| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 123 views

දෙවිඳුන් විශ්වය මිනිසා-15

කතුවරයා/දේශකයා: on 7th November 2017

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික හා අනෙකුත් තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්යයන් කිහිපයක්

මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ‘ප්‍රාතිහාර්ය ය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දැනුවත්වීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. ‘ප්‍රාතිහාර්ය ය’ යනු කුමක් ද යන්න පිළිබඳ ව විවිධ කෝණයන්ගෙන් කරුණු විමසා බැලිය හැකි බැවින් විවිධ සිරස්තලයන් යටතේ එය අධ්‍යයනය කරමු.

       එය භෞතික නීති රීති මගින් විග්‍රහ කළ හැක්කක් නොවේ.

       එය මිනිස් ශක්තීන් හා හැකියාවන් අබිබවා සිදුවන්නකි.

       එය මනුෂ්‍ය යථාර්ථය හා තර්කනය පදනම් කර ගෙන විග්‍රහ කළ හැක්කක් නොවේ.

ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබිය නොහැක. සැබැවින්ම ප්‍රාතිහාර්යයන් මිනිස් බුද්ධිය වෙත ඇති කරවන්නේ බලවත් අභියෝගයකි. මෙමගින් විශ්වයේ අධිපති තමන් පමණක් යැයි සත්‍යය වූ එකම දෙවිඳුන් විසින් මිනිසා අබියස ප්‍රතික්ෂේප කළ නොහැකි මෙන්ම කිසිසේත් ම අභියෝගයට ලක් කළ නොහැකි අයුරින් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කර ඇත. තම නිර්මාණ සියල්ලෙහි පුර්ණ අධිපතිත්වය හා අවනතභාවය තමන් වෙත ඇතැයි සත්‍යය දෙවිඳුන් ‘ප්‍රාතිහාර්යය’ මගින් ඔප්පු කර පෙන්වයි.

මිනිස් පරපුරේ පළමු මිනිස් යුවළ විශ්වයේ අධිපති නිර්මාතෘ දෙවිඳුන් විසින් මිහිතලය මත ස්ථාපිත කරන ලද්දේ ඔවුන්ට හා ඔවුන්ගේ පරපුරේ සැමට පොදු වූ පරිපුර්ණ ජීවන සැලැස්මක් ද ලබා දීමෙනි. එම පරිපුර්ණ ජීවන සැලැස්මේ ප්‍රධාන ලක්ෂණ වන්නේ:

       විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය දෙවිඳුන් ඒකීය බව විශ්වාස කිරීම.

       නැමදුම් සියල්ල මෙම සත්‍යය දෙවිඳුන් ට පමණක් ම විය යුතුය.

       මෙම සත්‍යය දෙවිඳුන් ට සමානයන් තැබීම ඉඳුරාම තහනම් ය.

       මෙම සත්‍යය දෙවිඳුන්ගේ සියලු නියමයන් විධානයන් හා මඟ පෙන්වීම් පිළිපැදීම.

පළමු යුවළගෙන් පසු බිහි වූ ජන සමාජයන් ක්‍රමයෙන් ඉහත සඳහන් මූලික මඟ පෙන්වීම් වලින් දුරස්ථ වී මිනිසාගේ මිහිතලය මත ජීවිතයේ මූලික අරමුණු වලින් පරස්පර වූ ජීවිතයක් ගත කිරීමේ තත්ත්වයන් ඇති වූ අවස්ථාවන් හි මහා කාරුණික සත්‍යය වූ එකම දෙවිඳුන් විසින් මිනිසා යහ මඟට යොමු කිරීම පිණිස මිනිසුන් අතුරින් දැහැමියෙකු තෝරා ඔහුට නිවැරදි මාර්ගෝපදේශයන් පහළ කොට එමගින් ජනයා නිවැරදි මාර්ගයට ආරාධනා කිරීමේ වගකීම පැවරීමේ කාර්යභාරය ඉතිහාසය පුරාවට ම දැක ගත හැකි කරුණක් ව ඇත. පළමු මිනිසා වූ ආදම් තුමාගෙන් ආරම්භ වී අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් දක්වා ඉතිහාසයේ විවිධ අවස්ථාවන් හි දෙවිඳුන් විසින් මෙලෙස යුගයෙන් යුගයට මිනිසාට ඔහුගේ මිහිතලය මත වූ ජීවිතයේ සැබෑ අරමුණු පැහැදිලි කොට දී ඔහු ව යහ මගට කැඳවීමේ කාර්යය සඳහා විවිධ ධර්ම දූතයන් පත් කරන ලදී. මහා කාරුණික දෙවිඳුන්ගේ ධර්ම දුතයන් වෙත පැවරුණු වගකීම් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.

