| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 76 views

දෙවිඳුන් විශ්වය මිනිසා-14

කතුවරයා/දේශකයා: on 2nd November 2017

මිනිසා හා සත්වයින් අතර ඇති සමාන අසමානකම්

මිනිසා සහ සත්ව ලෝකයේ සාමාජිකයින් අතර පවතින සමාන හා අසමානකම් පිළිබඳ අවධානය යොමු කළහොත් අපට මිනිසාගේ මිහිතලය මත හා ඉන් පශ්චාත් ජීවිතයේ ජය අත්පත් කරගත හැක්කේ කෙලෙස ද යන්න අවබෝධ කර ගැනීම පහසු වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමුව මිනිසා හා සත්වයින් අතර ඇති ප්‍රධාන අසමානකම් කුමක්දැයි විමසා බලමු.

මිනිසා සහ සත්වයා අතර අසමානකම් මොනවා ද?

මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස්භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂී වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මෙම කරුණු විග්‍රහ කර ඇති අයුරු  විමසා බලමු.

  1. විචාර බුද්ධිය,
  2. තෝරා ගැනීමේ නිදහස,
  3. හෘද සාක්ෂිය මත පදනම් වූ හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම,
  4. (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය,
  5. මිහිතලය ඇතුළු ව මුළුමහත් විශ්වයෙහිම ගුප්ත හා පාලන අධිකාරී බලයක් ඇත යන කරුණු මිනිසාට පමණක් සුවිශේෂීය.

මෙම හේතු නිසාම මිනිසාට ඉතා පළල් පරාසයක් තුළ සුදනන් හෝ දුදනන් වීමට හැකියාවක් ඇත.  තෝරා ගැනීමේ නිදහස වැනි කරුණු සත්ව ලෝකයේ සාමාජිකයින්ට අදාළ නොවන්නක් වන අතර උන්ගේ ජීවිතය සකස් වී ඇත්තේ පුර්ව ජන්ම සැලැස්මක් අනුවය. මෙම සියලු කරුණු අපට නැවත නැවත අවධාරණය කර සිටින්නේ මිනිසාගේ විශේෂ ස්වභාවය අනුව ඔහුට පරිපුර්ණත්වයෙන් සපිරි සම්මා විශ්වීය මග පෙන්වීමක් හා ඔහුගේ සිත පාලනය කිරීමේ හැකියාව ඔහුට ලබා දෙන පාලකයෙකුගේ අවශ්‍යතාව නොවේ ද?  ඉහත කරුණු වලින් මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපාන සාධකය වන්නේ ඔහුටම සුවිශේෂී වූ සදාචාරයයි. මිනිසාට පමණක් උරුම අනෙකුත් සාධක ඔහුගේ සදාචාරාත්මක ජීවිතය පෝෂණය කරන්නට අනුබල දෙන ප්‍රධාන මාර්ගයන්ය. දහමක ප්‍රධාන අරමුණ හා ඉලක්කය විය යුත්තේ සත්ව ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ මිනිසා ව සදාචාර සම්පන්න ශ්‍රේෂ්ඨත්වය කරා යොමු කරවන නිවැරදි මග පෙන්වීමක් ලබා දීම බව අපගේ මතයයි.

මනුෂ්‍ය දරුවාට අනිවාර්යයෙන්ම උපන් පළමු දවසේ සිට මිහිතලයෙන් සමු ගන්නා දිනය දක්වා මග පෙන්වීමක හා පාලනයක අවශ්‍යතා ව සහතික වශයෙන්ම අවශ්‍ය ව ඇත. මිනිස් දරුවාගේ පළමු පාලිකාව හා මග පෙන්වන්නිය මව වන අතර ක්‍රමයෙන් මෙම ලැයිස්තුවට පියා, ගුරුවරුන්, තම සේවා ස්ථානයේ, පොලිසියේ, උසාවියේ, රාජ්‍ය අංශයේ, බන්ධනාගාර ආදියේ නිලධාරීන් එකතු වනු පෙනෙන්නට ඇත. මිනිසා කැමති වුවත් අකමැති වුවත් ඔහුට ජීවත් වන්නට සිදු වී ඇත්තේ මෙවන් වාතාවරණයක ය.

