ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

ඉස්ලාම් දහම අනුව මෙලොව ජීවිතය පරික්ෂාවකි. ඒ අනුව පොහොසත් දුප්පත් රෝගී නිරෝගී යන සියළු දෙනාම ඊට මුහුණ දිය යුතුය. කෙසේ වෙතත් මිනිසුන්ගෙන් ඇතැම් අය ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානි කර ගනිති. සැබවින්ම ඔවුන් මෙලොව ජීවිතයේදී පමණක් නොව පරලොව ජීවිතයේදී ද පරාජිතයින් වෙති. ඇයිද යත් ඔවුන් මෙලොවදී ලැබූ එකම අවස්ථාව අහිමිකර ගත් අය නිසාය.ඇතැම් අය මෙලොව ජීවිතය පරීක්ෂාවක් බව තේරුම් නොගෙන ජිවත් වන්නෝය. ඔවුන්ට මරණින් පසු දුක් වීමට සිදු වනු ඇත. තවත් පිරිසක් තම අරමුණ ජය ගැනීම සඳහා කැප වෙති. ඔවුන් මරණයෙන් පසු කෙළවරක් නොමැති ස්වර්ගයට හිමිකම් කියනු ඇත.

මෙලොවදී මිනිසා මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත. නමුත් බොහෝ අය කරන්නේ එම විසඳුම් වෙනුවට වැරදි තීරණ ගැනීමෙන් ජීවිතයේ අරමුණ විනාශ කර ගැනීමය. අල්-කුරානයේ මිනිස් ජිවිතයේ අරමුණ ගැන සඳහන් කිරීමේදී එක් තැනක පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“ඔවුන්ගෙන් ලස්සන ක්‍රියාව ඇත්තා කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස පොළොව මත ඇති දේ අලංකාරවත්ව මවා ඇත්තෙමු” (කුරානය 18:7).

මිනිසා කුමන ප්‍රශ්නයකට මුහුණ දුන්නත් ඊට දහමින් පිළිතුරු දිය යුතුය. නබිවරුන් පවා නොයෙකුත් පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. මිනිසා විසින් ඒවා ආදර්ශයට ගත යුතුය. එසේ කිරීමෙන් ජීවිතය ජය ගත හැකිය. එසේ කිරීමෙන් කෙළවරක් නොමැති ස්වර්ගයට හිමිකම් කීමට හැකි වනු ඇත.

ස්වර්ගය ගැන කුරානයේ බොහෝ තැන්වල වර්ණනා කොට ඇත. ඉන් එක් වැකියක් පහත දැක්වේ.

“ඔවුහු විශාල ගස් යටද, එක මත එක සේ ඇති කෙසෙල් ගස් සහ පලතුරු අතරේද, විශාල ගස්වල සේවනෙහිද, නොකඩවා දිවයන (ඇල දොළ) අසලද සිටින්නෝය. තවද, අඩුවක් නොදකින බහුලව ඇති පලතුරු (ගස් අතරේ) ද, උස් වු ඇතිරිලිවලද (සිටින්නෝය.) නියතව අපි (ස්වර්ග වාසි ස්ත්‍රීන්ව) විශේෂ නිර්මාණයක් ලෙස කර ඇත්තෙමු. ඔවුන්ව කන්‍යාවන් කෙළෙමු, (ස්වාමි පුරුෂයා කෙරෙහි) අධික ස්නේහය ඇත්තියන් ලෙසද, සම වයසේ ඇත්තියන් ලෙසද කළෙමු” (කුරානය 56:28-38).

 

අල්-කුරානයේ තවත් තැනක මිනිස් ජිවිතයේ අරමුණ ගැන මෙසේ සඳහන් කොට ඇත.

“නුඹලා අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස ඔහු මරණය සහ ජිවය මැව්වේය” (කුරානය 67:2).

බොහෝ අවස්ථාවලදී දෙවියන් නියම කළ මාර්ගයේ ගමන් කරන අයට වඩා වැරදි කරන අයට වස්තුව වැඩියෙන් ලැබිය හැකිය. වස්තුව වැඩියෙන් ලැබීම නිසා කෙනෙකුගේ ජයග්‍රණය මැනිය නොහැකිය. මිනිස් ජිවිතයේ නියම ජය හෝ පරාජය තීරණය වන්නේ මරණයෙන් පසුය. මෙලොව ජීවිතයේදී කොපමණ සැප සම්පත් ඇතිව ජිවත් වුවත් එය මරණයෙන් පසු ජීවිතය සමග සැසඳීමේදී ගණන් ගත නොහැකි තරම් ය. මේ නිසා ඇතැමුන්ට වැරදි කලත් මෙලොවදී බොහෝ සැප සම්පත් ලබා දී ඇත.

