දෙවිඳුන් විශ්වය මිනිසා-11

පරිණාමවාදය

පරිණාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවන් අනුව හැඩගැසීම් සිදු වී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී  ‘The Origin Of Species’ යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම ග්‍රන්ථයේ ඔහු විසින් ම පිළිගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණු මත පදනම් වූ උපකල්පනයන් වශයෙනි.  මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවන් (Difficulties of the theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරි කාලයේ දි සිදු විය  හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවන්ට විසඳුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදුවුයේ නුතන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් ඔහු ඉදිරිපත් කළ මතයන් පිළිබඳ ව විසඳුම් ලබා දිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවන් රාශියක් මතු වීම පමණි. මෙම හේතු පදනම් කර ගෙන පරිණාමවාදය ඇමරිකානු පාසැල් පෙළපොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින්  විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය  කරන ලදී. 

ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල් ව පැතිරි ගිය මාක්ස්වාදි චින්තනයට  පරිණාමවාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන්  බැහැර වු භෞතිකවාදි (Materialistic) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳ ව විග්‍රහයට උපයෝගි කර ගත්තේ පරිණාමවාදයයි. මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුණු පරිණාමවාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැලඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩුපාඩු හා දුෂ්කරතාවන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

පරිණාමවාදී න්‍යාය පිළිගත් පිරිස ශාක, සත්වයින් හා විශ්වයේ සම්භවය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම පිණිස විවිධ අනු න්‍යායන් කිහිපයක් ඉදිරිපත් කිරීමට වෙර දරා ඇත. වරින් වර මෙම න්‍යායාචාර්යවරුන් විසින් අජීවී භෞතික පදාර්ථ වඩාත් සංකීර්ණ ජීවී තත්ත්වයට පත් වූ ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට උත්සාහයන් කිහිපයක නියැළී ඇත. සරල ඒක ශෛලීය ජීවියා ජීව ලෝකයේ ක්‍රීටය ලෙස සැලකෙන මිනිසා දක්වා ආ ගමන විවිධ අනුමානයන්, උපකල්පනයන් හා අවිද්‍යාත්මක මතයන් ඉදිරිපත් කරමින් මෙම මතයන් විද්‍යාත්මක සිද්ධාන්ත ලෙස ලොවට අලෙවි කිරීමට ද අති විශාල වෙහෙසක් දරා ඇත.

මේ පිළිබඳ භූ විද්‍යාඥයෙකු ඉදිරිපත් කරන මතය වෙත අවධානය යොමු කරමු. “මා ශිෂ්‍යයෙකු ලෙස සිටි අවධියේ උගත් පරිණාමවාදය පිළිබඳ සියලු තොරතුරු වල අසත්‍යතාව දැන් හෙළදරව් වී ඇත”. (Dr. Derek V. Ager, Dept. of Geology, Imperial College, London. ‘The Nature of the Fossil Record, Proceedings of the Geological Assoc., Vol. 87, 1976, Pages 1132 – 1133).

මෙලෙස පරිණාමවාදීන්ගේ එක් අනු න්‍යායක් දෙපා මත සිටුවා තැබීමට නොහැකි ව කඩා වැටුණු ආකාරය විමසා බලමු.

“රසායනික ලෙස මිනිසා 99% ක් වානරයින් ට සමාන වන අතර රුධිර කැටි ගැසීමේ පරීක්ෂණ අනුව චිම්පන්සීන් මිනිසාගේ සමීපතම ඥාතියා ය යන්න පරිණාමවාදීන්ගේ විශේෂ තර්කයක් විය. නමුත් කිරි වල රසායනික සංයුතිය අනුව මිනිසාගේ සමීපතම ඥාතියා බූරුවාය. කොලොස්ටරෝල් ප්‍රමාණයන් පිළිබඳ පරීක්ෂණ අනුව මිනිසාගේ සමීපතම ඥාතියා ‘Garter Snake’ නම් සර්ප විශේෂයකි. කඳුළු වල ඇති එන්සයිමයේ රසායනික සංයුතිය අනුව කුකුළා මිනිසාගේ සමීපතම ඥාතියා ය”. (Henry M. Morris., ‘The Twilight of Evolution’ Baker Book House 1967).

ජීවයේ සංකීර්ණතාව

පිපුරුමක් සිදුවීම දැකීමේ අවස්ථාව අප සැමට ලැබී ඇතැයි විශ්වාස කරන්නෙමු. පිපුරමකින් පසු විද්‍යාඥයින්ව ම විස්මයට පත් කරවන ආකාරයේ භෞතික සිද්ධාන්තයන් සහිත අති සියුම් හා සුක්ෂම  සැලසුමක් ඇති වීම යමෙකුට සිහිනෙකින්වත් සිතා ගැනීමට හැක්කක් නොවේ. පිපුරුමක් ඇති වූ තැනක දැකිය හැකි වන්නේ  ව්‍යාකුලත්වය හා විනාශය පමණි. පිපුරුමක් මගින් මිහිතලය මත සියලු ජීවීන් ඇති වූ බව ඉදිරිපත් කරන තර්කය පිළිබඳ ඇති විද්වත් මත කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

“පිපුරමකින් පසු ජීවයේ ආරම්භය සිදු වීමට හැකි සම්භාවිතාව මුද්‍රණාලයක සිදු වූ පිපුරමකින් පසු අසංක්ෂිප්ත ශබ්දකෝෂයක් නිරායාසයෙන් බිහිවීම හා සමානය”. (Dr. B. G. Ranganathan – ‘Origins?’ Page 15).