මහා කාරුණික දෙවිඳුන් විසින් පහළ කරන ලද  මාර්ගෝපදේශයන් ලබා ගෙන එය ජනයාහට පහදා දීම හා ඒ අනුව ජීවත් වීමට දිරි ගැන්වීම

විශ්වයේ අධිපති දෙවිඳුන් ඒකීයය බව ජනයා වෙත පහදා දීම

පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කිරීම

දෙවිඳුන්හට අවනත වීමටත් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය අනුව කටයුතු කිරීමටත් ජනයාට උපදෙස් දීම

දහම, සමාජ ක්‍රියාකාරකම් හා ජන ජීවිතයට අදාළ සියලු කරුණු පිළිබඳ නිවැරදි මඟ පෙන්වීම් ලබා දීම

අල්ලාහ්ගේ මාවතින් ඉවත් වී හෝ අල්ලාහ්ට අවනතභාවයකින් තොරව කටයුතු කරන්නන් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා දැනමුතුකම් ලබා දී ඔවුන් ව යහ මඟට කැඳවීම

මිහිතලය මත වූ ජීවිතය අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයක් බවත් අල්ලාහ්ට අවනත වී කටයුතු කිරීම මගින් පමණක් මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ලද හැකි බව පහදා දීම

මරණින් මතු ජීවිතයේ විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය ආදිය පිළිබඳ ව දැනුවත් කොට මිනිසා අල්ලාහ්ගේ තෘප්තිය හා සතුට දිනා ගැනීම කරා යොමු වූ ක්‍රියාවන් හි යෙදීමෙන් පමණක් ජයග්‍රහණය අත්පත් කර ගත හැකි බව පහදා දීම

මෙලෙස අති උතුම් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය සමග ධර්ම දුතයෙකු පැමිණි සෑම අවස්ථාවක ම පාහේ එම යුගයන් හි ජීවත් වූ ජනයින්ගෙන් බහුතරය විසින් මෙම ධර්ම දුතයින් ව  අසත්‍යවාදියා, හුනියම්කාරයා ආදී චෝදනා එල්ල කොට ඔවුන් ව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලදී. තවත් අවස්ථාවන් හි මෙම ධර්ම දුතයින්ගේ  සත්‍යතාව සහතික කරනු පිණිස දෙවිඳුන්ගේ සංඥාවක් ලෙස ප්‍රාතිහාර්යයන් සිදු කොට පෙන්වන ලෙස ඉල්ලා සිටීම ද සම්ප්‍රදායක් ව පැවතිණි.

“මොහුට මොහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් පහළ වී තිබිය යුතු නොවේ දැ’යි ඔවුහු විමසති. නියත වශයෙන් ම සංඥාවන් අල්ලාහ් වෙතය. සැබැවින් ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි යැයි (නබිවරය) පවසවූ”. (අල් කුර්ආන් – 29 : 50)

මෙවන් සෑම අවස්ථාවකම පාහේ ධර්ම දුතයාණන් සැවොමගේ පොදු පිළිතුර බවට පත් වුයේ ‘නියත වශයෙන් ම සංඥා (ප්‍රාතිහාර්යය) සියල්ල අල්ලාහ් වෙතය, මා ඔබ වෙත එවනු ලැබූ ධර්ම දුතයෙකු පමණක් ය’ යනුවෙන් පවසා දහමේ කරුණු පහදා දීමට කටයුතු කිරීමය. නමුත් මහා කාරුණික අල්ලාහ් විසින් ඔහුගේ අපරිමිත දයාව හේතුවෙන් සියලුම ධර්ම දුතයන්හට විවිධ සංඥා (ප්‍රාතිහාර්යය)  ලබා දී ඔවුන් සත්‍යය වශයෙන් ම අල්ලාහ්ගේ දුතයින් බව මිනිසාගේ සිත් සතන් හි ඒත්තු ගන්වා එමගින් යහ මඟට ආරාධනා කිරීමේ කටයුත්ත පහසු කොට දී ඇත. නමුත් කුමන ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු කොට පෙන්වූවත් සත්‍යය පෙනි පෙනීත් එය ප්‍රතික්ෂේප කිරීම අවාසනාවන්තයින්ගේ පිළිවෙත බව ඉතිහාසය පුරාවට දකින්නට ඇති කරුණකි.

මෙයට පෙර පැමිණි සියලුම ධර්ම දුතයින්ගේ කාර්යභාරය වුයේ නිශ්චිත ජන කොට්ඨාසයකට නිශ්චිත කාල වකවානුවක් තුළ බලපාන අයුරින් දෙවිඳුන්ගේ මාර්ගෝපදේශය ලබා දීමය. එහෙයින් එම ධර්ම දුතයින්ට ලබා දුන් ප්‍රාතිහාර්යයන් එම කාල වකවානුවට සීමා වූවක් වන අතර එය විමසා බැලීමේ හැකියාවක් අපට අද නොමැත.

“ඊශ්රායිල් දරුවනට (යුදෙව්වන්ට) ධර්ම දුතයෙකු (රසුල් වරයෙකු) වශයෙන් (ඊසා පත් කළේය). (අල් කුර්ආන් 3:49)

“(නබිවරය) විශ්වයටම දයාලුවක් සේ මිස අපි නුඹ ව නොඑවීමු”. (අල් කුර්ආන් 21:107)

