ඉස්ලාමිය හැඳිවත (Islamic dress)

වැදිජනතාව කොළ අතුවලින් විලිවසාගත්හ. සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ගරුත්වයට සරිලන ආකාරයට ඇඳුම් පැළදුම් සාදා ගත්හ. තවත් සමහරු ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට ඇඳුම් ඇන්දෝය. එහෙත්  අද ඇඳුම් ඇඳීම විලාසිතාවක් වී ඇත. කෙසේ වෙතත් ඉස්ලාම් දහම මේ සෑම එකටම සාධාරණය ඉටු කරමින් පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම ඇඳුම් ඇඳිය යුතු ක්‍රමයක් පෙන්වා දී තිබේ. එම ඇඳුම් ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථය ලෞකික උවමනාවන්ට වඩා අධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීමය. මේ අනුව මුස්ලිම් පිරිමින්ට සහ කාන්තාවන්ට ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සීමාව තුල තමන්ට සුදුසු ඇඳුමක් ඇඳිය හැකිය.
සාමාන්‍ය අවස්ථාවලදී මුස්ලිම් කාන්තාවට විශේෂ ඇඳුම් නියම කොට නැත. එහෙත් තමන්ගේ නිරුවත පෙනෙන ආකාරයේ හෝ තම ශරීරයට ඇලි සිටින ඇඳුම් ඇඳීම හෝ පිරිම සහ කාන්තා දෙපාර්ශවයටම තහනම් ය. ඇයිද යත් ඉස්ලාම් දහමින් වැඩි අවධානය යොමු කොට ඇත්තේ මිනිසුන්ගේ හදවත කෙරෙහි වන නිසාය. ඒ අනුව ඉස්ලාම් දහමින් රාගය ඇවිස්සිය හැකි ඇඳුම් ඇඳීම අනුමත කරන්නේ නැත.
කෙසේ වෙතත් තම අලංකාරය පෙන්විය යුතු තැනදී එය පෙන්විය යුතුය. ඒ අනුව මුස්ලිම් කාන්තාවකට තම අලංකාරය ඉස්ලාම් අවසර දී තිබෙන පාර්ශවයන් ඉදිරියේදී ප්‍රධර්ශනය කළ හැකිය. විශේෂයෙන්ම තම ස්වාමි පුරුෂයන් ඉදිරියේ තම අලංකාරය පෙන්විය හැකිය.

(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්‍ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලිම්වරුන් වන) තමන් සමග (සම්බන්ධකම්) ඇති ගැහැණු, තමන්ගේ දකුනු අත් හිමිකරගත් අය, නැතහොත් ගැහැණුන්ගෙන් අකමැති තමන්ගෙන් ජිවත්වන පිරිමින්ගේ හා ගැහැණුන්ගේ රහස් අවයව නොදන්නා බිලිඳු (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර (අන්කිසිවෙකුට) තමන් ඇඳ සිටින (ඇඳුම් හා ආබරණ වැනි) තමන්ගේ අලංකාරයද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු. (කුරානය 24:31) 

පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් මිනිසුන්ගේ බැල්ම කෙරෙහිද අවධානය යොමුකොට ඇත.
“ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, (නබි) නුඹ විශ්වාසවන්ත වූ පිරිමින්ට පවසනු! මෙය ඔවුන්ට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නේය. (ඕ : නබි!) නුඹ විශ්වාසවන්ත වූ ගැහැනුන් හමුවෙහි, ඔවුන් තම බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ ඔවුන් වෙනත් කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නාලෙසද ඔවුනට පවසන්න!…” (කුරානය 24:30,31).

ඉස්ලාම් දහමින් පෙන්වාදී ඇති ආකාරයට ඇඳුම් ඇඳීම නිසා කාන්තාවකගේ ගෞරවය රැකෙන අතරම ඇයට මනා ආරක්‍ෂාව සලසා දෙන්නේය. තවද අන්‍ය පිරිමින්ගේ බැල්ම සඳහා හොදුරක් වන්නේද නැත. ඒ හේතුවෙන් මුස්ලිම් කාන්තාවකට ලිංගික අඩත්තේටම් සිදු වීම ඉතා අඩුය.

ෆර්දාවක් ඇඳීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවදානය යොමු කිරීම වඩාත් සුදුසුය. ඒ අනුව ෆර්දාව පිටස්තර මිනිසුන්ගේ ආකර්ශණයට ලක් නොවන පරිදි තිබිය යුතුය. තවද ශරීරයේ අවයව නෙරා නොපෙනෙන පරිදි බුරුලට තිබිය යුතුය. කළු වර්ණය ශරීරයට අහිතර බැවින් එය කළු පැහැයෙන් නොවී විවිධ වර්ණයන්ගෙන් තිබීම වඩා සුදුසුය.

By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.