ඉස්ලාම් දහම සහ ජ්‍යෝතිෂය (Astrology and Islam)

ජෝතිෂ්ශාස්ත්‍රයේ ඉතිහාසය ක්‍රි.පු.2000 තරම් පැරණිය. එම ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර ප්‍රචලිතව තිබී ඇත. පසුකාලීනව බැබිලෝනියාව, මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් දක්වා එය පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් නවීන විද්‍යාවේ දියුණුව හමුවේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව ග්‍රහවස්ත්තු වල බලපෑම හේතුවෙන් මිනිසාගේ දෛවය කියවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් සොයාගෙන නොතිබීමය.දාහත්වන සතවර්ෂයේ අගභාගය වන විට තාරකා විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් විසින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ කියැවෙන කරුණු ප්‍රශ්න කිරීම් වලට ලක් කොට තිබේ. මෙම ප්‍රශ්න කිරීමෙන් පසු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට තිබුණු ශාස්ත්‍රීය මෙන්ම සෛද්දාන්තික වටිනාකම ගිලිහීමට හේතුවක් වී ඇත. එපමණක් නොව නුතන විද්‍යාවේ දියුණුවත් සමග මිනිසුන් අතර ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳව තිබුණු විස්වාසය බොහෝ දුරට හීන වී තිබේ. නවීන විද්‍යාවෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මිනිසාගේ අනාගතය ගැන කිව නොහැකි දෙයක් ලෙස ප්‍රතික්ෂේප කොට ඇත. ග්‍රහවස්තුවලින්ගේ පිහිටීම අනුව මිනිසාගේ දෛවය දැනගත හැකි විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැත. කෙසේ වෙතත් ජෝතිෂ්ශාස්ත්‍රය පිළිබඳව පර්යේෂණ කළ යුතුව තිබෙන්නේ ඇතැමුන් හේතු රහිතව ජෝතිෂ්ශාස්ත්‍රය විස්වාස කරන නිසාය.

අල්-කුරානයට අනුව ග්‍රහ වස්තුන් සියල්ලම අල්ලාහ්ගේ මැවීම් වන්නේය. ඒවායින් කිසිවෙකුගේ දෛවය වෙනස් කළ නොහැකිය. ඒවා  ගමන් කරන්නේ ඒවාට නියම කොට ඇති ගමන් මාර්ගවලය. ඒවායේ ගමන් මාර්ගය බලා කිසිවෙකුගේ දෛවය කියවිය නොහැකිය. කෙසේ වෙතත් මිනිසාගේ ශරීරයට ඒවායින් ඇතැම් භෞතික බලපෑම පමණක් ඇතිවිය හැකිය. උදාහරණයක් වශයෙන් කිවහොත් සුර්ය තාපය නිසා රශ්නය දැනිය හැකිය.

නබිතුමා ජිවතුන් අතර සිටියදී ඔහුගේ පුත් ඉබ්‍රාහිම් මිය ගොස් ඇත. ඊට සමපාතිකව සුර්යග්‍රහණයක්ද සිදු වී තිබේ. එය දැකීමෙන් ඇතැම් සහාබාවරු එම සිදුවීම නබිතුමාගේ දරුවාගේ වියෝව නිසා ඇතිවූ දෙයක් ලෙස වරදවා තේරුම් ගෙන ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ කිසිවෙකුගේ ඉපදීම නිසා හෝ වියෝව නිසා හෝ සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදු නොවන බවයි.

ඉස්ලාම් දහමින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය තරයේ ප්‍රතික්ෂේප කරන්නේය. තවද ඉස්ලාම් දහම අනුව ජෝතිෂ්‍ය විස්වාස කිරීම සපුරා තහනම් ක්‍රියාවකි. එපමණක් නොව මුස්ලිම්වරයෙක් විසින් ජෝතිශ්‍යවේදියෙකු හමුවී අනාගතය පිළිබඳව කරුණු විමසීම දෙවියන්ට සමානයන් තැබීම (ශිර්ක් කිරීම)  තරම් විශාල වරදකි. යම් මුස්ලිම්වරයෙක් අනාගතය දැනගැනීම සඳහා ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු හමුවීමට ගියේ නම්, ඔහු එම අනාවැකි විස්වාස කලත් නොකලත් ඔහුගේ සලාතය දින හතළිහක් ප්‍රතික්‍ෂේප වන්නේය (සහිහ් මුස්ලිම් 5440). අල්-කුරානයට අනුව අනාගතය පිළිබඳ ඥානය ඇත්තේ අල්ලාහ්ට පමණි. ඒ අනුව මුස්ලිම්වරයෙකු ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු පවසන දේ ළිගන්නේ නම් කාෆිර්වරයෙකු නොහොත් ඉස්ලාම් දහමින් බැහැර වූ කෙනෙකු බවට පත් වන්නේය (සුනන් අබු දාවුද් 3895).

By Fasy Ajward.B.Sc(Sp,Phy)Hons.J.pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.