ඇතැම් අය අපාගත වන්නේ ඇයි? (Why some people go to hell?)

ස්වර්ගයට යාමට තිබෙන මාර්ගය ඉතාමත් ම පහසුය. එහෙත් ඇතැම් අය පින්දහම් කලත් ස්වර්ගය නැති කරගන්නේය. මිට හේතු මොනවාදැයි මේ ලිපියෙන් විමසා බලමු. ඇතැමුන් දෙවියන්ව නොදකින නිසා විශ්වාස කරන්නේ නැත. ඔවුන් දෙවියන් නැතැයි ඔප්පු කර පෙන්වන්නේද නැත. මේ නිසා ඔවුන් අපායට යන්නේ ඔවුන්ගේ මුරණ්ඩු කම නිසාය. තවත් සමහරු දෙවියන් ගැන අනුමානයෙන් විශ්වාස කලත් ස්වර්ගය අත්කර ගැනීම සඳහා උත්සාහයක යෙදෙන්නේ නැත. එය ඔවුන්ගේ අලස කම සහ උවමනාවක් නැති කමය. සමහරු දෙවියන් පහළ කළ නිවැරදි මාර්ගය කුමක්දැයි සොයා නොබලාම වැරදි මාර්ගය තෝරා ගැනීමෙන් අපායට යති. එබැවින් ඔවුන් උවමනාවෙන්ම නොමග යන්නෝ වෙති. සමහරු නිවැරදි දහම තුල සිටියත් පින් දහම් කරන්නේ දෙවියන්ගේ සතුට වෙනුවට මිනිසුන්ගෙන් හොඳ නම ගැනීමටය. එනම් මිනිසුන් අතර කැපී පෙනීමටය. එබැවින් ඔවුන් නිරයට යන්නේ දෙවියන්ට සමානයන් තැබීමේ වරද නිසාය. මෙලෙස බලන කළ ස්වර්ගය අත්කර ගැනීම කොතරම් පහසු වුවත් ඊට ඇතුල් වන්නේ ඉතා සුළු පිරිසක් පමණි.

මිනිසාට ස්වර්ගය අත්කර ගැනීමට ඇති මුලික අවශ්‍යතාවයක් වන්නේ එහි මැවුම්කරු වන දෙවියන්ව විශ්වාස කිරීමය. එහෙත් බොහෝ අය එසේ කරන්නේ නැත. දෙවියන්ව විශ්වාස කළ යුතු වන්නේද තම බුද්ධියන් සිතා බැලීමෙනි. එය නිවැරදිව කරන්නේ නම් පින් දහම් කිරීම කැමැත්තෙන් සිදු කරනු ඇත. එසේ නැතහොත් දෙවියන් වෙනුවට වෙනත් දේවල් සඳහා දේවත්වය ආරුඪ කොට වැඳුම් පිදුම් කරනු ඇත. එහෙත් බොහෝ අය කරන පින්දහම් වල තිබෙන මුලික අඩුපාඩුක් වන්නේ දෙවියන් වෙනුවෙන් කළ  යුතු දේවල් වෙනත් අරමුණු වෙනුවෙන් ඉටු කිරීමය. මේ නිසා තම ජිවිත කාලයම පින් දහම් කලත් ඔවුන් යන්නේ නිරයටය.

සාතන්ගේ උවමනාව තනිවම නරකාදියට නොගොස් ආදම්ගේ දරුවන් සියලුදෙනා නිරයට ගෙන යාමය. මේ නිසා සාතන් කිසිම කෙනෙකුට ඔහුගෙන් බේරීමට ඉඩ හරින්නේ නැත. එහෙත් පිරිසිදු චේතනාවෙන් නිවැරදිව දෙවියන් වෙනුවෙන් සුළුවට හෝ පින් දහම් කරන තැනැත්තා සාතන්ගේ උගුල් වලින් බේරී ස්වර්ගයට යන්නේය.

දෙවියන් වෙනුවෙන් පින් දහම් කරන අයගේ චේතනාව වෙනස් කිරීමට සාතන් ලොකු උත්සාහයක යෙදෙන්නේය. මේ නිසා දානපතියන්ගේ චේතනාව මිනිසුන්ගෙන් නම ගැනීමට සලස්වා එහි කුලිය විනාශ කිරීමය. මේ හේතුවෙන් ඇතැම් අය සුළු දෙයක් නැති බැරි කෙනෙකුට දුන්නත් එය කීපවතාවක් ම කියා පෙන්වා එහි කුලිය මේ ලෝකයේදීම ලබා ගනිති. මේ වෙනුවෙන් විශාල ප්‍රදර්ශන පුවරුවක් සවිකොට එය මිනිසුන්ට ප්‍රදර්ශනය කොට ඊට කුලිය හැටියට මිනිසුන්ගෙන් නම සහ ප්‍රසංසාව ලබා ගනිති.

ඇතැම් අය මිනිසුන්ට උදව් කරන්නේත් ඔවුන් උදව් කලොත් පමණි. දෙවියන්ගේ නාමයෙන් ඔවුන් කෙනෙකුට උදව් කිරීමට යන්නේ ද නැත. එසේත් නැති නම් ඔවුන් කරන උදව්වට යම් ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙන් උදව් කරති. මේ නිසා ඔවුන්ට දෙවියන්ගෙන් කිසිම කුලියක් ලැබෙන්නේ නැත.

දහම දැන උගත් සමහර විද්වතුන් පවා මිනිසුන්ට දේශනා කරන්නේ ප්‍රසිද්ධිය සඳහාය. ඒ නිසා ඔවුන්ට මේ ලෝකයේදීම ප්‍රසිද්ධිය ලැබෙන අතර මරණයෙන් පසු කුලියක් ලැබෙන්නේ නැත. තවත් සමහරු මගුල් ගෙයකට හෝ මල ගෙයකට යන්නෙත් ඔවුන්ගේ මගුලකට හෝ මලගෙයකට  සහබාගි වී තිබුනොත් පමණි. නැතහොත් හොඳ මිත්‍ර කමක් තිබුනොත් පමණි. මේ අනුව මිනිසුන්ගෙන් වැඩිදෙනා කරන සෑම දෙයක්ම ලෞකික දේවල් සඳහා මිස පිරිසිදු චේතනාවකින් දෙවියන් වෙනුවෙන් නොවේ. එහෙත් සාතන්ගේ මේ මහා උගුලෙන් බේරී දෙවියන් වෙනුවෙන් පින් දහම් කරන්නේ නම් ස්වර්ගය අත්කර ගැනීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.