දෙවිඳුන් විශ්වය මිනිසා-10

මිනිසාගේ සම්භවය

දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය  නිර්මාණය කළ ආකාරය එක් වරක් පමණක් සිදු වු ඓතිහාසික සිද්ධියකි. ඉන් පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාව පදනම් කර ගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නා වු මිනිස් පරපුරයි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නා වු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳ ව ඇති නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැසඳේ ද  යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව ඇති කරුණු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.

මෙම තොරතුරු විමසීම නුතන කලල විද්‍යාත්මක කරුණු ගැන අවධානය යොමු කරමින් ආරම්භ කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙහි කලල විද්‍යාවට අදාළ වැදගත් තොරතුරු අල් කුර්ආනයේ වැකි සමග සැසඳීමක් කරමින් කරුණු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙළේ කලල විද්‍යාඥයින් අල් කුර්ආනයේ ඉගැන්වීම් තුල ගැබ්වී ඇති කලල විද්‍යාත්මක තොරතුරු සසඳා දැක්වූ මත පළමු ව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කර ගන්නේ  කැනඩාවේ ටොරොන්ටෝ විශ්වි විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම ක්‍ෂේත්‍රයේ දෙනු ලබන සම්මානනීය තිළිණය වු J.C.B. Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රදානය කරන ලදී. එතුමාගේ එක් ප්‍රකාශනයක් “This is the Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ  youtube.com වෙබ් අඩවිය මගින් ඔබට සවන් දිමට ද හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක්  පහතින් දක්වා ඇත්තෙමු.

“අප විසින් කලල විද්‍යාව අනුව අල් කුර්ආනයේ හා නබිවරයාගේ වදන් වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටි විට මෙම තොරතුරු සොයා බැලූ එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත  විද්‍යාඥයින් විසින් කලලය හා කලලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයා ගත්  කරුණු මෙතරම් සවිස්තරාත්මක ව  හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව ශත වර්ෂ 14 කට පෙර  මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේ ද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට  අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශත වර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනා සේ ඔප්පු වන්නේය”.

මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නා වු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳ ව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයා ගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත ව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව අල් කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේ ද?

“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබ ව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබ ව ජාතින් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන් ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියසෙහි ඉතාමත් ගෞරවනීය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්ව ද සිටින්නේය”. (අල්කුර්ආනය 49 : 13)

“අහස් ද (විශ්වයද) මිහිතලය ද නිර්මාණය කිරීම මනුෂ්‍යයන් නිර්මාණය කිරීමට වඩා මහත්ය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් (මෙතරම් දෙයක්වත්) නොදකිත්”. (අල්කුර්ආනය 40 : 57)

මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට පසෙක තබා පහත සදහන් කරුණු කෙරෙහි විචාරාත්මක ව සොයා බලමු.

ලෝක ජනගහන වර්ධනය

වර්ෂය ජනගහණය (බිලියන) මුලාශ්‍රය
2000 6.06 Wpp 98
1998 5.90 Wpp 98
1990 5.27 Wpp 98
1980 4.44 Wpp 98
1970 3.70 Wpp 98
1960 3.02 Wpp 98
1950 2.52 Wpp 98
1940 2.30 Wpp 63
1930 2.07 Wpp 63
1920 1.86 Wpp 63
1910 1.75 Wpp 63
1900 1.65 D and C
1850 1.26 D and C
1800 0.98 D and C
1750 0.79 D and C
1500 0.50 Durand
1250 0.40 Durand
1000 0.31 Durand

සටහන්

Wpp98-   United Nations –World Population-1998 Revision

Wpp63- United Nations-1966 World Population as Assessed In 1963

D And C- United Nations – The Determinants and Consequences of Population Trends –Vol. 01

Durand- J. D. Durand 1974- Historical Estimates of World Population – An Evaluation (University) of Pennsylvania Population Studies Center.

