ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)

රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එසේම එම මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට අනිවාර්ය සලාතයක් ඉටුකිරීමෙන් ලැබෙන කුලිය ලැබෙන්නේය. 
රමළාන් මාසයේ අවසාන දින දහය තුල “ලයිලතුල් කද්ර් ” ලෙස නම් කොට ඇති එක් බලගතු රාත්‍රියක් ඇත. එම රාත්‍රිය මාස දහසකට වඩා ශ්‍රේෂ්ඨ ය (කුරානය 97:3). මේ හේතුවෙන් සෑම මුස්ලිම්වරයෙකුම රමළාන් මාසයේ අවසාන දින දහය තුල වැඩියෙන් පින් දහම් කිරීමට යුහුසුළු වෙති.

රමළාන් මාසය පුරා උපවාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇත. එහෙත් දහමින් අනුමැතිය දී ඇති හේතු මත පමණක් එය වෙනත් දිනකදී ඉටු කළ හැකිය.

“නුඹලාගෙන් යමෙක් රෝගීයෙකු ලෙස හෝ මගියෙකු ලෙස හෝ සිටියිද (ඔවුන්) ඒ වෙනුවෙන් වෙනත් දිනයකදී එම දින ගණන උපවාසයේ යෙදිය යුතුය. එහෙත් (මහලුවීම නිසා හෝ නිරන්තර රෝගී භාවය හේතුවෙන්) උපවාසය ඉටු කිරීමට නොහැකි අය ඒ වෙනුවෙන් දුප්පතුන්ට ආහාර ලබා දිය යුතුය…” (කුරානය 2:184).

රමළාන් මාසයේදී උපවාස කිරීමට නොහැකි වූ අය වෙනත් දිනයකදී උපවාස කළ යුතුය. එහෙත් අසනීපයක් නිසා හෝ මුහුකුරා ගිය වයස හේතුවෙන් උපවාසය ඉටු නොකරන අය එසේ අත්හැරෙන සෑම උපවාසයක් වෙනුවෙන්ම දුප්පත් අයට ආහාර ලබා දිය යුතුය (අත්හැරෙන එක් එක් උපවාසය වෙනුවෙන් සහල් ග්‍රෑම් 625කට අසන්න ප්‍රමාණයක්වේ).

ගැබිණි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට උපවාස කිරීමෙන් ශරීර සෞඛ්‍යයට හානියක් වේ යැයි සිතන්නේ නම් වෙනත් දිනයකදී එසේ අත්හැරුණු උපවාසය නැවත ඉටු කළ යුතුය. කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ඇති කාල සීමාවේදී උපවාස නොකළ යුතු අතර ඔවුන් එසේ අතපසු වූ උපවාසයන් ගණන් බලා වෙනත් දිනයකදී ඉටුකළ යුතුය. කුඩා ළමයින්ට වයස හත ඉක්මවූ පසු උපවාස කිරීමට පුහුණු කළ යුතු වුවද ඔවුන්ට එය අනිවාර්ය නොවේ.

දීර්ග ගමනක යෙදෙන අයට විඩාව නිසා උපවාස කිරීම අපහසු වේ යැයි හැඟෙන්නේ නම් එම කාලය තුලදී උපවාස නොකර වෙනත් දිනයකදී එසේ අත්හැරුණු උපවාස දින ගණනනට සමාන දින ගණනක් උපවාස කළ හැකිය. එහෙත් ගමනක යෙදෙන අයට මහන්සියක් නොමැති නම් උපවාස කිරීම වඩාත් සුදුසුය. මානසික අබාදිතයන්ට සහ කුඩා දරුවන්ට උපවාස කිරීම අනිවාර්‍ය නොවේ.
උපවාස කිරීමෙන් අධ්‍යාත්මික වාසි පමණක් නොව ශරීරය සෞඛ්‍යයටද වාසි රැසක්ම සිදු වන්නේය. උපවාස කිරීම නිසා ධනවතුන්ට දුගී ජනතාවගේ බඩගින්න තේරුම් ගැනීමට මහඟු අවස්ථාවක් උදා වන්නේය. මේ හේතුවෙන් එම මාසයේදී දුගී ජනතාවට වැඩි වැඩියෙන් උදව් උපකාර සිදු කරනු ලබන්නේය.

උපවාසයේ ප්‍රධාන පරමාර්ථය ‘තක්වා’ හෙවත් දෙවියන් කෙරෙහි භක්තිය වැඩි දියුණු කිරීමය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව පවසා ඇත.

