දෙවිඳුන් විශ්වය මිනිසා-3

විශ්වයට ආරම්භයක් තිබේ ද?  

1948 දී හෙර්මන් බොන්ඩි (Hermann Bondi), තෝමස් ගෝල්ඩ් (Thomas Gold) හා ෆ්‍රෙඩ් හොයිල් (Fred Hoyle) යන තාරකා ශාස්ත්‍රඥයින් විසින් විශ්ව ස්ථායී න්‍යාය (Steady State Theory) නමින් න්‍යායක් ඉදිරිපත් කරන ලදී. මෙම න්‍යායට අනුව විශ්වය සදාතනික බවත් එනිසාම මුල් හේතුවක් හෝ විශ්ව නිර්මාණය පිළිබඳ ප්‍රශ්නයක් හෝ පැන නොනගින බවත් ඒත්තු ගන්වන්නට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන ලදී. අදේවවාදය ලද ජයග්‍රහණයක් ලෙස මහත් උද්දාමයකින් යුතු ව මෙය ප්‍රචලිත කරන්නට අදේවවාදීන් මෙන්ම අදේවවාදී දහම් ද ක්‍රියා කළහ. මෙම න්‍යාය විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප වී තිබියදීත් ඇතැමුන් තම වැරදි මතයන් සාධාරණීය කිරීම පිණිස මළවුන් අතරට පත් වූ මෙම න්‍යායයේ පිහිට පැතීමට කටයුතු කිරීම වර්තමානයේත් දක්නට ඇත.

අදේවවාදී විද්‍යාඥයින් තමන් පත් ව සිටින අර්බූදය තුළින් බුද්ධිමය ගවේෂණයක යෙදී සත්‍යය අවබෝධ කර ගැනීමට කටයුතු නොකොට දියේ ගිලෙන්නා පිදුරු ගහක හෝ එල්ලී දිවි ගලවා ගැනීමට උත්සාහ දරනවා සේ කටයුතු කරන ආකාරයක් දක්නට ඇත. නූතන විද්‍යාත්මක සිද්ධාන්තයන් මගින් විශ්වය, ශක්තිය, කාලය හා අවකාශයේ ආරම්භය පිළිබඳ ව ස්ථාපිත විද්‍යාත්මක ස්ථාවරයන් නොසලකා හැර කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර මතවාද ඉදිරිපත් කරනු දක්නට ඇත.

භෞතික විද්‍යාඥයෙකු වූ වික්ටර් ස්ටෙන්ගර් (Victor Stenger) පවසා සිටින්නේ විශ්වයට ආරම්භයක් ඇතත් එය හේතුවකින් තොරව ඇති වුවක් ලෙසය (Victor Stenger, “Has Science Found God?” (Free Inquiry, Vol. 19. No. 1), 2004).  විසිවන සියවසේ ජීවත් වූ අදේවවාදී දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් පවසා සිටියේ “විශ්වය පවතින බව අපි දනිමු. ඒ පිළිබඳ ව එපමණයි” (Bertrand Russell and Frederick Copleston, “The Existence of God,” in John Hick, ed., The Existence of God (New York: Macmillan, 1964), p 175). ‘විශ්වය සදාතනිකයි. එහෙයින් එයට හේතුවක් නොමැත යැ’යි පැවසීම අවිද්‍යාත්මක මතයක් වූවත් එය එක් ස්ථාවරයක් ලෙස දකින්නෙමු. නමුත් විද්‍යාත්මක සිද්ධාන්ත ඉතා පැහැදිලි අයුරින් සනාථ කොට ඇති පරිදි ‘විශ්වයට නිශ්චිත ආරම්භයක් ඇත නමුත් එයට හේතුවක් නොමැත යැ’යි පැවසීම කෙතරම් බුද්ධියෙන් බැහැර වූ ප්‍රකාශනයක් ද යන්න පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් ඇතැයි අංශු මාත්‍රයකවත් බුද්ධියක් ඇත්තෙකු අපේක්ෂා කරන්නක් නොවේ. විශ්වය,ශක්තිය, කාලය හා අවකාශය යන සියල්ල සඳහා නිශ්චිත ආරම්භයක් ඇතැයි කිසිදු සැකයකින් තොරව ඔප්පු කරන විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳ විග්‍රහයක් ඔබගේ බුද්ධිමය විචාරය සඳහා පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

