘ජිහාද්’ යනු තම මතය සමග අන් අය එකඟ නොවීම හේතුවෙන් ඔවුන් ව ඝාතනය කිරීම නොවේ.

ජිහාද්’ යනු අන් අය ඉස්ලාමය පිළිගන්නේ නැති නම් ඔවුන් ව ඝාතනය කිරීම නොවේ.

ඉස්ලාමයේ ‘ශුද්ධ යුද්ධය’

ජිහාද් යන පදය ශුද්ධ යුද්ධය නොහොත් ‘Holy War’ යනුවෙන් ඉස්ලාම් නොවන්නන් අතර ප්‍රසිද්ධ වූවද ‘Holy War’ යන්නෙහි සැබෑ අරාබි පරිවර්තනය වූ ‘හර්බ් මුඛද්දසා’ යන පදය අල් කුර්ආනයේ හෝ නබි වදන් කිසිවක හෝ සඳහන් වී නොමැත. ඉස්ලාමීය පිළිවෙත්, චර්යා හෝ නීති ග්‍රන්ථයන් හි ද මෙම වචනය දක්නට නොමැත. අවාසනාවට මාධ්‍ය විසින් ජිහාද් යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය යනාදිය උපයෝගි කර ගෙන ඇත. ‘ශුද්ධ යුද්ධය’ යන පදය මුල් වරට භාවිතයට එන්නේ කිතුනුවන්ගේ ක්‍රියාකාරකම් මුල් කරගෙනය. මේ පිළිබඳව බී.බී.සී. ආයතනය දක්වා ඇති තොරතුරු වෙත අපගේ අවධානය යොමු කරමු.

“අර්බන් II පාප් වහන්සේ විසින් ශුද්ධ භුමියේ පුජනීය ස්ථානයන් අත්පත් කර ගැනීම අරමුණු කොට ගෙන වර්ෂ 1095 දී මුස්ලිම්වරුන්ට එරෙහිව ආරම්භ කරන ලද සන්නද්ධ මෙහෙයුම (Crusades) ශුද්ධ යුද්ධය (Holy War) නමින් හඳුන්වන ලදී”. (http://www.bbc.co.uk/ethics/war/religious/holywar.shtml)

මේ අනුව ‘ශුද්ධ යුද්ධය’ යනු මුස්ලිම්වරුන්ට එරෙහිව ආරම්භ කරන ලද්දක් මිස කිසිසේත්ම මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකාරකමක් නොවන බව පැහැදිළිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

මේ අනුව ‘ශුද්ධ යුද්ධය යනු ජිහාද් නොවේ.

ඉස්ලාමය හා ත්‍රස්තවාදය

ත්‍රස්තවාදය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පළමුව අප විසින් අවබෝධ කර ගැනීම වැදගත්ය. ශබ්දකෝෂ අර්ථය පළමුව විමසමු. ඒ අනුව ත්‍රස්තවාදය නමැති පදයේ භාෂාමය අර්ථය ‘බියවැද්දීම’ ‘තැතිගැන්වීම’ වන අතර ව්‍යවහාරයේ ත්‍රස්තවාදය යන්නෙහි අර්ථය ‘සන්නද්ධ ව හෝ එසේ නොවී  තැති ගැන්වීමෙන්, බිය ගැන්වීමෙන් ආදී ක්‍රියා වලින්  රජයකට හෝ ප්‍රජාවකට තර්ජනය කොට අරමුණු ඉටු කර ගැනීමේ විධි ක්‍රමය’ වේ. (සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය 661 වැනි පිටුව)

ත්‍රස්තවාදීන්ගේ සිත්සතන් හි බිය ඇති කොට ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා වලක්වා ගැනීමට කටයුතු කිරීම නීති ගරුක රජයකත් ප්‍රජාවගේත් වගකීම හා යුතුකම වන්නේය. නීතියේ නිලධාරියෙකු දකින විට  ත්‍රස්තවාදියාගේ සිතේ බියක් හෝ තැතිගැන්වීමක් ඇති වීම ස්වාභාවිකය. මේ අනුව ‘ත්‍රස්තය’ යන වචනයේ භාෂාමය අර්ථය වන ‘බියගැන්වීම’ ‘තැතිගැන්වීම’ අනුව ත්‍රස්තවාදියාට නීතියේ නිලධාරියා ත්‍රස්තවාදියෙකි. සොරාට පොලිස් නිලධාරියා ත්‍රස්තවාදියෙකි. නීති ගරුක ඉස්ලාමීය රජයක් මෙලෙස ක්‍රියා කරමින් ත්‍රස්තවාදීන් ව බිය ගන්වන ලෙස අල් කුර්ආනය උගන්වයි. පහතින් සඳහන් අල් කුර්ආන් වැකියේ ‘ඉර්හාබ්’ යන අරාබි පදය යෙදී ඇත. ‘ඉර්හාබ්’ යන්නෙන් අදහස් වන්නේ ‘ත්‍රස්තය’ හෙවත් ‘බියගැන්වීම’ ‘තැතිගැන්වීම’ ය. මේ අනුව පවතින රජයකට හෝ ප්‍රජාවකට එරෙහිව කටයුතු කරන ත්‍රස්තවාදීන් ව බිය ගන්වන ලෙස ඉස්ලාමය උගන්වයි.

“නුඹලාට හැකි පමණින් බලයෙන් හා අශ්ව ඇණියෙන් ඔවුනට එරෙහිව සුදානම් වවු. එමගින් අල්ලාහ්ගේ සතුරාව ද නුඹලා ගේ සතුරාව ද ඔවුන් හැර සෙසු අයව ද ත්‍රස්තයට පත්කළ හැක.”. (අල් කුර්ආන් 8: 60)

මේ අනුව ඉස්ලාමයේ ත්‍රස්තය හෙවත් බියගැන්වීම අර්ථවත්වන ‘ඉර්හාබ්’ යන පදය භාවිතා කර ඇත්තේම රජයකට හෝ ප්‍රජාවකට තර්ජනය කොට නීති විරෝධී අරමුණු ඉටුකර ගන්නා වූ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට බව පැහැදිලි වේ.

ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ද ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් අප ද සමාදානය වෙත නැඹුරු විය යුතු බව ඊළඟ වැකියෙන් අල් කුර්ආනය උගන්වයි.

“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8 : 61)

මේ අනුව ත්‍රස්තවාදීන් ගේ හදවත් හි ත්‍රස්තයක් ඇති කිරීම සඳහා වූ සන්නද්ධ ක්‍රියාව ජිහාද් වන අතර ත්‍රස්තවාදය යනු ජිහාද් නොවේ.

  • මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිදු කරන ත්‍රස්තවාදය !

සියදිවි නසා ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් අනුව බරපතල පාපයකි. ජීවය ලබා දීම හා ආපසු ගැනීම  මිනිසාගේ අයිතියෙන් බැහැර වූවකි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ‘යමෙක් යකඩ කැබැල්ලකින් (හෝ අන් මගකින්) සිය දිවි නසා ගත්තේ ද එම යකඩ කැබැල්ලෙන් ම ඔහුට නිරයේ දී දඬුවම් දෙනු ලැබේයැ’යි දක්වා ඇත.

  • මිනිස් ඝාතන ත්‍රස්තවාදය!

මුස්ලිම් නොවන්නෙකු දුටු තැන මරා දැමීම අල් කුර්ආනයේ ඉගැන්වීමක් බව වැරදි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් සමහරු පවසති. ඉස්ලාමීය පිළිවෙත අනුව සැමට ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කොට ඇති අතර අල් කුර්ආනයේ වැකි පිළිබඳව නිවැරදි හා ගැඹුරු දැනුමකින් තොරව පතුරුවනු ලබන මෙවන් වැරදි මතයන් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. ත්‍රස්තවාදය යනු මිනිස් ඝාතන ක්‍රියාවලියකි.  මිනිස් ඝාතන පිළිබඳව ඉස්ලාමීය ඉගැන්වීම් කුමක්දැ’යි පළමුව විමසා බලමු.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)

රටේ යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක සාධාරණ හා යුක්තිය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නියම කරනු ලබන තීන්දුවක් මත මිස මිනිසෙකුව නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් සංහතියම මරා දැමීම තරම් වූ බරපතල ක්‍රියාවක් ලෙස ඉස්ලාමය පෙන්වා දෙයි.

අල් කුර්ආනයේ මෙවන් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් අන්තර්ගත වී තිබියදී අල් කුර්ආනය පිළිබඳව පරිපුර්ණ දැනුමකින් තොරව හා සන්දර්භයෙන් බැහැරව වැකියක් උපුටා දක්වමින් ජනයා නොමග යවන්නට කටයුතු කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද කියා අසන්නට කැමැත්තෙමු. සැබැවින්ම මෙලෙස අල් කුර්ආන් වැකි සඳහා අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම අන්ධයින් සතරදෙනා අලියා විග්‍රහ කිරීම හා සමාන නොවන්නේ ද? මෙවන් වැරදි අර්ථ දැක්වීම් පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියේ දෙවන කොටසේ ඇතුලත් කොට ඇත්තෙමු.

මේ අනුව මිනිස් ඝාතන ත්‍රස්තවාදය ජිහාදය නොවේ.

  • ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලපෑම් කිරීමේ ත්‍රස්තවාදය!   

දහම පිළිබඳව සියලු ආකාරයේ  බලපෑම් කිරීම් තහනම් කොට පහළ කරන ලද පහත සඳහන් වැකියට පටහැනි අයුරින් ක්‍රියා කිරීමට කිසිම ඉස්ලාමිකයෙකුට අයිතියක් නොමැත.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. (2:256)

එපමණක් නොව, ආගමික බහුත්වය ලෝක යථාර්ථයක් බව ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගනියි. මෙමගින් මිනිසාගේ චින්තන නිදහස සහතික කොට ඇත.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

මේ අනුව ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලපෑම් කිරීමේ ත්‍රස්තවාදය ජිහාදය නොවේ.

  • නීතිය බිඳ දමමින් කරන්නා වූ ත්‍රස්තවාදය!

නීතිය හා යුක්තිය බිඳ දමමින් ක්‍රියා කිරීමට කිසිම ඉස්ලාමිකයෙකුට අනුමැතිය නොමැත. පුද්ගල වෛරය හා ක්‍රෝධය පදනම් කර ගනිමින් අන් අය පිළිබඳව අයුක්ති සහගතව ක්‍රියා කිරීමට ද ඉස්ලාමිකයෙකුට අනුමැතිය නොමැත..

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු.” (5 : 8)

මේ අනුව නීතිය බිඳ දමමින් කරන්නා වූ ත්‍රස්තවාදය ජිහාදය නොවේ.

ජිහාද් නොවනුයේ කුමක් ද යන්න පිළිබඳව ඉහතින් සඳහන් කරුණු කෙතරම් නිරවද්‍ය ද යන්න ඔබට ඉදිරි විග්‍රහයන් අනුව තව දුරටත් සනාථ වේ යයි විශ්වාස කරන්නෙමු.

 ‘ජිහාද්’ හි සැබෑ අර්ථය

‘ජිහාද්’ යන අරාබි වචනයේ භාෂාමය අර්ථය  ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය ව්‍යවහාරයේ ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ (අල්ලාහ්ගේ) තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වෙයි. මේ අනුව අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ සියලු යහ ප්‍රයත්නයන් ජිහාද් යනුවෙන් විග්‍රහ කිරීම නිවැරදිය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට පටහැනි නොවී යුක්තිය ස්ථාපිත කිරීම සදහා කරන්නා වූ ප‍්‍රයත්නය ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද පහක්  ලෙස පහතින් දක්වා ඇත.

  1. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)
  2. දිව උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්)
  3. පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්)
  4. දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්)

5.      අසිපත (ආයුධ) උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්)

මෙය හැරෙන්නට විවිධ ඉස්ලාම් විරෝධී පාර්ශවයන් විසින් ඔවුන්ගේ මනඃකල්පිත මතවාදයන් ඉදිරිපත් කරමින් ‘මනෝමය ජිහාදයක්’ පිළිබඳව අදහස් දක්වති. එය ඔවුන්ගේ හුදු මනඃකල්පිතයක් පමණක් මිස අන් කිසිවක් නොවන බව අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමු.

ඉහත සඳහන් ජිහාද් ප්‍රභේදයන් පිළිබඳව විස්තර විමසා බලමු.

චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨතම ජිහාදය (ජිහාද් අල් අක්බර්) කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨතම ජිහාදය තම චෛතිසකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව ඉස්ලාමය උගන්වයි. මෙම ක්‍රියාවලිය මගින් කෙනෙකුගේ චෛතසිකය පාරිශුද්ධත්වයට පත්කොට අභ්‍යන්තර සාමය ලඟාකර ගනිමින් කෝපය හා වෛරය පිටුදකින තත්ත්වයක් උදාකරගැනීමට හැකි වන්නේය. මිනිසාගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම හා සාරධර්ම සපිරි යහ ජීවිතය සහතික කළ හැක්කේ චිත්ත පාරිශුද්ධිය මගිනි. බුදු දහමේ ද චිත්ත පාරිශුද්ධිය පිළිබඳව ඇත්තේ ඉතා වැදගත් ස්ථානයක් බව අපි දනිමු.

මෙම ‘ජිහාද්’ ප්‍රභේදය සහමුලින්ම තම චෛතසිකය සමග කරන්නා වූ සටනකි, අරගලයකි. මේ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යය අනුගමනය කරන නිහැඬියාව සැබැවින්ම කන් බිහිරි කරවන තරම් ය. මෙයින්ම ඔවුන්ගේ අරමුණුහි ඇති පටුත්වය හා සැඟවුණු න්‍යාය පත්‍රයන් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාමයට අනුව සැබෑ සොල්දාදුවා තම චෛතසිකය සමග සටන් කරන්නාය.

දිව උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්)

සමාජයේ සිදු වන වැරදි, අපයෝජන හා දුෂණයන්ට එරෙහිව හඬ නැගීම,  සත්‍යය අන් අයට පැහැදිලි කර දීමට හා යහ මඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ දේශන, සාකච්ඡා, සංවාද ආදිය මෙයට අන්තර්ගත වේ. අපට එරෙහිව නිරතුරුව මතු කරනු ලබන චෝදනාවන් සම්බන්ධයෙන් කරුණු පහදා දීම ද මෙයට ඇතුලත් වේ. අසාධාරණ දුෂ්ට පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදයක් බව ඉස්ලාමය අපට උගන්වයි.

අවාසනාවට මාධ්‍යය මෙම ‘ජිහාද්’ ප්‍රභේදය පිළිබඳව ද මුණිවත රැකීම අපට ප්‍රහේළිකාවකි.

පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්)

ලොවෙහි සිදුවන අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම, ඉස්ලාමයට එරෙහිව මතු කරන්නා වූ චෝදනා හා වැරදි මතයන් හෝ දුර්මතයන් පිළිබඳව යහ හා නිවැරදි අයුරින් කරුණු පහදා දීම උදෙසා කරන්නාවූ විද්වත් ගවේෂණයන් මෙන්ම ඉස්ලාමය පහසුවෙන් අවබෝධ කරගැනීමට උපකාරීවන අයුරින් ලිපි හා ග්‍රන්ථයන් සකස් කිරීමට කටයුතු කිරීම මෙයට ඇතුලත්ය. මෙවන් ‘සමාජ සංවාද’ ලිපි සකස් කොට ඉස්ලාමය පිළිබඳව ඇති චෝදනා හා දුර්මතයන් ගැන සත්‍යය පැහැදිලි කර දීමට  කටයුතු කිරීම ද මෙම ‘ජිහාද්’ ප්‍රභේදයට අන්තර්ගතය. යුක්තිය, සාධාරණය හා දහම වෙනුවෙන් ප්‍රාණත්‍යාගිත්වයේ යෙදෙන්නාගේ රුධිරයට වඩා විද්වතාගේ තීන්ත ශ්‍රේෂ්ඨ වන්නේයැයි ඉස්ලාමය අපට උගන්වයි.

දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්)

මෙය වදන් වලට වඩා භෞතික ක්‍රියාකාරකම් පදනම් වූ ප්‍රයත්නයකි (ජිහාදයකි). අසරණයින්ට හා දුගීන්ට පිහිට වීම, ඩෙංගු වැනි වසංගත රෝග මැඩලීම සඳහා හා ජනයාට ප්‍රයෝජනවත් අන් ශ්‍රමදාන කටයුතු, ‘සකාත්’ නම් වූ අනිවාර්ය හා ‘සදකා’ නම් වූ වෛකල්පීය දන්දීම්, ‘හජ්’ හා ‘උම්රා’ නම් වූ ආගමික වතාවත් ඉටු කිරීම මෙයට ඇතුලත් ය. වරෙක යුද තත්ත්වයක් ඇති වූ අවස්ථාවක මුහම්මද් තුමාණන්ගේ සහගාමියෙකු පැමිණ තමන්ගේ දෙමව්පියන් වයෝවෘධ තත්ත්වයේ සිටින හෙයින් යුද බිමට යෑම හා දෙමව්පියන් බලාගැනීම අතුරින් ඔහු විසින් තෝරා ගත යුත්තේ කුමක්දැයි විමසූ විට දෙමව්පියන්ට උවැටන් කරමින් ඔවුන්ගේ විෂයයෙහි ජිහාද් කරන ලෙස දන්වා සිටින ලදී.

අසිපත (ආයුධ) උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්)

සාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් ජිහාදයක (ප්‍රයත්නයක) නියැලීමට සමහර අවස්ථාවන් හි අවශ්‍ය වේ. අසිපතින් ජිහාදයක නියැලීමට හැක්කේ අවස්ථාවන් දෙකක පමණය.  මෙම අවස්ථාවන් දෙකෙහි දී සටනට පිවිසීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව අනිවාර්ය කොට තිබේ.

සුරක්ෂාවරණ ජිහාදය හා ආක්‍රමණික ජිහාදය

  1. ඔබගේ රටට එරෙහිව පහර දුනහොත් ඉස්ලාමය හා ආත්මාරක්ෂාව පදනම් කරගෙන සටනට පිවිසීම. මෙය පුද්ගල හෝ කණ්ඩායම් ගැසී පදනම් විරහිත ලෙස ගන්නා තීන්දුවක් මත සිදු නොවන්නකි. රාජ්‍ය හෝ වගකීම් සහිත ජනතා නායකත්වය හා මඟ පෙන්වීමක් මත මෙය සිදුවිය යුතුය. මෙය ‘සුරක්ෂාවරණ’ ජිහාදය ලෙස හැඳින් වේ.