මෙය ඕනෑම සරල ජීවයක් ඇති වීමට හැකි තත්ත්වය ගැන ඇති සඳහනකි. ඉතා සංකීර්ණ හා විවිධත්වයෙන් යුත් ජීවී ප්‍රභේද ගැන මේ අනුව පැවසිය හැක්කේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතක් සිතා බලන්න.

තාරකා  විද්‍යාඥ හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් මහාතාගේ අදහස් වලට අවධානය යොමු කරමු. “සංකීර්ණ හා උසස් ජීවීන් මෙලෙස අහඹුවෙන් ඇති වුවා යැයි පැවසීම මහා චණ්ඩ මාරුතයක් අබලි හා සුන්බුන් අංගනයක් හරහා හමා ගොස් එහි තිබු ද්‍රව්‍ය මගින් බෝයිං 747 ගුවන් යානයක් සෑදුණා යැයි පැවසීම හා සමානය”. (‘Nature’, Vol. 294, Nov. 12, 1981, ‘Hoyle on Evolution’ Page 105).

විස්මයජනක ජීවී සෛලය හා අවම කළ නොහැකි සංකීර්ණත්වය

ඉතා සරල මී කතුරු අපි දැක ඇත්තෙමු. මී කතුරේ යම් කොටසක් ඉවත් කිරීමෙන් පසුත් එය නිසි අයුරින් ක්‍රියාත්මක වෙයි කියා ඔබ සිතන්නේ ද? ඉතා සරල මී කතුරම එහි අවශ්‍ය කොටස් වලින් තොරව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙය ‘අවම කළ නොහැකි සංකීර්ණත්වය’ (Irreducible Complexity) යැයි හැඳින්වේ. මෙලෙස බොහෝ ජීවීන්ගේ සංකීර්ණත්වය අඩු කිරීමෙන් හෝ සරල කිරීමෙන් උන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් මෙන්ම පැවැත්ම ම අහෝසි වී යන්නට ඇති ඉඩකඩ බහුලය. අවම කළ නොහැකි සංකීර්ණත් ව පද්ධතීන්ට පරිණාමී ව ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නට කිසිසේත්ම හැකියාවක් නොමැත. ඒවා පවත්නා අයුරින් පරිපුර්ණත්ව තත්ත්වයෙන් ම පැවතිය යුතුය. එසේ නොවූවහොත් ඒවාට කිසිදු පැවැත්මක් නොමැති වනු ඇත. මෙයින් මතු වන ප්‍රධාන අභියෝගය කුමක් ද යන්න විමසා බලමු.

පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්ගේ “The Origin of Species” ග්‍රන්ථයේ ඔහු හා සියලුම පරිණාමවාදීන් මුහුණ පාන්නා වූ බරපතළ අභියෝගයක් පිළිබඳ  සඳහනක් ඇත. “If it could be demonstrated that any complex organ existed which could not possibly have been formed by numerous, successive, slight modifications, my theory would absolutely break down” (The Origin of Species). මෙහි සමීප සිංහල පරිවර්තනය අනුව ‘පවත්නා වූ කිසිදු සංකීර්ණ ඉන්ද්‍රියයක් බොහෝ අනුක්‍රමික ව සිදුවන්නා වූ වෙනස්වීම් මගින් ඇති විය නොහැකි බව පෙන්වා දෙනු ලබන්නේ නම් මගේ න්‍යාය පරිපුර්ණ ලෙසම බිඳ වැටේ’ ලෙස දැක්විය හැක. ඩාවින් හා ඔහුගේ අනුගාමිකයින් අති මහත් අපහසුතාවකට පත් කරවන බොහෝ ජීවරසායන පද්ධතීන් ඇත. ඒ පිළිබඳ ඇති වැදගත් ජීවවිද්‍යාත්මක තොරතුරු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“බොහෝ ජීව විද්‍යාත්මක ව්‍යුහයන් හි විශාල අණුක පද්ධතීන් (Molecular Machines) හි කොටසක් ලෙස ප්‍රෝටීන් ක්‍රියා කරයි. මෙම ව්‍යුහයන් හි කොටසක් ලෙස බොහෝ ප්‍රෝටීන් ඇතත් මෙම ව්‍යුහයන් නිසි අයුරින් ක්‍රියාත්මක වන්නට නම් එහි සියලු අණු කොටස් නිසි ලෙස එකිනෙක හා බැඳී සමායෝජන (Co-ordination) වී තිබිය යුතුය”. (‘Molecular Machines’ by Michael J. Behe)

මෙම මතයත් අපට අවධාරණය කරනු ලබන්නේ මෙම ව්‍යුහයන් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වන්නට නම් ඒවා සියල්ල එකවර ම බිහි වී තිබිය යුතු මෙන්ම ඒවා අතර සම්බන්ධතාව ද සැකසී තිබිය යුතු බව ය. කෙසේ නම් මේවා අනුක්‍රමික ව කොටසින් කොටස වර්ධනය වී වර්තමාන තත්ත්වයට පත් විය හැක්කේ ද යන්න පරිණාමවාදීන් සිතා බැලිය යුතු නොවන්නේ ද? මේ පිළිබඳ තවත් වැදගත් විද්‍යාත්මක තොරතුරු කිහිපයකට අවධානය යොමු කරමු.

ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් සහ ඩී.එන්.ඒ.

ජීවී සෛලයක් තුළට සංචාරයක යෙදෙන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු. අපට වහාම දැක ගත හැකි වන්නේ අති විශිෂ්ට විස්තර සහිත අදහාගත නොහැකි ආකාරයේ නිර්මාණාත්මක සැලසුමකින් යුත් අති සංකීර්ණ විවිධ එමෙන්ම කොටස් නිශ්චිත කාර්යයන් ඉටු කරන ඉතා සුක්ෂම සමායෝජනයකින් යුත් ලෝකයකි.

ඇමයිනෝ අම්ල නිශ්චිත දම්වැලකින් එකිනෙකට බැඳීමෙන් ප්‍රෝටීනයක් සෑදේ. මේ පිළිබඳ විද්වතෙකුගේ මතය විමසා බලමු.

“නමුත් ඇමයිනෝ අම්ල ක්‍රියාකාරී ප්‍රෝටීන බවට පත් වන්නේ ඒවා නිශ්චිත අනුක්‍රමික සැකසුමක් අනුව පිළියෙළ වුවහොත් පමණි. මෙය වාක්‍යයක අක්ෂර නිසි සැකසුමකින් පිළියෙළ වී තිබීම හා සමානය. එනම් ඇමයිනෝ අම්ල පමණක් ප්‍රෝටීන බවට පත් නොවේ. එය හුදු අක්ෂර පමණක් කාව්‍යයක් බවට පත් නොවීම හා සමානය. ඇමයිනෝ අම්ලයන් හි නිශ්චිත අනුක්‍රමික සැකසුම අනුව එහි ක්‍රියාකාරිත්වය හෝ අක්‍රියත්වය තීන්දු වේ. ප්‍රෝටීනයන් හි හා ඩී. එන්. ඒ. අණුවේ අනුක්‍රමික සැකසුමේ මූලාරම්භය විග්‍රහ කිරීම වර්තමාන භෞතිකවාදී පරිණාමවාද චින්තනයේ බරපතළ අර්බුදයක් ඇති කොට ඇත”. (Stephen C. Meyer, ‘DNA and other Designs’ Page 9).

ඩාවින්ගේ ග්‍රන්ථයේ  කොතැනක හෝ  ජීවයේ සම්භවය පිළිබඳ ව කිසිඳු සටහනක් නොමැත. ඔහුගේ යුගයේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරල එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ  නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයා ගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිළිනොගන්නා වූ පරිණාමවාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව සෛලය ස්වභාවික තත්ත්වයක්  තුළ කිසිම සැලැස්මක් හා සැකසුමකින් තොරව අහඹුවකින් ඇති වු බවයි. ඩී.එන්.ඒ.(DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබඳ ව විද්‍යාත්මක සිද්ධාන්තයක් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබුණු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳ ව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වෙයි. මිනිසාට සිතා බලන්නටවත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක එක් වරම අහම්බෙන් කෙසේ බිහිවුයේ ද නැතිනම් බිහිවිය හැක්කේ ද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිලි  කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත. මිනිස් ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු  වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළහොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට තරම් ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර්නිර්මාණය කිරීම සදහා අත්‍යවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේ ද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළ හැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකව ම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැලසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේ දී පිළිගැනීමට සිදු වි ඇත.

පරිණාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අණුවේ ව්‍යුහය පිළිබඳ අදහස් කිහිපයක් කෙටියෙන් සඳහන් කළෙමු. ඒ පිළිබඳ ව තවදුරටත් විස්තරාත්මක ව  සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳ ව අර්ථවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අණුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත. ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් ‍නම් වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්ත ව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියලු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙම සංකේත භාෂාවේ අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් 900 ක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැන ගත හැකි බව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය.

ජාන විද්‍යාඥයින්  DNA අණුවේ ඇති සංකේත භාෂාවේ අන්තර්ගත තොරතුරු ව්‍යවහාර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිලි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු සම්භාරයක් ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළු ව සියලු භාෂාවන්ට එය අර්ථවත් භාෂාවක් වීමට නම් එහි අඩංගු විය යුතු  අනිවාර්ය කොටස් හතරක් ඇත. ඒවා නම් අක්ෂර, ව්‍යාකරණ, පද සංයෝජනය (syntax), හා අර්ථය යන කරුණුය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි  වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ එය භාෂාවක් වන අතර  එහි භාෂාවක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතු වන තර්කානුකුල හා යථාර්ථවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්ත ව දක්වා ඇත්තෙමු.

       යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුළ තිබිය යුතුය. අදහසක් චින්තනය තුළ නොමැතිව කිසිවක් සැලසුමක් හා බුද්ධිමය පදනමකින් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙසේ චේතාන්චිත ව ක්‍රියා කළ හැකි වන්නේ බුද්ධිමය ශක්තියකට පමණි.

