දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism}

මිනිසාගේ විශ්වාසයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. එකක් දේවවාදය අනෙක අදේවවාදයි. දේවවාදියා ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලත් අදේවවාදියා දෙවියන් නැතැයි තර්ක කරන්නේය. මේ අතර දේව විශ්වාසය පිලිබඳ සැකයෙන් සිටින පිරිසක්ද සිටිති.  
විශ්වය දෙස විද්‍යාත්මක කෝණයකින් බලන කල්හි අපට පහත දැක්වෙන කරුණු සමග එකඟ විය හැකිය.

  • කිසිම දෙයක් ඉබේ සිදුවිය නොහැකිය. ඒ සඳහා යම් හේතු කාරකයක් තිබිය යුතුය. ඒ අනුව විශ්වය සහ එහි ඇති සියළුම දේ ඉතා ඥානාන්විතව බිහිවීමට නම් යම් කිසි බලයක් ක්‍රියාත්මක විය යුතුය. එය දෙවියන් ය.
  • විශ්වයේ සෑම තැනම එකම ස්වභාවික නීති සහ විශ්ව නියතයන් පැවතීමට නම් එය සිදු විය හැක්කේ එකම මුලික හේතුවක් නිසා විය යුතුය. නැතිනම් ඒවා වෙනස් වනු ඇත.

ඉහත කාරනාවලට අදේවවාදීන් දෙන පිළිතුර සමග අපට සෑහීමකට පත් විය නොහැක්කේ ඒවා විද්‍යාවට පටහැනි වන නිසාය. විද්‍යාව කොතරම් දියුණු වුවත් තවමත් එමගින් පිළිතුරු දිය නොහැකි බොහෝ දේවල් ඉතිරි වී ඇත. ප්‍රධාන වශයෙන්ම විද්‍යාඥයින් ඉදිරිපත්කරන වාදයන් උපකල්පන මත පිහිටා ඇත. ඔවුන්ගේ සෑම වාදයක්ම ආරම්භ කොට ඇත්තේ දෙවියන් මැවූ ද්‍රව්‍ය පදනම් කරගෙනය. එසේ තිබියදී අදේවවාදීන් ට තවමත් පහත දැක්වෙන දේවල්වලටද නිසි පිළිතරු දීමට හැකිවී නොමැත.

  • විශ්වයේ බිහිවීම (මේ සඳහා විද්‍යාඥයින් ඉදිරිපත්කොට ඇති වාදයන් අඩුපාඩු සහිත ඒවාය)
  • ජිවය ඇතිවූ අන්දම (තවමත් පර්යේෂණ මට්ටමින් පමණක් ඇත)
  • ජෛව විවිධත්වය (ඩාවින්ගේ පරිනාමවාදය බොහෝ ප්‍රශ්නවලට නිසි පිළිතුරු සපයන්නේ නැත)

ඉහත කාරනාවලට අමතරව පහත දැක්වෙන දේවල් වලට අදේවවාදීන් දෙන පිළිතුර සමග අපට එකඟ විය නොහැකිය. ඔවුන් විශ්වාසකරන්නේ ජිව රසායනික ක්‍රියාවන්වල ප්‍රතිපලයක් ලෙස ජීවින් බිහිවී ඇති බවයි. තවද එම ක්‍රියාවන් නැවතුනු වහාම මරණය සිදුවන බවයි. ඒ අනුව ඔවුන් ආත්මයක් ගැන විශ්වාස කරන්නේ නැත. එහෙත් ඔවුන් පවසන දේ විද්‍යානුකුලව ඔප්පු කොට පෙන්වාදීමක්ද සිදු කර නැත.

දේව විශ්වාසය අනුව ජිවින්ට ප්‍රාණයක් ඇත. එය මරණය සමග කෙළවර නොවන්නේය. තවද දේව විශ්වාසය අනුව පහත දැක්වෙන දේවල් වලට පිළිතුරු ලබාදෙන්නේය.

  • මරණයෙන් පසු ආත්මයේ ගමන
  • මිනිසා කරන කුසල් සහ අකුසල්වලට සාදාරනය ඉටුකිරිම

මරණයෙන් පසු ජිවිතයක් නොතිබුනේ නම් හිට්ලර්, මුසලෝනි වැනි අය සිදුකල මිලියන ගණන් මිනිස් ඝාතනවලට සාදාරනය ඉටුකල හැකි වෙන කිසිම විකල්ප ක්‍රමයක් අදේවවාදීන් පෙන්වා දී නොමැත. ඔවුන්ට දිය හැකි උපරිම දඬුවම එක් වරක් ඝාතනයට ලක් කිරීම පමණි. එහෙත් දේව විශ්වාසය අනුව හිට්ලර් කළ වරදට නිරය හිමි විය යුතුය. තවද මිහිපිටදී වැරදි කරන අය සැපවත් ජිවිතයක් ගෙවද්දි වැරදි නොකර ජිවත්වන අය දුක්ඛිත ජිවිතයක් ගෙවීම සාදාරනය කරන්නේ කෙසේද? දේව වාදය අනුව මිහිපිටදී දුක්ඛිත ජිවිතයක් ගත කරන අයට ස්වර්ගය හිමි විය යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.