දෙවිඳුන් විශ්වය මිනිසා-4

ස්වභාව ධර්මය

අප අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ දී අපට බොහෝ අලංකාර, කලාත්මක හා නිශ්චිත සැලසුමක් සහිත ව සියල්ල සැකසී ඇති බව දැක ගත හැකි වනු ඇත. ඇතැම් විට මිනිස් ක්‍රියාකාරකම් මගින් මෙම කලාත්මක සුන්දරත්වය හා සැලසුම් සහගතත්වය විකෘති කොට ඇති අවස්ථා ද ඇත. මේවා සියල්ල ස්වභාව ධර්මයේ නිර්මාණයන් ලෙස අර්ථ දැක්වීම සාමාන්‍ය ව්‍යවහාරයේ දැකිය හැක්කකි. මෙයින් අර්ථවත් වන්නේ කුමක් ද? ස්වභාව ධර්මය යනුවෙන් අප හඳුන්වන්නේ ඵලයට ද? එසේ නොමැති නම් හේතුවට ද? එය හේතුව නම් එහි අන්තර්ගත නිර්මාණ ශක්තිය කුමක් ද? යමෙකුට එහි සැඟවී සිටිනා නිර්මාණ ශක්තිය හඳුනා ගැනීමට හැකියාවක් තිබේ ද? කලාත්මක පරිසරය ඵලයක් මිස එහි නිර්මාණාත්මක කලාකරුවා විය හැක්කේ කෙලෙස ද?

සුන්දර සැලසුම් සහගත ස්වභාවය ඵලයක් මිස එහි සැලසුම් කරුවා විය හැක්කේ කෙලෙස ද? කරුණාකර මොහොතක් මේ පිළිබඳ විචාරශීලී ව සිතා බලන්න. මේ අනුව අප ස්වභාව ධර්මය යනුවෙන් හඳුන්වන්නේ ඵලය මිස හේතුව නොවන බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පංච නියාමයන් (මෙහි ඇතැම් නියාමයන් විවාදාත්මක ය) ඇතුළුව විශ්වයේ පාලනය අති සුක්ෂම සැලසුමක් අනුව සැකසී ඇත්තේ අහඹු හෝ නිශ්චිත අර්ථයක් ලබා දිය නොහැකි ස්වභාව ධර්මය අනුව නොව, එම නියාමයන් ලබාදුන් නිර්මාතෘ බලයකින් බව කිසිදු සැකයක් නොමැත. ගණිතමය වශයෙන් ඉතාම නිරවද්‍යතාවකින් යුක්තව ක්‍රියාත්මක විශ්ව නියාමයන් අහඹු සිදුවීම් ලෙස දැක්විය හැක්කේ කෙලෙස ද?

එහෙයින් මෙම විශ්ව නියාමයන් පිළිබඳ විමසුමක යෙදීමෙන් මෙම නියාමයන් ලබා දුන් නිර්මාතෘ බලයක් පිළිබඳ සත්‍යය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