මුහම්මද් ධර්ම දුතයාණන්ගේ කාර්යභාරය එක් යුගයකට හෝ එක් ජනවාර්ගික කොට්ඨාසයකට සීමා නොවුවක් හෙයින් එතුමාණන්ට ලබා දුන් ප්‍රාතිහාර්යයන් එදත් අදත් හෙටත් මෙන්ම ලොව අවසන් දිනය දක්වාම වලංගුතාවක් ඇති එකක් විය යුතු වෙයි. අනෙකුත් ධර්ම දුතයන් මෙන් එතුමාණන්ට ද එම යුගයේ ජනයාට දැක ගත හැකි වූ ප්‍රාතිහාර්යයන් මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දී තිබුණි. නමුත් එතුමාට පහළ කළ මාර්ගෝපදේශය ලොව අවසන් දිනය දක්වා පවතින එකක් හෙයින් එතුමාට ලබා දුන් ප්‍රාතිහාර්යය ද එලෙසම වුවක් විය යුතුය යන්න පැහැදිලි කරුණකි. වරෙක මුහම්මද් ධර්ම දුතයාණන් පවසා සිටියේ එතුමාට ලබා දුන් ප්‍රාතිහාර්ය ය ‘අල් කුර්ආනය’ බවයි. එම ප්‍රාතිහාර්යයේ සත්‍යතාව  සැමට සැම විට කිසිදු බාධාවකින් තොරව විමසා බැලිය හැකි එකකි. මෙම ලිපිය මගින් අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට අපේක්ෂා කරන්නෙමු.

‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන්

අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු රාශියක් ඉතා පැහැදිලි අයුරින් ඉදිරිපත් කොට ඇත. මූසා ධර්ම දුතයන් හා  පාරාවෝ (Pharaoh) අතර තිබු ගැටුම් පිළිබඳ විස්තර මෙන්ම යුදෙව් ජාතිකයින් සමග තිබු සබඳතාවන් හා ඓතිහාසික ඊජිප්තුව පිළිබඳ තොරතුරු රාශියක් අල් කුර්ආනය ගෙන හැර දක්වයි. මෙම ඓතිහාසික තොරතුරු පිළිබඳ වැදගත්කම කෙරෙහි ලොව උගතුන්ගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ මෑතකදී ය. විචාරය පදනම් කර ගනිමින් පුර්ව නිගමනයන්ගෙන් බැහැර ව බුද්ධිමය චින්තනයෙන් යුතු ව යමෙකු මෙම තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් අල් කුර්ආනය සත්‍යය වශයෙන් ම සර්වඥානී අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව අංශු මාත්‍රයක සැකයකින් තොරව සනාථ වන්නේ මෙය නුතන විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් හා සෘජුවම බැඳියාවක් ඇති හෙයිනි.

අල් කුර්ආනයේ ඇති ‘හමාන්’ පිළිබඳ  සඳහන එවන් එක් ප්‍රඥා පූර්වක සටහනකි. පාරාවෝ පිළිබඳ සඳහන් කරන ඇතැම් අවස්ථාවන් හි ‘හමාන්’ පිළිබඳ සඳහන අල් කුර්ආනයේ දැකිය හැකිය. අල් කුර්ආනයේ අවස්ථා හයක දී ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී ඇති අතර ඔහු පාරාවෝගේ සමීපතමයෙකු ලෙස මෙමගින් අවබෝධ කර ගත හැක. අති විස්මයජනක කරුණක් ව ඇත්තේ බයිබලයේ පරණ ගිවිසුමේ මූසා ධර්ම දුතයාණන් පිළිබඳ ඇති විස්තරයන් හි ‘හමාන්’ පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීමය. ‘හමාන්’ පිළිබඳ සටහනක් බයිබලයේ දැකිය හැක්කේ පරණ ගිවිසුමේ අවසන් පරිච්ඡේද කිහිපයක මුසා ධර්ම දුතයාණන්ට වර්ෂ 1100 කට පමණ පසු ජීවත් වූ යුදෙව් ජාතිකයින් පිළිබඳ ව  සැහැසි අයුරින් කටයුතු කළ බැබිලෝනියානු රජෙකුගේ ආධාරකරුවෙකු ලෙසය. නුතන පුරාවිද්‍යාත්මක තොරතුරු මගින් පැහැදිලි අයුරින් හෙළිදරව් වී ඇති කරුණු මෙයට හාත්පසින්ම පරස්පරතාවක් දක්වයි. ඊජිප්තුවේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයට අයත් ශිලා ලේඛනයක් අනුව ‘හමාන්’ නම් පුද්ගලයා මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ජීවත් වූවෙකු බවත් පාරාවෝ ගේ රාජ්‍යය පාලනයේ වැදගත් තනතුරක් දැරූ අයෙකු බවත් හෙළිදරව් වී ඇත.