       සියලුම භාෂාවන් උත්පාදනය වන්නේ  මනස හා චින්තනය පදනම් කරගෙනය.

       මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිදු භාෂාවක් නොමැත.

       DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කර ගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.

       එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ චේතාන්චිත ලෙස මනස හා චින්තනය උපයෝගී කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාව ගැන සැලකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල් වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතුය.

       DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අණුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.

       එමනිසා DNA අණුව අහම්බෙන් බිහි වුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය  වුවක් බව අපට පිළිගන්නට සිදු වේ.

       එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘගේ බවත්  අපට පිළිගන්නට සිදුවනවා නොවේ ද? කරුණාකර ඔබගේ බුද්ධිමය විචාරය අනුව මේ පිළිබඳ නිගමනයකට එන ලෙස ඉතා  කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.

පරිණාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නා වු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට  ඉතා සරල ව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිණාමවාදයේ අවිද්‍යාත්මකභාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

පොසිල වාර්තා

විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර  ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිණාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳ වී ගිය සතුන්ගේ පොසිල හමු වී  ඇති අතර එය එසේ වීමට හේතුව කිසිසේත්ම පරිණාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිණාමවාදීන් මේ පිළිබද ව ඉදිරිපත් කරන කරුණු ද පරිණාමවාදයේ මුලික  පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු  පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිණාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන් ව හැඩ ගස්වා ගෙන  අදත් පවතින්නට ඇති හැකියාවක්  සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්දැයි විග්‍රහ කිරීමට පරිණාමවාදය අපොහොසත් වි ඇත. අනිත් අතින් අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමු වු පොසිල හා වත්මන් එම සත්තවයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයා ගැනිමේ තවත් ප්‍රතිඵලයකි. මෙම තොරතුරු කිසිසේත්ම  පරිණාමවාදය හා සැස‍ඳෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිතභාවය මෙයින් ඉතා පැහැදිළි ව හෙළිදරව් වෙයි.

ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පාෂාණීය ධාතු විද්‍යාඥ ආචාර්ය කොලින් පැටර්සන් විසින් පොසිල ප්‍රශ්නය (Fossil Problem) පිළිබඳ ව සංක්ෂිප්ත ව පැහැදිලි කරමින් එල්. සන්ඩර්ලන්ඩ් නැමැත්තෙකුට යැවූ ලිපියේ පහහ සඳහන් අයුරින් සඳහන් වේ.

“මගේ ග්‍රන්ථයේ පරිණාමවාදී සංක්‍රාන්තියක් නිරූපණය කොට නොමැති බව පවසන ඔබගේ මතය සමග එකඟ වෙමි. පොසිල හෝ ජීවත් වන සතුන්ගෙන් එවන් නිදසුනක් ඇත්නම් නියත වශයෙන්ම එය ඇතුළත් කරන්නට කටයුතු කරන්නට තිබුණි. ස්ථීර වශයෙන්ම එවන් මතයක් ස්ථාපිත කළ හැකි කිසිදු පොසිල වාර්තාවක් නොමැත”.

1920 දී බටහිර නෙබ්‍රස්කාහිදී කැණීම් තුළින් තනි දතක් සොයා ගන්නා ලදී. බොහෝ විද්‍යාඥයින් පරිණාමවාදයේ අඩු ව තිබූ පුරුක (Missing Link) සොයා ගත් බව උදම් අනන්නට වූහ. මෙය පරිණාමවාදය ලත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ද හඳුන්වා දෙන ලදී. මෙයට හේතුව මෙම දත සොයා ගත් ප්‍රදේශයේ ඉතා පෞරාණික මිනිස් චිත්‍ර සොයා ගත් අතර මෙම දත හිමි පුද්ගලයාව “නෙබ්‍රස්කා මිනිසා” යනුවෙන් හඳුන්වන ලදී. මෙම සොයා ගැනීමෙන් අවුරුදු පහකට පසු ගොවියෙකුගෙන් මේ පිළිබඳ ව විමසූ විට ඔහු කිසිදු පැකිළීමකින් තොරව එය ඌරෙකුගෙ දතක් බව පවසා සිටියේය. එම ප්‍රදේශයේ කරන ලද කැණීම් මගින් ඌරෙකුගේ යැයි පිළිගත හැකි ඇටසැකිලි හමු වී ඇත. පරිණාමවාදයේ අත්තිවාරම හැදී ඇත්තේ මෙවන් ක්‍ෂණික අයුරින් දිය වී යන කුලුනු මත බව පැවසීම කෙතරම් නිරවද්‍ය ද යන්න දැනටමත් ඔබට පැහැදිලි වී ඇතැයි විශ්වාස කරන්නෙමු.

