දහම තුල අන්තවාදය තිබිය හැකිද?(Is there extremism in religion?)

මුලධර්මවාදය සහ අන්තවාදය යන වදන් නවීන සමාජය තුල බහුලව භාවිතා වන්නේය. විශේෂයෙන්ම එම වදන් භාවිතාවන්නේ දහම අනුව ජිවත් වන අයට අවඥාවක් ගෙන දීම සඳහාය. කුමන කෝණයකින් බැලුවත් කෙනෙකුගේ ඇදහීම දහමට අනුකුල වන්නේ නම් ද එමගින් තවත් කෙනෙකුට හානියක් නොවන්නේ නම් ද  එය අන්තවාදය විය නොහැකිය.
ඕනෑම දහමක ප්‍රධාන පරමාර්ථය වන්නේ මිනිසුන්ට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීමය. එබැවින් කිසිම දහමක මිනිසුන් නොමග යන ආකාරයේ අන්තවාදයක් හෝ මුලදර්මවාදයක් තිබිය නොහැකිය. එහෙත් දහමින් උගන්වා නැති දෙයක් දහම ලෙස පෙන්වා අන්තවාදය හෝ මුලධර්මවාදය අවුස්සන්නේ නම් එය බලවත් වරදකි. අනෙක් අතට කව්රුන් හෝ දහම අනුව ජිවත් වීම අන්තවාදය ලෙස සලකන්නේ නම් එය මුග්ධ කමකි. ඒ අනුව මුස්ලිම් කාන්තාවන් ෆර්දාව ඇඳීම හෝ මුස්ලිම් පිරිමින් රැවුල වැවීම මුලධර්මවාදය හෝ අන්තවාදය ලෙස සැලකිය නොහැකිය. එහෙත් ඉස්ලාම් දහමේ නාමයෙන් පෙනී සිටින ISIS සංවිදානයේ අය කුරානයේ හෝ නබිවදන් වල නොමැති දේවල් සිදු කරමින් මිනිසුන් ඝාතනය කිරීම අන්තවාදය වේ. ඔවුන් කරන දේවල්වලට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුය.

ඉස්ලාම් දහමේ අන්තවාදයක් නොමැති අතර දෙවියන් නියම කොට ඇති දේවල් පමණක් තමන්ගේ හැකියාව අනුව ඉටු කළ යුතුය. ඒ අනුව මුස්ලිම්වරයෙක් කළ යුතු දේවල් මෙන්ම නොකළ යුතු දේවල් ඇත. විශේෂයෙන්ම ආහාරයට ගත යුත්තේ දහමින් අනුමැතිය ලැබී ඇති දේවල් පමණි. කෙසේ වෙතත් කෑමට නුසුදුසු දේවල් බොහොමයක්ම ඉතා පහසුවෙන් දැන හඳුනාගත හැකිය. එහෙත් වෙළඳ පොළකින් මාංශ වර්ග මිලට ගැනීමේදී ඒවා හඳුනාගැනීමට ක්‍රමයක් තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේ තිබියදී සීමාව ඉක්මවා යමින් වතුර බෝතලයටත් බනිස් ගෙඩියටත් මිරිස් කුඩු වලටත් හලාල් සහතික අවශ්‍ය යැයි කීම අන්තවාදය විය හැකිය. මේවා සිදු කරනු ලබන්නේ දහමේ අවශ්‍යතාවන්ට වඩා වෙනත් හේතුන් මත විය හැකිය. ඇයිද යත් එක් අවස්ථාවකදී මුස්ලිම් නොවන රටකින් පැමිණි කේජු වගයක් නබිතුමා අනුභව කොට තිබේ. එහෙත් කේජු සෑදීම සඳහා රෙනට් ලබාගන්නේ සතුන්ගෙන් ය. ඒ අනුව නබිතුමා අනුභව කළ කේජුවලට යොදාගෙන ඇති රෙනට් ලබාගෙන තිබිය යුත්තේ මජුසිවරුන් විසින් ඝාතනය කරන ලද සතුන්ගෙන් විය යුතුය. එසේ තිබියදීත් නබිතුමා එය අනුභව කිරීමෙන් පෙනී යන්නේ සුළු දේවල් අන්තයට හරා ඇවිස්සීම අවශ්‍ය නොවන බවයි.

කරුණු කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර පමණක් නොව යුදෙව්වන් අතරද කිතුනුවන් අතරද වෙනත් ආගමිකයින් අතරද අන්තවාදී කල්ලි කණ්ඩායම් ඇත. යුදෙව් අන්තවාදී සංවිදානය “zයයෝනිසම්” ලෙස හැඳින්වේ. කෙසේ වෙතත් ඔවුන් කරන ක්‍රියා යුදෙව් ආගමට සම්බන්දයක් නොමැත. එසේම බුදුදහමේ අන්තවාදයක් උගන්වා නැතත් ඇතැම් චිවරධාරින් විසින් එම දහමට පටහැනි ක්‍රියා සිදු කරති. ඒවා බුදු දහමට ආදාල නැත. හින්දු දහමේද ත්‍රස්තවාදය උගන්වා නැතත් හින්දුන් අතරද ත්‍රස්තවාදීන් සිටිති. ඔවුන් කරන වැරදි නිසා හින්දු දහමට දොස් කිව නොහැකිය. ජනතාව මේවා හොඳින් අවබෝද කරගෙන මිනිසුන් අතර සමගිය ඇතිකළ යුතුය.

ඇතැම් අය දහමේ නාමයෙන් සිදු කරනු ලබන්නාවූ ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් යමක් කිව යුතුය. හින්දුන් විසින් ගවයා දේවත්වයෙන් සලකති. එය ඔවුන්ගේ නිදහසය. එහෙත් වෙනත් ආගමිකයන්ට ගව මස් කෑම තහනම් කිරීම සඳහා ඔවුන්ට කිසිම අයිතියක් නොමැත. එසේ කිරීම අන්තවාදයට වඩා එපිට ගිය වරදක් බව පෙන්වා දිය යුතුය. ඉන්දියාවේ මෙය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර රජයෙන් ඊට නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම බලවත් වරදකි.

දහමක් පවතින්නේ එම දහම අනුව ජිවත්වන අය සිටින්නේ නම් පමණි. නැතහොත් එම දහම පොත්පත් වලට පමණක් සිමා වනු ඇත. ඒ අනුව කතෝලිකයෙකු වේවා, බෞද්දයෙකු වේවා, මුස්ලිම්වරයෙකු වේවා දහම අනුව ජිවත්වීම අනිවාර්‍ය වේ. එසේ නොකරන්නේ නම් ඔහු දහමේ ලේබලයට පමණක් සිමා වනු ඇත. එසේ නොකර දහම වෙනුවෙන් හඬ නැගීමෙන් පමණක් දහමට සෙතක් වන්නේ නැත.

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published.