පාරාවෝ ගේ යුගයේ භාවිත කරනු ලැබුයේ සංකේත භාෂාවකි. දහඅට වන සියවස තෙක් මෙම සංකේත භාෂාව විසංකේතීකරණය කොට නොතිබූ හෙයින් එම යුගයේ කරුණු දැනගැනීමේ හැකියාව නොතිබුණි. මෙම භාෂාව අවසන් වරට භාවිත වී ඇත්තේ ක්‍රි. ව. 394 දී පමණ බව ඉතිහාසය අපට දන්වයි. ක්‍රි. ව. 1799 දී ඉතිහාසඥයින් බහුතරයකගේ අසීමිත සතුට ට හේතු වූ ඓතිහාසික ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ මෙම ශිලා ලේඛනය ක්‍රි. පූ. 196 ට අයත් වූවක් බව එම තොරතුරු හි දක්නට ඇත. මෙම ශිලා ලේඛනයේ සුවිශේෂත්වය නම් එය භාෂා තුනකින් සකස් වූවක් වීමය. සාම්ප්‍රදායික ඊජිප්තු සංකේත භාෂාව, එම යුගයේ පූජකයින් අතර බහුල ව භාවිත වූ භාෂා ශෛලියක් හා ග්‍රීක භාෂා මෙම ශිලා ලේඛනය සකස් කිරීමේ දී භාවිත කොට තිබුණි. ග්‍රීක භාෂාවේ උපකාරයෙන් අනෙකුත් භාෂා දෙක විසංකේතීකරණය කර ගැනීමෙන් පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙතෙක් සැඟ වී තිබු ඉතා වැදගත් තොරතුරු රාශියක් මනුෂ්‍ය වර්ගයාගේ දැනුම් සම්භාරයට එකතු කිරීමේ දොරටු විවෘත කර ගැනීමට මෙමගින් හැකි වී ඇත. ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වූ මෙම යුගයේ සංස්කෘතිය, ඇදහීම්, සමාජ ජීවිතය වැනි වැදගත් ක්‍ෂේත්‍රයන් රාශියක් පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු රාශියක් මෙමගින් දැන ගැනීමට හැකියාව ලැබී ඇත. එම යුගයේ භාවිත කරන ලද පුරාණ භාෂා විසංකේතීකරණය කිරීමේ කටයුත්ත ප්‍රංශ ජාතික ජීන් ෆ්රන්සුවා චම්පොලියොන් (Jean Francoise Champollion) විසින් ඉතා සාර්ථක අන්දමින් ඉටු කොට ඇත.

මෙම විසංකේතීකරණය තුළින් අති වැදගත් නමක් පිළිබඳ තොරතුරක් හෙළිදරව් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙම ලේඛනයේ ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී තිබීම හේතුවෙන් සැවොම පත් වූයේ අදහාගත නොහැකි විස්මයජනක තත්ත්වයකට ය. වියනා නුවර හොෆ් කෞතුකාගාරයේ (Hof Museum in Vienna) තබා ඇති තවත් ශිලා ලේඛනයක ද හමාන් පිළිබඳ ව සඳහන් කොට තිබීම දක්නට තිබුණි. එම ශිලා ලේඛනය අනුවත් ‘හමාන්’ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තු පාලකයා වූ පාරාවෝ ගේ සමීපතමයෙකු ලෙස සඳහන් වී තිබුණි. මෙම තොරතුරු සියල්ල මගින් මෙතෙක් ඉතිහාසයේ අඳුරු සෙවණැලි තුළ සැඟ වී තිබු අති වැදගත් තොරතුරු කිහිපයක්  ලොවට හෙළිදරව් කර පෙන්වීමට හැකියාව ලැබී ඇත. මෙම තොරතුරු අතර ඉතාම වැදගත් තොරතුරු කොටස වුයේ ‘හමාන්’ පාරාවෝ ගේ ගඩොල් පෝරණු භාරකරු බවට කටයුතු කොට තිබීමය. මෙම විස්තරය අල් කුර්ආනයේ ප්‍රාතිහාර්යයක් බවට පත් වීමට හේතු සාධක වූ කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු.

වර්ෂ 1450 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නගරයේ උපතින් ම අනාථභාවය උරුම කර ගෙන මෙලොව එළිය දුටු  මුහම්මද් නම් දරුවාට කිසිදු සම්මත අධ්‍යාපනයක් ලබා ගැනීමේ භාග්‍යය නොලැබී තිබුණි. මේ හේතුවෙන් ම ඔහුට කිසිදු සාක්ෂරතාවක් නොතිබුණු අතර පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකිය ද මේ බව සාක්ෂි දරයි.

“(නබිවරය) මෙයට පෙර නුඹ කිසිදු පුස්තකයක් හදාරන්නෙකු ව නොසිටියේය. තව ද නුඹ එවැන්නක් නුඹගේ දකුණතින් නොලිව්වේය. එසේ වූයේ නම් අසත්‍යයේ සිටින්නන්ට සැක කරන්නට ඉඩ තිබුණි”. (අල් කුර්ආන් 29:48)

මෙම උතුම් මිනිසාගේ 40 වන වියේ දී අති උතුම් අල්ලාහ් විසින් ලොව පවතින තුරු වලංගු මනුෂ්‍ය වර්ගයා ව යහ මඟට යොමු කරවීම සඳහා වූ අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය  එතුමන් වෙත පහළ කොට මහා කාරුණික දෙවිඳුන්ගේ අවසන් ධර්ම දූතයා ලෙස පත් කර ගන්නා ලදී. මෙලෙස පහළ කරන ලද මාර්ගෝපදේශය ‘අල් කුර්ආන්’ නමින් හැඳින්වෙන අතර එම දේව පුස්තකයෙන් පහත සඳහන් කොටස ඔබගේ අවධානය පිණිස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ ‘ප්‍රධානියෙනි, මා හැර අන් කිසිදු දෙවියෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එබැවින් හමාන්, මා හට කිරි මැටි පුලුස්සා මූසාගේ දෙවිඳුන් මට බැලිය හැකි සේ මා වෙනුවෙන් (පියගැට පෙළින් යුත්) මන්දීරයක් තනව්. තව ද සැබැවින්ම ඔහු අසත්‍යවාදීන්ගෙන් කෙනෙකු යැයි මම අනුමාන කරමි යැ’යි ෆිර්අවුන් (පාරාවෝ) ප්‍රකාශ කළේය”. (අල් කුර්ආන් 28:38)

ඉහත අල් කුර්ආන වැකියෙන් පැහැදිලි වන්නේ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තුවේ රජු (පාරාවෝ) විසින් තමා  දෙවිඳුන් යැයි උපකල්පනය කොට එම අදහස ජනයා විසින් ද විශ්වාස කළ යුතු බව සිතා සිටි බවය. මේ පිළිබඳ ව අල් කුර්ආනයේ අන්තර්ගත තවත් ආශ්චර්යමත් ඓතිහාසික ප්‍රාතිහාර්යයක් ගැන මෙම ලිපිය අවසානයේ උපුටා දක්වා ඇත්තෙමු.

