දෙවිඳුන් විශ්වය මිනිසා-9

අල් කුර්ආනයේ භාෂාව

අල් කුර්ආනය සදා වලංගු පණිවිඩයක් වීමට අත්‍යවශ්‍ය දෙවන කරුණ වන්නේ එය පහළ කරනු ලැබු භාෂාව සදා ජීවමාන එකක් විය යුතුය යන්නය. එය පහළ කරනු ලැබු භාෂාව ක්‍රමයෙන් ජනවහරින් ඉවත් වෙමින් හෝ ඉවත් වුවක් ලෙස හෝ ඇතිනම් එම පණිවිඩය ජනයාට සදා ප්‍රයෝජනවත් ලෙසින් අවබෝධ කර ගෙන එමගින් තම ජිවිතය සකස් කර ගැනිමට හැකි එකක් බවට පත් නොවනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලැබූ භාෂාව ගැන පමණක් විචාරාත්මක විමසුමක යෙදෙන්නෙකුට එහි ඇති ප්‍රාතිහාර්යජනක ස්වභාවය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. අල් කුර්ආනය හැර පැරණි දහම් බිහි වු භාෂා සියල්ලම පාහේ මිනිස් භාවිතයෙන් ඉවත් විමෙන් අනතුරුව ඓතිහාසික ලේඛනාගාරයන්ට පමණක් නුතනයේදී සිමා වි ඇත. හීබෲ, ඇරමයික්, ලතින්, කොයිනි ග්‍රීක්  (බයිබලයේ  නව ගිවිසුමේ මුල් පිටපත් ලියා ඇති භාෂාව) මෙන්ම මගධ, පාලි හා සංස්කෘත භාෂාවන් දැනට මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවන්ගේ ගණයට වැටී ඇත.

මේ සම්බන්ධ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සදහා එක් උදාහරණයක් පමණක් සලකා බැලීම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු. ජේසු තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය අත් වේවා) කථා කළ භාෂාව ඇරමයික් වුවත් බයිබලයේ නව ගිවිසුමේ මුල් පිටපත් තිබෙන්නේ ග්‍රීක බසින්ය. එනම් අද තිබෙන කිතුනු මුලාශ්‍රයන්  ග්‍රීක බසින්  කළ සටහන් පමණක් වන අතර එම ග්‍රීක බස ද නුතන ග්‍රීක  බසට හාත් පසින්ම වෙනස් වු එකක් ද වෙයි. මෙම භාෂාව හැඳින්වුයේ කොයිනි ග්‍රීක භාෂාව වශයෙනි. මෙම භාෂාව මිනිස් භාවිතයෙන් ඉවත් වු එකක් ව තිබු හෙයින්  බයිබලයේ නව ගිවිසුමෙහි වචන 550 කට පමණ එනම් සම්පුර්ණ ග්‍රන්ථයේ 12% පමණ අර්ථය කිසි‍වෙක් දැන නොසිටියේය. ඇඩෝල්ෆ් ඩෙයිස්මන් නම් ජර්මන් ජාතික විශේෂඥයෙක් ඊජිප්තුවේ පැරණි සෙල්ලිපි කිහිපයක් සොයා ගත්තේය. බයිබලයේ මුලාශ්‍රයන් ලියා ඇති බස උසස් සාහිත්‍යමය ග්‍රීක භාෂාව නොව කථා ව්‍යවහාරයට භාවිත කරන එකක් පමණක් යැ’යි එම සෙල්ලිපි වලින් හෙළිදරව් වුණි. සැබැවින්ම මෙම බස පළමු වන සියවසේ පලස්තීනයේ  භාවිත කරන ලද බව ද  සොයා ගන්නා ලදී. තේරුම් නොදන්නා වචන රාශියකට අර්ථ යොදන්නට ඩෙයිස්මන්ට හැකි වු නමුත් අර්ථය නොදන්නා  වචන 50 ක් පමණ එහි තවමත් ඉතිරි ව ඇත. මෙම විස්තර උපුටා ගනු ලැබුවේ ‘The Gospels and the Jesus of history’ by Xavier Leon Dufour’ යන ග්‍රන්ථයෙනි.

බයිබලයේ නව ගිවිසුමේ වචන 50 ක පමණ අර්ථය එහි ග්‍රික මුලාශ්‍රයන්ගෙන් අවබෝධ කර ගැනිමට අදටත් නොහැකි ව තිබේ නම් බයිබලයේ පරිපුර්ණ පණිවිඩය ජනයාට ලබා ගැනිමට හැකි වී තිබේ ද යන්න ගැන ඔබටම නිගමනය කර ගැනීමට හැකි වනු ඇතැයි සිතන්නෙමු. තම මුලාශ්‍රයන් ලියු භාෂාව මිය ගිය භාෂාවක් බවට පත් වුවායින් පසුව විවිධ අනුමාන කිරීම් හා අර්ථ නිරුපණයන් පදනම් කර ගෙන නුතන භාෂාවන්ට පරිවර්ථනය කරන ලද්දක් බවට බයිබලය තිබේ නම් එය කෙරෙහි පරිපුර්ණ විශ්වාසයකින් යුක්ත ව කටයුතු  කිරීමට කෙසේ නම් හැකිවන්නේ ද යන්න අප විසින් සිතා බැලිය යුතු නොවන්නේ ද?

