ලෝකයේ ඇති-නැති පරතරය මෙතරම් විශාල ඇයි? (Why economic differences are so big?)

ලෝකයේ බොහෝ මිනිසුන් කෑමට හෝ බිමට කිසිවක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙළෙද්දී තවත් පිරිසක් අධික ලෙස ආහාර ගැනීම නිසා කොලොස්ටරෝල්, රුධිරයේ සීනි සහ වෙනත් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනු දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව තම අසල්වැසියා කුසගින්නේ පෙළෙමින් සිටින විට කුස පිරෙන්න ආහාර ගත් තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එහෙත් මේ ගැන කීදෙනෙක් සිතා බලනවාද?
දෙවියන් මෙම ලෝකය මවා ඇත්තේ සෑම ජිවියෙකුටම ප්‍රමාණවත් ආහාර සහ අනෙකුත් සියළුම අවශ්‍යතාවන් අඩුපාඩුක් නොමැතිව ලැබෙන පරිදිය. එහෙත් මිනිසාගේ වැරදි  හේතුවෙන් ලෝකයේ ඇති සම්පත් ඉතා සීමිත පිරිසක් අතරේ ඒකරාශී වී ඇත. මෙම වරදට හේතුව මිනිසා දහමේ නීතිරීති නිසි පරිදි පිලි නොපැදීමය. අල්-කුරානයෙන් පනවා ඇති zසකාත් බද්ද වාර්ෂිකව නිසි ලෙස ගණන් බලා ඒවා නියමිත අයට බෙදා දෙන්නේ නම් ලෝකයේ ඇති දුගීභාවය තුරන් කිරීමට එය හේතුවක් වනු ඇත. එහෙත් එය සිදු කරනු ලබන්නේ ඉතා සුළු පිරිසක් බැවින් ලෝකයේ ඇති නැති පරතරය අධික ලෙස වැඩිවීමට හේතුවක් වී ඇත.

නුතන ආර්ථික ක්‍රමය සැකසී ඇත්තේ ධනවත් අය තව තවත් ධවත් වන ආකාරයටයි. ඒ හැරුණු විට අද සිදුවන යුද්ධ නිසා බොහෝ අය අසරණ වී ඇත. සැබවින්ම මේවා සිදු කරනු ලබන්නේද අවි නිෂ්පාදනය කරන රටවල්වල යුද අවි විකුණා ගැනීම සඳහාත් වෙනත් රටවල්වල ඇති සම්පත් කොල්ල කෑම සඳහාත් ය. මින් සිදු වන්නේ යුද්ධයෙන් බැටකන රටවල්වල ආර්ථිකය සදහටම විනාශ වී යාමය. එම පාඩුව ඉදිරි පරම්පරා ගණනාවකින් පිරිමසා ගැනීමට හැකි වන්නේ නැත. මේ නිසා අපට සිදු වන්නේ අනාගත පරම්පරාවට විනාශයට පත් ලෝකයක් උරුම කර දීමටය.

වර්ථමාන ලෝකයේ ඇති ප්‍රධාන ආර්ථික ක්‍රමයන් දෙකක් වනුයේ ධනේෂ්වර සහ කොමියුනියුස්ට් ක්‍රමයන්ය. එහෙත් එම ආර්ථික ක්‍රමයන් නිසා ලෝකයේ ඇති දුගී කම තුරන්වී නොමැත. මෙයින් පෙනී යන්නේ මිනිසා විසින් බිහිකළ ආර්ථික ක්‍රම වල බොහෝ අඩුපාඩු තිබෙන බවයි. මේ වන විට කොමියුනිස්ට් ආර්ථික ක්‍රමය දැකිය හැක්කේ උතුරු කොරියාව සහ කියුබාව වැනි රටවල පමණි. මේ අනුව කොමිනියුස්ට් ක්‍රමය ලෝක ආර්ථිකය මෙහෙය වීම සඳහා සාර්ථක ක්‍රමයක් නොවන බව ඔප්පු වී ඇත. එසේම ධනේශ්වර ක්‍රමය නිසා ලෝක සම්පත් සීමිත පිරිසකගේ බුදලය බවට පත් වී ඇත. මේ අනුව ලෝක සම්පත් බුක්ති විඳින්නේ ලෝක ජනග්‍රහණයෙන් ඉතා අතලොස්සක් දෙනා පමණි.

