දෙවිඳුන් විශ්වය මිනිසා-6

එඩ්වින් හබල්ගේ නිරීක්ෂණ හා පරීක්ෂණ

1916 දී ඇල්බට් අයින්ස්ටයින් ‘සාපේක්ෂතාවාදය’ ඉදිරිපත් කරමින් විශ්වය ප්‍රසාරණය විය යුතුය, එසේ නොමැතිනම් නැතිනම් සංකෝචනය විය යුතු යැයි පවසා සිටියේය. 1929 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ දි ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් විසින් ඓතිහාසික මෙන්ම අති වැදගත් සොයා ගැනීමක් තාරකා විද්‍යා කේෂත්‍රයට කරනු ලැබිණි. පළමු ව එඩ්වින් හබල් නිරීක්ෂණය කළේ සියලුම ග්‍රහ වස්තු පෘථිවියෙන් ඈතට දිව යන බවයි. වැඩිදුර නිරීක්ෂණයේ දි ඔහුට සනාථ වුයේ සියලු ග්‍රහ වස්තු පෘථිවියෙන් ඉවතට දිව යනවා පමණක් නොව, සියලුම ග්‍රහ වස්තු එකිනෙකින් ඈතට දිව යන බවයි.  එනම් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මෙම නිරීක්ෂණයේ දි අවධාරණය විය.

විසිවන සියවසේ ජීවත් වු ‍ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වු ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් තුළින් නියත වශයෙන්ම විශ්වය ස්ථිතික (Static Universe) එකක් නොවන බව ඔහු විසින් සොයා ගෙන තිබුණි. මේ අනුව ඇල්බට් අයින්ස්ටයින් ද එඩ්වින් හබල් විසින් සොයා ගන්නා ලද ප්‍රසාරණය වන විශ්ව සිද්ධාන්තය අනුමත කරමින් එයට පදනම් වු න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් ඉදිරිපත් කරන ලදී.

මහා පිපුරුම් න්‍යාය

“ඔහු (අල්ලාහ්) අහස්හි ද මිහිතලයේ ද (පූර්ව නිදසුනකින් තොර වූ) උත්පාදකයාය”. (අල් කුර්ආන් 6 : 101)

පහතින්  ඉදිරිපත් කොට ඇත්තේ විශ්ව නිර්මාණය පිළිබඳ ව ඇති මහා පිපුරුම් න්‍යායේ කරුණු ය. ශුන්‍ය පරිමාවකින් යුත් ලක්ෂ්‍යයක් මහත් වූ බලයකින් පුපුරුවා හැර විශ්වය නිර්මාණය කළ බව  මෙමගින් දක්වා ඇත.

ප්‍රසාරණය වන විශ්ව සිද්ධාන්තය විසින් සනාථ කරුණු ලැබු තවත් එක් සත්‍යයක් නම් කාලයේ ආපස්සට ගමන් කළහොත් එකිනෙකින් ඈතට දිව යන සියලු ග්‍රහ ලෝක  හා අභ්‍යවකාශ වස්තු එක් ලක්ෂ්‍යකට ඒකරාශී වන බවයි.‍ මහා පිපිරුම් සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ මෙම එක් ලක්ෂය පිපිරීම තුළින් මුළු මහත් විශ්වයම නිර්මාණය වු බවයි. මහා පිපිරුම් න්‍යායට පදනම් වු වැදගත් සාධක දෙක නම් මුළු මහත් විශ්වයම එක් ඒකකයක් වශයෙන් පළමු ව තිබීම හා ඉන් පසු එය පිපිරී යෑමෙන් ඇති වු ගතික බලය (Dynamic Force) හේතුවෙන් පිපිරීමෙන් බිහි වු ග්‍රහ ලෝක අදත් අපගේ පියවි ඇසට නොදැනුණාට එකිනෙකින් ඈත් වෙමින් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවය. මෙම කරුණු දෙක සොයා ගනු ලැබුවේ 1929 වර්ෂයට පසුවය. එයට ශත වර්ෂ ගණනකට පෙර විද්‍යාත්මක පර්යේෂණ වාර්තා කිසිවක් ඉදිරිපත් නොකොට තමන් විසින් විශ්වය නිර්මාණය කළ බවත්, නිර්මාණය කළ ආකාරය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අල්ප මාත්‍රයක පරස්පරතාවකින් තොරව සනාථ වන්නේ නම් එසේ පවසන්නා විශ්වයේ නිර්මාතෘ බව පිළිගැනුමට අපට අපහසුතාවක්  ඇති වේ යැයි නොසිතන්නෙමු.

නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර  ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහළ කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල් කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳ ව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරතාවකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම්  එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්‍රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳ ව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“විශ්වය අපි අපගේ (නිර්මාණාත්මක) බලයෙන් පිහිටෙව්වෙමු. එය පුළුල් කරමින් සිටින්නේ අපමය ”  (අල් කුර්ආන් 51 : 47)

මෙය පුළුල් වන විශ්ව (Expanding Universe) සිද්ධාන්තය සනාථ කරවන අල්කුර්ආන් වැකියයි. පහත අල් කුර්ආන් වැකිය කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“විශ්වයේ (අන් ග්‍රහ ලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණය කොට) තිබි අප පුපුරුවා හැර (විශ්වය නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහි ද? ජීව ඇති සියලු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේ ද? (අල් කුර්ආන් 21 : 30)

මෙම වැකියෙන් ඉදිරිපත්  කරන විද්‍යාත්මක සත්‍යය අවුරුදු 1400 කට පෙර අරාබි කාන්තාරයේ  ජීවත් වු අයෙකුට කිසිසේත්ම ඔහුගේ ස්වයං දැනුම පදනම් කර ගෙන  ඉදිරිපත් කළ හැකි අදහස් නොවේ. එම වැකියේම ජීවයේ පදනම ගැන සඳහන් කරුණු ගැන ද විමසා බලමු. නුතන විද්‍යාව අපට උගන්වන්නේ ප්‍රෝටෝප්ලාස්මය හෙවත් ජීවයේ භෞතික පදනමේ සංයුත්තියෙන්  80% කට වඩා වැඩියෙන් ඇත්තේ ජලය බවයි. ජල හිඟයෙන් දුක් විඳින කර්කශ කාන්තාරයේ ජීවත් වු අයෙකු ජීවයේ භෞතික පදනම ලෙස ඇති ජලය පිළිබඳ ව සඳහන් කිරීම කිසිසේත්ම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එසේ සඳහන් වන්නේ නම් එය සැබැවින්ම සියල්ල දන්නා වු තැනකින් ලැබුණු පණිවිඩයක් බව පිළිගන්නට අපට සිදුවෙනවා නොවේ ද? අපි නැවතත් විශ්ව නිර්මාණයේ විද්‍යාත්මක පදනම වෙතට අවධානය යොමු කරමු. 1948 දි ජෝර්ජ් ගැමොව් නම් තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් න්‍යාය විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නට නම් අනිවාර්යෙන්ම තිබිය යුතු සාධකයන්  පිළිබඳ ව අදහස්  ඉදිරිපත් කළේය. එනම් මහා පිපුරුම ක්ෂණික ව සිදු වුවාක් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයක විකිරණයක් විශ්වයේ ශේෂ ව තිබිය යුතු  අතර එය මුළු විශ්වය පුරාම  ඒකාකාරි අයුරින් පැතිර තිබිය යුතු බවත් ය.

1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයා ගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල  විකිරණය)  යනුවෙන්  නම් කරන ලදී. මෙම විකිරණය සඳහා නිශ්චිත ප්‍රභවයක් (එයට මුල් වු ස්ථානයක්) නොතිබු අතර එය අභ්‍යාවකාශය පුරාවට ඒකාකාරි ව විහිදී ඇති බවද ඔවුන් විසින් සොයා ගන්නා ලදී. පෙන්සියාස් හා විල්සන් ට මෙම සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගය ද  පිරිනමන ලදී. 1989 දි ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය වු නාසා (NASA) ආයතනය මගින් COBE (Cosmic Background Explorer) නමින් මෙම විකිරණය පිරික්සීම සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම විශ්විය පසුතල විකිරණය හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවේ තිබු ඉතා සියුම් හා සංවේදි උපකරණයන්ට අවශ්‍ය වුයේ විනාඩි අටක පමණ කාලයක් පමණි. ඉන් පසුව COBE 2 යනුවෙන් ද මේ සඳහා චන්ද්‍රකාවක් යවන ලද අතර එය විසින්ද මෙම විකිරණය සනාථ කරන ලදී. මෙම විද්‍යාත්මක පසුබිම ඉදිරිපත් කළේ දැනට විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සනාථ වි ඇති මහා පිපිරුම් න්‍යායේ සත්‍යතාවය ඔබට පැහැදිලි කිරිම සඳහාය. අප ඔබට ආරාධනා කරන්නේ විචාර බුද්ධිය උපයෝගි කර ගෙන විශ්වයේ නිර්මාතෘ හඳුනා ගැනිම සදහා ඉහත සදහන් කරුණු වෙත නැවත නැවතත් ඔබගේ අවධානය යොමු කරන ලෙසය. අප ආරම්භ‍යේ සදහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්ව නිර්මාණයේ විස්තර  ඉතාමත්ම නිරවද්‍යතාවකින් හා විද්‍යාත්මක පදනමකින්  යුක්ත ව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක.