ඉහත වගුව අනුව ලෝක ජනගහනය පිළිබඳ ව කාලයේ ආපස්සට ගමන් කිරීමේ දි එය ඉතා ක්‍රමානුකුල අන්දමින් අඩුවෙමින් යන බව පැහැදිලි ව නිරික්ෂණය කළ හැකි වෙයි. 2000 වර්ෂයේදි බිලියන 6.06 ක් වු ලෝක ජනගණය 1000 වර්ෂයේ දි මිලියන 310 දක්වා වු අඩු මට්ටමක පැවැති බව ඉහත දත්ත පෙන්නුම් කරයි. මෙසේ අප කාලය ආපස්සට ගමන් කිරීමේ දි ලෝක ජනගහණය ක්‍රමානුකුල ව අඩුවෙමින් ගොස් නතර වන්නේ කොතැන ද යන ප්‍රශ්නයට ඇති සහේතුක හා තර්කානුකුල පිළිතුරු කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි නොසිතන්නෙමු. නිසැකවම හා නිශ්චිත වශයෙන්ම අප අවසානයේ දී නතර වන්නේ එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියක් වෙත බව ඉතාමත්ම පැහැදිලිය. අපට අල් කුර්ආනය පැහැදිලි කරන්නේ මෙම සත්‍යය කරුණයි. එම එක් පුරුෂයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බිලියන ගණනක් වු ලෝක ජනගහනය වර්තමාන තත්ත්වයට වර්ධනය විමට, අලුතින් මිනිස් දරුවෙකු බිහිවීම පිළිබඳ ව ඩිම්බයක් ශුකාණුවක් සංශ්ලේෂණය  වන තැන් හි පටන් වර්ධනය වන ආකාරය නුතන විද්‍යාඥයින් ව මවිතයට පත් කරමින්  සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවකින් යුක්ත ව කරුණු ඉදිරිපත් කිරිමට අල් කුර්ආනයට හැකි වී තිබෙන්නේ එහි පණිවුඩය නියත වශයෙන්ම මිනිසාගේ නිර්මාතෘගෙන් ලැබුණක් බව අපට කිසිම සැකයකින් තොරව  ඔප්පු කරමිනි. මෙය ඉතාමත් තර්කානුකුල යථාර්ථවාදි හා විද්‍යාත්මක සත්‍යයක් බව අප සැමට අනිවාර්යෙන්ම පිළිගැනීමට සිදු වි තිබෙනවා නොවේ ද?

මිනිසා මෙසේ නිර්මාණය නොවී තමන් කරන හොඳ නරක අනුව එක් එක් උත්පත්ති තලයන් හි එක් එක් ස්වරූපයෙන්  උපත් ලබන බවට ඇති මතයේ යථාර්ථය ද විචාරශීලී ව විමසා බලමු. මෙම මතයට අනුව තවත් ජිවියෙක් උපත ලැබිය හැක්කේ එක් ජීවියෙක් මිය ගිය පසුවය. අප මෙයට පෙර සාකච්ඡා කළ කරුණු අනුව නුතන විද්‍යාව අවිවාදයෙන්  පිළිගන්නා සත්‍යයක් නම් විශ්වයට ආරම්භයක් ඇති බවය. විශ්වය නොමැති ව ජීවයක් පැවතිය හැකි තත්ත්වයක් නොමැති බව ඉතා පැහැදිලි කරුණකි. එක් ජීවියෙකුගේ මරණින් පසුව පමණක් තවත් ජීවියෙක් බිහි වේ යන මතය ඉහත සංකල්පයේ සාධකයක් වන හෙයින් සියලු ජීව විශ්වය බිහිවීමත් සමග එක්වරම බිහි වී තිබිය යුතුය යන්න මෙම සංකල්පයෙන් ගම්‍ය වන කරුණකි. මෙය තර්කයට විචාරයට බුද්ධියට හෝ විද්‍යාවට එකඟ විය හැකි කරුණක් නොවේ. මෙහි දී අප සඳහන් කරන්නේ මිනිස් ජීව පිළිබඳ ව පමණක් නොවේ. සියලු ජීව ට්‍රිලියන සංඛ්‍යාවකින් මිහිතලය මත පමණක් අපට දක්නට හැකිය. තමන් කරන හොඳ නරක අනුව උපත් චක්‍රයක් ඇති බවත් උපත් චක්‍රයෙන් ගැළවෙන මතයක් ද මෙහි ඇති හෙයින් ජීව සංඛ්‍යාවේ අඩු වීමක් සිදු විය හැකි අතර වැඩි වීමක් නම් කිසිසේත්ම සිදු විය නොහැක. චක්‍රයක් තුළ නැවත නැවත ඉපදීමේ මෙම සංකල්පය තුළ අප දුටු තවත්  විමසුමට ලක් කළ යුතු කරුණු කිහිපයක් ගැන සඳහන් කරන්නට කැමැත්තෙමු. එක් උපතක දී තමන් කළ ලිංගික අපචාර හේතුවෙන් ඉදිරි උපතේ දී ස්ත්‍රියක් ව ඉපදීම හා එමෙන්ම තවත් පාප ක්‍රියාවකට විපාක ලෙස ඉදිරි උත්පත්තියේ දී දියණියන් පමණක් ලැබීම යන කරුණු දෙක විමසා බලමු.

