නුතන මාධ්‍යයන් සහ තාරුණ්‍යය (Modern media and youth)

අන්තර්ජාලය නවීන ලෝකයේ ප්‍රධාන තැනක් උසුලන්නේය. එහි හොඳ මෙන්ම නරක පැත්තකුත් තිබෙන බව නොරහසකි. මේ වන විට අන්තර්ජාලය හරහා හුවමාරු වන පණිවිඩවලින් වැඩිම ප්‍රතිශතයක් වෙන් වන්නේ තරුණ පිරිස් අතර ලිංගික සම්බන්දකම් සඳහාය. එහෙත් එහි අසුභවාදී ප්‍රතිපල ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රමාණවත් අන්දමින් ජනතාව දැනුවත් කිරීමක් සිදු වී නොමැත. මේ නිසා අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම විශාල ගැටලුවක් වන්නේය. මේ වන විට බොහෝ තරුණයින් අතර අන්තර්ජාලය හරහා සිදු කරගත් පෙම් සඹදතා වල අනිසි ප්‍රතිපලයක් ලෙස සිය දිවි නසාගැනීම් වැඩි වී ඇත. 
අද බොහෝ තරුණ පිරිස් තම කාලය ගත කරන්නේ අන්තර්ජාලයේ ය. බොහෝ අයට මෙය පාලනය කළ නොහැකි තරමට පත්ව ඇත. ඒ හේතුවෙන් ඔවුන්ට අවපාතය (depression), කාන්සිය (loneliness), මුහුණට මුහණ හමුවීමට නොහැකි වීමේ තත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත. ඇමරිකානු ලේකඛ නිකොලස් කා පවසන අන්දමට අධික ලෙස අන්තර්ජාලය භාවිතා කරන පාසල් ළමුන්ගේ සිතීමේ හැකියාව මන්දගාමී වන අතර ක්‍රියාශීලි බවත් අඩුවන බව සොයාගෙන ඇත.

දැනට සොයාගෙන ඇති අන්දමට අන්තර්ජාලයේ වැඩි වෙලාවක් ගත කරන අයගේ සමාජ ආශ්‍රය බොහෝ දුරට අඩු වී තිබේ. තවද අධික වෙලාවක් අන්තර්ජාලයේ ගත කිරීම නිසා මානසික අබාධ ඇති විය හැකි බව ට ඇතැම් මත පල වෙමින් තිබේ. නුදුරු අනාගතයේදී ඒවා ගැන ස්ථිරව දැන ගත හැකිවනු ඇත. කෙසේ වෙතත් යමක් සිදුවීමට පෙර ආරක්ෂා වීම වඩා සුදුදු ක්‍රියාමාර්ගය වේ.

මිනිසාට දැනුම ලැබීමට හොඳම මාර්ගය පොත් පත් කියවීමය. එහෙත් අන්තර් ජාලයේ පැමිණීමත් සමගම එය බොහෝ දුරට අඩුවී ගොස් තිබේ. සැබවින්ම යම් දෙයක් ගැන ඉක්මනින්ම දැනගැනීම සඳහා අන්තර්ජාලය ඉතා සුදුසු මෙවලමකි. එහෙත් යමක් ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා මගේ දැනුමේ හැටියට තවමත් සුදුසු ක්‍රමය පොත් පත් පරිහරණය කිරීම ය. පොත්පත් වලින් යම් විෂයක් පිළිබඳව අංග සම්පුර්ණව හැදෑරිය හැකිය. අනෙක් අතට පොත්පත් කියවීමේදී එක් විෂයක් තුල එක දිගට හැදෑරිය හැකිය. එහෙත් අන්තර් ජාලයේ සැරිසරන බොහෝ අයගේ කාලය ගත වන්නේ විෂය කරුණු හැදෑරීමට වඩා වෙනත් කරුණු සඳහා ය.

අන්තර්ජාලය සාගරයක් මෙන් තැනකි. එහි වෙබ් අඩවි සිය දහසකට වඩා දැකිය හැකිය. ඒවා අතර ඇතැම් බෙබ් අඩවි වලින් තරුණ ජිවිත වලට තදබල විනාශයක් සිදු වන්නේය. යොවුන් වියේ පසුවන බොහෝ අයට ඒවා තෝරා බේරා ලබා ගැනීමට තරම් දැනුමක් නොමැත. එහි ප්‍රතිපලයක් ලෙස අද බොහෝ තරුණ ජිවිත විනාශය කරා යොමු වෙමින් පවතී. ඒවා වැළැක්වීම සඳහා වැඩිහිටියන් වශයෙන් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් ආගමික පුජකවරුන්ටත් විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය.