“විශ්වාසවන්තයිනි! නුඹලා (අල්ලාහ්ට) බය භක්තියෙන් ක්‍රියා කිරීම පිණිස නුඹලාට පෙර විසු අයට නියම කළා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කළෙමු” (කුරානය 2:183).

උපවාස කාලයේදී බොරු කීමෙන් සහ වැරදි වැඩ කිරීමෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය යුතුය. නබිතුමා වදාළ හදිසයකට අනුව යම් කෙනෙක් බොරු කීමෙන් සහ පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් වැලකී නො සිටින්නේ නම් ඔහු කුසගින්නේ සහ තිපාසයේ සිටීමෙන් අල්ලාහ්ට කිසිම අවශ්‍යතාවයක් නැත (සහිහ් අල්-බුහාරි).

ඉහත සඳහන් නබි වදනට අනුව උපවාසකිරීමෙන් අදහස්කරන්නේ හුදෙක් කුසගින්නේ සිටීම පමණක් නොවේ. උපවාසකරන තැනැත්තා ඔහුගේ පංචේන්ද්‍රියන් සියල්ලෙන්ම සිදු විය හැකි වැරදිවලින් වැලකී සිටීමට උපරිම උත්සාහයේ යෙදිය යුතුය. ඒ අනුව බොරු කීම, කේලම් කීම, අනුන්ට බැනීම, කාමුක දේවල් බැලීම ආදියෙන් වැලකි සිටීය යුතුය, උපවාස කාලය අනවශ්‍ය ලෙස කෙලි සෙල්ලමේ ගත නොකර ප්‍රයෝජනවත් කාර්ය කිරීම සඳහා යොදා ගත යුතුය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අනුන්ට හිරිහැර කරමින් පාර තොටේ කාලය ගත කිරීමෙන් වැලකී සිටීම ඉතා වැදගත් කරුණකි.

උපවාස සමයේදී හැකි තරම් කුරානය පරායණය කිරීම සහ එහි තේරුම දැනගැනීම සඳහා කුර්ආන් පරිවර්තනයක් කියවීමට වඩාත් ප්‍රයෝජනවත් ය. එසේ කිරීම උපවාසයේ ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට හේතුවක් වනු ඇත. උමර් රලි තුමා පවසා ඇති අන්දමට උපවාසය යනු හුදෙක් නොකා නොබී සිටීම පමණක්ම නොව බොරුකීම සහ අනවශ්‍ය කථාවල නොයෙදී සිටීමය. සාමාන්‍ය දිනයකදී වුවද අනුන්ගේ කේලම් සහ ඕපාදුප කීම තම මියගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීම වැනි ක්‍රියාවක් බව අල්-කුරානයේ සඳහන්වේ.

උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් නව සඳ දැකීමෙනි. එහෙත් සැම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. විශ්වාස්වන්තයින් දෙදෙනෙකු නව සඳ දුටු බව පවසන්නේ නම් ඒ අනුව සියලු මුස්ලිම්වරුන්ට උපවාසය ආරම්භ කළ හැකිය.

අළුත් සඳ බැලීම භූගෝලීය කලාප අනුව සිදු කරනවාද නැතහොත් ගෝලීය වශයෙන් සිදු කරනවාද යන්න පිලිබඳව විද්වතුන් අතර මත බේද ඇත. බහුතර විද්වතුන්ගේ මතය නම් උපවාසය ආරම්භ කළ යුත්තේ තමන් ජිවත්වන භූගෝලීය කලාපය අනුව බවයි. ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමාගේ මතයද තමන් වෙසෙන භූගෝලීය කලාපය අනුව උපවාසය ආරම්භ කළ යුතු බවයි.

උපවාසය ඉටුකළ යුතු කාල පරාසය අලුයම සිට ඉර බසින තෙක් පමණි. මෙය ලංකාවේ නම් දල වශයෙන් පැය 14 ක් පමණ වේ. උපවාසයේ යෙදෙන තැනැත්තාට වෙනත් කාලයකදී අවසර ලැබූ බොහෝ දේවල් උපවාස කරන කාලය තුලදී තහනම් වේ. ඒ අනුව ආහාර පාන ගැනීම, සංසර්ගයේ යෙදීම, දුම්බීම (මෙය සාමාන්‍ය දිනවලදී ද තහනම් ක්‍රියාවකි) කළ නොහැකිය. අමතක වීමෙන් යම් කෙනෙක් එම ක්‍රියාවන්  කලේ නම් උපවාසයට හානියක් සිදු වන්නේ නැත.

උපවාස කාළය තුලදී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා දීම වරදක් නොවන බව විද්වතුන්ගේ මතය වේ.