පරිණාමවාදයේ අඩු පුරුක් සම්පුර්ණ කිරීමට මෙන් ම එය විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස වරින් වර පරිණාමවාදීන් විසින් විවිධ උත්සාහයන් දරා ඇත. මේ සියල්ල සවිස්තරාත්මක ව ඉදිරිපත් කිරීම මෙම ලිපියේ විෂය පථය ඉක්මවා යෑමක් හෙයින් ඇතැම් කරුණු පිළිබඳ කෙටියෙන් අදහස් දක්වන්නට අපේක්ෂා කරන්නෙමු. වරෙක පොසිල සාක්ෂි අනුව ඔර්ස් මිනිසා (Orce Man) යනුවෙන් සාක්ෂියක් ඉදිරිපත් කරන ලදී. වැඩිකල් නොගොස් එම පොසිල සාක්ෂිය බූරුවෙකුගේ හිස් කබලක් බව හෙළිදරවු විය. නැවත වරක් රාමපිතිකස් මිනිසා (Ramapithecus Man) යනුවෙන් එක් පොසිල සාක්ෂියක් පදනම් කර ගනිමින් විශාල හඬක් මතු විය. අවාසනාවට එම සොයා ගත් පොසිල සාක්ෂිය බැබූන් නම් වානර ප්‍රභේදයකගේ හිස්කබලක් බව  පසු ව දැනගන්නට ලැබිණි. පිල්ට්ඩව්න් මිනිසා  (Piltdown Man) පිළිබඳ පොසිල සාක්ෂිය මිත්‍යා ප්‍රබන්ධයක් බව පසුව හෙළිදරවු විය. නියන්ඩර්තාල් මිනිසා පිළිබඳ  (Neanderthal Man) පොසිල වාර්තාව රිකෙට්ස් (Rickets) නම් රෝගයෙන් පෙළුණු අයෙකුගේ ඇද වූ පා ඇට කටුවක් බව පසුව හෙළි විය. මෙම කරුණු දෙස බලන විට පරිණාමවාදීන් කෙතරම් දුෂ්කර හා අසරණ තත්ත්වයකට පත් වී ඇත්තේ දැයි ඔබට අවබෝධ වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“වර්ෂ මිලියන පහක් පැරණි ඇට කටුවක් මිනිසෙක් වැනි සතෙකුගේ උරහිස් ඇටය ලෙස සිතුව ද පසුව එය ඩොල්ෆින් මාළුවෙකුගේ ඉළ ඇටයේ කොටසක් බව සොයා ගන්නා ලදී. බොහෝ මානව විද්‍යාඥයින්ගේ ප්‍රශ්නයක් බවට පත් ව ඇත්තේ පැරණි ඇටකටු කැබැල්ලක් ලැබුණු විගස එය මානවයෙකුගේ යැයි සොයා බලන්නට දරන වෙහෙසයි”. (Dr. Tim White, Anthropologist, University of California, ‘New Scientist’ April 28, 1983, Page 199)

“පරිණාමවාදය බොහෝ විද්‍යාඥයින් අතරේ ‘විද්‍යා දහමක්’ බවට පත් ව ඇත. මෙයින් බොහෝ විද්‍යාඥයින් තමන්ගේ නිවැරදි නිරීක්ෂණයන් පවා පරිණාමවාදයට අනුකූලත්වයක් ඇති වන ආකාරයට වෙනස් කරන්නට ද කටයුතු කරති”. (H. S. Lipson, Professor of Physics, University of Manchester, UK. ‘A Physicist Looks at Evolution’ ‘Physics Bulletin’ Vol. 31, 1980, Page 138))

ඉස්ලාමයේ විවේචකයන් බහුතරයක් ඉස්ලාමයට එරෙහි ව ඉදිරිපත් කරණ ප්‍රධාන තර්කය නම් පරිණාමවාදයයි. නමුත් විචාර බුද්ධිය උපයෝගී කර ගෙන විමසුමක යෙදෙන විට අපට ඉතා පැහැදිලි ලෙස ම පෙනීයන සත්‍යය නම් විවේචනයේ සාධකයන් දෙපා මත සිටුවා තැබීමට තරම් ශක්තියක් ඇති ඒවා නොවන බවය. ඒවා හුදෙක් වැලි මත සෑදු සෙල්ලම් මාලිගා බවට පත්වන්නේ ‘සත්‍යය’ සදා ජයග්‍රාහී ය යන මතය තහවුරු කරමිණි.

අප මෙතෙක් කරුණු ඉදිරිපත් කළේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය උපයෝගී කර ගෙන විශ්වයේ හා මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව විචාරශීලී විමසුමක යෙදෙන්නටය. සතුන්ට විචාර බුද්ධිය නොමැති වුවත් ඔවුන්ගේ නිර්මාණයේ විචිත්‍රභාවය හා ඔවුන්ට ජන්මයෙන් ලැබි ඇති ඥානය ගැන කරුණු සොයා බැලීමේදි ඉතා මවිත කර කරුණු රාශියක් අපට දැනගන්නට ලැබේ. මෙම තොරතුරු වලින් කොටසක් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නෙමු. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ සතුන්ගේ නිර්මාණය පිටුපසින් සර්වඥානි නිර්මාතෘවරයෙකුගේ අදහාගත නොහැකි අලංකාර හා අර්ථවත් සැලසුමක් ඇති බව පෙන්වීමය. අප විවිධ නියාම ගැන කථා කළත් මෙම සියලු නියාම අබිබවා යන විශ්වයේ හා එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘගේ විශ්ව නියාමයක් ඇති බවත් එය පමණක්ම සදා ක්‍රියාත්මක ව පවතින බවත් මෙම සාකච්ඡාව තුළින් අපට අවබෝධ කර ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.