සෑම දහමකින්ම මිනිසා යහ මගට ගැනීමට මාර්ගය පෙන්වා දී ඇත. එහෙත් ඉස්ලාම් දහම මේ ගැන වැඩි අවධානයක් යොමු කොට ඇත. මේ නිසා තාරුණ්‍ය පිලිබඳ විශේෂයෙන්ම ප්‍රශ්න කරනු ලබන බව නබිවදන්වල සඳහන් වේ. තාරුණ්‍යය නිසි පරිදි ගත කළ තැනැත්තාට විනිශ්චය දිනයේදී දෙවියන්ගේ අර්ෂ් වලින් ලැබෙන සුවිශේෂී සෙවන ලබා දෙනු ලබන බව නබිතුමා පවසා ඇත. එම දිනයේදී අර්ෂ් හි සෙවන මිස වෙන කිසිම සෙවනක් නොමැත.

“ආදම්ගේ දරුවන්ගෙන් අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගෙන් ගැලවී යා නොහැකිය; ඒ අනුව කෙනෙක් ජිවත් වූ අන්දම, ඔහු තම තාරුණ්‍ය ගත කළ අන්දම, කුමන අකාරයකින් ධනය රැස්කලේද එය කුමන මාර්ගයේ වැය කලේද, ඔහුගේ දැනුම අනුව කෙසේ ජිවත් වුයේද යන්නට පිළිතුරු දීමට සිදු වන්නේය” (සුනන් තිර්මිසි).

තවත් නබිවදනක පහත දැක්වෙන අන්දමට සඳහන් වේ.
නබිතුමා පවසා සිටින වග නම්: අල්ලාහ්ගෙන් ලැබෙන සෙවන හැරුණුවිට වෙන කිසිම සෙවනක් නොමැති එම දිනයේදී කණ්ඩායම් හතකට එනම්; සාධාරණ අන්දමින් පාලනය කළ පාලකයා; දෙවියන් වෙනුවෙන් තම තාරුණ්‍ය කැපකළ තැනැත්තා; සෑම මොහොතේම තම හදවත මස්ජිදය සමග බැඳී ඇති තැනැත්තා; අල්ලාහ් වෙනුවෙන්ම පමණක් ඇලුම් කරන දෙදෙනා, ඔවුන් එකතු වන්නේද වෙන් වන්නේද අල්ලාහ් වෙනුවෙන්ම පණනි; අලංකාර, කුලවත් කාන්තාවක් (අනියම් සම්භන්දයක් සඳහා) අරාධනා කලත් ‘මා අල්ලාහ්ට බිය වෙමියි’ පවසා ඉන් වැලකී සිටින තැනැත්තා; තම වම් අතට හොරෙන් දකුණු අතින් දාන දෙන තැනැත්තා; හුදකලාවේ සිට අල්ලාහ්ව මෙනෙහි කොට කඳුළු සලන තැනැත්තා යන අයට අල්ලාහ්ගෙන් සෙවන ලැබෙන්නේය (සහිහ් අල් බුහාරි, වෙළුම 1 හදිස් අංකය 629 සහ සහිහ් මුස්ලිම් වේලම 2, හදිස් අංකය 2248).

ඉහත සඳහන් කළ නබි වදන් අනුව තරුණ ජිවිත නිසි මග යොමු කිරීම විශාල වගකීමක් වේ.

බොහෝ මාධ්‍යවල ප්‍රධාන අරමුණ ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීම බැවින් එහි ඇති වැඩසටන් ද ඊට සරිලන අකාරයේ ඒවාය. එහෙත් රුපවාහිනියෙන් තරුණයින්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළ හැකි වුවත් ඒවායින් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්ය. මේ අනුව අද තිබෙන බොහොමයක් මාධ්‍යන් හරහා නිතර නිතර පෙන්වනු ලබන මෙගා ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි ආදර්ශයට ගෙන තරුණයින් වැරදි කිරීමට පෙළඹීමට හේතුවක් වී ඇත. මේවා ගැන වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුය.

තවද වෙළඳ ප්‍රචාරණයන් සඳහා යොදාගනු ලබන අඩනිරුවත් කාන්තාවන්ගේ රුප සහ වෙනත් වැඩසටහන් නිසාද තරුණයින්ගේ සිත් දුෂණය වීම වැළැක්විය හොහැකි කරුණක් වී ඇත. මේවා ගැන ආගමික නායකයින්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

මිට දසක කිහිපයකට පෙර දහම් ප්‍රචාරය කිරීම සඳහා තිබුනේ ඉතා සීමිත මාර්ගයන් පමණි. එහෙත් අද යුටියුබ්, ටිව්ටර්, මුහුණු පොත්, බ්ල්ග් අඩවි, වෙබ් අඩවි වැනි බොහෝ මාධ්‍යයන් තිබේ. ජනතාව ට නිසි ආගමික දැනුම ලබා දීම සඳහා ඒවා යොදා ගත යුතුය.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.