විද්‍යාඥයින් ව විස්මයට පත් කළ විශ්ව නියාමයන් (සිද්ධාන්තයන්)  විශ්ව නියාමයන් පෘථිවියට පමණක් අදාළ නොවන අතර මුළු මහත් විශ්වයම මෙම නියාමයන් ඔස්සේ පාලනය වන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. මේසය මත තබන ලද උණු තේ කෝප්පය ක්‍රමයෙන් සිසිල් බවට පත් වෙයි. මෙය කිසිදු වෙනස් වීමකින් තොරව නිරතුරු ව සිදු වේ. ගුරුත්වාකර්ෂණය ඒකාකාර ලෙස ක්‍රියාත්මක වෙයි. ආලෝකයේ වේගය සැම තැන එකාකාරී  ලෙස පවතී. සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළු මුළු මහත් විශ්වයේ සියලු ග්‍රහ තාරකා ඉතා සුක්ෂම ලෙස ගණනය කළ හැකි ක්‍රමවත් අයුරින් චලනයේ යෙදෙයි. මෙවන් විශ්වීය නියාමයේ නියතයන් හා සිද්ධාන්තයන් රාශියක් ඇත. මේ සියල්ල අපට හඬ නගා පවසා සිටින්නේ මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් අනුව ක්‍රියාත්මක වෙමින් කිසිදු වැරැද්දක් හෝ දෝෂයකින් තොරව ඉතා ක්‍රමවත් අයුරින් සැකසී ඇති බව නොවේ ද? මෙය ඉබේ සිදු විය හැක්කක් ලෙස පැවසිය හැක්කේ කාහට ද? මිනිස් ආයාසයකින් හෝ බලපෑමකින් හෝ තොරව කිසියම් විශ්වසනීය අදෘශ්‍යමාන බලවේගයක් විසින් මෙහෙය වනු ලබන ඉහත සඳහන් විශ්වීය නියාමයන් ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙලෙස ද? පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොරවූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්ත ව මෙම සත්‍ය සාධක කෙරෙහි ඔබගේ චින්තනය යොමු කරන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

භෞතික විද්‍යාවේ සිද්ධාන්තයක් යනු ස්වභාවික පරිසරය කිසිදු බැහැරලීමකින් හෝ අතහැර දැමීමකින් තොරව අනුගමනය කරන්නා වූ සම්මතයක් ලෙස විශ්වවේදී (Cosmologist) සෝන් කැරොල් පවසයි (Sean Carroll, a cosmologist at the California Institute of Technology, quoted by the New York Times, nytimes.com; 2007). විශ්වීය නියාමයන් සංඛ්‍යාත්මක පදනමකින් යුක්ත ව සටහන් කර ගත හැකිය. තාර්කික පදනමකින් බලන විට නියාමයන්ට අනුකූල ව පැවතෙන විශ්වයක අවශ්‍යතාවක් නොමැත. එම නියාමයන් ගණිතමය සිද්ධාන්තයන්ට සම්පුර්ණ අනුකුලත්වයකින් යුතු ව පැවතීම සැමගේ විස්මයට හේතු වී ඇත. ආලෝකය පැමිණෙන්නේ විදුලි පන්දමකින් ද නැතහොත් අති දුරස්ථ තාරකා මණ්ඩලයකින් ද යන වෙනසකින් තොරව එහි වේගය තත්පරයකට සැතපුම් 186,000 ක නියතයක් ලෙස පවතී.

ස්වභාවික පරිසරය ගණිතමය නියතයන් අනුව ක්‍රියාත්මක වීම විස්මය ජනක අභිරහසක් ව ඇති බව භෞතික විද්‍යාඥ ඉයුජීන් විග්නර් පවසයි (Eugene Wigner, “The Unreasonable Effectiveness of Mathematics in the Natural Sciences,” in Douglas Campbell and John Higgins, eds., Mathematics (Belmont, CA: Wadsworth, 1984), Vol. 3, 117.)

ස්වභාවික පරිසරය ගණිතමය නියාමයන් අනුව ක්‍රියා කිරීම මහත් විස්මය ජනක අභිරහසක් ව පවතින බව ක්වොන්ටම් විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ නෝබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ රිචඩ් ෆෙයින්මන් පවසයි  (Richard Feynman, The Meaning of It All: Thoughts of a Citizen-Scientist (New York: Basic Books, 1998), Page 43).

මෙම කිසිදු නියාමයක් කාලය හෝ ස්ථානය අනුව කිසිදු වෙනස්වීමකට භාජනය නොවී නියතයක් ලෙස පවතී. නුතන අධ්‍යයනයකට අනුව භෞතික විද්‍යාවේ ඉතා වැදගත් ගණිතමය සිද්ධාන්තයක් වූ ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ස්කන්ධ අනුපාතය මිහිතලය මත ලෙසින්ම ආලෝක වර්ෂ බිලියන හයකට එපිට පිහිටා ඇති ක්‍ෂීරපථයේ තාරකාවක ද එය නියතයක් ව පවතී (Dr. Emily Baldwin; “Earth’s Laws Still Apply in Distant Universe”; AstronomyNow.com; June, 2008).