මෙම තත්වය යටතේ මිනිසාට නිවැරදි ව කටයුතු කරන්නට නම් අවශ්‍ය වන්නේ පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) බව පිළිගන්නට අපට දුෂ්කරතාවක් ඇතැයි නොසිතන්නෙමු. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ඇති මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් පිළිබඳ ව ඉගැන්වීම් මෙම මග පෙන්වීමෙහි අඩංගු විය යුතුය. ආධ්‍යාත්මික වර්ධනය, අධ්‍යාපනය හා දැනුම, සෞඛ්‍යය, පවුල් ජීවිතය, ආර්ථිකය, දේශපාලනය, සමාජ ප්‍රශ්න, සමාජ සම්බන්ධතාවන්, රාජ්‍ය පාලනය, යුද්ධ, සිවිල් හා අපරාධ නීති ක්‍රම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ව්‍යුහයන් ඇතළු මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැති කඩයන් මෙම මග පෙන්වීමට ඇතුළත් විය යුතුය යන්න අපගේ මතයයි. එය හුදෙක් ලෝකෝත්තර අපේක්ෂාවන් පමණක් ඉලක්ක කර ගත් ඉගැන්වීමක් නොවිය යුතුය. මිනිසාගේ අවසාන ඉලක්කය ලෝකෝත්තර ජයග්‍රහණය බව සැබෑවකි. නමුත් අති මහත් බහුතරයක් වූ ගිහි පිරිසගේ ලෞකික ජීවිතයේ සම්මා මග පෙන්වීමකින් තොරව මනුෂ්‍ය වර්ගයාව කෙසේ නම් ලෝකෝත්තර ජයග්‍රහණයක් කරා යොමු කරන්නේ ද යන ප්‍රශ්නය මතු වෙනවා නොවේ ද?

මිනිසාට උපතේ සිට මරණය දක්වා පාලකයින් සිටින බව ඉහත කරුණු සලකා බැලීමෙන් අපහට පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සියලු භෞතික පාලකයින් මගින් කරන්නට හැකි වන්නේ මිනිසාගේ බාහිර ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම පමණි. මෙය මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඇති වඩාත් යෝග්‍යය පිළිවෙත නොවන බව මිහිතලය මත සිදු වෙමින් පවතින්නා වූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලි ව පෙනෙන්නට ඇති සත්‍යයකි. මිහිතලය මත වසංගතයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මිනිසාගේ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සිටින්නා වූ සියලු භෞතික පාලකයින්ගේ අසාර්ථකත්වය නොවේ ද?

මෙම සියලු භෞතික පාලකයින්ට කළ හැකි ව ඇත්තේ මිනිසාගේ ක්‍රියාවන් එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමයි. නමුත් ක්‍රියාවට මුල් වන්නේ ඔහුගේ සිතයි. මිනිස් සිත බාහිර සියලු පාලකයින්ගෙන් බැහැර වුවකි. මිනිස් සිත පාලනය නොකර ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීමෙන් සිදුවන්නේ ඔහු බහු චරිත ඇත්තෙකු බවට පත්වීමයි. පාලකයාගේ පාලනයේ බලපෑම ඇති විට යහකම සුරකින්නටත් එයින් බැහැර වූ විගස තමාගේ සුපුරුදු චරිතය වෙත යොමු වන්නටත් කටයුතු කිරීම බොහෝ විට සිදු වන්නක් බවට පත් ව ඇත. මෙ මගින් ඔහු යොමු වන්නේ බහු චරිත රංගනයකටය.   නිවැරදි මග පෙන්වීමකින් මිනිසාගේ සිත යහ මගට යොමු කර එය පාලනය කිරීම සඳහා වූ වඩාත් යෝග්‍ය පිළිවෙතකින් තොරව ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් භෞතික පාලකයින් මගින් පාලනය කරන්නට කටයුතු යෙදු විට මිනිසා විකල්ප මාර්ග යොදා ගනිමින් තම සිතේ උත්පාදනය වන වැරදි චින්තනයන් පදනම් කර ගෙන නුසුදුසු ක්‍රියා වෙත යොමු වීම වැළක්විය හැක්කක් නොවේ. ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකි ද? මේ සඳහා වූ විශ්වීය උපයෝගීතාවකින් යුත් මග කුමක් ද? මිනිසාගේ සිත පාලනය කළ හැකි පාලකයෙක් සිටින්නේ ද? එම පාලකයාගේ ස්වභාවය කුමක් විය යුතු ද? එවන් පාලකයෙකුට අවනත වීමෙන් සත්‍යය වශයෙන්ම මිනිසාට තම සිත පාලනය කොට සම්මා ජීවිතයකට යොමු වීමේ හැකියාවන් පිළිබඳ ප්‍රායෝගිකත්වය සමාජ සිදුවීම් තුළින් සනාථ වී තිබේ ද?  මේ සියල්ල සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමු. මීළඟට මිනිසා හා සත්ව ලෝකයේ සාමාජිකයින් අතර ඇති සමානකම් දෙස අපගේ අවධානය යොමු කරමු.