උපවාස කරන තැනැත්තාට ස්නානය කිරීම අනිවාර්ය වූ අවස්ථාකදී ද සහර් (අළුයම ආහාරයෙන්) පසු උපවාසයට ඇතුළු විය හැකිය. උපවාසය කිරීම සඳහා ස්නානය කිරීම අනිවාර්ය නොවුවත් සලාතය ඉටු කිරීම සඳහා ස්නානය කිරීම අනිවාර්යවේ.

උපවාසය හමාර කිරීම රට ඉඳි වලින් සිදු කිරීම නබිතුමාගේ සුන්නාවකි. රට ඉඳි වල ඇති සීනිවලින් ශරීරයට අවශ්‍ය ශක්තිය ක්‍ෂණිකව සපයා දෙන්නේය. මේ නිසා උපවාසය අවසන් කල කෙනෙකුට විශාල කෑම වේලක් ගැනීමට අවශ්‍යවන්නේ නැත. කෙසේ වෙතත් උපවාසය අවසන් වූ පසු අඩුවෙන් කෑම ගැනීම නිසා පින් දහම් කිරීමට උදාවක් වනු ඇත. තවද උපවාසයේ නිසි ඵල නෙලා ගත හැක්කේද එසේ කිරීමෙනි. උපවාසය අවසාන කළ වහාම සිසිල් බිම (soft drinks-sprite, cokoacola etc;) වැනි දේවල් ගැනීම ඉතා අහිතකර බව වෛද්‍ය මතය වේ. එම බිම වල ඇති වායු නිසා වකුගඩු වලට හානි සිදුවිය හැකි සඳහන් වේ.
මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය සැපයෙන්නේ ශරීරයේ ඇති සීනි දහනය වීමෙනි. කෙසේ වෙතත් උපවාසයේ නියැලුණු පුද්ගලයෙකුගේ ශරීරයට අවශ්‍ය ශක්තිය රුදිරයේ ඇති සීනිවලින් සපයා දීමෙන් අනතුරුව ශරීරයේ ඇති ස්වයංක්‍රීය පද්දති ක්‍රියාත්මක වීමෙන් ශරීරය තුල වැඩිපුර තැන්පත් වී ඇති මේදය දැවීමෙන් තවදුරටත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේය. මේ නිසා රුධිර නාල වල ඇති මේදය ඉවත් වීමක් සිදුවේ. කෙසේ වෙතත් උපවාසය අවසන් වූ පසු හෝ සහර් වෙලාවේදී අධිකව කෑම අනුභව කිරීමෙන් මෙම ප්‍රතිපල ලැබිය හැකි වන්නේ නැත.

උපවාස කාලයේදී රුධිරයේ ඇති සීනි ඉතා හොඳින් පාලයන වන අතර වේගයෙන් වර්ධනය වන පිළිකා සෛලවලට එමගින් අවශ්‍යකරන පෝෂණය හීන වන්නේය. මේ නිසා පිළිකා රෝගීන්ගේ ශරීරයේ ඇති පිළිකා සෛල වර්ධනය අඩාල වීමට හේතුවක් වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. උපවාසය නිසා ආහාරයේ අඩංගු නොවුවත් පරිසරයෙන් ශරීරයට ඇතුළු වන්නාවූ DDT වැනි රසායනික ද්‍රව්‍ය ඉවත්වී යාමට හේතුවක් වන්නේය.

උපවාස නිසා ශරීර සෞඛ්‍යයට බොහෝ ප්‍රයෝජන ඇත. එමගින් රුදිරයේ සිනි, කොලොස්ටරෝල්, රුධිර සංන්‍යාස්ත පීඩනය (systolic blood pressure) පාලනය සිදු වන බව වෛද්‍ය මතයයි. තවද නියමිත පරිදි උපවාස කිරීමෙන් තරබාරුකම අඩුකළ හැකිය. වර්ෂ 1994 දී මුස්ලිම් සහ මුස්ලිම් නොවන පර්යේෂකයින්ගෙන් යුත් අන්තර් ජාතික සම්මන්ත්‍රණ සභාව විසින් “උපවාසය සහ නිරෝගිකම” යන මැයෙන් ලොව පුරා කරන ලද පර්යේෂණ වාර්ථාව උපයෝගී කරගනිමින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව උපවාස කිරීම නිසා සෞඛ්‍යයට කිසිම බලපෑමක් නොවන බව නිගමනය කර තිබේ. කෙසේ වෙතත් උග්‍ර අසනීපයෙන් පෙලෙන රෝගීන් උපවාස කිරීමෙන් වැලකි සිටිය යුතු බව ඔවුන් පවසා ඇත.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.