දිගම බෙල්ල සහිත ජිරාෆ්

සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ් ට බව  පිළිගත් සත්‍යයකි. ජිරාෆ්ගේ දිග බෙල්ල අග ඇති මොළයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාට ජීවත් වීමේ හැකියාව නැති වී යයි. තම හෘදය වස්තුවෙන් විශාල උසක පිහිටි හිසට රුධිරය නිසි ලෙස පොම්ප කිරීමට නම් අධි පීඩනයකින් එය සිදු විය යුතු වෙයි.  නමුත් දිය බීම වැනි කටයුතු වලට ජිරාෆ්ට තම හිස පහතට ගෙන ආයුතු ම ය. මෙසේ හිස පහතට ගෙන  ඒමේදි  හිස උසින් තිබු  අවස්ථාවේ  තිබු අධි පිඩනයෙන්ම  මොළයට පොම්ප කිරිමක් සිදු වුවහොත් හිසේ නහර  පුපුරා යෑමෙන් මෙම සතාට මිය යාමට ඇති සම්භාවිතාව ඉතා අධිකය. එනමුත් ජිරාෆ්ට එවැන්නක් සිදු නොවන්නේ හිස පහතට ගෙන ඒමත් සමගම බෙල්ලේ පිහිටා ඇති කපාට (වෑල් ව) නිරායාසයෙන්  වැසි ගොස් හිසට ගලා යන රුධිරයේ පිඩනය හා ප්‍රමාණය පාලනය වන හෙයිනි. හිස උසින් පිහිටි විට අධි පිඩනයෙන් ලේ පොම්ප කිරීම හා පහතට හිස ගෙන ඒමේදී එය පාලනය කරන ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් නොමැති ව ජිරාෆ්ට ජිවත් විය හැකි තත්ත්වයක් නොමැත. මෙම සැලසුම් ඉබේ හෝ  ක්‍රමක්‍රමයෙන් ජිවත් වන පරිසරයට හැඩ ගැසීමක් තුළින් වර්ධනය විය හැකි දෙයක් නොවේ. ජිරාෆ් මිහිතලය මතට බිහිවු දා පටන් මෙම සැලසුම අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධකයක් වෙයි. ඒසේ නොවුණා නම් ජිරාෆ් බිහි වු දිනම ඉහත හේතුන්  නිසා මරණයට  පත් වි තිබිය යුතුය. ජිරාෆ්ගේ නිර්මාතෘ නිසැකවම සර්වඥානි විය යුතු බවට මෙම සාධකයම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

මත්ස්‍යයින්

පරිණාමවාදයට බරපතළ අභියෝග ඉදිරිපත් කරන උදාහාරණ රාශියක් මත්ස්‍ය ලෝකයෙන් ගෙන හැර දැක්විය හැක. එයින් උදාහරණ තුනක් පමණක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු. දනිළා (Angler Fish) විදින මාළුවා (Archer Fish)  හා (Anableps) යන මාළු වර්ග තුනම වචනානුසාරයෙන් ම පරිණාමවාදයට එරෙහි දිශාවටම පිහිනා යමින් පරිණාමවාදීන් ව අන්ත අසරණත්වයට පත් කරති.

දනිළා (Angler Fish)

මෙම මාළුවාගේ ගැහැනු සතාගේ නාස් ප්‍රදේශයෙන් කෙන්දක් වැනි ඇමක් දක්නට ඇත. මෙම ඇම මගින් අනෙකුත් මත්ස්‍යයින් තමන් වෙත ආකර්ෂණය කොට ගිල දැමීමට කටයුතු කරයි. මෙම වර්ගයේ පිරිමි සතාට ඇමක් ලෙස ක්‍රියා කරන මෙම කෙන්ද නොමැත්තේ උන් කිසි දිනක ආහාර අනුභව නොකරන හේතුවෙනි. මෙම පිරිමි මාළුවාට පෝෂණය ලැබෙන්නේ ගැහැනු සතාට තමා ව අලවා ගැනීමෙන් මාළු වර්ග දෙකේම රුධිර පද්ධති ඒකාබද්ධ කර ගැනීමෙනි. පරිසරය අනුව වෙනස් වෙමින් පියවරෙන් පියවර වර්ධනය වීමක් මෙම මත්ස්‍ය වර්ගයා සම්බන්ධ ව කිසිසේත්ම සිදු විය නොහැක. පරිණාමවාදී විශාරදයිනි, කරුණාකර ඔබේ කෝණයෙන් මෙම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ විග්‍රහයක් ලබා දෙන්න.

