දෙවිඳුන් විශ්වය මිනිසා-13

මිනිසාගේ දහම

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු. එය කිසිසේත්ම සුදුසු හා විද්‍යාත්මක පිළිවෙතක් නොවන බව අපගේ මතයයි. මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳ ව අවධානය යොමු නොකොට තිබෙන දහම ඔහුට සුදුසු යැයි තීන්දු කිරීම කිසිසේත්ම සාධාරණීය පිළිවෙතක් ලෙස පිළිගැනීම අනුමත කළ හැක්කේ කා හටද? එහෙයින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳ ව කරුණු විමසා එම තත්ත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳ ව සාකච්ඡා කරමු.

සත්ව ලෝකයේ සාමාජිකයෙකු වන මිනිසාට පමණක් දහමක අවශ්‍යතාව මතු වී ඇත්තේ කුමන හේතුන් නිසා ද? එහෙයින් මිනිසා ව අවබෝධ කර ගැනීම පිණිස මිනිසාගේ හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර ඇති මුලික වෙනස්කම් කිහිපයක් පිළිබඳ ව පළමු ව විමසා බලමු. එළදෙනක් තම පැටියා ලොවට බිහි කළ විගස මිහිතලයට එකතු වන මෙම නව ජීවියාගේ ක්‍ෂණික අවශ්‍යතාව වන්නේ කුසගින්න හා පිපාසය සංසිඳුවා ගැනීමය. මෙම අවශ්‍යතාව ඉටු කර ගන්නා ආකාරය හෝ ඉටු කර ගත හැකි ස්ථානය පිළිබඳ ව දැනුවත් කිරීමක් එළදෙන විසින් තම පැටියාට ලබා දෙන්නේ නැත. මිනිත්තු කිහිපයකට පෙර දක්වා එළදෙනගේ ගර්භාෂයේ සිටි මෙම පැටියා ඉන් පිට ව ආ පසු තම ජීවිතයේ නව පරිසරයට අනුව ජීවිතය සකස් කර ගන්නට දැනුම ලබා ගන්නේ කුමන මාර්ගයකින් ද? කිසිවෙකුගේ මගපෙන්වීමකින් තොරව තම ආහාරය තිබෙන තැන හොඳින් දන්නෙකු ලෙස වැස්සිගෙන් කිරි උරා බොන්නට මෙම නව ජීවියා කටයුතු කිරීම සැබැවින්ම මවිත කර නොවන්නේ ද? කරුණාකර සිතා බලන්න.

මනුෂ්‍ය දරුවෙකු ලොවට බිහි වූ විට මෙලෙස ක්‍රියා කිරීමේ හැකියාව එම දරුවාට තිබේ ද? අලුත උපන් දරුවෙකුගේ අසරණභාවය අප සැම හොඳින් දන්නා කරුණකි. මවගේ ආදරය, සෙනෙහස, කරුණාව නොලැබුණා නම් දින දෙකකට වඩා ජීවත් වීමේ වාසනාව මෙම දරුවාට නොලැබී යනු ඇත. මෙම සාධක නිරීක්ෂණය කිරීම මත අපට එළඹිය හැකි නිගමනයන් කුමක් ද? සත්ව ලෝකයේ සාමාජිකයින් ලොවට බිහි වන්නේ ජීවත් වීම සඳහා වූ පුර්ව ජන්ම සැලැස්මක් සහිත බව අපට එළඹිය හැකි පළමු නිගමනයයි. මේ හේතුව නිසාම සත්වයින්ට මග පෙන්වීමක අවශ්‍යතාවක් මතු වන්නේ නැත. එනිසා උන්ට දහමක හෝ පාලකයින්ගේ අවශ්‍යතාව අදාළ නොවන තත්ත්වයක් පැහැදිලි ව දක්නට ඇත. මනුෂ්‍ය දරුවාගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය. මිනිසාට පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) අවශ්‍ය වන තවත් වැදගත් සාධකයක් දෙස ද අපගේ අවධානය යොමු කරමු.

ලොව සියලු දෑ මූලික වශයෙන් මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම ද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක් ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසා ද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස  ක්‍රියා කරන බව සත්‍යයක් සේ පිළිගැනීමට අපට දුෂ්කරතාවක් තිබේ ද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේ ද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදා ගත හැකි එකක් ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම  සුවිශේෂී වූ ඥානයක් අවශ්‍ය නොවන්නේ ද?

මිනිසා මිහිතලයේ පාලකයා හා භාරකරුය

මිනිසා මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදු වන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළ හැකි සත්‍යයක් බවට පත් ව ඇත. අන් කිසිදු ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ලැබී ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියලු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස් කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක්‌ ගෙන සාකච්ඡා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වෙන් වශයෙන් පදිංචි කොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කිරීමට ගියහොත් දැකිය හැකි තත්ත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේ ද? සතුන් ගෙන ගොස් හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිදු වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍ය වන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්ත ව පරිසරය උපයෝගී කර ගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකි වනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳ ව කටයුතු කළ හැකි ප්‍රමාණයේ සීමා ව එයයි.

නමුත් මිනිසුන් පදිංචි කළ ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුළ මතු වන්නේ කුමන ආකාරයේ චිත්ත රූප ද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත් කළ හැකි  අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේ දැයි සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බවය.

මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බව හා එහි පාලකයා හා භාරකාරයා ලෙස ඔහු ක්‍රියා කරන බව මෙයින් ඉතා පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුණා නම් මිහිතලය මත සිදු වී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස් වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔහුමය (අල්ලාහ්මය) ඔබ ව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (35:39)

මිහිතලයේ පාලකයා හා භාරකරු ලෙස මිනිසා ක්‍රියා කරන බව ඉහත විග්‍රහයෙන් හෙළිදරවු වන සත්‍යයක් බව පිළිගැනීමට කිසිවෙකුට අපහසුතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. මිනිසා හැර අනෙකුත් සතුන්ට මෙම වගකීම පැවරී නොමැති බව ද පැහැදිලි ව පෙනෙන්නට තිබෙන කරුණකි. මිනිසාට පැවරී ඇති මෙම භාරධුර වගකීම නිසි ලෙස ඉටු කිරීමට නම් ඔහුට නිවැරදි මෙන්ම සාධාරණය හා යුක්තිය මත පදනම් වූ යථාර්ථවාදී මගපෙන්වීමක අවශ්‍යතාව මතු වෙනවා නොවේ ද? එය විශ්වීය උපයෝගීතාවකින් යුක්ත වුවක් ද විය යුතුය. මෙම මගපෙන්වීම ඔහු විසින්ම සකසා ගත හැක්කක් ද? එහෙයින් මනුෂ්‍යයාට නිවැරදි මඟපෙන්වීමක අවශ්‍යතාව මෙම කරුණු වලින් ඉතා පැහැදිලි අයුරින් සනාථ වන්නකි.

(මතු සම්බන්ධයි)

www.yayuthumaga.com

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

Leave a Reply

Your email address will not be published.