දෙවිඳුන් සර්වකාලීන වන්නේ ඇයි? (Why Allah is eternal?)

විශ්වය ඇතුළු සෑම වස්තුවකටම ආරම්භයක් සහ අවසානයක් ඇත. එය විශ්ව සත්‍යයකි. ඒවාට ආරම්භයක් ඇතිවීමට නම් ඒවා කෙරෙහි යම් බාහිර බලයක් ක්‍රියා කළ යුතුය. එයද විශ්ව සත්‍යයකි. එහෙත් විශ්වයේ මැවුම්කරු ගැන අපට දැනගත හැකි එකම ක්‍රමය ඔහු දැනුම් දෙන පණිවිඩයක් පමණි. ඇයිද යත් ඔහු මේ විශ්වයේ මැවුම්කරු මිස විශ්වයට අයත් නොවන නිසාය.
විශ්වය තුල ඇති ඉතා කුඩාම පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම ඉතා සැලසුම් සහගතව මවා ඇත.  ඒවා සියල්ලම යම් විශ්ව නීතිවලට යටත් කොට ඇත. මෙම නීති සියල්ලම විශ්වය පුරා ඒකාකාරී බවක්ද ගන්නේය. මේ නිසා අපට පැමිණිය හැකි නිගමනය වන්නේ විශ්වය ඇති වීමට ක්‍රියාකළ බලය යෙදු තැනැත්තා සර්වඥානියෙකු විය යුතු බවද ඔහු එක්කෙනෙකු පමණක් විය යුතු බවද වේ. එක්කෙනෙකුට වැඩිය සිටියේ නම් විශ්වයේ ඉහත සඳහන් කළ සංසිද්ධිය ඇතිවිය නොහැකිය.

විද්‍යාව කොතරම් දියුණු වුවත් තවමත් විශ්වය බිහිවූ අකාරය හරියාකාරවම දන්නේ නැත. දැනට ඒ පිලිබඳ යම් යම් වාදයන් පමණක් ඉදිරිපත්ව ඇත. ඒවාද අඩුපාඩු සහිත ඒවාය. එසේ තිබියදී විශ්වය මැවීමට ක්‍රියා කළ, එහෙත් විශ්වට අයත් නොවන එම බලය ගැන අප දැනගන්නේ කෙසේද? එක්තරා අවස්ථාවක එය සර්ව බලධාරී දෙවියන් යැයි ලෝක පුජිත විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා විසින් ලියන ලද “A brief history of time from big bang to black hole” (පිටු අංක 122 පළමු ප්‍රකාශනය 1988) යන ග්‍රන්ථයේ ප්‍රකාශ කොට තිබිණි.

මෙම විශ්වයට අයත් නොවන එම සර්වබලධාරියා ගැන අපට දැනගත හැකි එකම ක්‍රමය ඔහු විසින් දැනුම් දෙන ලද පණිවිඩයක් හැදෑරීමෙන් පමණි. එම පණිවිඩ අපට ලැබිය හැක්කේ ඔහුගේ නියෝජිතයින් වන නබිවරුන්ගේ මාර්ගයෙන් ය. ඒ හැර විශ්වයේ මැවුම්කරු ගැන දැනගත හැකි වෙන විශ්වාසවන්ත ක්‍රමයක් නොමැත.

මේ ලෝකයට නබිවරුන් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇත. එම නබිවරු සර්වබලධාරී දෙවියන්ගේ නියෝජිතයින් බව පෙන්වීමට ප්‍රතිහාරයන් සිදු කොට ඇත. ඒ අනුව ජේසු තුමා මළවුන් නැගිටුවා පෙන්වා ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. ලාදුරු රෝගීන්ට සුවය ලබා දී ඇත. එසේම ඔහුට පෙර පැමිණි අනෙකුත් නබිවරුන් පවා ප්‍රතිහාරයන් එලි දක්වා ඇත. ඒවා දැකීමෙන් අපට නොපෙනෙන සර්ව බලධාරියා පිලිබඳ විශ්වාසය ගොඩ නගා ගත හැකිය.

මුහම්මද් නබිතුමා ලොවට පහළ වූ අවසාන වක්තෘවරයාය. අල්කුරානය ඉහත සඳහන් කළ  සර්වබලධාරී දෙවියන්ගෙන් පහළ වූ අවසාන දහම් පණිවිඩය සහ ජීවමාන ප්‍රාතිහාරයක් ද වේ. එහි ඇති කිසිම අභියෝගයක් මෙතෙක් කිසිවෙකු විසින් ජය ගෙන නැත. එබැවින් එහි සඳහන් සර්වබලධාරී දෙවියන් පිලිබඳ පැහැදිලි කිරීම අපට පිළිගැනීමට සිදු වන්නේය.

අල්-කුරානය මගින් ඉහත සඳහන් කළ සර්වබලධාරියා පිලිබඳ අර්ථ දැක්වීමක් සිදු කොට තිබේ.

“පවසනු: ඔහු; අල්ලාහ් එක්කෙනෙකි. අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්‍යතාවක් නොමත්තාය. ඔහු කිසිවෙකු ප්‍රසුත කළේද නැත. ඔහු (කිසිවෙකුගෙන්) ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමානවන කිසිවෙකුද නැත” (කුරානය 112:1-4).

මේ අනුව අපට පෙනී යන්නේ එම සර්වබලධාරියා හට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවයි.

මෙහි සඳහන් කල දේ පහත දැක්වෙන පරිදි විස්තර කළ හැකිය.

මැවුම්කරු A ලෙසත් ඔහුගේ මැවීම් සියල්ලම B ලෙසත් සලකමු. මේ අනුව A විසින් B මවා ඇත. එහෙත් B කිසිත් නොමැතිව අලුතින් බිහිවූ අතර එයට ආරම්භයක් තිබෙන බව පැහැදිලිය. එනම් කාලය, අවකාශය, සහ ද්‍රව්‍ය යන සියල්ල A මගින් මවන ලද දේවල්ය. B ගේ මැවීමට කලින් A පමණක් සිට ඇත. මෙයින් පැහැදිලි වන්නේ A ගේ පැවැත්මට කාලය, අවකාශය හෝ ද්‍රව්‍ය අවශ්‍ය නොවන බවයි. එනම් ඔහු මේ සියල්ලෙන්ම සවායත්තය. A යනු කාලය අවකාශය සහ ද්‍රව්‍ය යන තුනෙන්ම සවායත්ත කෙනෙක් බැවින් B වලට අයත් අපට A පිළිබඳව දැනගැනීමට හැක්කේ  A මගින් දැනුම් දෙන ලද කරුණු මත පමණි. 

අන්දයෙකුට ලෝකය ගැන ඇත්තේ සීමිත දැනුමකි. එබැවින් ඔහුට ලෝකයේ ඇති වර්ණයන් හෝ හැඩයන් ගැන දැනුමක් නැත. එය කියා දිය යුත්තේ පෙනුම තිබෙන අයෙකු විසිනි. එහෙත් එය පිළිගැනීම හෝ පිළිනොගැනීම අන්දයාගේ කැමැත්ත මත සිදුවන්නකි. අන්දයා ඉදිරියෙන් ඇති ප්‍රපාතයක් ගැන දැනුම් දුන් පසුත් ඔහු එය නොතකා ඉදිරියට ගමන් කරන්නේ නම් ඔහුට සිදුවන විපතට වගකිව යුත්තේ ඔහුමය.


By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

One comment

Leave a Reply

Your email address will not be published.