මැද පෙරදිග ප්‍රදේශයේ ජනයා භාවිත කරන භාෂා හදුන්වන්නේ  සෙමටික් භාෂාවන්  යනුවෙනි. මෙම භාෂාවන් පිළිබද ව දිර්ඝ පර්යේෂණයක  යෙදුණු අර්නස්ට් රෙනාන් (1823-1894) නම් ප්‍රංශ විද්වතා  තම සොයා ගැනීම් පිළිබද ව පළ කළ ග්‍රන්ථයේ අරාබි භාෂාව පිළිබඳ ව මෙසේ පවසයි. “අරාබි භාෂාව මානව ඉතිහාසයේ සිදු වු ඉතාමත් විස්මයජනක සිද්ධියකි. පෞරාණික යුගයේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබු මෙම භාෂාව ඉතා කෙටි කලක්  තුළ අංග  සම්පුර්ණ භාෂාවක් බවට පත් වුණි. ඉන් අනතුරුව දැනෙන ආකාරයේ වෙනස්වීම් කිසිවක් එයට සිදු නොවු අතර එම භාෂාවට ආරම්භක හා පසු අවධිය යැයි වෙන් කර දැක්විය හැකි ස්වභාවයක් නොමැත. ආරම්භක අවධියේ තිබු අයුරින් ම නුතනයේදිත් එම භාෂාව දැනෙන ආකාරයේ වෙනස් විමකට භාජනය නොවී ම  පවතී”.

ඉහත මතය අරාබි භාෂාවට පමණක් ම සුවිශේෂි වු තත්ත්වයකි. අරාබි භාෂාවෙන් පහළ වු අල් කුර්ආනය අවසන් දේව පණිවිඩය වන අතර ලොව අවසන් වන දිනය දක්වා එය ජනයාට කියවා තේරුම් ගැනිමට හැකි ආකාරයට සෑම අයුරකින්ම සකස් වී තිබිය යුතුය. එය ඕනෑම යුගයක කියවා තේරුම් ගැනිමේ ක්‍රියාවලි‍යේ  ප්‍රධානතම සාධකය වන්නේ භාෂාවයි. එහි භාෂාව ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින්නට හෝ ක්‍රමයෙන් මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවක් බවට පත් වෙමින් තිබෙන්නක් නම් අල් කුර්ආනයේ මුලික හා ප්‍රධානතම පරමාර්ථය පරාජයට පත් වෙයි. එය වෙනස් වීමට භාජනය විමේ  ස්වභාවයෙන් සුරක්ෂිත කිරිමේ දේව මුද්‍රාව එම භාෂාවට ලැබි ඇති බව ඉහත විස්තරයෙන් දැක්වෙන ප්‍රධාන සාධකයයි. භාෂා පිළිබද විද්වතුන්ගේ මතය වන්නේ  ලොව කිසිදු භාෂාවක් එලෙසම අවුරුදු 500 කට වඩා නොපවතින බවය. විලියම් ශේක්ෂිපියර් (1564 – 1616) ‍ශ්‍රේෂ්ඨ ඉංග්‍රිසි සාහිත්‍යධරයෙකි. නමුත් ඔහුගේ මුල් කෘතින් කියවා අවබෝධ කර ගැනිමට එම යුගයේ ඉංග්‍රීසි නුතනයේ භාවිත වන ඉංග්‍රිසි වලට අර්ථ සපයන ශබ්දකෝෂකින්  තොරව කළ හැක්කක් නොවේ. ඉංග්‍රීසි කාව්‍යකරණයේ පියා ලෙස හැදින්වෙන වික්ටර් චෝසර් (Victor Chaucer 1342 – 1400) සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ද එම අදහසමය. අරාබි ලෝකයේ විවිධ සමාජයිය  හා  දේශපාලන කැලඹිම් හා වෙනස් කම් සිදු වු නමුත් අල් කුර්ආනය පහළ කරන ලද කාලයේ  තිබු අයුරින් ම අරාබි භාෂාව අදටත් පවති. මුහම්මද් තුමාට (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා)  අල් කුර්ආනය පහළ වුයේ අසාමාන්‍ය උල්පතකින් බව මෙය අනිවාර්යෙන් ම තහවුරු කරයි. ගත වු වසර 1400 ක ඉතිහාසය දෙස බලන ඕනෑම අයෙකුට අල් කුර්ආනයේ ආශ්චර්යමත් ස්වභාවය හඳුනා ගත හැකි වේ. අරාබි භාෂාවේ උත්තරීතර වූ සාහිත්‍යයට හිමිකම් කීමට හා එහි අති අලංකාර භාෂා හැසිරවිමක් මෙම අද්විතිය හා අසමසම ග්‍රන්ථයට හිමි වි ඇත. මෙලෙස අල් කුර්ආනයේ භාෂාව සදා ජිවමාන එකක් වි තිබිම ම එහි අසාමාන්‍යකම හා ප්‍රතිහාර්ය ස්වභාවය විදහා දක්වන්නකි.

ඉහත තොරතුරු පිළිබඳ ව පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොරවූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්තව බුද්ධිමය විචාරයක යෙදෙන ලෙස නැවත වරක් ඉතා කාරුණික ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. අපගේ අවධානය මිනිසාගේ සම්භවය වෙත යොමු කරමු.

(මතු සම්බන්ධයි)

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.