ඉවසීම නැති නම් මිනිසාගේත් තිරිසනාගේත් වෙනස කුමක්ද?(What is the difference between the man and the beast if there is no patience?)

සත්ව ලෝකයේ මිනිසා අද්විතීය තැනක් උසුලන්නේ මිනිස් මනස නිසාය. එමගින් හොඳ නරක තේරුම් ගත හැකිය. එහෙත් බොහෝ අය ශරීරයේ හැඩය කෙරෙහි දක්වන සැලකිල්ල මනස කෙරෙහි නොදැක්වීමෙන් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනස සැලකිය යුතු අන්දමින් අඩුවී තිබේ. මිනිසා දිනෙන් දින දහමින් ඈත්වීම නිසා ශරීරයට වැළඳෙන ලෙඩකට තරම්වත් ආත්මය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැත. එබැවින් ශරීරයට වැළඳෙන ලෙඩකට බෙහෙත් ගත්තත් මනසට වැළඳෙන ලෙඩකට බෙහෙත් ගන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසා තුල ඉවසීමේ ගුණය දිනෙන් දින පිරිහෙමින් තිබේ.ඉවසීම බලාපොරොත්තු විය හැක්කේ මිනිසාගෙන් පමණි. එය තිරිසන් සතුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි ය. විමුක්තිය ලැබීමට එය අත්‍යවශ්‍ය සාදකයකි. එබැවින් සෑම දහමකින්ම ඉවසීම උගන්වා ඇත. එහෙත් අද දහම උගන්වන අය ලඟත් ඉවසීමේ ගුණය දැකීම ඉතා අසීරු දෙයක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස සුළු දෙයකට පවා මිනි මරාගන්නා තැනට මිනිසුන් පත්ව තිබේ.

දහමින් ඈත්වන මිනිසා තුල කරුණාව, මෛත්‍රිය, පරෝපකාරී බව නැතිවගොස් ඒ වෙනුවට ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ඇතුළු වී ඇත. මෙය ඉවත්කර ගනීම ඉබේ සිදුවන්නේ නැත. ඒ සඳහා මග පෙන්වීමක් සහ වෙහෙසක් ගත යුතුය. අවාසනාවකට බොහෝ අයට ඒවා ප්‍රගුණ කර ගැනීමට කාලයක් හෝ අවශ්‍යතාවයක් නොමැත.

අද සමාජයේ ඉවසීම නැති තරම්ය. එබැවින් දෙපිරිසක් අතර සිදුවන සුළු සිද්ධියක් පවා වාර්ගික ගැටුමක් දක්වා දුර දිග යන තත්වයක් උද්ගත වී ඇත. මේ නිසා මිනිස් සම්පත් පමණක් නොව මිනිස් ජිවිත පවා විනාශයට පත් වන්නේය. මෙම තත්වය ලංකාවේ පමණක් නොව ලොව පුරා දැකිය හැකිය. ඇතැම් රටවල සිදුවන දේවල් ඇසින් බැලිය නොහැකි තරම් කෲර ඒවාය. මේවායින් බැටකන්නේ ඊට සම්බන්ද වූ අය පමණක් නොවීම ඉතා කනගාටුදායක තත්වයකි. මෙය වැළැක්වීමට නම් ආගමික නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. එහෙත් ඔවුන් එය අවභාවිතා කරන්නේ නම් ඔවුන්ට දෙවියන්ගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැත.

ඇතැම් සිද්ධීන් වලදී පොදු ජනතාවට කිසිම පිළිසරණක් නොලැබෙන තත්වයක් උදාවන්නේය. එබැවින් ජනතාවට කල හැකි එකම දෙය දෙවියන්ට භාර කිරීම පමණි. මෙවැනි අවස්ථාවකදී මුස්ලිම්වරුන්ට ප්‍රධාන ආයුධයක් වන්නේ ඉවසීමෙන් සහ සලාතය මගින් දෙවියන්ගෙන් උදව් පැතීමය.

“(මොනතරම් ප්‍රශ්න වලදී වුවද) ඔබ ඉවසීමෙන් යුතුව සලාතයෙහි යෙදීමෙන් (අල්ලාහ්ගෙන්) පිහිට පතනු. නමුත් මෙය (සලාතය) අල්ලාහ්ගේ බය භයබක්තිකයින්ට හැර (අන් අයට) ඉතාමත් බැරෑරුම් කාර්‍යයක් වන්නේය” (කුරානය 2:44)

නබිතුමාගේ කාලයේදී ඔහුගේ අනුගාමිකයින් අනේක විධ දුක් ගැහැට ඉවසාගෙන ඇත. ලෝකය දියුණු වී ඇතැයි කීවත් ඒවා තවම ලෝකයෙන් තුරන් වී නොමැත. මේ නිසා අප මුහුණ දෙන සෑම දෙයකටම ඉවසීමෙන් මුහුණ දී මරණයෙන් පසු දෙවියන්ගෙන් කුලිය බලාපොරොත්තු වෙමු.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.