විශ්වයේ නිර්මාණය පිළිබඳ ව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත නොහැකි එකඟතාව සැබැවින්ම ප්‍රාතිහාර්යයක් බව අපට පිළිගන්නට සිදු වන අතර එය එම පහළ කරන ලද පණිවිඩයේ සත්‍යතාව හා එහි දිව්‍යමය මූලය සහතික කරන්නකි. අපි තවත් කෝණයකින් විශ්වයේ නිර්මාණය පිළිබඳ ව අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පිපුරුමක්  සිදු වු තැන අපට දක්නට හැකි වන්නේ ව්‍යාකූලත්වයකි. එහි සැලැස්මක් සහිත ස්වභාවයක් සැකසෙන්නට කිසිසේත්ම ඉඩක් නොමැත. නමුත් මිහිතලය හා විශ්වය දෙස විද්‍යාත්මක විමසුමක යෙදෙන්නෙකුට පැහැදිලි වන එක් භයානක අදහාගත නොහැකි සත්‍යක් ඇත. එනම් මුළු මහත් විශ්වයම අප විසින් මෙයට පෙර විග්‍රහ කළ පරිදි ඉතා සියුම් ලෙස සැකසුණු සැලැස්මක් අනුව ගොඩනැගී ඇති බවය. මහා පිපිරුම් සිද්ධාන්තය හුදෙක් අහම්බෙන් සිදු වු පිපුරුමක් නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේ ද? පිපුරුමෙන් පසු ඉතා සියුම් හා නිශ්චිත සැලැස්මක් දකින්ට තිබේ නම් පිපුරුම පිටුපස නිසැකවම සර්වඥානී සැලසුම් කරුවෙකු සිටිය යුතු බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? එම සර්වඥානී සැලසුම්කරු අන්කිසිවෙකු නොව විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති බව අපට පැහැදිලි නොවන්නේ ද? මේ පිළිබදව අල් කුර්ආනය දක්වන අදහස් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

“එබැවින් අහස් හත තට්ටුවෙන් තට්ටුවට නිර්මාණය කර ඇත්තේය. (ජනයිනි) කරුණාභරිත දෙවිඳුන්ගේ නිර්මාණයන්හි  ඔබ කිසිදු අඩුපාඩුවක්  නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර)  බලනු. (එහි) යම්කිසි වැරැද්දක්  ඔබ දකින්නෙහි ද? (නැවත) නැවතත් දෙවරක් බලනු (මෙසේ ඔබ මෙය කොතරම් වතාවක් නැවත නැවතත් බැලුව ද කිසිදු අඩුපාඩුවක් නොදකින්නෙහිය) ඔබගේ බැල්ම ම දුබල ව  ව්‍යාකුල වී (ඔබ වෙත) ආපසු හැරෙන්නේය.” (අල් කුර්ආන් 67 :3 – 4)

ඉහත අල්කුර්ආන් වැකි වලින් හෙළිදරව් වන අලුත් තොරතුරු දෙසට ද අපගේ අවධානය යොමු කරන්නට අවශ්‍ය ව ඇත. අහස් යන වාක්‍යය උපයෝගි කර ගන්නා සන්දර්භය (Context) අනුව අල් කුර්ආනයේ අර්ථ කිහිපයක් ඇත. පෘථිවිය මතුපිට ඇති වායුගෝලය එක් අර්ථයක් වන අතර තවත් තැන් හි විශ්වය යන  අර්ථය ඇති ව ද මෙම වචනය උපයෝගි කොට ගෙන ඇත. ඉහත අල් කුර්ආන් වැකියේ  වායුගෝලය යන අර්ථය ඇතිව යොදා ඇති බව ඉතා පැහැදිලි ව පෙනේ. මුළු මහත් විශ්වයම  නිරුවත් ඇසින් දැකිය නොහැකි බව අප සැවොම දන්නා සත්‍යයකි. නුතන භාවිතයේ දි අහස යනුවෙන් අප අදහස් කරන්නේ පෘථිවිය වටා ඇති වායුගෝලයට බව අලුතින් විස්තර කළ යුතු කරුණක් නොවේ. නුතන විද්‍යාඥයින් විසින් වායු ගෝලය ස්තර (තට්ටු) හතකින් යුක්ත බව විස්තර කොට ඇත. මේ පිළිබඳ ව විස්තර General Science By Carolyn Sheats  Robert Gardner, And Samuel F. Howe (published in U.S.A-1985-Pages 319-322) නම් ග්‍රන්ථයේ පැහැදිලි ව ඉදිරිපත් කොට ඇත.