ඇතැම් දහම් විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය මිනිස් චින්තනයට අවබෝධ කර ගත නොහැකි දෙයක් ලෙසත් දක්වා ඇති හෙයින් මෙම සංකල්පයේ විද්‍යාත්මක පසුබිම විචාරයට ලක් කිරීම ඉතා වැදගත් යැයි සිතන්නෙමු. විශ්වයේ ඇති සියලු භෞතික පදාර්ථ කෙසේ ඇති වූයේද යන්න පිළිබඳ ව නූතන විද්‍යාව කුමක් පවසන්නේ ද? මෙම සියලු භෞතික පදාර්ථ සදාතනික ලෙස පැවතියේයැ’යි විද්‍යාඥයින් අපට පවසන්නේ ද? නොමැතිනම් කාලයේ එක් මොහොතක විශ්වයේ සියලු භෞතික පදාර්ථ එක්වර බිහි වූයේ ද? නූතන විද්‍යාත්මක සිද්ධාන්ත අපට කිසිදු සැකයකින් තොරව ඔප්පු කර සිටින්නේ විශ්වයේ සියලු භෞතික පදාර්ථ එක් වර බිහි වූ බව ය. මෙම මතය සත්‍යය බව පිළිගැනීමට ඇති විද්‍යාත්මක සාක්ෂි කුමක් ද?

මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

පළමු සිද්ධාන්තය – විශ්වයේ ඇති සම්පුර්ණ භෞතික පදාර්ථ – ශක්තිය නියතයකි (The Total Amount Of Mass Energy in the universe is constant)

දෙවන සිද්ධාන්තය – ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතී. කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී. The Amount of the Energy Available for Work is Running Out or Entropy is Increasing to a Maximum)

තාපගති විද්‍යාවේ පළමු සිද්ධාන්තය වෙත අපගේ අවධානය පළමු ව යොමු කරමු. මේ අනුව විශ්වයේ ඇති භෞතික පදාර්ථ හා ශක්ති ප්‍රමාණය නියතයක් වන අතර එය විනාශ කිරීමට හෝ අලුතින් නිර්මාණය කිරීමට හෝ නොහැකිය. මෙය විද්‍යාත්මක න්‍යායක් නොව සිද්ධාන්තයකි. මේ අනුව සියලු භෞතික පදාර්ථ හා ශක්තිය සදාතනික ව නොපැවති බවත් කාලයේ එක් මොහොතක මේ සියල්ල බිහි කරන ලද බවත් දැක් වේ. මෙය මෙලෙස එක්වර පිළිගැනීමට වඩා උදාහරණ කිහිපයක් මගින් සාකච්ඡා කිරීම සුදුසු යැයි අදහස් කරන්නෙමු.

තාපගති විද්‍යාවේ දෙවන සිද්ධාන්තය වෙත අපගේ අවධානය යොමු කරමු. මෙම සිද්ධාන්තය අනුව ප්‍රයෝජනයට ගත හැකි  ශක්ති ප්‍රමාණය ඌණ වෙමින්  පවතින අතර කාර්යයන්ට උපයෝගි කර ගත නොහැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය  වෙමින් පවතී. මේ අනුව බොහෝ විට  මිනිස් මැදිහත්වීමක් නොමැති අවස්ථාවන් හි සියල්ල අවිධිමත් තත්ත්වයක් කරා යොමු වෙමින් පවතී. මෙම සිද්ධාන්තය අනුව පරිණාමවාදීන්ගේ මූලික ස්ථාවරය වූ සියල්ල පරිණාමය වෙමින් උසස් හා සංකීර්ණ තත්ත්වයක් කරා ගමන් කරමින් සිටියි යන මතවාදය සම්පුර්ණයෙන් ම බිඳ වැටෙයි.

