සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam)

මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ට මෙන්ම ගස් කොටන්වලටත් හානි නොකරන ලෙස ඉස්ලාම් දහමින් උගන්වා ඇත. යුද්ධයකදී පවා ඊට සම්බන්ද නොවන කාත්තාවන්, ළමයින්, මහල්ලන්, සිව්පාවන් ඇතුළු ගස්කොලන් වලට හානි කිරීම ඉස්ලාම් දහමින් තහනම් කොට ඇත.

එක් දිනක් සහාබාවරු (නබිතුමාගේ අනුගාමිකයින්) නබිතුමා සමග ගමනක් ගොස් ඇත. එම ගමනේදී නබිතුමා යම් කාර්‍යයක නිරත වෙමින් සිටින මොහොතේ සහාබාවරු කිරිල්ලියක් උගේ පැටව් දෙදෙනා සමග සිටිනු දැක උගේ පැටව් දෙදෙනා මව් කිරිල්ලිගෙන් උදුරාගෙන තිබේ. මේ නිසා මව් කිරිල්ලී ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. නබිතුමා ආපසු පැමිණි විට මෙම සිද්ධිය දැක “මෙම කිරිල්ලිට වේදනාව ගෙන දෙන මෙම කාර්‍යය කලේ කව්දැයි” විමසා ඇති අතර වහාම උගේ පැටව් නිදහස් කරන මෙන් සහාබා වරුන්ට දන්වා තිබේ (සහිහ් මුස්ලිම්). මේ අනුව පෙනී යන්නේ සතෙකුට හිංසනයක් කිරීම පවා වරදක් බවයි.

ඇතැම් අය විනෝදයට සතුන්ට හිංසා කරන්නේය. ඒ අනුව කිසිම හේතුවක් නොමැතිව පාරේ යන බල්ලන්ට ගල්වලින් පහර දෙන්නේය. ඇතැම් විට කුඩා ගේ කුරුල්ලන් පවා මරා දමන්නේ හිසිම හේතුවක් නොමැතිවය. නබිතුමාගේ හදිසයක එවැනි සිද්දියක් පහත දැක්වෙන පරිදි විස්තර කොට ඇත.

යම්කිසිවෙකු සෙල්ලමට ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! එම තැනැත්තා මාව නිකරුනේ මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසනු ඇතැයි කීය. (සුනන් අන් නිසායි).

තවත් අවස්ථාවකදී නබිතුමා ඔහුගේ අනුගාමිකයින් හට බනු ඉස්රායිල්වරුන්ගේ කාලයේ ජීවත්වූ කාන්තාවකගේ කථා පුවතක් මෙසේ පවසා ඇත. එම පුවතට අනුව එක්තරා කාන්තාවක් දෙවියන්ට ඉතා හොඳින් වැඳුම් පිදුම් කරමින් සිට ඇත. එහෙත් ඇය විසින් බලලෙකුට නිදැල්ලේ යන සතුන් අල්ලා ආහාරයට  ගැනීමට ඇති ඉඩ අසුරා එම බලලා සිරකොට තැබීමෙන් කුසගින්නේ මිය යාමට ඉඩ හැර ඇත. නබිතුමා පවසා ඇත්තේ එම කාන්තාව කොතරම් පින් දහම් කලත් ඇය කළ මෙම වරද නිසා නිරයට යන බවයි.

ඉස්ලාම් දහම සතුන්ට නිකරුනේ හිංසා කිරීම අනුමත නොකලත් ඇතැම් ආගම්වල මෙන් අහාරය පිණිස උන් ඝාතනය කිරීම තහනම් කොට නැත. මෙය පැහැදිලිව සඳහන් කොට තිබීම නිසා අවශ්‍යතාවය අනුව සතෙක් ඝාතනය කල හැකි ය. එසේ නොකළේ නම් සිදුවන්නේ මෙතරම් විශාල සාගර තිබියදී මාළු මැරීම නොකර සිටීමටය. එසේම අහාරය පිණිස වෙනත් කිසිම සත්වයෙක් ඝාතනය කිරීමට හැකි වන්නේ නැත. එවිට අයිස්ලන්තය වැනි සීත රටවල්වල වෙසෙන මිනිසුන්ට මෙන්ම ගස්කොළන් හිඟ කාන්තර රටවල වෙසෙන මිනිසුන්ට අහාරය පිණිස බොහෝ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වනු ඇත. එපමණක් නොව ලෙඩක් හැදුනු විට ජීවිතය බේරා ගැනීම සඳහා බෙහෙත් ගැනීම පවා ප්‍රශ්නයක් වනු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.