ලෝක ආර්ථිකය පිළිබඳව, “A study by the World Institute for Development Economics Research at United Nations University” යන ආයතනය මගින් සිදුකල පර්යේෂණයකට අනුව පෙන්නුම් කරනු ලබන්නේ විසිඑක්වන සියවසේ ලෝක ආර්ථිකය රඳා ඇත්තේ G8 රටවල්වල සහ බටහිර කාර්මික රටවල්වල පමණක් බවයි. තවද ඔවුන් කල පරියෙෂණයකට අනුව හෙළිවී ඇත්තේ 2000 වසරේදී ලෝකයේ සිටින ධනවතුන්ගෙන් 1%  දෙනා අතර ගෝලීය වත්කම් වලින් 40% තිබෙන බවයි. එසේම ධනවතුන්ගෙන් 10%ක් ලෝකයේ ඇති සම්පත්වලින් 85% මෙහෙයවනු ලබති. තවද එම අධ්‍යයනයට අනුව පෙන්නුම් කරන්නේ ලෝකයේ ධනවත්ම කණ්ඩායමෙන් 2% කට මුළු ලෝකයේ ඇති  නිවාස ආම්පන්න වලින් අඩක්ම අයිති වන බවයි.

Congressional Budget Office, කියා සිටින්නේ 1979 සිට 2007 කාලය තුල ඇමරිකාවේ ජනතාවගෙන් 1%ක ආර්ථික වර්ධනය 275% තරම් ඉහල ගොස් ඇති බවයි. එම කාළ වකවානුව තුල මධ්‍යම පෙලේ අමරිකානුවන්ගෙන් 60%කගේ ආර්ථිකය ඉහල ගොස් ඇත්තේ 40%කින් පමණි. මෙම විෂමතාවට ප්‍රධාන හේතුව ධනේශ්වර ආර්ථිකයේ ඇති වරද බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත දැක්වූ ආර්ථික ක්‍රම හැරුණු විට ඉස්ලාම් ආර්ථික ක්‍රමය මේවා දෙකටම වඩා වෙනස් එකකි. එම ක්‍රමය අනුව මිනිසාට ධනය රැස්කිරීමට අවසර ලැබෙන අතර තමන්ගේ වත්කමින් කොටසක් නැති බැරි අයට ලබා දීම අනිවාර්ය කොට ඇත. එබැවින් මෙය හරියාකාරව ඉටු වන්නේ නම් ලෝකයේ ඇති දරිද්‍රතාවයට විශාල අස්වැසිල්ලක් වනු ඇත.

ෂරියා නීතිය අනුව සෑම ව්‍යාපාරිකයෙකුම තම වත්කම්වල වෙළඳ වටිනාකමින් 2.5%ක් වන  zසකාත් බද්ද අනිවාර්යයෙන්ම දුප්පත්ට ගෙවිය යුතුය. මෙය වාර්ෂිකව සිදු කළ යුතු බද්දකි. තවද ව්‍යාපාරිකයින් නොවන ධනවතුන් තමන්ගේ අවශ්‍යතාවලට වඩා වැඩියෙන් වසරක් පුරා ඉතිරිකර ඇති රන්, රිදී සහ තැන්පතු මුදල් සඳහා එහි වටිනාකමින් 2.5%  අනිවාර්යෙන්  zසකාත් ගෙවිය යුතය. මේ හැරුණු විට වී, තිරුගු, රට ඉඳි,  වැනි දේවල් සඳහා අස්වැන්න නෙලාගත් විට ඒවාට නියමිත zසකාත් බද්ද ගෙවිය යුතුය. එසේම එළුවන්, බැටළුවන්, ගවයන් ආදී සතුන් ඇතිකරන ගොවින් විසින් ඊට නියමිත  zසකාත් ගෙවිය යුතු වන්නේය.

ඉහත සඳහන් කල zසකාත් හැරුණු විට රාමසාන් මාසයේ උපවාසයෙන් පසු අවුරුද්ධ සැමරීමට පෙර zසකාතුල් ෆිතර් බද්දක් අනිවාර්ය කොට ඇත. හැකියාව ඇති සෑම මුස්ලිම්වරයෙකු විසින්ම මෙය ඉටු කල යුතුය. ඒ අනුව හැකියාව ඇති සෑම මුස්ලිම්වරයෙකුම කි.ග්‍රෑම් 2.5ක් සහල් දුප්පත් අය වෙනුවන් බෙදා දිය යුතුය. මේ නිසා සෑම කෙනෙකුටම උපවාසයෙන් පසුව එළඹෙන උත්සවය සැමරීමට අවස්ථාවක්හි උදා වන්නේය.

අවසාන වශයෙන් කිව යුත්තේ මිනිසාට මේ ලෝකය තාවකාලික නවාතැනක් බවයි. මිනිසාගේ සාමාන්‍ය ආයුකාලය වසර 60 ත් 70 ත් අතර වේ. මින් නින්දට සහ වෙනත් කටයුතු සඳහා වැය වන කාලය අඩුකලේ නම් නියම වශයෙන් ජිවත්වීමට ඉතිරිව තිබෙන්නේ ඉතා සුළු කාලයකි, එහෙත් මිනිසාගේ ආශාවන්ට සීමාවක් නොමැති වීම හේතුවෙන් ලෝකයේ බොහෝ ආර්ථික ප්‍රශ්න ඇතිවී තිබේ.

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published.