“ඔවුනට උපදෙස් කරනු ලැබූ දේ ගැන ඔවුහු අමතක කළ විට, අපි සියලු දේවල් වල දොරටු ඔවුන්ට විවෘත කළෙමු. තමන්ට ලබා දුන් දෑ මගින් ඔවුන් ප්‍රීතිමත්ව සිටින විට ක්‍ෂණිකව අපි ඔවුන්ව අල්වා ගතිමු. එවිට ඔවුහු (සියලු හොඳ දෙයින්ම) අපේක්ෂා සුන් කරගත්හ” (කුරානය 6:44).

කෙනෙකුට අධික ලෙස වස්තුව ලැබීම ඔහු කෙරෙහි දෙවියන් කරුණාව දැක්වූ බවට සාදකයක් නොවන්නේය. බොහෝ විට සාමාන්‍ය ජිවිතයක් ගෙවන බොහෝ අය දෙවියන්ට ඉතා සමීප වන්නේය. එක් නබිවරයෙක් හැරුණු විට අන් සෑම කෙනෙක්ම මෙලොව ගත කොට ඇත්තේ ඉතා දුක්ඛිය ජීවිතයන් වේ. මුහම්මද් නබි තුමා මිය යාමට පෙර මසක් පුරා ආහාරයට ගෙන ඇත්තේ රට ඉඳි සහ වතුර පමණි. ලිපක් මොලවා පිසීමට තරම් දෙයක් එතුමාගේ නිවසේ තිබී නැත. ජේසු තුමා ජිවතුන් අතර සිටින තාක්කල් එතුමාට ස්ථිර නිවසක් තනා තිබුනේ නැත. ඔහුද ගත කොට ඇත්තේ ඉතා සරල ජීවිතයකි.

කෙසේ වෙතත් මෙලොවදී වැරදි කරන අයට සෑම සැප සම්පතක්ම ලැබීම ගැන අපට වැරදි තීරණවලට එළඹිය නොහැකිය. ඇයිද යත් ඒවා ඔවුන්ට මෙලොවදී ලැබෙන පරීක්ෂාවක් විය හැකි නිසාය. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත.

“මිනිස්සු (ප්‍රතික්‍ෂේප කිරීමේ විෂයෙහි) එකම සමුහයා ලෙස නොවන්නේ නම්, අර්රහ්මාන්ව (අල්ලාහ්ව) ප්‍රතික්‍ෂේප කරන්නන්ගේ නිවෙස්වල වහලවල් ද, ඔවුන් නැග යන පඩිපෙළවල් ද, තවද ඔවුන්ගේ නිවෙස්හි දොරටු ද, ඔවුන් හාන්සි වී සිටින ඇඳන් ද අපි රිදී වලින් කර දෙන්නෙමු. තවද, අලංකාරය ලෙස (රන්වලින්ද කර දෙන්නෙමු.)….” (කුරානය 43;33-35).

මෙලොව ජීවිතයේදී පරික්ෂාවට ලක් නොවන කිසිම කෙනෙක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේය. ඒ අනුව ඇතැමුන් මෙලොවදී අංග විකල විය හැකිය. තවත් සමහරු අන්දයින් හෝ බිහිරන් බවට පත් විය හැකිය. එහෙත් ඒවා ඉවසාගෙන දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ජිවත් වන්නේ නම් මරණයෙන් පසු ස්වර්ගය ලැබෙනු ඇත.

ස්වර්ග ජීවිතය මෙලොව ජීවිතය සමග සැසඳීමේදී අනන්ත ජීවිතයකි. එහි ඇති සැප සම්පත් මිනිසාට සිතා ගත නොහැකි තරම්ය. එය අත්කර ගැනීම සඳහා මෙලොව ජිවිතයේදී කරන ඕනෑම කැප කිරීමක් ඔහුට ආයෝජනයක් වන්නේය.

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.