“කවරෙකු නුඹලා සමඟ යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවූ. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන් ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)

  1. ලොවෙහි සිදුවන අපරාධ, අවනීතිය, දුෂ්ටකම්, ත්‍රස්තවාදය, ආදියට එරෙහිව ඉස්ලාමිය රාජ්‍යයක් විසින් ගන්නා වූ යුධමය පියවරක් ලෙස දෙවන අවස්ථාව නම් කළ හැක. දුෂ්ටකම් හා අසාධාරණය සිදුවන බව පෙනී පෙනී නිහඬ වීමට ඉස්ලාමිය රජයකට අනුමැතිය නොමැත. ස්ත්‍රී බලහත්කාරකම්, ළමා අපයෝජන, මත්කුඩු හා මත්ද්‍රව්‍ය, සොරකම, ත්‍රස්තවාදය, අසාධාරණ පහර දීම් වැනි දෑ පැතිරෙමින් තිබෙන තත්ත්වයක නිහඬ විය හැක්කේ කිනම් ඉස්ලාමීය රජයකට ද? ස්වභාවික නීතිය උල්ලංඝනය නොකොට මේවාට එරෙහිව කටයුතු කිරීම අපගේ වගකීමයි.

සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට සාමය, යුක්තිය හා සාධාරණය ස්ථාපිත කරන තුරු ජිහාදයේ නියැලීම ඉස්ලාමීය රජයකට අනිවාර්ය වන්නේය. මෙය ආක්‍රමණික ජිහාදය ලෙස හැඳින් වේ.

“අපගේ පරමාධිපතියාණනි! අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව. ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත්කරනු මැනව. තවද, ඔබගෙන් වූ උදවු කරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ’යි පවසා සිටින පුරුෂයින් ස්ත්‍රීන් හා ළමුන් අතුරින් දුබලයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් නොවැද (නිහඬව) සිටින්නට නුඹලාට කුමක් සිදු වුයේද?” (අල් කුර්ආන් 4:75)

මේ අනුව ජිහාද් යනු:  

  • තම මනසේ ඇතිවන වැරදි හා අකුසලයට නැඹුරු වූ සිතුවිලි සමග සටන් කොට චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීමට කටයුතු කිරීම ජිහාද් වේ.
  • ලොවෙහි සිදුවන අපරාධ, දුෂ්ටකම් මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම ජිහාද් වේ.
  • ලොවෙහි සිදුවන අපරාධ, දුෂ්ටකම් මෙන්ම ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ලිඛිතව ප්‍රයත්න දැරීම ජිහාද් වේ.
  • ශරීරය යහපත් ක්‍රියා සඳහා උපයෝගී කිරීම හා දෙවිඳුන් විසින් ලබා දී ඇති වරප්‍රසාදයන් හා සම්පත් යහ ක්‍රියාවන් සඳහා වැය කිරීම ජිහාද් වේ.
  • රාජ්‍යයකට පහර දුන්විට එම රාජ්‍යය ආරක්ෂා කිරීම හා සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට ලොවෙහි සාමය ස්ථාපිත කිරීම ජිහාද් වේ.

මේ අනුව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට අදාළ වන්නේ ඉහත 1 සිට 4 දක්වා වූ ජිහාද් ප්‍රභේද පමණක් වන අතර යුක්තිය සාධාරණය සඳහා වූ ආක්‍රමණශීලී හා සුරක්ෂාවරණය සඳහා කරන්නා වූ 5 වැනි ප්‍රභේදය රාජ්‍ය අනුග්‍රහයකින් තොරව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට අදාළ නොවන බව බුද්ධිමත්ව හා යථාර්ථයෙන් කරුණු විමසුමක යෙදෙන ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. එසේ නම් ‘ජිහාදය’ පදනම් කරගෙන ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’  ඇති කිරීමට වෙර දැරීම අර්ථ ශුන්‍ය පදනම් විරහිත ප්‍රයත්නයක් පමණක් බව සනාථ වෙනවා නොවේද? යහ මිනිසෙකු වශයෙන් සෑම මුස්ලිම් වරයෙකුටම අනිවාර්ය වන 1 සිට 4 දක්වා වූ ජිහාද ප්‍රභේද පිළිබඳව ඉදිරිපත් කළ හැකි විවේචන කුමක් ද කියා දැන ගන්නට කැමැත්තෙමු. විවේචන ඇත්නම්  අප වෙත යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ලොව දරුණුම ත්‍රස්තවාදය අභිබවා මහත් වූ ජයග්‍රහණයක් අත්පත් කරගත් අපගේ වීරෝධාර රණවිරුවන් හා මෙම ජයග්‍රහණය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් අති දක්ෂ බුද්ධි අංශයන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා යැයි නිතර චෝදනා කරනු ලබන ‘ජිහාද් කල්ලි’ සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ සැබැවින්ම එවැන්නක් නොමැති නිසා නොවේද කියා ඇසීමට කැමැත්තෙමු. යම් හෙයකින් එවැනි ‘ජිහාද් කල්ලි’ තිබුණත් ඒවා සැබැවින්ම ඉස්ලාමයට පටහැනි ත්‍රස්තවාදී කල්ලි බව හැඳින්වීමට අපගේ මෙම විග්‍රහයන් මගින් පැහැදිලිවේ යැයි විශ්වාස කරන්නෙමු. එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය විසින් උතුරේ හා නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවට අනේක විධ අපරාධයන් සිදු කරමින් සිටි කාල වකවානුවේ බිහි නොවූ ‘ජිහාද් කල්ලි’ දැන් බිහි වීමට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ඇසීම සර්ව සාධාරණ ප්‍රශනයක් නොවේ දැයි කරුණාකර සිතා බලන්න.

ශ්‍රී ලාංකේය ‘ජිහාද් ත්‍රස්ත කල්ලි’

විවිධ මාධ්‍යයන් මගින් ශ්‍රී ලංකාවේ ‘ජිහාද් ත්‍රස්ත කල්ලි’ ක්‍රියාත්මක වෙන බවට සඳහන් ප්‍රවෘති නිරතුරුව ඉදිරිපත් කරමින් මුස්ලිම් ජනයා පිළිබඳ අස්ථාන බියක් ඇති කිරීමට වෙර දරමින් සිටින බව පෙනෙන්නට ඇත. ‘ජිහාද් ත්‍රස්ත කල්ලි’ යනුවෙන් ඔවුන් අදහස් කරනුයේ ‘අන්තවාදී සන්නද්ධ කණ්ඩායම්’ විය යුතුය යන්න අපගේ මතයයි. ‘ජිහාද්’ පිළිබඳ නිවැරදි විග්‍රහය මෙම ලිපිය මගින් ඉදිරිපත් කොට ඇති හෙයින් ‘ත්‍රස්ත කල්ලි’ හා ‘ජිහාද්’ සංකල්පය සමග කිසිදු ආකාරයක සම්බන්ධතාවක් කිසිසේත්ම තිබිය නොහැකි බව බුද්ධිමත්ව සිතන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනීයන සත්‍යයක් විය යුතු බව අපගේ විශ්වාසයයි. ‘අන්තවාදී සන්නද්ධ කණ්ඩායම්’ බිහිවෙන්නට පාදක වන සමාජ හේතු රාශියක් ඇත. එයින් එක් හේතුවක් වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති රාජ්‍යය යාන්ත්‍රණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම හා ජනයාගෙන් එක් කොටසක් ඉලක්ක කොට ගෙන අසාධාරණ ලෙස පහරදීම් හා ඝාතන තවත් කොටසක් විසින් සිදු කරද්දී නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට වින්දිත පාර්ශවය විසින් සමහර අවස්ථාවන්හිදී ක්‍රියා කිරීමට කටයුතු කිරීමට ඉදිරිපත් වන විට මෙවන් ‘අන්තවාදී සන්නද්ධ කණ්ඩායම්’ බිහිවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකිය යන්න සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයා බෙදුම්වාදී ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ කාලයේ මුහුණ දුන්නු අති භයානක අත්දැකීම් රාශියෙන් පහතින් සඳහන් කොට ඇති සිදුවීම් කිහිපය දෙස විමසුම් හා විචාරශීලීව අවධානය යොමු කරන්නේ නම් මෙරට මුස්ලිම් ජනයාට ‘අන්තවාදී සන්නද්ධ කල්ලි’ හැදීමට සුදුසුම කාලවකවානුව එය බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. එහෙත් නිවැරදි ආගමික මගපෙන්වීම් අනුගමනය කරමින් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පිණිස ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් හා අන් හැකි සියලු අයුරින් දායක වූ බව අප සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යය කරුණකි. එම උදාහරණ කිහිපය දෙස අපගේ අවධානය යොමු කරමු.

1990 ජුලි මස 2 වැනි දින: කොළොඹ සිට තම ගම් ප්‍රදේශය කරා ගමන් කරමින් සිටි මුස්ලිම්වරුන් 194 දෙනෙකුව කුරුක්කුලමඩම් ප්‍රදේශයේදී වාහනයෙන් බස්සවා වෙඩි තබා ඝාතනය කිරීම. මෙම 194 දෙනාගෙන් 50 දෙනෙකුම මක්කාවට ගොස් හජ් වතාවත් ඉටුකොට ආපසු පැමිණෙමින් සිටි පිරිසකි.

1990 අගෝස්තු 3 වැනි දින: කාත්තන්කුඩියේ මීරා ජුම්මා පල්ලියේ හා හුසේයිනියා පල්ලියේ නැමදුමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් 103 දෙනෙකුව ඝාතනය කරන ලදී.

1990 අගෝස්තු 21 වැනි දින: එරාවුර් සද්දාම් හුසෙයින් ගම්මානයේ මුස්ලිම්වරුන් 153 දෙනෙකුව ඝාතනය කරන ලදී.

1990 ඔක්තෝම්බර් මස: එල්. ටී. ටී. ඊ. ව්‍යාපාරයට මුස්ලිම්වරුන් සහාය නොදක්වන බව පවසා කාන්චිපුරම් හි 100 දෙනෙකුට වඩා මුස්ලිම් වරුන් ව ඝාතනය කරන ලදී.

1990 ඔක්තෝම්බර් මස: එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් උතුරේ සිටි මුස්ලිම්වරුන් සැවොම  24 පැයක් ඇතුලත තමන්ට අයත් සියල්ල අතහැර දමා සිලි සිලි බෑග් එකක පමණක් අවශ්‍ය දෙයක් ඇත්නම් ගෙනයන ලෙස පවසා පලවා හරින ලදී.

මන්නාර් හා වවුනියා ප්‍රදේශයන්හි මුස්ලිම්වරුන්ව ද මෙලෙසම පලවා හරින ලදී.  1994 දී ප්‍රකාශයක් කරමින් ඊළාම් ව්‍යාපාරයේ සතුරන් ලෙස ක්‍රියා කළ උතුරේ මුස්ලිම්වරුන් 60,000 ක් ව පලවා හරින්නට සිදු වූ බව වේලු පිල්ලේ ප්‍රභාකරන් විසින් පවසන ලදී.

1992 අප්‍රියෙල් 29 වැනි දින: පොලොන්නරුව අලිනැතිපතන ගම්මානයේ මුස්ලිම්වරුන් 56 දෙනෙකුව ඝාතනය කරන ලදී.

1997 ජූලි 19 වැනි දින: පාර්ලිමේන්තු මන්ත්‍රී එම. මහරුෆ් මහතාව ඝාතනය කිරීම.

2007 අගෝස්තු 1 වැනි දින: මුතුර් හි දී මුස්ලිම්වරුන් 55 දෙනෙකුව ඝාතනය කරන ලදී.

2009 මාර්තු 10 වැනි දින: අකුරැස්සේ ගොඩපිටිය ජුම්මා පල්ලිය අසල මුස්ලිම්වරුන් 15 දෙනෙකු ඝාතනය කරන ලද අතර 46 දෙනෙකු තුවාල ලැබුහ.

ඉහතින් උපුටා දක්වන ලද්දේ වාර්ගික කොටසක් ලෙස මුස්ලිම්වරුන්ට සිදුවූ අපරාධ හා අසාධාරණකම් වලින් බිඳක් පමණි. කරුණාකර තම හෘදසාක්ෂියට එකඟව මෙවන් අධි පීඩාකාරී තත්ත්වය තුලත් මෙරට මුස්ලිම් ප්‍රජාව ක්‍රියා කලේ රටේ නීතියට අනුකුලවද නැතිනම් අන්තවාදී ලෙසද කියා  පවසා සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු. ‘අන්තවාදී සන්නද්ධ කල්ලි’ ගොඩ නගන්නට මෙයට වඩා අනුකුලතාවක් ඇති වෙනත් සමාජ පරිසර තත්ත්වයක් තිබේ ද කියා අසන්නට කැමැත්තෙමු. මෙලෙස රටේ නීතිය, සාමය හා ඒකීයභාවය සුරැකීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පදනක් විරහිත චෝදනා නගමින් කෙණහිලිකම් කිරීමට කටයුතු කිරීමට වෙර දරන පාර්ශවයන් කෙරෙහි අපගේ දැඩි පිළිකුල ප්‍රකාශ කර සිටින්නෙමු.

ඉස්ලාමය හා ජිහාදය  

ඉස්ලාමය යනු මිනිසාගේ මිහිතලය මත වූ ජීවිතය සඳහා පරිපුර්ණ මග පෙන්වීමක් ලබා දෙන අංග සම්පුර්ණ ජීවන සැලැස්මකි. සෞඛ්‍යය, පවුල් ජීවිතය, සමාජයීය සබඳතා,  ආර්ථිකය, දේශපාලනය, රාජ්‍ය පාලනය, ජාත්‍යන්තර සබඳතා ආදී සියලු අංග අන්තර්ගත වන පරිදි ඉගැන්වීම් හා මග පෙන්වීම් ඉස්ලාමය ලබාදෙයි. මේ සියල්ල අතුරින් ඉස්ලාමීය රාජ්‍යයක ආරක්ෂාව මෙන් ම යුක්තිය හා සාධාරණය මත මනුෂ්‍යත්වයේ යහපත සඳහා වූ සිදු කෙරෙන ජිහාද් ප්‍රභේදය පිළිබඳව පමණක් ජාත්‍යන්තරව හඬක් නගන්නේ කුමක් නිසාද යන්න ප්‍රහේලිකාවක් ව පවතී. ඉස්ලාමයේ අනෙකුත් අංග පිළිබඳව මෙතරම් දරුණු අයුරින් විවේචන දකින්නට නොමැති අතර ජිහාදයේ සුළු ප්‍රභේදයන් අතුරින් ඉහත විග්‍රහ කළ 5 වන ප්‍රභේදය පමණක් තෝරාගෙන විවේචන ඉදිරිපත් කිරීම පිටිපස අනිවාර්යයෙන්ම සැඟවුණු අරමුණු නිසැකවම තිබිය හැක. මෙම 5 වන ප්‍රභේදයට අයත් සුරක්ෂාවරණ හා ආක්‍රමණික ජිහාදය පිළිබඳව අල් කුර්ආනයේ සඳහන් වැකි ඇත්තේ 5ත් 10ත් අතර වැනි ඉතාම අල්ප ප්‍රමාණයකි. නමුත් සාමය, සමාදානය හා සහජීවනය පිළිබඳව අල් කුර්ආනයේ වැකි 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර මේවා පිළිබඳව කතා නොකිරීමට අපොහොසත් වීම විශ්මයට කරුණක් නොවේදැයි අසන්නට කැමැත්තෙමු.

දුෂ්ටකම් නොකරන සාමයෙන් හා සමාදානයෙන් ජීවත්වන සියලු ජනයා සමග යහ මහජන සබඳතා පවත්වා ගැනීම පිළිබඳව ඉස්ලාමයේ ඇති ඉගැන්වීම් ඔවුන් නොසලකා හැරීම ද අපගේ විමතියට හේතු වී ඇත.

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60:8)

මෙම අල් කුර්ආන් වැකිය බහු ආගමික හා බහු වාර්ගික සමාජයක සාමය හා සංහිඳියාව සහතික කරන්නක් නොවේ ද?

ඉස්ලාමිකයින් නොවන්නන් සැවොම ඝාතනය කරන ලෙස අල් කුර්ආනයේ වැකි පිළිබඳව වැරදි හා අවිචාරවත් අයුරින් අර්ථ දක්වමින් මුස්ලිම් ජනයා පිළිබඳ භීතිකාවක් ඇති කිරීමට කටයුතු කරන්නන් ඉහත වැකිය ගැන කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. මෙවන් ප්‍රෝඩාකාරී හැසිරීම සැබැවින්ම පිළිකුල් සහගතය.

“නුඹලාගෙන් ඔවුන් (සටන් කිරීමෙන්) ඉවත් වී නුඹලා සමග කිසි විටෙක සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව (සටන් කිරීමට) නුඹලාට කිසිම මඟක් අල්ලාහ් ඇති නොකරන්නේය”. (අල් කුර්ආන් 4:90)

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු”.  (අල් කුර්ආන් 8:61)

අනෙකුත් සියලු දහම් අනුගමනය කරන්නන් විනාශ කිරීම සඳහා ඉස්ලාමිකයින් සැදීපැහැදී සිටිනා බව චෝදනා නගන්නන් ඉහත අල් කුර්ආන් වැකි උපුටා දක්වන්නට ඉතා අසරණ ලෙස අපොහොසත් වෙති. හේතුව ඉහත අල් කුර්ආන් වැකි අනුව අන් දහම් අනුගමනය කරන්නන්ට හානියක් කිරීම ඉස්ලාමයේ අරමුණ නොවන බව පැහැදිළිව දකින්නට ඇති හෙයිනි.

හය වැදෑරුම් මනඃකල්පිත මුසාවාද ‘ජිහාදය’

මෙයට පෙර කිසිම ඉස්ලාමීය විද්වතෙක් දැන නොසිටි කිසිම ඉස්ලාමීය මුලාශ්‍ර ග්‍රන්ථයක සඳහන් නොමැති ජිහාද් ප්‍රභේදයක් සමහර ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් ඉදිරිපත් කොට මුස්ලිම් භීතිකාවක් ඇති කිරීමට වෙර දරා ඇත. ඔවුන්ගේ මෙම හය වැදෑරුම් ජිහාදය පහතින් දක්වා ඇති අතර මෙම මනඃකල්පිත මුසාවාද ප්‍රබන්ධය කෙසේ නම්  ඉහත අල් කුර්ආන් ඉගැන්වීම් සමග එකඟතාවකට ගෙන ඒමට හැකිවන්නේ ද කියා අසන්නට කැමැත්තෙමු.