විදින මාළුවා (Archer Fish)

මෙම මත්ස්‍ය වර්ගයට ජලයට ඉහළින් ඇති කුඩා සතුන් වෙත ජලය විදීමෙන් උන් ව ජලය මතට වට්ටවා ගැනීමේ හැකියාව ඇත. ආලෝකය ජලය තුළට ගමන් කිරීමේ දී එය ඇද වී වර්තනයක් ඇති කරවයි. මෙම තත්ත්වය තුළ සිට ජලයෙන් පිටත ඇති ඉලක්කයකට නිවැරදි ව විදීම ඉතාම අපහසු කාර්යයකි. නමුත් මෙම මත්ස්‍යයාට ආලෝකයේ වර්තන කෝණය නිවැරදි ලෙස අවබෝධ කර ගෙන නිශ්චිත ඉලක්කයට විදීමට සහජයෙන් ම හැකියාව ලැබී තිබේ. මෙය පරිණාමවාදී චින්තනය කෙසේ විග්‍රහ කරන්නේ දැයි අසන්නට කැමැත්තෙමු. සෑම සතෙකුටම තම පරිසරයේ අභියෝග ජය ගනිමින් ජීවිතය පවත්වා ගෙන යාමට හැකියාව හා ඥානය ලබා දිය හැක්කේ සර්වඥානී නිර්මාතෘ කෙනෙකුට පමණි.

Anableps

මෙම මත්ස්‍ය වර්ගය සිංහලෙන් හඳුන්වන නම සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එහි ඉංග්‍රීසි නම පමණක් යොදා ගත්තෙමු. මෙම මත්ස්‍ය වර්ගයට ඇති දෑස් අතිශයින් මවිතකරය. ජලය මත සිට දෑසේ අඩකින් ජලයෙන් මතුපිට දකින්නටත් අනිත් කොටසෙන් ජලය තුළ ඇති දෑ දකින්නටත් මෙම මාළුවාට හැකියාව ඇත. බොහෝ ජීව විද්‍යාඥයින් මෙම මත්ස්‍යා ට ඇස්  හතරක්  ඇති බව සඳහන් කරති. සැබැවින්ම මෙම මත්ස්‍ය වර්ගයේ ඇස් කොටස් දෙකකට බෙදී සැකසී ඇති අතර මෙය කෙලෙස නම් අනුක්‍රමික පරිණාමයකින් බිහි විය හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.

ඔටුවා

සත්ව ලෝකයේ එක් විස්මිත නිර්මාණයකි ඔටුවා. කාන්තාරයේ උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 50 ඉක්මවන තත්ත්වයේ අවම වශයෙන් දින අටක් පමණ ජලය හා ආහාර නොමැතිව ජීවිතය රැක ගැනීමට ඔටුවාට හැකියාව ඇත. ජලය ලීටර 130 ක් හා ආහාර කි. ග්‍රෑම්. 30 සිට 50 අතර ප්‍රමාණයක් දිනකට ගැනීමේ හැකියාව ද ඌට ඇත. කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන අයුරින් හිස, නාස් පුඩු, දෙකන්, කාන්තාරයේ තද උණුසුමට මෙන්ම ශීත සෘතුවේ තද සීතලට ඔරොත්තු දිය හැකි ලෙසට සැකසුනු සම සහ ඒ මත වැඩුණු රෝම, මොල්ලිය, පාද, විශේෂයෙන්ම කුර හා දණහිස් පෙදෙස් සකස් වී ඇති ආකාරය සැබැවින්ම මවිතකරය. මෙම මවිතකර සැකසුම අනුක්‍රමික ව පරිසරයට හැඩගැසීමේ පරිණාමවාදී සංකල්පය අනුව කිසිසේත්ම සිදු විය නොහැක්කක් බවට පත් වී ඇත්තේ දැනට ඇති ඔටුවාගේ පිහිටීමේ කිසිම අඩුවක් සහිතව කාන්තාරයේ කටුක පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ඌට කෙලෙසවත් නොමැති හේතුවෙනි. ඔටුවා දැනට ඇති පරිපුර්ණත්වය සහිතවම මිහිතලය මත විශ්ව නිර්මාතෘ විසින් නිර්මාණය කර ඇති බව මෙයින් සනාථ වන සත්‍යයකි.

මුහුදු කැස්බෑවා

(Ref: Encyclopedia of Animals –Maurice Burton –C.B.P.C. Publishing House)

මුහුදේ ජිවත් වන මුහුදු කැස්බෑවා බිත්තර දමන සමය ළං වු විගස සමූහයක් ලෙසින් වෙරළට පැමිණෙති. මෙය සාමාන්‍ය වෙරළක් නොවේ. මෙය මෙහි එක් වන සියලුම කැස්බෑවුන් දැනට අවුරුදු 20-25 කාලයකට පෙර  මෙළොව එළිය දුටු වෙරළයි. ඔවුන් මෙතරම් දිර්ඝ කාලයක් මුහුදේ ජිවත් වෙමින් කි.මි. 1000 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදේ සැරිසරා මාලිමාවක් හෝ අන් කිසිදු උපකරණයක මග පෙන්වීමකින් තොරව තමන් මෙළොව එළිය දුටු වෙරළම සොයා ඒම සැබැවින්ම ආශ්චර්යජනක සිද්ධියකි. එම වෙරළේ සාමුහික ව ගැඹුරු වළවල් හාරා බිත්තර දමා එම වළවල් වසා නැවතත් මුහුදේ තමන්ට හුරු ජිවිතය කරා ඔවුන් යති. බිත්තර මෝරා කටුවෙන් එළියට එන කැස්බෑ පැටවුන්ට තනියෙන් තමන්ට ඉහළින් ඇති වැලි ප්‍රමාණය ඉවත් කර ගෙන එළියට ඒමට නොහැක. ඔවුන් එක් තැනක බිත්තර පුපුරා එළියට එන හෙයින් ඔවුන් තමන්ට ඉහළින් ඇති වැලි තල්ලු කර ගෙන ඒමට සාමුහික ප්‍රයන්තයක යෙදෙති.