මෙහිදී ක්‍ෂණික ව අවබෝධ වන කරුණක් නම් ස්ත්‍රියක ව ඉපදීම දඬුවමක් ලෙස මෙම සංකල්පය තුළ  සනාථ කොට ඇත යන්නය. මෙය ඉස්ලාමයට කිසිසේත්ම එකඟ විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් මෙම කරුණු දෙක සත්‍යය නම් මිනිස් සමාජයේ ස්ත්‍රී උත්පත්ති අනුපාතය ඉතා භයානක ලෙස ඉහළ ගොස් තිබිය යුතුය. සත්‍යය තත්ත්වය නම් ස්ත්‍රී පුරුෂ අනුපාතයේ සුළු වෙනස්කම් විටින් විට මිනිස් ඉතිහාසය තුළ ඇති වුව ද  මෙම සමතුලිතතාව  බිඳී ගොස් මිනිස් සමාජය අර්බුදයකට පත් වු ඉතිහාසයක් ගැන කිසිදු තැනක සඳහනක් නොමැත. මෙයට අමතරව තවත් අති ආන්දෝලනාත්මක හා මිනිස් චින්තනයට අභියෝගාත්මක ඉගැන්වීමක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

එනම් සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පිරිමි ස්ත්‍රීහු බවට ද පැමිණෙතියි යන මතය විමසා බැලිය යුතු ව ඇත. ලිංග පරිවර්තනය වන්නේ පෙර උත්පත්තියේ කුසල් අකුසල් පදනම් කර ගෙනය. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ යැයි පැවසේ. වර්තමාන ලෝක තත්ත්වය තුළ මෙවැනි දෑ සිදු වෙමින් පවතින්නේ ද? ඉතිහාසයේ ඇඟිලිවලින් ගණන් කළ හැකි ප්‍රමාණයේ මෙවන් සිදුවීම් සඳහන් ව ඇත. නමුත් එය පිළිබඳ විද්‍යාත්මක හේතු ඉතා පැහැදිලි ලෙසම දක්වා ඇත. මෙම කරුණු කිසිවෙකුට  සැහැල්ලුවෙන් නොසලකා හැරිය හැකි ප්‍රශ්නයක් නොවේ යැයි සිතන්නෙමු.

එසේ නම් මෙම සංකල්පය තුළ ඇති ඉහත සාධක අවිද්‍යාත්මක මෙන්ම සත්‍යයෙන් තොර වු එකක් බව බැහැර කරන්නට සිදු වෙනවා නොවේ ද? කරුණාකර ඔබ ම සිතා බලන්න. සංකල්පයේ සාධක බිඳ වැටේ නම් තවදුරටත් සංකල්පය කෙසේ නම් පවතින්නේ ද? අනිත් අතින් නැවත නැවත ඉපදිමේ චක්‍රය තුළ උත්පත්ති සිදු වන ආකාරයද  පැහැදිළි කොට ඇත. එක් ක්‍රමයක් නම් වැඩුණු ශරීරයක් ඇතිව අනපේක්ෂිත ලෙස (ඕපපාතික ව) මිහිතලය මතට බිහි වීමය. මෙය දෙමව්පිය සම්බන්ධතාවකින් සිදුවන්නක් නොවේ. මෙය ද අවිද්‍යාත්මක සංකල්පයක් බව විග්‍රහ කරන්නට අවශ්‍යතාවක් ඇතැයි නොසිතන්නෙමු.