  1. වෙනත් ආගමක් බහුතර ආගම වූ රටවල ඒ ඒ ආගම් වලට අතිශය වැදගත් වන්නා වූ ‘මර්මස්ථාන’ ආශ්‍රිතව ඒ අවට ඇති ඉඩ කඩම් මොන වියදමක් දරා හෝ මිලයට ගැනීම – මේ සඳහා ඔවුන්ට අරාබිකරයෙන් නොමසුරුව ආධාර උපකාර ලැබේ.
  2. අනුක්‍රමයෙන් එම කුඩා ‘සහවාස’ යන් ‘ජනාවාස’ බවට පත් කර ගැනීම.
  3. කල් යත්ම ක්‍රමයෙන් එකී ආගමික මර්මස්ථාන අවට හා ඒ තුළ ඇති ඒ ඒ ජාතීන්ට හා ආගම් වලට අයත් පෞරාණික සළකුණු මකා දමා හානි කිරීම හෝ ඔවුන්ගේ අර්ථයන් එන පරිදි විකෘති කිරීම.
  4. ඉක්බිති ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයන් ආදේශ කොට ‘ව්‍යාජ උරුමයක් හා ඉතිහාසයක්’ සකසා ගෙන අනාගතයේ උපදින්නන්ට ‘මේවා අපගේ මුතුන් මිත්තන් ගොඩ නැගූ දෑ’ බව පැවසීම.
  5. ක්‍රමයෙන් ඒ ඒ ආගමික මර්මස්ථාන අවට සිටින ඒ ඒ ආගම් වඳින පුදන බැතිමත් පවුල් සංඛ්‍යාව අඩු කොට ඒ ආගමික පුජක පක්ෂයත් සිද්ධස්ථාන තුළ අනුග්‍රහයෙන් තොරව හුදකලා කොට අවසානයේ පලවා හැරීම.
  6. කෙසේ හෝ ඒ ඒ කලාපීයව බලවත් ආගම් අදහන තරුණ තරුණියන් විවාහ කර ගන්නා ලෙසට තම තරුණ තරුණියන් පෙළඹවීම. එයින් හැකි නම් ඒ පාර්ශවයන් තම දහමට හරවා ගැනීම හෝ අවම තරමේ දරුවන්වත් සෘජුව සිය වර්ගයට එක්කර ගැනීම.

මෙම හාස්‍ය ජනක මුසාවාද ජිහාද් ප්‍රබන්ධය ‘මනඃකක්ල්පිත මුසාවාදය’ සඳහා නෝබෙල් තෑග්ගක් නියම කොට ඇත්තම් එයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු බව කිසිම පැකිලීමකින් තොරව නිර්දේශ කළ හැකි වනු ඇත.  මුස්ලිම්වරුන් මෙලෙස සැලසුම් සහගතව අන් ආගමික ස්ථාන අත්පත් කරගෙන තමන්ට සුජාත කර ගැනීමට කුමන්ත්‍රණකාරීව කටයුතු කොට ඇත්නම් කරුණාකර පෙන්වන්න. මෙම කටයුත්ත ඔවුන් පවසන අන්දමට ඒක පාර්ශවීයව කළ හැක්කක් නොවේ. නමුත් වර්තමානයේ සියලු පෞරාණික ස්ථාන මෙන්ම ප්‍රතිමා වහන්සේලාත් ඉතාම අකාරුණික ලෙස බිඳ දමා නිදන් හොරුන් විසින් වනසා දැමීමට කටයුතු කොට ඇත. මෙම පුරාවස්තු විනාශය පිළිබඳව ඇති නිහැඬියාව නම් සැබැවින්ම කන් බිහිරි කරවන තරම් ය.

යුද්ධ හා ගැටුම් පිලිබඳ පොදු මතයන්

යුද්ධ හා ගැටුම් පිළිබඳව මානව විද්‍යාත්මක (Anthropological) අධ්‍යයනයන් කිහිපයක් පවත්වා ඇත. මේ අධ්‍යයනයන් සියල්ලම පාහේ පැමිණ ඇත්තේ සමාන නිගමනයන්ටය. අනාදිමත් කාලයේ සිට මිනිසා ගැටුම් හා යුද්ධයන්ට මැදිහත් වී ඇති අතර සැබැවින්ම මෙය මිනිස් ස්වභාවයේ යථාර්ථයක් බවත් මෙම අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත. නමුත් යුද්ධ හා ගැටුම් වලට මුල් වූ හේතු වෙනස් විය හැක. භුමිය, රාජ්‍ය බලය, සම්පත්, දහම, නිදහස, ගෞරවය යනාදී කරුණු මෙයට හේතු වුවා විය හැක. එලෙසම තමන්ව හා අන් අයව ආරක්ෂා කර ගන්නටත්, සතුරන් ට පහර දීමටත් මිනිසුන් යුද්ධ හා ගැටුම් කෙරෙහි යොමු වන බව සත්‍යයකි. කෙටියෙන් පවසන්නේ නම්, යුද්ධ හා ගැටුම් පොදු මානව සංසිද්ධියක් විනා එය එක් වාර්ගික කොට්ඨාශයකට, දහමකට, රටකට හෝ දෘෂ්ටියකට පමණක් සීමා වුවක්‌ නොවේ.

අල් කුර්ආනය හා ශුද්ධ බයිබලය පවසන අන්දමට මිහිතලය මත බිහිවූ පළමු මිනිසා වූ ආදම්තුමාගේ දරුවන් දෙදෙනා අතර මිනිස් ඉතිහාසයේ පළමු ගැටුම ඇති වූ බව සඳහන් වේ. බුදු දහම මිනිස් ගැටුම් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු දෙසට ද අවධානය යොමු කරමු. දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ විස්තර කරන පරිදි ආභස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණි පිරිසකගෙනුයි මිනිස් පරපුරේ සම්භවය ඇති වන්නේ යැයි එහි සඳහන් වේ. මෙම පිරිස අතර අලසකම, නුදුන් දේ ගැනීම, බොරු කීම, වැනි හේතුන් මත ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇති වූ හෙයින් පාලකයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාව මතුවිය. එහෙයින් මිනිස් පරපුරේ පළමු පාලකයා වූ මහා සම්මත රජු පත්කර ගැනීමට කටයුතු කරන ලද බව එහි සඳහන් වේ. සුරසුර යුද්ධය ද තවත් උදාහරණයකි. බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසු කාලයේදීම විඩුඩභ රජු හා ශාක්‍යය වංශිකයින් අතර යුද්ධය වළකාලන්නට බුදුන් වහන්සේ තෙවරක් කටයුතු කළ ද හතර වන වතාවේ බුදුන් වහන්සේ එසේ කිරීමට ඉදිරිපත් නොවුන අතර ඉන් පසු ඇතිවූ යුද්ධයෙන් ශාක්‍යය වංශිකයින්ට මහත් වූ හානි සිදු වූ බව සඳහන් වේ. මේ අනුව බැලීමේදී මිනිස් සමාජයේ ගැටුම් මිහිතලයේ මිනිසාගේ සම්භවය දක්වා ඈතට දිවයන එකක් බවත් එය මිනිස් සංහතියේ වාර්ගික, ආගමික, භෞමික හෝ සංස්කෘතික භේදයකින් තොරව පොදුතාවකින් සිදුවන්නක්  ලෙස ද පැහැදිලි වේ.

වර්තමාන ලෝකයේ දැනටමත් විවිධ යුද්ධ සිදුවෙමින් පවතී. මේවා සියල්ලම පාහේ ඛනිජ තෙල් වැනි සම්පත් සඳහාත්, ලෝක බලවතුන් ට  අවනත නැති රටවල් අස්ථාවර කිරීම පිණිසත්, යුද්ධෝපාය ස්ථාන අත්පත් කර ගැනීම සඳහාත් කරන යුද්ධ බවට මැදිහත් ව සිතන ඕනෑම අයෙකුට නිරවුල් ව පෙනී යන සත්‍යයකි. මෙයට උදාහරණ වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය හා යුරෝපා සංගමය එකතුව ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන යන යුද්ධ පෙන්වා දිය හැක. සමුහ මිනිස් ඝාතක අවි (Weapons of Mass destruction) ගබඩා කොට ඇති බවට නිශ්චිත බුද්ධි අංශ වාර්තා ඇති බවට සඳහන් කරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඉරාකය ආක්‍රමණය කළහ. ඔවුන් කිසිදු සමුහ මිනිස් ඝාතක අවියක් සොයා නොගත් අතර මෙම චෝදනාව හුදෙක් එම රට ආක්‍රමණය කිරීම ලෝකයා ඉදිරියේ සාධාරණීය කිරීම සඳහා ඉදිරිපත් කළ මිත්‍යා ප්‍රචාරයක් පමණක් බව මෙයින් සනාථ වෙනවා නොවේ ද?

යුද්ධ හා ගැටුම් පිළිබඳ ඉස්ලාමීය මතය.

ඉස්ලාමිකයින් යුද්ධයකට අවතීර්ණ වන්නේ නම්, එය සාමය ඇති කිරීම උදෙසා සාධාරණය හා යුක්තිය මත පදනම් වූ එකක් විය යුතු බව මෙම ලිපියේ ඉහතින් සනාථ කර ඇත්තෙමු.

යම් අවස්ථාවන්හි දී ආක්‍රමණකාරී ජිහාදයේ (ප්‍රයත්නයේ) යෙදෙන්නට සිදුවන අවස්ථාවන් ද නැත්තේ නොවේ.  මෙවන් තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවන්නේ බලය යොදා ඉස්ලාමය ව්‍යාප්ත කිරීම හෝ අන් දහම් විනාශ කිරීම හෝ අරමුණු කොට ගෙන නොවේ. මෙලෙස බලය යොදා ඉස්ලාමය ව්‍යාප්ත කිරීම හෝ අන් දහම් විනාශ කිරීමට කටයුතු කිරීම සහතික වශයෙන්ම ඉස්ලාමීය  ප්‍රතිපත්තිය නොවේ. මෙම ජිහාදයේ අරමුණ මිනිස් සංහතියේ අයුක්තිය හා දුෂ්ටකම් වල බලවේගයන් තුරන් කිරීමට කටයුතු කිරීමය. අයුක්තිය හා දුෂ්ටකම් තුරන් කිරීම ජිහාදයේ අරමුණ නම් කෙලෙස නම් අයුක්තිය හා දුෂ්ටකම් ජිහාදයේ පදනම විය හැක්කේ ද කියා අසන්නට කැමැත්තෙමු.

සියලුම ආකාරයේ යුධ තත්ත්වයන්හි දී ඉස්ලාමීය මග පෙන්වීම් අනුගමනය කරමින් කටයුතු කළ යුතුය. යුද කටයුතු සම්බන්ධව අනුගමනය කළ යුතු ඉස්ලාමීය ආචාර ධර්මයන් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

  1. කිසිවෙකුව ගින්නෙන් පුලුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වධ හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන් ම තහනම්ය.
  2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන් ට පහර නොදිය යුතුය.
  3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.
  4. යුද සිරකරුවන්ගේ මුලික අවශ්‍යතා නිසි ලෙස ඉටුකර දිය යුතුය.
  5. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.
  6. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපළ හානි සිදුකිරීම, සපුරා තහනම්ය.
  7. තමන් යටතට පත් වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.
  8. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගඡේදනයන් කිරීම සපුරා තහනම්ය.
  9. සතුරු මෘත දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.
  10. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.
  11. මහලු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.
  12. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.
  13. ගස් හා භෝග වර්ග විනාශ නොකළ යුතුය. මේවාට ගිනි තැබීම සපුරා තහනම්ය.
  14. සතුරු කඳවුරට අයත් ගව මහීෂාදීන් නිකරුණේ මරා නොදැමිය යුතුය.

ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය. මේ අනුව ඉස්ලාමය යුද්ධ කරන්නේ මිනිසුන් ඝාතනය කිරීම සඳහා නොව අපරාධය ඝාතනය කිරීම සඳහාය.

වර්තමාන බටහිර ජාතීන් රටක් ආක්‍රමණය කරන විට ඉහත යහ චර්යාවන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අමුතුවෙන් අදහස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවන බව අප සැවොම දන්නා කරුණකි. ඉරාකය හා ඇෆ්ගනිස්තානය යන රටවල්වල සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාවක් ඔවුන්ගේ උණ්ඩ වලට ඉලක්ක වී ජීවිත පරිත්‍යාග කළ අතර  දැනටත් එය සිදු වෙමින් පවතින බව මාධ්‍යය දෛනිකව වාර්තා කරමින් සිටියි. එම රටවල්වල යටිතල ව්‍යුහයන් විශාල ප්‍රමාණයක් විනාශ කොට දමා ඇති අතර ඒවා පුනර්නිර්මාණය කිරීමේ කොන්තරාත්තු බටහිර සමාගම් වලට ලබා දී එහි පිරිවැය යටත් කර ගත්තාවූ රටට ගෙවන්නට කටයුතු සලස්වා තිබේ. ඉරාකය මෙයට කදිම නිදසුනකි. ඉහතින් සඳහන් කළාක් මෙන් බටහිර රටවල් සම්පත් සුරා කෑමටත්, යුද්ධෝපාය ස්ථාන අල්ලා ගැනීමටත්, තමන්ට අවනතභාවයක් නොදක්වන රටවල් අස්ථාවර කරන්නටත් නුතනයේ යුද වදින බව පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මෙවන් හේතු පදනම් කර ගෙන යුද්ධයකට අවතීර්ණ වීම සහමුලින්ම තහනම්ය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව යුද්ධයකට අවතීර්ණ වීමට අනුමැතිය ඇති හේතු දෙක ඉහතින් සඳහන් කර ඇත්තෙමු.

ඉස්ලාමීය යුද්ධ පිළිබඳ උදාහරණයන්

“වර්ෂ 638 දී ඉස්ලාමීය රාජ්‍යයේ ආධිපත්‍යය ජෙරුසලම දක්වා ව්‍යාප්ත විය. බෛසන්තියානු අධිරාජ්‍යයේ හමුදාව හා ප්‍රාදේශීය සොල්දාදුවන් විසින් ඉස්ලාමීය රාෂිදුන් හමුදාව සමග හමුදා මෙහෙයුමකට ඉදිරිපත් වුහ. රෝම අධිරාජයා වූ හෙරක්ලියස් රෝගී තත්ත්වයේ සිටි හෙයින් වර්ෂ 634 දී සිරියාව හා පලස්තීනය අරාබි හමුදාවන් විසින් විජයග්‍රහණය කළ අවස්ථාවේ අරාබි හමුදාවට එරෙහිව රෝම හමුදාවන්ට නායකත්වය දීමට ඔහුට නොහැකි විය. කාලිද් ඉබ්නු වලීද්ගේ නායකත්කය යටතේ රාෂිදුන් කාලිෆ් වරයාගේ හමුදාවන් කි.ව. 634 දී ඩැමස්කස් හි බලය තහවුරු කර ගත්තේය (“Syria” Encyclopedia Britannica). සිරියාවේ සෑම පෙදෙසකම මොනොෆිසයිට් නම් කිතුනු නිකාය හා යුදෙව්වන් අරාබි පාලකයින්ව සතුටින් පිළිගත්හ. මෙයට හේතු වුයේ අරාබිවරුන්ට පෙර සිරියාව පාලනය කළ බෛසන්තියානුවන්ගේ හිංසනය හා අධික බදු බර පැටවීමය. අරාබි පාලකයින් විසින් බදු වශයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් අයකර ගැනීම ඔවුන්ගේ සතුටට හේතු විය. (“Ghassan” Encyclopedia Britannica). අරාබියානු ගෝත්‍රිකයින් හා සශ්‍රීක චන්ද්‍රවංකයේ විශේෂයෙන්ම අරාබි රටවැසියන් සමග සැලකිය යුතු ආර්ථික, සංස්කෘතික හා පවුල් සබඳතාවන් තිබිණි. මුස්ලිම් වරුන්ට එරෙහිව හෙරක්ලියස් තම හමුදා රැස් කොට යර්මුක් හිදී මුස්ලිම් වරුන් හා  සටනට එන බව මුස්ලිම්වරුන් දැනගත් විගස හිම්ස් ප්‍රදේශයේ ජනයාට ඔවුන් විසින් ගෙවන ලද බදු මුදල් ආපසු දුන්හ. ඔවුන් එසේ කළේ පොරොන්දු වූ පරිදි එම ප්‍රදේශයේ ජනයා ආරක්ෂා කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට නොහැකි ආකාරයේ පීඩනයකට ඔවුන් පත් වී සිටි හෙයිනි. එහෙයින් එම ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. එවිට හිම්ස් වැසියන් පවසා සිටියේ “අප පෙර සිටි දුෂ්ට පාලනය හා කෲර භාවයට වඩා ඔබගේ යුක්තිගරුක පාලනයට කැමැත්තෙමු.හෙරක්ලියස්ගේ හමුදාව සැබැවින්ම ඔබගේ හමුදාවේ උපකාරයෙන් මෙම නගරයෙන් පලවා හරින්නෙමු” යැයි පවසා සිටියහ. එම නගරයේ යුදෙව්වන් නැගී සිටිමින් “අපව සහමුලින්ම යටපත් කර ගැනීමකින් හා අඩපන කිරීමකින් මිස හෙරක්ලියස්ගේ කිසිම ආණ්ඩුකාරවරයෙකුට හිම්ස් නගරයට ඇතුළු වන්නට ඉඩ නොතබන බව තෞරාතය මත දිවුරා සිටින්නෙමු” යැයි පවසා සිටියහ. මෙසේ පවසමින් නගරයේ සියලු දොරටු වසා දමා ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළහ. මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ගතව සිටි අනෙකුත් නගරයන් හි කිතුනු හා යුදෙව් ජනයා ද එලෙසම කටයුතු කරමින් “මුස්ලිම් හමුදාව පරාජයට පත් කොට හෙරක්ලියස්ගේ හමුදාව ජය ගත්තේ නම් අප පෙර සිටි අවාසනාවන්ත තත්ත්වයට පත්වන්නෙමු. මුස්ලිම්වරුන්ට පිරිස් ශක්තිය ඇතිතාක් කල් අප ඉන්නා වත්මන් යහ තත්ත්වය ආරක්ෂා වනු ඇත” යයි පවසා සිටියහ. අල්ලාහ්ගේ උපකාරයෙන් මුස්ලිම් හමුදාව ජයගත් විට නගරයේ සියලු දොරටු විවෘත කොට ගැයුම් වැයුම් වලින් වලින් යුක්තව පිටතට ගොස් ආපසු දෙනු ලැබූ බදු මුදල් නැවත ගෙවා දැමුහ.” (P. K. Hitti and F. C. Murgotten – Studies in History, Economics and Public Law – Page 207 – 211).

