මිනිසාට අල්ලාහ්ගෙන් ලැබී ඇති අනුග්‍රහයන් (The favours of Allah)

ලොව සිටින ජීවින් අතරෙන් අසිමිත ලෙස දෙවියන්ගේ අනුග්‍රහයන් බුක්ති විඳින්නේ මිනිසා ය. මේවා අතරින් වටිනාම සම්පත වනුයේ හොඳ නරක තේරුම් ගැනීමට හැකි මනසය. මිනිස් මනස නිසා දෙවියන්ගෙන් පහළ වූ නිවැරදි දහම තේරුම් ගැනීමට හැකි වී තිබේ. එමගින් මරණයෙන් පසු ජිවිතය ජය ගත හැකි වන්නේය. මෙම අවස්ථාව නොලැබුණේ නම් මරණයෙන් පසු නිමක් නොමැති ජිවිතය පාඩු වනු ඇත.මිනිසාට ලැබී ඇති ආනිසංසයන් අතරින් අලංකාර ශරීරයත් එකකි. මිනිසාට කිසිම සත්වයෙකුට වඩා රසවත් පිසූ ආහාර අනුභව කළ හැකි වී ඇත. තවද මිනිසා අලංකාර රෙදිපිළි අන්දින්නේය. විවිධ භාෂාවන් කතා කරන්නේය. අකුරු ලියන්නේය. නිෂ්පාදන සිදු කරන්නේය. මේ අනුව ලෝකය වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගන්නේ මිනිසා බවට පත් වී ඇත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනා මේවා ලබා දුන් දෙවියන්ට කෘත ගුණ සැලකීම කෙසේ වෙතත් දෙවියන්ගේ එදිරිවාදියෙකු බවට පත් වී ඇත.

මිනිසාට ලබාදී ඇති දායාදයන් ගැන අල්-කුරානයේ මෙසේ සඳහන් වේ.

“නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම්, නුඹලාට එය ගණන් කොට නිම කල නොහැකිය; නියතව අල්ලාහ් අධිකව සමා කරන්නාද; අසම දයාවන්තයාද වේ” (කුරානය 16:18).

මෙනෙහි කර බලන්නේ නම් දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් අසීමිතය. මිනිසා බිහිවීමට පෙරම අපට අවශ්‍ය කරන සෑම ශරීර අවයවයක්ම අඩුපසුවකින් තොරව ලබා දී ඇත. ඒවා මිල කළ නොහැකි තරම් වටිනාකමකින් යුක්ත වුවත් ඒවාට නිසි තක්සේරුවක් මිනිසා විසින් ලබා දී නොමැත. මිනිසාට ලැබී ඇති නේත්‍රා දෙක අතිනවීන කැමරාවකට වඩා ඉතා ඉහල වටිනාකමකින් යුක්ත වන්නේය. එහෙත් මේවා ගැන කවදා හෝ මිනිසා සිතා බලා දෙවියන්ට ස්තුති කොට තිබේද? මිනිසාගේ කන්දෙන නැතිනම් වටාපිටාවේ ඇති කිසිම ශබ්දයකට හෝ මිහිරි නාදයකට සවන් දීමට ලැබෙන්නේ නැත. එවිට පරිසරය ගැන ලබා ගත හැකි ප්‍රයෝජනය කොතරම් සිමා වීමට ඉඩ තිබුනාද? නැතහොත් මිනිසාගේ දියුණුව කොතරම් අඩාල වීමට ඉඩ තිබුනාද? මේවා ගැන මෙනෙහි කරන අය අප අතර කී දෙනෙක් සිටිනවා විය හැකිද? එපමණක් නොව මිනිසාගේ දිවේ රස නහර පිහිටා නොතිබුනේ නම් රසවත් අහාරයකින් ඇති පලය කුමක්ද? එවිට විවිධ රසයෙන් යුත් පලතුරුවලින් සහ ආහාර වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? රස බැලීමට හැකි උපකරණයක් මෙතෙක් මිනිසාට නිපදවීමට නොහැකි වී තිබියදී එවැනි දෙයක් කිසිම අයකිරීමකින් තොරව ලබා දීම ගැන මිනිසා දෙවියන්ට කොපමණ ස්තුති වන්ත විය යුතුද? එපමණක් නොව මිනිසාට ගඳ සුවඳ ආග්‍රහණය කළ හැකි නාසයක් මවා දී තිබීම ගැන කොපමණ ස්තුති වන්ත විය යුතුද? එවැනි අවයවයක් නොමැති නම් අපට නරක් වූ ආහාර පහසුවෙන් හඳුනා ගැනීමට කොපමණ වෙහෙසක් ගැනීමට සිදුවනු ඇද්ද? මේවා මිල කළ නොහැකි දේවල් නොවේද?

මිනිසාගේ හදවත, පෙනහළු, වකුගඩු ආදී සෑම අවයවයක්ම මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රියා කරමින් මිනිසාට සේවය ලබා දෙන්නේය. මේවා ගැන මිනිසා සිතා බලා දෙවියන්ට කෘත ගුණ සැලකිය යුතු නොවේද? වකුගඩු අක්‍රිය වී නම් මිනිසා කොපමණ දුකකට පත් වන්නේද? වකුගඩු ශෛලකර්මයක් සඳහා කොතරම් මුදලක් වැය කළ යුතු වන්නේද? මේවා ගැන සිතා බලා මිනිසා දෙවියන්ට ස්තුති කල යුතු නොවේද?

මිනිසා තිපාසයට බොන ජලය ගැන සිතා බලන්න. එය වායු දෙකකින් උත්පාදනය කොට ඇත. දෙවියන් එය දියරයක් නොකර වායුවක් බවට පත්කළේ නම් ජීවීන්ගේ ඉරණම කුමක් වන්නට තිබුනේද? එසේ වුයේ නම් මිහිපිට ජීවින් පැවතිය නොහැකිය. ඇයිද යත් ජිවින්ගේ පැවැත්මට ජලය අත්‍යාවශ්‍ය වන නිසාය. තවද ජිවින්ට අවශ්‍යම දෙයක් වන ජලය අධික ලෙස මවා ප්‍රතිචක්‍රීකරණය වීමටද සලස්වා ඇත. මේ සෑම දෙයකටම මිනිසා දෙවියන්ට කෘතගුණ සැලකිය යුතු නොවේද?

ඔක්සිජන් වායුව ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එසේම කාබන් ඩයොක්සයිඩ් වායුව ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් වායුගෝලය තුල මෙම වායුන් දෙක අවශ්‍ය ප්‍රමාණවලින් පැවැත්වීම සඳහා දෙවියන් යාන්ත්‍රණයක් සකස් කර තිබේ. මේවා ගැන අප සිතා බැලුවේද? ඒවාට මිනිසා දෙවියන්ට ස්තුති කළ යුතු නොවේද?

ආහාරය සඳහා කිසිම අතුරු ආබාදයක් නොමැති එළවලු පලතුරු සහ මස් මාළු ඇතුළු  අනෙක් සියළුම දේ ලබා දුන් දෙවියන්ට මිනිසා කොපමණ ස්තුතිවන්ත විය යුතුද? මේවා කිසිම දෙයක් මිනිසාට නිපදවිය හැකි දේවල්ද? මේවා ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද?

මේවා  ගැන සිතා බලන කළ මිනිසා දෙවියන්ට ජිවිත කාලය පුරා ස්තුති කලත් එය ප්‍රමාණවත් වන්නේ නැතැයි කිව යුතුය.

By Fasy Ajward.B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.