පවුල් ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතු (The reasons for a problamatic family life)

පවුල් ජීවිතය සාර්ථක වීම යනු ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයකි. එහෙත් එය අත්කර ගත හැක්කේ නිවැරදි මග පෙන්වීමක් තුලිනි. නිවැරදි මගපෙන්වීමක් නොමැති වු විට සිදු වන්නේ ජීවිතය පුරාම ගැටුම් ඇතිවීම නැතහොත් දික්කසාද වීමය. ඇමරිකාව, යුරෝපය වැනි රටවල් කොතරම් දියුණුවට පත්වී තිබුනද එම රටවල් වල දික්කසාද වීමේ ප්‍රතිශතය ඉතා අධික වීමට හේතුව නිවැරදි ආගමික මගපෙන්වීමක් නොතිබීමය. පවුල් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මිනිසා විසින් පෙන්වනු ලබන මගපෙන්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මින් පෙනී යන්නේය.  
අල්-කුරානයෙන් මිනිසාට ලබා දී ඇති මග පෙන්වීම සාර්ථක ජිවිතයකට හොඳම විසඳුමකි. එහෙත් කුරානය සහ නබිතුමාගේ මගපෙන්වීම ගැන නිවැරදි අවබෝදයක් නොමැති විට මුස්ලිම් අය අතරද ප්‍රශ්න ඇති වීම වැළැක්විය නොහැකිය. සමස්තයක් වශයෙන් මුස්ලිම්වරුන් අතර පවුල් ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුව දහම ගැන පැහැදිලි අවබෝධයක් නොමැති කමය. බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනයෙන් පසු ආගමික පොත් පත් කියවීම සිදු නොකර සිටීම එක් හේතුවකි.

ඉස්ලාම් දහම පෙන්වා දෙන පවුල් ජීවිතය ඉතා සරල වුවත් රූපවාහිනියෙන් සහ වෙනත් සමාජ ජාලාවන් ඔස්සේ දකින දේවල් නිසා බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිතය අවුල් වන්නේය. බොහෝ විට කෙනෙක් ජීවිතය අවුල් කරගත් පසු විසඳුම් ලබා දීම ඉතා දුෂ්කර ක්‍රියාවකි. මේ නිසා මුල සිටම ඉස්ලාම් දහම පෙන්වා ඇති මාර්ගය පිලිපැදීමෙන් බොහෝ ප්‍රශ්න මග හරවා ගත හැකිය. පවුල් ප්‍රශ්න ඇතිවීමට තවත් එක් හේතුවක් වන්නේ තම ස්වාමියා හැර වෙනත් ඥාති හෝ ඥාති නොවන පිරිමින් සමහ ඉස්ලාම් පෙන්වා දෙන ආවරණයක් නොමැතිව කතාබහ කිරීමය.

නබිතුමා වදාළ හදිසයකට අනුව මිනිසෙකුට ඉතිරිකොට යාමට ඇති හොඳම දේවල් තුනකි, ඔහු වෙනුවෙන් ආයාචනා කරන යහපත් දරුවෙක්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ඉතිරිකර ඇති පරිත්‍යාගය, ඔහුගෙන් පසු මිනිසුන් ප්‍රයෝජනය ලබන දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). මේවා මිනිසා ඉතිරිකරන ඉතා වටිනා දේවල්ය. ඉන් ලැබෙන වාසිය මෙලොවට පමණක් නොව එලොවටත් එක්කය. මෙය හොඳින් තේරුම් ගන්නේ නම් ළමයින්ට ලෞකික අධ්‍යාපනයට අමතරව දහම් අධ්‍යාපනයද ලබා දීමට දෙමව්පියන් කටයුතු කරනු ඇත.

ආගමික අධ්‍යාපනයට වඩා ලෞකික අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දීමෙන් සිදු වන්නේ ඇතැම් ළමයි ලොකු වූ පසු ඉතා ඉහල තනතුරු හොබවන විට තම දෙමව්පියන්ව වැඩිහිටි නිවාසයකට භාර දීමට කටයුතු කිරීමය. ඇතැම් දරුවන් ඔවුන්ගේ මිතුරන් ඉදිරියේ තම දෙමව්පියන්ව හඳුන්වා දෙන්නේ ගෙදර වැඩට ඉන්න සේවකයෙකු ලෙසය. ඇතැම් අය තම වැඩිහිටි දෙමව්පියන්ව බලු කුඩුවේ දැමු අවස්ථාද තිබේ. මේවාට හේතුව මරණයෙන් පසු ජීවිතය ගැන ඔවුන්ට තැකීමක් නොමැති කමය.

නවීන සමාජයේ බොහෝ අය විවාහ වී කෙටි කාලයක් තුලදී දික්කසාද වීමට ප්‍රධාන හේතුව දහමින් ඈත් වීමය. එමගින් සිදුවන පාඩුව දෙමව්පියන්ට වඩා වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ටය. බොහෝ විට පවුල් ජීවිතය අවුල් වීමට බලපාන ප්‍රධාන කරුණු පහත දැක්වේ.