ජලය භාජනයක දමා උදුනක රත් කොට උදුන ක්‍රියා විරහිත කළ විට එම ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ බසී. එහි උෂ්ණත්වය ඉහළ නගින්නේ නැත. යම්කිසි කාර්යයක් ඉටු කිරීම පිණිස ශක්තිය උපයෝගී කර ගත් විට එම කාර්යය ඉටු කිරීමේ දී ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය බවට පරිවර්තනය වෙයි. ශක්තිය විනාශ කළ නොහැක. ශක්තිය කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගත් විට ශක්තිය විනාශ වෙනවා වෙනුවට එය ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තියක් බවට පරිවර්තනය වෙයි. මේ අනුව විශ්වයේ ශක්තිය නියතයක් වන අතර ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය අඩු වෙමින් හා ප්‍රයෝජනයට ගත නොහැකි ශක්තිය වැඩි වෙමින් පවතී.

විශ්වයේ ඇති භෞතික පදාර්ථ – ශක්ති  (Mass – Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්‍යානුකුල මතය විශ්වය සදාකාලික ව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලික පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය  අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වී තිබිය යුතුය. විශ්වයේ බලශක්ති සැපයිමේ මුලික ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. අපගේ ග්‍රහ මණ්ඩලයේ ස්වයං දීප්තිමත්  තාරකාව වන්නේ සූර්යයාය. එහි විෂ්කම්භය සැතපුම් 865000 පමණ වන අතර එය පෘථිවිය මෙන් 330000 වාරයක් බරින් යුතු බව නුතන විද්‍යාව සොයා ගෙන ඇත. හිරුගේ ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. එය දවාලීමෙන් හීලියම් උත්පාදනය වෙයි. එහි තත්පරයකට කිලෝ ග්‍රෑම් බිලියන පහක පමණ ඉන්ධන දවාලන බව ද සොයා ගෙන ඇත. මෙම විශ්ව බලශක්ති සැපයිමේ හයිඩ්‍රජන් ප්‍රමාණය ක්‍රමයෙන් හීනවෙමින් පවතින අතර එය සහමුලින්ම අහෝසි වි යෑමට තව බොහෝ කල් ඇති බව ද විද්‍යාව විසින් සොයා ගෙන ඇත. විශ්වය සදාතනික එකක් නම් මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය අහෝසි වි දැනටමත් විශ්වයේ තාප අභාවයකට මුහුණ දි තිබිය යුතුය. සදාතනික විශ්ව සංකල්පය කොහෙත්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලතාවක් දක්වන්නක් නොවේ. මේ අනුව විද්‍යාත්මක ව ඔප්පු වන්නේ විශ්වයට නිශ්චිත ආරම්භයක් ඇති බවය. එම ආරම්භය සිදු වුයේ  මහා පිපිරුම් සිද්ධාන්තය පදනම් කර ගෙන  බව නූතන විද්‍යාත්මක මතයයි. මෙම සත්‍යතාවන් තුළින් අපට පහත සදහන් නිවැරදි හා නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකි වෙයි.

ජෝර්ජ් පොලිස්ටර් නම් ප්‍රංශ දර්ශනවාදියාගේ මතය නම් විශ්වය නිර්මාණය කළ එකක් නම් මෙම නිර්මාණයට පෙර විශ්වයෙන් තොර වු තත්ත්වයක් තිබිය යුතු බවය. එනම් නුතන විශ්වය නොමැති තත්ත්වයක් තිබිය යුතු බවය. මෙම තත්ත්වය තුළ තිබිය හැක්කේ විශ්වය හා අනෙකුත් නිර්මිත සියල්ල නිර්මාණය කළ නිර්මාතෘ බලය පමණකි. කිර්තිධර විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහි විමත් සමගය. අවකාශය හා භෞතික පදාර්ථ බිහිවන්නේ විශ්ව නිර්මාණයෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටු වලින් ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම මතයයි. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහි විමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කර ගත්  ආරම්භයක් තිබිය නොහැකි බව  මෙම තොරතුරු පිළිබඳ ව බුද්ධිය හා විචාරය පදනම් කර ගනිමින් තර්කානුකුල ව සිතන විට අපට පිළිගන්නට සිදු වේ. මෙය නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.