මෙම උදාහරණයෙන් පැහැදිලිවන වැදගත් සත්‍යය නම් මුස්ලිම් වරුන්ගේ සටන පැවතියේ කිතුනු රාජධානියක්  සමග වුවද මුස්ලිම් රාජ්‍යයේ සිටි කිතුනුවන් මෙම ගැටුම් හේතුවෙන් කිසිදු ආකාරයක අපහසුතාවකට පත් නොකරන ලද බවය. එනම් ජිහාද් යනු එක් දහමකට හෝ ජාතියකට එරෙහිව කරන්නා වූ යුද්ධයක් නොවේ. එය හුදෙක් දුෂ්ට හා අපරාධකාරී පාලනයකට එරෙහිව යුද වැදී යුක්තිය හා සාධාරණය ස්ථාපිත කිරීමට කටයුතු කිරීමකි.

ආක්‍රමණකාරී ජිහාදය පදනම් කරගෙන මුස්ලිම්වරුන්ට එරෙහිව නගන්නා වූ චෝදනා

  1. බදු වශයෙන් මුස්ලිම් නොවන්නන්ගේ මුදල් ගසා කෑම ජිහාදයේ අරමුණයි.

පැහැදිලි කිරීම

ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත.

සෑම මුස්ලිම් නොවන්නෙක්ම ‘ජිස්යා’ බදු ගෙවිය යුතු නොවන්නේය. සමහර පාර්ශවයන් ‘ජිස්යා’ බදු ගෙවීමෙන් වැළකී සිටීමට හැකිය. එම පාර්ශවයන් පිළිබඳ විස්තර සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

 කාන්තාවන් හා ළමුන්

  1. ධනවත් වූවත් ආබාධිතයින්, අන්ධයින් හා වයෝවෘධයින්
  2. දුප්පත් හා මානසික රෝගීන්
  3. දෛනික වේතන උපයන්නන්, සේවකයින් හා කුලී කම්කරුවන්
  4. ධනවත් වූවත් නිදන්ගත රෝගීන්
  5. ආගමික නායකයින් හා සියලූම පුජක පක්ෂය
  6. මුස්ලිම් නොවන්නෙකු ස්වේච්ඡාවෙන් හමුදා සේවයට බැඳී රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙන අවස්ථාවක හා
  7. මුස්ලිම් නොවන්නන් ව ආරක්ෂා කිරීමට පහසුකම් සැපයීමට ඉස්ලාමීය රාජ්‍යය අපොහොසත් වන අවස්ථාවන්හි දී ‘ජිස්යා’ බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නේය.

(See Ibnul Qayyim, Ahkam Ahlul Dhimma, Volume1, pp.8, 15 and al-Shafi’, al-Umm¸ pp. 172-1)

ඕනෑම කාලවකවානුවක සෑම රජයකටම ගෙවනු ලබන බදු මුදල හා සමාන බද්දක් ලෙස මෙය සැලකිය හැක. සෑම පුරවැසියෙක්ම මහජන සේවාවන් නඩත්තු කිරීම පිණිස බදු මුදලක් ගෙවීමට අවශ්‍යය වන්නේය. උසාවි, පොලිස් සේවාව, මහජන සේවා කටයුතු, මංමාවත් හා පාලම් ඉඳිකිරීම හා අලුත්වැඩියා කිරීම හා මහජන යහපත සඳහා පවත්වාගෙන යන පොදු සේවාවන් සඳහා බදු අයකර ගැනීමේ අවශ්‍යතාව ඇත්තේය. මුස්ලිම්වරුන් ‘සකාත්’, ‘සදකතුල් ෆිත්ර්’ හා අනෙකුත් ‘සදකා’ නමින් හැඳින්වෙන පුණ්‍යමය දීමනා මගින් මෙම කටයුත්තට දායක වෙති. එහෙයින් මුස්ලිම් නොවන්නන්ගෙන් මෙවන් සුළු ‘ජිස්යා’ නමින් වූ බද්දක් අයකර ගැනීම පුදුමයට හේතුවක් නොවේ.

මෙලෙස ගෙවන්නට සිදුවන මුදල ඉස්ලාමීය රාජ්‍යයට පෙර ගෙවූ සාමාන්‍ය බදු මුදලට වඩා බෙහෙවින්ම ඉතා අල්ප ප්‍රමාණයකි.  

මුස්ලිම්නොවන්නන්ට වඩා අධික බද්දක් මුස්ලිම්වරුන්ට ගෙවන්නට සිදු වී ඇති අතර එය ඔවුන්ගේ සියලුම සම්පත්, ආහාර ආදිය මත පනවනු ලැබුවකි. මුස්ලිම් නොවන කාන්තාවන් ‘ජිස්යා’ බද්දෙන් නිදහස් අතර මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ‘සකාත්’ ගෙවියයුතු වන්නේය. මේ සියල්ල ගෙවමින් මුස්ලිම් නොවන්නන්ව ආරක්ෂා කිරීම මුස්ලිම්වරුන්ගේ වගකීමක් ව පවතී.

ඕනෑම යථාර්ථවාදී නිරීක්ෂකයෙකු විසින් මෙම නීතිය සාධාරණ නොවන්නේ මුස්ලිම්වරුන්ට මිස මුස්ලිම්නොවන්නන්ට නොවන බව තීන්දු කිරීමට ඇති යුක්ති සහගත ඉඩකඩ පිළිබඳව මුස්ලිම් භීතිකා කර්තෘ වරුන් සිතා බැලිය යුතු නොවේ ද?

මේ පිළිබඳ එක් වැදගත් උදාහරණයක්

“ඉස්ලාමීය රාජ්‍යයක ජීවත්වන මුස්ලිම් නොවන ප්‍රජාව ‘ජිස්යා’ බදු ගෙවීම හේතුවෙන් සැලසෙන සේවාවන් අතුරින් කිහිපයක් නම් ඔවුන් හමුදා සේවයෙන් නිදහස් වන අතර බාහිර ආක්‍රමණයකදී ඔවුන්ව ආරක්ෂා කිරීමට මුස්ලිම් හමුදාව බැඳී සිටීමය. ඉස්ලාමීය පාලනයේ විසු කිතුනු ප්‍රජාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් අයුරින් හමුදාව යෙදවීමට අපොහොසත් වූ තත්ත්වයක් උදාවූ එක් අවස්ථාවක ඔවුන්ගෙන් අයකරගෙන තිබූ ‘ජිස්යා’ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබාගෙන ආපසු ගෙවීමට කටයුතු කරන ලදී. මෙම ක්‍රියාව ඔවුන්ගේ මහත් වූ සතුටට හේතු වූ අතර දෙවිඳුන් අයැදිමින්  මුස්ලිම් හමුදාවට ජයග්‍රහණය පතා මෙලෙස යාඤා කළහ.

‘සතුරන් පරාජය කොට ආරක්ෂා සහිතව අප අතරට ආපසු ඒමට අල්ලාහ්ගේ උපකාරය ඔබට ලැබේවා. ඔබලා වෙනුවට සතුරන් ඔබගේ ස්ථානයේ සිටියා නම් අපට කිසිවක් ආපසු ලබා දෙනවා වෙනුවට අප සතු අනෙකුත් වස්තුන් ද කොල්ල කන්නට කටයුතු කරනු ඇත’ (ඉමාම් තබාරී – Tarikh Ath Tabari – Volume 1- Page 2050)

අල් කුර්ආන් වැකි හා නබි වදන් පිළිබඳ චෝදනා

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ 2014/09/28 වැනි දින පැවත් වූ සඟ සමුළුවේ දී විවේචනයට ලක් කරන ලද අල් කුර්ආන් වැකි හා නබි වදන්

මෙම අල් කුර්ආන් වැකි ඉහත සමුළුවේ දී ඉදිරිපත් කරන ලද ආකාරයෙන් ම පහතින් දක්වා ඇත්තෙමු.

“මුස්ලිම් වරුනි, අල්ලාහ් සහ ඉස්ලාමය හැර අනෙකුත් සියලු ආගම් සහ ඇදහීම් බූමියෙන් විනාශකොට අතුගාදමන තුරු සහ එකම ආගම ඉස්ලාමය පමණක් වනතුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන්කරන්න” (අල් කුර්ආන් 2 : 193)

“ජිහාදය යනු අල්ලාහ්ගේ අරමුණු ඉෂ්ටකිරීම සඳහා මුස්ලිම් නොවන ජනසමූහයාට විරුද්ධව කරන්නාවූ ශුද්ධ වූ සටනයි. එය සියලුම මුස්ලිම් වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියමකොට ඇත. එයට ඔබ අකමැති වුවද එය ඔබට අනිවාර්ය කොට ඇත”. (අල් කුර්ආන් 2 : 216)

“අල්ලාහ් සහ ඔහුගේ නියෝජිතයාට එරහිවීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම යන පාපකර්මයට නියමකොට ඇති වන්දිය වන්නේ, ඔවුන්ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණගසීම හෝ ඔවුන්ගේ එක්පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එලවා දැමීමයි. මෙම දඬුවම් තුලින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්ව මෙලොවදී අවග්ඥාවට පත් කල යුතුය”.  (අල් කුර්ආන් 5 : 33)

“ශුද්ධවූ මාස හතර පසුවූ වහාම පිළිම වන්ධනා කරුවන්ට දුටු දුටු තැන කපාකොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව අල්ලා බැඳ දමන්න. ඔවුන් යන එන තැන්වල මග රැකසිට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාවට පත්වී ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාහ්ගේ ආගම අදහන්නට කැමති වන්නේ නම් එවැනි අයව පමණක් තෝරා මුදාහරින්න. අන් සියලුදෙනා ඝාතනය කරන්න. අල්ලාහ් සමාව දෙන්නාය මහා කාරුනිකයාය”. (අල් කුර්ආන් 9 : 5)

විකෘති කොට හා ගොතා ඉදිරිපත් කරන ලද නබි වදන්

“මොහමඩ් ප්‍රකාශ කළා සියලුම මිනිසුන් ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ එනම් අල්ලාහ් හැර වෙනම කිසිවෙකුට කිසිම ආගමක වන්දනා මාන ලැබීමට අයිතියක් නැති බව කියා ඉස්ලාම් ආගමට හැරෙන තුරු ඔවුන්ට විරුද්ධව සටන් කළ යුතු බව අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම වැළඳ ගන්නා කවරෙකුගේ හෝ ජීවිතය හෝ වෙනත් දේපොළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය”.

“ඉබ්නු ඉෂ්හාක්, මොහමඩ් තුමගේ ගෝලයෙක් කියනවා, මොහමඩ් ප්‍රකාශකලා, මම තමයි හොදම කුමන්ත්‍රණ කරුවා, කපටියා, මාගේ සූක්ශම කපටිකම් වලින් ඔවුන්ව ‘මුස්ලිම් නොවන ජනයා’ මුලාකොට රවටා ඔවුන්ගේ සියලුදේ මා විශ්වාසවන්තයින්ට අත්පත්කරදුන්නා”.

පැහැදිලි කිරීම

මෙම අල් කුර්ආන් වැකි හා  හදීස් පිළිබඳ පරිවර්තනයන් විකෘති කොට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒවායෙහි  අර්ථය සහමුලින්ම වාගේ වැරදි අයුරින් හුවා දක්වන්නට උත්සාහයක් දරා ඇති බව පළමුව දන්වා සිටින්නට කැමැත්තෙමු. මෙම විකෘති පරිවර්තනයන්ට අවධානය යොමු කරන සැමගේ මනසේ ඇති වන්නේ මුස්ලිම් නොවන්නන් ව දුටු තැන ඝාතනය කරන ලෙස ඉස්ලාමය උගන්වා ඇති බවය. මේවායෙහි  නිවැරදි පරිවර්තනයන් අනුව නිවරදි  අර්ථයන් මෙම ලිපියේ දෙවන කොටසින් විග්‍රහ කොට ඇති අතර පහතින් මෙයට අදාළ ඉතිහාසය අපට හඬ නගා පවසන නොබිඳිය හැකි ප්‍රබල සාක්ෂි වෙත ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

ඉස්ලාමීය පාලනය පිළිබඳව ලොව අග්‍රගණ්‍ය මුස්ලිම් නොවන ඉතිහාසඥයින් දක්වන අදහස් විමසා බලමු. මෙවන් ශ්‍රේෂ්ඨ පිළිගැනීමක් ඇති ඉතිහාසඥයින් හා සම වුවන්ගෙන් නිවැරදි මුලාශ්‍රයන් සමග පහතින් දක්වා ඇති තොරතුරු වලට පටහැනි කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවා සලකා බලන්නට අපි සුදානමින් සිටින්නෙමු.  සමහර වර්තමාන දේශපානඥන් විසින් ඉස්ලාමයට එරෙහිව පොත්පත් පළ කිරීමේ දී කිසිම වැදගත් කමක් නොමැති මුලාශ්‍ර උපුටා දක්වන අයුරු නොකොට ක්‍රියා කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

අග්‍රගණ්‍ය ඉතිහාසඥයින්ගේ ප්‍රබල සාක්ෂි

  • “ගුස්ටාව් ලෙබොන් (Gustave Lebon) පවසන අන්දමට, “තමන්ගේ පළමු යටත්කරගැනීම් පිළිබඳව ඉතා පහසුවෙන් උද්දාමයට පත්වී බොහෝ ජයග්‍රාහිකයින් විසින් සාමාන්‍යයෙන් කරනු ලබන අසාධාරනකම් කරන්නට අරාබිවරුන්ට බොහෝ විට ඉඩ තිබුණි. පරාජයට පත්කරනු ලැබූ තමන්ගේ විරුද්ධ වාදීන්ට අකටයුතුකම් කරන්නට ද තමන් ලෝවැසියන්ට ප්‍රචාරය කරන ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලකරන්නට ද ඔවුන්ට ඉඩකඩ තිබුණි. නමුත් අරාබිවරුන් කිසි විටෙක එලෙස නොකළහ. ශ්‍රෙෂ්ඨ බුද්ධි ප්‍රභාවක් තිබු ආරම්භක ඉස්ලාමීය පාලකයින් විසින් දහම හා පිළිවෙත් බලෙන් ආරෝපිත කළ නොහැකි බව අවබෝධ කරගෙන සිටියහ. මෙය නව දහමක අනුගාමිකයින් අතර බොහෝ විට දකින්නට නොමැති ලක්ෂණයකි. එහෙයින් ඔවුන් යටත් කරගත් සිරියාව, ඊජිප්තුව, ස්පාඤ්ඤය, හා අනෙකුත් සෑම රටකම වැසියන් සම්බන්ධයෙන් අප දැක ඇති පරිදි ඉතා කාරුණිකව කටයුතු කොට ඇත. ඔවුන්ගේ නීති පද්ධතීන්, විධිවිධානයන්, ආගමික විශ්වාසයන් එලෙසම පවත්වාගෙන යෑමට ඉඩහැරිය අතර ‘ජිස්යා’ බදු පමණක් ගෙවන්නට නියම කරන ලදී. මෙම බද්ද ඔවුන් විසින් පෙර ගෙවූ බදු සමග සසඳන විට ඉතාමත් අල්ප ප්‍රමාණයකි. මෙය ගෙවීමෙන් යුද සේවයෙන් ඔවුන්ව නිදහස් කොට ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සහතික කොට දී තිබුණි. සත්‍යය නම් රටවල් යටත්කරගත්තන් අතුරින් මුස්ලිම් වරුන් තරම් කාරුණික වුවන් හා ඉස්ලාමය තරම් කාරුනික වූ දහමක් පිළිබඳව ලෝවැසියන් මෙයට පෙර දැන නොසිටීමය”. (Lebon, G. ‘Civilization of Arabs’ Page 605).
  • “මුස්ලිම්වරුන්ගේ පාලනයට අයත් වූ භූමි ප්‍රදේශයන්හි තිබූ කිතුනු දෙව් මැදුරුවලට කිසිම හානියක් සිදු නොවන පරිදි ඒවා ආරක්ෂා කරන ලදී. නෙස්ටෝරියානු නිකායේ ප්‍රධානි  රිෆාර්ඩශීර් (Rifardashir) හි අග්‍ර රාජගුරු ප්‍රසාදී හා පර්ෂියාවේ සියලු බිෂොප් වරුන්ගේ නායක  ජෙෆ් III විසින් සිමිඔන් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කොට තිබුණි.

‘දෙවිඳුන් විසින් මුළු ලොවෙහි බලය අරාබිවරුන්ට ලබා දී ඇති අතර ඔවුන් ඔබ අතර ජීවත්වන හෙයින් ඔබ කෙතරම් ධනවත්දැ’යි ඔවුන් දනිති. එය එසේ වූවද ඔවුන් කිතුනු දහමට විරුද්ධවාදිකම් පාන්නේ නැත. ඔවුන් අපගේ දහම කෙරෙහි සානුකම්පිත ලෙස කටයුතු කරති. අපගේ පුජකයින්ට හා සාන්තුවරයින්ට ගෞරව කරති. අපගේ දෙව් මැදුරුවලට හා ආශ්‍රමයන්ට නොමසුරුව පරිත්‍යාගයන් කරති”. (Sir Thomas Arnold ‘Invitation to Islam’ 102 වැනි පිටුව)

  • “මුස්ලිම් නොවන සුළුතරය වෙත බලපෑම් කොට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස සඳහන් කිසිම වාර්තාවක් පිළිබඳව අප කිසි දිනක අසා නොමැත. එලෙසම කිතුනු දහම මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක සංවිධානාත්මක හිංසනයක් පිළිබඳව අසා නොමැත. ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා ස්පාඤ්ඤයෙන් ඉස්ලාමය පිටුදැකීමට කටයුතු කිරීම, ලුයී XIV විසින් රෙපරමාදු පිළිවෙත අනුගමනය කිරීම ප්‍රංශයේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කිරීම හා එංගලන්තය විසින් වර්ෂ 350 ක කාලයක් සඳහා යුදෙව්වන්ව පිටිවහල් කළ පහසුතාව හා අනුවම යම් කිසි කාලිෆ් වරයෙකු කටයුතු කරන්නට තෝරා ගත්තේ නම් කිතුනු දහම සහමුලින්ම යටපත්කර දමන්නට තිබිණි. එම යුගයේ නැගෙනහිර කිතුනු දෙව් මැදුරු සහමුලින්ම ලොව අනෙකුත් කිතුනුවරුන්ගෙන් බිඳී තනිව කටයතු කළහ. ඔවුන්ව කිතුනු දහමේ මිත්‍යාමතිකයින් ලෙස සළකනු ලැබූ හෙයින් ලොව ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙකු නොසිටියහ. වර්තමානය තෙක් ඔවුන්ගේ පැවැත්ම සහතික වී තිබීම ඉස්ලාමීය රාජ්‍යය විසින් ඔවුන් වෙත දැක්වූ සහනශීලිත්වය හා රිස්සීම පිළිබඳ ප්‍රබලතම සාක්ෂිය වන්නේය”. (Sir Thomas Arnold ‘Invitation to Islam’ Page 98-99)

ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ඉස්ලාමීය පාලකයින්ගේ ප්‍රකාශන

“මුහම්මත්තුමාණන් විසින් නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු නියෝජිතයින් සමග ඔවුන්ගේ වස්තුව, දහම හා දෙව්මැදුරු ආරක්ෂා කිරීමට  ගිවිසුමකට එළඹුනාක් මෙන් උමර් ඉබ්න් අල් කත්තාබ් තුමා විසින් ඉලියා (ජෙරුසලම) ප්‍රදේශවාසීන් සමග එළැඹි ගිවිසුමේ පහත සඳහන් අයුරින් සඳහන් කොට තිබුණි.