පෞරාණික ඊජිප්තු ස්මාරක සමග සැඟ වී යන්නට ඉඩ තිබු වැදගත් සත්‍යය තොරතුරක් හෙළිදරව් කර ගන්නට හැකි වුයේ ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ ශිලා ලේඛනයේ තොරතුරු විසංකේතීකරණයෙන් පසුවය. මෙම තොරතුරු මගින් හෙළි වූ කරුණු කිහිපයක සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

       සාක්ෂරතාවක් නොතිබූ මුහම්මද් තුමාණන් විසින් කිසිදු ඉතිහාස හෝ ආගමික ග්‍රන්ථයක  නිවැරදි අයුරින්  සඳහන් නොවී තිබු ඓතිහාසික තොරතුරක් කෙලෙස නම් ඔහුගේ මනුෂ්‍ය බුද්ධිය උපයෝගී කර ගෙන අල් කුර්ආනයට ඇතුළත් කළ හැක්කේ දැයි අප විසින් විමසා බැලිය යුතු නොවන්නේ ද? වසර තුන් දහසකට වැඩි කාලයකට පෙර වූ සිදුවීම් නුතනයේ ඉතා මවිත කර අයුරින් හෙළිදරව් කර ගැනීමෙන් පසු අප විසින් දැන ගන්නා ලද තොරතුරු මිනිස් හැකියාවන්ට පමණක් සීමා වී කෙලෙස නම් වර්ෂ 1400 කට පමණ පෙර පහළ කරන ලද්දේ යැයි පවසන  අල් කුර්ආනයට ඇතුළත් විය හැක්කේ දැයි අප විසින් සිතා බැලිය යුතු නොවන්නේ ද? මෙම කරුණු සියල්ල අප වෙත ලබා දෙන පැහැදිලි පණිවිඩය නම් වර්ෂ 1400 ක් පමණ පැරණි අල් කුර්ආනයෙහි මෙම කරුණු ඉතා නිවැරදි අයුරින් සඳහන් වී ඇත්නම් එය සත්‍යය වශයෙන් ම සිදු විය හැක්කේ මනුෂ්‍ය හැකියාවන්ට පරිබාහිර වූ අසමසම ශක්තියකින් බව අවිවාදයෙන් පිළි ගත යුතු කරුණක් බව නොවේ ද?  මේ පිළිබඳ සැකයක් තිබිය හැක්කේ කාහට ද?  මෙම ප්‍රාතිහාර්යජනක තොරතුරු නිසැකවම අපට හඬ නගා පවසන්නේ මුහම්මද් තුමාණන් අති උතුම් අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් බවත් අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් නොවේ ද?

       මුහම්මද් ධර්ම දුතයාණන් විසින් අල් කුර්ආනය සකස් කර ගන්නා ලද්දේ බයිබලයේ තොරතුරු චෞර ලෙස උපුටා ගනිමින් ඒවා දෙවිඳුන් විසින් එතුමාණන් වෙත පහළ කරන ලද දේව පණිවිඩ බව අසත්‍ය ලෙස පවසමින් බව වර්ෂ ගණනක් තිස්සේ අල් කුර්ආනයේ සත්‍යතාව පිළිබඳ අභියෝගාත්මක චෝදනාවක්  මතු කොට තිබිණි. අල් කුර්ආනයේ තොරතුරු පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සම්පුර්ණ එකඟතාවකින් යුක්ත වීමත් එම තොරතුරම බයිබලයේ සඳහන් අයුරු සම්පුර්ණයෙන්ම නුතන සොයා ගැනීම් සමග පරස්පරතාවක් දැක්වීමත් මගින් පෙන්නුම් කරන්නේ අල් කුර්ආනය බයිබලයෙන් සොරා ගත් තොරතුරු මත පදනම් වී නොමැති බවත් එය සර්වඥානී අති උතුම් අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව නොවේ ද? අසත්‍යය සදාතනික නොවේ යන්න මෙමගින් සනාථ වන පැහැදිලි කරුණකි.

‘හමාන්’ පිළිබඳ ව අල් කුර්ආනයේ හා බයිබලයේ තොරතුරු නුතන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සසඳා පර්යේෂණාත්මක අයුරින් සකස් කරන ලද වැදගත් තොරතුරු රාශියක් පහත සඳහන් වෙබ් සම්බන්ධකය මගින් දැන ගත හැකි වනු ඇත.

http://www.islamic-awareness.org/Quran/Contrad/External/haman.html

‘හමාන්’, පාරාවෝ හා මූසා ධර්ම දුතයාණන් යන සැවොම ඉතිහාසයේ එකම යුගයක ජීවත් වූ පිරිසකි. ඉහතින් ගෙන හැර දැක්වූයේ අල් කුර්ආනය කිසිදු සැකයකින් තොරව සත්‍යය වශයෙන් ම දිව්‍යමය මුලාශ්‍රයෙන් පහළ වූවක් බවට ඇති වැදගත් ඓතිහාසික සාක්ෂියකි. මෙම තොරතුරු විමසා බැලීමේ දී මතු වූ පාරාවෝ පිළිබඳ ව අල් කුර්ආනයේ ඇති තවත් වැදගත් ඓතිහාසික ප්‍රාතිහාර්යක් පිළිබඳ විමසුමක් පහතින් දක්වා ඇත්තෙමු.

පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh)

දැනට වර්ෂ 3000 කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ  පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ  තිබෙන ජාතික කෞතුකාගාරයේ ය. මෙම රජ පරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් ධර්ම දුතයෙකු වු මෝසෙස්  තුමාගේ සමකාලිනයෙකු ව ද සිටීය. මෝසෙස් තුමා සමග නිතර ගැටුණු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන් ව මරා දමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිඳුන් විසින් රතු මුහුද දෙබෑ කොට මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සලසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතු මුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතු වීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධ ව ඇති අල් කුර්ආන් වැකියන් අනුව අවුරුදු 3000කට පමණ පෙර මිය ගිය ෆිර්අව්න් ගේ මළකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දන්වා ඇත. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල් කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳ ව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුණේනම් එය එසේ විය හැක්කේ අල් කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේ ද? මේ සම්බන්ධ ව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේ ද? මේ සම්බන්ධ ව අල් කුර්ආන් වාක්‍යය පළමු ව විමසා බලමු.

“නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන් – සංඥා) ගැන නොතකන්නෝම යැයි (අල්ලාහ් පැවසීය)”.  (අල් කුර්ආන් – 10 : 92)

මෙම වාක්‍යය පහළ වු කාලයේ එය කොතරම් සුවිශේෂි හා අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට ඇති ද? ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල් කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහේළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා විසින් මෝසෙස් තුමාගේ  යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලොරට් විසින් සොයා ගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 3000 කට වැඩි කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කර තිබිණ. 1907 ජුලි මස 8 වැනි දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා විසින් මෙම සොහොන  විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කරන ලදී. ඉන් අනතුරු ව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක් ද ඔහු පළ කළේය. මහාචාර්ය ලොරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන් ව අති උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින් ද, මෝසෙස් තුමාගේ සියලු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදී මෝසෙස් තුමා ව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.

කයිරෝ නගරයට ගෙන යන ලද මෙම දේහය සම්බන්ධ ව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වූ ද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වූ ද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩි දුර පරික්ෂණ පවත් වනු ලැබිණි. සියලු පර්යේෂණ අවසානයේ දි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.

“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳ ව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳ ව අල් කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මයජනක සාධක දැක ගන්නට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘත දේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් අල් කුර්ආනය හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමු කොට ‘The Bible Quran and Modern Science’ නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන  ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන්  අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදින.

“අල් කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල් කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ  විශිෂ්ටතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේ ද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව  ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේ ද?” (125 පිටුව)

ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල් කුර්ආන් හත්වන සියවසේ සඳහන් කළ ද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයා ගැනීමෙන් අනතුරුවය. අල් කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන් – 2 : 147)

“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන් – 4 : 82)

අල් කුර්ආනය විවිධ කෝණයන්ගෙන් පිරික්සා බැලීමේදී කුමන කෝණයෙන් බැලුව ද එය සැබැවින්ම අසමසම ප්‍රාතිහාර්යයක් බව අපට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

ඉරම් නගරය

“ඉරම් නගරයේ (ඉතා උස් වු) කුලුණු මෙන් වු ආද් ජනයා සම්බන්ධ ව නුඹගේ පරමාධිපති කෙසේ (දඩුවම්) කළේදැ’යි ඔබ අවධානය නොකළෙහි ද? ඔවුන් මෙන් (ශක්තිවන්තයින් ලෝකයේ කිසිදු) නගරයක නිර්මාණය කරනු ලැබුවේ නැත”. (අල් කුර්ආන් 89 : 6 – 8)