  මිනිසා  සහ සත්වයින් අතර ඇති සමානකම්  

පහත සඳහන් කරුණු මිනිසා හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර පොදුවේ දකින්නට ඇති ප්‍රධාන සමානකම් ලෙස විස්තර කළ හැක.

  1. කුසගින්න
  2. පිපාසය
  3. ලිංගික උත්තේජනය
  4. ප්‍රජනනය
  5. නින්ද
  6. ආරක්ෂණය පිළිබඳ හැඟීම

මෙම සමානකම් පිළිබඳ ව වුවද මිනිසාට සතුන් ක්‍රියාකරන අයුරින් කටයුතු කරන්නට හැකියාවක් නොමැත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කර ගෙන විවිධ චිත්ත ආවේගයන්  මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. එම චිත්ත ආවේගයන් පාලනය කර ගනිමින් මිනිසා ඉහත සඳහන් කරුණු වෙත යොමු විය යුතු වෙයි. විශේෂයෙන්ම කුසගින්න පිපාසය හා ලිංගික උත්තේජනය වැනි කටයුතු වලදී මිනිසා අනිවාර්යයෙන්ම සම්මා මග පෙන්වීමක් අනුව කටයුතු කළ යුතු වෙයි. එසේ නොවුවහොත් එය විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වීම වැළැක්විය විය හැකි කරුණක් නොවනු ඇත. මෙහිදීත් අප අවධාරණය කරන්නේ මිනිසා අනිවාර්යයෙන්ම මග පෙන්වීමක අවශ්‍යතාව ඇති අයෙකු ලෙසය.

මිනිසා සහ සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට පොදු වූ තවත් වැදගත් සාධකයක් ඇත. එම කරුණ වෙනම ම සාකච්ඡා කරන්නට අදහස් කළේ එහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. ආශාව, තෘෂ්ණාව යන පදයන්ගෙන් විග්‍රහ වන ස්වභාවය මිනිසාටත් අනෙකුත් සත්වයින්ටත් පොදු වුවත් සත්වයින් ගේ තෘෂ්ණාවේ සීමාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි ව දැක ගත හැක. නමුත් පාලනයකින් තොරව මුදා හැරිය විට මිනිසාගේ තෘෂ්ණාවේ සීමාව කොතන දැ යි දැනගැනීම ඉතාමත්ම අපහසු කාර්යයකි.

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100 : 8)

මිනිසාගේ මුලික ස්වභාවය මෙම අල් කුර්ආන් වාක්‍ය අපට පැහැදිලි කර දෙයි. අපගේ මතය වන්නේ තෘෂ්ණාව සහමුලින්ම ඉවත් කර ගැනීමක් පිළිබඳ ඉගැන්වීමක් අල් කුර්ආනයේ දක්නට නොමැති බවයි. නමුත් අකුසලයට නැඹුරු වූ අයහ ආශාවන් පාලනය කර ගැනීම පිණිස ඉස්ලාමය තුළ අති විශාල ඉගැන්වීම් සම්භාරයක් ඇත.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