  • විවාහක යුවල අතර අන්‍යෝන්‍ය අවබෝදයක් නොමැති වීම
  • දහම ගැන කිසිම තැකීමක් නොමැති වීම
  • විවාහ වී කෙටිකාලයකදී ස්වාමියා හෝ භාර්යාව විදේශ රැකියාවකට යාම
  • විවාහයෙන් පිට අනියම් සම්බන්දතාවයන් පවත්වා ගැනීම
  • විවාහ වූ පසු පවුලේ නඩත්තු නොදී සිටීම
  • භාර්යාව විසින් ස්වාමියාගේ ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු නොකර සිටීම
  • පවුල් ජිවිතයට තුන්වන පාර්ශවයේ මැදිහත් වීම (විශේෂයෙන්ම මනාලයාගේ හෝ මනාලියගේ මව)
  • මනාලයා විසින් දෑවැද්ද ගැනීම
  • විවාහ වන අවස්ථාවාදී තමන්ට ඉටුකළ නොහැකි පොරොන්දු ලබා දීම

ඇතැම්විට දෙමව්පියන් ආදර්ශවත් දිවියක් ගත කළත් දරුවන් වැරදි කරන අවස්ථා ඇත. බොහෝ විට මේ සඳහා බලපාන්නේ නරක මිතුරන්ය. දරුවන් විසින් දෙමව්පියන්ගේ වචනය ඉවත දැමිය හැක්කේ ඔවුන් දෙවියන්ට එරෙහි දෙයක් කිරීමට අණ කලේ නම් පමණි. අනෙක් සෑම විටම දෙමව්පියන්ට කීකරු වීම දරුවන්ගේ යුතුකමක් හා වගකීමකි. දරුවන්ට දහම් දැනුම ලබා දී තිබුනේ නම් ඔවුන් තම දෙමාපියන්ට කළ යුතු යුතුකම් නිසි පරිදි ඉටුකරනු ඇත.

මුස්ලිම්වරයෙකුගේ ස්වර්ගය ඇත්තේ මවගේ දෙපාමුල බව නබිතුමා පවසා ඇත. එසේම පියාගේ සතුට මත දෙවියන්ගේ සතුට ඇත. මේවා ගැන අවධානය යොමුකරන ළමුන් දෙමව්පියන්ට කළ යුතු යුතුකම්ද නිසි පරිදි ඉටු කරන්නේ නම් පවුල් ජීවිතය ඉතා සාර්ථක වනු ඇත.

“දෙමාපියන්ට හොඳ කරනමෙන් සහ කීකරුවන මෙන් අපි මිනිසාට නියමකර ඇත්තෙමු. එහෙත් ඔවුන් ඔබට දැනුම නොමැති දෙයක් මා සමග (සමාන කිරීමට) උත්සාහ කරන්නේනම් ඔවුන්ට අවනත නොවනු” (Q 29:8).

දෙමව්පියන් ළමයින්ගේ කුඩා අවදියේදීම දහම් දැනුම ලබා දී තිබුනේ නම් ළමයි වැඩිහිටි වයසට පත්වූ පසු පහත දැක්වෙන කුර්ආන් වැකි කෙරෙහි සිත යොමු කරනු ඇත. එහෙත් ලෞකික අධ්‍යාපනය පමණක් ලබා දුන් විට ඒවා දැනගත හැකි ක්‍රමයක් ඔවුන්ට ලැබෙන්නේ නැත. එහි විපාක විඳීමට සිදු වන්නේ දෙමාපියන්ටමය.

“මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව!, තවද මාගේ දු දරුවෝ යහපත් දරුවන් කරනු මැනව!” (Q 46:15).

“ඔබගේ දෙවියන් ඔහුට පමණක් නමදින ලෙස ඔබට නියම කර ඇත. තවද ඔබ ඔබගේ  දෙමව්පියන්ට  කෘතඥවිය යුතුය. ඔවුන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ඔබගේ ජිවිත කාලය තුල දී මහලු වියට පත් වූයේනම් ඔවුන්ට අගව්රවවන ආකාරයේ කිසිම වචනයක් නොකියනු. ඔවුන්වෙත බැන නොවදිනු, ඔවුන්ට ගෞරවයෙන් ආමන්ත්‍රණ කරනු. ඔවුන්හට යටහත් පහත්ව නිහතමානීව කරුණාව දක්වනු. තවද පවසනු: මාගේ දෙවියනි, මා කුඩාකල සිට හදාවඩාගත් ඔවූන් වෙනුවෙන් ඔබගේ කරුණාව දක්වනු මැනව, ” (Q 17:23-24).

දෙමව්පියන්ට අකීකරු වීමේ භයානකකම පහත දැක්වෙන නබි වදනේ දැකිය හැකිය. යම් දරුවෙක් එම වරද කරන්නේ නම් මේ දැනුම ලබා නොදුන් දෙමාපියන්ද වරද කරුවෝ වෙති.

“අබුහුරෛරා රලි තුමා පවසන වගනම්: “ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා! ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා!” එවිට සහාබාවරු ඔවුන් කව්රුන්දැය නබිතුමාගෙන් ඇසුවේය. එවිට නබිතුමා, ඔවුන් තම දෙමව්පියන් දෙදෙනාම හෝ ඉන් එක්කෙනෙකු මහලු වියට පත් වූ පසු ඔවුන් ට උපකාර කිරීමෙන් ස්වර්ගය ට නොයන තැනැත්තා යනුවෙන් පවසා සිටියේය”(මුස්ලිම් 6189).

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.