‘මෙය, අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වූ උමර් ඉබ්න් අල් කත්තාබ් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳ ප්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තුව, දෙව් මැදුරු, කුරුසියන් සහ සම්පුර්ණ ප්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි කිරීම සිදු නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ගේ දහම අතහරින ලෙස බල කරනු නොලබන අතර ඔවුන්ට කිසිම ආකාරයක හානියක් සිදු නොකළ යුතුය. යුදෙව්වන් ඔවුන් සමග ඉලියා හි වාසය නොකරණු ඇත’.” (Tarikh At-Tabari – Volume 3 – Page 609)

ඉස්ලාමීය රාජ්‍යයේ මුස්ලිම් නොවන්නන්ගේ ආගමික නැමදුම් ස්ථාන

  • “ඉතිහාසඥයින් දැනුවත් ව ඇති  පරිදි ජෙරුසලමේ ඇති ‘යාච්ඤා විලාප ප්‍රාකාරය’ (Wailing Wall in Jerusalem) යුදෙව් දහමේ අති පාරිශුද්ධ නැමදුම් ස්ථානයන්ගෙන් එකකි. කලකට පෙර එම ස්ථානය සුන්බුන් හා ගල් කැබලි වලින් සම්පුර්ණයෙන්ම වැසී ගොස් තිබුණි.  ඔටෝමාන් ඉස්ලාමීය පාලකයා වූ සුල්තාන් සුලයිමාන් මේ බව දැනගත් විගස ජෙරුසලමේ ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙමින් සියලු සුන්බුන් හා ගල් කැබලි ඉවත් කොට ‘යාච්ඤා විලාප ප්‍රාකාරය’ පිහිටි ස්ථානය සම්පුර්ණයෙන්ම පිරිසිදු තත්ත්වයට ගෙනැවිත් යුදෙව්වන්ට එම ස්ථානයට පිවිසීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝග කරන ලදී”. (අබ්දුල් ලතීෆ් හුසයින් විසින් රචිත – Tasamuh al-Gharb Ma’l – Muslimeen 67 වැනි පිටුව)
  • “ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ අල් මක්රිසි ඔහුගේ ‘Al-Khitat’ නම් ග්‍රන්ථයේ උදාහරණ කිහිපයක් දෙමින් පහත සඳහන් අයුරින් අවසන් කොට තිබුණි.

‘කයිරෝ නගරයේ සියලු කිතුනු දෙව් මැදුරු ගොඩනගනු ලැබුවේ එහි ඉස්ලාමය ස්ථාපිත වූවායින් පසුව බව සම්මත වී ඇත”. (See ‘Islam and Dhimmis’ by Dr. Ali H. Al Kharbotaly,         Page 139).

මුස්ලිම් නොවන්නන්ගේ ආගමික හා සංස්කෘතික කටයුතු ආරක්ෂා කිරීම

“අනට් ප්‍රදේශවාසීන් සමග කාලිඩ් ඉබ්න් අල් වලීඩ් තුමා ඇතිකරගත් ගිවිසුමේ පහත සඳහන් අයුරු සඳහන් කර තිබුණි.

‘ඉස්ලාමීය නැමදුම් වේලාවන්හි හැර ඔවුන්ගේ සීනු දිවා හෝ රාත්‍රි කාලයන්හි නාද කිරීමට අවසරය ඇත. ඔවුන්ගේ උත්සවයන්හි කුරුසය දරා සිටීමට ඔවුන්ට අවසරය ඇත”. (අබූ යූසුෆ් විසින් රචිත ‘Al-Kharaj’ ග්‍රන්ථයේ 146 වැනි පිටුව)

“ඉමාම් තහවිතුමා පවසන අන්දමට ඉස්ලාමීය නීතිය පිළිබඳ විද්වතුන්ගේ පොදු එකඟතාවක් අනුව ‘දිම්මි’ වරුන්ට (ඉස්ලාමීය පාලනය යටතේ ජීවත්වන මුස්ලිම් නොවන ප්‍රජාව) මත්පැන් හා ඌරු මස් පරිභෝජනය තහනම් නැත”. (‘Ekhtilaaf al Fuqahaa’ Page 233)

මුස්ලිම් නොවන්නන් බුක්ති විඳි සමානාත්මතාව, යුක්තිය හා සාධාරණය

  • “ඉස්ලාමීය ෂරියා පිළිවෙත මුස්ලිම් නොවන්නන්ට වැඩ කිරීමේ අවස්ථාවන් වසා දැමුවේ නැත. ඔවුන් ඉතා ඵලදායී උසස් වෘතීන් හි නියැලී සිටියහ. මුදල් හුවමාරු කරන්නන්, ව්‍යාපාරිකයින්, රන් ආභාරන වෙළඳුන්, ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් හා ඉඩම් හිමියන් ලෙස ඔවුන් කටයුතු කළහ. ඉතා ඵලදායී අයුරින් ඔවුන් සංවිධානය වී සිටියහ. උදාහරණයක් ලෙස ගත් විට සිරියාවේ බොහෝ මුදල් හුවමාරු කරන්නන් හා රන් ආභරණ වෙළඳුන් ලෙස සිටියේ යුදෙව්වන් වූ අතර බොහෝ වෛද්‍යවරුන්, ලිපිකරුවන් හා ලේඛකයින් ලෙස සිටියේ කිතුනුවන්ය. බැග්ඩාඩ් හි කාලිෆ් (පාලකයා) වරයාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ කිතුනුවන්ගේ නායකයා වූ අතර යුදෙව්වන්ගේ නායකයින් හා යුදෙව් ව්‍යාපාරිකයින් කාලිෆ් වරයාගේ සේවකයින් වුහ”. (Mitz, Adam, – ‘The Islamic Civilization in the Fourth Century A.H. – Ref Section ‘Jews and Christians’ Volume 1 Page 86)
  • “‘දිම්මි’ එනම් ඉස්ලාමීය රාජ්‍යයක ජීවත්වන මුස්ලිම් නොවන ජනයාව ශාරීරික හානියෙන් ආරක්ෂා කිරීම පමණක් නොව ඔවුන්ව සියලුම ආකාරයේ වාචික අපහාසාත්මක ක්‍රියාවන්ගෙන් ද ආරක්ෂා කිරීම ඉස්ලාමීය රාජ්‍යයේ වගකීම වන්නේය. මුස්ලිම් වරුන් හා සමාන අයුරින් ‘දිම්මි’ වරුන් සම්බන්ධයෙන් ද සාධාරණ හේතුවකින් තොරව අපහාසාත්මක කිසිවක් පැවසීම සහමුලින්ම තහනම්ය”. (Al Furooq – Volume 3 – Page 14)
  • “එලෙසම, ඉස්ලාමීය රාජ්‍යයක ආරක්ෂාව ලැබීමට ගිවිසුම් ගතව ඉන්නා පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් සම්බන්ධයෙන් අසත්‍ය කතා පැතිරවුවහොත් එසේ කළ මුස්ලිම්වරයාට කෙනෙකුව අපකීර්තියට පත්කිරීමේ චෝදනාවට වරදකරු වන්නට සිදු වන්නේය”. (Fahd Muhammad Ali Masud, ‘Huquq Ghayr is-Muslimeen fid-Dawla al-Islmiyyah’ – Page 138-139, 144-149 – Saleh Hussain Aayed – ‘Huquq Ghayr al-Muslimeen fi Bilad il-Islam – Page 32-33 and Dr. Abd Al Karim Zaydan – ‘Ahkam al-Dhimmiyin wal-Mustami’nin’ – Page 254)
  • “සකරියා අල් අන්සාරි පවසා ඇති පරිදි ‘දිම්මි’ එනම් ඉස්ලාමීය පාලනය යටතේ ජීවත්වන මුස්ලිම් නොවන්නෙකු පිළිබඳව නැති තැන නුගුණ කීම සහමුලින්ම තහනම්ය. මෙවැන්නක් සිදු කරන්නේ නම් ‘ජිස්යා’ බදු ගැනීමේ කොන්දේසියෙන් ඔවුන් ඉවත්වන අතර ‘දිම්මිවරුන්’ පිළිබඳ ගිවිසුමට (ඉස්ලාමීය රාජ්‍යය හා එහි මුස්ලිම් නොවන රටවැසියන් අතර ඇති ගිවිසුම) මෙය පටහැනි වන්නකි. ඉබ්න් හිබාන් හදීස් ග්‍රන්ථයේ සඳහන් පරිදි යමෙකු ‘දිම්මිවරයෙකු’ පිළිබඳව ප්‍රයෝගකාරී ප්‍රකාශනයක් කරන්නේ ද ඔහු විසින් නිරය උපයාගෙන ඇතැයි මුහම්මද් තුමාණන් පවසා ඇත යැයි දැක්වේ”. (Asna al-Mutaalib ma’aHaashiyatihi, Volume 3, Page 116)

බොදු සමුළුවේ දී ඉතා බරපතල අයුරින් විකෘති කොට ප්‍රකාශිත අල් කුර්ආන් වැකියන් හි හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශයන්හි අර්ථය මෙයට ඉහතින් උපුටා දක්වා ඇති ප්‍රබල ඓතිහාසික තොරතුරු සමග බලවත් පරස්පරතාවක් පෙන්නුම් කරන බව පැහැදිළිව පෙනෙන්නට ඇත. ඉහත උදාහරණයන් හි කරුණු වලට පදනම් වූ ක්‍රියාකාරකම් සිදු කළ ඉස්ලාමීය පාලකයින් කෙලෙස නම් අල් කුර්ආනය හා මුහම්මද් තුමාණන්ගේ මග පෙන්වීම්වලට පටහැනි අයුරින් ක්‍රියා කළ හැක්කේ ද යන්න අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ ද? සත්‍යය වශයෙන් ම මෙයින් සනාථ වන වැදගත් ම කරුණ නම් ඉහත අල් කුර්ආන් වැකි හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශනයේ සැබෑ අර්ථය  එයින් විකෘතිව ප්‍රකාශිත අර්ථයට වඩා වෙනස් වූ එකක් බව නොවේ ද? එසේ නම් නිවැරදි මුලාශ්‍රයන් හා පැහැදිලි කිරීම් පදනම් කරගෙන මෙහි සැබෑ අර්ථය මෙම ලිපියේ දෙවන කොටසින් විග්‍රහ කොට ඉදිරිපත් කොට ඇති කරුණු විමසා බැලීමට ඉතා කාරුණිකව ආරාධනා කරන්නෙමු.

දෙවන කොටස

2014-9-28 වැනි දින සඟ සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද  අල් කුර්ආන් වැකි හා නබි වදන් පිළිබඳ නිවැරදි හා සත්‍යය විග්‍රහය

අල් කුර්ආන් හා නබි වදන්  අර්ථ දැක්වීම පිළිබඳ පිළිගත් පොදු නීති රීති

අල් කුර්ආනය පිළිබඳව අර්ථ දැක්වීමකදී අනුගමනය කළ යුතු නීති රීති පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

අල් කුර්ආනය හැදෑරීමේ දී එක් වැදගත් නීතියක් වූ සන්දර්භයේ වැදගත්කම විදහා දක්වන පහසු  උදාහරණයක් අල් කුර්ආනයෙන්ම පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107 : 4)

මෙම අල් කුර්ආන් වැකිය පමණක් කියවා තේරුම් ගන්නා අයෙකු කිසි දිනෙක සලාතය එනම් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව දෛනිකව පස් වතාවක් ඉටු කළ යුතු අනිවාර්ය නැමදුම ඉටු නොකරනු ඇත. මෙම වැකිය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස එයට පෙර හා පසු වැකියන් කියවා අවබෝධ කර ගැනීම (සන්දර්භය) අත්‍යාවශ්‍ය වෙයි. එනිසා මෙම වැකියට ආශ්‍රිත 5 හා 6  වැනි වැකියන් විමසා බලමු.

“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107 : 4)

“ඔවුහුමය ඔවුන්ගේ සලාතය පිළිබඳව නොසැලකිලිමත් ව සිටින්නෝ” (අල් කුර්ආන් 107 : 5).

“ ඔවුහුමය (තම ක්‍රියාවන් අන් අයට) පෙන්වන්නෝ” (අල් කුර්ආන් 107 : 6)

විනාශයට යොමු වන ලෙස සලාතය ඉටු කරන්නන් කවරෙකුද යත් නොසැලකිලිමත්ව හා අන් අයට පෙන්වීම සඳහා සලාතය ඉටු කරන්නන් බව එම පරිච්ඡේදයේම 5 හා 6 වැනි වකියන්ගෙන් ඉතා පැහැදිළිව විග්‍රහ වේ. මේ අනුව අල් කුර්ආන් අර්ථ දැක්වීමක යෙදෙන්නට නම් පහත සඳහන් වැදගත් නීති රීති පිළිබඳ නිවැරදි දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වන්නේය.

  1. අල් කුර්ආනය අවබෝධ කර ගැනීම පිණිස සන්දර්භයේ ඉතා වැදගත්වේ. එහෙයින් වැකියක් පිළිබඳ විමසුමක යෙදෙන විට සන්දර්භය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කරුණකි.
  2. අල් කුර්ආනය අවුරුදු 23ක් තිස්සේ ඒ ඒ අවස්ථාවට අනුකූලව හා අවශ්‍යතාවට අනුව මුළු මිනිස් වර්ගයාගේ මඟ පෙන්වීම සඳහා අල්ලාහ් විසින් මුහම්මද් තුමාණන්ට පහල කරනු ලැබීය. එබැවින් අල් කුර්ආනය පිළිබඳ අර්ථ විග්‍රහයක් කිරීමට නම් ඉස්ලාමීය ඉතිහාසය පිළිබඳ ගැඹුරු හා නිවැරදි දැනුමක් තිබීම ඉතා වදගත් වේ. මෙ ආකාරයෙන්ම නබි වදන් විග්‍රහ කිරීමේදී පවා ඉතිහාසය හා එම අවස්ථාවන් පිළිබඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍යවේ
  3. එලෙසම සමහර අල් කුර්ආන් වදන් සඳහා විග්‍රහ එහි සන්දර්භයෙන් බැහැර අනෙකුත් අල් කුර්ආන් වදන් හි ද අන්තර්ගතව ඇත. එහෙයින් අල් කුර්ආනය නිවැරදිව අවබෝධ කර ගැනීම පිණිස සම්පුර්ණ කුර්ආනය පිළිබඳ දැනුමක් තිබීම ඉතාම වැදගත් සාධකයක් බව සඳහන් කළ යුතුව ඇත. මත්පැන් තහනම් කිරීම පිළිබඳව අල් කුර්ආන ඉගැන්වීම සම්පුර්ණ ලෙස අවබෝධ කර ගැනීමට නම් මෙ සම්බන්ධයෙන් ඇති වැකි සියල්ල සමස්තයක් වශයෙන් හා එහි කාලවකවානු අනුව අවබෝධ කරගත යුතු වෙයි. මෙ පිළිබඳව ඇති ඉගැන්වීම් අල් කුර්ආනයේ විවිධ පරිච්ඡේදයන්හි අන්තර්ගත වී ඇති අතර සම්පුර්ණ අල් කුර්ආනය පිළිබඳ දැනුමකින් තොරව මෙ පිළිබඳව ඇති  එක් වැකියක් පමණක් ගෙන විග්‍රහයක යෙදීම විකෘති මතයක් ඇති වීමට නියත වශයෙන්ම හේතු වෙයි.
  4. තවත් විටෙක අල් කුර්ආන් වැකි පිළිබඳ විග්‍රහයක් නබි වදන් හි තිබිය හැක. එහෙයින් අල් කුර්ආන් පිළිබඳ නිවැරදි අවබෝධයක් සඳහා නබි වදන් පිළිබඳ දැනුම ද වැදගත් සාධකයකි. සලාතය, උපවාසය, සකාතය හා හජ් වැනි ඉස්ලාමයේ වැදගත් ආගමික පිළිවෙත් පිළිබඳව අල් කුර්ආනය ඉතා කෙටි විග්‍රහයක් ලබා දෙන අතර ඒවා ඉටු කිරීමේ සම්පුර්ණ ක්‍රමවේදය නබි වදන් හි අන්තර්ගත වී ඇත.
  5. අල් කුර්ආන් වැකි පහළ කළ ඓතිහාසික සන්දර්භය හා හේතුව (අස්බාබ් අල් නුසුල්) දැන සිටීම ද වැදගත් වේ. කවුරුන් සඳහා කුමන අවස්ථාවක කුමක් සඳහා පහල කරන ලද්දේද යන්න පිළිබඳ නිවැරදි දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඉදිරි විග්‍රහයන් මගින් මෙ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
  6. අල් කුර්ආනයේ අරාබි භාෂා යෙදුම ඉතාම උත්තරීතර තත්ත්වයකින් යුක්ත වන අතර එයට සම කළ හැකි භාෂා ශෛලියක් මුළු අරාබි සාහිත්‍යයේම නොමැති බව මුස්ලිම් හා මුස්ලිම් නොවන අරාබි භාෂා විශේෂඥයින් ගේ මතයයි. එම භාෂා දැනුම නොමැතිව අල් කුර්ආනයට අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම බරපතල අර්ථ විකෘතිවීම්වලට හේතු විය හැක.  එහි යොදා ඇති වාක්‍යයන් පිළිබඳ අර්ථ රාශියක් තිබිය හැකි අතර පරිපුර්ණ අල් කුර්ආන් පිළිබඳ සම්මත නීති රීතීන් (Sciences of Al Quraan) නොදැන අර්ථ දැක්වීම නුසුදුසු ක්‍රියාවකි.
  7. අල් කුර්ආන් අර්ථ දැක්වීම පිළිබඳ විශේෂඥයින් ගේ හා අනෙකුත් ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහයන් ද ඉතාම වැදගත් ය. රටක ක්‍රියාත්මක සාමාන්‍ය නීතිය විග්‍රහ කිරීමේදීත් එම නීතිය සම්පාදන කිරීමට හේතු වූ පසු බිම, එය එක් සංසිද්ධියක් උදෙසා පමණක් සීමා වුවක් ද, එම නීතිය සම්මත කිරීමේදී ඉදිරිපත් කරන ලද අරමුණු, එම නීතිය උපයෝගී කරගනිමින් දෙන ලද නඩු තීන්දු, නීති විශාරදයින් විසින් දෙන ලද විග්‍රහයන් හා එම නීතිය ට අදාළ භාෂාමය විග්‍රහය ආදිය ගැන සලකා බැලීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

යමෙක් බුදු දහම පිළිබඳව අර්ථ දැක්වීමක යෙදෙන්නට පෙර පාලි භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් මෙන්ම බුද්ධ දේශනා අඩංගු ත්‍රිපිටකය හා නිවැරදි මුලාශ්‍ර සහිත බුද්ධ චරිත ග්‍රන්ථ අනිවාර්යයෙන් පරිශීලනය කොට සියලු කරුණු පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගැනීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කළ හැක්කේ කාහටද? එසේ නොකොට මෙම ආගමික ග්‍රන්ථයන්හි අඩංගු වැකියක් දෙකක් පමණක් උපුටා දක්වා සම්පුර්ණ බුදු දහමම ඒ තුල අන්තර්ගත කොට නිග්‍රහාත්මකව අර්ථ දක්වන්නෙක් කෙතරම් බරපතල වැරැද්දක් කරන්නේද යන්න පිළිබඳව බෞද්ධ හා අබෞද්ධ කා හට නම් මත වෙනසක් තිබිය හැක්කේ ද?