ඉහළට ආවේ දවල් කාලයේ  හිරු රස්නය වැඩියෙන් ඇති අවස්ථාවේ නම් ඔවුන්  අවසාන වැලි තට්ටුව තල්ලු නොකර අඳුර වැටෙන තෙක්  එතැනම රැදි සිටිති. අව්රශ්මිය වැඩි දවල් කාලයේ  ඔවුන් වෙරළ මතු පිටට පැමිණියා නම් අනතුරු කිහිපයකට ඔවුන්ට මුහුණ පාන්නට සිදු වෙයි. රත් වී ඇති වැල්ලෙන් ඔවුන්ට හානි සිදු විය හැක. අනිත් අතින් දවල් එළියත් සමග ඔවුන් ඉතාමත් පහසුවෙන් ගොදුරු සොයන සතුන්ගේ පහසු ගොදුරක් බවට පත්වන්නට ඉඩ ඇත. බිත්තරයෙන් මොහොතකට පෙර එළියට ආ කැස්බෑ පැටවුන් ට මෙම කරුණු කාරණා  පිළිබඳ ව පුර්ව දැනුමක්  තිබිය නොහැක. නමුත් ඔවුන් හැසිරෙන ආකාරය  දෙස සිතා බලන විට නිශ්චිත වශයෙන්ම ඔවුන්ට මෙවැනි අනතුරු  පිළිබඳ ව පුර්ව දැනුමක් ඇති බව ඉතාම පහසුවෙන් නිගමනය කළ හැක. පෙර පුහුණුවකින් හෝ පුර්වාදර්ශයකින් හෝ තොරව ජන්මයෙන් තමන්ගේ මිහිපිට පැවැත්මේ බාධක මැඩ ගෙන ජිවත් වන්නට මෙම දැනුම ලබා දුන් සර්වඥානි අයෙක් අනිවාර්යයෙන්ම  සිටිය යුතුය. එය එම සත්ත්වයාගේ  නිර්මාතෘ හැර  අන් කවරෙක් නම්  විය හැකි ද? ස්වභාව ධර්මය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය දෙස විචාරාත්මක ව අපගේ  නිරික්ෂණය යොමු කරන විට පෙනී යන මහඟු සත්‍යයක් තිබේ. ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක් ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේ ද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක් ව පවතී. අප මෙම ලිපියේම සඳහන් කොට ඇති පරිදි ස්වභාව ධර්මය යනු ඵලය මිස හේතුව නොවන බව අවබෝධ කර ගත යුතු ව ඇත.

වේයා

වේ තුඹස ඇතුළත සැලස්ම දෙස ඔබ අවධානය යොමු කළහොත්  නියත වශයෙන්ම මවිතයෙනුත් මවිතයට පත් වනු ඇත. එහි අභ්‍යන්තර සැලැස්ම නුතන ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂණය ද පරදවන්නකි. මෙම වේ තුඹස ගොඩ නගා ඇත්තේ ගබඩා කාමර, රෝගී සතුන්ගේ කාමර, වාතාශ්‍රය හා හිරු එළිය ලබා දීම සඳහා විවරයන්, විවිධ කොටස් යා කරන සැලසුම් සහගත මාර්ගයන් සහ අනතුරක දී පිටවීම සඳහා හදිසි පිටවීමේ දොරටු ආදිය ඇතුළු ව තවත් සුවිශේෂී අංග කිහිපයකින් යුක්ත‍වය. මෙහි හැඩය ගොඩ නගා ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පයේ නිපුණ බවේ පරිපුර්ණතාව ඇතිවය.  මෙම වේ තුඹසේ නිර්මාණකරුවන් වු වේයන් අන්ධයන් බව ඇසුවහොත් ඔබට එය අදහා ගැනීමට අසීරු කරුණක් විය හැක. අන්ධ වේයන්ට මෙම නිපුණතාව ලබා දුන්නේ කවරෙක් ද?

මෙලෙස මිනිසා තමා ගැනත් තමා අවට පරිසරය ගැනත් මොහොතක් සිතා බැලුවහොත් මේ සියල්ල පිටුපස එක්තරා නිශ්චිත සැලසුම් සහගත නියාමයක් ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. සර්වඥානි සැලසුම්කරුවෙක් නොමැති ව මෙම අලංකාර සැලසුම් හා නියාමයන් ක්‍රියාත්මක විය හැකි ද? මෙය සැකයෙන් තොරව  අවබෝධ කර ගතහොත් විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කොට පාලනය කරන පරම අධිපති බලයක් ඇති බව ඔබට නිශ්චිත වශයෙන්ම පිළිගැනීමට හැකි වනු ඇත. මෙම සත්‍යයන් සියල්ල අවබෝධ කර ගැනීමට ඇති මග පිළිබඳ විමසුමක යෙදෙන්නට අපේක්ෂා කරන්නෙමු.

(මතු සම්බන්ධයි)

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.