අපි දෙවිඳුන්ට අවනත වන්නෙමු. දෙවිඳුන්ගේ මඟ පෙන්වීම් අනුව ජීවිතය සකස් කර ගැනීමට කටයුතු කරන්නෙමු. අයෙකු දෙවිඳුන්ගේ මෙම උත්තරීතර තත්ත්වයට තම සිතේ ඇතිවන තෘෂ්ණාව පත්කර ගත විට ඔහු එම තෘෂ්ණාව හෝ ආසාවට අවනතව හා කීකරුව කටයුතු කරන්නට ඉදිරිපත් වෙයි. මෙලෙස කටයුතු කිරීම සැබැවින්ම මනුෂ්‍යත්වයට කිසිසේත්ම නොහොබිනා ක්‍රියාවක් වන අතර එය සහමුලින්ම තිරිසන් පිළිවෙතකි. තිරිසනුන් පවා තම ජන්මයෙන් ලද සැලැස්ම අනුව ක්‍රියා කරන අතර ඉන් පරිබාහිරව කටයුතු නොකරයි. නමුත් මිනිසා තම ආසාවේ වහලෙකු බවට පත් වූ විට ඔහු ඇද වැටෙන්නේ පතුල නොපෙනෙන අඝආධය`අඝාධයකටය. එහෙයින් මිනිස් ජීවිතයේ ප්‍රධාන ලක්ෂණය වූ සදාචාරය සුරැකෙන අයුරින් කටයුතු කරන්නට නම් ඔහුගේ සිත පාලනය කිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් තිබිය යුතුය.

පාලකයෙකු තමන් ව නිරීක්ෂණය කරමින් සිටිනා අවස්ථාවේ සියලු කටයුතු නිසි පරිදි සිදුවනු අප භෞතික ලෝකයේ ඉතා පැහැදිලි අයුරින් දකින්නෙමු. නමුත් 24 පැයම සියලු කටයුතු නිරීක්ෂණය කරමින් කටයුතු කළ හැකි භෞතික පාලකයෙකු කිසිසේත්ම සිටිය නොහැක. එහෙයින් මිනිසාට 24 පැයම ඔහුගේ කටයුතු සම්මා අයුරින් සකස් කර ගැනීම පිණිස නව පන්නයේ පාලකයෙකුගේ අවශ්‍යතාවක් මතුවී තිබෙනවා නොවේ ද? එම පාලකයා මිනිසාගේ භෞතික ක්‍රියාකාරකම් පමණක් නොව ඔහුගේ චෛතසිකයේ නලියන සියලු සිතුම් පැතුම් නිරීක්ෂණය කළහැකි ආකාරයේ බලගතු පාලකයෙකු විය යුතුය.

මිනිසාගේ තෘෂ්ණාව පාලනය කොට සම්මා පිළිවෙතක් අනුව කටයුතු කිරීමට හා ඔහුගේ සිත ඔහුට ම පාලනය කර ගත හැකි ආකාරයට උපකාරී විය හැකි පාලකයෙකුගේ අවශ්‍යතාව ඉහත කරුණු අනුව සහතික වෙයි. එහෙයින් ඔහුගේ පාලකයා පිළිබඳ අදහස් කිහිපයක් විමසා බලමු.

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:

ඔහු පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මග පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක.

මෙවන් විශ්වාසයකින් ඇති යහපත:

  1. මිනිස් නිර්මාණයේ මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමක්.
  2. මෙම අවනතභාවය, කීකරුවීම, වහල්භාවය නිසා ලොව ඇති බලය, නිලය, ධනය වැනි කිසිදු අධිකාරි සාධකයන් ඉදිරියේ වහල් නොවී මිනිස්කමේ අභිමානය රැක ගෙන නිහතමානී ව ජීවත් වීමට ඇති හැකියාව.
  3. ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව. සිය දිවි නසා ගැනීමේ තත්වයට නොයෑම. තමා විශ්වාස කරන්නා වූ අසමසම පාලකයා තමන්ට ශක්තියක් ලෙස මෙවන් අවස්ථාවන්හි සිත් හි ඇතිකර ගැනීම හේතුවෙන් අධිෂ්ඨාන සහගතව ජීවිතයේ අභියෝගයන් ජය ගැනීමට ඉදිරිපත් වීමට මිනිසාට චෛතසික ශක්තියක් ගොඩනගා ගැනීමට හැකිවීම.
  4. තම අධිපතිට පමණක් වහල්භාවය ඇති කර ගෙන තිබෙන හෙයින් ඔහුගේ නියමයන්ට හා මග පෙන්වීමට අනුකුල ව ජීවිතය සකස් කර ගැනීමට නිරන්තර ව වෙර දැරීම.
  5. වහලාගේ වගකීම තම පරමාධිපතිගේ අණට අනුකුල වීම, ඔහුට ගෞරව කිරීම, අසීමිත ආදරයක් හා ඇල්මක් ඇති කර ගැනීම, නිරතුරු ව තුති පිදීම.
  6. තම ස්වාමියාට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා හෙයින් බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරු ව වෙහෙසීම.

එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකි ද?

මෙම පාලකයා සත්‍යයක් ද නැතිනම් මිත්‍යාවක් ද? මෙම මාතෘකාව ද අපි, විශ්වාසය පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කර ගෙන   මෙයට ඉහත සාකච්ඡා  කළෙමු.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

“කවුරුන් තමන් ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත් වී තමන් ව වළක්වා ගන්නේ ද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).

අල් කුර්ආනය පහළ වීමට පෙර සමාජ තත්ත්වය පිළිබඳ ව ජාත්‍යන්තර කීර්තියට පත් ඉතිහාසඥ වරයෙක් සඳහන් කරන  කරුණු දෙස අපගේ අවධානය යොමු කරමු.

ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද ‘Decline and Fall of the Roman Empire’ (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය අල් කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිළිබඳ ව පවසන කොටස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්ත වූ මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස්කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස්කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි”.

මෙතරම් භයානක පිරිහීමකට ලක් වී සිටි ජනයා ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු ඉතාම කෙටි කාලයක් ඇතුළත අත් දුටු පරිවර්තනය සත්‍යය වශයෙන්ම ප්‍රාතිහාර්යජනකය. තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් ‘Hero Worship And The Heroic In  History’ නමින් ග්‍රන්ථයක් පළ කළ අතර අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම ග්‍රන්ථයෙන්  උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එළිපෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයා ව පත් කරවන ලදි. ලොව බිහි වු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැනින් තැන ස්ථිරවාසස්ථාන නොමැති ව ජිවත් වෙමින් සිටි දුගී එඩේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නට සුදුසුකම් උරුම කර ගත්තේය”.

අල් කුර්ආනය පහළ වීමට පෙර අරාබියානු ජන සමාජය එවකට සිටි පිරිහුන් තත්ත්වයේ සිට පිරිපුන් ජීවිතයක් කරා යොමු කිරීමට රුකුල් වුයේ දෙවිඳුන් පහළ කළ අල් කුර්ආනයේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් හා ඒ අනුව ජීවත් වෙමින් එය මනුෂ්‍ය වර්ගයාට ඉදිරිපත් කළ මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පරමාදර්ශී ජීවන පිළිවෙතයි. මෙම ඉස්ලාමීය මුලාශ්‍ර යහ අයුරින් ගවේෂණයට විවේචනයට ලක් කොට පරම සත්‍යය සොයා ගැනීමට ඇරයුම් කරන්නෙමු. වර්තමානයේ අපට නිරතුරු ව ඇසෙන පරිදි අල් කුර්ආනයේ වදනක් හෝ දෙකක් උපුටා දක්වමින් වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් පදනම් විරහිත අතාර්කික නිරර්ථක ව්‍යායාමයක නොයෙදී සත්‍යය අවබෝධ කර ගැනීමට අවංක සිතින් ඉදිරිපත් වන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

ඉස්ලාමය හුදෙක් මතවාදයක් හෝ සාම්ප්‍රදායික අර්ථයෙන් තවත් ආගමක් නොවේ. එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ඉතා අලංකාර හා යහ ප්‍රතිඵල සහතික කරන පරිපුර්ණ සම්මා ජීවන පිළිවෙතකි. එය මිනිසාට ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස ජීවත් වී ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස මිහිතලයෙන් සමුගන්නට මග පෙන්වන සාර්ථක හා අනුගමනය කිරීමට පහසු මෙන්ම බුද්ධියට, විචාරයට හා නුතන විද්‍යාවට අනුකුලතාවක් ඇති උත්තරීතර ඉගැන්වීමකි. තම සිතට පාලකයෙකු පත් කර ගැනීම මගින් තම චෛතසිකය පාලනය කර ගෙන යහ ක්‍රියාවන් කෙරෙහි නැඹුරුවීමටත් අයහ ක්‍රියාවන්ගෙන් ඉවත්වීමටත් දිරි ගන්වන සාර්ථකම පිළිවෙතයි.