අල්-කුර්ආනයේ සඳහන් නගර සියල්ල  සොයා ගෙන තිබු අතර ඉරම් නගරය සොයා ගැනීම පිළිබඳ ව ඇති තොරතුරු අතිශයින්ම මවිතකරය. ඇමරිකාවේ පළකරනු ලබන  National Geography සඟරාවේ 1978 දෙසැම්බර් කලාපයේ ඉතා සුවිශේෂි වාර්තාවක්  පළ කර තිබුණි. එනම් 1973 දි දකුණු සිරියාවේ පුරා විද්‍යාත්මක කැනීම් කිරීමේදී වැලි වලින් යට වි තිබු අවුරුදු 4300 ක් පමණ ඉපැරණි  එල්බා නගරය සොයා ගන්නා ලද බවය. මෙම නගරයේ පුස්තකාලය ද ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එල්බා නගරය වාණිජ සම්බන්ධතාවන් පවත්වා ගෙන ගිය නගරයන්හි නම් අඩංගු මැටි ඵලකයන් ද  ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එම ලැයිස්තුවේ සඳහන් නගරයන් අතර ඉරම් නගරය ද සදහන් වී තිබුණි. අවුරුදු 1400 පෙර පහළ කරනු ලැබු  අල් කුර්ආනයේ වැකියක සදහන් මෙතරම් ඉපැරණී නගරයක නාමය සැබැවින්ම සත්‍යය නගරයක නාමයක් බව සොයා ගන්නට හැකි වුයේ 1973 දී නම් අල් කුර්ආනයේ ප්‍රාතිහාර්ය ජනක භාවය මෙන්ම එහි පරම සත්‍යභාවය ද මෙය සහතික කරන්නක් නොවන්නේ ද? තවත් විශ්මයජනක සිදුවීමක් නම් ඉරම් නගරය පිහිටා තිබු ස්ථානය නිශ්චිත වශයෙන්ම සොයා ගනු ලැබුවේ 1992 දී විමය. ඉහත අල් කුර්ආන් වැකිය සඳහන් කරන්නේ ඉරම් වැසියන් කුලුනු මෙන් උස් වු ද ශක්ති සම්පන්න ජන කොට්ඨාසයක් බවය. ඉරම් නගරයේ 2010 දි කරන ලද කැණීම් වලින් ඉතා උස් වු ද ශරීර ප්‍රමාණය විශාල වු ද මනුෂ්‍ය කොට්ඨාසයක ඇට සැකිලි සොයා  ගන්නා ලදී. මෙයින් පැහැදිලි වන්නේ අල් කුර්ආනයේ සත්‍යතාව දිනෙන් දින අලුත් සාධකයන්ගේ හෙළිදරව් වීම් සමගම වඩ වඩාත් තහවුරු වෙමින් පවතින බව නොවේ ද? ඉරම් නගරයේ මෙම සියලු විස්තර ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක.

“(නබිවරයාණෙනි) නුඹ මෙසේ විමසනු (මෙම පුස්තකය) අල්ලාහ්ගෙන් පහළ වි තිබිය දී මෙය නුඹලා ප්‍රතික්ෂේප කළහොත් (මෙසේ) ප්‍රසිද්ධියේ විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක් දැයි නුඹ අවධාරණය  කර බැලුවෙහි ද? ඇත්තෙන්ම මෙය සත්‍යය යැයි ඔවුන්ට පැහැදිලි වන තෙක් අපගේ සාධකයන් (ලෝකයේ) බොහෝ ප්‍රදේශයන්හි ද ඔවුන් මාර්ගයෙන් ද ඉතාමත් ඉක්මණින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබිවරයාණෙනි) ඇත්තෙන්ම නුඹගේ පරමාධිපති සියල්ල නිරික්ෂණය කරමින් සිටින්නේ යැයි සෑහීමට පත් නොවුයේ ද?” (අල් කුර්ආනය 41 : 51 – 53)

ඉහත දෙවිඳුන් අපට දන්වන්නේ අල් කුර්ආනයේ සත්‍යභාවය තහවුරු කරන සාධකයන් මිහිතලය මතින් හා මිනිසා තුළින් නිරන්තරයෙන්ම හෙළිදරව් කරමින් සිටින බවය. අද අප  සැබැවින්ම  අත්දකිමින් සිටින්නේ මෙම සත්‍යතාව තහවුරු කරන සාධකයන්ගේ හෙළිදරව්ව නොවේ ද?

නුතන විද්‍යාව පරික්ෂණය නිරික්ෂණය හා නිගමනය යන ක්‍රම වේදයන් උපයෝගි කර ගෙන විද්‍යාත්මක සිද්ධාන්තයන් ස්ථාපිත කරගන්නා අතර  නිශ්චිත වශයෙන්ම ඔප්පු කර නොගන්නා යමක් සත්‍යය ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කරයි. අල් කුර්ආනය ද මෙම විද්‍යාත්මක ආකල්පය අනුවම සිතන්නට මිනිසා ව දිරිගන්වයි. පහතින් දක්වා ඇති කුර්ආන් වැකියෙන් මිනිසා සත්‍යය යැයි පවසන්නා වු කරුණු පිළිගැනිමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි.

“කිතුනුවන් හෝ යුදෙව්වන් හෝ හැර (අන්) කිසිවෙකුත් ස්වර්ගයට ඇතුළු නොවන බව ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ පදනම් විරහිත විශ්වාසයක් (මිස සත්‍ය නොවන්නේය) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාක්ෂින් ගෙන එවු යැයි (නබිවරය) පවසවූ”.(අල් කුර්ආන් 2 : 111)

එහෙයින් ඉස්ලාමය මිනිසාගේ විචාර බුද්ධියට ගෝචර වන පරිදි පිළිගත හැකි සාක්ෂින් පදනම් කර ගෙන ඔප්පු කළ හැකි හා ඔප්පු කරනු ලැබු සත්‍යයන් බවට ආගමික විශ්වාසය තිබිය යුතු යැයි  පවසයි.

අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කරන ලෙස මනුෂ්‍ය වර්ගයාට අල් කුර්ආනය උපදෙස් දෙයි. අප දහම් තොරා ගෙන ඇත්තේ තමන් උපන් පවුල අනුව බව නොරහසකි. දෙමව්පියන්ගේ දහම කිසිදු විමසුමකින් තොරව පරම සත්‍යය ලෙස පිළිගෙන  කටයුතු කිරිම අල් කුර්ආනය ප්‍රතික්ෂේප කරයි.