පැහැදිලි කිරීම

මෙහි විරුද්ධතාව මතු වී ඇත්තේ සටන් කිරීම අනිවාර්ය කිරීම පිළිබඳවය. වර්තමාන ලෝකයේ සටන් කිරීම නොහොත් හමුදා සේවය අනිවාර්ය බොදු සමුළුවේ වැරදි ලෙස අර්ථ දක්වන ලද අල් කුර්ආන් වැකි හා නබි වදන් පිළිබඳ නිවැරදි විග්‍රහය

‘අනෙකුත් සියලු දහම් විනාශ කොට භූමියෙන් අතුගා දමන්න’

අල් කුර්ආන් වැකිය 2 : 193

2014/09/28 වැනි දින සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

“මුස්ලිම් වරුනි, අල්ලාහ් සහ ඉස්ලාමය හැර අනෙකුත් සියලු ආගම් සහ ඇදහීම් බූමියෙන් විනාශ කොට අතුගා දමන තුරු සහ එකම ආගම ඉස්ලාමය පමණක් වනතුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන්කරන්න” (අල් කුර්ආන් 2 : 193)

ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන්වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)

පැහැදිලි කිරීම

ආරම්භයේ දක්වා ඇති විකෘති පරිවර්තනයෙන් ඉදිරිපත් කර ඇති අර්ථය හා නිවැරදි පරිවර්තනයෙන් දක්වා ඇති අර්ථය  කරුණාකර සසඳා බලන්න. මෙයින්ම ඔවුන්ගේ අපේක්ෂාව කුමක් ද යන්න අවබෝධ කර ගනීම පහසු වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වන්නන් එහි සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නට කටයුතු නොකරති. එසේ සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නෙකුට මෙහි ගැබ්වී ඇති සත්‍යය අවබෝධ කර ගැනීම නිසැකවම පහසුවනු ඇත.

මෙම විග්‍රහයෙන් පසු ඉහත අල් කුර්ආන් වැකියේ සන්දර්භය පළමුව විමසා බලමු. දෙවන පරිච්ඡේදයේ 190 සිට 194 වැනි දක්වා වූ වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)

“නුඹලා ඔවුන් දුටු තැන ඔවුන්ව ඝාතනය කරවු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන් ව පිටුවහල් කරවු. ඝාතනයට වඩා අක්‍රමිකතාව (කළහකම්) දරුණුය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් (මක්කාවේ ඇති මස්ජිදය) අබියස ඔවුන් නුඹලා සමග එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමග යුද නොවදිවු. ඔවුන් නුඹලා සමග යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන් ව ඝාතනය කරවු. එවැන්නකි ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වන්නේ” (අල් කුර්ආන් 2 : 191)

“ඔවුන් වැළකෙන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, පරම කරුණාභාරිතය”. (අල් කුර්ආන් 2 : 192)

“(තවදුරටත්) අක්‍රමිකතාව (කළහකම්) ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)

“ශුද්ධ වූ මාසය (තුළ යුද්ධයට ආ විට ඒ) වෙනුවෙන් ශුද්ධ වූ මාසය (තුළ යුද කිරීම අනුමත) වේ. පාරිශුද්ධ දෑ වෙනුවෙන් (එය උල්ලංඝනය කළ විට) සම ප්‍රතිවිපාක ඇත. නුඹලාට එරෙහිව කවරෙකු සීමාව ඉක්මවා යන්නේ ද නුඹලාට එරෙහිව ඔහු සීමාව ඉක්ම වූවාක් මෙන් නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා යවු. තවද නුඹලා අල්ලාහ් ට බියභක්තිමත් වවු. තවද සැබැවින්ම අල්ලාහ් බියභක්තිකයින් සමග යැයි දැන ගනිවු”. (අල් කුර්ආන් 2 : 194)

පළමුව 2 : 190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්:

  1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම හා
  2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලා ගැනීම

මෙම ඉගැන්වීම් සමග කිසිවෙකුට කිසිම ආකාරයක ගැටළුවක් තිබිය හැක්කේදැයි විමසන්නට කැමැත්තෙමු. මෙම සංකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් හි ‘සුරක්ෂාවරණ ජිහාදය’ ලෙස හැඳින් වේ. 191 වැනි වැකිය විමසා බැලිය යුත්තේ 190 වැනි වැකියේ ඉගැන්වීම් පදනම් කර ගෙනය.

2 : 191 වැකිය මගින් ලොව සියලු මුස්ලිම් නොවන්නන් ව ඝාතනය කිරීමට පොදු අනුමැතියක් දී ඇති බව හුවා දක්වන්නට බොහෝ ඉස්ලාම් විරෝධීන් අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටිති. මෙම වැකියන්හිම යුද වදින්නට අවසරය දී ඇත්තේ නිශ්චිත පිරිසක් සමගය. එනම් බලවත් භීෂණයක් මුදා හැර තමන් ව  මක්කාහ් නගරයෙන් පිටුවහල් කොට තමන්ගේ සියලු වස්තුන් හා දේපොළ කොල්ල කා ගත් අපරාධකාර පිරිසට එරෙහිවය. මක්කාවේ ඇති මස්ජිදය අසල පුණ්‍ය භුමි සීමාවේ කිසිවෙකු යුද කටයුතු නොකරන නමුත් එම ප්‍රදේශයේදී සතුරන් පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමේ අනුමැතිය හා ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් පමණක් එසේ කිරීමට අනුමැතිය ද මෙමගින් ලබා දී ඇත. අවුරුදු 13ක් තිස්සේ ඉස්ලාම් විරෝධීන්ගේ අනේක විධ භීෂණයන් ඉවසා දරා සිටි මුස්ලිම් වරුන්ට ඔවුන්ගේ අපරාධ වලට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දෙමින් පහළ වූ පළමු අල් කුර්ආන් වැකියයි මෙය.

දේවස්ථාන, පුන්‍යභුමි, විහාරස්ථාන හා අනෙකුත් නැමදුම් ස්ථානයන් ට පහරදී විනාශ කිරීමට යමෙක් කටයුතු කරයි නම් එවන් නිහීන නින්දිත ක්‍රියාවන් සැමගේ පිළිකුලට ලක් විය යුතු බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන ශ්‍රී මහ බෝධීන් හා දළදා මාලිගාවට පහර දුන් විට අප සැවොම අත්විඳි අත්දැකීම් අපගේ මතකයෙන් තවම මැකී ගොස් නොමැත. එහෙයින් ලෝ වැසි ඉස්ලාමිකයින්ගේ අති පෞරාණික හා අති උත්තරීතර පල්ලිය ලෙස සැළකෙන මක්කාවේ ප්‍රධාන පල්ලිය අවට කළහකම් කරමින් ඉස්ලාමිකයින් ඝාතනය කොට ඉස්ලාමය මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නා වූ පිරිස සමග අප ක්‍රියා කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳව කරුණාකර මොහොතක් සිතා බලන්න. නමුත් 2 : 192 වැකි වැකියෙන් තවත් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. ඔවුන් වැළකෙන්නේ නම් මුස්ලිම් වරුන් ද වැළකී කටයුතු කළ යුතු බව මෙයින් ඉගැන් වේ. යුද තත්ත්වයක් තුළ මෙයට වඩා උතුම් මානුෂීය පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

2 : 193 වැකියෙන් ‘දහම අල්ලාහ්ටම වන තෙක් යනුවෙන්’ අදහස් වෙන්නේ දහමේ ශ්‍රේෂ්ඨත්වය සුරක්ෂිත වනතෙක් යන්නය. ඒ හැරෙන්නට අනෙකුත් සියලු දහම් මිහිතලයෙන් අතුගා දැමීම යන බොළඳ අර්ථය නොවේ.

2 : 194 වන වැකියෙන් සටන් බිමේ කළ හැකි තවත් ඉතා උසස් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. එනම් සතුරා සීමාව ඉක්මවන ප්‍රමාණය ඉක්මවා ඔබ සීමාව ඉක්ම නොවිය යුතු යන්නය. කරුණාකර මෙහි සැබෑ අර්ථය අවබෝධ කර ගත් විට ඉස්ලාම් භීතිකාවේ කර්තෘ වරුන් මවා පෑමට වෙර දරන තත්ත්වය සහමුලින්ම පදනම් විරහිත සම්පුර්ණ අසත්‍යයක් බව  පැහැදිලිව ඔප්පුවන කරුණකි.

තම න්‍යාය පත්‍රයට අනුකූලවන පරිදි  වංචනික ලෙස ආගමික මුලාශ්‍ර විකෘති කොට හුවා දැක්වීම  ආගමික නායකයෙකුගෙන් කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියෙකුගෙන් වත් සිදු නොවිය යුත්තක් බව ඕනෑම සදාචාර සම්පන්න කෙනෙකු විසින් පිළිගන්නා හා අනුමත කරන සත්‍යයකක් නොවේ ද?

‘මුස්ලිම් නොවන ජනයාට එරෙහිව ජිහාදය අනිවාර්ය කොට ඇත’

අල් කුර්ආන් වැකිය 2 : 216

2014/09/28 වැනි දින සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

“ජිහාදය යනු අල්ලාහ්ගේ අරමුණු ඉෂ්ටකිරීම සඳහා මුස්ලිම් නොවන ජනසමූහයාට විරුද්ධව කරන්නාවූ ශුද්ධ වූ සටනයි. එය සියලුම මුස්ලිම් වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියමකොට ඇත. එයට ඔබ අකමැති වුවද එය ඔබට අනිවාර්ය කොට ඇත”. (අල් කුර්ආන් 2 : 216)

ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම නුඹලාට පිළිකුල් වුව ද එය නුඹලාට අනිවාර්ය කරනු ලැබ ඇත. නුඹලා යම් දෙයක් පිළිකුල් කළ ද එය නුඹලාට යහපත් විය හැක. නුඹලා යම් දෙයක් ප්‍රිය කළ ද එය නුඹලාට හානිදායක විය හැක. අල්ලාහ් (ඒ බව) මැනවින් දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය”. (අල් කුර්ආන් 2 : 216)

මෙහිදීත් ඔවුන්ගේ විකෘති පරිවර්තනය හා අපගේ නිවැරදි පරිවර්තනය සසඳා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

කර ඇති රටවල් කුමක් ද යන්න පළමුව විමසා බලමු.

යුද සේවය අනිවාර්ය රාජ්‍යයන්.

ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බෙලරූස්, අසර්බයිජාන්, බර්මූඩා, බ්‍රසීලය, මියන්මාරය, සයිප්‍රසය, ඩෙන්මාක්, ඊජිප්තුව, ෆින්ලන්තය, ග්‍රීසිය, ඉරානය, ඊශ්‍රායලය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මෙක්සිකෝව, නොර්වේ, රුසියාව, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් එමීර් රාජ්‍යය (UAE) යුද සේවය අනිවාර්ය කොට ඇති රටවල්ය. නෙදර්ලන්තය, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකානු එක්සත් ජනපදය, ස්වීඩනය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව සහ පේරු රාජ්‍යයෙහි කඩින් කඩ යුද සේවය අනිවාර්ය කොට තිබුණි. අමෙරිකානු එක්සත් ජනපදය විසින් වියට්නාමයේ යුද මෙහෙයුම් කරන අවධියේ ලෝක බොක්සින් ශූර මොහමඩ් අලි අනිවාර්ය යුද සේවයට බැඳෙන්නට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ සිර ගත වන්නට වීම අප ඉතාම හොඳින් දන්නා සිදුවීමකි.

මේ අනුව අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 216 වැනි වැකියෙන් අක්වන මතය වර්තමාන ලෝකයේ රටවල් බොහොමයක ම ක්‍රියාත්මක වන සංකල්පයකි. සටන් කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව අල් කුර්ආනයට චෝදනා නගන්නන් අනිවාර්යයෙන්ම ඉහත රටවල් හි ක්‍රියාත්මක මෙම නීතියට ද විරුද්ධතාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා නොවේ ද? ඉහත රටවල් අතරට මියන්මාරය (බුරුමය) හා තායිලන්තය වැනි බෞද්ධ රටවල් ද ඇතුලත්වී තිබීම කිසිවෙකුගේ අවධානයට යොමු නොවීම සැබැවින්ම විමතියට ලක්වන්නකි. අප මාතෘ භූමියේ දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවක හමුදා සේවය අනිවාර්ය කිරීමේ යෝජනා අප රටේ ද මතු වූ බව අපට අමතකවී යෑම කණගාටුවට කරුණකි.

මේ පිළිබඳව ඇති මතයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“අනිවාර්ය යුද සේවය (Conscription) ලොව බොහෝ රටවල්වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසකට පත් වූ පසු අනිවාර්යයෙන්ම රටේ හමුදාවට පොලිසියට හෝ වෙනත් රජය මගින් ක්‍රියාත්මක වන පැරාමිලිටරි ආයතනයක යම් කාලයක් සේවය කිරීම එයින් හැඳින් වේ. ලංකාවේ අතීතයේ තිබුණෙත් එවැනි සේවයක්. රටේ සියලුම පුරවැසියන් රටට සේවය කිරීමත් යුද්ධ කාලයක සියලු දෙනා එක් වී සටන් කිරීමත් ආරම්භයේ සිටම පැවතුණා. නිත්‍යය යුධ සේවයක් පැවතියේ බොහෝ කලකට පසුයි. ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කර ගැනීමට අපහසු වුයේ මේ හේතුවෙන්.”

(මුලාශ්‍රය: http://king-pandukabaya.blogspot.com/2010/11/conscription.html)

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම අනිවාර්ය කොට ඇත්තේ ඇමෙරිකාව විසින් වියට්නාමයේ සිදු කළ ආකාරයේ ආක්‍රමණික ක්‍රියාවන් සඳහා නොවන බව අල් කුර්ආනය පැහැදිලි කරයි.

“අපගේ පරමාධිපතියාණනි! අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව. ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත්කරනු මැනව. තවද, ඔබගෙන් වූ උදවු කරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ’යි පවසා සිටින පුරුෂයින් ස්ත්‍රීන් හා ළමුන් අතුරින් දුබලයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් නොවැද (නිහඬව) සිටින්නට නුඹලාට කුමක් සිදු වුයේද?” (අල් කුර්ආන් 4:75)

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් වැදීම අපරාධයට ලක්වූවන්ගේ විමුක්තිය උදෙසාත් සාමාජ හා යුක්තිය උදෙසාත් කරන්නක් බව අල් කුර්ආන වැකිය අපට පැහැදිලි කර දෙයි. මෙම මාර්ගයෙහි සටන් වැද සමාජ සාධාරණත්වය  හා යුක්තිය ස්ථාපිත කරන්නට කටයුතු නොකරන්නන්  ආත්මාර්ථකාමී ලෙස මෙම සටන් අප්‍රිය කරමින් එයින්  ඉවත් වී සිටින්නට කටයුතු කරන්නට වෙර දැරීම පිළිබඳවත් මෙම වැකි දෙකෙහිම සඳහන් වේ. එලෙස සැවොම ආත්මාර්ථකාමීව කටයුතු කළහොත් රජයන්නේ අයුක්තිය, අසාධාරණය හා අපරාධය බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. එහෙයින් නිවැරදි අවබෝධයකින් තොරව අල් කුර්ආන් වැකි වලට අර්ථ දැක්වීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව මෙයින් පැහැදිලිව ඇතැයි විශ්වාස කරන්නෙමු.

ඉහත සමුළුවේ දී මෙම අල් කුර්ආන් වැකිය විකෘති කොට මුස්ලිම් පිළිකුලක් ගොඩ නගන්නට වෙර දරමින් සිටින්නා වූ පිරිස පිළිබඳව සදාචාර සම්පන්න මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා සහතික වශයෙන්ම තමන්ගේ නොසතුට දන්වා සිටිනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

‘අල්ලාහ් සහ ඔහුගේ නියෝජිතයාට එරෙහි වීම හා අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම සඳහා වූ දඬුවම’

අල් කුර්ආන් වැකිය 5 : 33

2014/09/28 වැනි දින සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ් සහ ඔහුගේ නියෝජිතයාට එරහිවීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම යන පාපකර්මයට නියමකොට ඇති වන්දිය වන්නේ, ඔවුන්ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණගැසීම හෝ ඔවුන්ගේ එක්පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එලවා දැමීමයි. මෙම දඬුවම් තුලින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්ව මෙලොවදී අවග්ඥාවට පත් කල යුතුය”.  (අල් කුර්ආන් 5 : 33)

ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්ගේ ප්‍රතිවිපාකය වන්නේ ඝාතනය කරනු ලැබීම හෝ කුරුසියේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ ඔවුන්ගේ දෑත් සහ පාද එකිනෙකට විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ (ඔවුන් ජීවත් වූ) දේශයෙන් පිටුවහල් කරනු ලැබීමය. මෙය ඔවුන්ට මෙලොවෙහි වූ අවමානයයි. තවද මතු ලොවෙහි ඔවුන්ට මහත් වූ දඬුවම් ඇත”. (අල් කුර්ආන් 5 : 33)

මෙහිදීත් අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ විකෘති පරිවර්තනය හා නිවැරදි පරිවර්තනය ඉතා කාරුණිකව සසඳා බලන ලෙසය. සමුළුවේ කථිකයාගේ වෛරය හා ක්‍රෝධය මුසු වූ ඉස්ලාම් විරෝධය මෙයින් පැහැදිළිව දැක ගත හැකිය.

