අල්-කුරානයේ යකඩ ගැන විශේෂයෙන් සඳහන් වන්නේ ඇයි? (Why Iron is specially mentioned in the Quran?)

යකඩ සෙසු ලෝහ මෙන්ම ලෝහයකි. එසේ නම් යකඩ ලෝහය ගැන කුරානයේ විශේෂයෙන් සඳහන් කිරීමට හේතුව කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. සෑම දෙයක්ම මවා ඇත්තේ දෙවියන් නම් යකඩ ලෝහය ගැන සඳහන් කිරීමේදී ‘අප විසින් යකඩ ලෝහය මවා ඇත’ යනුවෙන් සඳහන් නොකොට ‘යකඩ ලෝහය අපි පහළ කෙළෙමු’ යනුවෙන් සඳහන් කරන්නේ අයි?
ඇත්තෙන්ම අල්-කුරානය මිනිසා විසින් ලියන ලද්දක් නොවන බව තේරුම් ගැනීම සඳහා බුද්ධිමතුන්ට එම වැකිය ප්‍රයෝජනවත් වනු ඇත. ඇයිද යත්  හත්වන සියවසේදී මිනිසා සතුව එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් දැනුමක් නොතිබුණු හෙයිනි. 

මිට ආදාළ කුර්ආන් වැකිය පහත දැක්වේ.

 “….තවද, යකඩයද පහළ කෙළෙමු. එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය … (Q 57:25).

කුරානය දෙවියන් විසින් පහළ නොකළේ නම් මෙවැනි අතිශයින්ම නිවැරදි ප්‍රකාශනයක් එය පහළ වූ හත්වන සියවසේදී කිසිසේත්ම කළ නොහැකිය.

විද්‍යාඥයින් පවසන අන්දමට අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල යකඩ ලෝහය නිපදවිය නොහැකි ය. පෘථිවියට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති සුපර් නොවා තරුවක් පිපිරීමෙන් බව විද්‍යාඥයින්ගේ මතය වේ.

සුර්යාගේ බාහිර් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 පමණ වන අත‍ර එහි අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 20 ක් පමණ වන්නේය. එම උෂ්ණත්වයෙන් හීලියම් වායුව කාබන් සහ ඔක්සිජන් වායුව බවටත් ඉන් පසු එය යකඩ බවටත් පරිවර්තනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින්ගේ මතයයි. යකඩ නිපදවීමට තරම් සංකීර්ණ පරමාණුක ප්‍රතික්‍රියාවන් සිදුවීමට නම් සෙල්සියස් අංශක මිලියන සියයකට වඩා තිබිය යුතුය. ඒ අනුව එවැනි සංකීර්ණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවිය හැක්කේ දැවැන්ත තාරකාවල පමණි. විශාල තරුවල නිපදවෙන යකඩ එම තරුවල එකතුවීම නිසා ඒවාට දරාගැනීමට නොහැකි ඝනත්වයකට පත් වූ පසු ඒවා පුපුරා යාමෙන් එහි ඇති යකඩ අභාවකාශයට උල්කාපාත වශයෙන් එකතු වන්නේය. එම උල්කාපාත වලින් අපගේ ග්‍රහයාට යකඩ ලෝහය ලැබුණු බව විද්‍යාඥයින්ගේ මතය වේ. මෙය වසර 1400 කට පෙර කුරානයේ සඳහන් වීම විශේෂත්වයකි.

මේ අනුව බලන කළ කියැවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබි තුමාට කුර්ආන් පණිවිඩය ලැබී තිබිය යුත්තේ දෙවියන්ගෙන් විය යුතු බව බුද්ධිමතුන්ට නිගමනය කළ හැකි විය යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.