පොදු  එකම නියාමයන් අනුව මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක වීම තුළින් අප වැදගත් කරුණු කිහිපයක් දකින්නෙමු. විශ්වයේ නිර්මාතෘ එකීය බවත් බහු නිර්මාතෘවරුන් සිටියේ නම් මෙලෙස ඒකීය නියාමයන් අනුව විශ්වය ක්‍රියාත්මක වීම සිදු නොවනු ඇත. මෙමගින් මහත් වූ ව්‍යාකුලත්වයක් ඇති වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත. සරල නිදර්ශනයක් හෝ දෙකක් ගෙනහැර පෑම සුදුසු යැයි සිතන්නෙමු. කිසියම් රටක හෝ සමිති සමාගමක එක සමාන බලතල සහිත නායකයින් දෙදෙනෙකු සිටියදී එහි වැඩ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට බාධා ඇති වේ. එක සමාන බලතල ඇති විදුහල්පති දෙදෙනෙකු සිටියහොත් එම පාසලේ කටයුතු නියමාකාර ලෙසින් පවත්වා ගත නොහැකි වෙයි. එක් කුටුම්බයක එකම බලතල සහිත දෙදෙනෙකු සිටී නම් තත්ත්වය කෙබඳු වේද?

රටක් සමිති සමාගමක් පාසලක් හෝ ගෘහයක් සේ නොව අති මහත් විශ්වය හා එහි අන්තර්ගත ක්‍රියාකාරිත්වය බහු නිර්මාතෘන්ගේ නම් විශ්ව පාලනය හා ක්‍රියාකාරිත්වය මේසා අලංකෘතාකාරයට සිදු විය හැකි ද?

“අහස්හි සහ මිහිතලයෙහි කෙතරම් සංඥාවන් තිබේ ද? ඔවුහු ඒවා ගැන කිසිදු තැකීමකින් තොරව ඒවා පසු කර යති”. (අල් කුර්ආන් 12 : 105)

“(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියන් වෙත් නම් ඒ දෙකම ව්‍යසනයට පත් වනු ඇත” (අල් කුර්ආන් 21 : 22).

විශ්ව නියාමයන්හි අසමසම නිරවද්‍යතාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස පහත උදාහරණය ඉදිරිපත් කරන්නෙමු.

අති නිරවද්‍ය ඔරලෝසුව

කාර්ය බහුල හා තරඟකාරී ලොවේ වේලාව අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ඔරලෝසුවක් නොපලඳිනා අයෙකු සොයා ගැනීමට නොහැකි තරම්ය. නමුත් එක් ඔරලෝසුවක් බොහෝ අවස්ථාවන් හි තවෙකක් හා වේලාව සමාන ලෙස නොදක්වයි. මෙසේ වන විට අපි අපගේ ඔරලෝසුවේ වේලාව නිවැරදි ව සකසා ගැනීමට කටයුතු කරන්නෙමු. නිවැරදි වේලාව ලොවට දැක්වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපදයේ (නාවික හමුදාවේ ආකාශ වස්තු නිරීක්ෂණාගාරය – වොෂින්ටන් නගරය) ඇති ‘Master Clock’ නමින් හැඳින්වෙන ඔරලෝසුව අනුව කරනු ලැබේ. මෙම ඔරලෝසුව ද වරින් වර නිරවද්‍ය ලෙස සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඇත.