පැහැදිලි කිරීම

ඉස්ලාමය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව මෙම අල් කුර්ආන් වැකිය ද ජිහාදයට සම්බන්ධ වැකියක් ලෙස සිතා විකෘති මත ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹී ඇති බව පෙනෙන්නට ඇත. මෙය සැබවින් ම අධිකරණ ක්‍රියාවලියට අදාළ වැකියකි. මෙය ඉහතින් විස්තර කළ කිසිදු ජිහාද් ප්‍රභේදයකට අදාළ නොවුවක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත්තකි.

මෙම වැකියේ සඳහන් දඬුවම ගැන අදහස් දැක්වීමට පෙර එයට පදනම් වූ  චෝදනා පිළිබඳව විමසීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. “අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්” යන්නට පහත සඳහන් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත.

“අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන්” යන්නෙහි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්කරවමින් සන්නද්ධ මංපැහැරීම,  ‘සත්‍යය’ට එරෙහිවීම, හා කැරළි ගැසීම යන්නය. මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එදත් අදත් අප සැවොම දැන සිටි සත්‍යයකි.  මෙයින් සිදුවන්නේ ජනයාට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාස කිරීමය.

“මිහිතලයේ කලහකම් කිරීමට වෙර දරන්නන්” යන්න ත්‍රස්තවාදී ක්‍රියා වන්හි නියැලෙන්නන්, නුතන භාෂා යෙදුම අනුව පාතාල ක්‍රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් මෙයින් අදහස් වේ.

මෙම චුදිතයන්ගෙන් සොරකම, පහරදීම හා ඝාතන සිදුවීමට හැක. අල් කුර්ආන් වැකිය දඬුවම සඳහන් කරන්නට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර චුදිතයා සිදු කරනු ලබන අපරාධයේ බරපතලකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම වැකියේ සන්දර්භය නිවැරදිව අවබෝධ කරගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන්ම අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමුව ඉහත උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකියට පෙර ඇති වැකිය විමසා බලමු.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)

මිනිස් ඝාතන වැනි සාපරාධී ක්‍රියාවන් හා දඬුවම් 5 : 33 වැකියේ සඳහන් කරන්නට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 5 : 32 වැකියෙන් විග්‍රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීම (ත්‍රස්තවාදී, පාතාල ක්‍රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම්) වැනි ක්‍රියාවන්ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසුව  ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව  මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් පරපුරම මරා දැමීමට සමාන බවත් එලෙසම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුරම බේරාගත්තා හා සමාන බවත් මෙමගින් ඉස්ලාමය උගන්වයි. 5: 33 ට පසුව ඇති අල් කුර්ආන් වැකිය ද විමසා බලමු.

“ ඔවුන් කෙරෙහි නුඹලා බලය යෙදවීමට පෙර පශ්චාත්තාපයේ නියැලුණු අය හැර”. (අල් කුර්ආන් 5 : 34)

5 : 33 හි සඳහන් සාපරාධී ක්‍රියාවන් හි නියැලුනු අපරාධකරුවන්ට තමන් ව ප්‍රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද මෙමගින් සහතික කොට ඇත. 5 : 34 හි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්‍රියා පිළිගෙන එවා පිළිබඳව පශ්චාත්තාපයට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයකට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත්වීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට එකඟ වන්නන්ට 5 : 33 හි සඳහන් දඬුවම් අදාළ නොවන්නේය. මෙයට වඩා යුක්තිය සාධාරණය මත පදනම් වූ තවත් පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

මෙලෙස ආගමික මුලාශ්‍රයන් විකෘති කරමින් දහම් අවමානයට ලක් කිරීමට කටයුතු කරන්නන් ව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙවන් පහත් හැසිරීම් රටාව සැබැවින්ම ම්ලේච්ඡත්වයේ සළකුණක් හැර අන් කිසිවක් නොවේ.

ඉස්ලාමයේ අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ඉමාම් මාලික් තුමා ගෙන් (ක්‍රි. ව. 711 – 795) කුරුසියේ ගැසීම පිළිබඳව විමසන ලදුව, සන්නද්ධ මං පැහැරීම සඳහා කුරුසියේ ගැසීම දඬුවමක් ලෙසින් නියමිත කළ එක් අවස්ථාවක්වත් එතුමා විසින් අසා නොමැති බවය (අල් මුදව්වනහ් 15 වන වෙළුම, 99 වැනි පිටුව). ඉමාම් මාලික් තුමාගේ මෙම ප්‍රකාශනය පදනම් කරගෙන ආචාර්ය මුහම්මද් එස්. අල් අවා තම ආචාර්ය උපාධිය සඳහා සකස් කළ පර්යේෂණාත්මක නිබන්ධය වූ ‘ඉස්ලාමීය නීතියේ දඬුවම්’ හි  (Punishment in Islamic Law – 29 වැනි පිටුව) දඬුවමේ දැඩි භාවය හේතුවෙන් අපරාධය වෙත නැඹුරු වන්නන් වලක්වා ගැනීම එක් ප්‍රධාන අරමුණක් බවය. වත්මන් ලෝකයේ පවතින අපරාධ නීතිය හා ඉස්ලාමීය අපරාධ නීතිය අතර වූ ප්‍රධාන බෙදුම් රේඛාවන්ගෙන් එකක් වන්නේ වත්මන් අපරාධ නීතිය මිනිසාට අපරාධ කිරීම ට සියලු මංපෙත් විවර කර දී අපරාධ ක‍රු ලෙස හංවඩු ගසා නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නීතියක් නොමැති විටෙක නව නීති සම්පාදනය කර දඬුවම් ලබා දීමය. නමුත් ඉස්ලාම් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මිනිසා අපරාධ කිරීම ට හේතු කාරක වන සාධක සහ පරිසරය තුරන් කර දැහැමි වූත් සර්ව සාධාරනත්ව ය රජයන සමාජ ක්‍රමයක් බිහි කළ පසු අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අතර ම මිනිසාට පුර්ව දැනුම් දීමක් ලෙස අපරාධයක ට ලබා දෙන දඬුවම් පෙන්වා දී ඇත. එවිට මිනිසා දඬුවමේ ඇති දැඩි භාවය අවබෝධ කර ගෙන දඬුවම ට ඇති බිය නිසා අපරාධ වලින් ඈත් වී සම්මා ජීවිතයක් ගත කරන්නට උත්සුක වෙයි.

සමාජ සාධාරණය ක්‍රියාත්මක, අපරාධ කිරීම ට කිසිඳු අවකාශයක් නොමැති හා සමාජ ප්‍රශ්න හා ගැටලු වලට සාධාරණ විසඳුම් ලබා දෙන රජයකට එරෙහි ව ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙන්නේ නම්, කැරලි ගසන්නේ නම් හා සාමකාමී ජන ජීවිතය ට බාධා කරන්නේ නම් එවැනි සුළු පිරිසක ට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම පිළිගත් වගකිය යුතු රාජ්‍යයක ට යෝග්‍ය වන්නේ ද? එසේ නීතිය ක්‍රියාත්මක කිරීම සාහසික අපරාධයක් ලෙස හැඳින් විය හැක්කේ කෙසේ ද? මෙසේ ඉහත යථාරූපී යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව එසේත් නොවේ නම් අවබෝධ කරතත් අනවබෝධයෙන් සේ කටයුතු කරන්නන් ට කිව හැක්කේ ‘නිදා ගත්තෙකු ඇහැරවිය හැකි නමුත් නිදා ගන්නන් සේ රඟපාන්නන් ඇහැරවිය නොහැකි’ බවයි.

‘පිළිම වන්දනාකරුවන් ව දුටු තැන කපා කොටා ඝාතනය කරන්න’

අල් කුර්ආන් වැකිය 9 : 5

2014/09/28 වැනි දින සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

“ශුද්ධවූ මාස හතර පසුවූ වහාම පිළිම වන්ධනා කරුවන්ට දුටු දුටු තැන කපාකොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව අල්ලා බැඳ දමන්න. ඔවුන් යන එන තැන්වල මග රැකසිට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාවට පත්වී ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාහ්ගේ ආගම අදහන්නට කැමති වන්නේ නම් එවැනි අයව පමණක් තෝරා මුදාහරින්න. අන් සියලුදෙනා ඝාතනය කරන්න. අල්ලාහ් සමාව දෙන්නාය මහා කාරුනිකයාය”. (අල් කුර්ආන් 9 : 5)

ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව  දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත හරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලිය හා අති කරුණාභරිතය” (අල් කුර්ආන් 9 : 5)

මෙම අල් කුර්ආන් වැකිය උපුටා සමුළුවේ දී ඉදිරිපත් කරන ලද ආකාරය හා නිවැරදි පරිවර්තනය අතර ඇති වෙනස් කම් හා විකෘති කිරීම් ඉතා පැහැදිලිව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. නිශ්චිත ඓතිහාසික සන්දර්භානුගත සිදුවීමක් පමණක් පදනම් කරගෙන පහළ වූ මෙම වැකියේ කරුණු සියලූම මුස්ලිම් නොවන්නන්ට එරෙහිව සැමදා සැමවිට සැමතැන බලගැන්විය යුතු අදහසක් හැටියට හුවා දක්වන්නට සමුළුවේ දී දරා ඇති බොළඳ උත්සාහය සත්‍යය වශයෙන්ම තම සිතේ ඇති මුස්ලිම් විරෝධය මනාව හෙළිදරවු කරන්නකි. මෙම වැකියේ නිවැරදි අර්ථ දැක්වීම පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

පැහැදිලි කිරීම

මෙම අල් කුර්ආන් වැකිය පහළ වීමට හේතු වූ ඓතිහාසික පසුබිම පළමුව තේරුම් ගත් විට මෙම වැකියෙහි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම පහසු වනු ඇත.

ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද්තුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් ගෝත්‍රිකයින්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය.

මෙම තත්ත්වය තුළ වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මක්කාව අතහැර මදීනා නගරයට  දෙශාන්තරණය කිරීමට බල කෙරිණි. මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මුහම්මද් තුමාණන් හා පිරිස මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසු හයවන වසරේ දී මක්කා නගරයට පැමිණ ‘උම්රා’(මක්කා වේ මස්ජිදුල් හරාම් පල්ලිය ආශ්‍රිතව සිදු කරන ඉස්ලාමයේ එක් නැමදුමක්) වතාවත්ඉටු කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී හුදෛබියා නම් වූ ස්ථානයේ දී ඔවුන්ව වලක්වා ලීමට මක්කාවේ ඉස්ලාම් විරෝධීන් විසින් කටයුතු කරන ලදී. මෙතැන දී ඇති වූ අති පීඩාකාරී තත්ත්වය මත මුස්ලිම්වරුන්ට ඉතා අවාසි සහගත බව පෙනෙන්නට තිබු සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුමද එයට වර්ෂ එකහමාරක දී මක්කා වාසීන් විසින් බිඳ දමන ලදී.

මෙම අල් කුර්ආන් වැකියේ සන්දර්භය වෙත අවධානය යොමු කරන විට ගිවිසුම කඩ කිරීම පිළිබඳ අදහස් පැහැදිළිව දක්නට ඇත. එයට අමතරව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කෙලෙසකවත් මක්කාහ් නගරයේ ආරක්ෂාව සඳහා යෝග්‍යය නොවන බව ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වන්නකි. ගිවිසුම් කඩ කරමින් නිතර ප්‍රහාරයන් එල්ල කරමින් විශ්වාස ද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග සහවාසය ඉතා අවදානම් ක්‍රියාවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබු හෙයින්  ඔවුන්ට මක්කාහ් නගරයෙන් ඉවත්වීමට මාස හතරක් කල් දෙනු ලැබීය. මෙම කල් දීම පිළිබඳව සඳහන් අල් කුර්ආන් වැකි මක්කාවේ ජනයාට පාරායනය කර පෙන්වීමට මුහම්මද්තුමාණන් විසින් මදීනා නගරයේ සිට මක්කා නගරයට නියෝජිතයින් දෙදෙනෙකු එවන ලදී. මෙම කාලය තුළ ඔවුන් ඉවත් වුවහොත් ඔවුන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ තත්ත්වයක් උදා නොවන්නේය. නමුත් එසේ ඉවත් නොවී මක්කාවේ රැඳෙන්නන් පිළිබඳවයි මෙහි සඳහන් වන්නේ. රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මෙම පිටුවහල් කිරීමට ප්‍රධාන හේතුවයි.

මුස්ලිම්වරුන් සමග ගිවිසුම් ඇතිකර ගත් හා නොගත් මුස්ලිම් නොවන්නන් කොටස් හතරකට වර්ග කළ හැක.

  1. මක්කා නගරය මුස්ලිම් වරුන්ගේ පාලනයට පත් වූ විට එම නගරයේ හා ඒ අවට ජීවත් වූ සියලු මුස්ලිම් නොවන්නන්ට පුර්ණ ආරක්ෂාවේ සහතිකය මුස්ලිම් වරුන් විසින් ලබා දී තිබුණි. නමුත් එයින් කොටසක් වුයේ ඉහතින් සඳහන් ‘හුදෛබියා’ ගිවිසුම කඩ කරමින් මුස්ලිම් වරුන් ට එරෙහිව කටයුතු කළ පිරිසයි. මක්කා නගරය මුස්ලිම් වරුන්ගේ පාලනයට ගෙන ඒමට හේතු වුයේත් මෙම හුදෛබියා ගිවිසුම කඩ කරමින් කටයුතු කළ පිරිසගේ ක්‍රියාකලාපයයි.
  2. දෙවන කොටස වුයේ නිශ්චිත කාල සීමාවක් සඳහා ගිවිසුම් අත්සන් කොට එම ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කළ මුස්ලිම් නොවන්නන්ය.
  3. තවත් පිරිසක් වුයේ   කාල සීමාවක් නොමැතිව බලපාන අයුරින් ගිවිසුම් අත්සන් කොට තිබු පිරිසය.
  4. හතරවන කොටස වුයේ කිසිම ගිවිසුමක් අත්සන් නොකොට තිබු පිරිසය.

එහෙයින් මෙම අල් කුර්ආන් පරිච්ඡේදය ආරම්භයේ මෙම  වර්ග හතර පිළිබඳව ක්‍රියා කළයුතු ආකාරය පැහැදිලි කොට තිබේ. මෙයින් පළමුවන කොටස වුයේ හුදෛබියා ගිවිසුම කඩ කරමින් මුස්ලිම්වරුන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කළ මක්කාවේ කුරෛෂ්වරුන් ය. ඔවුන් සම්බන්ධව අමතර සහනයන් ලබාදීමේ අවශ්‍යතාවක් නොතිබුණි. මුස්ලිම්වරුන් සමග ගිවිසුම් අත්සන් කොට සිටි මිත්‍ර වපාක්ෂිකයින් හා අසරණයින් ඝාතනයට ලක් කිරීම ඔවුන් කළ තවත් බරපතල නීති විරෝධී ක්‍රියාවකි. මෙය ඓතිහාසිකව මුහම්මද් තුමාණන්ගේ කාල වකවානුව තුළ ඇතිවූ සිදුවීම් පදනම් කර ගනිමින් එම තත්ත්වයට බලපාන අයුරු පමණක් ඉදිරිපත් කරන ලද නීතියකි.

මෙම පරිච්ඡේදයේ පහත සඳහන් හතරවන වැකියෙන් නිශ්චිත කාලවකවානුවකට බලපාන අයුරු ගිවිසුම් අත්සන් කළ දෙවන කොටස පිළිබඳව සඳහන් වේ. මෙම මුස්ලිම් නොවන පිරිස මුස්ලිම් වරුන් සමග ගිවිසුම් අත්සන් කොට ඉන්පසු එහි කිසිම කොන්දේසියක් කඩ නොකොට මෙන්ම මුස්ලිම් වරුන්ගේ අනෙකුත් සතුරන්ට මුස්ලිම් වරුන්ට එරෙහිව උපකාර නොකළ පිරිසයි. ඔවුන් ගිවිසුමේ කොන්දේසි කඩ නොකලාක් මෙන් මුස්ලිම් වරුන් ද එය ආරක්ෂා කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බව උපදෙස් ලබා දී ඇත.

“ආදේශ තබන්නන් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇතිකරගෙන පසුව (එම ගිවිසුමෙහි) නුඹලාට කිසිදු අඩුවක් නොකර, නුඹලාට එරෙහිව කිසිවෙකුට උදව් නොකර, සිටියවුන්ට හැර. ඔවුන්ගේ ගිවිසුම එයට නියමිත කාලය දක්වා සම්පුර්ණ කරවූ. සැබවින්ම අල්ලාහ් බිය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 9 : 4)

තුන්වන හා හතරවන පිරිස පිළිබඳව එක් තීන්දුවක් පමණක් පහත සඳහන් පළමුවන හා දෙවන වැකි මගින් දන්වා ඇත.  එනම් මාස හතරක කාල සීමාවක් සඳහා පුර්ණ නිදහස ඇතිව රැඳී සිටීමට අවසරය ලබා දී තිබුණි.

“(මෙය) ආදේශකයින් අතුරින් නුඹලා කවරෙකු සමග ගිවිසුම් ඇතිකර ගත්තේ ද ඔවුන් වෙත අල්ලාහ් හා තම රසුල් වරයාගෙන් වූ විමුක්තිය(පිළිබඳව ප්‍රකාශනය)කි. සිව් මසක් මෙම භුමියේ (මක්කාවේ) නුඹලා සැරිසරවූ. සැබවින්ම නුඹලා අල්ලාහ් ව පරාජය කළ නොහැක්කන් බවත් සැබැවින්ම අල්ලාහ් ප්‍රතික්ෂේපකයින්ව අවමානයට ලක්කරන්නෙකු බවත් දැන ගනිවු”. (අල් කුර්ආන් 9 : 1-2)

ගිවිසුම කඩ කරමින් ඉස්ලාමිකයින්ට සතුරුකම් කරමින් ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයින් ඝාතනය කළ  පිරිස පිළිබඳවයි ඉහත සඳහන් 5 වන වැකියේ සඳහන් වන්නේ. ඉවත් වීමට මාස හතරක් දී තිබුන ද ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ප්‍රයෝගයන් පිළිබඳව විමසිලිවත් වන ලෙස උපදෙස් දී තිබේ. මෙහි පසුබිම හා සන්දර්භය පිළිබඳව අවබෝධයකින් තොරව මුස්ලිම් භීතිකාව ඇති කිරීම පමණක් අරමුණු කොට ගෙන කටයුතු කරන විට සත්‍යයෙන් බැහැරව අදහස් දැක්වීම් නොවැළක්විය හැක්කක් නොවන බව පිළිගන්නෙමු. ඔවුන්ට ඉවත්වන්නට දුන් නියෝගය රටින් පිටුවහල් කිරීමක් නොවේ. මෙම කාල වකවානුව වනවිට මක්කා ප්‍රදේශය ද මුස්ලිම් රාජ්‍යයේ කොටසක් ව පැවතිනි. මෙම අපරාධකරුවන්ට  ඉවත් වන්නට උපදෙස්  දී තිබුනේ අති පෞරාණික එමෙන්ම මුස්ලිම්වරුන්ගේ අති උත්තරීතර මක්කාවේ පිහිටි පල්ලිය හා ඒ අවට ඇති පුණ්‍ය භුමි ප්‍රදේශයෙන් පමණි. අති විශාල එම උතුම් හා පෞරාණික පල්ලිය වෙත ආගමික කටයුතු සඳහා පැමිණෙන ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම පිණිස නීති විරෝධී ක්‍රියාවන් හි නියැලෙමින් කටයුතු කරන මෙම පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණි.  එදත් අදත් මක්කාව අසල පිහිටි ජිද්දා වැනි නගරයන්හි මුස්ලිම්නොවන්නන් ජීවත්වීම දැකිය හැක.