මෙයත් ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් වන අතර  එම කරුණ ද  ඉතා නිරවද්‍යතාවකින් යුක්තව අල් කුර්ආනය ඉදිරිපත් කරන අලංකාරය ඔබ නොදකින්නෙහි ද? මෙයිනුත් සනාථ වන්නේ  කුමක් ද කියා ඔබට සිතා බලන්නට අපහසු තාවක් තිබේ ද? මෙම ස්තරයන් හි ඇති වායු පිඩනය හා වායු සංයුතිය එකිනෙකට වෙනස් වන්නේය.

  1. පෘථිවිය සමග ඇති ස්තරයට ට්‍රොපෝස්තරය (Tropo sphere) ලෙස නම් කොට ඇත.
  2. එයට ඉහළින් ඇති ස්තරයට ස්ට්‍රාටොස්තරය (Strato sphere)
  3. එයත් සමග ඇති ස්තරයට ඕසොන් ස්තරය.(Ozone sphere)
  4. එයට ඉහළින් ඇති ස්තරයට මෙසෝ ස්තරය (Meso Sphere)
  5. එයට ඉහළින් ඇති ස්තරයට තර්මෝ ස්තරය (Thermo Sphere)
  6. එයට ඉහළින් ඇති ස්තරයට අයනෝ ස්තරය (Iono Sphere)
  7. එයටත් ඉහළින් ඇති ස්තරය එක්සෝ ස්තරය ලෙස විදඥයින් විසින් හඳුන්වා දී තිබේ. (Exo sphere)

විසිවන සියවසේ විද්‍යාත්මක දියුණු ව සමග සොයා ගත් මෙම විද්‍යාත්මක  සත්‍යයන් අවුරුදු 1400 කට පෙර අති නිරවද්‍යතාවකින් යුක්ත ව අල් කුර්ආනය මගින් මිනිසාගේ දැනුම වෙත යොමු කොට තිබීම සැබැවින්ම ආශ්චර්යජනකය.

ඉහත දැක් වු අල් කුර්ආන් වාක්‍යයන්ගෙන් අප සාකච්ඡා කරන්නට අදහස් කළේ ස්තර හතට වඩා වැදගත් කරුණකි. එනම් විශ්වයේ  බිහිවිම මහා  පිපුරුමේ ප්‍රතිඵලය බව නුතන විද්‍යාව හා අල් කුර්ආනය එකඟතාවට පැමිණිය ද, එය සැලසුම් සහගත අඩුපාඩු වලින් තොර වු සැකසුමකින් සමන්විත වු පිපිරිමක් බව අවුරුදු 1400 කට පෙර මනුෂ්‍ය වර්ගයාගේ අවධානයට යොමු කොට ඇත්තේ අල් කුර්ආනය පමණි. ඉහත අල් කුර්ආන් වැකි අභියෝගාත්මක ව මනුෂ්‍ය වර්ගයාට දන්වා සිටින්නේ මෙය  ඉබේ හේතුවකින් ‍තොරව සිදු වු පිපිරීමක් නොවන  බවත් එය සර්වඥානී සැලසුම්කරුගේ ක්‍රියාවක් බවත්ය. මුළු විශ්වයම ඉතා සියුම් සැලසුමක් මත ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් අවබෝධ කර ගත්තේ ඉතාමත් මෑත කාලයේදීය. මෙය අවුරුදු 1400කට පෙර දී කිසිසේත්ම කිසිදු මිනිසෙකු දැන සිටි හෝ කිසිවෙකුට තම උත්සාහයෙන් දැන ගත හැකි සත්‍යයක් නොවේ. අල් කුර්ආනය පහළ කළ බලයම විශ්වයේ නිර්මාතෘ බව පිළිගන්නට මෙය තවත් බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂියක් නොවන්නේ දැයි  මනුෂ්‍යයාට පමණක් උරුම වු විචාර බුද්ධිය මෙහෙයවා විමසා බලන ලෙස අපි ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු. විචාර බුද්ධිය පදනම් කර ගෙන අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාගේ වාසභුමිය වු මිහිතලය ද අඩංගු විශ්වයේ නිර්මාණය පිළිබඳ ව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් සහ අල් කුර්ආනය මගින් විශ්වයේ නිර්මාතෘ විසින් දැනට අවුරුදු 1400 කට පෙර හෙළිදරව් කර ඇති අප සැම මවිතයට පත් කරවන ප්‍රාතිහාර්ය ජනක සත්‍යය  තොරතුරු පිළිබඳවය.

(මතු සම්බන්ධයි)

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.