වේලාව නිවැරදි අයුරින් මැනීම සඳහා 1967 දක්වා වර්ෂ ගණනාවක් තිස්සේ ඇමෙරිකානු නාවික හමුදාවේ ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයින් විසින් අනෙකුත් ග්‍රහ ලෝකයන්ට සාපේක්ෂ ව පෘථිවියේ චලනය නිරීක්ෂණය කිරීමේ කාර්යයේ නියැලුණහ. මේ අයුරින්  ඉහත  සඳහන් ‘Master Clock’ නම් වූ  මහා ඔරලෝසුවේ වේලාව වරින් වර නිවැරදි අයුරින් සකස් කර ගන්නා ලදී. එසේ නම් කිසිදු වැරැද්දකින් තොර අති නිරවද්‍ය ඔරලෝසුව මිනිසාට සකස් කොට දී ඇත්තේ ග්‍රහලෝක සියල්ල අති සියුම් අයුරින් හා කිසිදු වැරැද්දකින් තොර ව අති නිරවද්‍ය අයුරින්  චලනය වීමට සකස් කර දුන් විශ්වයේ නිර්මාතෘ නොවේ ද? මෙම අති නිරවද්‍යතාව අහඹුවෙන් සිදුවිය හැක්කක් ලෙස දැක්වීමට උත්සාහ කිරීම බුද්ධිමය ප්‍රකාශනයක් ලෙස දැකිය හැක්කේ කාහට ද?

“රාත්‍රිය ද දහවල ද හිරු ද සඳු ද මැව්වේ ඔහුමය. (ඒවා) සියල්ලක් ම (ඒවාට නියමිත) කක්ෂයෙහි පිහිනා යති”. (අල් කුර්ආන් 21 : 33)

‘Master Clock’ එකට වඩා නිරවද්‍යතාවකින් යුත් පරමාණුක ඔරලෝසුවක් විද්‍යාඥයින් විසින් සෙසියම් (Cesium 133) පරමාණුව යොදා ගනිමින් නිර්මාණය කරන ලදී. එයින් නොනැවතුණු විද්‍යාඥයින් පරමාණුක ඔරලෝසුවට වඩා නිරවද්‍යතාවකින් යුත් ‘Optical Clock’ නම් වූ ඔරලෝසුවක් ආලෝකය හා රසදිය අණු උපයෝගී කර ගනිමින් නිර්මාණය කළහ. මෙම ‘Optical Clock’ නම් වූ  ඔරලෝසුව අවුරුදු බිලියන තිහකට වරක් එක් තත්පරයකින් විශ්ව නිර්මාතෘගේ ඔරලෝසුවට වඩා වෙනස් වෙයි. කෙසේ නමුත් මෙය පරමාණුක ඔරලෝසුවට වඩා 1000 වාරයකින් නිරවද්‍ය බව විද්‍යාඥයින් විසින් ගණනය කොට ඇත.

මෙම ඔරලෝසු මිනිසාගේ උපරිම විද්‍යාත්මක හා තාක්ෂණ ඥානය යොදා ගනිමින් නිර්මාණය කළ ද ඒවා කිසිවක් විශ්ව නිර්මාතෘගේ නිර්මාණය මෙන් පරිපුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත නොවෙනවා නම් මුළු මහත් විශ්වයම නිශ්චිත සැලසුමකින් හා නිශ්චිත නියාමයන් අනුව නිර්මාණය කොට ඇති බව පැහැදිලි වෙයි. මේ සියල්ල අහඹු සිදුවීම් ලෙස කාහට නම් පැවසිය හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.

“සෑම දෙයක්ම (පූර්ව නිශ්චිත) ප්‍රමාණයෙන් යුතුව අපි මවා ඇත්තෙමු”. (අල් කුර්ආන් 54 : 49)

“අහස් හි හා මිහිතලයේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු පුතෙකු නොගත්තේමය. ආධිපත්‍යයෙහි ඔහුට හවුල්කරුවෙකු නොමැත. සෑම දෙයක්ම මවා පසුව එය සැලැස්මක් සහිත ව සැකසුවේය”. අල් කුර්ආන් 25 : 2)

“සැබවින්ම අහස් සහ මිහිතලය මැවීමෙහි ද දිවා රාත්‍රී මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අවබෝධ කරගන්නා ජනයාට සංඥාවක් ඇත” (අල් කුර්ආන් 3:190)

(මතු සම්බන්ධයි)

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.