ඉහත 5 වන වැකියෙන් සඳහන් යුද තත්ත්වයේ ප්‍රධාන හේතු එම පරිච්ඡේදයේම 13 වන වැකියෙන් පැහැදිලි කොට ඇත.

“තමන්ගේ ගිවිසුම් කඩකර මෙම රසුල්වරයා ව (මුහම්මද් තුමාගේ උපන් භුමිය වූ මක්කා නගරයෙන්)  පිටුවහල් කිරීමට උත්සාහ දරා මුල් වරට නුඹලා සමග (යුද වැදීම) ආරම්භ කළ පිරිස සමඟ සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බියවන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් නුඹලා බිය වන්නට වඩා සුදුස්සා වනුයේ අල්ලාහ් ය”. (අල් කුර්ආන් 9 : 13)

ගිවිසුම් කඩ කිරීම, මුහම්මද් තුමාණන්ව හා මුස්ලිම් වරුන්ව පිටුවහල් කිරීම  හා පළමු ප්‍රහාරය සිදු කිරීම මක්කාවාසී මුස්ලිම් නොවන්නන්ට එරෙහිව 5 වන වැකියේ සඳහන් යුද තත්ත්වය සඳහා හේතු සාධක වූ බව මෙයින් මනා ලෙස පැහැදිලි වන්නේය. මෙවන් තත්ත්වයක් තුළ සතුරා සමග යුද කිරීම හැර වෙනත් විකල්පයක් ඇති දැයි විමසන්නට කැමැත්තෙමු. නමුත් මෙම වැකිය හුවා දක්වමින් අල් කුර්ආනය සියලුම මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට අනුමැතිය දී ඇති බව පවසමින්  මුස්ලිම් භීතිකාවක් ගොඩනැගීමට උත්සාහ කරන්නන් කෙතරම් බරපතල අයුරින් ආගමික ග්‍රන්ථ විකෘති කිරීමට කටයුතු කර ඇත්තේදැයි කරුණාකර සිතා බලන්න.

‘ඉස්ලාමය පිළිගන්නා තෙක් මිනිසුන් සමග සටන් කරන්න’

විකෘති කොට හා ගොතා ඉදිරිපත් කරන ලද නබි වදන්

2014 – 9 – 28 දින සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන නබි වදන (හදීසය) පිළිබඳව ද  විමසා බලමු.

වැරදි පරිවර්තනය:

“මොහමඩ් ප්‍රකාශ කළා සියලුම මිනිසුන් ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ එනම් අල්ලාහ් හැර වෙනම කිසිවෙකුට කිසිම ආගමක වන්දනා මාන ලැබීමට අයිතියක් නැති බව කියා ඉස්ලාම් ආගමට හැරෙන තුරු ඔවුන්ට විරුද්ධව සටන් කළ යුතු බව අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම වැළඳ ගන්නා කවරෙකුගේ හෝ ජීවිතය හෝ වෙනත් දේපොළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය”.

නිවැරදි පරිවර්තනය:

ඉහතින් දක්වා ඇත්තේ එම නබි වදනේ කොටසකි. එහි සම්පුර්ණ කොටස පහත සඳහන් අයුරිනි.

“අල්ලාහ් හැර නැමදුමට සුදුසු අන් කිසිවෙකු නොමැත, මුහම්මද්  අල්ලාහ්ගේ ගැත්තා හා ධර්ම දුතයා යන්න ප්‍රකාශ කරන තුරු හා ‘සලාතය’ ස්ථාපිත කොට ‘සකාතය (අනිවාර්ය දන්දීම)’ දෙන තුරු ජනයා සමග සටන් කිරීමට (අල්ලාහ් විසින්) මට නියෝග කොට ඇත. ඔවුන් එසේ කරන්නේ නම් ඉස්ලාමිය නීතියට අනුව හැර ඔවුන්ගේ වස්තුව හා ජීවිත මගෙන් ආරක්ෂා සහිතය. ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ ගිණුම අල්ලාහ් සතුය”. (සහීහ් බුහාරි – 4 වන වෙළුම, හදීස් අංක 196)

පැහැදිලි කිරීම

මුහම්මද් තුමාණන්ගේ මෙම ප්‍රකාශනය පිළිබඳව විමසීමක් කිරීමේ දී ‘යුකාතිල්’ හා ‘අක්තුල’ යන අරාබි පදයන්හි නිවැරදි අර්ථය අප විසින් පළමුව අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. ‘යුකාතිල්’ යන්නෙහි අර්ථය ‘සටන් කිරීමට’ යන්න වන අතර ‘අක්තුල’ යන්නෙහි අර්ථය ‘ඝාතනය කිරීමට’ යන්නය. මෙම ප්‍රකාශනයේ යොදා ඇත්තේ ‘යුකාතිල්’ නම් පදය වන අතර එයින් අදහස් වන්නේ ඉස්ලාමය තුළින් දිව්‍යමය සත්‍යය අවබෝධ කරගැනීමට කටයුතු කරන  ජනයා වළකාලන බලවේග සමග සටන් කිරීමයි.

අයුක්තිය, අසාධාරණය, දුෂ්ටකම්, හිංසනය හා කළහකම් වැනි සමාජ යහපතට විරුද්ධව ඉස්ලාමීය අරගලය සමහර අවස්ථාවන්හි දී මුස්ලිම් වරුන්ටම එරෙහිව උපයෝගී වූ අවස්ථා ඉතිහාසයෙන් බොහෝ අවස්ථාවන් හි දැකිය හැක. මෙම ප්‍රකාශනය වැරදි ලෙස අවබෝධ කරගත් මුස්ලිම් වරුන්ගේ ක්‍රියාකාරකම් සහමුලින්ම ඉස්ලාමීය සාරධර්මයන්ට පටහැනිවූවකි. මෙම වැරදි ක්‍රියා නිරීක්ෂණය කරන මුස්ලිම් නොවන්නන්ගේ ඉස්ලාම් විරෝධී ප්‍රචාරයන් ද එලෙසම වැරදි එකකි.

මෙම නබි වදන අරාබි බසින් වූවක් වන අතර එහි නිවැරදි අර්ථය අවබෝධ කරගැනීමට නම් අරාබි භාෂාව පිළිබඳ දැනුමක් අත්‍යාවශ්‍ය වන්නේය. අරාබි භාෂාවේ එක් වැදගත් රීතියක් වන්නේ ‘පොදු ප්‍රකාශනයකින් නිශ්චිත දෙයක් පිළිබඳව පැවසීමය’. මෙවන් අරාබි වදන් කියවන්නේකුගේ මනසේ එක්තරා ආකාරයක ව්‍යාකුලත්වයක් ඇතිවිය හැක. එහෙයින් අරාබි භාෂා යෙදුම් පිළිබඳ විශේෂඥයෙකුගේ මගපෙන්වීමකින් තොරව මේවායේ නිවැරදි අර්ථය අවබෝධ කරගැනීම බොහෝ විට දුෂ්කර විය හැක.

ඉහත නබි වදනේ ‘ජනයා’ යන්න පොදු ප්‍රකාශනයක් වූවද එය නිශ්චිත පිරිසක් පිළිබඳව වූ සටහනක් බව අරාබි භාෂාව පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති විද්වතෙකුගේ විග්‍රය අනුව අවබෝධ කරගත හැකි වැනු ඇත. මෙ පිළිබඳව ඉතා ප්‍රායෝගික උදාහරණයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. මෙරට තුල එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් පැවති 2005 වර්ෂයේදී ආරක්ෂක අංශය විසින් උතුරට පහර දෙන ලෙස නියෝගයක් නිකුත් කිරීම සාමානය සිද්ධියකි. නමුත් මෙයින් අදහස් වන්නේ උතුරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකයින්ට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කරන ලෙසය. එයින් ඔබ්බටත් සිදුවීම් දෙස අවධානය යොමු කළ විට පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් හා සාමාන්‍ය ද්‍රවිඩ ජනයා කෙරෙහි එම නියෝගය කිසිසේත්ම වලංගු නොවන බව අප සැවොම දන්නා කරුණකි. මෙ අනුව එක් නිශ්චිත අවස්ථාවක නිශ්චිත හේතු පදනම් කොට ගෙන නිකුත් කරන ලද නියෝග සැමදා සැමවිට සැමට බල නොපාන බව පැහැදිලි කරුණකි. ඉහත නියෝගය පදනම් කරගෙන වර්ෂ සියයකට පසු උතුරේ සියලු ජනයා ඝාතනය කිරීමට ආරක්ෂක අංශය විසින් නියෝගයක් නිකුත් කළ බව යමෙක් පවසන්නේ නම් එහි ඇති අර්ථ විකෘති භාවය අවබෝධ කර ගැනීම ඕනෑම අයෙකුට කළ හැකි දෙයකි. මෙසේ තිබියදී වර්ෂ 1400 කට පෙර නිශ්චිත හේතු මත පැවසු ප්‍රකාශයක් සන්දර්භයෙන් බැහැරව කෙසේ නම් වර්තමානයට අදාළ දෙයක් ලෙස හුවා දක්වන්නට කටයුතු කළ හැක්කේ ද කියා අසන්නට කැමැත්තෙමු.

මෙහි අදහස් කරන ‘නිශ්චිත පිරිස’ නම් වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මුහම්මද් තුමාණන් ව දැඩි තාඩන පීඩනයන්ට ලක් කරමින් අනතුරුව එතුමා ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ මක්කාවාසී ඉස්ලාම් විරෝධීන් ය. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් වරුන්ට මදීනා නගරයට  දෙශාන්තරණය කිරීමට බල කෙරිණි. මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මෙම නබි වදනේ නිශ්චිතව සඳහන් කරන ‘ජනයා’ මෙම පිරිසය. මෙම පිරිස සමග තිබු ගැටුම පිළිබඳව අල් කුර්ආන් වැකි අංක 9 : 5 යටතේ ඉහතින් විග්‍රහ කළෙමු. එම විග්‍රහයන්ගෙන් බහුතරයක් මෙම නබි වදන් විග්‍රහයට අදාළ වන්නකි. ඔවුන්ට විරුද්ධව ආක්‍රමණකාරී ජිහාදයක යෙදීමට මෙම නබි වදනින් සනාථ වේ.

දහම පිළිබඳව බලකිරීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව සම්පුර්ණයෙන්ම තහනම් වුවක් බව මෙයට පෙර විග්‍රහ කළෙමු. මුහම්මද් තුමාණන්ගේ කාල වකවානුව තුළ ඝාතන, අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කළ හා ජන ජීවිතයේ සාමකාමී හා යහ පැවැත්මට තර්ජනයක් වූ නිශ්චිත පිරිසක් මක්කා පුණ්‍ය භුමි ප්‍රදේශය තුල විසුහ. ඔවුන් සෑමවිටම  විශ්වාසද්‍රෝහී ලෙස කටයුතු කළ හෙයින් ඔවුන් සමග සටන් නොවැදී සිටින්නට නම් ඔවුන් ඉස්ලාමය වැළඳ ගෙන තම විශ්වාසද්‍රෝහී භාවය අත්හල බව සහතික කළ යුතු වූ අතර එසේ නොකරන්නේ නම් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතුවිය.

“මමයි හොදම කුමන්ත්‍රණ කරුවා, කපටියා, මාගේ සූක්ශම කපටිකම් වලින් ඔවුන්ව ‘මුස්ලිම් නොවන ජනයා’ මුලාකොට රවටා ඔවුන්ගේ සියලුදේ මා විශ්වාසවන්තයින්ට අත්පත්කරදුන්නා”.

සමුළුවේ දී වැරදි ලෙස උපුටා දැක වූ ඓතිහාසික තොරතුර.

“ඉබ්නු ඉෂ්හාක්, මොහමඩ් තුමගේ ගෝලයෙක් කියනවා, මොහමඩ් ප්‍රකාශකලා, මම තමයි හොදම කුමන්ත්‍රණ කරුවා, කපටියා, මාගේ සූක්ශම කපටිකම් වලින් ඔවුන්ව ‘මුස්ලිම් නොවන ජනයා’ මුලාකොට රවටා ඔවුන්ගේ සියලුදේ මා විශ්වාසවන්තයින්ට අත්පත්කරදුන්නා”.

පැහැදිලි කිරීම

මෙතෙක් විකෘති කොට ඉදිරිපත් කරන ලද සෑම වැකි පිළිබඳවම නිවැරදි විග්‍රහයන් හා පැහැදිලි කිරීම් ඉදිරිපත් කළෙමු. නමුත් මෙම ගොතා ඉදිරිපත් කරන ලද ප්‍රකාශය කිසිදු ග්‍රන්ථයක සොයා ගැනීමට නොහැකිවිය. එහෙයින් නිවැරදි අරාබි මුලාශ්‍රය සහිත මෙම ප්‍රකාශය අඩංගු ග්‍රන්ථය අප වෙත ඉදිරිපත් කරන ලෙස ඉතා නිහතමානීව අභියෝග කරන්නට කැමැත්තෙමු.

මෙවන් පදනම් විරහිත තමන් විසින්ම ගොතන ලද අභූත චෝදනා ඉදිරිපත් කරමින් ලොව ශ්‍රේෂ්ඨතම මිනිසුන්ට අපහාස කරමින් ජනයා නොමග යවන්නට කටයුතු කරන්නන් සදාචාර සම්පන්න සැමගේ පිළිකුලට අනිවාර්යයෙන්ම ලක්විය යුතු බව අවධාරණයෙන් පවසා සිටින්නෙමු.

අල් ත(ට)ක්යා නම් වූ වංචනික පිළිවෙත

අල් ත(ට)ක්යා නම් වූ වංචනික පිළිවෙතක් පිළිබඳව 2014/9/28 වැනි සඟ සමුළුවේ දී දෙඩීමක් අසන්නට ලැබිණි. ඒ පිළිබඳව ටිකක් දීර්ඝ ලෙස විස්තර කළ යුතුව ඇති හෙයින් වෙමම ලිපියක් මගින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නෙමු.

සමාප්තිය

ඉහතින් ඉදිරිපත් කොට ඇති විග්‍රහයන් දෙස මධ්‍යස්ථව හා විචාරශීලීව අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. විවිධ ආගමික හා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කිරීම අරමුණු කොට ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයන්හි වැරදි උපක්‍රමණයන් අවබෝධ කරගෙන ඒවා පරාජයට පත් කොට සෑමට සහෝදරත්වයෙන් හා සුහදත්වයෙන් ජීවත්විය හැකි සමාජ පරිසරයක් ගොඩ නගන්නට කැපවී ක්‍රියා කරමු.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත එන සිංහල මුස්ලිම් සමගිය හා සුහදත්වය බිඳ දැමීම මෙවන් අනිසි පදනම් විරහිත චෝදනාවන්ගේ අරමුණ බව ඉතා හොඳින් පැහැදිලිවන කරුණකි. එනිසා අපි සත්‍යය අවබෝධ කර ගනිමු, දැනුවත් වෙමු, වෛරය ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී හා සමගියෙන් බැඳුනු මාතෘ භූමියක් ගොඩ නගමු. අනාගත පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් සපිරුණු රටක් ගොඩ නගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට වහ වහා අධිෂ්ඨාන කර ගනිමු.

තමන්ගේ ආගමික හා වාර්ගික අනන්‍යතාව රැක ගනිමින් හා අන් අයගේ ආගමික හා වාර්ගික අනන්‍යතාවට ගෞරව කරමින් කටයුතු කරන ශ්‍රේෂ්ඨ ආදර්ශමත් රටක් ලෙස අපගේ මාතෘ භුමිය ගොඩ නගමු.

අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නැගීම පදනම් කර ගෙන සකස් කෙරෙන මෙම “සමාජ සංවාද” ලිපි පෙළෙන් අප අවංක ලෙසම අපේක්ෂා කරන්නේ ශ්‍රී ලාංකේය සැමට සුහදත්වය සාමය හා සහෝදරත්වයෙන් සපිරි අලංකාර සමාජ පරිසරයක් ගොඩ නැගීමටය. මෙම උදාර අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම පිණිස අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ඉතා කාරුණිකව හා ගෞරව පූර්වකව ආරාධනා කරන්නෙමු.

www.yayuthumaga.com

Related Posts

  • මඳකට ආපසු හැරී බලමු! (Republish)October 1, 2016 මඳකට ආපසු හැරී බලමු! (Republish) (0)
    මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය: 1- මුහර්රම් 2- සෆර් 3- රබීඋල් අව්වල් 4- රබීඋස් සානි 5- ජමාදුල් අව්වල් 6- ජමාදුස් […]
  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • ඉස්ලාම් සහ වහල්භාවය – 01July 27, 2008 ඉස්ලාම් සහ වහල්භාවය – 01 (0)
    කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ් සිංහල පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන පෙරවදන ඉස්ලාම් ආගම සියලූ මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයට සුදුසු මගකි.යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් […]
  • කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-2June 14, 2007 කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-2 (0)
    කි:බැ: ආබ‍්‍රහම් මුස්ලිම් වරයෙක් වන්නේ කෙසේ ද? එතුමා යුදෙව්වෙක් බව දැන සිටිමු. මුස්: යුදෙව්වෙක් - ඔබට එසේ කිව්වේ කවුද? කි.බැ: අපට කියා දී ඇත්තේ එලෙසය. බයිබලය ද මෙය සහතික කරන්නට […]
  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03July 1, 2007 කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03 (0)
    කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ. මුස්: එය සම්පූර්ණ ඇත්තක් ආගම […]



coded by nessus

April 4, 2017 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , ,  · Posted in: ගවේෂණය, ප්‍රශ්න හා පිළිතුරු

Leave a Reply