තවත් උත්පත්ති ක්‍රමයක් පිළිබඳ ව ද අපගේ අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතන්නෙමු. තෙත් ගතිය ආශ්‍රය කොට ගෙන කුණු මස්, අශුචි, කුණුරොඩු ආදී තැන්වලින් ජීවයක් හටගන්නා බවට ඉගැන්වීමක් ඇත. මෙසේ හටගන්නා පණු, මදුරු ආදීහු බොහෝ විට මෙම ජීවී වර්ගයට අයත් වේ. ඈත අතීතයේ අන්වීක්ෂය නොමැති යුගයක මැසි මදුරුවන් දමන පියවි ඇසට නොපෙනෙන ඉතාම කුඩා බිත්තර පිළිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අලුත් ජීවයක් පැමිණිය හැක්කේ ජීවයකින් පමණක් බව  යන්න නුතන විද්‍යාත්මක සංකල්පයකි. අජීවී කුණුරොඩු වලින් කිසිසේත්ම නව ජීවයක් බිහිවිය නොහැක. මේ පිළිබඳ ව එනම් අජීවී ද්‍රව්‍යයන්ගෙන් ජීවයක් ඇතිවිය හැකි යැයි පරිණාමවාදී සංකල්පය විශ්වාස කළ ඇමෙරිකානු ජාතිකයෙකු වූ ස්ටැන්ලි මිලර් (Stanley Miller) 1953 දී පර්යේෂණයක්  කරමින් ඔප්පු කරන්නට අසාර්ථක ව්‍යායාමයක යෙදුනේය. මෙය ‘මිලර් පර්යේෂණය’ (Miller Experiment) නැතිනම් ‘යුරි මිලර් පර්යේෂණය’ (Urey-Miller Experiment) යනුවෙන් නම්කර තිබිණි. ආරම්භයේ පරිණාමවාදීන් අතර ඉතා ජනප්‍රිය පර්යේෂණයක් වූ මෙය වැඩි කල් නොගොස් ජීව විද්‍යාඥයින් විසින් මෙම සංකල්පය සහමුළින් ම ප්‍රතික්ෂේප කරන ලදී. එනිසා මෙම මතය සම්පුර්ණයෙන් ම අවිද්‍යාත්මක එකක් වන අතර ඇසට නොපෙනෙන මැසි මදුරු බිත්තර මෙයට හේතුව බව අන්වීක්ෂය සොයාගත් පසු අප දැනුවත් වී ඇත්තෙමු. මේ පිළිබඳ ව අප සිතා බැලිය යුතු නොවේ ද?

එලෙසම මෙම සංකල්පය තුළ ඉපදෙන ස්ථානයන් ද විග්‍රහ කොට ඇත. එක් ස්ථානයක් නම් අපායයි (නිරයයි). එය මෙතරම් ගැඹුරකින් මහපොළොව තුළ ඇත්තේ යයි පවසන විට නැවතත් අවිද්‍යාත්මක මතයක් මතු වෙයි.

මේ පිළිබඳ පහතින් උපුටා දක්වා ඇති තොරතුරු වෙත ද ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

“පුනරුත්පත්ති සංකල්පය තහවුරු කිරීම සඳහා ඉදරිපත් කෙරෙන විවිධ තර්ක ඇසුරෙන් වුව ද ඒ පිළිබඳ පැහැදිලි එකඟතාවයකට පත්වීම දූෂ්කර බව පෙනේ. මේ සම්බන්ධ විරුද්ධ අදහස් දරන්නවුන් ඈත අතීතයේ පටන්ම විසූහ. භෞතිකවාදි අදහස් දරණ චින්තකයින් මෙසේ පුනරුත්පත්තිය බැහැර කළ අය වෙති. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් බැහැර කිසිවක් පිළිගැනීමට මැලිවන භෞතිකවාදීන් උක්ත සංකල්පය ද පාරභෞතික එකක් සේ සලකා බැහැර කළහ. පුද්ගලයාගේ මේ ජීවිතයේ ඇතැම් දේවල් පැහැදිලි කර ගැනීම හෝ ඒ පිළිබඳ ව හේතූන් ඉදිරිපත් කිරීම අපහසු වුව ද ඒ සඳහා පෙර ආත්මයක් පිළිබඳ අදහසක් ඇති කර ගැනීම අනවශ්‍ය බව සමහරු පෙන්වා දෙති. එවැන්නක් අදාළ ගැටළුවට පිළිතුරක් සැපයීමට වඩා එය තවදූරටත් ව්‍යාකූල කිරීමක් හැටියට මොවුහු සලකති. කෙනෙකු තුළ පැවතිය හැකි දක්ෂතාවයන් ඔහු හැදෙන වැඩෙන පරිසරය ඇසුරෙන් ගොඩනැගිය හැකිය. එසේම කෙනෙකුගේ කායික ලක්ෂණ මත ද ඇතැම් දේ පිළිබඳ දකෂතාවයන් ගොඩ නැගීමට හැකි බව ද පිළිගැනේ. සහජ දක්ෂතාවයන් ඇතැම් අය තුළ පිහිටන බවට මනෝවිද්‍යාව සාක්ෂි දරයි. එබැවින් මේ නාමයන් පැහැදිලි කිරීම සඳහා පෙර ආත්මය පිළිබඳව අදහසක් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍ය තාවයක් නැති බව විරුද්ධ මතධාරීන් පෙන්වා දී ඇත. පෙර ආත්මය පිළිබඳ ව ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් කරන තොරතුරු වුව ද පරස්පර විරෝධතාවයන්ගෙන් යුතු වන අවස්ථා එමටයි. බොහෝ විට මෙවන් තොරතුරු ඉදිරිපත් කරන අයට ප්‍රකාශ කළ හැක්කේ ද තමා ඊට කලින් සිටි එක් ජීවිතයක් සම්බන්ධ තොරතුරු වීමත් ගැටලූ සහගත වේ. එසේම පෙර ජීවිතයේ පුද්ගලයා මළ අවස්ථාවේ සිට යළි උත්පත්තිය ලබන අවස්ථාව දක්වා ඇතැම් විට මාස ගණනක් හෝ අවුරුදූ ගණනක් පිළිබඳ කිසිදූ තොරතුරක් ඉදිරිපත් කරන්නට පෙර ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිකරන්නන් අසමත් වී ඇත. පුනරුත්පත්ති තොරතුරු පූර්ණ පැහැදිලි තාවයකින් තොර බව මෙවන් සිද්ධීන්ගෙන් තහවුරු වේ.