මිනිසාට සිත එක අරමුණක තබා ගෙන අකුසලයට නැඹුරු වූ චිත්ත ආවේග පාලනය කර ගෙන  තැන්පත් ව කටයුතු කරන්නට ප්‍රායෝගික මෙන්ම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම එක ලෙස පිළිපැදිය හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එය ඔහු ව ගිහි ජීවිතයෙන් හා සමාජයෙන් ඈත් කරවන වැඩ පිළිවෙළක් නොවිය යුතුය. මෙම වැඩ පිළිවෙළේ පළමු හා වැදගත්ම අංගය වන්නේ ඉහත විග්‍රහ කළ පරිදි තම සිතට පාලකයෙකු පත් කර ගෙන එම පාලකයා කෙරෙහි විශ්වාසය තබා ගෙන කටයුතු කිරීමය. මෙවන් විශ්වාසයක් වුවද මිනිස් සිතේ ඇති ස්වභාවය අනුව වරින් වර දුර්වල විය හැක.

මෙම විශ්වාසය නිරන්තර ව තහවුරු කොට මිනිසා ව යහකමේ ශ්‍රේෂ්ඨත්වයට ගෙන යා හැකි වැඩ පිළිවෙළක් තිබේ ද? දෛනික ව මෙන්ම නිශ්චිත කාල වකවානුවන්හි තම චෛතසිකය පිරිසිදු ව සම්මා මගක තබා ගැනීමට ඇති ප්‍රායෝගික ඉස්ලාමීය වැඩ පිළිවෙළ පිළිබඳ ව විමසා බලමු.

දෛනික ව කළයුතු පස් වේල සලාතය

“සැබැවින්ම සලාතය, ලැජ්ජා සහගත හා පාපතර ක්‍රියාවන්ගෙන් ඔබ ව ආරක්ෂා කරන්නේය” (29:45)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. තම චෛතසිකයේ මතු වන නිහතමානිත්වයේ හඬකි.
  3. සිත තැන්පත් කර ගෙන දෙවිඳුන් අබියස පෙනී සිටීමකි.
  4. සමාජ සමානාත්මතාව සඳහා වූ පුහුණුවකි.
  5. සමාජ සාමුහිකත්වය සඳහා වූ පුහුණුවකි.
  6. තම පරමාධිපති අබියස තමන්ගේ අවශ්‍යතාවන් ඉදිරිපත් කිරීමට ඇති වඩාත් සමීපතම අවස්ථාවයි.
  7. චිත්ත පාරිශුද්ධිය හා තැන්පත්භාවය සඳහා කරන්නා වූ දෛනික ව්‍යායාමයකි.
  8. නියමිත වෙලාවට කටයුතු කිරීමට ලබන්නා වූ පුහුණුවකි.
  9. අභ්‍යන්තර මෙන්ම බාහිර පිරිසිදුකම පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවට මග පෙන්වීමකි.

වාර්ෂික ව මසක් පුරාවට රක්ෂා කළ යුතු උපවාස ශීලය

“විශ්වාස කළවුනි, නුඹලා බියබැතිමත් වීම පිණිස (දේව සවිඥානකත්වය ඇතිකර ගනු පිණිස) නුඹලාට පෙර වූවනට අනිවාර්ය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහිද උපවාසය අනිවාර්ය කරනු ලැබ ඇත.” (අල් කුර්ආන් 2:183)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. දෙවිඳුන් පිළිබඳ බියබැතිමත්භාවය හා දේව සවිඥානකත්වය ගොඩ නගා ගැනීම.
  3. චිත්ත ආවේගයන් පාලනයට පුහුණුවකි.
  4. බහු චරිත ස්වභාවය ඉවත් කොට සම්මා ඒකීය චරිතයක් ගොඩ නඟා ගැනීමට අභ්‍යාසයකි.
  5. පසිඳුරන් පාලනය සඳහා වූ පුහුණුවකි.
  6. දුප්පතුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරයක්‌.