ඇමෙරිකානු එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් එම්. සින්බලා මහතා විශ්වයට ආරම්භයක් ඇති බවත් එසේ ආරම්භයක් ඇති බවට පිළිගැනීමට තාපගති විද්‍යාවේ දෙවැනි සිද්ධාන්තය පමණක් ප්‍රමාණවත් බව පවසයි. තවදුරටත් කරුණු දක්වන ඒ මහතා ආරම්භයක් ඇති විශ්වය නිර්මාණය කළ හැක්කේ මෙම දෙවැනි සිද්ධාන්තයෙන් බාහිර ව පවතින ශක්තියකට බවත් විද්‍යාත්මක හේතු දක්වමින් පැහැදිලි කරයි. එම බාහිර ශක්තිය අන් කිසිවක් නොව නිර්මාතෘ දෙවිඳුන් බවත් ඒ මහතා විග්‍රහ කරයි. මෙහි විස්තර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් ලබා ගත හැක.

http://www.personal.psu.edu/faculty/j/m/jmc6/second_law.html

ඉහත තාප ගතිවිද්‍යාව අනුව ඉදිරිපත් කළ විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් එළඹිය හැකි නිගමනයන් සංක්ෂිප්ත ව පහතින් දක්වා ඇත්තෙමු.

  1. විශ්වයට (කාලය ඇතුළු ව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කර ගෙන සනාථ වන කරුණකි.
  2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන් ම හේතුවක් තිබිය යුතුය. ආරම්භයක් ඇති කිසිවක් හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්ථවාදි සංකල්පයක් නොවේ.
  3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම  විශ්වයේ ආරම්භයට හේතුවක්  තිබිය යුතුය.
  4. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.
  5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්ත්වයක් තුළ තිබිය හැක්කේ  විශ්වය උත්පාදනය කළ හේතුව පමණි.
  6. එහෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) කාලයෙන් පරිබාහිර එකක් වන හෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) ට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.
  7. ආරම්භයක් නොමැති ව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්ව‍යේ නිර්මාතෘට හේතුවක් නොමැත.
  8. සියල්ල අනිත්‍යය යන ආගමික මතවාදය තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන් අනුව බිඳ වැටේ. එනම් සියල්ල සෑම මොහොතක ම වෙනස්වෙමින් පවතී යන මතය අනුව අද ඉන්නේ ඊයේ සිටි පුද්ගලයා නොව වැනි මතයන් හරයක් නොමැති මතවාදයන් බවට පත්වෙයි. මේ මතය අනුව ඊයේ සිටි පුද්ගලයාගේ අකුසල් දැරීමේ අවශ්‍යතාවක් අද ඉන්නා වෙනස් පුද්ගලයාට පැවරෙන්නේ කෙලෙසදැයි විමසිය යුතුව ඇත.

විශ්වය අහඹු ලෙස ඇති වූවක් නම් එය අවිධිමත් හා කිසිදු නියාමයන් එනම් සිද්ධාන්තයන් අනුව ක්‍රියාත්මක නොවන පිළිවෙලකින් තොර එකක් විය යුතුය. විශ්වය දෙස අවධානය යොමු කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වැදගත් සත්‍යයක් නම් මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් හා සිද්ධාන්තයන් අනුව ඉතා විධිමත් සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බවය. ඇතැම් අවස්ථාවන් හි විශ්වයේ ආරම්භය මෙන්ම එහි පැවැත්ම ස්වභාව ධර්මය විසින් සිදු කොට පාලනය කරන බව අපට අසන්නට ලැබේ. එහෙයින් ස්වභාව ධර්මය පිළිබඳ ව ද විමසුමක යෙදීම වැදගත් යැයි සිතන්නෙමු.

(මතු සම්බන්ධයි)…..

By Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.