විවිධ අධිමානසික මාර්ගයන් ඇසුරෙන් පෙර ආත්මය පිළිබඳව ගෙනෙන තොරතුරු ද විශ්වාසයෙන් තොර බව සැලකේ. විශේෂයෙන් මෙවන් ඥානමාර්ග ආත්මීය ස්වරූපයක් ගන්නා බැවින් එමගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිගැනීමට නොහැකි බව විරුද්ධ මත ධාරීහූ පෙන්වා දෙති. බෞද්ධ චින්තනය තුළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පුනරුත්පත්තිය සම්බන්ධ ව ගෙනෙන තොරතුරු ද මෙහි දී පරීක්ෂාවට භාජනය කළ යුතු තත්ත්වයකට පත් වේ. කෙසේ වෙතත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හෝ වෙනත් ගුප්ත ඥානමාර්ග ආත්මීය පදනමක් මත ගොඩ නැගෙන හෙයින් ඒ මත පුනරුත්පත්තිය සම්බන්ධ ව ගෙනෙන තොරතුරු පිළිගැනීම ද දූෂ්කර බව පෙනේ”. (මහාචාර්ය කුලසේන විදානගමගේ ‘දාර්ශනික ගැටලූ’- 159 වැනි පිටුව).

මුලික සංකල්පය රඳවා ඇති කුලුණු සියල්ල බිඳ වැටෙද්දී කෙසේ නම් එම සංකල්පය සත්‍යය යැ’යි පිළිගැනීමට හැකියාවක් ඇත්තේ දැ’යි කරුණාකර ඔබම සිතා බලන්න. මෙම සංකල්පයේ අවිද්‍යාත්මක පැතිකඩයන් විදහා දක්වන තොරතුරු බොහෝ ඇතත් ආගමික සංවේදීතාවන් පිළිබඳ අවධානය යොමු කොට එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකෙන්නට තීරණය කළෙමු. ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳ ව ද මුලාශ්‍ර හා අනෙකුත් විස්තර ඉදිරිපත් නොකොට ඉතා සංක්ෂිප්ත අයුරින් අදහස් ඉදිරපත් කොට ඇත්තේ ද ප්‍රධාන වශයෙන් ම මෙම හේතු නිසාවෙනි.

පළමු මිනිසා හා ස්ත්‍රිය නිර්මාතෘ කෙනෙකු විසින්  නිර්මාණය කරන ලද්දක් නොව සත්ව පරිණාමයක් තුළින් සිදු වුවක් ලෙස දක්වන්නට යමෙක් තර්කයක් ඉදිරිපත් කරන්නට ඉඩ ඇත. එහෙයින් පරිණාමවාදය පිළිබඳ ව ද  කරුණු සාකච්ඡා කිරීම සුදුසු යි කියා අපි සිතන්නෙමු.

(මතු සම්බන්ධයි)

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.