“අල්ලාහ් පහළ කළ දෑ(අල් කුර්ආනය) වෙත ද රසුල්වරයා වෙත ද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත් අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේ දැයි අප දුටුවෙමු ද, එය ම (අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත් ව‍න්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත් ව ද සෘජු මාර්ගයෙහි නොවි සිටිය දි ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ)” (අල් කුර්ආන් 5 : 104).

ඉහත විද්‍යාත්මක සාධක ගෙන හැර දැක් වූයේ නුතන විද්‍යාව ඉතා මෑතක දි සොයාගත් කරුණු අල්කුර්ආනයට අවුරුදු 1400 කට පෙර ඇතුළත් වි තිබේ නම් නිශ්චිත වශයෙන්ම අල්කුර්ආනය මනුෂ්‍ය බුද්ධියේ නිර්මාණයක් විය නොහැකි බවටත් එහි මූලාශ්‍රය සහතික වශයෙන්ම සර්වඥානී එකක් විය යුතු බවටත් සනාථ කිරිමටය. අල් කුර්ආනයේ සඳහන්  විද්‍යාවට ගෝචර භෞතික කරුණු සියයට සියයක්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට  අනුකුලව හා  සත්‍යය බව ඔප්පු වන්නේ නම් විද්‍යාවට ගෝචර නැති පාරභෞතික කරුණු ද (දෙවිඳුන්, මරණින් මතු ජිවිතය, විනිශ්චය දිනය, නිරය, ස්වර්ගය වැනි) සත්‍යයන් බවට අපට පිළිගන්නට සිද්ධ වෙනවා නොවේ ද? මෙම සියලු තොරතුරු අන්ධ භක්තියෙන් පිළිගැනීම සඳහා නොවේ. මිනිසාට පමණක් උරුම විචාර බුද්ධිය උපයෝගී කර ගෙන බුද්ධිමය විචාරයක් සඳහා ඔබ ව දිරිගැන්වීම අපගේ ප්‍රධාන අරමුණයි. යථාර්ථය බුද්ධිය තර්කය විද්‍යාව පදනම් කර ගනිමින් ඉහතින් කරන ලද විග්‍රහය පිළිබඳ ඔබගේ ධනාත්මක ප්‍රතිචාරය ඔබගේම යහපත පිණිස වනු ඇත. මිනිසාට තමන්ට කැමති පරිදි ජීවත්වීමට තිබු මිහිතලය මත වූ කෙටි ජීවිතය අවසන් කොට මතු ජීවිතයට අවතීර්ණය වූවායින් පසු එහි ඇති පරම සත්‍යය අවබෝධ කරගන්නා විට පශ්චාත්තාපවන තත්ත්වයක් ඇති නොවී ජයග්‍රාහී වීමට නම් මෙම මොහොතේම  සත්‍යය අවබෝධ කරගැනීම හා ඒ අනුව ජීවත්වීම ඔබගේත් මගේත් යහපත සඳහාම වනු ඇත.

අපි සත්‍යය අවබෝධ කර ගනිමු. අපි සත්‍යය ම විශ්වාස කරමු. එම සත්‍යය මඟ පෙන්වීම් අනුව අපගේ මිහිතලය මත ජීවිතය සකස් කර ගනිමු. මෙමඟින් මෙලොව හා මතු ලොව ජයග්‍රහණය සහතික කර ගනිමු.

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

www.yayuthumaga.com

Related Posts

  • දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ?January 21, 2009 දේව සංකල්පය මිථ්‍යාවක්ද-1 ? (0)
    මෙලොවට පැමිණුනු හැම ශාස්තෘරවයෙකුගේම ප්‍රචාරයෙහි මූලික තේමාව හා දර්ශනය ඒක දේවත්වයයි. බහු දේවවාදය ප්‍රතිෙක‍ෂ්පකරමින්, මිනිසා, ගස්, ගල්, ප්‍රතිමාවන් ඉදිරියේ නොවැටි එකම බලය එකම ශක්තිය එකම […]
  • දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism}April 24, 2017 දේවවාදය සහ අදේවවාදය (Theism and Atheism} (0)
    මිනිසාගේ විශ්වාසයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. එකක් දේවවාදය අනෙක අදේවවාදයි. දේවවාදියා ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කලත් අදේවවාදියා දෙවියන් නැතැයි […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-14November 2, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-14 (0)
    මිනිසා හා සත්වයින් අතර ඇති සමාන අසමානකම් මිනිසා සහ සත්ව ලෝකයේ සාමාජිකයින් අතර පවතින සමාන හා අසමානකම් පිළිබඳ අවධානය යොමු කළහොත් අපට මිනිසාගේ මිහිතලය මත හා ඉන් පශ්චාත් ජීවිතයේ ජය අත්පත් […]
  • දෙවිඳුන් විශ්වය මිනිසා-11October 9, 2017 දෙවිඳුන් විශ්වය මිනිසා-11 (0)
    පරිණාමවාදය පරිණාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත් ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ […]
  • දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1February 7, 2009 දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1 (0)
    ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික […]
  • මිනිසා යනු කවරෙක්ද? – 15August 28, 2011 මිනිසා යනු කවරෙක්ද? – 15 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්‚ එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  […]

November 7, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , ,  · Posted in: ප‍්‍රතිපත්තිය

Leave a Reply