කාලයේ වටිනාකම (The Value of time)

කෙනෙකුට අහිමිවු ධනය නැවතත් උපයාගත හැකි ය. එහෙත් ගෙවීගියකාලය නැවත ලබාගැනීම නම් සිහිනයකි. මෙය හොඳින් තේරුම් ගන්නා අය කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇත. එය තේරුම් නොගන්නා අය යම් දවසක දුකට පත් වනු ඇත. එසේම දහමින් තොර ජිවිතයක් ගත කරන තැනැත්තා ද යම් දවසක දුකට පත් වීමට නියමිතය. එය මෙලොවදී විය හැකිය. නැතහොත් මතු ජීවිතයේදී විය හැකිය.
ඇතැම් අය අසීමිත ලෙස ධනය හම්බ කලත් සැනසීමට පත්වන්නේ නැත. ඇයිද යත් ධනය තුල නියම සැනසීම නොමැති නිසාය. නියම සැනසීම ඇත්තේ දෙවියන්ගේ මග පෙන්වීම තුලය. මෙය තේරුම් නොගෙන ජිවත් වන්නේ නම් යම් දවසක පසුතැවිලි වීමට සිදු වනු ඇත. තවද සමහරු ධනය තිබුනත් බලය තිබුනත් සිය දිවි හානිකර ගන්නේ  නිවැරදි දහම තුල නැති නිසා ය.

මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ යම් අරමුණක් ඉටු කිරීම සඳහාය. එය දැනගැනීමට නම් නිවැරදි දහමක් අවශ්‍ය ය. එහෙත් බොහෝ අය දහම හැදෑරීමට වඩා වැඩි වෙහෙසක් ගන්නේ ලෞකික දේවල් වලටය. දෙමව්පියන්ගේ බලවත් උවමනාව වන්නේද දරුවන්ට උසස්ම ලෞකික අධ්‍යාපනය ලබා දීමය. මේ නිසා පාසැල් හැර එන ළමයින්ව නැවතත් අමතර උපකාරක පන්ති වලට යවන්නේය. එහෙත් දහම් අධ්‍යාපනය සඳහා මෙම උවමනාව කිසිසේත්ම ඔවුන්ට නැත.

දහම් අධ්‍යාපනයක් නොමැති ළමුන්ගේ අමතර කාලය වැඩියෙන්ම ගත වන්නේ යහළු මිතුරන් සමහ ගත කිරීමටය. නැතහොත් අන්තර් ජාලයේ සැරිසැරීමටය. අන්තර් ජාලයේ හොඳ මෙන්ම නරකත් ඇත. දහම නැති අය ඉන් කුමක් තෝරා ගන්නේදැයි සිතා බැලිය යුතුය. මේ නිසා ළමයින් නොමග යාමට පෙර නිවැරදි මාර්ගය පෙන්වා දීම දෙමව්පියන්ගේ යුතුකමකි.

දහම් අධ්‍යාපනය ලබා නොදීමේ ප්‍රතිපල අපි අත්විඳිමින් සිටින්නෙමු. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය තම දෙමව්පියන්ව මහලුමඩම් වලට යවති. ඇතැම් අය දෙමව්පියන්ව බලු කුඩුවේ දැමීමට තරම් කෲර වෙති. ඇතැම් අය වයසක දෙමව්පියන්ව තමාගේ මව යැයි කීමට හෝ පියා යැයි කීමට ලජ්ජා වෙති. මෙම ඛේදනීය තත්වයට හේතුව දෙමව්පියන්ම බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුඩා කාලයේ සිටම දරුවන්ට නිසි ආගමික අධ්‍යාපනය නොදීමේ විපාක ඔවුන්ටම අත්විඳීමට ලැබීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.

මිනිසා කොපමණ වස්තුව හම්බ කලත් මරණයත් සමග තමන් කළ පින් හෝ පව් පමණක් රැගෙන හිස් අතින් අවසන් ගමන යා යුතුය. එම මොහොත උදාවූ පසු කිසිවෙකුට නැවත ජිවත් වීමට වරමක් නොලැබෙන්නේය. මේ නිසා ලැබී ඇති අවස්ත්වෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. කාලයේ ඇති වැදගත් කම නිසාම අල්-කුරානයේ කාලය මත දිව්රා මෙසේ පවසා ඇත.

“කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය” (කුරානය 103).

ඉහත දැක්වෙන කුර්ආන් ජේදයට අනුව දෙවියන්ව විශ්වාස නොකරන අය, යහකම් නොකරන අය, එකිනෙකාට අවවාද අනුසාසනා නොකරන අය සහ ඉවසීම නොමැති අය ජිවිතයේ පාඩුවක්ම ලබන්නෝය.මෙම ජේදයේ මුලින්ම සඳහන් වන්නේ විශ්වාසය ගැනය. එහෙත් බොහෝ අයට දෙවියන් යන්නෙහි අර්ථදැක්වීම පවා දන්නේ නැත. ඔවුන් සිතන්නේ සැම දෙයක්ම ඉබේ සිදු වන බවයි. නැතහොත් ස්වභාවදර්මය අනුව සිදු වන බවයි. එසේ කීවත් ස්වභාවදර්මය යනු කුමක්දැයි බොහෝ අය දන්නේ නැත. එබැවින් එය අර්ථදැක්වීමකට පමණක් සිමා වන්නේය. දෙවියන් ගැන නිවැරදි විශ්වාසය නොමැතිව කුමක් කලත් විමුක්තියක් ලැබිය නොහැකිය. එබැවින් ජීවිතය ජයගැනීමට නම් ඉහත කුර්ආන් ජේදයට අනුව දෙවියන් ගැන නිවැරදිව දැනගැනීම අත්‍යාවශ්‍ය වේ.

මිනිසා විසින් යහකම් යැයි සිතාගෙන බොහෝ දේවල් සිදු කරති. එහෙත් අපට උවමනා දේවල් කිරීමෙන් ඒවා දෙවියන් අනුමත කරනවාදැයි කිව නොහැකිය. එබැවින් යහකම් කළ යුත්තේ දෙවියන්ගේ නියෝග පිළිපදිමින් ඔහුගේ නියෝජිතයා පෙන්වා දුන් ආකාරයට පමණි. මේ නිසා දහම් දැනුම එකිනෙකා අතර නිවැරදි ලෙස හුවමාරු විය යුතුය. එසේ කිරීමේදී මත බේද ඇතිවීම වැළැක්විය නොහැකි කරුණකි. ඇයිද යත් සියල්ලෝම සිතාගෙන ඉන්නේ ඔවුන් නිවැරදි කියා ය. එබැවින් එම මතය වෙනස් කිරීම පහසු කාර්යයක් නොවේ. මෙවැනි අවස්ථාවලදී වාද විවාද සිදු විය හැකිය. ඒවා ඉවසා ගැනීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් සත්‍යය දුටු පසු එය පිලි නොගෙන සිටීම මුග්ධ කමකි.

මිනිසාගේ ලෞකික ජීවිතය මරණයෙන් පසු ජීවිතය සමග සැසඳීමේදී ඇස්පිය ගහන තරම් කෙටි කාලයකි. එබැවින් බුද්ධිමතුන් ලෞකික ජීවිතය තුලදී මරණයෙන් පසු ජීවිතය ජය ගැනීම සඳහා කටයුතු කළ යුතුය. නැතහොත් මෙලොව ජීවිතයේදී පමණක් නොව මතු ජීවිතයේදී ද විශාල පාඩුවක් විඳීමට සිදු වනු ඇත.

By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

One comment

Leave a Reply

Your email address will not be published.