වාර්ෂික ව ගෙවිය යුතු දානමය කටයුත්තකි ‘සකාතය’

“(නබිවරය) ඔවුන්ගේ වස්තුවෙන් දානමය කොටසක් (සදකාව) ගනිවු. එමගින් නුඹ ඔවුන් ව පිවිතුරු කරව. තව ද එය වර්ධනයක් ඇති කරයි” (අල් කුර්ආන් 9 : 103)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. වාර්ෂික ව තම වත්කමින් දිය යුතු දානමය ක්‍රියාවකි. ජනයාගෙන් අට කොටසකට දිය හැකිය.
  3. තම වත්කමේ පවිත්‍රතාව හා වර්ධනය සඳහා වූ ක්‍රියාවකි.
  4. අසීමිත තෘෂ්ණාව පාලනය කොට අන් අය කෙරෙහි කරුණාවෙන් යුක්ත ව කටයුතු කිරීමට මග පෙන්වීමකි.
  5. දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩ පිළිවෙළකි.
  6. ඊර්ෂ්‍යාව තුනී කිරීමට හැකි මගකි.
  7. දුප්පත් පොහොසත් පිරිස අතර බැඳියාවක් ඇති කරවන්නකි.
  8. සම්පත් සාධාරණ ලෙස බෙදී යාමට මග පෙන්වීමකි.

ජීවිත කාලයටම වරක් අනිවාර්ය හජ් නැමදුම

“හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් දන්නා වූ මාසයන්(හි)ය. කවරෙකු එහි හජ් අනිවාර්ය කර ගැනේ ද, ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් සඳහා) අවශ්‍ය කළමනා රැස්කර ගනිවු. සැබැවින් ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් කමය. තවද අවබෝධ කරගන්නනි, නුඹලා මා හට බියභක්තිමත් වැවු”. (අල් කුර්ආන් 2 : 197)

මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය ලොවට පෙන්වා දුන් ඉබ්‍රාහිම් නබි තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදු වූ වැදගත් සිදුවීම්  සිහිපත් කරමින් හා ඒවා සංකේතාත්මක ව  ඉටුකරමින් කරන්නා වූ ඉතා වැදගත් නැමදුමකි.

මිනිසාට මුළු ජීවිතයම නැමදුමක් බවට පත් කර ගන්නට ලබා ගත හැකි උච්චතම පුහුණුව ලෙස මෙය නම් කළ හැක.

මිහිතලයේ සමතැනටම එකසේ අදාළ එකම දහම

ඉහත විග්‍රහ කරන ලද අයුරු ක්‍රියා කිරීම මිනිසාගේ ස්වභාවිකත්වය සමග එකඟතාවක් ඇති පිළිවෙතක් බව පැහැදිලි ව සනාථ වූ සත්‍යයකි. සමාජයේ එක් කොටසකට පමණක් අනුගමනය කළ හැකි සීමාවන් සහිත ක්‍රියාමාර්ගයක් නොවන ඉහත විග්‍රහ කරන ලද පිළිවෙත මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව කොතැන ජීවත් වුවත් එක සේ අනුගමනය කළ හැකි සාර්ථක පිළිවෙතකි.

මිනිසා උත්තර ධ්‍රැවයේ විසුවද දක්ෂිණ ධ්‍රැවයේ විසුවද සමකය අසල විසුවද ඕනෑම ශීතෝෂ්ණ කාලගුණික පරිසරයක විසුවද භේදයකින් තොරව ඕනෑම තරාතිරමක ජීවත් වූවද ඒ සියලු දෙනාටම එක සේ දෙළොව ජීවිතයම ජයග්‍රාහී ලෙස සාක්ෂාත් කර ගත හැකි ඒකායන මාර්ගයයි ඉස්ලාම්. සත්‍යය පිළිපදිමු, මෙලොව හා මතුලොව ජයග්‍රහණය ලඟා කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු.

(මතු සම්බන්ධයි)

අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Related Posts

  • දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism}April 24, 2017 දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism} (0)
    මිනිසාගේ විශ්වාසයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. එකක් දේවවාදය අනෙක අදේවවාදයි. දේවවාදියා ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලත් අදේවවාදියා දෙවියන් නැතැයි […]
  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-11October 9, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-11 (0)
    පරිණාමවාදය පරිණාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ […]
  • දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1February 7, 2009 දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1 (0)
    ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික […]
  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • මඳකට ආපසු හැරී බලමු! (Republish)September 24, 2017 මඳකට ආපසු හැරී බලමු! (Republish) (0)
    මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය: 1- මුහර්රම් 2- සෆර් 3- රබීඋල් අව්වල් 4- රබීඋස් සානි 5- ජමාදුල් අව්වල් 6- ජමාදුස් […]

November 2, 2017 · එම්.අහ්මද් දහ්ලාන් · No Comments
Tags: , , ,  · Posted in: ප‍්‍රතිපත්තිය

Leave a Reply